Saturday, October 29, 2011

හතලිස් වෙනි දිගහැරුම ඉතිරි කොටස


තද කොළ පට ඔසරියක් ඇඳගෙන මුලින්ම ගෙට ආවේ වෙන කවුරුවත් නෙවෙයි ගජධීර මැඩම්. ඊට පස්සේ වත්සල සූරිය ආරච්චි. ඊලඟට ඔවුන්ගේ තාත්තා. අන්තිමට කලිඳු සූරිය ආරච්චි. 'එතකොට ගජධීර මැඩම් කලිඳු අයියාගේ අම්මාද?'
මට සිද්ධ වෙන දේවල් හෙමි හෙමින් තේරුම් යමින් තිබ්බා. අප්පච්චිලාගේ අභ්ප්‍රාය, මේ දවල් කෑම, කල්ලින්ධු අයියාගේ පැමිණීම...මම අන්ද මන්ද වෙලයි හිටියේ තාමත්.
"මෙත්මා..." මම කල්පනාවෙන් මිදුනේ මැඩම්ගේ කටහඬට.
"මැඩම්..." මම හිනා වෙන්න උත්සාහ කලා.
"ඔයා එතකොට මේ මිස්ට ජයමානගේ දුව? වට් අ ප්ලසන්ට් සප්‍රයිස්! පුතාලයි, තාත්තයි මෙහේ එනකල්ම මට කිව්වේ නෑ එන්නේ ඔයාව බලන්න වග. ගිහින්ම බලමුකෝ කිය කිය ආවේ..."මැඩම් කිව්වේ පුදුමෙන් වගේම සතුටකින් මාව වැල්ගනිමින්.
"මේ මගේ කෙල්ලෙක් නේ. මීට මාසෙකට විතර කලිනුත් මගේ ගෝලයෙක්..."
මැඩම් මාව ඇදගෙන ගිහින් පුටුවකටැ බර වුණා.
මේ මොනවද සිද්ධ වෙන්නේ? මම උන්නේ තාමත් මුකුත් හිතාගන්න බැරිව.
ඊටපස්සේ ප්‍රශ්ණ වැලකට උත්තර දීම්, සතුටු සාමිචි, සංග්‍රහ...කොච්චර නම් දේවල්ද?
"...තාම පොඩි වයසනේ, සාරි අඳින්න දන්නෙත් නෑ. ඉතිං අපි බල කලෙත් නෑ..." නැන්දා කාටදෝ කියනවා.
"..අර්තාපල් මිල කොහොමත් බහින්නෙම නැති තරම්..." ඒ අප්පච්චි.
"...තව එක දොදොල් කෑල්ලක් කන්න පුතේ..." අම්මා කාට්දෝ වද කර කර දොදොල් කවන්න හදනවා.
"...හරි සීතලයි තමයි..."
හැමෝම තැන් තැන් වල සතුටු සාමිචියේ යෙදිලා. ඔය සේරම අස්සේ කලිඳු අයියාගේ ඇස් දෙක මං ලඟම නැවතිලා. මං කොහාට ගියත් ඒ ඇස් මගේ ලඟ. මම උන්නේ කියන්න බැරි තරම් අපහසුතාවයකට පත් වෙලා. අප්පච්චි නොහිටින්න මම මෙලහකට කොහේට හරි දුවලා ගිහින් හැංගිලා. මට දැනුනේ කූඩු කරපු සතෙක් වගේ. මං කොච්චර අසරණ වෙලාද කියලා මට හිතුණා.
"අපි එහෙනම් කෙලින්ම කාරණාවට බහිමුකෝ" උගුරේ රැල් බුරුල් හෙම ඇරලා කතාව පටන් ගත්තේ කලිඳු අයියාගේ මාමා. මම තාමත් හිටියේ අප්පච්චි ලඟ. එහෙම කියද්දි මම බිම බලා ගත්තා.
අපි දවල් කෑම අහවර කරලා සාලෙට ගියා විතරයි.
"ආයේ දවස් ගණන් ගන්න ඕන නැනෙ. අපි ඉතිං කාලයක් තිස්සේ දන්න අඳුනන උදවිය ව්ච්චි. ආයෙම ඉතින් කල් අරින්න ඕන නෑ. අපි මේ ගෑණු ළමයට කැමතියි"
ඒ වචන ටික මට ඇහුනේ හීනෙන් වගේ. හිස් මුදුන රත් වීගෙන ඇවිත්, හිතට යකඩ බරුවක් කිඳා බහිනවා වගේ මට දැනුනා.
