Thursday, October 6, 2011

විසි තුන් වන දිගහැරුම


"අන්න අප්පච්චිද කොහෙද ආවා?"
පුංචම්මා සාලෙට එබිකම් කරලා කිව්වේ වාහනයක් සද්දයක් ඇහුන නිසයි. මම උන්නේ කුස්සියේ පුංචම්මට උයන්න උදව් වෙමින්. හර්ෂි අක්ක බට්ටිත් එක්ක කාමරේ මොනවදෝ කරමින් හිටියා. මමත් සාලෙට එබුණා. ඇරලා තිබ්බ දොරෙන් අතුලට ආවේ අප්පච්චියි, සුමනේ මාමයි...මට අදහා ගන්න බැරි වුණා, අම්මා. මම සේරම දාලා සාලෙට දිව්වා.
"අම්මත් ඇවිත්!" මම කිව්වේ අම්මගෙ අතේ එල්ලෙන ගමන්.
පුංචම්මත් ඉක්මණට සාලෙට ආවා.
"අප්පේ...අපේ ගෙවලුත් මතක් වෙලා තියෙන්නේ" පුංචම්මා කිව්වේ ලොකු හිනාවකින් මූණ සරසගෙන.
"හැමදාම දෝස්මුරේ දාන නිසා ඕන් අද එක්ක ආවා. කෝ අපේ අනික් කෙල්ල?" අප්පච්චි ඇහුවේ සාලෙන් වාඩි වෙන ගමන්.
"අක්කා එක්ක උඩ" මම කිව්වා.
"කොහොමද පුතේ?" අම්මා ඇහුවේ මගේ හිස අතගාලා.
"හොඳයි අම්මා. කොහොමද ගෙදර අනික් අය?"
"සීයා පප්පට හතිය ටිකක් වැඩි වෙලා තිබ්බා පහුගිය දවස් වල. දැන් නම් අඩුයි. ආච්චි මම්මා නම් හොඳින්"
අම්මා කිව්වේ පුංචම්මටත් එක්ක.
"ඉතිං අක්කා වාඩි වෙන්නකෝ මම බොන්න දෙයක් හදන්නම්" පුංචම්මා කුස්සියට දිව්වා.
"මට සීනි අඩු තේ එකක් නංඟි" අප්පච්චි කිව්වා.
අම්මත් කුස්සිය පැත්තට යන්න ගියා. මමත් යන්න හදද්දි අප්පච්චි මට කතා කලා.
එවෙලේ මට අපූර්ව මතක් වුණා නිරායාසයෙන්ම. ඒ එක්කම අප්පච්චි දිහා බලන්න බැරි විදියේ වරදකාරී හැඟිමක් එක පාරට මගේ හිතට පිවිසුනා. වුණ දේවල් අප්පච්චි දන්නවා නං. මම කවදාවත් අප්පච්චි නරකයි කියලා හිතන දෙයක් කරලා තිබුණේ නැහැ. ඒත් දැන්? අප්පච්චිට මූණ නොදී මම පැත්තකින් වාඩි වුණා.
"කොහොමද ඉගෙනීමේ වැඩ?"
"කරගෙන යනවා අප්පච්චි"
"තව කොච්චර කල් තියෙනවද ඕක?"
"තව මාස දෙකයි"
"ආහ්. එහෙමද?" අප්පච්චි කල්පනා කරන්න වුණා.
"අප්පච්චි..." මම කතා කලේ අප්පච්චි මං ගැන ආයෙමත් මොනා හරි  තීන්දුවකට එලඹෙන්න හිතන්න කලින්. ඔහු මා දිහා බැලුවා.
"මම හිතුවේ මේකෙම ඊලඟ ලෙවල් එකත් කරන්න කියලා. ක්ලාස් එකේ හැමෝම වගේ කරනවා" මම අප්පච්චි දිහා කෙලින් නොබලා කිව්වා.
