Wednesday, October 5, 2011

විසි එක් වන දිගහැරුම


එදායින් පස්සේ මම අපූර්වව ඇස් දෙකට වත් දැක්කේ නැහැ. ගෙදර ලඟදිවත්, පාරෙදිවත්. අපූර්ව නැති පාළුව කවරදාටත් වඩා දැන් මට දැනෙමින් තිබ්බා. අපි නිතර මුණගැහුණු බස් නැවතුමේදි හෙම මම ඉඳ හිට වටපිට බැලුවේ වැරදිලාවත් ඔහු ඉඳීවිද කියලා. ඒත් අපූර්ව හිටියේ නෑ කොහේවත්.
"අන්න මම දැක්කා අපේ නේබර් කාරයා කෙල්ලෙක් එක්ක හෝල්ට් එකේ ඉන්නවා"
මම කම්පියුටර් එකේ වැඩක් කරමින් ඉද්දි මගේ ලඟට ආපු අක්කා කිව්වේ ඕනෙවට එපාවට වගේ. ඇය ගෙදරා ආවා විතරයි.
මගේ ලඟට වෙලා චිත්‍රයක් අඳිමින් උන්නු බට්ටිත් හිස උස්සලා බැලුවා. මගේ හිත රිදුනත් මම ඒ බව නොපෙන්නා කම්පියුටරේ තිරය දිහාම බලාගෙන උන්නා.
"ම්ම්. ඇත්තද?"
"ගොඩක් කොල්ලො ඔහොම තමයි" අක්ක කිව්වේ සාරියට ගහලා තිබ්බ කටු ටික ගලවන ගමන්.
"ඒක හොඳයි" මම හෙමිහිට කිව්වා.
අක්කා කරමින් උන්නු දේ නවත්තලා මා දිහා බැලුවා.
"අපූර්ව සමහරවිට හිත හදා ගෙන වෙන්න ඇති"
අක්කා කිව්වාම මගේ හිත දුකකින් වැහිලා ගියා.'මෙච්චර ඉක්මණට? අපූර්ව කොහොමද එහෙම කරන්නේ?' මගේ හිත කිව්වෙම අපූර්ව එහෙම නෑ කියලමයි. මම කරමින් උන්නු වැඩේ නවත්තලා කල්පනා කලා. අක්කා කාමරෙන් යන්න ගියා.
""අක්කා අපූර්ව අයියත් එක්ක තරහ වෙලාද ඉන්නේ?"
හිටි ගමන් එහෙම ඇහුවේ බට්ටි. මම ඈ දිහා බැලුවේ පුදුමෙන් වගේ.
"ඇයි එහෙම අහන්නේ?"
"අපූර්ව අයියා කිව්වා ඔයා එයත් එක්ක තරහ වෙලා නිසයි එදා පාටියට නාවේ කියලා. එයා හරි හොඳයි නේ අක්කේ. ඇයි ඔයා තරහ වුණේ?"
බට්ටි චිත්‍රේ පාට කරන එක නවත්තලා මගේ දිහා බැලුවා.
"එහෙම දෙයක් නෑ බට්ටො. ඔයාටත් ඕනෙ නැති දෙයක් නෑනෙ බලං ගියාම"
"එහෙනං ඇයි ඔයා එයා දැක්කම හිනාවත් නොවී අහක බලාගෙන් ඉන්නේ?"
බට්ටිටත් පෙනිලා තියෙන දේවල්.
"මම කිව්වනේ එහෙම දෙයක් නෑ කියලා. දැන් ඔයා ඔය කතාව නවත්තගන්න. පුංචම්මට ඇහුනොත් එහෙම?"
මම ටිකක් සැරෙන් වගේ කිව්වා. මේ පුංචි කෙල්ලටත් තේරෙන්න තරම් මම මොන විදියට වෙනස් වෙලා ඇත්ද කියලා මට හිතුණා.

