Friday, October 14, 2011

විසි හත් වන දිගහැරුම


"හිරු ගැන ආරoචියක් නැද්ද අමා?"
මම ඇහුවේ අපි දවල් කෑම ගන්න අතරේ. හිරුනි අනුරාධ අයියා එක්ක ගිහින් මාසෙකටත් ලං තිබුණා.
"ම්හු. මොනවත් නෑ. ගෙදර අයත් හොයන එක නතර කරලා මම හිතන්නේ"
අමා කිව්වේ කෑම කාලා ඉවර කරන ගමන්.
"පව්, මොනා කරනවද දන්නේ නෑ" මම කණගාටු වුණේ හිරු ඇත්තටම හොඳ මිතුරියක් වෙලා උන්නු නිසා.
"හ්ම්. ඒක තමයි. දැන් ඉතිං වුණ දේ වෙලා ඉවරයි. හිරුට දුක් විඳීන්න සිද්ධ වුණත් ඒක එයාගේ චොයිස් එක නේ. ඒක නෙවෙයි කොහොමද ඔයාගේ අලුත් නෑනා පොඩ්ඩ?"
අමා වෙන කතාවකට මුල පිරුවා.
"හරිම හොඳයි. මේ දවස් වල එයාට ටිකක් අමාරයි. දන්නවනේ වමනෙයි, කලන්තෙයි ඉවරයක් නෑ. පව්. අයියටත් නිවාඩුවක් නෑ. හැමදාම කොහේ හරි යනවා. පුංචම්මා ඉන්න නිසා හොඳයි" මම කිව්වා.
"ක්ලාස් එකත් තව මාසෙකින් ඉවර වෙනවා. ඔයා මොකද කරන්න හදන්නේ?" අමා ඒ පාර ඇහුවා.
"මම ඊලඟ කෝස් එකත් කරනවා. අප්පච්චි නම් කියන්නේ ටෝෆල් කරන්න කියලා. ඒත් මම කැමති නෑ අමා. ඕක කලාම මෙහෙන් යන එක ඉක්මණ් වෙන එකයි වෙන්නේ"
අමා මගේ දිහා බලාගෙන උන්නා.
"අපූව දාලා යන්න බෑ වගේද?"
"බෑ වගේ නෙවෙයි, බෑ තමා"
අමා හිනා වුණා.
"පේමතෝ ජායතී සෝකෝ කියන්නේ ඔය නිසා තමයි"
"බලමුකෝ මෙයා කවුරුහරි හොයා ගත්ත දවසට" මම කිව්වා.
"අපෝ මම නම් බඳින්නේ නෑ" අමා කිව්වා.
"ඔහොම කියන අය තමා ඉස්සෙල්ලම බඳින්නේ" මම අමාට ඔච්චම් කලා.
අමා හිනා වුණා.
"ඒකෙන් වැඩක් නෑ. ඔයා කාලා ඉවර නම් අපි ක්ලාස් එකට යමුද?"
"යමු එහෙනම්. කාලා ඉවරයි"
අපි දෙන්නා මැඩම් එන්න ඔන්න මෙන්න තියෙද්දි යන්තම් පංතියට යා ගත්තා.
එදා දවසේ පංතිය පැවැත්වුණේ උදේ වරුවේ විතරයි. ඒ නිසා එකොලහමාර විතර වෙද්දි මමයි, අමායි එලියට බැස්සා ගෙදර යන්න.
"අද අපූර්ව එනවද?" අමා ඇහුවේ අපි දලදා මාලිගාව ලඟට කිට්ටු වෙද්දි.
"ඔව්. පුරුදු තැන ඇති බලාගෙන" මම කිව්වා.
අපි දෙන්නම පිටතින් ඉඳගෙන මාලිගාවට වැඳලා, පාර පැනලා වැව රවුමට ගොඩ වුණා.
"ඔයා හිතනවද අපූර්ව මේ සම්බන්ධේ කරන්නේ ඇත්තටමයි කියලා?" අමා එක පාරටම අහද්දි මගේ හිත නොසන්සුන් වුණා.
"ඇයි ඔයා එහෙම අහන්නේ?"
"නෑ මම නිකං අහන්නේ. ඔයා ගෙදර, අප්පච්චි මේ සේරම අමතක කරලා, අපූර්වට ගොඩාක් ආදරේ කරලා අන්තිමට මොනා හරි වුණොත්?"
අමා ගැන සියුම් නොමනාපයක් ඇති වුණා මගේ හිතේ.
"නෑ. එහෙම වෙන්නේ නෑ. මට අපූර්ව හොඳටම විශ්වාසයි. එයා මට කොච්චර ආදරේද කියලා ඔයා දන්නේ නෑ අමා. එහෙම හිතන්නවත් එපා, ඔයාට පව් පිරෙයි"
මම කිව්වේ ටිකක් විතර ආවේගශීලීව.
"ඉතිං මම දන්නේ නෑනෙ ඇත්තතම එයා ගැන. අපට මිනිස්සු කාලා බලන්න බෑනෙ. පිටින්හොඳ වුණාට, ඇතුලාන්තෙන් නරක අය ඕන තරම් ඉන්නවානේ. ඒකයි මම ඇහුවේ"
"අපූර්ව එහෙම නෑ" මම ඉක්මණට කිව්වා.
"හයියෝ...සොරි සොරි. දැන් තරහා ගන්න එපා" අමා කිව්වාම මගේ හිත යන්තමට හරි ගියා. අමා මේ දේවල් අහන්නේ, කියන්නේ මගේ හොඳට බව මම දැනගෙන උන්නු නිසා.
"අපූර්ව නම් පේන්න නෑ. මම එහෙනම් යනවා මෙත්. දෙන්නම පරිස්සමෙන් යන්න. බායි"
අම්මා මගෙන් සමු ගෙන යන්න ගියා. මම වටපිට බැලුවා.
අපූර්ව පේන්න හිටියේ නැහැ. මම ෆෝන් එක අරන් ඔහුගේ නොම්මරේ එබුවා. ඒත් උත්තරයක් නෑ. කවදාවත් අපූර්ව මෙහෙම කරලා නැති නිසා මගේ හිතේ ඇති වුණේ අනියත බයක්. 'මොකක් වෙලා ඇතිද?'
