Monday, October 3, 2011

දහහත්වන දිගහැරුම

මොහොතකට කලින් අපූර්ව එක ගෙවුනු විනාඩි කීපය ආයෙම මට මතක් වුණා. අපූර්ව ඊට පස්සේ මොනවා කරන්න ඇතිද? එවෙලේ ඇති වුණ තිගැස්ම ආයෙ ආයෙත් මගේ හිතට දැනුනා.අපූර්ව ගැන හිතේ තිබ්බේ අපැහැදිලි හැඟීමක්. මම අපූර්වට එහෙමකලේ ඇයි? අපූර්ව කිව්වේ වැරදි දෙයක්ද? ඔව්. වැරදි දෙයක්. හරිම වැරදි දෙයක්. ඒත් ඒ වැරැද්ද වෙන්න මමත් හේතු වුණා වෙන්න බැරිද? දැන හරි, නොදැන හරි. දෙයියනේ අක්කට, අමාට, හිරුට පෙනුන දෙවල් මට නොපෙනුනේ ඇයි? මම හිටියේ අන්ධ වෙලාද, එහෙමත් නැත්නම් අපූර්ව මට ලං වෙලා ඉන්න මට ඕන වුණ නිසාද? හිතලා හිතලම මගේ හිසත් කකියන්න පටන් ගත්තා. මට දැනුන හැඟීම මේකයි කියලා වෙන් කරලා කියන්න බැරි වුණත්  මට දැනුනේ හැමදේම එපා වෙලා වගේ හැඟිමක්. මට ගෙදර යන්න ඕනෙ කියලත් හිතුණා. අපූර්ව ගැන හිතද්දි හිතත ආවේ වෙනස්ම හැඟිමක්. ඔහු මට ආදරේ කරනවා නේද කියලා හිතද්දි හිත පුදුමාකාර විදියට නොසන්සුන් වුණා. ආයෙමත් ඇස් වලට කඳුළු පිරුණා. එහෙම වෙන්නේ ඇයි? මම ඇස් තද කරලා පියා ගත්තා. එහෙමම මම හුඟක් වෙලා ඉන්න ඇති.
"බුදු අම්මේ මම ඉවරෝ..." මම උඩ ගිහින් බිම වැටුණා වගේ වුණේ එක පාරටම අක්කා කෑ ගහපු සද්දෙට.මම ඉක්මණට නැගිට්ටා. අක්ක උන්නේ මගේ කාමරේ දොර ලඟ. එයත් හොඳටම තෙමිලා.
"මොකද මේ කෑ ගහන්නේ? මොකද වුණේ?" මම ඇහුවා. පුංචම්මයි, බට්ටියි ත් උහට දුවගෙන ආවා.
"මොකද? මොකද?"
"කෑගැහෙන්නේ නැද්ද මේවා දැක්කම? මොකද මෙයා මේ අ නිරුවතින් ඉන්නේ?"
අක්කා මාව පෙන්නලා පුංචම්මට කිව්වා.
"අනේ හර්ෂි! විහිළු වලත් සීමාවක් තියෙන්න ඕනෙ. මම හොඳටම බය වුණා කෑ ගැහිල්ලට"
පුංචම්ම කිව්වේ අක්කට හෙමින් පාරක් ගහන ගමන්. බට්ටිට නම් හිනා.
පුංචම්මා අක්කට බැන බැනම බට්ටිවත් ඇදගෙන පහලට ගියා.මම තාමත් උන්නේ තුවාය පිටින් බව මට අමතක වෙලයි තිබුණේ.
"අනේ අද හොඳටම තෙමුණා අක්කේ. ඔලුව රිදෙන හන්දයි මෙහෙමම ඇඳේ ඇල වුණේ. ඔයා මොකද තෙමිලා?"
'මට අද කුඩේ ඔපිස් එකේ අමතක වුණා. වහින්න එපා කිය කිය ප්‍රාර්ථනා කරකර ආවත් මෙතනින් බහිද්දි හොඳතෝම වැස්සා. ඒ මදිවට ඔයා උදේ ගිය ගමන් මගේ පැත්තේ දොරේ අගුල දාලම් ඇවිත් බාත්‍රූම් එකේ"
අක්කා කියව කියව නාන කාමරේට ගියා.
අක්කගෙයි මගෙයි කාමර දෙකට තිබ්බේ පොදු නාන කාමරයක්.සාමාන්‍යයෙන් මම යද්දි එයාගෙ පැත්තේ දොර ලොක් කරනවා, එයා යද්දි මගේ පැත්තේ දොර ලොක් කරනවා. අද උදේ ගිය පාර නාලා ඉවරවෙලා එයාගෙ පැත්තේ දොරේ ලොක් එක අරින්න මට අමතක වෙලාඅ. අක්ක එනකල් මම ඇඳුම් මාරු කර ගත්තා.

