Wednesday, October 5, 2011

විසි වන දිගහැරුම

"අද රෑට සුධර්මලගෙ ගෙදර පාටිය.දුව යනවා නේද?" පුංචම්ම ඇහුවේ අපි හවස තේ බොමින් ඉන්න වෙලාවේ. මට එක පාරටම කියන්න දෙයක් මතක් වුණේ නැහැ. අපූර්ව දකින්න දකින්න වෙන්නේ අපි දෙන්නගෙම හිත් පෑරෙන එකයි.
"අනේ මදා පුංචම්මේ, මමත් එන්නම ඕනෙද? ඔයාල තුන් දෙනාට ගිහින් එන්න බැරිද? උණ හොඳ වුණා විතරනේ. තව බෙහෙත් බොන්නත් තියෙනවනේ. කමක් නෑ නේද එහෙම?"
මම වෙනසක් නොතේරෙන්න කිව්වා.
"තනියෙම ඉන්න?"
"තනි නෑනෙ, ඔයාල යන්නේ එහා ගෙදරටනේ. අනික දවස් තුනක් නොගිය නිසා ක්ලාස් එකෙ පොත් ටිකත් බලා ගන්න ඕන"
පුංචම්මා කල්පනා කලා.
"සුධර්මා මොනවත් හිතයිද දන්නේ නෑ"
"පුංචම්මා කියන්න මට තාම සනීප මදි නිසයි, ක්ලාස් එකේ වැඩ නිසයි නාවේ කියලා"
මම කිව්වා.
"අපූර්ව අයියා කිව්වා මට කොහොමහරි එන්න කියලා"
බට්ටිත් අපේ කතාවට හවුල් වුණා.
"හැබෑට? ඒ කොයි වෙලේද?"
"අද උදේ, තාප්පෙන් එබිල කිව්වේ මම එලියේ ඉද්දි"
මටයි, පුංචම්මටයි දෙන්නටම හිනා ගියා. ඒ එක්කම මට මතක් වුණේ අපූර්ව මට මුලින්ම හම්බවුණ වෙලාව. ආයෙමත් හිත දුකකින් පිරුණා.
"හර්ෂිත් ආවම බලමු" පුංචම්ම අන්තිමට කිව්වා.
හවස අක්කා ආවම මම නොයන වග ඈට මම කිව්වා.
"එක අතකට ඒක්ත් හොඳයි" අක්කා කිව්වේ එච්චරයි.

"අපි ඉක්මණට එන්නම් පුතේ. ඉස්සරහ දොර වහලයි තියෙන්නේ, මේ පැත්තේන් ලොක් කර ගන්න. බත් කන්න බඩගිනි වුනොත්"
යන්න එලියට බැහැපු  පුංචම්ම මට කිව්වා. ඒ තුන් දෙනා යන දිහා මම බලාගෙන උන්නේ හැඟීම් විරහිතව. මම පාලුව යන්න සාලෙ ටීවී එක දාලා කාමරේට ආවා. කන්න පිරියක් තාමත් මට තිබුණේ නැහැ.
අඳුරු වුණ හිතින්ම මම මේසේ ලඟින් වාඩි වුණේ පොතක් බලන්න හිතාගෙන. ජනේලෙ අඩවන් කරලා තිබුණ නිසා අපූර්වගේ ගෙදර පැත්තෙන් ආපු සංගීත රාවේ මට යන්තමට ඇහුණා. එහේ මුලු වත්තම බල්බ් දාලා සරසලයි තිබුණේ. පල කීපෙකට හදලා තිබ්බ වහලවල් හැම එකකින්මත් පහලට බල්බ් වැල් එල්ලලා තිබ්බ වග මම දැක්කා.මේ සතුටුදායක දවසෙත් අපූර්ව මම නිසා දුකින් ඉන්නවා ඇත්ද? මම හිතුවා.
මේසය මත චාජ් වෙන්න ගහලා තිබුණ මගේ ෆෝන් එක නාද වුණේ මෙවෙලෙම වගේ. මම කල්පනා ලොවෙන් බිමට වැටුනේ ඒ සද්දෙට.ඒ කවුද කියලා අමුතුවෙන් හිතන්න ඕන වුණේ නැහැ. 'අපූර්ව'
හිතට එකඟ නැතුව වුණත් ඒක නොගෙන ඉන්න මගේ හිත දුන්නේ නැහැ.