"අපි කැම්ති වුණාට ගෑණු ළමයා කැමතිද කියලා කවුරුත් ඇහුවේ නෑනෙ" ඒ වත්සල අයියාගේ කටහඬ.
මම හිස උස්සලා බලද්දි හැමෝම මගේ දිහා බලාගෙන. කලිඳු අයියාගේ මමා මහා හයියෙන් හිනා වෙනවා.
"අපට කියාවියැ, මනමාල මහත්තයාටම අහන්න කිව්වා නම් හරි"
මම තව තවත් අපහසුතාවයට පත් වුණා. මට එක පාරටම මතක් වුණේ අපූර්ව. අද මේ වෙන දේවල් ඔහු දන්නවා නං?
අප්පච්චිගේ ඉහේ මලක් පිපිලා ගාණයි. අම්මාටත් හිනාව නවත්තගන්න බෑ. ගජධීර මැඩම්ටත් එහෙමයි.
"පැංචි...එහෙනම් ගිහින් මේ අයියට ඔයාගේ ඕචාඩ් එක පෙන්නන්නකෝ" අප්පච්චි මට කිව්වා.
ටිකක් වෙලා අරගෙන මම නැගිට්ටේ යන්ත්‍රානුසාරයෙන් වගේ.ම ඕන වෙලා තිබ්බේ මේ සේරම දමලා ගහලා ගිහින් කොහේට හරි වෙලා අඬන්න.
"මොනවද ඔයා හදලා තියෙන පළතුරු?"
සයිප්‍රස් ගස් වැට ලඟින් වත්ත දිහාවට දිවෙන පුංචි අඩි පාර ලඟදි මට සමාන්තර වෙන ගමන් කලිඳු අයියා මුලින්ම කතා කලා. මම හිටියේ අහක බලාගෙනමයි.
"ස්ට්‍රෝබෙරි, පෙයාස්, අලි පේර...ඕවා තමයි"
කලිඳු අයියා වට පිට බලනවා.
"ගෙඩිත් තියෙනවද?"
"තාම නෑ"
මම වත්ත අයිනේ තිබ්බ පිච්ච වැල ගාවට ගිහින් ඔහුට පිටු පාලා කිව්වා.
"ගාඩ්නිං වලට ආසද?"
කලිඳු අයියා සුදු පාට ජපන් රෝස පඳුර ලඟ නැවතුනා.
"ආසයි"
"හැබැයි නුවර නම් ඕවා හැදෙයිද දන්නේ නෑ"
එහෙම කිව්වාම මගේ හිත සැලෙන්න ගත්තා.
"ඒ වුණත් වෙන පළතුරු නම් හැදේවි" ඔහු ආයෙම කියනවා.
"හ්ම්" මම ඕනවට එපාවට හිස වැනුවා." මං ඉතිං නුවර එන්නේ නෑනෙ. ඒ නිසා කමක් නෑ"
කලිඳු අයියා මගේ දිහා බැලුවේ පුදුමෙන්.
"ඇයි?"
"මං ආස මෙහෙට විතරයි" මම බොරුවක් කිව්වා.
"එහෙමත් එකක්ද?"
ඔහු ඇහුවේ ජපන් රෝස පඳුර ලඟ ලී බංකුවේ වාඩි වෙන ගමන්.
මම ඒකට උත්තර දෙන්න නොගිහින් මගේ ස්ට්‍රෝබෙරි පාත්තිය දිහාට ඇවිදගෙන ආවා. මේවා ඉන්දුවේ දවසක් මමයි, අපූර්වයි. දැන් ඒවයේ කොල පාට පුංචි ගෙඩිත් හැදිලා. මම ඒවා අතගාලා බැලුවේ දුකෙන්.
"දන්නවද නංඟි..." කලිඳු අයියා මුලපුරන්න හැදුවේ ලොකු කතාවකට.
"මොකක්ද?"
