Monday, October 3, 2011

දහ අට වන දිගහැරුම


මම ඒ අකුරු පේලි කියවන්න ගත්තේ ගැහෙන හිතින්. ඇත්තටම මේ මම දැනගෙන උන්නු, මා එක්ක පිස්සු නටපු අපූර්වමද?
දයාබර මෙත්මා (අක්කී),
මම මේ අක්කිට අක්කි කියලා කතා කරන අන්තිම වතාව වෙන්න පුළුවන්. මම ඔයාගෙන් ඉල්ලනවා කරුණාකරලා මේක අන්තිම වෙනකල් කියවන්න කියලා. සමහරවිට මේක ලොකුම ලොකු වැරැද්දක් වෙන්න ඇති, ඒත් මගේ හිත කියනවා එහෙම නෙවෙයි කියලා. ඔයාට මගේ හිත ඇදුනේ කවදද කියලා ඇත්තටම මම දන්නේ නෑ. දන්නෙම නැතිව, ඔයා මගේ හිතේ තැන්පත් වෙලා වග විතරයි මම දන්නේ. ඔයා මගෙන් දුරස් වුණ හැම වෙලාවකම, ඒ හිතේ උන්නු ඔයා පුදුමාකාර විදියට මට ලං වුණා. ඔයා ගැන එක මොහොතක් වත් නොහිතා ඉන්න බැරි තරමටම ඔයා මට ලං වෙලා මෙත්මා. දන්නවද මම මේ ඔයාට ලියන විසි එක් වෙනි ලියුම. මේකවත් ඔයාට දෙන්න පුලුවන් වේද මම දන්නේ නැහැ. ඔයා ලඟට ඇවිත් සේරම එක පාර කියලා දාන ඕන වුණත් මට තාමත් ඒකට හිත හයිය නෑ.
මම නරක කෙනෙක් කියලා ඔයා හිතනවද? ඇත්තමයි මම ගොඩක්  ට්‍රයි කලා මගේ හිත හදා ගන්න. ඒත් මට බෑ. මොකද ඔයා මගේ හිතේ ඉඩ අරන් ඉවර නිසා. ඔයා මට කට පුරා මල්ලි කියද්දි මට ඕන වුණා ඒ මල්ලි වෙන්න.ඒත් මට සමා වෙන්න මෙත්මා මට ඒක කරන්න බැහැ. මම ඔයාට ආදරේ කරන්නේ ඒ වගේ නෙවෙයි. මට එච්චර උපේක්ෂාසහගත වෙන්න බෑ. මම ආත්මාර්ථකාමීයි කියලා ඔයා හිතනවද? සමහරවිට මේ ගැන දැන ගත්තම ඔයා මා එක්ක තරහ වෙයි. ඒත් මට වෛර කරන්න එපා. මාව තේරුම් ගන්න බලන්න.
හුඟාක් අය කියනවා ආදරේට කිසිම භේදයක් බලපාන්නේ නෑ කියලා. අපේ ආගම් වෙනස වත්, වයස් පරතරේවත් ආදරේට බාධාවක් කියලා මම හිතන්නෙත් නෑ. මේ ලෝකෙ ඕන තරම් ඔය වගේ දේවල් වෙනවා. ඔයා මං ගැන දන්නවා. අපි අපි ගැන දන්නවා. ඔයාට තියෙන්නේ මලක් වගේ ලස්සන හිතක්. අනික් අයට