"හෙලෝ"
"මෙත්මා..." අපූර්වගේ හඬ වෙනදා වගේ නෙවෙයි. වෙහෙසට පත් වෙලා වගේ.
" ඇයි අපූර්ව?"
"ඇයි ඔයා මට මෙහෙම කරන්නේ?" අපූර්ව ඇහුවම මගේ හිත ගිනි වැදුනා.
"මොකක්ද?" මම වෙනසක් නොඅඟවා කතා කරන්න උත්සාහ කලා.
"ගෙදර හැමෝම එද්දි ඔයා නාවේ මම ඉන්න නිසා නේද?"
මම එක පාරටම ගොලු වුණේ කියන්න දෙයක් හිතා ගන්න බැරිව.
"මෙත්මා...එහෙම නේද?"
"ප්ලීස් අපූර්ව, මෙහෙම කරන්න එපා. ඔයා හිතන දේවල් කවදාවත් වෙන්න බෑ"
'ඇයි ඒ?"
"එහෙම තමයි"
"ඔයා දන්නවද ඔයා මගේ හිත කොච්චර රිද්දනවද කියලා?" අපූර්ව ඇහුවේ ටිකක් වෙලා ගිහින්.
මම නිශ්ෂබ්දව හිටියා. මගේ ඇස් උණුසුම් වෙලා කඳුළු පිරෙනවා මට දැනුනා.
"මට ඔයාව අමතක කරන්න හිත හදා ගන්න බෑ"
ඔහු ආයෙමත් කියනවා.
"අපූර්ව මේ අහන්න.."
"ඔයා මේ දේවල් කරන්න කරන්න වෙන්නේ මම තවත් ඔයාට බැඳෙන එක විතරයි" අපූර්ව මට කීවේ ආදරෙන්.
මම ෆෝන් එක ඕෆ් කලේ මගේ කඳුළු පිට පැන්න නිසයි. මේසේ හිස තියාගෙන මම හොඳ ටෝම ඇඬුවා. අපූර්වගේ ආදරේ මට දරා ගන්න බැරි තරම්.
මම ඇඳට වැටුනේ රෑටත් නොකාමයි. පුංචම්මලා රෑ එද්දි මම බොරුවට නිදි වගේ හිටියා. එහේ වුන දෙවල් අහලා ආයෙමත් හිත රිද්ද ගන්න මට ඕන වුණේ නැහැ.
'අක්කා මට හම්බවෙලා කිව්වේ නැත්නම් මම දන්නේ නෑ ඔයා අසනීපෙන් කියලා. ඒත් මම බැලුවා ඇයි ඔයා නාවේ කියලා. කෝල් කරන්න හැදුවත් ෆෝන් එක ඕෆ් කරල. ඒ පාර තමයි මම මේ ක්ලාස් එකත් කට් කරලා ඔයාව බලන්න ආවේ"
ඊලඟ දවසේ උදේ  අමා ආවා මාව බලන්න. ඇය දැක්කම මට ඇති වුණේ සතුටක්.
 මට දවස් තුනක් යන්න නොළැබුණ නිසා අමා මටත් එක්කම සටහන් ලියාගෙන ඇවිත් තිබ්බා.
"අනේ  අමා මම ඔයාට කොහොම ස්තූති කරන්නද මංදා" අපි කතා කරමින් උන්නේ මගේ කාමරේ.
"ඉතිං මොකද හදිසියේම උන ගත්තේ? එදා මොකක් හරි ප්‍රශ්ණයක් වුණාද?"
අමාටත් ඉව තියෙනවා. අමාට නොකියන දෙයක් මට තිබුණේ නැති තරම්. මම සිද්ධ වුණ සේරම ඇයට කියලා දැම්මා. කතාව ඉවර වෙද්දි අමාත් උන්නේ බිරන්ත්ට්ටු වෙලා.
"දැන් නං මටත් උණ වගේ. මම ඒත් හිතුවේ නෑ එදා මේඅක ඇදෙයි කියලා. හැබැයි මම දැනං හිටියා රජෝ කවදා හරි මල්ලියා නතර වෙන්නේ මෙතන කියලා. මම කිව්වා නේද?"
මම සුසුමක් හෙලුවා.
"හුඟාක් අය කිව්වා අමා. මට තමයි ඒක නොපෙනුනේ"

අමා පැය කීපයක් ඉඳලා යන්න පිටත් වුණේ දවල්ට කන්න ඉන්න කියලා පුංචම්මා බල කරද්දිමයි.