"මේ දේවල් මේ විදියට වේවි කියලා මම කවදාවත් හිතුවේ නෑ. ඉස්සර දවස් වල මගේ හිතේ ඔයාට ලෙන්ගතු කමක් නොතිබ්බා නෙවෙයි, ඒත් ඊට පස්සේ වුණ සිද්ධි වලින් පස්සේ මම හිතුවා ආයේ කවදාවත් නෙලුම් මැඩම් මගේ මූණ බලන්නේ නැති වෙයි කියලා. මම හිටියේ ඔයාව අමතක කරලා, එදා ඔයාව ආයෙම මුණගැහෙනකල්ම. ඇත්තමයි"
මට හිනාවක් ගියා.'මං එතකොටවත් ඔහුව අමතක කරලා තිබුණද?'
"ඒත්, මාමා ඇවිත් ඔයා ගැන කියද්දි මගේ හිත මොකක්දෝ වුණා. ඔයා ගැන මම හිතන්න පටන් ගත්තා. බලන්න අපේ දෛවයේ හැටි. අපි කාලෙකට කලින් වෙන් වුණා, දැන් ආයෙමත් එකතු වෙලා. මට හිතුණා එදා භානුකලගේ කීමට නැතුව මම ඇත්තටම ලියුම ලිව්වා නම් ඉවරයි කියලා"
"ඒ මොකද?"
"නෑ ඉතිං කොහොමටත් එකම දඬුවම නේ"
මට ඒ අතීතේ මක් කරන්න ඕන වුණේ නෑ.
"දැන් ඉතිං ඕවා හිතලා වැඩක් නෑනෙ. ඔයාට නරකක් වුණේ නෑනෙ" මං කිව්වා.
"ඔව්...ඔයා නිසා. ඉදිරියටත් එහෙම වේවි නේද?"
මට සුසුමක් හෙලුනා.
"මං දන්නෑ අයියා" මට කියවුණා.
ඔහු ටික වෙලාවක් ගත්තා.
"ඔයා දෙගිඩියාවෙන්ද ඉන්නේ මේ ගැන?" ඔහු ඇහුවා.
"මොනා ගැනද?"
"මේ ප්‍රපෝසල් එක ගැන?"
මම හිස වනුවා. ඒ මොකටද කියලා මම වත් දන්නේ නෑ.
"ඒ කියන්නේ කැමතිද?"
ඔහු ඇහුවේ මගේ ලඟට ඇවිත්.
මගේ පපුව හිර වුණා. දෙවියනේ මේ මොනවද වෙන්න යන්නේ? මට ආයෙමත් මතක් වුණේ අපූර්ව.
"අපි යමු" මම නැගිට්ටේ එහෙම කියාගෙන.
"ඔයා මට උත්තරයක් දුන්නේ නෑ" ඔහු උන්නු තැනම හිටගෙන කිව්වා.
" තව හිතන්න ඕන" මම එහෙම කියලා එන්න ආවා.
මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ. එහෙන් අප්පච්චි, අම්මා. මෙහෙන් අපූර්ව. මං කාගේ පැත්ත ගන්නද? කලිඳු අයියා ගැන මගේ හිතේ දන් නම් මොනම හඟීමක් වත් තිබුණේ නැහැ. මම කල්පනා කලේ ඇයි මට මෙහෙම වුණේ කියලා. මං ඉදිරියට මොනවා කරන්නද කියලා මට හිතා ගන්න බැරි වුණා. අපූර්ව ඉක්මණට එනවා නං?
කලිඳු අයියලා පිටත් වෙලා ගියාට පස්සේ හිතට දැනුනේ ලොකු අස්වැසිල්ලක්. හිස මත තියලා තිබ්බ ලොකු බරකින් නිදහස් වුණා වගේ මට දැනුනා. ඒත් හිතේ තිබ්බ නිදහස සහමුලින්ම නැති වෙලයි තිබුණේ. මං කාමරේට ගිහින් දොර වහලා ඇඳට වැටුණා. සේරම තීරණය වෙලා ඉවරයි. ම තිබුණේ බලන් ඉන්න විතරයි.
එදා රෑ මම බට්ටි නිදියනකල්ම ඇහැරලා හිටියා අපූර්වට රිංග් කරන්න. අපූර්ව හැරෙන තැපෑලෙන් ආපහු මට ගත්තා.
"අපූර්ව..." මං කතා කලේ දුකෙන්.
"අම්මේ...අවුරුදු ගාණකින් කතා කරනවා වගේ. ඉතිං කොහොමද මගේ පැටියෝ?" අපූර්ව නම් ඉන්නෙ අසතුටින් වගේ. මට ඒ හිතට දුකක් දෙන්න ලෝබ හිතුණා.
