Monday, October 3, 2011

දහසයවෙනි දිගහැරුම


මම ආපහු නුවර ගියේ බට්ටිත් එක්කමයි. එයාට ඉස්කොලෙ නිවාඩු නිසාත්, ගෙදර තනියෙම නිසාත් ඈ නුවර එනවට අප්පච්චි මුකුත් කිව්වේ නැහැ. බට්ටි ආපු එක ගැන පුංචම්මටත් සතුටුයි, මොකද මමයි අක්කයි දෙන්නම උදේ ගෙදරින් ගියාම පුංචම්මට පාලු නැහැනේ. නුවර කාලගුනේ නම් ඒ තරම් වෙනස් වෙලා තිබුණේ නැහැ. නත්තල් ලඟ නිසා නත්තල් කුණාටුව වෙන්න ඇති  කියලයි පුංචම්මා නම් කිව්වේ.
මම අපූර්වට කෝල් කරන්න හිතුවත් ඒකට ඉඩක් ලැබුනේ නැහැ. අපේ ගෙදරින් ගෙනාපු එළවළු වගයක් සුධර්මා ඇන්ටිට ගෙනිහින් දෙන්න කියලා පුංචම්මා කියපු නිසා මට අපූර්වගේ ගෙදරම යන්න වුණා.
"අනේ මම ඒත් බැලුවා කවුද මේ පිටිපස්ස දොරට ගහන්නේ කියලා? එන්න දූ ගෙට" සුධර්ම ඇන්ටි පුරුදු සුහද ලීලාවෙන් මාව පිළිගත්තා.
"මේක පුංචම්ම දෙන්න කිව්වා" මම අතේ තිබ්බ පාර්සලේ ඇයට දෙන ගමන් කිව්වා. ඒ අතරේ මම හෙමිහිට බැලුවේ අපූර්ව පේන්න ඉන්නවද කියලයි.
"නුවර එළියෙන් නේද? අනේ තෑන්ක් යූ කියන්න පුංචම්මට. එන්න යමු ඉස්සරහට"
මම හෙමිහිට ඇගේ පස්සෙන් ඇදුනා.
"අපූර්ව පාඩම් කරනවා ඇති නේද ඇන්ටි?" මම ඇහුවේ අපූර්ව පේන්න නොහිටි නිසා.
"පාඩම් නං මම දන්නේ නෑ, ඕන්න උදේ හිටන් ටීවී එක ලඟ වාඩි වෙලා මැච් එකක් නං බල බල හිටියා. ඉන්න බලමු..."
ඇන්ටි එහෙම කියද්දිම වගේ උඩ තට්ටුවේ බැල්කනියට උඩින් මතු වුණේ අපූර්වගේ මූණ.
"ආ... මේ මෙයානේ. කවද්ද මැඩම් මෙහාට ගොඩ බැස්සේ?" අපූර්ව එතන ඉඳගෙනම ඇහුවා.
"අද ආවේ" මම හිනා වෙලා කිව්වා.
"එහෙනං දූ අපූ එක්ක කතා කර කර ඉන්නකෝ. මම බොන්න දෙයක් අරන් එන්නම්" ඇන්ටි කුස්සියට ගියේ මම මුකුත් කියන්නත් කලින්.
"මම දැන් ගෙදරින් තේ බීලයි ආවේ" මම කිව්වේ පඩිපෙල බහිමින් උන්නු අපූර්වට.
"හරි හරි. තේ පැන් දින දින වැඩි වැඩියේ, බීමෙන් සිරුරට සැප වැඩි වේ කියනවනේ. තව එකක් බොන්න"
ඔහු කිව්වේ අන්තිම පඩි තුන මගෑරලා බිමට පනින ගමන්.
මම ඔහු දිහා උනන්දුවෙන් බැලුවා. හැමදාම වගේ ඒ හිසකෙස් නම් තිබුණේ අවුල් වෙලා. ඒ මදිවට දවස් ගානකින් කපපු නැති රැවුලකින් මූණත් හැඩි වෙලා.
"විභාග ශාලාවෙන් කිව්වද නාලා, රැවුල කපලා ආවොත් බලාගෙනයි කියලා? හැටි බලන්නකෝ ඔයාගෙ"
මම කිව්වා.
"අපිව ඉතින් කවුරු බලන්නද? බල්න්න ඉන්න අයත් එහේ මෙහේ ගියාම" අපූර්ව කිව්වේ මගේ දිහා හොරැහින් වගේ බලමින්.
