Friday, September 23, 2011

නෙතූගෙන්...

ඔන්න මම ඔයාල වෙනුවෙන් කොටස් දෙකක්ම දැම්මා. මේ කතාවට ආදරේ කරන හැමෝටම ස්තුතියි. ඒත් කාගෙ හරි හිත රිදුනා නම් මේක කියවලා අතීතය මතක් වෙලා, මට ඒ ගැන කණගාටුයි. අනේ සුරන්ගනා කතා වල වගේ හැම ආදර කතාවක්ම සතුටු හිතෙන විදියට ඉවර වෙනවා නම්....

එකොලොස් වෙනි දිගහැරුම

'හැපි බර්ත්ඩේ නංගා"
උපන්දිනේ දා උදේම මට සුබ පැතුවේ අක්කා. ඈ මට කේක් එකක් හදලා තිබ්බා. පුංචම්මා කිරිබත් උයලා තිබුණා.උදේම අම්මයි, නංගියි  ගෙදර හැමෝමයි මට කතා කරලා සුබ පැතුවා. කථා නොකලේ අයියා විතරයි. ඒ ගැන මගේ හිතේ තිබ්බේ පුංචි දුකක්.
මම එදා පංතියට ගිහින් අමාටයි, හිරුණිටයි, ගජධීර මැඩම්ටයි කේක් දුන්නා.
"අයියෝ කලින් දන්නවා නම් තෑග්ගක් ගේනවනේ" අමා කිව්වා.
"ඉතිං හෙට ගේන එකනේ ඇත්තේ" හිරු කිව්වේ තවත් කේක් කෑල්ලකට වග කියමින්.
"ගේනවා තමයි"
"හරි හරි. තෑගි මොනාටද ඔයාලා ඉන්නකොට" මම කිව්වේ ඇත්තටමයි.
ගජධීර මැඩම් පංති ඇරිලා යද්දි මට ලස්සන පෑනක් තෑගි දුන්නා.
"හැපි බර්ත් ඩේ, බී අ ගුඩ් ගර්ල්"
එදා හවස මට අපූර්ව මුණගැහුණේ නැහැ. මම ගෙදර ගියේ හර්ෂි අක්කා එක්ක.
 පුංචම්මා එදා රෑට බුරියානි හදලා තිබ්බා. මට එයාලා ගැන දැනුනේ ලොකු ආදරයක්. ගෙදර අය නැති පාළුව මට නොදැනෙන්න එයාලා දෙන්නා කොච්චර මහන්සි වෙනවද? අයියා මට ලොකුම ලොකු කාඩ් එකක් එවලා තිබුණා.ඒක දැක්කම මගේ සතුට සම්පූර්ණ වුණා කියලා මට දැනුනා.
"ඔන්න ඔයා අතින්ම සුධර්මා ඇන්ටිට දීලා එන්නකෝ" පුංචම්මා මගේ බන්දේසියක් මගේ අතේ තිබ්බා.
මම අක්කත් එක්ක අපූර්වලගේ ගෙදරට ගියා.
"අනේ, මේ දුවලා දෙන්නා නේ. එන්න එන්න ගෙට"
දොර ඇරියේ ලිවේරා අන්කල්.
"මොනාද මේ බරටම උස්සගෙන?" සුධර්මා ඇන්ටිත් ඇතුලේ ඉඳන් සාලෙට ආවා.
"අද මෙයාගේ උපන්දිනේ" අක්කා කියද්දි මම අතේ තිබ්බ බන්දේසිය ඇන්ටි අතින් තිබ්බා.
ලිවෙරා අන්කල් මට අතට අත දීලා සුබ පැතුවා.
"ආ...අපි ඒක දැනං හිටියා.මෙනි හැපි රිටර්න්ස් ඔෆ් ද ඩේ"
ඇන්ටියි, අන්කලුයි දෙන්නම මට සුබ පැතුවා. මම පුදුම වුනා අපූර්ව ඒක දැන ගත්තේ කොහොමද කියලා. අක්කා වත් කිව්වද?