මම එතන පැයකට වඩා හිටගෙන ඉන්න ඇති. අන්තිමට අපූර්ව මතු වුණා
පාරේ එහා පැත්තෙන්.
"ගොඩක් වෙලා බලාගෙන හිටියද?" පූර්ව ඇහුවේ හති දම දම.
"ටිකක්. ඔයා කොහෙද ගියේ, මේ හතිත් දාගෙන?" මම ඇහුවා.
"පොඩි ගමනක් යන්න වුණා හිතවත් කෙනෙක්ට උදව්වක් කරන්න. ඒකයි පරක්කු වුණේ"
"මට කියන්න බැරි ගමනක්ද?" මම ඇහුවාම අපූර්ව මා දිහා බලලා හිස වැනුවා.
"අනේ පිස්සි. මම ගියේ හොස්පිටල් එකකට, ලෙදෙක් අරන්. හරිද?"
"හරි හරි. එහෙනම් අපි යමුද?" මම ඇහුවා.
"ඔයා අව්වේ ඉඳලා මහන්සි ඇති නේ. අපි මොනා හරි බීලම් යමුද?"
"පරක්කු වෙන්න නම් බෑ අපූර්ව. පුංචම්මා දන්නවා අද ක්ලාස් ඉක්මණට ඉවරවෙන බව"
"අපි ඉක්මණට යමු"
අපි පුරුදු පරිදි ආවේ බේක් හවුස් අවන්හලට.
"දැන් අයියාගේ ප්‍රශ්ණේ විසඳිලාද?" අපූර්ව ඇහුවේ අපි අසුන්ගත්තට පස්සේ.
"තාම කොහෙද? ඒවා ඉවර වෙන ප්‍රශ්ණ නෙවෙයි අපූර්ව"
අපූර්ව කලපනාවකට වැටුණා.
"වෙලාවකට හිතෙනවා මම කලේ වැරැද්දක්දෝ කියලත්. අයියාගේ ප්‍රශ්ණේ මදිවට ඔයා අපේ අනාගතේ ගැනත් හිතලා හිත රිද්ද ගන්න බව මම දන්නවා. සමහරවිට අපි යාළු නොවී හිටියා නං--"
මම අපූර්ව දිහා බැලුවේ ඔහු කියපු දේ අදහා ගන්න බැරිව. ඔහුගේ වදන් හිර වුණා. මගේ ඇස් වලට කඳුලු පිරුණේ ඉබේටම. මම ඔහු දිහා බලාගෙන උන්නේ මූණ නපුරු කරගෙන.
"ඔයාට මාව එපා නම් කෙලින්ම කියන්න අපූර්ව..." මම කිව්වා.
අපූර්ව මගේ දිහා බලා උන්නේ වේදනාව මුසු වුණ පුදුමෙකින්.
"මම එහෙම කිව්වේ නෑනේ. මම කිව්වේ--"
අපූර්ව කියන්න හැදුවත් මම ඔහුට බාධා කලා.
"ඔයා හොඳටම දන්නවා මම සතුටින් ඉන්නේ ඔයා නිසා කියලා"
මගේ කඳුලු තවත් නවත්තගෙන ඉන්න මට බැරි වුණා. අපූර්ව නැගිටලා මගේ අසලම තිබුණ පුටුවට ආවා. මම බිම බලාඅගත්තේ කවුරුවත් දකීවි කියලා මං අඬන බව.
"අනේ අඬන්න එපා ප්ලීස්. මම ඔයාගේ හිත රිද්දන්න හිතලා කිව්වා නෙවෙයි. අනේ මට සමාවෙන්න මෙත්මා. ඔහොම අඬලා මාව පව්කාරයෙක් කරන්න එපා" අපූර්ව මා දිහාට නැමිලා ආයාචනා කලා.
ඒත් මම හිතුවක්කාරකමට ඔහු දිහා නොබලම හිටියා.
"ඔය හැටි නපුරු වෙන්න එපා. මම එහෙම කිව්වේ මම ඔයාව නිරපරාදේ දුක් ගොඩකට ඇදලා දැම්මා කියලා මට හිතුණ නිසයි. නැතුව ඔයාව එපා වෙලා නෙවෙයි. ඔයා වැරදියටයි හිතාගෙන ඉන්නේ..."
ඔහු ආයෙමත් කිව්වාම මම ඔහු දිහා බැලුව යන්තම් හිස උස්සලා.
අපූර්වගේ ඇස් වල තිබ්බ අයාචනාතමක බැල්ම දැක්කාම මට ඔහු ගැන දුක හිතුණා.
"ආයේ වැරදිලාවත් එහෙම කියන්න එපා අපූර්ව" මම හෙමින් කිව්වා.
එතකොටම වගේ අපි අතරට වේටර්වරයෙක් ආවේ ලස්සන කේක් ගෙඩියකුත් අරගෙන. ඔහු ඒක අපි උන්න මේසේ මැදින් තිබ්බාම අපි දෙන්නම පුදුමෙන් මූණෙන් මූණ බලා ගත්තා.
"මම කේක් එකක් ඕර්ඩර් කලේ නෑනෙ"
"මේක එව්වේ සර් ගේ යාළුවෙක්. මෙනි හැපි රිටර්න්ස් ඔෆ් ද ඩේ සර්"
ඔහු කිව්වේ රිබන් පටියක් බැඳපු පිහියකුත් ඒ අසලින් තියන ගමන්. මම උන්නේ හොඳටම පුදුම වෙලා. අපූර්වත් වට පිට බැලුවා. එතකොටම වගේ එතැනට එක පාරටම මහා සෙනග කන්දරාවක් කඩා පාත් වුණා. 'යෂිෂ් පෙරටු කර ගත්ත කොලු රෑනක්?'
"ආ...මස්සිනා තනියෙම සෙලිබ්‍රේට් කරන්න වගේ නේ? සේරම අපිව වට කරගනිද්දි ඔවුන් අතර උන්නු කෙනෙක් ඇහුවා.