මම ඒකට උත්තරයක් නොදි කතාව වෙන පැත්තකට හරවන්න උත්සාහ කලා.
"ඒවයින් වැඩක් නෑ. කොහොමද විභාගේ ලේසිද? තව සබ්ජෙක්ට්ස් කීයක් ඉතිරිද ලියන්න?"
"තව ෆිසික්ස් ඇන්ඩ් ජෙනරල් පේපර් තියෙනවා"
"හොඳවෙලාවට දෙකක් තියෙන්නේ. ඕ ලෙවල් වගේ වුණානං ඔයාව හොයන්න බැරි වෙනවා කොණ්ඩෙනුයි, රැවුලෙනුයි වැහිලා" මම ආයෙම ඔහුට විහිලු කලා.
අපූර්ව මුකුත්ම නොකියා මගේ දිහා බලාගෙන උන්නා.
"ඔයා ආපු එක හොඳයි. අයි මිස්ඩ් යූ" ඔහු   ඊලඟට කිව්වේ මගේ හිත සසලන හඬකින්.
මම මුකුත් කියන්න කලින් සුධර්මා ඇන්ටි තේ හදාගෙන, කේක් බන්දේසියකුත් අරන් අපි අතරට ආවා. මම සුසුමක් හෙලුවා.
"මොකෝ මෙයා කියන්නේ දූ?"
ඇන්ටි ඇහුවේ මට කේක් පිලිගන්වන ගමන්.
"මමා...අපි පෝස්ට් මෝටම් කරන්නේ නෑනෙ. ගිය දේ ගියා. දැන් ඉතිං කරන්න දෙයක් නෑ" අපූර්ව මට කලින් උත්තර දුන්නා.
තේ බීලා, සතුටු සාමිචියේ යෙදිලා මම ගෙදර එන්න පිටත් වෙද්දි පැය බාගයක් විතර ගිහින්. අපූර්ව මා එක්ක දොර ලඟටම ආවා.
"තව සති දෙකකින් විතර විභාගේ ඉවර වේවි" ඔහු කිව්වා.
"හ්ම්. එතකොට හරි නිදහසක් දැනෙනවා" මම කිව්වා.
"මතකයි නේ විභාගේ අන්තිම දවස ගැන මම කිව්වා?"
මම අපූර්ව දිහා බැලුවේ දඟකාර විදියට.
"මොකක්ද ඒ විශේෂත්වෙ?"
"ඒක මම එදාටම කියන්නම්. දැන් ආයේ වැස්සක් එන්න කලින් ගෙදරට දුවන්න..."
ඔහුත් මට දෙවනි නැති විදියට කිව්වා.
"එදාට නැකතක්ද?" මම ඇහුවා.
"නෑ. හැබැයි පස්සේ නැකතකුත් බලන්නයි හිතාගෙන ඉන්නේ"
ඔහුගේ අපබ්‍රංෂ කතාව තවත් අහන්න නොහිට මම ගෙදර දුවලා ආවා.
"මට තේරෙන්නේ නෑ. මම යනවා"
බට්ටි ආවට පස්සේ පුංචම්මලාගෙ ගෙදර පිරිලා වගේ කියලා මටැ හිතුණා. කාටූන් බලන්න, කතා පොත් කියවන්න, පුංචම්මා පස්සේ වැටීගෙන ඇවිදින්න වගේම, මායි, හර්ෂි අක්කයි එක්ක හුරතල් වෙන්නත් එයාට ඕනෙ වුණා. ගෙදර ආපහු ගියාම මේ කෙල්ල තනි වෙනවා නේද කියලා හිතද්දි මට මගේ නංඟි ගැන ඇති වුණේ දුකක්.
"කෙල්ල ගියාම මට තමා පාලු..."පුංචම්ම හැම වෙලේම කිව්වා.
අයියා තාමත් ගෙදර එන්නේ නෑ කියලා අම්මා කිව්වාම මගේ හිතට ආයෙම එකතු වුණේ බරක්. අප්පච්චිට නම් ඒ ගැන ගාණක් වත් නැතුවා වගේ. බට්ටි නුවර ඉන්න එක ගැන අම්මත් සතුටු වුණා, නැත්නම් මේ ප්‍රශ්ණ නිසා ඒ පුංචි හිතත් තැලෙන නිසා. ඔය සේරම අස්සේ අපූර්වගේ අමුතු කතා ගැන හිතන්න මට කාලයක් තිබ්බේ නැහැ. විභාගේ අන්තිම දවස වෙනකල්ම අපි මුණ ගැහුනෙත් නැහැ. ඉඳහිට පිස්සු එස්.එම්.එස්. එකක් එවනවා ඇරෙන්න මට කතා කරන්න ඔහුටත් ඉස්පාසුවක් තිබුණේ නැති තරමයි.