"හොඳයි, ඔයාට?"
"හොඳින් හොඳින්. ඒත් ඔයා ලඟ නැති එක තමා ඉවසගෙන ඉන්න අමාරු"
"බොරු"
"ඇත්තමයි, කෝ ඉතිං ඔයාට මාව ෂුවර් නෑනෙ"
"එහෙම නෙවේ,මං නිකන් කිව්වේ" මම කිව්වා.
"අද මොනාද කලේ?" ඔහු අහනවා.
අද වුණ දේවල් ඔහු දන්නවා නං මොනවා වෙයිද?
"විශේෂ දෙයක් නෑ"
"ම්ම්. පාලුද?"
ඔහු එහෙම ඇහුවාම මගේ ඇස් වලට කඳුළු පිරුණා.
"හ්ම්. අනේ ඔයා ඉක්මණට එනව නං හොඳයි"
අපූර්ව නිහඬ වුණා.
"තව දවස් හතරයි නේ. ආපු ගමන් ඔයා බලන්න එන්නම්"
"හොඳයි"
"එක්සෑම් කවද්ද?" ඒ පාර ඔහු අහනවා.
"ලබන සතියේ සඳුදා"
'ෂෝක්...එතකොට මාත් ඇවිල්ලනේ. අපට ආයෙමත් නුවර රවුමක් ගහන්න පුළුවන්"
"ඔව්" මම කිව්වේ දුක හිතේ පෙරලි කරද්දි. කඳුළු ඇස් බොඳ කරද්දි.
"ඔයා ඉක්මණට එන්න..." මට කියවුණා.
"හරි. දැන් නාඬා ඉන්නකෝ,නැත්තම් මටත් දුකයි නේ"
මම ඇස් පියා ගත්තා.
"දවස් ගෙවිලා ගිහින් ඔයා හැරිලා බලද්දි මම ඔයා ලඟ ඉඳීවි. එතකල් දුක් නොවී ඉන්න මෙත්මා...මම දුර හිටියත් මගේ හිත,ආදරේ තියෙන්නේ  ඔයා ලඟ "
අපූර්ව අන්තිමට කිව්වා.
ඇමටුම ඉවර කරලා මම ඇඳේ ඇල වුණා. පාලුව, දුක, කලකිරීම, බය, මේ සේරම රාත්‍රියටත් වඩා අඳුරකින් මගේ හිත වහලා දැම්මා. 'දෙවියනේ ආයෙත් මගේ අපූර්ව මගෙන් ඈත් කරන්න එපා...'

Friday, October 28, 2011

හතලිස් වෙනි දිගහැරුම


"පැංචි මේ තේ එක අප්පච්චිට ගිහින් දෙන්න" ආච්චි මම්මා තේ එකක් මගේ අතේ තියලා කිව්වා.
අප්පච්චි කාලෙකට පස්සේ ගෙදර හිටියේ එදා. අසනිඔඉප වුණාට පස්සේ වුණත් අප්පච්චි විවේක ගන්න කියලා ගෙදර නවතින්න කැමති වුණේ නෑ.
"ආ...තේත් ඇවිත්" කන්තෝරු කාමරේ මේස අසල වාදි වෙලා මොනවදෝ කොල වගයක් පරීක්ෂ කරමින් හිට පු අප්පච්චි මං ආපු සද්දේ ඇහිලා හැරිලා බැලුවා.
"පැංචි චුට්ටකට මෙහෙන් වාඩි වෙන්නකෝ"
මං තේ එක දීලා එන්න හැරෙද්දි අප්පච්චි කිව්වා.
"ඇයි අප්පච්චි?" මම ඇහුවේ හිතේ දෙගිඩියාවෙන්.
"මට පොඩි කාරණාවක් තියෙනවා ඔයාට කියන්න"
"විශේෂ දෙයක්ද?" මම ඇඋවේ ඊලඟට අප්පච්චි මොනවා කියයිද කියලා හිතා ගන්න බරිව.
"ඔව්, එක අතකට එහෙම කියන්නත් පුළුවන්. මං කෙටියෙන්ම කියන්නම්කෝ. හෙට මගේ යාලුවෝ කට්ටියක් එනවා මෙහේ ලන්ච් වලට. අම්මා කියන්න ඇති නේ. ඒ අය එන්නේ දූව බලන්නත් එක්කයි"
මගේ හිත බලාපොරොත්තුවෙන් හිටපු කුණාටුවේ එක පාරටම හිතට කඩා වැදුණා.