"මේ මේ....සත්තු වගේ හැසිරෙන්නේ නැතුව ඔන්න ඔය කොහෙන් කොහෙන් හරි ඉඳගනිල්ලා"
අපූර්ව බලාපොරොත්තු නූණ කරදරයෙන් කලබල වෙලයි උන්නේ. ඒ ගමන සේරම ලඟ පාත තිබ්බ මේස අසලින් වාඩි වුණා. යෂිෂ් එක්ක තව එක්කෙනෙක් අපි උන්නු මේසෙන්ම වාඩි වුණා.
"මදෑ නිදහසේ කතා කරන්න ආවා. උඹලා එක්ක අපායට වත් යන්න බෑනෙ"
අපූර්ව බොරු අමනාපෙකින් යෂිෂ් දිහා බැලුවා, මම හිටියේ කර ගන්න දෙයක් නැතිව.
"ඉක්මණට කේක් එක කපලා අපටත් දීපන්. ඊට පස්සේ දෙන්නා ඕන දෙයක් කර ගන්න එකයි"
මම අපූර්ව දිහා බැලුවා.
"මෙත්මා ආස්ක් හිම් ටු කට් ද කේක්"
"හරි හරි. කපන්නම්. කපන්නම්. හැබැයි ඉතිං මෙතන ඉන්න සෙනග හැටියට පරමාණුවක් තරම් වත් කෑවොත් ඇති"
"මේ උඹ කපනවද, අපි කපන්නද?" වෙන මේසෙක හිටපු කොල්ලෙක් කෑ ගැහුවා.
අපූර්ව පිහිය අතට අරන් කේක් එක කපන්න ලෑස්ති වුණා.
"හැපි බර්ත්ඩේ ටු යූ.."කොල්ලෝ රැලම තාලෙට කියන්න ගත්තා කේක් එක කැපෙද්දි. මං බැලුවේ යෂිෂ් දිහා.
"ගණං ගන්න එපා. අපේ එවුන් හැම එකටම කියන්නේ ඕක තමා"
ඔහු පැහැදිලි කලාම මට හිනා නොවී ඉන්න බැරි වුණා.
"මුලින මෙත්මට..." යෂිෂ් කිව්වාම මට දැනුනේ සියුම් ලැජ්ජාවක්.
"අනේ අනේ යෂිෂ්ට කවන්න. මට එපා"
"එහෙම බෑ. මුලින්ම ඔයාට" අපූර්වත් ඒ අයගේ පැත්තේ.
මට කරන්න දෙයක් තිබුණේ නැහැ. ඒත් පස්සේ මට හිතුණා ඒ කෑල්ල හරි කාපු එකත් ලොකු දෙයක් කියලා. මොකද ඊට පස්සේ තප්පරයක් දෙකක් යද්දි එතන කේක් ගෙඩියක් තිබ්බද කියලවත් හොයා ගන්න ඉඩ නොතියා කොල්ලෝ රෑන ඒකට වග කියලා ඉවරයි. මට මතක් වුණේ අපේ උසස් පෙල පංතිය. අපිත් ඒ කාලේ එහෙමයි. බත් ගෙඩියකට පොර කාලා යන්තම් එක කටක් විතර කාගන්න පුළුවන්.
"එහෙනම් පුතේ අපි යනවා. හෙට මතකයි නේ. කේක් එක අපේ ගානේ. ඩ්‍රින්ක්ස් වලටත් ගෙවලා තියෙන්නේ. හැමදාම ඉතිං ලවර්ස් ලා නේ ට්‍රීට් එක දෙන්නේ. ඔන්න අපි සම්ප්‍රදායෙන් පිට පැනලා උඹලට ට්‍රීට් එකක් දුන්නා. උම්ඹලත් ඉතිං සම්ප්‍රදායෙන් පිට පැනලා නේ ඉන්නේ" යෂිෂ් අන්තිම ටික කිව්වේ අපට ලං වෙලා.
මගේ හිත ටිකක සැලුණා. අපූර්වටත් ඒක තේරෙන්න ඇති.
"ඔන්න ඔන්න ඉතිං ඔය අනවශ්‍ය කතා ඕන නෑනෙ. අනික මේ ලෝකෙ එහෙම කරපු පලවෙනියෝ නීවෙයි නේ අපි. එනිවේ මචං තෑන්ක්ස් අ ලොට්. සී යූ ටුමෝරෝ දෙන්"
අපූර්ව යෂිෂ්ට අතක් දික් කරලා කිව්වා.
"නෝ ප්‍රොබ්ලම් මචං. සෝ ලෝන්ග් දෙන්. බායි මෙත්මා"
සේරම් කට්ටිය අපි උන්නු තැනින් පිට වෙලා ගියාට පස්සේ මට දැනුනේ වැස්සක් වැහැලා පෑව්වා වගේ. මම දිග සුසුමක් හෙලලා අපූර්ව දිහාට හැරුණා.
"අප්පෝ ඇති යන්තම් දස මාර සේනාව ගියා" ඔහුත් කිව්වේ සැනසුම් සුසුමක් හෙලලා.
මම අතේ තිබ්බ ඔරලෝසුවට එබුණා.
"එකහමාරයි අපූර්ව"
"යන්න ඕනද?"
"යන්න එපැයි. නැත්තම් පුංචම්මා බලයි මොකෝ කියලා"
"ෂික්...දෝස් මෝරොන්ස් රුයින්ඩ් මයි ඩේ. ප්ලීස් තව චුට්ටක් ඉමු"
අපූර්ව බැගෑපත් වෙලා ඉල්ලුවා.
"එහෙනම් එකයි හතලිස් පහ වෙනකල් ඉමු. ඊට වඩා නම් තප්පරයක් වත් බෑ හැබැයි"
අපූර්ව මගේ දිහා බලාගෙන උන්නා හිස ඇල කර ගෙන.
"ඔයා මගේ ලඟ ඉද්දි වෙලාව යනවා තේරෙන්නේ නැහැ. ලඟ නැති වෙලාවට වෙලාව යන්නේ හරි හෙමින් කියලා හිතෙනවා. ඔයා හැමදාම මගේ ලඟ ඉන්නවානම් කොච්චර හොඳද?" අපූර්ව කිව්වා.
