Tuesday, October 4, 2011

දහ නව වන දිගහැරුම

"ඉන්දි...අද ක්ලාස් යන්නේ නැද්ද? හොඳටම වෙලා ගිහින්. කෝ නැගිටින්න.."
මට අක්කගේ කට හඬ ඇහුනේ හීනෙන් වගේ. ඇස් දෙක ඇර ගන්න බැරි තරමට හිස බර වෙලා වගේ දැනුනා.
"නංඟි?" අක්කා මගේ හිසට අතක් තියලා ආයෙම අත ඇදලා ගත්තේ පුංචම්මට කතා කරමින්.
"දෙයියනේ...අම්මේ...නංඟිට හොඳටම උණ" අක්කා කෑ ගහගෙනම පහල තට්ටුවට දුවනවා මට ඇහුනා. මම අමාරුවෙන් ඇස් ඇරියා.මූණෙන් ගිනි පිට වෙනවා වගෙයි මට දැනුනේ. නහයත් හිර වෙලා, උගුරත් රිදුම් දුන්නා. පුංචම්මා කාමරේට ඇවිත් මගේ නලලට අතක් තියලා බැලුවා.
"හැබෑමයි. උණ නේන්නම්. අනේ පුතේ බෙහෙත් ගන්න වත් යන්න වෙයිද? ඊයේ වැස්සට තෙමුණ නිසා තමයි ඔය. මේ පලාත පුරුදුත් නෑනෙ. මම කිව්වේ නැද්ද?"
පුංචම්ම කියනවා.
"මං ගිහින් ත්‍රී වීල් එකක් වත් බලන්නද?" ඒ අක්කා.
මම අමාරුවෙන් හිස ඉස්සුවා.
"අක්කා කොහෙවත් යන්න එපා. පැනඩොල් දෙකක් බීලා, කොත්තමල්ලි ආයෙම බිව්වාම මේක අඩු වෙයි" මම කිව්වා.
"එහෙම කියලා පුළුවන්ද. ලෑස්ති වෙමු ඩොක්ටර් කෙනෙක් ලඟට යන්න. එන්න"
පුංචම්මා මාව නැගිට්ටව ගත්තා. උණ හැදුනම මේ තරම් අමාරු වෙන බව මම දැනං හිටියේ නැහැ. ඉස්සර උණ ගත්ත දවස් වල මට එහෙම වෙලා නැති නිසා. අක්කා මට ලෑස්ති වෙන්න උදව් කරන ගමන්ම එයත් ලෑස්ති වුණා.
"අක්කට අමාරුද අක්කේ?" බට්ටි මූණත් ඇද කරගෙන අපි දිහා බලාගෙන උන්නා.
"නෑ. බෙහෙත් ගත්තාම හරි යයි බට්ටි" මම ඇයව සැනසුවා.
"අම්මට කෝල් කරලා කියන්නද?" ඈ ආයෙමත් අහනවා.
"ඕනෙ නෑ පැට්ටො. අමාරු වුනොත් කියන්න බැරියැ" මම කිව්වා
.