උසස් පෙල විභාගේ අන්තිම ප්‍රශ්ණ පත්‍රය තිබුණේ බදාදා දවසක. එදාට අපට ක්ලාස් ඉවර වෙන්නේ හවස හතරට. දවල් කෑම පැයේ ඉඳන්ම මම කල්පනා කලේ අපූර්ව අද විශේෂයෙන් එනවා කිව්වේ මොකද කියලා. හිතට විවිධ අදහස් ආවත් ඒව දිගේ දුර හිතන්න මම බය වුණා.
"මොකද මෙත් ඔයාට අද වෙලා තියෙන්නේ?" මගේ වෙනස අමාටත් තේරිලා.
"මුකුත් නෑ" මම බොරුවක් කිව්වා.
හිරු ආයෙමත් ක්ලාස් එන එක නවත්තලා තිබුණ නිසා පංතියේ දැන් එකට හිටියේ අපි දෙන්න විතරයි.
"හිරුට මොනා වෙලාද දන්නේ නෑ" අපි දෙන්න තිස්සේම කතා වුණා. අමා නම් හැමතිස්සේම කිව්වේ හිරුණිට කලින් මේ දේවල් ගැන හිතන්න තිබ්බ කියලයි. ඒත් ඉතිං පස් මහ බැලුම් බල බල ආදරේ ඇති වෙන්නේ නැහැනේ. මට හිරුණි ගැනයි, අනුරාධ ගැනයි තිබුණේ අනුකම්පාවක්.

"අදත් ඔන්න චුරු චුරුව පටන් අරන්" අමා ජනේලයකින් එලියට එබිලා කිව්වා.
අපි පංතිය ඇරිලා යන්න එලියට බහින්න හැදුවා විතරයි, වහින්න පටන් ගත්තා.
"මොනා කරන්නද? යං. යං"
මම ඉක්මණ් කලේ අපූර්ව මම එනකල් තෙමෙමින් බලන් ඉන්න බව දන්න නිසා.
පණ්ඩිතයෝ වගේ එලියට බැස්සත්, විනාඩි පහක් යන්න කලින් අපේ දනහිස් ලඟට යනකල්ම හොඳටම තෙමුණා. මම ඇඳලා උන්නු දිග සාය තෙතබරියම් වෙලා කකුල් දෙකටම ඇලුණා.
"අයියෝ අපරාදේ මම මේ සාය අද ඇඳන් ආවේ" විස්සෝප වෙනවා ඇරෙන්න මට කරන්න දෙයක් තිබ්බේ නෑ.
අපි දෙන්නා මාලිගාව ලඟින් පාර පනින්න හදනකොටම වගේ අමා මගේ අතකින් ඇදලා නැවැත්තුවා.
"ඇයි?"
"අපූර්ව" අමා මට පෙන්නුවේ රැජිණ හෝටලයට මාලිගාව පැත්තෙන් ඇතුල් වෙන තැනම උන්නු කොලු රංචුවක් අතර හිටපු අපූර්වව. අපූර්ව අපිව දැක්කේ ඊට පස්සේ.
අපිව දැකපු ගමන් අපූර්වගේ මූණේ ඇඳුනේ ලොකු හිනාවක්. අපූර්වගේ යාලුවන්ටත් ලොකු හිනාවක් ගිය හැඩයි.වෙන් කරලා අඳුනගන්න බැරි තරම් ගෝසාවකින් ඒ අය අපූර්වට මොනවදෝ කියලා හිනාවුන වග මට පෙනුනා. ඒ අතර යෂීෂ් ඉන්නවත් මම දැක්කා.' ඔයා ඉන්න මම එන්නම්' කියලා අපූර්ව මට අතක් වනලා කිව්වා.
"ඔට්ටුව මතකයි නේ අපූ...?" අපූර්ව අපි උන්නු දිහාට එන්න හදද්දි එක කොල්ලෙක් කෑ ගැහුවා. අපූර්ව මුකුත් නොකියම හිනා වෙලා අපි දිහාට එන්න ආවේ කුඩයක් වත් නොගෙනයි.