"මාව බලන්න, අර මොකටද?"
අප්පච්චි හිනා වුණා.
"ඒක හෙට දුවට ඩීටේල්ස් එක්කම කියන්නම් කෝ. ඔයා හොඳ දරුවා වගේ ලස්සනට ඇඳලා හොඳට ඉන්න ඕන තේරුණාද?"
"අයි මම දැන් ඉන්නේ කැතටද?"
ඒ පාර අප්පච්චිගේ හිනාව කාමරේ ඇතුලේ නින්නාද වුණා.
"හරි හරි. ඔයාට ඕන විදියකට ඉන්නකෝ"
මම කාමරෙන් පිට වෙලා ආවේ පටලැවුණ හිතින්. අප්පච්චිලා වහෙන් ඔරෝ මට කියපු දෙවල් නොතේරෙන්න තරම් මම පුංචි බබෙක් නෙවෙයි. මං හිතපු දේ හරි බව මට තේරුණා. එයාලා හදන්නේ මගේ ජීවිතේ කාට හරි තීන්දු කරන්න. නැත්තං මාත් අයියා වගේ හිතුවක්කාර වෙවි කියලා වෙන්න ඇති. ඒත් අඩුම ගාණේ මම හිතන්නේ මොනවද කියලවත් අහපු නැති හැටි? මට දැනුනේ කලකිරීමක්. ඒත් මං මොනවා කරන්නද? මං අපූර්වට මේක කියන්නේ කොහොමද? ඔහු එන්න තව සතියක්ම එහෙමම තියෙනවා. මෙහේ වෙන දේවල් කියලා අපූර්වගේ හිත කලබල කරන්න ඕන නෑ කියලයි තාමත් මම හිතුවේ. එහෙම වුනොත් ඔහු මනවා කරයිද කියලා කියන්න බැරි නිසා. මම දහ අතේ කල්පනා කලා දැන් මොකද මම කරන්නේ කියලා.
"මොකද අක්කේ දැන් මම කරන්නේ?" මට එල්ලෙන්න තිබ්බ එකම පිදුරු ගහ අක්කා විතරයි.
"වැඩේ සෑහෙන්න බරපතලයි නේ මම හිතුවටත් වඩා..." අක්කා බැරෑරුම් හඬින් කිව්වාම මම තවත් නොසන්සුන් වුණා.
"අනේ ඔයා මාව බය කරනවා"
"ඔයා අපූට කිව්ව්ද?"
"නෑ. මට කියන්න බයයි අක්කා. එයා සේරම දමලා ගහලා කඩාගෙන මෙහේ එන්න හදයි. ඒ නැතත් ඕවා හිත හිත වැඩ කරන්න ගිහින් මොකක් හරි කරදරයක් වත් කර ගනී කියලත් මට බයයි" මම කිව්වා.
අක්කා කල්පනා කරනවද කොහෙද.
"වෙන කරන්න දෙයක් නෑ. ඔයා හෙට එන කෙනාට අකමැතියි කියලා කියන්න. කොහොමත් ඒකනේ ඇත්ත. ඒත් ඉතිං ඔයා කැමති කෙනෙක් ආවොත්..."
මගේ රැවුල ගිනි අරන් ඉන්න වෙලාවේ අක්කා එනවා සුරුට්ටු පත්තු කරන්න.
"අනේ අක්කේ...මේ විහිලු කරන වෙලාවක් නෙවෙයි . අප්පච්චිලා බල කලොත් කැමති වෙන්න කියලා?"