"නංඟි එන්නේ නැද්ද තේ බොන්න?" අක්කා දොර ලඟට ඇවිත් අහනවා. මම ජනේලෙ ලඟට වෙලා කල්පනා කරමින් ඉඳලා එක පාරම පියවි ලෝකෙට ආවේ ඒ හඬට. මම ජනේලේ ලඟින් මෑත් වෙලා කුස්සියට ඇවිදගෙන ගියා.
"කොත්තමල්ලිත් තම්බලා ඇති. දෙන්නා එක්කම බොන්න ඕනේ තෙමිලා ආවා නම්.
පුංචම්මා මට තේ කෝප්පයක් දෙන ගමන් කිව්වා.
ඒ එක්කම වගේ ඉස්සරහ දොරේ සීනුව නාද වුණා.
"කවුද දන්නෙ නෑ.." අපි තුන් දෙනාම ඒ පැත්ත බැලුවා.
"මම අරින්නම්" සාලෙ ටීවී බලමින් උන්නු බට්ටි දුවලා ගියා දොර ගාවට.
මමයි, අක්කයි දෙන්නම සාලෙට ගියා.
"කවුද බට්ටි?" අක්ක ඇහුවත් උත්තරයක් ඕන වුණේ නෑ. දොර ලඟ උන්නු කෙනා දැකලා මගේ කකුල් දෙක පණ නැති වුණා වගේ මට දනුණා. හිතේ ගැස්මත් ඉබේටම වැඩි වුණා.
"ආ...මේ අපූ නේ. එන්න ගෙට" හර්ෂි අක්කා කියද්දි මම හෙමිහිට කුස්සියේ දොර රෙද්දට මුවා වෙලා වගේ හිට ගත්තා.
"ගෙට එන්න බෑ. මේක දීලා යන්න ආවේ" අපූර්ව දික් කලේ මගේ කුඩේ.
අක්කා මම කොහේද බලන්න වට පිට බැලුවා.
"දෙන්න" මම නැති පාර අක්කා ඉල්ලුවා.
"අයිතිකාරයට විතරයි දෙන්නේ" අපූර්ව කිව්වා.
"ඒ මොකෝ? මේ හද්දා පරණ කුඩේ මම හොරකම් කරයි කියලද?" අක්කා ඇහුවේ හිනා වෙවී. බට්ටිත් කට ඇරගෙන මේ වෙන දේවල් දිහා බලාගෙන උන්නා.
"කියන්න බෑනෙ. කෝ මෙත්මාට එන්න කියන්න"
"මෙත්මා?" අක්කා ඇහුවේ පුදුමෙන් වගේ.
මගේ උගුරකට වේලිලා, මම උන්නේ ගැහි ගැහී. අපූර්ව ඒ පාර මොනවා කරන්න යනවද මන්දා.
"ඇයි එයා ඉන්නේ මෙහේ නෙවෙයිද?"
"නංඟී...මෙහේ එන්න. කෝ මේ ළමයා දැන් මෙතන හිටියනේ" අක්කා මට කතා කලාම නොගිහින් ඉන්න මට බැරි වුණා. අක්කට නිකම් හරි මොනවා හරි දැනුනොත් මම ඉවරයි.
මම දොර ලඟට ගියත් අපූර්ව දිහා කෙලින් බැලුවේ නැහැ. ඒත් ඔහු තාමත් අර තෙත ඇඳුම් පිටින්ම ඉන්නවා දක්කාම හිත පොඩ්ඩක් රිදුණා. අක්කයි, බට්ටියි මාව එතන දාල ටීවී එක ලඟට ගියේ මාව තවත් අපහසුතාවයට පත් කරමින්. මම දොරෙන් එලියට බැස්සා. අක්කට අපි කියන දේවල් ඇහේවි කියන බයට.
"මොකටද ආවේ?" මම ඇහුවේ රහසින් වගේ.
"ඇයි මාව දාල දුවගෙන ආවේ? මොකක්ද මම කරපු වැරැද්ද?" අපූර්ව කිව්වේ තරමක් තදින්.
"කෑ ගහන්න එපා ප්ලීස්. මට කියන්න දෙයක් නෑ. කරුණාකරලා මම ගැන වැරදි අදහස් තියා ගන්න එපා. මීට පස්සේ මාව හම්බවෙන්න එන්නත් එපා" මම කිව්වේ ගෙදර දිහා බල බල.