"එහෙමද? ම්ම්... ඊට වඩා නරකද ටෝෆල්, ග්‍රේ වගේ දෙයක් කලොත්? පිටරට යනවා නම් ඒක කරලා තියෙන එක හොඳයි නේ" අප්පච්චි කිව්වා.
මම මුකුත් නොකියා කල්පනා කලා. මෙහේ ඉන්න පුලුවන් නම් මොනා කලත් මොකෝ එක අතකට.
"ඔව්, එහෙමත් හොඳයි අප්පච්චි"
"හ්ම්...පොඩ්ඩක් හොයලා බලන්නකෝ ඒ ක්ලාස් ගැන. මට කියන්නකෝ ඊට පස්සේ"
"හොඳයි අප්පච්චි"
මෙවෙලේ අක්කයි, බට්ටියිත් සාලෙට ආවා.
"ආ...කෙල්ල යන්න ලෑස්තිද?" අප්පච්චි ඇහුවේ හිනා වෙමින්.
බට්ටි හිස වැනුවා.
"යන්න කම්මැලියි කියලයි මට කිව්වේ" අක්කා කිව්වේ නංඟි දිහා හොරැහින් බලලා හිනා වෙමින්. බට්ටි ඇඹරෙන්න ගත්තා ලැජ්ජාවෙන්.
"ලබන අවුරුද්දේ ශිෂ්‍යත්වේ පාස් වෙන්නකෝ. එතකොට මෙහේ ඉස්කෝලෙකට දාන්න බැරියැ" අප්පච්චි කිව්වා.
"ඇත්තමද අප්පච්චි?" බට්ටි ඇහුවේ උනන්දුවෙන්.
"ඇත්තමයි" අප්පච්චි කිව්වේ ආදරෙන්.
පුංචම්මා තේ ට්‍රොලිය තල්ලු කරගෙන සාලෙට ආවා අම්මත් එක්ක.
"අයියා සීනි කන එක අඩු කරලද?" පුංචම්මා ඇහුවේ අප්පච්චිට තේ පිලිගන්වන ගමන්.
"ඔව් නංඟි. ඒ ලෙඩේ විතරයි නැත්තේ, ඒකත් හැදෙන්න කලින් පරිස්සම් වෙන එක හොඳයි නේ"
"ඒක නම් ඇත්ත තමා. මම මේ අක්කට කිව්වේ අයියේ හෙට ඉරිදා නිසා අද ඉඳලා යන්න බැරියැ කියලා " පුංචම්මා අම්මා දිහාත් බලා කිව්වා.
"ම්ම්...වැඩ නම් කෝටියයි..." අප්පච්චි අදි මදි  කලා.
"අනේ අප්පච්චි, හමදාම එන එකක්යැ" මමත් කිව්වා.
"ඔව්. ලොකු අප්පච්චි අද ඉන්න ඔන්න ඔහේ" හර්ෂි අක්කත් කිව්වා.
අපච්චි බැලුවේ අම්මා දිහා. අම්මා හිනා වුණා විතරයි.
"හ්ම්. හ්ම්. එහෙනම් ඉමුකෝ නේද සුමනේ?" අප්පච්චි අන්තිමට කිව්වා.
හැමෝගෙම මූණු සතුටකින් එලිය වැටුණා.
අම්මත් එක්ක හුරතල් වෙවී, අප්පච්චි එක්ක කතා කරමින් ඉන්න අතරේ මට අපූර්ව ගැන මතක් වුණේ නැති තරම්. මමයි, හර්ෂි අක්කයි බට්ටි එක්ක සෙල්ලම් කරන්නත් අමතක කලේ නැහැ. හෙට යන නිසා අපි වෙනදා වගේ අපේ වැඩ කරමින්ම ඉන්න ගියේ නෑ එයාව තනි කරලා. 

"දැන් හර්ෂි මොකද කියන්නේ?"
අපට කන්න දෙයක් අරන් එන්න මම පහලට බහිද්දි මට ඇහුණා අප්පච්චි අහනවා පුංචම්මාගෙන්.