 "චුට්ටක් ඉන්න" එහෙම කියපු ඇන්ටි ගේ ඇතුලට ගිහින් එලියට ආවේ පාර්සලේකුත් අරගෙන.
"මේ අපි දෙන්නාගෙන්"
මම ඒ දෙන්නටම ගොඩක් ස්තුති කලා.
"කෝ ඇන්ටි අපූ?"
"මෙන්න මෙහේ හිටියා..." ඇන්ටි වට පිට බලලා කිව්වා.
'කමක් නෑ, අපි ගිහිං එන්නම් කෝ. රෑත් වෙනවනේ ඇන්ටි"
අක්ක ආයෙමත් කිව්වා.
"හොඳයි එහෙනම්. ගුඩ් නයිට්"
මායි අක්කයි එලියට බැහැලා එද්දි ගේට්ටුව ලඟ හිටගෙන උන්නේ අපූර්ව. ගේට්ටු කණුවේ එලියෙන් ඔහුව අපට යාන්තම් පෙනුණා.
"මොකද මේ මෙතන හිට ගෙන පාරෙ යන අයට හොල්මන් කරනවද?" අක්කා පුරුදු විදියට ඔහුව අවුස්සන්නයි යන්නේ.
"අනේ මේ ලව්ලිනෝ...කණ්ණාඩියෙන් මූණ බැලුවොත් පෙනෙයි කවුද හොල්මන කියලා. මම මේ ආවේ මේ අක්කි මුණගැහෙන්න"
ඔහු මගේ දිහාවට හැරුණා.
"මට කිව්වනේ හොයා ගන්න කියලා. ඔන්න මං හොයා ගත්තා.එනිවේ, විෂ් යූ අ වෙරි හැපි බර්ත්ඩේ"
අපූර්ව මගේ අතේ පොඩි පෙට්ටියක් තියන ගමන් කිව්වා.මම ඇත්තටම හුඟක් පුදුම වෙලයි හිටියේ.ඒත් අක්කා බලාගෙන හිටපු හන්දා ප්‍රශ්ණ අහන්න වෙලාවක් තිබ්බේ නැහැ. මම අපූර්වට ස්තුති කරලා අක්කා එක්ක ගෙදර ආවා.
"බලමු බලමු තෑගි" අක්කාට ඉවසිල්ලක් නෑ.
අංකල් දීලා තිබුනේ ඉබ්බෙක් දාන්න පුළුවන්, රෝස පාට ලස්සන, ඩයරි එකක්. සුධර්මා ඇන්ටිගේ තෑග්ග වුණේ ලා දම් පාට, බෝරිච්චි අත් දාපු  හුරුබුහුටි ගවුමක්.මට ඒකට ආස හිතුණා.
ඊලඟට අපූර්වගේ තෑග්ග. ඒක දිග අරින්න මම ටිකක් පැකිලුණා. ඒ පාර නොඉවසිලිමත් වුණ අක්කයි ඒක දිගෑරියේ.ඒ තෑග්ග දැකපු මට අදහා ගන්න බැරි වුණා.ඒ එක්කම තිබ්බේ පුංචි කාඩ් එකක්.
"දෙයියනේ මේ මොබයිල් ෆෝන් එකක් නේ!" අක්කට කියැවුණා.
මම හිටියේ කියන්න, කරන්න දෙයක් හිතා ගන්න බැරිව.
අපි දෙන්නම තක්බීර් වෙලා ඉද්දි එකපාරටම ෆෝන් එක නාද වෙන්න පටන් ගත්තා. දෙන්නම ගැස්සිලා මූණෙන් මූණ බලා ගත්තා. ෆෝන් එක දිගටම නාද වෙනවා. ඒකෙ තිරේ මත සටහන් වෙලා තිබ්බේ අපූර්වගෙ පින්තූරයක්.
"ගන්න ඕක" අක්කා කිව්වා.
මම අදි මදි කලා.
"ගන්නවා...." අක්කා ආයෙම කිව්වා.
මම හෙමීට ෆෝන් එක අතට අරන් ඕකේ කරලා කනේ තියා ගත්තේ ගැහෙන හිතින්.