"ආදරේ කියන්නේ වැරදි අදහසක් නෙවෙයි"
"මට දැන් ඔයා එක්ක මෙතන තර්ක කර කර ඉන්න බෑ අපූර්ව. කුඩේ දීලා ඔයා යන්න" මම කිව්වේ නිර්දය විදියට.
අපූර්ව මගේ දිහා බලාගෙන උන්නේ දුකින් වගේ.
"මම කවදාවත් හිතුවේ නෑ ඔයා මට මෙහෙම කරයි කියලා" ඔහු කිව්වේ පරාජිත ස්වරයෙන්.
"මමත් හිතුවේ නෑ"
"මේකෙ තේරුම ඔයා මට අකමැතියි කියන එකද?"
"ඔව්"
"ආපහු එකම එක පාරක් හිතලා බලන්න මෙත්මා ප්ලීස්. මම කොහොමද හිත හදා ගන්නේ?"
"ඒක මම දන්නෙ නෑ. ආයේ හිතන්න දෙයක් නෑ අපූර්ව"
මම කිව්වේ ස්ථිර විදියට.
අපූර්ව හිස වැනුවා.
"නෑ. එහෙම වෙන්න බෑ. ඔයා මට කැමති වෙන දවසක් එනවාමයි. එතකල් මම බලන් ඉන්නවා මෙත්මා"
"අපූර්ව..."
"මොනවත් කියන්න එපා, ඔයා මොනා කිව්වත් මම ඔයා ගැන හිතන එක නවත්තන්න ඔයාට බැහැ. ඒත් ඔයාට ඕනේ නම් මට රිද්දන්න පුලුවන්, මේ විදියට නපුරු වෙලා"
අපූර්ව කුඩේ මගේ අතට දීලා වැස්සෙම එලියට බැස්සා. මම උන්නේ ගල් ගැහිලා වගේ ඔහු යන දිහා බලාගෙන. ඔහු අපේ ගේට්ටුව ලඟදි ආයෙම හැරිලා මගේ දිහා බැලුවා. මම ඉක්මණට අහක බලා ගත්තා. හිත තිබ්බේ රිදුම් දෙමින්. ඇයි අපූර්ව මට මෙහෙම කරන්නේ? අපූර්වට නපුරු වුණ එක ගැන මගේ හිත මට දොස් කිව්වා. ඇත්තටම මම අපූර්වට අකමැතිද? මම දැනං හිටියේ නැහැ.
මම ආපහු ගෙට එද්දි අක්කා මගේ දිහා බැලුවේ සැකෙන් වගේ කියලා මට හිතුණා. මම හිතපු දේ හරි කියලා මට තේරුණේ රෑ නිදා ගන්න ලෑස්ති වෙද්දි අක්ක මගේ කාමරෙට ආවාමයි.
"නිදා ගන්නද හදන්නේ?" අක්ක ඇහුවේ මගේ ඇඳ උඩින් වාඩි වෙන ගමන්. මම උන්නේ මෙසේ ලඟ හිස පීරමින්.
"ඔව් අක්කා"
"මම ආවේ ඔයාගෙන් පොඩි කාරණාවක් අහන්න"
අක්කා කිව්වාම මගේ හද ගැස්ම වැඩි වෙන්න ගත්තා.
"මොකක්ද?" මම අක්කා දිහා නොබලම් ඇහුවා.
"බස් එකේ අමතක වුණයි කියපු කුඩේ කොහොමද අපූ අතට ආවේ? කුඩේ තියෙද්දිත් දෙන්නම තෙමුනේ මොනවා වෙලාද?"
මම හිස පීරන එක නවත්තලා පනාව හයියෙන් අතේ ගුලි කරගෙන හිටියේ හිත පාලනය කර ගන්න.
"අම්මට බොරු කිව්වට මට බොරු කියන්න ඔයාට බෑ නගෝ...මොනවා හරි දෙයක් වෙලා තියෙන වග මට තේරෙනවා. මට ඇත්ත කියන්න ඉන්දි, අද මොකද වුණේ?"