"මුකුත් නොකියන එකනේ අයියේ තියෙන ප්‍රශ්ණේ. කීයක් තැන් වලින් යෝජනා ආවද? මේ ලමයා නෙවෙයි කනකට වත් ගන්නේ මම කියන ඒව. මටත් දැන් ඇති වෙලයි තියෙන්නේ"
පුංචම්මා කිව්වා.
මම සද්ද නොකර පඩිපෙලේම ඉඳගෙන කන් දුන්නා.
"එහෙම කියලත් බෑනෙ දීපා. ගෙදරට නාකි වෙනකල් බලා ඉන්නයැ" ඒ අම්මගේ හඬ.
"එයාගෙන් ආයෙ අහන්න ඕනෙ නැහැ. හොඳ ජෝජනාවක් ආවොත් එන්න කියලා අරිමු. ආවට පස්සේ බලන්න බැරියැ මොකද කියන්නේ කියලා" අප්පච්චි කියනවා.
" දොස්තරලා කීප දෙනෙක්ගෙන්ම ජෝජනා ආවා. මම හිතුවේ ඉන් එක්කෙනෙක් වත් තෝරගෙන එන්න කියනවද කියලා අයියේ"
"කෝ ගේන්න බලමු ඔය කිව්ව යෝජනා ටික"
අප්පච්චි කිව්වම මට දෙලෝ රත් වුණා. දැන් පුංචම්ම කාමරෙට යන්න මෙතනින් ඒවි. මම දනි පනි ගාලා පහලට ගියේ මොනවත්ම මට නෑහුණ ගාණට.
පඩිපෙල පාමුලදි මට පුංචම්ම හම්බුණා. අම්මයි, අප්පච්චියිත් හිස් උස්සලා මා දිහා බැලුවා.
"ස්නැක් එකක් ගෙනියන්න ආවේ" මම එහෙම කියලා කුස්සිය පැත්තට ඇදුණා.
මම කුස්සියේ ජනේලෙන් නිකමට එලිය බලද්දි මම දැක්ක අපූර්ව පිටිපස්සේ එයාලගෙ එලවලු කොටුවට වෙලා මොනවාදෝ කරමින් ඉන්න හැටි. අම්මලා දැන් සෑහෙන වෙලාවකට මේ පැත්තට එන එකක් නෑ කියලා හිතලා මම එලියට බැහැලා ඒ පැත්තට පා නැගුවා.
"ෂ්..ෂ්.." මම කතා කරලා පාත් වෙලා වැට අස්සේ හැංගුණා. අපූර්ව පුදුමෙන් වට පිට බලනවා. කවුරුත් නැති පාර ඔහු ආයෙම වැඩට බැස්සා.
"ෂ්..ෂ්.." මම ආයෙම කතා කලා. අපූර්ව නෑහුණා වගේ හිටියා.
"අපූර්ව..." ඒ පාර මම කතා කලා.
අපූර්ව හැරිලා බැලුවා.
අත් වැසුම් දෙකක් දාගෙන, පොහොර මල්ලකුත් අතින් අරන් ඔහු එලවළු පැල වලට පොහොර දානව.
"මොකද ෂූ ෂූ කියන්නේ?"
"දැන් ගොවි මහත්තයෙක් වෙලා වගේ" මම කිව්වා.
"ඔව් ඔව්. අපි එහෙම තමා. රට යන අතට යන්න එපායැ. අපි වවමු, අපිම කමු කියලා මමත් වවනවා"
අපූර්ව කිව්වාම මට හිනා ගියා.
පිටිපස්සේ ලී ගේට්ටුවෙන් අතුල් වෙලා යන පාර කොන්ක්‍රීට් කරලා, දෙපැත්තේ පාත්ති හදලා, පොඩි එලවලු කොටුවක් සුධර්මා ඇන්ටි හදා ගත්තේ ලඟදි. ඒ නිසා තවමත් ඒකෙ තිබුණේ පැල විතරයි.