"හ්ම්. මටත් එහෙම හිතෙනවා හුඟ වෙලාවට"
අපූර්ව මා දිහා බලාගෙන උන්නේ ආදරේ පිටාර ගලන ඇස් දෙකින්. හැමදාම වගේ ඒ බැල්ම දරා ගන්න බැරි තැන මම මේසේ උඩ ඉතිරි වෙලා තිබුණ චෙරි නටුවක් මත ඇස් රැඳෙව්වා.
"දන්නවද, මට පහුගිය දවස් වල බය හිතුණා ඔයා මට කවදාවත් කැමති වෙන්නේ නැති වෙයි කියලා. ඉන් එහාට මොකද කරන්නේ කියලා මට හිතා ගන්න බැරිවයි හිටියේ"
අපූර්ව කියනවා.
"මම අකමැතිම වුණා නම්?" මම ඇහුවා.
"දන්නෑ මම මොනවා කරයිද කියලා. සමහරවිට කාලයක් තනියෙම්ම ඉඳීවි"
"බොරු කියන්න එපා"
මම කිව්වා අඟිලි වලින් මේසය මත ඉරි අඳින ගමන්. ඔහු එක පාරටම මගේ ඇඟිලි ටික අල්ලාගත්තා. මට  ඔහු දිහා බැලුණා.
"මගේ ආදරේ ගැන මම කවදාවත් ඔයාට බොරු කියලත් නෑ, කියන්නෙත් නෑ, බොරුවක් කරන්නෙත් නෑ. ඒක  ඔයා දැන ගන්න ඕන" අපූර්ව කිව්වේ බැරෑරුම්ව.
මම අපූර්වගේ කතා කරන ඇස් වලට එබුණා.
"මට ඔයාව විශ්වාසයි අපූර්ව"
මම හෙමින් කිව්වා ඔහුගේ අත උඩින් මගේ අනික් අත තියන ගමන්.
අපි ටික වෙලාවක් එහෙමම බලාගෙන ඉන්න ඇති.
"අපි යමු" මම ඇහුවේ ඒ ඇස් වලින් මිදෙන ගමන්.
අපූර්වගේ මූණ ඇඹුල් වුණා.
මම හිතුවා ඔය හොඳ දෙයක් කියන්න යන්නෙ කියලා"
මට හිනා පහල වුණා.
"ඉතිං මම නරක දෙයක් කිව්වයැ?"
අපූර්ව මගේ අත මිරිකලා ඔරලෝසුව දිහා බැලුවා.
"වන් ෆිෆ්ටි. එහෙනම් යමු නේද. බස් එකේ තමා යන්න වෙන්නේ"
"ඒකට කමක් නෑ"
"ටොරිංටන් යමු" බේක් හවුස් එකෙන් එලියට බහිද්දි මම අපූර්වට කිව්වා. අපූර්ව හිස වනලා එකඟ වුණේ පොඩි එකෙක් වගේ.
අපූර්ව දිහා බලද්දි මට හිතුනේ අපූර්ව මට වඩා කොච්චර උසද කියලා. අපූර්ව අඩි හයක් විතර උසයි. මම අඩි උස සෙරෙප්පු දාලා හිටි නිසා යන්තම් අපූර්වගේ උරහිස ගාවට හිටියා. මට හිතුණා ඔහුගේ අතේ එල්ලිලා දඟකාරකමක් කරන්න. ඒත් එහෙම කරන්නේ කොහොමද මේ සෙනග ගොඩ මැද?
"කොහෙද අපි ඉඳගන්නේ මංගල පෝරුවෙද?" අපූර්ව බස් එකට නැගලා ඇහුවාම මම උඩ බිම බැලුවා.
"කොහේ?"
"අයියෝ ඔයාගේ සාමාන්‍ය දැනීම...මංගල පෝරුව කියන්නේ බස් එකේ පිටිමපස්සේ සීට් එකේ මුල්ල නේ"
මම හිනාවුණා.
"එහෙම කියන්න එපැයි. අපි කියන්නේ පෙම් මුල්ල කියලා. ඒත් ඔය එක එක මුලු වල වාඩි වෙන්න මට බෑ. මෙහෙන් ඉඳගමු"
අපි මැද හරියේ අසුනකට බර වුණා.
"ත්තටම මොකද මේ ගෑනු උදවිය හුඟක් ජනෙල් අයිනම හොයන්නේ බස් වලට නැග්ගාම?" අපූර්ව මගෙන් අහනවා. ඔහුටත් තියෙන්නේ පුදුම ප්‍රශ්ණ.
"ඔය අයිනේ හිටියම කරදරයි නේ. මිනිස්සු ඇඟට එනවයි, හිර කරනවයි"
"ඉතිං අපි හිර වෙන්නේ නැද්ද?"
"ඔයාලා හිර වෙන්නෙ නෑනෙ"
"ඇයි?"
"ගොඩක් ගෑනු අය බලන්නේ කාගෙවත් අඟේ නොගෑවී යන්න. ගොඩක් පිරිමි අය ඟට එන්නේ ගෑනු අය හිටියොත් නේ"
අපූර්ව කත් ඇරගෙන බලාගෙන ඉඳලා හයියෙන්ම වගේ හිනා වුණා.
"ඔයාටත් පේන දේදවල් ඈ? හැමදාම බස් වල ගිය අපි වත් දෙන්නේ නෑ"
"ඔයාලා ඉතිං බස් වල ගියාට හිත තියෙන්නේ වෙන වෙන දිහාවල නේ. ඔවා කොහේ පේන්නද?"
අපෝ අපෝ ඔය ඇති. නැත්තම් ආයෙමත් ඔයා මා එක්ක තරහ වෙලයි නවතින්නේ"
මම මුකුත් නොකියා ජනේලෙන් පිටත බලා ගත්තා.
අපි බස් එකෙන් බැහැලා එද්දි හීනි පොද වැස්සක් වැතෙන්න ගත්තා. මම යි අපූර්වයි කුඩේ දිගඇර ගත්තා.
"මම අද ඔයාව ඇඬෙව්වා නේද?" අපූර්ව ඇහුවා.
"ඒකට කමක් නෑ අපූර්ව.මට ඒක අමතකත් වෙලයි හිටියේ. ඒ නැතත් ඉදිරියට මට කොච්චර අඬන්න වේවිද කියලා කවුද දන්නේ? " මම එහෙම කිව්වේ වැඩිය නොහිතා.