බට්ටිගේ නිවාඩුව ඉවර වෙන්න තිබුණේ තව දවස් දෙකයි. ඈව ගෙදර ආපහු යවන්න අපි හැමෝටම තිබ්බේ ලෝබ කමක්.
"අප්පච්චි අනිද්දා එනවා කිව්වේ බට්ටිව එක්ක යන්න.එහේ ගියාම කෙල්ල තනි වෙනවා" පුංචම්ම කිව්වේ විස්සෝපෙන් වගේ. බට්ටි උන්නේ සාලේ. මම පුංචම්මට ගොටුකොල වගයක් තෝරලා දෙමිනුයි හිටියේ.
"ඒක තමයි. මටත් නංඟි ගැන දුකයි"
"ආ...ඕන්න බලමුකෝ වැඩේ!" පුංචම්ම එක පාරටම කිව්වේ පිඟන් භාජන තිබුණ කබඩ් එකේ දොර ඇරලා මොනවාදෝ හොයන ගමන්.
"ඇයි?" මම ඇහුවා.
"මේ...එදා ඔයාට සුධර්මා කෑම එවපු භාජන දෙක තාම මේක ඇතුලේ නේ. මටත් අමතක වුණා. අනේ පුතේ මේක ඉක්මණට දීලා එන්නකෝ ආයෙමත් අමතක වෙන්න කලින්"
පුංචම්මා මට කිව්වා.
"මේ ගොටු කොල ටික කඩලා ඉවරත් නෑනෙ. බට්ටි අතේ යවන්න බැරිද පුංචම්මා?"
මම ඇහුවේ ඒ ගමනින් බේරෙන්න ඕන නිසයි.
"බෑ පුතේ. මේක උස්සගෙන යන අතරේ ඔය බඩ්ඩ බිමටවත් අතෑරියොත්? ඔයාම ගිහින් දීලා එන්නකෝ. එදා ආපු නැති එකටත් මොනවා හරි කියන්න බැරියැ"
පුංචම්ම කිව්වේ භාජන දෙක මට දෙන ගමන්. ඒක උඩ පුංචම්ම තව පොඩි පාර්සලයක් තිබ්බා.
"මේ කිරි ටොෆි වගයක්. ඕක නිකම්ම අරින්න බෑනෙ"
කරන්න දෙයක් නැති තැන මම පිඟන් ටික අතට  ගත්තා. මම එහේ යන්න අකමැති වුණේ මට අපූර්වට මූණ දෙන්න බැරි කම ක් දැනුන නිසයි.
වෙනදා වගේ පිටිපස්සෙන් නොගිහින් මම අද ඉස්සරහින්ම ගෙයි වත්තට ඇතුල් වුණා. ගෙදර ඉස්සරහ දොර ඇරලයි තිබ්බේ. ඒත් කවුරුවත් පේන්න නම් හිටියේ නැහැ. මම ගෙදර දොරේ සීනුව නාද කලා. මම හිතින් ප්‍රාර්ථනා කරමින් හිටියේ අපූර්ව නම් ගෙදර ඉන්න එපා කියලයි.
කවුරුත් ආවේ නැති පාර මම ආයෙමත් සීනුව නාද කලා.
එක පාරටම ගෙදර ඇතුලෙන් එලියට ආවේ අපූර්වමයි. නිදාගෙන හිටි ගමන්ද කොහෙද නැගිටලා ආවා වගේයි මට පෙනුනේ. ඔහු උන්නේ තවමත් රෑට අඳින පිජාමා කලිසමකුයි, නිකම්ම ටී ෂර්ට් එකකුයි ඇඳගෙන,ෆෝන් එකකත් අතේ තියාගෙන හෑන්ඩ්ස්ෆ්‍රි එකක් කනේ ගහගෙන කාටදෝ කතා කරමින්.
"පොඩ්ඩක් ඉන්න ෂෙහානා...මම තව පොඩ්ඩකින් ඔයාට ගන්නම්. ගෙදරට කවුදෝ ඇවිත්" ඔහු එහෙම කියලා හෑන්ඩ්ස්ෆ්‍රි  එක අතට අරගෙන දොර ලඟට ඇවිත් මගේ දිහා බැලුවේ ඇයි කියන්නා වගේ.
"අ..ම්..සුධර්මා ඇන්ටි ගෙදර නැද්ද?"
"අම්මා මේ ලඟට ගියා. දැන් ඒවි. එන්න ගෙට" අපූර්ව කිසීම අමුත්තක් නැතිව මට කිව්වේ මාව අඳුනන්නෙත් නැති ගාණට.
"නෑ කමක් නෑ. මේක පුංචම්ම දුන්න කියලා අම්මට දෙන්න" මම අතේ තිබුණ පිඟන් දෙක අපූර්වට දික් කලා.
යන්න හැරිලා උන්නු අපූර්ව ආයෙම ඇවිත් පිඟන් ටික අතට ගන්න යද්දිමයි මම ඒක අතෑරියේ. මම හිතුවට ඔහු අල්ල ගන්න ඇති කියලා, අඩමානෙට අල්ලගන්න ගිය පිඟන් දෙක දොරකඩම වැටිලා කෑලි වලට කැඩුණේ මොකද වුණේ කියලා හිතන්නත් කලින්. මට හීල්ලුණා. 'පුංචම්මා පරෙස්සමින් අරන් යන්න කියලා මගින් මගටම කියපු පිඟන් දෙක'