'ඒක නෙවෙයි, නංඟි ගියාද? මම දැක්කා අප්පච්චිගේ කැබ් එක එනවා" අපූර්ව පොහොර දාන එක නවත්තලා ඇහුවා.
"නෑ. අපේ අම්මත් ආවා නේ අද. එයාල අද මෙහේ ඉන්නවා"
"ඒක තමා මම උන්නද මලාද කියලවත් අද බැලුවේ නැත්තේ නේද?"
අපූර්ව වල් පැලයක් ගලවමින් ඇහුවා.
"අනේ නෑ අපූර්ව. මට ඉතින් ඇවිත් කතා කරන්න බෑනේ"
"හරි හරි. මම බට්ටිට පුංචි බඩුවක් ගත්තා. ඒක දෙන්න වෙලාවක් උනේ නෑනෙ. මම ඒක අරන් එන්නම් ඔයාගේ අම්මව බලන්නත් එක්ක"
අපූර්ව කිව්වම මම ටිකක් විතර කලබල වුණා.
"අනේ මන්ද අපූර්ව"
"ඔයා බය නොවී ඉන්නකෝ. මම දීපා ඇන්ටිගේ නේබර් විදියට එන්නම් කෝ. ඔයාගේ හබී ටු බී විදියට නැතුව"
අපූර්වට නම් හොඳටම පිස්සු.
"හැදුවා වගේ නෙවෙයි, මේවා සත්තුන්ගෙන් ආරක්ෂා කරන්නත් වෙයි" මම කිව්වේ හුලඟට හෙලවි හල්වි තිබ්බ ලපටි පැල දිහා බලලා.
"ඔව් මම හිතාගෙන් ඉන්නේ පැලක් අටවගන්න කියලා අපේ ටෑන්ක් එක තියෙන තැන. ඊට පස්සේ ඔයාට ඇහෙන්න මම පැල් කවි කියනවා"
අපූර්ව ඔහේ කියවනවා.
මට හොඳටම හිනා ගියා.
"අනේ පිස්සෝ. මම දැන් යන්න ඕන"
"කන්ද උඩින් එන කිකිලිය ගෝමරියේ...බ්ලා..බ්ලා..බ්ලා...මට පිටුපා ගෙට යනවද සුරතලියේ..." අපූර්ව කිව්වේ මෙලෝ තාලයක් නැතුව.
මට හිනාව නවත්තගන්න බැරි වුණා.
අපූර්වත් හිනා වෙනවා. පොහොර මල්ල අමතක වෙලා බිම. මම ඇස් වලින් ආපු කඳුළු පිහ ගත්තේ තවත් හිනා වෙමින්.
"මෙච්චර හිනා වෙන්න බයයි අපූර්ව, ගොඩක් හිනා වෙන්නේ අ ඬන්න කියලා කියනවනේ"
අන්තිමට හිනාව නවත්තලා මම මට මතක් වුණ දෙයක් කිව්වා.
"ඔන්න පටන් ගත්තා. ප්ලීස් මෙත්මා. අපි මේ තරම් සතුටින් ඉන්න වෙලාවේ මොනාද ඔය කියන්නේ?"
මම හිස වැනුවා.
"බී පොසිටිව් ෆොර් වන්ස් විල් යූ"
"හරි හරි. මම දැන් ඇත්තටම යන්න ඕන. කන්නා දෙයක් ගේන්න ගිය මං කොහෙද කියලා අක්කා බලනවා ඇති. මම යන්නද?"
මම අපූර්වගෙන් ඇහුවා. අපූර්ව හෙමින් වැට ලඟට ආවා.
"එපා කිව්වොත් ඉන්නවද?"
අපූර්ව මගේ ඇස් දෙකට එබෙද්දි මම හෙමිහිට බිමට ඇස් යොමා ගත්තා.
"මාව කොහේද තියා ගන්නේ?" මමත් ඇහුවා හෙමින්.