සාගරයක් තරම් ආදරයක් දෙන්න පුළුවන් විදියේ හිතක්. මම පැරදුනේ අන්න ඒ හිතට, ඔයාගේ අවංක කමට. ඔයාට ආදරේ නොකර ඉන්න මට බෑ. විශ්වාස කරන්න මම මීට කලින් කාටවත්ම ආදරේ කරලා නැහැ මේ විදියට. ඔයා ලඟදි මට මොනවා වුණාද මම දන්නේ නැහැ.
මම හැමදාමත් වැව රවුමට වෙලා ඔයා එනකල් බලා ඉන්නේ මොන තරම් නොඉවසිල්ලකින්ද? මගේ යාළුවෝ පවා මං ගැන පුදුම වෙනවා. කවදාවත් කෙල්ලෙක්ට විහිළුවක් වත් නොකල මම ම ද මේ කියලා. ඒක එහෙම වුණේ ඇයි කියන්න මම වත් දන්නේ නැහැ. ඒක කළේ ඔයා. ඔයා දේවදූතියෙක් වගේ මගේ ජීවිතේට ඇවිත් මගෙ ජීවිතේම වෙනස් කලා.(දැන් ඔයාට තරහ ගිහින්ද මම දන්නේ නෑ ) ඒත් මෙත්මා ඔයා මාව තේරුම් ගත්තා නම්, මගේ ආදරෙත් ඔයා තේරුම් ගනීවි. දෙවියන් වහන්සේ මට හොඳ අම්මා කෙනෙකුයි, තාත්තා කෙනෙකුයි දුන්නා. උන්වහන්සේ මට ඔයා වත් දෙනවා නං, මට හැමදේම ලැබුණා වගේ. ඔයා මගේ වෙනවා නං මගේ ජීවිතේම සම්පූර්ණයි මෙත්මා.
මම ඔයාට අබමල් රෙණුවක් තරම් වත් දුකක් නොදී බලා ගන්නම්. ඒක පොරොන්දුවක්. මම ඔයාගේ සැර අප්පච්චි ලඟටත් එන්නම්. ඒත් ඒකට මට තව කල් ඕන. හැබැයි කොච්චර කල් ගියත් මම එනවම තමයි.
ඔයාට තරම් මම වෙන කාටවත් ලං වෙලා නැහැ මේ තරම්. ඒ නිසාම මම කවදාවත් අපේ ආශ්‍රය විහිළුවක් කියලා හිතුවේ නැහැ. මම තාමත් එදා උන්නු කෙනාමයි. මම ඔයාව රවට්ටයි, ඔයාට බොරු කරයි කියලා කවදාවත් හිතන්න එපා. ඒක කවදාවත් වෙන්නේ නැහැ.
ඔයාගේ තීරණේ මොකක් වෙයිද මම දන්නේ නෑ.මම ඔයාගෙන් ඉල්ලන්නේ මෙච්චරයි. මාව තේරුම් ගන්න. මගේ ආදරේ තේරුම් ගන්න. මට කියන්න බෑ මට කැමති වෙන්නම කියලා, ඒත් මට කියන්න ඕනෙත් ඒකමයි. ඔයා මගේ වෙන්න. ඔයා කවදාහරි ඒ උත්තරේ මට දෙනකල් මම බලාගෙන ඉන්නවා. වී හැව් ඕල් ද ටයිම් ඉන් ද වර්ල්ඩ්.
මීට,
ඔයාට ගොඩාක් ආදරේ කරන,
අපූර්ව