"ඕහ් ගෝඩ්!" අපූර්වට කියවුණා.
මට අපූර්ව ගැන ආවේ සියුම් තරහක්. ඒක හරියට අල්ල ගත්තේ නෑනෙ කියලා. ඒ වුණත් මම මුකුත් නොකියම නැමිලා කැඩුණේ කෑලි එකතු කරන්න පටන් ගත්තා.
"බලාගෙන අතවත් කැපෙයි" අපූර්ව කිව්වේ කටු ඇහිඳින්න නැවෙන ගමන්මයි. කියලා කට ගන්න හම්බවුණේ නෑ, කැඩිලා තිබුණු පිඟන් කෑල්ලක තියුණු දාරෙකට මගේ අඟිල්ලක් කැපුණේ පඩියෙන් පහලට වැතිලා තිබුණ ඒක ගන්න ගිය වෙලෙයි. මම ඉක්මණ් හුස්මක් ගත්තා."උහ්"
"කැපුණද?" අපූර්ව ඇහුවේ මා දිහා බලන ගමන්.
දවල් දවසේ උෂ්ණය නිසාදෝ පොඩි කැපුමක් වුණත් ලේ ගලමිනුයි තිබ්බේ.
"අපොයි! ලේත් එනවා නේද? කෝ මෙහේ එන්න"
අපූර්ව මගේ අතකින් ඇදගෙන එක්ක ගියේ පල්ලෙහා තට්ටුවෙ තිබුණා නාන කාමරෙකට. ඔහුම පයිප්පය එක ඇරලා මගේ ඇඟිල්ල ගලාගෙන යන වතුරට ඇල්ලුවා.
"ඔහොම අල්ලගෙන ඉන්න ලේ නවතිනකල්. මම බෙහෙතක් අරන් එන්නම්"
මම එපා කියන්නත් කලින්ම ඔහු එලියට යන්න ගියා.
ඇඟිල්ල ටිකක් දැවිල්ල ගත්තත් ටිකකින් ලේ ගලන එක නැවතුණා.
මම නාන කාමරෙන් එලියට එද්දි අපූර්ව උන්නේ මම එනකල් එතන හිටගෙන.
"එන්න"
සාලේ සැටිය උඩින් වාඩිවෙලා අපූර්ව මගේ අඟිල්ලට බෙහෙත් දාන්න ගත්තේ සීරුවට. අපූර්ව ගැන හිතේ තිබුණ සෙනෙහස දෝරේ ගලනවා වගේ මට හැඟුණා. ඒත් අපූර්ව මගේ නෙවෙයි. මම වචනයක් වත් නොකියා ඔහු බේත් දාන දිහා බලන් උන්නා.
"පුතා...මොකද මේ-" සුධර්මා ඇන්ටි ගෙට එනකල්ම අපි දෙන්නම දැක්කේ නැහැ.
"ආ...මේ දූත් මෙතන නේ? මොකද මේ දොරකඩම පිඟන් වගයක් බිඳිලා තියෙන්නේ? මොකද වුණේ?" ඇන්ටි ඇහුවේ අපූර්වගෙන්.
"මට කෑම යවපු පිඟන් ටික අරගෙන ආවා ඇන්ටි-" මම කියන්න උත්සාහ කරද්දි අපූර්ව මැදින් පැන්නා.
"මගේ අතිනුයි වැටුනේ මමා. අත ලිස්සුවා" අපූර්ව හිස කසමින් කිව්වේ ඇන්ටි දිහා හොරෙන් වගේ බලමින්.
"මදෑ...ලොකු තාත්තා ජැපෑන් වලින් ගෙනාපු සෙට් එක. ඔයා ඔයිට කලිනුත් එයින් එකක් බින්දා පුතා. අනේ මන්ද. යූ ආර් සෝ කෙයාර්ලස්"
"ඕවා නම් මොනාද මමා, මෙච්චර වටින මිනිස්සුන්ගේ හිතුත් බිඳෙන කොට" අපූර්ව කිව්වේ මටද?
අපූර්ව දිහා උඩ ඉඳන් පහලට බලපු ඇන්ටි මගේ ඇඟිල්ල දැක්කේ ඊට පස්සේ.
"මේ මොකද? මේ ලමයගේ අතත් කැපුණද?"
"ඔව් ඇන්ටි මේ වීදුරු කටු එකතු කරද්දි..." මම තැතනුවා.
"බෙහෙත් දැම්මා මමා. ගොඩක් කැපිලා නෑ" අපූර්ව කිව්වා.
"හරි හරි. දෙන්නම පැත්තකට වෙලා ඉන්න. මම ඕක අස් කරලා දාන්නම්. දූ ඉන්න මොනා හරි බීලා යන්න"
"අනේ බෑ ඇන්ටි මම ඉක්මණට එනවා කියලා ආවේ. මම එහෙනම් ගිහින් එන්නම්"
මම එහෙමම එලියට බැස්සා. අපූර්වත් මා එක්කම ආවා.
"බට්ටි ගෙදර ගියාද?" ඔහු ඇහුවා සාමාන්‍ය විදියට.
"නෑ. අනිද්දා අප්පච්චි ඒවි එක්ක යන්න" මම උත්තර දුන්නා.
අපි කතාවක් නැතිව ටික දුරක් ආවා.