අපූර්ව මගේ බාහුවකින් අල්ලලා නතර කර ගත්තා.
"ඔහොම දෙවල් කියන්න එපා. ඔයා හිතන්නේ මම ඔයාව ආයෙම අඬවයි කියලද?"
"නෑ. එහෙම හිතලා කිව්වා නෙවෙයි. ඒත් අපට හැමදාම මෙහෙම හිනා වෙලාම ඉන්න බෑනෙ"
අපූර්ව මූණ අඳුරු කර ගත්තා. අපි ආයෙමත් යන්න පටන් ගත්තා.
"අනාගතේ ගැන හිතලා දැන්ම හිත කරදර කර ගන්න මම ආස නෑ මෙත්මා. මට ඕන පුළුවන් තරම් කල් ඔයා එක්ක සතුටින් ඉන්න විතරයි. මම අපට එන ප්‍රශ්ණ ගැන නොහිතනවා නෙවෙයි. ඒත් තනියෙම හිතනවා මිස ඔයා එක්ක ඉද්දි ඕවා කතා කරලා අපි සතුටින් ඉන්න කාලේ නාස්ති කර ගන්න මට ලෝබයි" අපූර්ව කිව්වේ හැඟීම්බරව.
මම ඔහු දිහා බැලුවා.
"අපූර්ව හදිසියේ වත් අපට එකතු වෙන්න බැරි වුණත් ඔයා මාව අමතක කරන්නේ නෑ නේද?"
අපූර්ව මගේ දිහා බැලුවේ දුකෙන් වගේ.
'ඇයි ඔහොම අහන්නේ?"
"මට කියන්නකෝ"
"එහෙම වෙන්න නම් එක්කෝ මගේ මතකේ නැති වෙන්න ඕන, නැත්තම් මම මැරෙන්න ඕන"
ඔහු කිව්වාම මට හීල්ලුනා.
"අපූර්ව..."
"ඔයාට හිතාගන්නවත් බැරි තරම් මං ඔයාට ආදරෙයි"
අපූර්ව කිව්වා.
"කොච්චරක්ද?" මම දඟකාර විදියට ඇහුවේ අපූර්ව හිනා ගස්සන්න.
"ග්‍රෑම් වලින්ද, මිලිලීටර් වලින්ද ඕන?" අපූර්ව ඇහුවේ යන්තම් හිනා වෙලා.
"ඔයා ඕන විදියකට කියන්නකෝ"
"ග්‍රෑම් එකයි එහෙනම්" අපූර්ව කිව්වාම මට හිනා ගියා හොඳටෝම.
"අප්පෝ ඒ මදි"
අපූර්ව ආයෙම මාව නතර කර ගත්තා.
"ඔයා මට කොච්චර ආදරේ?" ඔහු මගෙන් ඇහුවා.
"ආත්ම ගානක් කිර කිර මැන මැන හිටියත් ඉවර නොවෙන තරම්" මම ඔහුගේ ඇස් දිහා බලා කිව්වා.
ආයෙමත් අර ආදරනීය බැල්මෙන් ඔහු මගේ දිහා බලාගෙන උන්නා. මම බිම බලා ගත්තා හිනා වෙලා. ඊලඟට ඔහු හෙමිහිට නැවිලා මගේ කම්මුලේ පුංචි හාදුවක් තැවරුවා. මගේ හදවත මොහොතකට නවතීන්න ඇති. හිත ගිනියම් වෙලා උගුර පිච්චිගෙන යන්වා වගේ මට දැනුනා.
"බය වුණාද?" අපූර්ව් නැවිලා අහුවේ රහසින්.
"බය නොවී? කවුරු හරි ආවානං?" මම කිව්වේ ඇස් දෙක ලොකු කරගෙන.
අපූර්ව හිනා වුනා විතරයි.
"වැස්ස තද කරන්න කලින් ගෙදර දුවන්න" ඊට පස්සේ අපූර්ව මට කිව්වා.
"ගිහිං එන්නම් එහෙනං. හෙට එනවා නේද?"
අපූර්ව 'ඔව්' කිව්වේ ඇස් වලින්.
එවෙලේ මට අපූර්ව දාලා යන්න බෑ වගේ හැඟිමක් දැනුනා. මම ගේට්ටුව ලඟට ඇවිත් ආයෙම හැරිලා බැලුවේ ඒකයි. අපූර්ව පොද වැස්සෙම හිට ගෙන බලාගෙන උන්නා. හිත තිබුණේ අමුතු වෙලා. සතුටකට වඩා හිතේ තිබුණේ දුකක්. මෙච්චර දේවල් වලින් පස්සේ අපට අපි නැති වුනොත් මට ඒක කොහොමටවත් දරා ගන්න බැරි වෙයි නේද කියලා මට නිකමට හිතුණා.

Thursday, October 13, 2011

විසි හය වෙනි දිගහැරුම


"පැංචි එහෙනම් මම ගිහිං එන්නම්"
අයියා සෙනසුරාදා උදේ කොලඹ යන්න ලෑස්ති වුණා. මම අයියා දිහා බැලුවේ ඇස් දෙකේ කඳුලු පුරෝගෙන.හැමදේම වගේ නැති වුණාට පස්සේ අයියා අසරණ වෙලා උන්නු හැටි දැක්කාම මගේ හිත වාවන්නේ නැතිව ගියා. අයියා මගේ නලල ඉම්බා. අපර්ණා නම් හොඳටම ඇඬුවා. හිත පාලනය කරගෙන හිටියේ අක්කයි, පුංචම්මයි විතරයි.
"අපර්ණාව බලා ගන්න. මම දවස් දෙක තුනකින් එනවා. කොලඹ වැඩ ඉවර වුණ ගමන්ම එන්නම්. අඬන්න එපා අපර්ණා, මම කෝල් කරන්නම්" අයියා කිව්වේ අපර්ණාගේ මූණ දෝතින්ම අල්ලගෙන.