"මෙතන" අපූර්ව ඔහුගේ පපුවෙන් අත තියලා කිව්වා. අපූර්ව ගැන හිතේ තිබුණ ආදරේ තවත් වැඩි වෙනවා මට දැනුනා. මම ඒ ඇස් දෙක දිහා බැලුවා.
"අද නෙවෙයි, ඒත් මං එනවා අපූර්ව. මං එනවාමයි. දැන් මම ගිහින් එන්නම්"
වැට උඩ තිබ්බ මගේ එක අතක් අපූර්ව මුදුවට අල්ලගත්තු ඔහු ඒ ගමන්ම මට යන්න ඉඩ දීලා අත අතෑරියා. එවෙලේ මගේ දෙකන් පෙති රත් වෙලා හිත අමුතු වෙනවා මට තේරුණා.
"අයි ලව් යූ"
ඔහු කිව්වත් මම මුකුත් නොකියා, ඔහු දිහා ආදරෙන් බලලා ගෙදර දිහාට දුවගෙන ආවා.
අපි හවස තේ බොන්න පටන් ගත්තා විතරයි  ගෙදර සීනුව නාද වුණා. දොර අරින්න ගියේ හර්ෂි අක්කා. අක්කා දොර ලඟ ඉඳන් හිනා වෙනවා මට ඇහුණා. ඊට පස්සේ එයා අපි ඉන්න තැනට ආවෙත් හිනා වීගෙනමයි.
"අන්න බට්ටිව හම්බවෙන්න ටෙඩී බෙයාර් කෙනෙක් ඇවිත්"
අක්කා කිව්වාම මමත් නැවිලා දොර දිහා බැලුවා. එතන උන්නු කෙනා හිම වගේ සුදු, ලස්සන ටෙඩී බෙයාර් කෙනෙක් තමන්ට ඉස්සරහින් අල්ලගෙනයි හිටියේ. ඒ කවුද කියලා මම දැනගත්තාම මගේ හද ගැස්ම වැඩිවුණා.
"අපූර්ව අයියා..." බට්ටි හිනා වීගෙනම දොර ලඟට දිව්ව.
අම්මයි, අප්පච්චියි බලාගෙන උන්නේ කුතුහලෙන්.
"මේ එහා ගෙදර මිස්ට ලිවේරාගේ පුතා නේ. බට්ටිට හරි ආදරෙයි" පුංචම්මා ඒ දෙන්නගේ කුතුහලේ දුරු කලා.
බට්ටිට වඩා ඩිංගක් පොඩි ටෙඩියවත් උස්සගෙන බට්ටි ගෙට ආවේ අපූර්වත් එක්කමයි. මම වෙනසක් නොපෙන්නා ඉන්න උත්සාහ කලා. බට්ටිගේ මූණ සතුටින් ඉතිරෙනවා.ගෙදර ඈට ඕන තරම් ටෙඩීලා හිටියත් මේ තරම් ලොකු එකෙක් නම් හිටියේ නැහැ.
"අයියට තෑන්ක් කලාද පුතේ?" අම්මා ඇහුවේ, අම්මා ලඟට ඇවිත් ඉඳගත්තු බට්ටිගෙන්.
"කිව්වා..." බට්ටි කිව්වේ පුරුදු විදියට අඹරෙමින්.
"එන්න පුතා වාඩි වෙන්න" අප්පච්චි කිව්වා අපූර්වට.
මට අක්කා දිහා බැලුණා. එයත් ඉන්නේ මා දිහා බලාගෙන, ඔන්න මෙන්න පිට පනින්න තිබ්බ හිනාවකුත් එක්ක.
"පුතා මිස්ට ලිවේරගෙ දෙවනියා නේද? මට මතකයි. තත්තා මගේ හොඳ හිතවතෙක්" අප්පච්චි සුහදව කිව්වාම අපූර්වත් සුහදව හිනා වුණා. 'දැන් නං දෙනා හිනා වෙවී ඉඳීයි' මට හිතුණා.