"ඔයා හැම දේම අමතක කරලා ඉන්න හිත හදා ගත්තු එක ගැන මට සතුටුයි අපූර්ව" මම කිව්වා එක පාරටම කතාව වෙනස් කරමින්.
"ඔයා මොනා ගැනද මේ කියන්නේ?" අපූර්ව ඇහුවේ පුදුමෙන්  වගේ.
"ඇයි, මට කියන්නේ නැද්ද ඔයාගේ අලුත් ගෑනු ලමයා ගැන""
අපූර්ව නිහඬ වුණු නිසා මම ඔහු දිහා බැලුවා. ඔහු උන්නේ හිනා වෙමින්.
"හිනා වෙන්නේ මොකද?"
"වෙන්නෑ, හිනා යනවා. ඉතිං මගේ ගෑනු ළමයා ගැන ඔයාට මොකටද?" අපූර්ව මගේ දිහා කෙලින්ම බලලා ඇහුවා.
"මට ආරංචි වුණ දේයි මම ඇහුවේ" මම ඉක්මණින් කිව්වා.
"ඔයා හිතුවද මම ජීවිත කාලෙම ඔයා වෙනුවෙන් බලා ඉඳීවි කියලා?" අපූර්ව ඇහුව විදියට මගේ හිතට දැනුනේ ලැජ්ජාවක්. මම ඔහු දිහා එක පාරක් බලලා අහක බලාගත්තේ කියන්න දෙයක් නැති නිසා. මගේ ඇස් දේකට කඳුලුත් පිරී ගෙන ආවා. අපූර්ව ඇත්තටම වෙන කෙනෙක්ට ලං වෙලාද?
"ජිවිත කාලෙම නෙවෙයි, ආත්ම ගාණක් වුණත් ඔයා වෙනුවෙන් බලං ඉන්න මට පුලුවන් මෙත්මා" අපූර්වගේ හඬ ඇහුණේ මගේ කන ලඟින්ම වගේ.මම ඔහු දිහා බැලුවා ඇස් කොනකින්.
"එතකොට අර ගෑනු ලමයා කවුද?"
"ඕහ් රැට්ස්! අපූර්ව කිව්වේහිස වනන ගමන්. "ඒ මගේ කවුරුවත් නෙවෙයි, යෂීෂ්ගේ ක්‍රෂ් එකක්. දැන් කාලෙක ඉඳන් යෂීගේ පස්සෙ වැටිලා ඉන්නේ. මාව තමයි දුක් ගන්නාරාල කරගෙන ඉන්නේ. හරිද?"
අපූර්ව කතා කලේ සැහැල්ලුවෙන්.
මගේ හිතේ තිබ්බ ලොකු බරක් අයින් වුණා වගේ සැහැල්ලුවක් මට දැනුනා. ඒ එක්කම මට මතක් වුණා අපි අද වෙනකල්ම එකිනෙකාත කතා නොකර නේද හිටියේ කියලා. ඒ නිසා මම වෙනසක් නොපෙන්වා ගේට්ටුව අරින්න උත්සාහ කලා.
"ඉතිං ඔයාට ඉරිසියා හිතුණා නේද?" අපූර්ව ඇහුවේ මගේ ලඟට එන ගමන්.
"නෑ"  මම කිව්වේ ඔහු දිහා නොබලා.
"බොරු කියන්න එපා. මම සේරම දන්නවා මෙත්මා"
"මොනාද ඔයා මේ කියන්නේ?"
"අමා අක්කි මට සේරම කිව්වා"
"අමා?"
"කිව්වම නෙවෙයි, මම බල කරලා අහගත්තා"
"අමා මට කිව්වෙ වත් නෑ" මම කිව්වේ පුදුම වෙන ගමන්.
"ඒක ඔබ්වියස් නේ"
මම ආපහු මුකුත් නොකියා ගේට්ටුව ඇර ගෙන එලියට එද්දි අපූර්වත් ආවා.
"තවත් ඔය හිතට, මට, බොරු කරන්න එපා මෙත්මා"අපූර්ව කිව්වේ පුරුදු දයාබර හඬින්.
"අපූර්ව..."
"ෂ්...දැන් මුකුත් කියන්න එපා. කියන්න තියෙන දේවල් සේරම ලෑස්ති කරගෙන ඉන්න. හෙට මං එනවා"
ඔහු එහෙම කියලා ගේට්ටුවෙන් ඇතුලට ගියා.
"අපූර්ව..."
"හෙට හවසට..." ඔහු මට පිටුපාලා අතක් වන වන ගේ පැත්තට යන්න ගියා.
මගේ මුවගට නැගුනේ හිනාවක්.
"පිස්සා..."
කාලෙකට පස්සේ හිට පුදුම විදියට සැහැල්ලු වෙලයි තිබ්බේ. වචනයෙන් නොකිව්වට කියන්න ඕන වුණ හැම දේම ඉබේටම එකිනෙකාට කියවිලා වගේ. දහසක් ප්‍රශ්න එන බව දැනගෙන උන්නත්, එවෙලේ, ඒ මොහොතේ, මගේ හිතේ උන්නේ අපූර්ව විතරමයි. මට ඕන වුණේ ඔහුට ආදරය කරන්න විතරමයි. එදා කොච්චර සතුටු දවසක්ද?