මම ඒ ලියුම එක හුස්මට කියෙව්වා. ඊට පස්සේ තව පාරක්...තවත් පාරක්...මම ඒක කීසැරයක් නං කියෙව්වද? ඒ වචන වල, අකුරු වල තිබුණේ මොන තරම් ආදරයක්ද? ඒක ලියද්දි අපූර්වගේ හිතේ මොන මොන දේවල් පෙරලි කරන්න ඇත්ද? මට අපූර්ව ගැන ලොකු සංතාපයක් දැනෙන්න ගත්තා. කොහොමද කෙනෙක් මේ තරමත කෙල්ලෙක්ට ආදරේ කරන්නේ? මගේ ලඟින්ම උන්නු අපූර්ව කොච්චර කල් මම නොදැන මට ආදරේ කරන්න ඇත්ද? හිතේ හංඟාගෙන ආදරේ කරන එක මොන තරම් අමාරු වෙන්න ඇත්ද? මට අපූර්වව දකින්න බලවත් උවමනාවක් දැනුනා.
ඊට පස්සේ මම කල්පනා කලේ මම ගැන. මම අපූර්ව ගැන හිතුවේ මොන විදියටද? මං එයාට සැලකුවේ මගේම සහෝදරයෙක් ගානටද, නැත්නම් මම ඊට වඩා දෙයක් ඔහුගෙන් බලාපොරොත්තු වුණා වත්ද? ඇත්තටම හිතුවොත්, මත ඕන වුණා අපූර්වට ලං වෙන්න.මගේ දුක, සතුට බෙදා ගන්න මා එක්ක හුඟ වෙලාවට හිටියේ ඔහු.
මම එනකල් බස් නැවතුමේ ඉන්නවට, මං එක්ක හැම වෙලාවෙම ඉන්නවට මම කැමති වුණා. අපූර්ව මාව වරදවා වටහාගන්න ඇත්තේ ඒ නිසාද? ඒත් මම දැනගෙන හිටියා නේද මෙහෙම වෙන්න පුළුවන් බව. එහෙනම් ඇයි මම අපූර්වගෙන් දුරස් නොවුනේ? මගේ යාලුවෝ, අක්කා, මට අනතුරු අඟවද්දිත් මම ගණං ගත්තේ නැහැ. දැන් ඒ දේම සිද්ධ වුණාම මම කළබල වෙලා. වැරැද්ද මගේම නෙවෙයිද? මම හිතුවා. අපූර්ව ගැන අහිතක් හිතන්න මට පුළුවන්කමක් තිබ්බේ නැහැ. හිතේ ආවේගෙට මොන මොන දේවල් කියලා අපූර්වගේ හිත රිදෙව්වත්, මගේ හිත ඊට වඩා ගොඩක් රිදිලයි තිබුණේ.
'ඒකියන්නේ ඔයා අපූර්ව ගැන හිතනවා?' මගේ හිත මගෙන්ම ප්‍රශ්ණ කරනවා.
'ඔව්. මම එයා ගැන නොහිතා ඉන්නේ කොහොමද?'
'අපූර්ව ඔයාට වඩා බාලයි. ඔයා හදන්නේ එයාට ආදරේ කරන්නද?'
'නෑ.නෑ. මම එහෙම කරන්නේ නෑ. ඒත්...ඒක අතකට ඒකෙ ඇති වැරැද්ද මොකක්ද?'
'ඔව්. ආදරේට ඔය මොනවත් ප්‍රශ්ණ නෙවෙයි. ඒත් අප්පච්චි??'
අප්පච්චි මතක් වුණාම හිතට ආවේ ලොකු බයක්.
'අප්පච්චිට ආරංචි වුණොත් ඉස්සේල්ලම අල්ල ගන්නේ අම්මව. ඊට පස්සේ පුංචම්මවයි, අක්කවයි. අපූර්වට නම් මොනවා කරයිද කියලා හිතා ගන්නවත් බෑ.ඔයාට වෙන්නේ ජීවිතේම විඳවන්න'
'නෑ. නෑ. මම එහෙම වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මම අපූර්වට මීට වඩා ලං වෙන්නේ නැහැ'
'ඔයා අපූර්වට ආදරෙයි'
'නැහැ'
'ආදරෙයි'
'නැහැ'
'එහෙනම් ආදරේ නැද්ද?'
මට උත්තරයක් තිබුණේ නැහැ. අපූර්වගේ ලෙන්ගතුකම ලඟ මම හුඟාක් අසරණ වෙලා.
අන්තිමට මම නිදා ගන්න ඇඳට යද්දි මගේ හිස ඉවසන්න බැරි තරමට කකියමින් තිබුණා. නහයත් බර වෙලයි තිබුණේ. අද මම කොච්චර තෙමුණද? අපූර්වත් ලෙඩ වෙලා ඇත්ද කියලා මම කල්පනා කළා. මම කොට්ටය යට තිබුණ ෆෝන් එක අතට අරන් බැලුවා.'දෙයියනේ අපූර්ව තිස් පස් පාරක් කතා කරලා'. එස්.එම්.එස්. ගණනාවක් එවලා. මම ඒ මුකුත් නොබලා ෆෝන් එක පැත්තකට දැම්මා. තවත් මගේ හිත දුර්වල කර ගන්න මට ඕන වුණේ නැහැ. අපූර්වට මම දවල් කියපු දේවල් මතම ඉන්න මම තීරණය කලා. ඒ මම ඔහු ගැන නොහිතන නිසා නෙවෙයි, අප්පච්චි නිසා. මේ ප්‍රශ්නේ නිසා කාට හරි මොනවා හරි වැරැද්දක් වෙනවා මට බලන්න බැරි නිසා. මගේ ඇස් අගින් බේරුන කඳුලක් කොට්ටෙ තෙත් කලා.
'මට සමාවෙන්න අපූර්ව'

1 comment:

  1. Unbelievable, you're just like blogging my life story, ඒතරමට සමානයි

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....