"හෙලෝ"
"හෙලෝ අක්කි, කොහොමද? මගේ තෑග්ග හොඳද?"
අපූර්වගේ හඬ ඇවිත් මගේ කනේ හැපුණා. මම හිටියේ ගොලු වෙලා.
"සේ සම්තිංග්"ඔහු ආයෙම කියනවා.
"මං දන්නෑ මොනා කියන්නද කියලා" මට කියවුණා.
"ඒ ඇති. සී යූ ටුමෝරෝ දෙන්. ගුඩ් නයිට්. ලව්ලිනාටත් කියන්න"
"අපූර්ව මේ-" මම ආයේ මුකුත් කියන්නත් කලින් ඔහු ඒ පැත්තෙන් තියලා ඉවරයි.
මට ඉබේටම හර්ෂි අක්කා දිහා බැලුණා. එයා මා දිහා බලාගෙන හිටියේ ප්‍රශ්නාර්ථයක් දල්වගෙන. මම ෆෝන් එක ඇඳ උඩින් තිබ්බා.
"මොකද නංඟි මේ වෙන්නේ?" අක්කා ඇහුවා.
"අනේ මම දන්නෑ අක්කේ"
"මේ නං ඉස්සර අපූර්ව නෙවෙයි"
අක්කා එහෙම කියද්දි මගේ හිත සැලෙන්න ගත්තා.
"අක්කා මොනාද කියන්න හදන්නේ?"
ඒ පාර අක්කා මගේ පැත්තට ලං වුණා.
"මම මෙහෙම කියනවට මුකුත් හිතන්න එපා. ඒත් මට හිතෙනවා ඔයා අපූව මුණගැහෙන එක සීමා කරනවා නම් හොඳයි කියලා. මට අමුතු බයක් දැනෙනවා ඔය දෙන්නා ගැන. දැනට මට කියන්න තියෙන්නේ එච්චරයි"
අක්කා එහෙම කියලා කාමරෙන් යන්න ගියේ මට හිතන්න හුඟක් දෙවල් ඉතිරි කරලා. අක්කා දීපු රිදී පෙන්ඩන්ට් එක ඇඳ උඩ දිලිසි දිලිසි තිබුණා.
අක්කා මට අවවාදයක් දුන්නද, නැත්නම් අනතුරු ඇඟවීමක් කලාද කියලා මම හුඟක් වෙලා හිතුවා. ඒත් අපූර්ව ගැන අක්කා සැක හිතන්නේ ඇයි? මම දැනං හිටියත් මට අක්කා කියපු දේ කරන්න බැරි බව්, මම අක්කා කියපු දේ කරන්න උත්සාහ කලා. මම ඊලඟ දවස් දෙකේ අපූර්ව මුණ නොගැහී ඉන්න හැදුවත්, දෙවනි දවසේ අපූර්ව මගේ ක්ලාස් එක ලඟටම ඇවිත් හිටපු නිසා මට කොහොමටවත් ඔහුව මගාරින්න බැරි වුණා.
"ඔයාට මොකද වෙලා තියෙන්නේ?" අපූර්ව ඇහුවේ තරහින්ද මන්දා.
මම ඔහු දිහා බැලුවා. කොණ්ඩෙත් අවුල් කරගෙන, ෂර්ට් එකත් පොඩි වෙලා හිටපු අපූර්ව දැකල මට හොඳටම දුක හිතුණා.
"කෝල් කරාට ගන්නේත් නෑ. SMS වලටත් රිප්ලයි නෑ. මම ඔයාට මොනාහරි වරදක් කලාද?"
මම හිස වැනුවා.
"එහෙනම්?"
මම දීපු විදියටම ඔතලා තිබ්බ අපූර්වගේ තෑග්ග අතට අරන් ඔහුට දික් කලා.
"මට මේක ගන්න බෑ අපූර්ව"
අපූර්ව තෑග්ග දිහයි, මගේ දිහායි මාරුවෙන් මාරුවට බැලුවා.
"ඇයි?" ඔහු ඇහුවේ තරහින් රතු වෙන ගමන්. ඒ මූණ නපුරු වෙලා.