"වෙන දවසක එන්නම් ඇන්ටි. හවස ක්ලාස් එකට යන්නත් ඕනෙ"
"පුංචම්මේ මම අමා එක්ක පාරට ගිහිං එන්නම්"
අමා එක්කම මමත් එලියට බැස්සා.
"ඔයාගේ නංඟි නම් ස්වීට්" අමා කිව්වේ බත් කකා උන්නු බට්ටිට අත වනන ගමන්.

අපි දෙන්නා අපූර්වගේ ගෙදර පහු කරලා තික දුරක් එද්දි පිටිපස්සෙන් ආපු වාහනයක් අපි  ලඟම වගේ නැවැත්තුවා. මම අමාවත් ඇදගෙන පාරේ අයිනට පැන්නේ ඉබේටම වගේ. මගේ හිත ගැහෙන්න ගත්තේ අපූර්වගේ වාහනේ දැකලා. මම අමාගේ අතින් අල්ලගත්තා. අමා හිටියෙත් වික්ශිප්ත වෙලා. අපූර්ව දොරේ වීදුරුව පාත් කලා.
"හායි අමා අක්කි. කොහෙද මේ යන්නේ?" අපූර්ව ඇහුවේ අමාගෙන්.
"හෙලෝ මල්ලි. මම මේ මෙත්මව බලන්න ආපු ගමන්. ආපහු යනව"
"නගින්න මම ගිහින් දාන්නම්" අපූර්ව කිව්වා.
අමා මම දිහා බැලුවා.
"දෙන්නටම තමා කිව්වේ" ඒ පාර අපූර්ව කිව්වා.
"බෑ. බෑ. මම නුවර යන්නේ නෑනෙ" මම කිව්වේ තව ටිකක් පස්සට වෙන ගමන්.
"කීයට හරි නගිනකල් මම මෙතනම, මෙහෙමම ඉන්නවා" අපූර්ව කිව්වේ දැඩි හඬින්.
අමා මගේ දිහා බැලුවේ කලබල වෙලා.  වාහනේ තිබුණේ පාර මැද නිසා කො‍යි පැත්තෙන් වාහනයක් ආවත් මාරු වෙන්න බෑ.
"අනේ මල්ලි, පිස්සු කරන්න එපා. දැන් වාහනයක් වත් ආවොත් කොහොමද යන්නේ?"
ඒ අමා.
"මම ඉන්නේ ඔය දෙන්නා නගිනකල්"
අපූර්ව හිතුවක්කාර විදියට කිව්වේ, වාහනේ එන්ජිමත් නතර කරන ගමන්.
"අනේ මෙත්, මෙයා කියන දේ අහන්නෙ නෑ, අපි නගිමු" අමා මට බැගෑපත් වුණා. මගේ හිතේ අපූර්ව ගැන ගොඩනැගෙමින් තිබ්බේ අමනාපයක්. ඒ අතරේ උඩ පැත්තෙන ආපු වාහන් දෙකක් යන්න විදිහක් නැතිව පිටිපස්සෙ ඉඳන් හෝන් කරන්න වුණා.
"අපූර්ව වාහනේ ගන්න" මම කිව්වා.
"නොට් අන්ටිල් යූ ගෙට් ඉන්"
ඒ පාර පිටිපස්සේ වාහනේ රියදුරා බැහැලා ආවේ තරහින් වගේ.
"මොකද මල්ලි වාහනේ කැඩිලද?"
අමායි, මමයි හොඳටම කලබල වුණා.
"ප්ලීස් මෙත්මා" අමා ආයෙම බැගෑපත් වුණා.
මම මුකුත් නොකියම ඉස්සරහ දොර ඇරගෙන නැගලා වාහනෙන් වාඩි වුණා. අමා පිටිපස්සෙන් නැග්ගා.
අපූර්ව වාහනේ පණ ගන්නලා ඉස්සරහත ගත්තේ අර මනුස්සයව ගනනකට වත් නොගෙන.ඒ මනුස්සයා අපිව ඉස්සර කරලා ගියේ අතක් දික් කරලා බැනගෙන වගේ. මට හැම දේම එපා වෙලා වගේ හැඟීමකුයි දැනුනේ. ඒ එක්කම අපූර්ව ගැන තරහකුත්.