සුදු පාට අඩිඩාස් ටී ෂර්ට් එකක් අඳලා, කලු ඩෙනිම් කලිසමක් ඇඳලා, හිසකෙස් අවුල් කරගෙන, බාගෙට තෙමිලා උන්නු අපූර්වගෙන් මට පෙනුනේ අමුතු දඟකාර විලාසයක්. අප්පොර්ව ආපු ගමන්ම අහන්නෙවත් නැතිව මගේ කුඩේ ඇතුලට වැදුනා.
"කුඩයක් ගේන්නේම නෑනෙ?" මම ඇහුවේ සරදමට වගේ.
"ඔයා ගේන් වග මම දන්නවනේ" අපූර්ව කිව්වේ අමාටත් ආචාර කරන ගමන්මයි.
"හායි අක්කි කොහොමද?"
"හොඳයි"
"ම්ම්...අපි වැව රවුමට යමුද?" අපූර්ව ඊට පස්සේ ඇහුවා.
"මම මෙතනින් යනවා එහෙනම්. හෙට හම්බවෙමු. යන්නම් මල්ලි" අම්ම අපෙන් සමු ගත්තේ ඔරලෝසු කණුව අසල බස් නැවතුමට යන්න.
අපි දෙන්න පාර පැනලා වැව රවුමට ගොඩ වුණා.
"මොකද මේ පාට ඇඳුමින්, ගෙදර ගිහින්ද ආවේ?" මම ඇහුවා.
"ඔව්. පේපර් එක උදේ නේ තිබ්බේ"
"මේ පොත ඔයාගේ බෑග් එකට දා ගන්න්වද?" අපූර්ව අතේ රෝල් කරගෙන උන්නු පොතක් මට දික් කලා. මම එක බෑග් එකෙ දා ගත්තා.
"එහෙනම්  ඒලෙවලුත් ඉවරයි නේ?" මම කිව්වා.
"ඔව්. මම දැන් නිදහස් ගොවියෙක්!"අපූර්ව කිව්වේ දෑත් දෙපැත්තට විහිදලා.
මට හිනා පහල වුණා ඔහුගේ විකාර නිසා.
"ඉතිං මට අර විශෙෂත්වේ ගැන කියන්නෙ නැද්ද? ඔයා අද එන්නම් කිව්වේ ඒකටනේ" මම ඇහුවා.
අපූර්ව එක පාරටම නිහඬ වෙලා කතා කලේ වෙලා අරගෙන.
"ම්ම්...කියන්නම්. අපි ටොරිංටන් එකට ගිහින් එතනින් නගිමුද?" අපූර්ව ඇහුවාම මමත් එකඟ වුනා.
"ඔයා හොඳටම තෙමිලනේ" අපූර්ව කිව්වේ අපි ආයේ පාර පැනලා බස් නැවතුම ලඟට යන අතරෙදි.
"ඔව්. මම ත් මෝඩ්යා වගෙ මේ දිග සාය ම ඇඳගෙන ආවා නේ"
"ඒ වුණට ඕක ඔයාට ලස්සනයි. ඔය විදියට කොණ්ඩෙ තෙමිලා කැරලි වුනාමත් ලස්සනයි" අපූර්ව කිව්වාම මට ලැජ්ජාවකුත් දැනුනා.
"අනේ බොරු" මම කිව්වෙ ඒ නිසා.
"නෑ. ඇත්තමයි"
"හරි හරි. දැන් ඔය ඇති ඒ කතාව"
මම ලැජ්ජාවෙන්ම කිව්වාම අපූර්ව කුඩේ යටින් තව ටිකක් මට ලං වුණේ ගෑවෙන්න නොගෑවෙන්න තරමට.
"නෑ අක්කි, ඇත්තටම ඔයා මට හුඟක් ලස්සනයි"
මම ඒ පාර මුකුත්ම නොකියා උන්න බස් නැවතුමට යනකල්ම.
වැස්ස තවමත් එක සීරුවට ඇද හැලෙනවා. අපි බස් නැවතුමට යද්දි ම වගේ අලුතෙන් බස් එකක් එටනට ආවා. අපි දෙන්න ඒකට නැගලා මැද හරියෙන් වාඩි වුණා.