"ගන්න බෑ"
"හේතුව?"
මම වට පිට බැලුවේ අපහසුතාවයෙන්.
"මම ගෙදරට මොනාද කියන්නේ?"
"මම දුන්නා කියන්න. ඒකනේ ඇත්ත"
"ඔයා නම් කියයි. ඒ අය අහන ප්‍රශ්ණ වලට මට උත්තර හොයන්න බෑ. ඒ අය වැරදියට හිතයි" මම කිව්වේ ඔහු දිහා නොබලා.
"ඔයත් එහෙම හිතනවද?" ඔහු ඊලඟට ඇහුවා.
"නෑ"
"එහෙනම් ඕක තියා ගන්න. හම්බුණ විදිය කියන්න බැරි නම් එක්කෝ බොරුවක් කියන්න, නැත්තම් හංගලා තියා ගන්න"
"ඒත් අපූර්ව..."
අපූර්වගේ සීමාව පැනපු බව මට ඉවෙන් වගේ තේරුණා.
"එහෙනම් ඕක අර වැවට විසි කරලා දාන්න. දීපු තෑග්ගක් ආපහු දෙන්න තරම් ඔයාට නපුරු වෙන්න පුලුවන් වුණාට, ඒක ආපහු ගන්න මට බෑ"
ඔහු කිව්වේ තරහින්, තදින්.
මම ඔහු දිහා බලාගෙන උන්නේ දුකින් වගේම බයෙන්.
"මම කොච්චර ආසවෙන්ද ඕක ඔයාත ගත්තේ..." ඔහු මට වඩා තමන්ටම කියා ගත්තා වගෙයි මට තේරුණේ.
"අපූර්ව..."
"මම යනවා. ඔයා මගේ හිත රිද්දුවා" ඔහු ඒ ටික කිව්වේ හෙමින්.
මම කලබල වුණා.
"අනේ යන්න එපා අපූර්ව. ඔයාව රිද්දන්න කිව්වා නෙවෙයි"
අපූර්ව මගේ ඇස් දෙකට එබුණේ මට හිතන්න වත් වෙලාවක් නොදී.
"ඕක ඔයා නොගත්තොත් මම ඔයා එක්ක ආයෙ කවදාවත් කතා කරන්නේ නෑ. මම කිව්වොත් කිව්වා"
මම සුසුමක් හෙලුවා. මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ, තෑග්ග ආපහු බෑග් එකට දා ගන්නවා ඇරෙන්න.
බොහෝ වෙලාවල වගේ අදත් අපූර්වගේ දයාබරත්වය, ලෙන්ගතුකම ඉස්සරහා මම පැරදුනා. මම හැමදාමත් අපේ ඇසුර දැක්කේ පිවිතුරු දෙයක් විදියට මිසක්,ඔහු මං ගැන වැරදියට හිතාවි කියලා හිතන්න මට හේතු තිබුණේ නැහැ. මගේ හිත මට ඉඩ දුන්නේත් නෑ. අපූර්ව මං වෙනුවෙන් මේ දේවල් කලේ ඔහුට වෙන සහෝදරයෙක් හරි සහෝදරියක් හරි නොහිටපු නිසා කියලා මම හැම වෙලේකම හිතුවා.සමහරවිට ඒ හේතුව මම මගේ හිත හදා ගන්න ආරක්ෂා පලිහක් කර ගෙන හිටියද කියලත් මට පස්සේ නොහිතුණා නෙවෙයි.

දස වෙනි දිගහැරුම


මගේ හිත අමුතු වෙලා තිබ්බා. අපූර්ව උවමනාවටත් වඩා මට ලං වෙලාද? ඔහුගේ වචන ව්ල, බැල්මේ තිබ්බේ අදහස් කරන දේට වඩා වෙනස් යමක්. අපූර්ව අද කියපු දේවල් මට මතක් වුණා. මම වැරදියට හිතනවා වත්ද? අනාරාධනාවෙන්ම ආයෙම හිතට ආවේ කලිඳු අයියා.