උදේ හය වුණත් තවමත් එලිය වැටිලා තිබුණේ නැහැ. අයියා මද අඳුරෙම එලියට බැහැලා යන හැටි මම බලාගෙන උන්නේ අපර්ණා අක්කවත් වාරු කරගෙනමයි. මට මතක් වුණේ අපි ඉස්සර ගෙදර උන්නු විදිහ. අප්පච්චි සැර වුණත් අපි කොච්චර සතුටින් හිටියද? අයියා වුණත් හිටියේ මොන තරම් සැහැල්ලුවෙන්ද? ඒ සේරම හොරු අරං ගියා වගේ. මට ආයෙම ගෙදර මතක් වුණා. අපට නොකිව්වට එහේ මොනවා වෙලා ඇතිද?
"අම්මේ...මේ මම"
අම්මාගේ ෆෝන් එක යන්තම් වැඩ කරනවා.
"පැංචි...කොහොමද?"
"හොඳයි අම්මා. මම දවස් කීයක් නං ගන්න හැදුවද? මොකද වෙලා තිබ්බේ?"
අම්මා සුසුමක් හෙලනවා මට ඇහුණා.
" මේ දවස් වල වැඩ වැඩියි පුතේ. අප්පච්චිත් ඉන්නේ හිත හොඳකින් නෙවෙයි මේ අයියගේ වැඩ නිසා. අයියා ඔහේ ආවද?"
අම්මා ඇහුවා.
"නෑ. ඇයි අම්මා?" මම බොරුවක් කිව්වේ හැමෝම බේරන්න ඕන නිසා.
"නෑ. මුකුත් නෑ. ඔයා ගෙදර ආපු දවසක විස්තර කතා කරන්න බැරියැ. මම මේ ක්ලාස් එකේ ඉන්නේ. පස්සේ ගන්නම් ආයේ"
අම්මා මට මුකුත් කියන්නේ නැහැ. සමහරවිට මම කලබල වේවි කියලා වෙන්න ඇති. මට අම්මා ගැන දුකකුත්, ලොකු ආදරයකුත් දැනුනා.
"අම්මා හොඳින් නේද?"
"ඔව්.අනික් අයත් සේරම හොඳින්. ඔයා මෙහේ දෙවල් ගැන බය වෙන්න ඕන නෑ. ඉගෙනීමේ වැඩ කරගන්නකෝ හොඳින්. තියන්නම් පුතේ. පුංචම්මලා මතක් කලා කියන්න. බුදු සරනයි"
අම්මා  ෆෝන් එක තිබ්බා.
සමහරවිට ගෙදර ඒ තරම් ලොකු ප්‍රශ්ණයක් නැතුව ඇති කියලා මට හිතුණා. ලොකු දෙයක් වුණා නම් අම්මා පුංචම්මට නොකියා ඉන්නේ නෑ. මම එහෙම හිතලා හිත හදා ගන්න උත්සාහ කලා.   
හවස හය වෙද්දි අපි සේරම ලෑස්ති වුණා නාට්‍යය බලන්න යන්න. මම ඇඳගත්තේ මම ආසම කරපු, අප්පච්චි පිටරටකින් ගෙනැල්ලා දීපු සුදු පාට රැලි ගවුමක්.
"ෂා...ඔයා අද හරිම ලස්සනයි නේ. හරියට ඉද්ද මලක් වගේ" එහෙම කිව්වේ හර්ෂි අක්කා.
"අනේ බොරු"
"නෑ, නෑ, ඇත්තටම ලස්සනයි තමා" අපර්ණාත් කිව්වා.
මම ලැජ්ජාවෙන් හිනා වුණා.
"සුධර්මා මෙන්න කට්ටිය ඇවිත්"
අපි අපූර්වලගේ ගෙදර යද්දි අන්කල් විතරක් ලෑස්ති වෙලා සාලේ හිටගෙන උන්නා.
"ආ...එන්න එන්න. අපි ලෑස්ති වෙලා ඉවරයි. පුතා...කම් සූන් විල් යූ"
සුධර්මා ඇන්ටිත් සාලෙට ආවා. අපට ඇහුණා අපූර්වත් පඩිපෙල බැහැගෙන එන හඬ.
අපූර්වගේ ඇස් සාලේ පුරාම දුවලා ඇවිත් නතර වුණේ මගේ ලඟ. මම බිම බලා ගත්තා.
"ජනගහනය වැඩි නිසා, මම දීපාවයි, මගේ කෙල්ලවයි අරං මගේ වාහනේ යන්නම්. පුතා අනික් කෙල්ලෝ තුන් දෙනා අරන් එනවද කාර් එකේ?"
අන්කල් අපි දිහා බලලා කිව්වම සේරටම හිනා ගියා.
"හා ඩැඩා"
කාර් එකට නගිද්දි මම උත්සාහ කලේ අපර්ණත් එක්ක පිටිපස්සෙන් නගින්න.
"මේ, මේ, මට නම් බෑ අනුන්ගේ තැන් වල ඉඳ ගන්න. යනවා ගිහිං නගිනවා" හර්ෂි අක්කා හෙමින් කියලා මාව තල්ලු කලා. මම බය වුණේ අපර්ණා  දැන ගත්තොත් අනිවාර්යෙන්ම අයියත් දැන ගන්න නිසා අපි ගැන. ඒත් අපර්ණාට ගාණක් නෑ වගේ කියලා මට හිතුණා. අපි සේරම නැග්ගට පස්සේ අපූර්ව වාහනේ පාරට දැම්මේ, ලිවේරා අන්කල්ගේ වාහනේට පිටිපස්සෙන්.
අක්කලා දෙන්නම උන්නු නිසා අපූර්වට මට මුකුත් කියන්න වුණේ නැහැ. අපි අපූර්වගේ ඉස්කෝලේ ලඟ බහිද්දි එතනට සෙනග ගොඩක් ඇවිත් හිටියා. අපූර්වගේ යාළුවෝ අඩියෙන් අඩියට හිටපු නිසා තැන් කීපෙකම නවතින්න අපට සිද්ධ වුණා. අන්තිමට කොහොමහරි අපි පුංචම්මලාවත් හොයාගෙන ශාලාව ඇතුලට ගියා. එක පෙලට සීට් හතක් තියෙන තැනක් හොයා ගන්න බැරි වුණ නිසා අපට වාඩි වෙන්න වුණේ වෙන වෙනම. වයසක තුන් දෙනා එකට, අපර්ණායි, හර්ෂි අක්කයි එකට. ඒ දෙන්නා උන්නු තැන මටත් ඉඩ තිබුණත් අපූර්ව නිසා මට සිද්ධ වුණා වෙන තැනකට යන්න.