"ඔයාට මම කිව්ව එකට ලැජ්ජ හිතුණා නේද?" අපූර්ව ඇහුවේ හෙමින්.
"මොකටද?"
"ලස්සනයි කියපු එකට"
"නෑ"
"එහෙනම් ඔය තරම් රතු වෙලා මොකද?"
"අනේ අපූර්ව ඇති දැන් ඕක නවත්තන්න කෝ" මම කිව්වේ බැරිම තැන.
"හරි හරි" අපූර්ව කිව්ව.
"දැන්වත් මට කියනවද ඇයි අද විශේෂයෙන් එන්න කිව්වේ කියලා" මම ඇහුවේ මගේ කුතුහල මැදගෙන ඉන්න බැරි වුණ නිසයි.
අපූර්ව මගේ දිහාවට ඉක්මණ් බැල්මක් හෙලලා අහක බලා ගත්තා.
දැන් බස් එකේ සීට් ගාණටම වගේ සෙනග පිරිලයි උන්නේ.
"මම දන්නෙ අනෑ කොහෙන් පටන් ගන්නද කියලා" අපූර්ව කිව්වේ කල්පනාබරව.
"අයි? ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද?" ඔහුගේ හැසිරීම මගේ හිත නොසන්සුන් කරවන්න වුණා.
"නෑ.නෑ. මට ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්ණයක් අහන්නයි මට තියෙන්නේ?"
"ප්‍රශ්ණයක් අහන්න,කාගෙන්ද?"
"ගෑණු ළමයෙක්ගෙන්. මගේ හීන කුමාරිගෙන්"
ඔහු එහෙම කිව්වාම මගේ හිතට දැනුන හැඟීම විස්තර කරන්න මට තේරෙන්නේ නෑ. ඒක හරියට එක පාරටම අයිස් වීදුරුවක් පිට දිගේ හැලුනා වගේ එකක්. එක පාරටම කියන්න දෙයක් මට හිතා ගන්න්බැරි වුණා. අපූර්ව ගෑණු ළමයෙක් ගැන මගෙත් එක්ක මෙහෙම කතාකරන පළවෙනි වතාව නිසා. අපූර්ව කාට හරි ආදරය කරනවද? ඒක දැනගන්න මගේ හිතේ තිබ්බේ කුතුහලයකට වඩා නොඉවසිලිමත් කමක්. එක පාරටම අපි අතර මහා දුරස්ත භාවයක් ඇති වුනා වගෙයි මට දැනුනේ. ඒත් එක්කම මේ දැනෙන්නේ හීනි දුකක්ද?
"අනේ මම දන්නේ නෑ අපූර්ව. ඔයා මේ දවස් ටිකේම හරි අමුතු කතා කියන්නේ. ඇත්තටම මොකද ඔයාට වෙලා තියෙන්නේ?"
මම ඇහුවා.
බැස් එක ගමන් කරන්න පටන් ගෙනයි තිබුනේ. අපි උන්නේ ආයෙමත් වැව රවුම ලඟ.
අපූර්ව තවමත් මා දිහා නොබලම උත්තර දුන්නා.
"මටත් තේරෙන්නේ නෑ. මේ හැම දෙයක් ගැනම මම ගොඩක් හිතන්න පටන් ගත්තේ ඔයා ගෙදර ගිය දවස් වල"
මම ගෙදර උන්නු දවස් ටිකේ අපූර්වට ගෑනු ළමයෙක්වත් මුණගැහිලද?
"මම ගොඩක් හිතල හිතලා තමයි මේ තීරණේට ආවේ" අපූර්ව ආයෙම කියනවා.
"ඔය කියන්නේ මොකක් ගැනද කියලා මට නම් තේරෙන්නේ නෑ අපූර්ව" මම කිව්වේ ඇත්තටම.
"අපි බැස්සාම මම කියන්නම්" අපූර්ව කිව්වා.
ඊට පස්සේ බහිනකල්ම වගේ ඔහු උන්නේ කල්පනා කරමින්මයි. මමත් ඔහුට බාධා කරන්න ගියේ නැහැ. බස් එකෙන් බහිද්දි වත් වැස්ස ඇදු වෙලා තිබුණේ නැහැ. මම බහිනකල් ඉස්සේල්ලම බැහැපු අපූර්ව උන්නේ තෙමි තෙමි. මම ඉක්මණට කුඩේ දිග ඇරියා.