නංඟි මෙන්න මේක කලිඳු ඔයාට දෙන්න කිව්වා
මම පුස්තකාලෙ ඉද්දි ආපු අයියා කෙනෙක් මට හතරට නවපු කොලයක් මගේ ලඟින් මේසය උඩ තියලා ගියා. මගේ හිත ගැහෙන්න ගත්තා. කවුරුත් දකින්න කලින් ඒක අතේ ගුලි කර ගත්තු මම පස්සේ ඒක සිංහල පොත අස්සේ දා ගත්තා. ඒක මම දිග ඇරියේ ගෙදර අවිත් මගේ කාමරේදි.
දයබර නංඟි,
ඔයාට මේ දේ කියන්න මම හුඟ දවසක ඉඳන්. ඒත් වෙලාවක් ලැබුණේ නැති තැනයි මේක ලියන්නේ. මට වෙන විදියක් නෑ මේක කියන්න. ඔයාව දකිද්දි මට හිත හදා ගන්න අමාරුයි-
ඔය විදියට පටන් අරන් තරමක් අපැහැදිලි අකුරු වලින් තව මොන මොනවාදෝ ලියලා තිබුණා.
ඔයා මට අකමැති වුනත් මම හැමදාමත් ඔයාට ආදරෙයි හුඟක්.
මේ දයාබර,
කලිඳු අයියා
ලියුම කියවලා ඉවර වෙද්දි මම හිටියේ වෙව්ලමින්. මේ වගේ දෙයක් මට මීත කලින් කවදාවත් වෙලා තිබුණේ නැහැ. ඊටත් කලිඳු අයියා මෙහෙම දෙයක් කරාවි කියලා මම කිසි දාක හිතුවේ නැහැ. ඊලඟට වුණේ මම හීනෙකින්වත් හිතපු නැති දෙයක්දේවල් ගොඩක්.
එකපාරටම මගේ අතේ තිබ්බ ලියුම උදුරලා ගත්තේ මට පිටිපසේ ඉඳන් ලියුම කියවමින් උන්නු අයියා. මම එයා ලඟට එනකල්ම දැක්කෙ නැහැ. මම හොඳටම බය වෙලා ගැහෙන්න ගත්තා. ලියුම කියවපු අයියගේ මූණ තරහින් පිරුණා.
අම්මා…” ලියුම ඊලඟට ගියේ අම්මා අතට. මට කිසි දෙයක් කරගන්න බැරි වුණා, බයේ ගැහෙනවා ඇරෙන්න.
කවුද මේක දුන්නේ?” අම්මගේ මූණේ තිබුනේ මම කවදාවත් නොදැකපු විදිහේ තරහක්.
මං...මං දන්නේ නෑ. පුස්තකාලෙදි කවුදෝ අයියා කෙනෙක් ගෙනැත් දුන්නා
මං අඬුම්බරව කිව්වා.
මොකටද ගොනෝ ගත්තේ? එක්කෝ එහෙදිම මට නුදුන්නේ ඇයි?”
අම්මාගේ තරහා දැකලා මට ඇඬුණා.
අම්මේ නංඟිට බැනලා වැඩක් නෑ, එයාට තේරෙන්නේ නෑනෙ. ගිහිං ඔය ලියුම දීපු එකාට බනින්න. මට අහුවුණා නං මම දනී කරන වැඩේඅයියා දත්මිටි කෑවා.
මට එදා රෑ බයට නින්ද ගියෙත් නැහැ. පහුවදා මම ඉස්කෝලෙට ගියෙත් ඒ බයෙන්මයි.
අම්මා පංතියේදි කලිඳු අයියාට හොඳටම දොස් කිව්ව බව මට ආරංචි වුණා. ඒත් එයා වචනයක්වත් කියලා නැහැ.  මගේ හිත කිව්වේම එයා මෙහෙම වැඩක් කරන්නේ නෑ කියලයි. ඒ වුණත් අකුරු එයාගෙ නං? ඒ නැතත් මම අම්මට කොහොම  කියන්නද මට හිතෙන දේවල්. මේ සිද්ධිය කොයි තරම් දුර දිග ගියාද කිව්වොත්, අම්මා කලිඳු අයියා ගේ අම්මව ගෙනැල්ලා අවවාද කල වගත් මට පස්සේ ආරංචි වුණා. අන්තිමට වුණේ නොහිතපු දෙයක්.