"ඔව් අන්කල්"
"අපූර්ව මේ මගේ අම්මා" මම අපූර්වව වැඩිය දැකලත් නෑ වගේ සාමාන්‍ය සුහදත්වයක් මවා පාලා කිව්වා.
"හෙලෝ ආන්ටි. ප්ලීස් ටු මීට් යූ" අපූර්ව යන්තම් පුටුවෙන් නැගිටලා කිව්වා.
අම්මත් හිනාවෙලා හිස වනුවා.
ඊට පස්සේ අපි හැමෝම අපූර්වත් එකතු කරගෙනම තේ බිව්වා.
"මෙයාව හැමෝම හුරතල් කරන නිසා දැන් හරි දඟයි මෙයා" අප්පච්චි කිව්වා අපූර්වට,බට්ටිව ලඟට අරන්.
"නෑ...බොරු" බට්ටි ලැජ්ජවෙන් හිනා වුණා.
"ඔයා ගියාම මටත් පාළුයි" අපූර්ව බට්ටිට කිව්වා.
"ඉතිං ඔයා එන්න අපේ ගෙදර" බට්ටි කියනවා.
අක්කා පැත්තක ඉඳන් ඇහිබැම උස්සලා මට ඉඟි කරනවා. මම අහක බලා ගත්තා.
"හ්ම්. අක්කා එන දවසක එන්නම් කෝ. නැත්තං මම පාර දන්නේ නෑනෙ" අපූර්වත් කියනවා.
"ඇත්තටම පුතේ දවසක එහේ එන්න. මෙත්මා එක්කම එන්න බැරියැ කිව්වත් වගේ" අම්මත් අපූර්වට කිව්වා.
"එන්න බලන්නම්කෝ ඇන්ටි" ඔහු සුහදව කිව්වා.
"ඉබ්බා දියට දැම්මාම ඇන්නෑවෙ කිව්වලු" අක්ක මගේ කනට කරලා රහසින් කිව්වා. මම අක්කගේ කකුලක් පෑගුවා, ඇස් දෙකෙන් මගේ ලඟම වගේ උන්න අප්පච්චිව පෙන්නලා.
අපූර්ව යනකල්ම ඉඟියකින් වත් මට කිසිම දෙයක් කිව්වේ නැහැ. ඒ ගැන මම හිතින් අපූර්වට ස්තුති කලා.මම හිතුවෙම මොකක් හරි පිස්සුවක් කරාවි කියලමයි. ඒත් යද්දි නම් ඔහු මගේ දිහා බලලා යන්නම් කිව්වා.
"හොඳ කොල්ලෙක් වගේ" අපූර්ව ගියාට පස්සේ අම්මා කිව්වේ පැහැදීමෙන්.
"හ්ම්. අපේ එකාට වඩා නම් හොඳා තමා" පත්තරේ බලමින් උන්නු අප්පච්චි කිව්වේ පත්තරෙන් ඇස් අයින් නොකරගෙන මයි. අම්මාගේ මූණ එක පාරටම අඳුරු වුණත්, ඊලඟ මොහොතේ ඈ ඒ බව නොපෙන්නා නිහඬ වුණා.
කොහොම වුනත් අපූර්ව යනකල්ම මම උන්නේ බඩේ ගින්දරෙන්.
"නැන්දම්මා නම් හරි වගේ...මාමා තමයි..." අක්කා මගේ ලඟට ඇවිත් කියනවා.
"අනේ අක්කේ නිකං ඉන්නකෝ" බැරිම තැන මම එතැනින් නැගිටලා අම්මා ලඟට ගියා.
"අප්පච්චි කියන ඒවා ගනන් ගන්න එපා අම්මේ" මම අම්මගේ උරහිසට බර වෙලා ඈට විතරක් ඇහෙන්න කිව්වා. අම්මා මගේ හිස අතගෑවා.

2 comments:

  1. ..... අකුරු කලාට බොහොම ස්තුතියි.....

    ReplyDelete
  2. deiyane kiyala mamath hari giyoth goda

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....