මගේ ඇස් වල කඳුළු පිරුණා නිකම්ම. මට අක්කා දිහා බලන්න හයියක් තිබ්බේ නැහැ. අක්කා මගේ ලඟට ඇවිත් මාව එයාගේ පැත්තට හරව ගත්තා.
"අපූ මොනවා හරි කිව්වද?"
මගේ ඇහිපිය සැළුනා ඉක්මණට.
"කිව්වද?" අක්කා ඇහුවේ සැරෙන්, මාව හොලවලා.
"ඔ...ඔව්" මට කියවුණා.
අක්කා මාව අතෑරියා. අපූර්ව කිව්වේ මොනවද කියලා අක්ක කියන්න උවමනා වුණේ නැහැ.
"ඉතිං ඔයා මොකද කිව්වේ? අක්කා ඇහුවා.
"මොනවත් නෑ"
"මම අපූර්වට හොඳ දෙකක් කියන්නම්කෝ" අක්ක කියද්දි, මම ඇගේ අතේ එල්ලුනා.
'අනේ එපා අක්කේ...ඔයා මේ ගැන දන්න වගක් වත් අඟවන්න එපා. මම නිසා ඔයාල අතරේ තියෙන යාළුකමත් නැති වේවි. සමහරවිට එයා කියපු දේ බරපතලකම එයාවත් දන්නේ නැතුව ඇති" මම කිව්වා.
අපූර්වට කවුරුවත් මොනවත් කියනවට මගේ හිත අකමැති ඇයි?
අක්කා මොහොතක් මගේ දිහා බලාගෙන හිටියා.
"මං දන්නෑ ඉන්දි, මට ඔයාව තේරුම් ගන්න බෑ"
අක්කා කිව්වේ එච්චරයි.
අක්ක ගියාට පස්සේ මම එහෙමම මේසය ලඟින් ඉඳගත්තා. මම අපූර්වට මොනවා කිව්වත් ඔහු වෙනුවෙන් මගේ හිතේ කොනක් රිදුම් දෙන වග මට දැනුනා.
මේසය මත තිබ්බ මගේ බෑග් එක දිහාවට මගේ ඇස් යොමුවුණේ ඉබේටම.ආපු වෙලාවේ ගෙනැත් මේසේ උඩට විසි කරපු ගමන් ඒක එහෙම්ම තිබ්බේ හොඳටම තෙමිච්ච ගමන්මයි. මම ඉක්මණට පොත් ටික ඇඳ උඩට හැලුවා. ඉටි කවර දාලා තිබුණත් පොත් ටික තෙමිලා. මගේ සුදු කවර දාපු පොත් අතරේ තිබුණ අපූර්වගේ නිල් පාට පොත මගේ ඇහැ ගැටුණේ මෙවෙලේ. මට අපූර්වගේ පිස්සු වැඩ මතක් වුණා. අනේ අපට එහෙමම ඉන්න බැරි වුණේ ඇයි? පොත් පිටු ඔහේ පෙරලන ගමන් මම හිතුවා.
'අවිදුර සංවලිත නාලිකාවේදී 100% ග්ලුකෝස්...'අපූර්ව පැහැදිලි, දිගටි අත් අකුරින් සටහන් ලියලා තිබ්බා. පිටු පෙරලීගෙන පෙරලීගෙන යන අතරේ එක පාරටම පොතේ අන්තිමට වෙන්න තිබ්බ පිටු කීපයක් ලඟ මගේ ඇස් විතරක් නෙවෙයි, හිතත් නැවතුණා. ඒ පිටු සේරම අකුරු කරලා තිබ්බේ මගේ නමට.

2 comments:

  1. Thank you :) ... Wishing you all the best with the exams...

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්ම්ම්!

    තවත් දිග හැරුමක්......බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා...

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....