නුවරට එන්කල්ම අපි කවුරුවල් කතා කලේ නැහැ. අපූර්ව අමාව ක්ලාස් එක ලඟින් දාලා ඉස්සරහට ආවා. මම ඔහු පැත්තවත් නොබලා හිතලම වීදුරුවෙන් එලිය බලාගෙනයි ආවේ.
මුළු පරිසරය පුරාම තිබ්බේ අඳුරක්. අද සමහරවිට වහීවි කියලා මට හිතුණා.
"දැන් ලෙඩ හොඳයිද?" අපූර්ව ඇහුවේ මුකුත්ම වුණේ නැති ගාණට. මගේ තරහ අලුත් වුණා. මම ඔහු දිහා බැලුවෙවත් නැහැ.
"මොනාද මේ කරන විකාර වැඩ වල තේරුම? දැන් මම ගෙදර ගිහින් මොනාද කියන්නේ? ඇයි මම බෑ කියද්දිත් මෙහෙම මට කරන්නේ?" මම ඇහුවෙ තරහින්.
"ඔයා ඔය සේරටම උත්තරේ දන්නවනේ"
මම අපූර්ව දිහා බැලුවේ නොඉවසිල්ලෙන්.
"තේරුමක් නැති වැඩ කරන්න එපා අපූර්ව"
අපූර්ව හිනා වුණා. බමුණෙක් වගේ රැවුලකුත් වවාගෙන, කොණ්ඩෙත් වවාගෙන උන්නු අපූර්ව දැක්කම මට තවත් තරහ ආවා. අපූර්ව හිතලම වාහනේ පැදෙව්වේ හෙමින්.
"බලන්න ඔයාගේ හැටි. ඔයාගේ ගෙදර අය එහෙම මේවා දන්නවා නම්,මට නේද නරක නාමෙ?"
අපූර්ව මගේ දිහා බැලුවෙත් අර තේරුමක් නැති හිනාවෙන්මයි.
"මේ ඔයා නිසා නෙවෙයි. මේක මට හැමදාම කරන්න ඕන වෙලා තිබ්බ දෙයක්"
මම ගස්සලා අහක බලාගත්තා කියන්න වචන නැතිව.
"ඇයි ඊයේ හදිසියේම ෆෝන් එක කට් කලේ? මට හිතුණා මම ඔයාව අඬෙව්වදෝ කියලා"
අපූර්ව ආයෙම ඇහුවා මගෙන්.
"අනේ දෙයියඟේ නාමෙට අපූර්ව මේ කතාව නවත්තමුද? මට දැන් මේක තිත්ත වෙලා. මම ඔයාට කොච්චර කියන්නද?"
මම කිව්වේ ඉවසන්න බැරිම තැන.
"එහෙම නවත්තන්න නෙවෙයි මම පටන් ගත්තේ"
අපූර්ව ආයෙම හිතුවක්කාර වෙන්න යනවා.
"ප්ලීස් මල්ලි..."
අපූර්ව එකපාරටම බ්‍රේක් කරා. මම ඉස්සරහට වීසි වුනා.
"මම ඔයාගේ මල්ලි නෙවෙයි. මම ඒක කියලා ඇති"
අපූර්ව මගේ දිහා බැලුවේ හිතුවක්කාර බැල්මෙන්මයි.අපි උන්නේ වැව රවුමේ තැනක. පාර අවහිර වෙන නිසා අපූර්ව ආයෙම වාහනේ ඉදිරියට ගෙනියන්න පටන් ගත්තා.
"අපූර්ව මට ඔයාට ආදරේ කරන්න බෑ. ඔයාට තේරෙන්නෙ නැද්ද? අපේ අප්පච්චි මාව මරයි" මට කියැවුණා.
අපූර්ව මා දිහා බැලුවෙ පුදුමයකින් වගේ.
"ඔයා මාව අවොයිඩ් කරන්නේ අප්පච්චිට තියෙන බය නිසාද මෙත්මා?"
මම ගොලු වුණා. ඒක් මගේ කටින් පිට වුණ එක ගැන මට පසුතවිල්ලක් දැනුනා.
"කියන්න. එහෙම නම් මම එන්නම් ඔයාගේ අප්පච්චි ලඟට"
"එපා, එපා. එහෙම කරන්න එපා. අප්පච්චි අපි දෙන්නවම මරයි. තේරුම් ගන්න අපූර්ව, මේක සිද්ධ වෙන දෙයක් නෙවෙයි"
මම එහෙම කිව්වත්, අපූර්වගෙන් දුරස් වෙන්න බෑ කියලා මගේ හිත කෑ ගැහනවා මට දැනුනා.