'අක්කට වැඩට යන්න පරක්කු වෙයි" මම කිව්වේ ඔරලෝසුව දිහා බලලා. වෙලාව හතහමාරයි.
"මම කතා කරලා කියනවා අද එන්න වෙන්නේ නෑ කියලා"
අක්කා කිව්වාම මට ඇය ගැන දැනුනේ ලොකු සෙනෙහසක්. අක්කා මට මගේම අක්කා කෙනෙක් වගේ.
"පුතේ, ලිවෙරා අන්කල්ට කතා කරලා බලමුද?" පුංචම්මා ඇහුවේ සැකෙන් වගේ.
අක්කයි, මමයි මූණෙන් මූණ බලා ගත්තෙ එකටම. මම ඇස් වලින් එපා කිව්වා.
"අනේ අම්මේ...එහෙම කියන්න පුළුවන්ද? ඒ අන්කල් වැඩට යන්න ලෑස්ති වෙනවා ඇති. ඕනෙ නෑ. අපි වෙන මොකක හරි යමු"
"අනේ ඔව් පුංචම්මේ" මමත් කිව්වා.
"ඊයේ නිදා ගත්තේ කීයටද?" පුංචම්ම එහාට මෙහාට වෙච්ච වෙලාවේ අක්කා ඇහුවේ රහසින් වගේ.
"මං දන්නේ නෑ අක්කේ"
"මම එකට විතර ඇහැරිලා බාත්‍ රූම් එකට යද්දිත් ඔයා ඇහැරලා. මොනාද ඔය හැටි හිත හිත ඉන්නේ? "
හොඳ වෙලාවට පුංචම්ම ආපහු ආව නිසා මට ඒකට උත්තර දෙන්න ඕන වුණේ නැහැ.
"එහෙනම් යමු, එන්න පුතේ"
පුංචම්ම බට්ටිත් එක්ක ඉස්සර වුණා.
අපි එලියට බහිද්දි, සුධර්මා ඇන්ටි එයාලගෙ ගෙදර ගේට්ටුව අරිනවා.
"ආ...කොහෙද මේ කට්ටියම උදේම යන්නේ?"
ඒ ඇන්ටි ඇහුවාම, මම ක්කගෙ අතින් අල්ලගෙන බිම බලාගෙනම හිටියා.
"මේ අපේ පැංචිට අසනීපයි, උණ. බෙහෙත් ගේන්න යන්න කියලා"
"ආ...ඇත්තද? කොහාටද යන්නේ? පයින්ම යනවද?"
"අපි හිතුවේ ඩොක්ටර් වීරසූරිය ලඟට යන්න. ත්‍රී වීල් එකක් එයිද කියලා තමා මේ බැලුවේ"
සුධර්මා ඇන්ටි අපි දිහා බැලුවා.
"ඉතිං අනේ ඔයා අපට කතා කරන්න එපැයි. සිරීට කිව්වා නම් යන ගමන් ගිහින් දාවි නේ වාහනේම"
"කමක් නෑ ඇන්ටි. අන්කලුත් වැඩට යන්න එපැයි" ඒ පාර අක්කා කිව්වා.
"පීස්සුද, ඒ වගේද හිතවත් අය? එන්නකෝ ගෙට ඔතන හිටගෙන නොයිඳ. ඔය දූට හිට ගෙන ඉන්න අමාරු ඇති නේ. සිරි දැන් කාලා ඉවර ඇති. වාහනේම යන්න."
පුංචම්මා අපි දිහා බැලුවා.
"එන්න ඉතිං" ඇන්ටි ආයෙම කතා කලා.
අපට කරන්න වෙන දෙයක් තිබ්බේ නැති නිසා අපි සේරම් අපූර්වගෙ ගෙදර ඇතුලට ගියා.
මම උන්නේ අසනීපේ මදිවත ලොකු අපහසුතාවයකටත් පත් වෙලා. ඇවිත් අපි සාලෙන් වාඩි වුණා.
"කෝ පුතා එහෙම? දැන් විභාගෙත් ඉවර නිසා ගෙදරට වෙලා ඇති නේද?"
පුංචම්මතත් කට පියා ගෙන ඉන්න බැරි හැටි.
"ගෙදර? එයා එක දවසක් ගෙදර හිටියොත් එදාට අනික් පැත්තෙන් ඉර පායයි. එක්සෑම් ඉවර වුණේ ඊයෙ, ඔන්න ගෙදර ඇවිත් ඒ පයින්ම ඔන්න කොහෙදෝ ගිහින් තෙමීගෙන ආවා හවස් වෙලා. රෑ වෙනකල් කම්පියුටරේ වැඩ. අද නම් තාම නිදිද කොහෙද. සිරිගේ හුරතලේ තමයි ඔය ළමයව නරක් කරන්නේ" එහෙම කියාගෙනම ඇන්ටි අන්කල් ව බලන්න ඇතුලට ගියා.
මම බයේ උන්නේ කොයි වෙලේ අපූර්ව මතු වෙයිද කියලා.
"මොකද මමා වෙලා තියෙන්නේ?" මගේ බය තහවුරු කරමින් අපූර්වගේ හඬ හුණා උඩ තට්ටුවෙන්. මම අක්කගේ අත තද කර්ලා අල්ලගත්තා. ඇන්ටි මොනවදෝ අපූර්ව කියනවා අපට ඇහුනේ අපැහැදිලිව. ඒ එක්කම වගේ අපූර්ව උඩ තට්ටුවෙන් එබුණා.
"ගුඩ් මෝනින්ග් ආන්ටි" අපූර්ව කිව්වේ පුංචම්මට.
"කෝ කවුද ලෙඩා?" අන්කලුත් එවෙලෙම වගේ එලියට ආවේ එහෙම අහගෙන.
"ආ මේ ජයේගේ ඩෝටර් නේ. මොකද වුණේ?"
මම හිනා වුනා. අපූර්ව පහලට බැහැලා ආවා.
"බෙහෙත් ගේන්න යන්නද?" අපූර්වත් ඇහුවා.
"ඔව් පුතේ. මේ ළමය උණ නේ"
මම උවමනාවෙන්ම අහක බලාගෙන හිටියා. මට දැනුනේ තව ටිකක් උණ ගත්තා වගේ.
"ඩැඩා වැඩට යන්නත් තියෙන නිසා, මම කා එකේ යන්නද මමා මේ ආන්ටිලා එක්කගෙන?"
අපූර්ව ඇහුවාම මම නොසන්සුන් වුණා. අපූර්ව හදන්නේ ආයෙම මාව අල්ලගන්න. මම අක්කගේ අත මිරිකුවා.
"ඔව් ඒත් කමක් නෑ. ඔයා නිකං නේ අද ගෙදර ඉන්නේ. එහෙම කමක් නැද්ද දීපා?" ඇන්ටි ඇහුවා.