4 comments:

  1. කතාව නම් බොලද තමා.(මොන ආදර කතාවත් බොලදයි නේන්නම්) හැබැයි හරිම ලස්සනයි.දිගටම ලියන්න. ආසාවෙන් කියවනවා.
    උදේ හවස ඈවිල්ලා බලනවා අලුත් කොටසක් postකරලද කියලා.ඒ තරම්ම කතාව නියමයි.(සමහර blog වල වගේ කතාව අතරමග නතර කරන්න එපා ඔන්)
    මෙච්චර දවසක් කතාව බැලුවට කවදාවත් comment කරන්න ගියේ නැහැ.comment වත් නොදා මේක බලලා යන එක මහන්සිවෙලා කතාව ලියන ඔයාට කරන අසාධාරනයක් කියල හිතෙනවා.එකයි ඔන්න comment කලේ

    ReplyDelete
  2. මම අදත් කියෙව්වා අක්කි .. දිගටම ලියන්න .. හෙටත් තවත් අලුත් කොටසක් දාන්න .. මම බලාගෙන ඉන්නවා කියවන්න ..

    ReplyDelete
  3. කුරුළු පොඩිත්තෝ ඔයාට ස්තුතියි. ඇත්තටම ඔයාලගෙ අදහස් දකිද්දි එක දවසක්වත් නොලියා ඉන්න හිතෙන්නේ නෑ. මග නතර කරන්නෑ කතාව.
    danulatb ඔයාටත් ස්තුතියි වචනයකින් හරි හැමදාම අදහස් දක්වනවට

    ReplyDelete
  4. මේ අපුර්ව මට හරිම හුරු පුරුදුය් වගේ.. මං දන්නේ නෑ, කොහොමද කියලා. හීනෙන් රැඳුන සුවඳක් වගේ දැවටෙනවා. මම මේ කතාවට කැමතිය්.

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....