"කවදා හරි ඒක වෙනවා"
"අපූර්ව පිස්සු නටන්න එපා. මම ඔයාට කැමති වෙන්නේ නෑ. ඔයාට බලෙන් ඒක කර ගන්න බෑ"
අපූර්ව වාහනේ වේගය වැඩි කලා.
"අපූර්ව ඔයා මොනවද මේ කරන්නේ?"
අපූර්ව නිහඬයි.
'අපූර්ව...අපූර්ව..." මම කෑගැහුවා.
ඔහු ආයෙම හිටි ගමන් වාහනේ නැවැත්තුවාම දෙවනි පාර ට ත් මාව ඉස්සරහට වීසි වුණා.හිතාගන්නවත් වෙලාවක් නොදී අපූර්ව මගේ අතකින් අල්ල ගත්තා හයියෙන්ම.
"මට ආදරේ නැද්ද?" ඔහු ඇහුවේමගේ ඇස් දෙකට එබිලා. මම අත මුදා ගන්න උත්සාහ කලා.
මගේ ඇස් අලින් ක ඳුළු බින්දු සට සට ගාලා වැටුනේ දුකටයි, තරහටයි, අතේ රිදුමටයි සේරටම එක්ක.
"නෑ. නෑ. නෑ. දැන් සතුටුද?" මම කෑ ගැහලා කිව්වා.
අපූර්ව මා දිහා බලන් උන්නේ බය වෙලා වගේ.
මම තරහටම එක්ක ගවුමේ සාක්කුවෙ තිබ්බ ඔහු මට අරන් දීපු ෆෝන් එකත් අරන් ඔහු දිහාටම වීසි කලා. ඔහු තාමත් බලාගෙනම උන්නා, මගේ අත අත නෑරම.
"ඔයා මගේ මෙත්මා නෙවෙයි. එයා ඔය තරම් නපුරු නෑ. අයෑම් සොරි. ආයේ කවදාවත් මම ඔයාට කරදර කරන්නේ නැහැ"
අපූර්ව හෙමිහිට මගේ අත අතෑරියා.
ඊට පස්සේ ගෙදරට යනකල්ම අපි අතරේ කතාවක් ඇති වුණේ නැහැ. මම හිටියේ අඬමින්මයි. ඒ අපූර්ව අන්තිමට කිව්ව දේ නිසාද කියලත් මට හිතුණා.
මම වාහනෙන් බැස්සේ අපූර්වගේ ගෙදර ලඟදි. අපේ ගේ ලඟට ඇවිත් නිකමට හැරිලා බලද්දි අපූර්ව්ව වාහනේ සුක්කානමට හිස තියාගෙන ඉන්නවා මම දැක්කා. මගේ කඳුලු ආයෙමත් අලුත් වුණා.
"කොහෙද ලමයෝ මෙච්චර වෙලා ගියේ?"
පුංචම්මා ඇහුවා මම ගෙට ගොඩ වෙද්දිම.
"අමා එක්ක බස් එකක් එනකල්ම හිටියා පුංචම්මේ"
මම හිතට ආවක් කියාගෙනම මගේ කාමරෙට ගියා. පුංචම්ම මොනවා හිතුවද කියන්න මම දන්නේ නැහැ.
ජනේලයෙන් හොරෙන් එබිලා බලද්දිත් අපූර්ව වාහනේ ඇතුලට දාලා තිබුණේ නැහැ. ඔහු තාමත් එළියෙද? මම හිත ඇදුම්කද්දිම ඇඳට වැටිලා කොට්ටයක් බදා ගත්තා. මේ හැම වේදනාවක්ම අස්සෙන් හිතේ කවදාටත් වැඩිය පැහැදිලිව එක දෙයක් මට දැනුනා.
' අපූර්වට මමත් ආදරෙයි!'
මම  ඇස් දෙකෙන් කඳුලු ගලන්න ඉඩ දීලා ඔහේ උන්නා. දැන් කරන්න කිසි දෙයක් නෑ. මම අපූර්වට කියලා ඉවරයි හිත හදා ගන්න. මගේ ඇස් ඉස්සරහ මැවි මැවී පෙනුනේ අපූර්ව අන්තිමට මගේ දිහා බලාගෙන හිටපු විදිහ. හරියට ඒ මමම ද කියලා අදහා ගන්න බැරුව වගේ. මම මහා නපුරු විදියට ඔහු මට ආදරෙන් තෑගි දීපු ෆෝන් එකත් වීසි කරලා ආවේ කොහොමද කියලා මම කල්පනා කලා. එච්චරටම මම නපුරුද?