"මම හිතන්නේ නෑ එහෙම කියයි කියලා ඔයා අකමැති වුනොත්. කොහොමටත් බලෙන් බන්දලා දෙන්න බෑනෙ"
"අනේ මන්දා මට නම් හිතා ගන්නවත් බෑ කරන්න දෙයක්. මගේ නම් පුදුම දසාවක් ගෙවෙන්නේ අක්කා. එක දවසක් වත් සැනසීමෙන් ඉන්න නැති හැටි"
"හරි. හරි. දැන්මම ඔච්චර කලකිරෙන්න ඕන නෑනෙ. හෙට දවස ඉවර වෙන්න දෙන්නකෝ. දෙයක් වෙන්න කලින් අපට මුකුත් ප්ලෑන් කරන්න බෑනෙ. දැන් බය නොවී ඉන්න. ඔයාට හෙට කසාද බඳින්න කිව්වේ නෑනෙ"
අක්කා එක්ක කතා කරාට පස්සෙත් හිතේ පටලැවිල්ල තිබුණ විදිහමයි. තවත් ටිකක පැටලුනාදත් මන්දා. එදා රැයි න් බාගයක්ම මම හිටියේ මේ උගුලෙන් ගැලවෙන්නේ කොහොමද කියලා කල්පනා කර කර.
"පැංචි සාරියක්ද ඔසරියක්ද අඳින්නේ?" හේමා නැන්දා උදේම පාන්දරම ඇවිත්. මං තරහෙන් අහක බලා ගත්තා.
"මං මොකටද සාරි අඳින්නේ? මාව බලන්න මනමාලයෙක් එනවයැ? ඒ ආවත් මට කමක් නෑ. මං අඳින්නේ ගවුමක්"
මම එහෙම කියලා ජනේලෙන් එලිය බලාගෙන උන්නා.
"මොකෝ මෙයා කියන්නේ?" අම්මා කාමරේට ආවේ එහෙම අහගෙන.
"සාරි අඳින්න බෑ කියන්නේ" නැන්දා කිව්වා.
'ඔන්න ඔහේ ඕන එකක් ඇඳගන්න දෙන්න අක්කේ. අර කිව්වත් වගේ මනමාලයා වුණත් ජීවිත කාලෙම සාරියෙන් දකින්නේ නෑනෙ. මොකක් හරි කමක් නෑ හොඳ එකක් ඇඳගෙන ඉක්මණට පහලට එන්න"
අම්මයි නැන්දයි කාමරෙන් පිට වුණා.
"මොන කරුමයක්ද මන්ද?"
මම උවමනාවෙන්ම පුලුවන් තරම් වෙලා අරගෙන, මං ගාව තිබුණ චාම්ම , රෝස පාට මල් වැටුණ සුදු ගවුමක් ඇඳ ගෙන, ඕනවට එපාවට හිස පීර ගත්තා. ඒ එක්කම මට ඇහුණා අපේ ගෙදරට වාහනය වගයක් හරවන සද්දේ. මං හිටියේ මහා උදාසීන මනසකින්. ලඟ තිබුණ රබර් සෙරෙප්පු දෙකත් දා ගෙන මං හෙමිහිට පහලට බැස්සා. සාලෙ මගෑරලා මම හෙමින්ම කුස්සිය දිහාවට ගියා.
"පුංචි නෝනා?" එහේ හිටියේ මල්ලිකා නැන්දා විතරයි. "මේ මොකද මේ හැටි? පන්සල්  යන්න වගේ? මට අඳුනගන්නත් බැරි වුණා. අද අමුත්තෝ වගයකුත් එන එකේ හොඳට ඇඳලා ඉන්න එපායැ. අත, කර සේරමත් පාලුවට ඇරලා. අනේ අපොයි!"
මල්ලිකා නැන්දා කම්පා වෙනවා.
"ඉතිං එයාලා එන්නෙ මාව බලන්න නම්, මං මොකටද ඒකට බාධා කරන්නේ? රත්තර්ං බඩු දා ගත්තම ආපු අය වලලු මාල දිහා මිස මං දිහා බලන්නේ නෑනෙ. අනික ඔය විච්චූරණ ඇඳුම් ඇන්දම මාව හරියට පේන්නෙත් නෑනෙ. අනික නැන්දේ ඔය මොනා කරත් මම මමමනේ"
මම කියද්දි මල්ලිකා නැන්දා බලාගෙන උන්නේ පුදුමෙන්.
"අනේ මන්දා, පුංචි නෝනා එක්ක කතා කරන්න පෙරකදෝරුවෙක් අල්ලන්න වෙනවා"
මම හිනා වුණා.
"මල්ලිකෝ..." මේ වෙලාවේ කුස්සියට එබුණේ අම්මා.
"ආ... මෙයත් මෙතනද? අන්න අරහේ අමුත්තෝ ඇවිත්. නැන්දා ගියා ඔයාව හොයන්න. මල්ලිකෝ ඔය කැවිලි ටික මේසෙට තියන්න ලෑස්ති කරන්න. කෝ මේ බුලත් හෙප්පුව?"