"මම ආවට මට මොකක්ද වගේ අපූර්ව. අපර්ණා අක්කා මොනවත් හිතයිද දන්නේ නෑ" මම කිව්වේ අපූර්ව ලඟින් ඉඳගන්න ගමන්.
"ඒක එවෙලෙට බලමුකෝ හනී. දැන් අපි නාට්‍යය බලමු" අපූර්ව කිව්වේ පුටුවේ හරි බරි ගැහෙන ගමන්.
"හනී?" මම ඇහුවේ ඔහුගෙන් ටිකක් ඈත් වෙලා.
"ඔව්. ඔයා මගේ හනී බනී නේ"
"ඒ කිව්වේ මම පැණි හාවාද?"
"ඔව්. හනී බනී"
මම හිනා වුණා. අපූර්වට පිස්සු!
ටිකකින් නාට්‍යය පටන් ගත්තා. ඒක නිර්මාණය වෙලා තිබුණේ ඉන්දියාවේ හබීබ් තන්වීර් කියන නාට්‍යකරුවගේ නාට්‍යයක් ඇසුරින්,චරන්දාස් කියලා හොරෙක් ගැන. පටන් ගැන්මේ ඉඳලම ඒ නාට්‍යය හරිම විනොදජනකයි. හැම වෙලේම හිනා යන්න මොකක් හරි තිබුණා. ඒ සේරම අස්සේ අපූර්ව හෙමිහිට අත අරන් මගේ ඇඟිලි  වලින් අල්ලගත්තා. මට නාට්‍යය අමතක වෙලා බැලුනේ ඔහු දිහා.
"ඇයි?" ඔහු ඇහුවේ මා දිහා නොබලාම.
මම අත ඇදගන්න උත්සාහ කලා. ඒත් ඔහු හයියෙන්ම අල්ලගෙනම හිටියා.
"අත අතාරින්නකෝ" මම ඔහුගේ කනට කරලා කිව්වා.
"අල්ලගත්තේ අතාරින්න නෙවෙයි"
"අනේ..."
මම බැගෑපත් වුණාම අපූර්ව කෙලින්ම මගේ ඇස් දෙක දිහා බැලුවා. මද අඳුරේ මට ඔහුගේ ඇස් පෙනුනේ යාන්තමට. ඒත් ඒ බැල්ම හැමදාම වගේ මගේ හිත සසැලුවා.
"එහෙනම් අතාරින්නද?"
මම ඒ ඇස් දිහා බලාගෙන උන්නා ටික වෙලාවක්.
"එපා"
අපූර්ව හිනාවුණා.
"ඔයා අද ලස්සනයි. හරියට ඒන්ජල් කෙනෙක් වගේ" ඊට පස්සේ ඔහු කිව්වේ මගේ අත දෝතින්ම අල්ලගෙන.
"ඇත්තටමද?"
"ඇත්තටම"
මට ඇත්තටම ඕන වුණා අපූර්ව වෙනුවෙන් ලස්සනට සැරසිලා එන්න.
ඊට පස්සේ අපි කතා නොකරපු තරම්. නාට්‍යය හරිම විනොද ජනක එකක් නිසා වැඩිපුරම මම කලේ හිනාවෙන එක. හිනා වෙලා හිනා වෙලා ඇස් වලින් කඳුලුත් ආවා. ඒ නාට්‍යය නම් ගොඩක් හොඳ නිර්මාණයක් කියලා මට හිතුණා. ඒ අතරේ අපූර්වගේ අතේ උණ්Uසුම මගේ අතට දැනෙද්දි හිතට දැනුනේ කියාගන්න බැරි සොඳුරු හැඟීමක්.
"ඔයා ගෙදරට කතා කලාද?" අපූර්ව ඇහුවේ නාට්‍යය බලන අතරතුරේමයි.
"ඔව්. ඒත් අම්මා මට මොනවත් කියන්නේ නෑ. අපර්ණා අක්කා නිසා අයියා ආපු වග මට කියන්නත් බෑ"
"එහෙමද? ඔයා ඒ ගැන දුකින් ඉන්න වග මම දන්නවා. මට මොනාද ඔයා වෙනුවෙන් කරන්න පුලුවන්?"
අපූර්ව එහෙම ඇහුවාම ඔහු ගැන තිබුණ සෙනෙහස මට දෙගුණ වෙලා දැනුනා.
"ඒ ගැන කාටවත් මුකුත් කරන්න බෑ අපූර්ව. ඒත් ඔයා මගේ ලඟින් ඉද්දි මට මේ දේවල් දරා ගන්න ලේසියි. ඔයත් නොහිටියා නම් මට පිස්සු හැදෙයි. මාව සතුටින් තියන්නේ ඔයා අපූර්ව"
මම කිව්වාම අපූර්ව මගේ අත මිරික ගත්තා.
"හදිසියේවත් ඔයාගේ අප්පච්චි මට අකමැතිම වුනොත්, ඔයා මොකද කරන්නේ?"
අපූර්ව ඇහුවේ මට කවදාවත් උත්තරයක් හිතන්න බැරි ප්‍රශ්ණයක්.
"ම්" අපූර්ව ආයෙම අහනවා.
"මම දන්නේ නෑ ඇත්තටම. ඒ වෙලාවට හිතෙන දෙයක් කරයි. මට අප්පච්චිට අකීකරු වෙන්න බෑ. මට ඔයා නැති ජීවිතයක් ගැන හිතන්නත් බෑ"
මම කිව්වා.
"මං දන්නවා ඒක. මටත් එහෙමයි. ඔයා නැති අනාගතයක් ගැන මට හිතන්න බෑ. ඒ තරම් ඔයා මගේ අතීතේ, වර්තමානේ ඉඳලා තියෙනවා. අප්පච්චි අකමැති වුනොත් මාව දාලා යන්නේ නෑ නේද?"