මගේ මුළු ජිවිත කාලෙදිම මට, මගේ හිතට ඇතුල් වුණේ පිරිමි දෙන්නයි. මුලින්ම කලිඳු අයියා ඒත් අපූර්ව තරම් නෙවෙයි. අපූර්ව එහෙම පිටින්ම මගේ ජීවිතේ අවුල් කලා වගේ. වෙලාවකට වදයක්, වෙලාවකට නැතුව බැහැ. ඒ කොහොම වුණත් අද මං කරපු දේ ගැන මට ඇතිවුණේ පසුතැවිල්ලක්. මම හිතින් දහස් වාරයක් ඒ දුක විඳවන්න ඇති.

පහුවදා ක්ලාස්ස් ගිහිනුත් මම උන්නේ කිසිම උනන්දුවකින් නෙවෙයි.
"මොකද මෙත්මා ඔයාට වෙලා තියෙන්නේ?" අමා අහනවා.
"ඇයි එහෙම අහන්නේ?"
"ආපු වෙලේ ඉඳන් කල්පනාව. ඊයේ වුන දේ ගැනද හිතන්නේ?"
මම හිස වනලා නෑ කිව්වා. අමා මං දිහා බැලුවේ පරීක්ෂාකාරීව.
"ඔය බොරු. මට පේනවා ඔයාගේ වෙනසක්"
"හරි මොකක්ද දැන් ඔය වෙනස?"
"ඔයා අපූර්ව ගැන හිතනවා"
මම අමා දිහා බැලුවේ ගැස්සිලා වගේ. ඊට පස්සේ මට බිම බලන්න බැරි වුණා.
"එහෙම දෙයක් නෑ අමා"
"ආදරෙයි, කැස්සයි හංගන්න බැරි බව ඔයා දන්නේ නැද්ද?"
මම ඇස් ලොකු කර ගත්තා.
"මොකක්? ඔයාට පිස්සුද?"
"මට නෙවෙයි, ඔහොම ගියොත් ඔයාට පිස්සු හැදෙයි"
මම ව්‍යාකූල වෙච්ච හිත වහ ගන්න අතේ තිබ්බ පොතට එබුණා.
"මම දන්නෙ නෑ අමා. මට අපූර්ව ගැන දුකයි. ඒත් මම මොනා කරන්නද?"
"ආදරේ කරන අයට ඔයිට වඩා ප්‍රශ්ණ එනවා මෙත්" අමා කිව්වේ ආදරය පිළිබඳ මහාචාර්යවරියක් වගේ. "අනික මට හිතෙන්වා ඔය දෙන්නා ගැලපෙනවා කියලා. අපූර්ව ඔයාට ආදරෙයි, සමහරවිට ඔයත් එහෙම වෙන්න ඇති. ඒත් ඔයා බයයි, සමාජෙට"
මම ආයෙම අමා දිහා බැලුවා.
"ඔයා මොනවද මේ කියවන්නේ?"
"මට පේන දේ. මට දැනෙන, හිතෙන දේ"
මම හිස දෙපැත්තට වැනුවා.
"නෑ අමා. සමාජෙට වඩා මම බය මගේ අප්පච්චිට. අයියත් හිතුවක්කාර වුණ නිසා මමත් මොනව හරි වැරැද්දක් කලොත් අප්පච්චිට දරා ගන්න බැරි වෙයි. අප්පච්චි අපි දෙන්නවම මරයි"
"ඇයි ඔයා අපූර්වට ලං වෙන්න ඉඩ දුන්නේ?"
"එහෙම වුණේ එයා මාව තේරුම් ගත්තු නිසා. මට ලෙන්ගතු වුණ නිසා. මගේ අයියට පස්සේ මගේ හිතට මේ තරම් ලං වුණේ එයා විතරයි.මංදා, සමහරවිට මම එයාට ආදරේ කරන්නත් ඇති අමා"
අමා මගේ ලඟට ඇවිත් උරහිස උඩින් අතක් දා ගත්තා.
"ආදරේ හැංගිලා තියෙන්නේ නෑ. කවදා හරි, කොහොමහරි එලියට එනවාමයි"

1 comment:

  1. හරිම ලස්සනයි අක්කි ....

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....