අම්මා හොයද්දි මම කලබල වුණා.
"බුලත් හෙප්පුව මට අරන් යන්නද?"
"නැත්තං මට යැ?" අම්මා බුලත් හෙප්පුව අතට ගන්න ගමන් කිව්වා.
"අනේ මට නම් බෑ. බෑ කිව්වොත් බෑමයි. මම නම් එන්නෙ නෑ ඉස්සරහටැ ඕකත් අරන් නං"
මම කිව්වේ අම්ම්ගෙන් දුරට යන ගමන්.
"ළමයෝ අපට ලැජ්ජා කරන්නද හදන්නේ? අප්පච්චිට කේන්ති යයි"
"අනේ මටැ බෑ අම්මා. මේ ගවුමකුත් ඇඳන්, බුලත් හෙප්පුවක් උස්සන් යන්න. මොන විකාරයක්ද? මට බෑ. මට බෑ" මං කිව්වේ මූණත් නපුරු කරගෙන.
අම්මට හොඳටම තරහ ගිහින් මට ගස්සලා යන්න ගියා.
මට ආපු තරහට ඇඬෙන්නත් ආවා. මල්ලිකා නැන්දා මා දිහා බලාගෙන උන්නේ දුකෙන්.
"මට නෝනා ගැන දුකයි නෝනේ. ඒත් ලොකු නෝනා කියන එක අහලා යන්න ඉස්සරහට. නැත්තම් මෙතන ගිනි විජ්ජුම්බරයක් වෙයි"
ඒ කියපු එක අහලා මට හොඳ අදහසක් පහල වුණා. මට අප්පච්චි කිව්වේ නෑනෙ බුලත් අරන් එන්න ඕන වගක්. ඒහෙම හිතලා මම ආපහු අම්මා එන්න කලින් සාලෙට ගියා උන්නු විදියටම.
අප්පච්චි ආපු කට්ටියත් එක්ක බර කතාවක්. මං එනවා දැකලා අප්ප්චච්චි හැරිලා බැලුවා. අම්මත් එතන හිටියා. මම අම්මා දිහා නොබලා අප්පච්චි ලඟට වුණා. හොඳට ඳ ගත්තු මැදි වියේ විතර ගෑනු කෙනෙකුයි, මට වඩා බාලයි කියලා පෙනුන ගෑණු ළමයි දෙන්නෙකුයි ඇරෙන්න ඇවිත් හිටියේ මම අඳුනන ගලබඩ අන්කල්ගේපවුලේ අය විතරයි.
"මේ කොයි දුවද?" අප්පච්චිත් එක්ක කත කරමින් උන්න  උස , මහත, කෝට් එකක් ඇඳගෙන හිටපු පුද්ගලයා ඇහුවා.
"මේ ලොකු දුව. මෙයා තමයි..." අප්පච්චි ඉතිරි ටික කිව්වේ නෑ. අර පුද්ගලයා මා දිහා බලලා ලොකු හිනාවක් පෑවා. මම යන්තම් හිනා වෙලා බිම බලාගත්තා.
"මොකද මේ පුතාලා පරක්කු?"
කට්ටියම හැරිලා එලිය  බලන් ඉන්නවා. ඒ කියන්නේ තාම අදාල පුද්ගලයා ඇවිත් නෑ. 'ආපුදෙන්කෝ!'
"නුවර ඉඳලමද එන්නේ?" අම්මා අහනවා.
"ඔව්. දැන් නම් එන්න වෙලාව....ආ...ඔය කියනකොටම එන්නේ ඒ අය වගේ. ඔව් ඔව්. පුතාලා තමයි"
අම්මා ඉක්මණට දොර ලඟට ගියා. මගේ හදගැස්ම අහේතුකවම වැඩි වෙලා තිබුණා. අප්පච්චි නැගිට්ටා. මම අප්පච්චිට මුවා වෙලා දොර දිහාව බලං උන්නේ කුතුහලෙන්. ඒ ඇතුල් වුණ අය හතරදෙනාගෙන් මම නොදන්න අය හිටියේ එක්කෙනයි. ආපු කට්ටිය සාලෙට ඇවිදගෙන එද්දි මම බලාගෙන හිටියේ ඇස් අදහා ගන්න බැරිව.

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....