මම අපූර්ව දිහා බැලුවේ වේදනාවෙන්. මගේ උගුර රිදුම් දුන්නා.
"සමහරවිට මට ඔයා ලඟම ඉන්න බැරි වෙයි, ඒත් මම මැරෙනකල්ම ආදරේ කරන්නේ ඔයාට විතරමයි අපූර්ව. ඇත්තමයි"
අපූර්ව යන්තමට හිනා වුණා.
"ඔයා මට ආදරෙයි කිව්වා"
මම කල්පනා කලා මම කිව්ව දේ ගැන.
"ඔව්මයි"
මමත් හිනා වුණා. අපි දෙන්නා සතුටින් ලඟට වෙලා ඉඳපු ඒ මොහොත සදාකල්ම තියෙනවා නම් කියලා මට හිතුණා. මම නාට්‍යයේ ඉතිරි ටික බලන්න අපූර්වගේ උරහිසින් හිස තියා ගත්තා.
"ඒක නම් මරු නාට්ටිය..."එහෙම කිව්වේ ලිවෙරා අන්කල්.
පුංචම්මයි, සුධර්මා ඇන්ටියි උන්නේත් හිනා වෙලා මූණ රතු කරගෙන. අක්කලා දෙන්නම තාමත් හිනා වෙනවා. හැබැයි අපි දෙන්නට නම් තැන් කීපයක්ම මගෑරිලා. ඒත් නාට්‍ය නම් හැබෑවටම හරි ලස්සනයි, නිර්මාණාත්මකයි.
"අර රජතුමා 'වට්ටක' කියලා ඇදලා පැදලා ඔලොක්කුවට වගේ ඇමතියා දිහා බලලා කියපු විදිය නම් හරි ෂෝක්" අක්කා හිනා වෙනවා.
"ඇයි රාජ පුරුෂයෝ හැම එකටම 'එසේය' කියලා ඇදලා කියන හැටි?" අපර්ණා අක්කත් කියනවා.
"අපූර්වට තමා තෑන්ක් කරන්න ඕන අපිව එක්ක ආවට" පුංචම්මා කිව්වා.
"දැන් උයන්නත් බෑනෙ. කොහෙන් හරි ඩිනර් අරන් යමු නේද?" අන්කල් කිව්වේ වෙලාව බලන ගමන්.
"මම නම් උයලයි ආවේ" පුංචම්මා කිව්වා.
"ආ...ඒවා හෙට උදේට කන්න බැරියැ. ඩිනර් ටවුමෙන් අරන් යමු" සුධර්මා ඇන්ටිත් කිව්වා.
අපි රෑ කෑමත් කාලා ආපහු ගෙදරට යද්දි රෑ නවයත් පහු වෙලා. අපූර්ව හිතලම හෙමින්, ලිවේරා අන්කල්ගේ වාහනේ පස්සෙන් ගියේ. ඒ නිසා වැඩිදුර යන්න කලින් ඒ අය ගිහිල්ලත් ඉවරයි. අපර්ණා අක්කයි, හර්ෂි අක්කයි බාගෙට නිදි.
අපූර්ව අපේ ගෙවල් තිබුණ අතුරු පාරට වාහනේ දාලා මගේ දිහා බැලුවා.
"අද ෂෝක් දවසක්. ඔයා මගේ ලඟින්ම හිටිය නිසා" අපූර්ව කිව්වා.
"හ්ම්. ඇත්ත"
"දැන් දාලා යන්නත් බෑ වගේ"
මම මුකුත් නොකියා  හිනා වුණා.
"මා එක්ක යන්න එන්න" ඔහු කිව්වා එක පාරටම.
"කොහෙද?" මම ඇහුවා.
"අපේ ගෙදර"
"ඊට පස්සේ?"
"මගේ ලඟට වෙලා ඉන්න අද හවස වගේ"
මගේ හිත ආදරේ නිසාම රිදුම් දෙමිනුයි තිබුණේ. අපූර්ව ආයෙමත් මගේ අතක් ගත්තා දෝතින්ම.
"ඒක කරන්න බෑනෙ" මම කිව්වා.
"කවදාහරි පුළුවන් වේවි"
ඔහු කිව්වේ මගේ අත තදින්ම අලාගෙන.
"ඔව්" මම කිව්වේ මටවත් නාහෙන ගානට . ඒ තරම් මගේ උගුර හිර වෙලයි තිබුණේ මොකක්දෝ නුහුරු හැඟිමකින්. අපූර්ව එක පාරටම මගේ අත ඉම්බේ වෙන මුකුත් නොකියා. මම හොඳටම ගැස්සුනා. මගේ හදවත වේගෙන් ගැහෙන්න ගත්තා. ඒත් මම අත ඇදලා ගත්තේ නැහැ.අපූර්ව එහෙමම ඉඳගෙන මගේ දිහාව බැලුවා. ඒ ඇස් අතරේ මම අතරමං වෙලා වගේ මට දැනුනා. මම ලොකු හුස්මක් ගත්තා.
"ගෙදරත් ආවද?" නිදිමතෙන් වගේ හර්ෂි අක්කා අහද්දි, අත ගත්තේ කොහොමද කියලාවත්, අපූර්ව අත අතෑරියේ කොහොමද කියලාවත් මට මතක නෑ. අපි දෙන්නා හොරු දෙන්නෙක් වගේ අහක බලාගෙන උන්නා. අපූර්ව ඉක්මණ් කරලා ගෙවල් ලඟට අපිව අරන් ගියා.
හැමෝටම සුභ රාත්‍රියක් පතලා අපි සමු ගද්දි එක නිමේෂයක් ආයෙම ලැබුණා අපේ ඇස් වල්ට කතා කරන්න.
"ලව් යූ"
අපූර්ව ඇස් දෙකම පියලා මට ඉඟි කරලා තොල් වලින් විතරක් කිව්වා.
මම හිනා වුණා විතරයි.ඒදා රෑ මට හිතන්න ගොඩක් දේවල් තිබුණා. රෑ නින්ද ගියෙත් නැති තරම්. ඒත් නින්ද ගිය වෙලෙත්, අවදියෙන් හිටි වෙලෙත් හිත පුරාම, හීන පුරාම උන්නේ අපූර්ව විතරමයි.

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....