අපි හෙමිහිට පාර දිගේ ඇවිදගෙන ආවා. වෙනදට එක්කෙනෙක් දෙන්නෙක් වත් ඉන්න පාරේ අද කවුරුවත්ම හිටියේ නැහැ. මොර සූරන වැහි ගෙඩි තාර පාරේ පතිත වෙලා මල් වගේ බිඳෙන හැටි මම බලා උන්නා.
"ඔයාට මොනවහරි ප්‍රශ්ණයක් නම් මට කියන්නේ නැත්තේ ඇයි අපූර්ව?" අපූර්වගේ නිහඬ බව ඉවසන්න බැරි තැන මම ඇහුවා.
අපූර්ව මගේ දිහා බලුවේ ගොඩාක් දයාබරව.
"නෑ...ඔයා එහෙම හිතන්න එපා. ඔයා මම ගැන කොච්චර කෙයාර් කරනවද අක්කි..."
මම හිනා වුණා.
අපූර්ව හිටපු ගමන් පාර මැදම නැවතුණා.මම එහෙමම අඩි දෙක තුනක් ගිහින් ආපහු අපූර්ව ලඟට දිව්වේ ඔහු තෙමෙන නිසා.
"මොකද මේ? තෙමෙන්න ඔච්චර ආසද?"
අපූර්ව ආයෙමත් අර දරා ගන්න බැරි දයාබරත්වයෙන් මගේ දිහා බලාගෙන. මට ඔහුගේ අමුත්තක් තේරුණා. අපූර්ව කුඩේ යටින් මගේ ලඟටම ඇවිත් හිට ගත්තේ මාව තරමක් අපහසුතාවයට පත් කරමින්. මම කරන්න දෙයක් නැති තැන බිම බලා ගත්තා.
ඊලඟට වුණේ හිතාගන්න බැරි දෙවල් ගොඩක්.
අපූර්වගේ ඇඟිල්ලක මගේ වැස්සට තෙමිලා මූණට වැටුණු කෙස් රොදක් පැටලුණා. අපූර්ව  ඒ කෙස් රොද මගේ කන පිටිපස්සේ රඳවද්දි මගේ හිත හොඳතෝම ගැස්සුණා. අපූර්වගේ අත අහක් කරන්න මගේ අතක් ඉස්සුනෙත්, මට ඔහු දිහා බැලුනෙත් නිරායාසයෙන්මයි.
"ඔයාට බැරිද මගේ හීන කුමාරි වෙන්න මෙත්මා?" අපූර්ව ඇහුවේ හිත විනිවිද යන තරම් දයාබරත්වයකින්.
"අපූර්ව?" මගේ උගුර කට වේලිලා මට කියා ගන්න පුලුවන් වුණේ එච්චරයි.
"මම ඔයාට ආදරෙයි මෙත්මා...හුඟාක්, හුඟාක් ආදරෙයි"
ඔහු කිව්වේ ඇහෙන නෑහෙන ගාණට. මම ඔහු දිහා තප්පරයක් දෙකක් එහෙමම බලාගෙන උන්නේ ඔහු කියපු දේ අදහා ගන්න බැරිව.අපූර්ව මම ගැන එහෙම හිතුවේ කොහොමද? මගේ හිතට එක පාරටම ආවේ ආවේගයක්.
"හව් කුඩ් යූ?" මම අපූර්වව තල්ලු කලා මගෙන් ඉවතට.
ඊලඟ මොහොතේ මම ආයෙමත් මුකුත් නොකියම හැරිලා, කුඩෙත් එතනම දාලා එක පිම්මේ පාර දිගේ ගෙදර පේනකල්ම දුවගෙන ආවේ පස්සවත් හැරිලා නොබලමයි.