"අනේ මන්දා, මෙහෙම කරදර කරන්න මට මොකක්ද වගේ" පුංචම්මා බෑ කීවෙත් නෑ.
"කමක් නෑ ආන්ටි, අපූර්ව දැන් ලෑස්ති වෙන්නත් එපැයි. අපි අන්කල් එක්කම යන්නම්" අක්ක කිව්වේ මම එයාගේ අත කැඩෙන තරම් තද කරගෙන උන්නු නිසා වෙන්න ඇති.
"නෑ, නෑ. මට එන්න වෙලා යන්නේ නෑ. ඩැඩා යන්න. මම මේ කට්ටියව ගිහින් දාන්නම්"
"එහෙනම් එහෙම කරමු" අන්කලුත් කිව්වාම ඒ වැඩේ තීන්දු වුණා.
"එහෙනම් පුතේ හැමෝම යන්න ඕනෙත් නෑනෙ. අපූත් ඉන්න නිසා ඔයයි, නංඟියි ගිහින් එන්න. මම ගෙදර වැඩ ටික ඉවර කර ගන්නම්. අස් කරන්නෙත් නැතුව මේ ආවේ" පුංචම්ම අන්තිම ටික කිව්වේ සුධර්මා ඇන්ටිට.
"අනේ මාත් යනවා" බට්ටි කන් කෙඳිරි ගෑවා.
"එක්ක යන්න පුතේ" පුංචම්මා කිව්වා.
අක්කා හෙමිහිට මගේ අතට තට්ටු කලේ මාව අස්වසන්න වගේ.
ගෙදර කොනක ගොද ගහලා තිබ්බ සැරසිලි ද්‍රව්‍ය ගොඩකුයි, නත්තල් ගහකුයි මම දැක්කෙ මෙවෙලේ.
"විසි පහ ක්‍රිස්මස් නේ. අද තමා සරසන්න වෙලාවක් ලැබුනේ. පුතාට විභාගේ ඉවරවෙනකල් හිටියේ"
අහන්නත් කලින් සුධර්මා ඇන්ටි පුංචම්මට කිව්වා.
"එදාට රෑට පාටි එකක් තියෙනවා. මම එන්නයි හිටියේ ආරාධනා කරන්න. ඔන්න දැන් ආපු නිසා මම ආරාධනා කරනවා. කට්ටිය ගොඩක් එන්නේ නෑ. සිරීගෙයි, පුතාගෙයි යාළුවෝ කීප දෙනෙකුයි, අපේ ලොකු අක්කගේ පවුලේ අයයි විතරයි. අනික අය සේරම ඉන්නේ පිටරට නේ"
ඇන්ටි ආයෙම කිව්වා.
අපූර්ව ලෑස්ති වෙලා පහලට ආවා.
"යමු"
අන්තිමට පුටුවෙන් නැගිට්ටේ මම. පුළුවන් තරම් අපූර්වගෙන් ඈත් වෙලා ඉන්න හිතුවත් අපි ලං වෙන දේවල් ම සිද්ධ වෙන්නේ ඇයි කියලා මම දැනං හිටියේ නැහැ. මේකෙන් වෙන්නේ තවත් හිත් රිදෙන එක විතරයි කියලා නම් මම නිසැකවම දැනගෙන හිටියා.
අපූර්වට තිබුණේ කලු පාට, කොරොල්ලා වන් සීරෝ වන් වර්ගයේ කාර් එකක්.අපූර්ව ඔහුගේ කාර් එක එලියට අරගෙන අපට දොර ඇරලා දුන්නා නගින්න. අපි තුන් දෙනාම නැග්ගේ පිටි පස්සෙන්.
"මට ඩ්‍රයිවර් වගේ යන්න බෑ. කවුරුහරි ඉස්සරහින් නගින්න. චූටි ඔයාවත් එන්න" අපූර්ව කිව්වේ බට්ටිට.
ඇය අපේ දිහා බැලුවා.
"කමක් නෑ පුතේ නගින්න" පුංච්ම්මා කිව්වාම ඈ ආපහු බැහැලා ගිහින් ඉස්සරහින් නැග්ගා.
"ලේක් සයිඩ් නේද යන්නේ?" අපූර්ව කාර් එක පාරට දාන ගමන් ඇහුවේ හර්ෂි අක්කාගෙන්.
"ඔව්. එහෙට යමු"
මම අක්කගේ උරහිසින් හිස තියා ගත්තේ ඉස්සරහ උඩ කණ්ණාඩියෙන් අපූර්ව මගේ දිහා බලන එක නවත්තගන්නයි. මම හිත විසිරෙන්න නොදි පාලනය කරගෙන ඉන්න උත්සාහ කලා.
'අප්පච්චි...අප්පච්චි...අප්පච්චි...' මම හිතින් මටම කියාගත්තේ ඒකයි. අප්පච්චි මතක් වුණාම මේ දේවල් වෙන්නේ නෑ කියන එක හිතට වටහලා දෙන්න ලේසියි.
"මම රිසිට් එක අරන් එන්නම්. ඔයාලා උඩට යන්න"
ඉස්පිරිතාලෙට අපිව දාපු අපූර්ව කිව්වා.
"මෙන්න සල්ලි" අක්ක දෙන්න උත්සාහ කලත් අපූර්ව යන්න ගියේ ඇහුනෙ නෑ වගේ.
දොස්තර එනකල් ඉන්න අතරේ අපූර්ව ඇවිත් මගේ එහා පැත්තෙන් වාඩි වුනා. මෙහා පැත්තේ හිටියේ බට්ටියි, අක්කයි.
"අයෑම් සොරි" අපූර්ව හෙමින් මට කිව්වා.
"ඒ මොකටද?" මමත් හෙමින් ඇහුවේ බට්ටිට නෑහෙන තරමට.
"ඔයා ලෙඩ වුණේ මම නිසයි"
"නෑ"
"නැත්තේ මොකද, ඊයේ තෙමුණ නිසා නෙ මෙහෙම වුණේ"
"ඒකට කමක් නෑ"
අපූර්ව සුසුමක් හෙලුවා බරටම. මම බලා උන්නේ කොයි වෙලේ දොස්තර අපට කතා කරවිද කියලා. උණ ගතිය නිසා මගේ හන්දිපත් පවා රිදෙමිනුයි තිබ්බේ.
"මගේ පොත ඔයා ලඟ. ඔයා ඒක කියෙව්වද?" ඔහු ඇහුවා.
"හ්ම්"
"මං එක්ක තරහද?"
මම උත්තරයක් දුන්නේ නැහැ. මට එහා පැත්තේ අක්කයි, බට්ටියි උන්නේ ලොකු කතාවක.
'මං එක්ක තරහ වෙන්න එපා" ඔහු කීවේ එච්චරයි.