 ගේට්ටුව ලඟට එද්දි මට හොඳටම හති වැටිලයි තිබුණේ. ඊටත් වඩා මොරගෙඩි වැස්සෙන් මගේ මුළු ඇඟම තෙත බරිත වෙලයි තිබුණා. මම ගේට්ටුවේ කූරු වල එල්ලුණා. හිතට දැනිලා තිබුණේ දුක, කළකිරිම, තරහ, බය කියන ඔය හැඟීම් සේරගේම සම්මිශ්‍රණයක්. අපූර්ව මතක් වුණාම මගේ ඇස් වලින් කඳුළු එලියට පැන්නේ නිරායාසයෙන්මයි. අපූර්ව මෙහෙම දෙයක් කළේ ඇයි? ඔහු මෙහෙම කරාවි කියලා කවුරු මොනවා කිව්වත් නම් හීනෙකින් වත් හිතලා තිබුණේ නැහැ. ඇස් වලින් පිට පැනපු උණු කඳුළු බිංදු, සීතල වැහි බිංදු එක්ක එකතු වෙලා බිමට වැටුණා. මම ගේට්ටුව ඇර ගෙන ඇතුලට ගියේ හීනෙන් වගේ. හොඳ වෙලාවට සාලේ කවුරුවත් උන්නේ නැහැ. මම වතුර පිරුණ පාවහන් දෙක එළියේ පඩිය මත ගලවලා ගෙට ආවේ වතුර බේරන ගමන්මයි. පුංචම්මට නොපෙනී කාමරෙට යන්නයි මට උවමනා වුණත් පඩිපෙල ලඟට යද්දිම ඇය මට කතා කලා.
"දෙයියනේ මේ මොකද? හොඳටම තෙමිලා, වතුරත් බේරෙනවා. අද කුඩේ ගෙනිච්චේ නැද්ද ළමයෝ?" පුංචම්මා හයියෙන්ම ඇහුවා. මම මුකුත් නොකියම කාමරෙට දුවලා ගිහින් නාන කාමරේට වැදුණා, පුංචම්මත් මං පස්සෙන්ම කාමරෙට ආවා.
මට තවමත් ඇඬෙනවා. ඒත් මම පුංචම්මට මොනවා කියන්නද? මම වෙලා අරගෙන, තෙත අඳුම් ගලවලා තුවායක් දවටගෙන, ආපහු කාමරෙට ආවේ බොරු හිනාවකුත් මූණේ තවරගෙන.
"මොකද ළමයෝ වුණේ? උඩහට දුවගෙන ආපු විදියට මම බයත් වුණා. හිනාවෙන ලස්සන. කෝ කුඩේ? මොකෝ මේ තෙමීගෙන?"
පුංචම්ම අහද්දි මම කණ්ණාඩිය ලඟට ගිහින් කොණ්ඩය ලිහුවා.
"කුඩේ බස් එකේ අමතක වුණා පුංචම්ම්මේ. ඒක ගන්න මතක් වෙද්දි බස් එක ගිහිං"
මම බොරුවක් ගැලපුවා.
"යසයි. පස්සේ තව මොන මොනවා අමතක වෙයිද දන්නේ නෑ. මේ බද වැස්සෙත් කුඩේ අමතක වෙනවා නම්. කෝ එන්න ඔලුව පිහ දාන්න. නැත්තං හෙට උණක් වත් ගනීවි"
පුංචම්ම අනික් තුවාය අරන් මගේ හිස පිහින්න වුණා.
"මට බය හිතුණා කවුරුවත් පන්නගෙන වත් ඇවිත්ද කියලා, තෙමීගෙන, අහපු දේටත් උත්තර නොදී උඩට දුවද්දි. ඇත්තටම වෙන දෙයක් එහෙම වුනා නෙවෙයි නේද දරුවෝ?"
පුංචම්මටත් අපේ අම්මට වගේ ඉව තියෙනවා.
"ඔය ඉතිං. මම පුංචම්මට බොරු කියන්වද? මම ආවේ එහා ගෙදර මල්ලි එක්ක. ඕනෙ නම් එයාගෙන් අහන්නකෝ"
මම එහෙම කිව්වාම පුංචම්මා සුසුමක් හෙලලා තුවාය මගේ අතට දුන්නා.
"ඒක මිසක්. අපූ නම් හොඳ දරුවා. මම කිව්වේ මේ දවස් වල ඔය ළමයින්ට තියා අපටවත් පාරක බැහැලා යන්න බයයි නේ. හ්ම්. ඇඳුම් මාරු කරගෙන එන්න තේ බොන්න. මම කෝකටත් කොත්තමල්ලි හැලියකුත් ලිප තියන්නම්කෝ"
පුංචම්මා පහලට ගියේ එහෙම කියාගෙන. මට ලොකු සුසුමක් හෙලුණා. මම දොර අඩවන් කරලා තුවාය පිටින්ම ඇඳට වැටුණා.

2 comments:

  1. මොකද ඊලගට වෙන්නේ දැන් .. ඊලග කොටසත් ඉක්මනට දාන්න//

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....