බෙහෙත් අරන් යන අතරෙදි අපූර්වයි, බට්ටියි හොඳට මිතුරු වෙලා. අපූර්ව ඈට මගින් අයිස් ක්‍රීම් අරන් දුන්නේ අපි එපා කියද්දිමයි.
"බට්ටිගේ ඇත්ත නම මොකක්ද?" අපූර්ව අහනවා.
"නෙත්මා හසදරී, ඒ වුණාට මම නෙත්මා කියනවට ආස නෑ" බට්ටි  දොඩමලු වුණා.
"හරි, හරි, මම ඔයාත හසදරී කියන්නම් කෝ" අපූර්ව කිව්වා.
අපි ආපහු එනකල් පුංචම්මයි, සුධර්මා ඇන්ටියි දෙන්නම උන්නේ මග බලාගෙන.
"වෙලා ගියා නේද?" පුංචම්මා ඇහුවා.
"ඔව්. දොස්තර එන්න වෙලා ගියා" අක්ක කිව්වේ මට බහින්න උදව් කරන ගමන්.
"යන්නම් අපූ. තෑන්ක්ස්" අක්කා අපූර්වට කිව්වා. අපූර්ව බලාගෙන උන්නේ මං දිහා.
"යන්නම්" මම කිව්වා.
"ඉක්මණට සනීප වෙන්න"

උණ ගතිය අඩු වුණේ දවස් දෙකකට පස්සෙයි. අක්ක උදේ වැඩට යන්න ලෑස්ති වෙලා කාමරෙට ආවා.
"දැන් හොඳයි වගේද?"
"ඔව්. අද නම් ඊයෙට වඩා අඟට හොඳයි වගේ"
"ම්ම්. අන්න ඔයා බලන්න සුධර්මා ඇන්ටි ඇවිත්"
"මාව බලන්න?"
"ම්ම්. ඔයාට සුප්ද කොහෙද අරන් ඇවිත්"
"අපූර්වත් ඇවිත්ද?" මම ඇහුවේ බලාපොරොත්තුසගගතව ද නැත්නම් නොකැමත්තෙන්ද කියලා මටම හිතා ගන්න බැරි වුණා.
"අපූර්ව? නෑ. එයා මොකටද එන්නේ?" අක්ක එහෙම කියලා යන්න ගියා.
"පහලට එන්න"

"දූට දැන් හොඳයි වගේ නේද? මම මෙන්න ඔයාට ලෙන්ටිල් සුප් එකක් ගෙනාව. මේක ගුණයි" මම කුස්සියට ගියාම එහි හිටපු සුධර්මා ඇන්ටි කිව්වේ හිනා වෙලා.
"තෑන්ක් යූ ඇන්ටි. අපරාදෙ කරදර වුණේ"
"පිස්සුද, මොන කරදරයක්ද?"
ඇන්ටි අතක් වනලා කිව්වා.
මම මේසේ ලඟින් වාඩි වෙලා සුප් එක බොන්න පටන් ගත්තා.
"අපේ ජෙනී ගිහිං දැන් අවුරුදු පහක් වෙනවා.මෙහේ ආවෙම නෑනෙ. ලියුමක් වත් නෑ. මම නම් දැන් කළකිරිලා ඉන්නෙ අදීපා. එකම හෝප් එක පුතා තමයි. එයා වෙනුවෙන් තමයි දැන් මමයි, සිරීයි මහන්සි වෙන්නේ.මට මේ දූලා දක්කාම නම් ආසයි."
මම එද්දි කරමින් උන්නු කතාවක් ඇන්ති සම්පූර්ණ කළේ සුසුමක් හෙලලා.
"පුතා ගෙනෙයි හොඳ දුවෙක්" පුංචම්මා කියද්දි බිබී උන්නු සුප් උගුර හිර වුණා වගේ මට දැනුනා.
සුධර්මා ඇන්ටි හිනා වෙනවා.
"කවුද දන්නේ එයා මොන කැරොල් කරත්තයක් උස්සං එයිද කියලා?"
මගේ සුප් බීමේ ආසාව එතනින්ම ඉවර වුණා. මම ඇන්ටිගෙන් සමු අරන් හෙමිහිට කාමරෙට ආවේ කල්පනා කරමින්මයි. තමන්ගේ ළමයි ගැන දෙමාපියන්ගේ බලාපොරොත්තු කොච්චරද?ඒවා ඉටු කරන්න බැරි වෙන එක මහා අවාසනාවක්. මට අපූර්ව ගැන බය හිතුණා.අපූර්ව මම නිසා පිස්සු නැටුවොත් සුධර්මා ඇන්ටිගෙයි, අන්කල්ගෙයි බිඳෙන හිත් වලට වග කියන්න වෙන්න මට . ඉතිං එහෙම නොවෙන්න මම අපූර්වට ලං වෙන්න ඕන. එතකොට මගේ දෙමව්පියන්ට වග කියන්නත් ඕනෙ මම ම නේද? මේවා කොහෙන් කොහොම ඉවර වේවිද? මම අවිනිෂ්චිත අනාගතේ ගැන නොහිතා ඉන්න උත්සාහ කලා.

3 comments:

  1. නෙතු. බොහොම ස්තුතියි විභාගෙට පාඩම් කරන අතරේදී වුනත් කොහොම හරි අපිට කියවන්න ඔයාගේ හීනේ අකුරු කරන එකට.
    කතාව බොළදයි කියල කට්ටිය කිව්වත්, ඒ බොළද බව ඇතුලේ තියෙන්නේ ලස්සන අවංක ආදරයක්..
    ඒ අවංක බොළද ආදරය, ඔයා ලස්සනට හිතට වදින විදියට අකුරු කරලා තියෙනවා...
    විභාග කටයුතු වලදී ඔබට ජය ප්‍රර්ථනා කරනවා........

    ReplyDelete
  2. ගොඩක් ස්තුතියි...

    ReplyDelete
  3. kauda kiyanne boladai kiyala.........me kathawa sampoorna aththa.....akki kenekta adare karana eka waraddak nevei......mama hithanne...vayasa balala adare karanne na ne......anika e adare danenawath wadi........

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....