කලිඳු ඉස්කෝලෙන් අස් වෙලා ගිහිල්ලා
අම්මාගේ මූණේ තිබ්බ පරාජිත බව මට අදටත් මතකයි.  ඒ කතාව අහපු මට හීල්ලුණා. මං බාත් රූම් එකට ගිහිං හොඳටම ඇඬුවා. ඒ මං නිසා ඔහුට අසාධාරණයක් වුණ හන්දාද, නැත්නම් ඔහු නොකියාම ගිය නිසාද මම දන්නේ නැහැ.
"මගේ අතිනුත් වුණේ වැරැද්දක්. අර භානුකලා තමයි ඕක කරවලා තියෙන්නේ. ඒත් දඬුවම් ලැබුණේ අර අහිංසක දරුවට"
කලිඳු අයියා ගැන අම්මා හැමදාම පසුතැවිලි වුණා. ඒක මම දැනං හිටියා හොඳටම. එද පටන්ම කලිඳු අයියාව මගේ හිතේ අමතක නොවෙන විදියට සටහන් වෙලා හිටියා. අවුරුදු ගාණක් ගෙවිලා ගියත් ඊට පස්සේ කවදාවත් එයාව මට මුණගැහුණේ නැහැ. ඒත් එයා ගැනම හිතමින් මම හුඟක් කල් හිටියා. හැම විශේෂ සිදුවීමකදීම එයාව මට මතක් වුණා. මම එයාට ආදරේ කලා වත්ද?
"මලින් පිරී ගිය විසල් වනේ...පියා සලා යන කුරුල්ලනේ...මගේ ප්‍රියාවිය සොයා ගොසින්...හිතේ තියෙන දුක කියව් අනේ..."
අක්ක කාමරේට ආවේ සින්දුවක් කියාගෙන. මම එක පාරටම ගැස්සුනා.
"ආ...මොකද උඩ ගියේ? හොර කල්පනාවක නේද හිටියේ? මොකෝ මොකෝ?"
අක්කා ඇහුවාම මම බොරුවට ගස්සලා අහක බලා ගත්තා.
"පිස්සු...හොර කල්පනා කියන්නේ මොනවද?"
"ඒක නෙවෙයි අන්න හෙට ප්‍රථිඵල නිකුත් කරනවලු"
අක්කා ඇඳේ පෙරලෙමින් කිව්වා. මගේ හිත එක පාරටම චුට්ටක් විතර සැලුනත්, පස්සේ ඒක නැති වෙලා ගියා.
"මට ඉතිං මොනා වුණත් එකයි. මං පාස් වුණත් අප්පච්චි මට කැම්පස් යන්න දෙන්නෙ නෑ කීයටවත්"
මම ඔහේ කියලා දැම්මා. අක්කා සුසුමක් හෙලුවා මං දිහා බලලා.
"ජීවිතේට නිදහස නැත්නම් වෙන මොනා තිබ්බත් වැඩක් නෑ නංඟි"
අක්කා කියන දේ කොච්චර ඇත්තද? ඒත් ඒ කියන නිදහස මට තිබුණේ නැහැ. මම කොට්ටයක් තුරුලු කරගෙන ඇඳ විට්ටමට හේත්තු වුණා.
"අමතක කරලා දාපං කෙල්ලේ ඕවා" අක්කා මගේ ලඟට ඇවිත් කොණ්ඩෙ අවුල් කරලා කිව්වා.
"එන්න යන්න, අම්මා අරහේ කිරි ටොෆී හදනවා"

"බී එකයි, සී දෙකයි, මෙහෙන් නං හැරෙන්න වත් මදි"
මගේ ප්‍රථිඵල අහපු අපූර්ව කිව්වේ එහෙම.
පුරුදු විදියටම අපි හිටියේ වැව රවුමේ හිටගෙන.
"මම අයිලන්ඩ් ෆස්ට් ආවත් එච්චරයි. අප්පච්චි මට කැම්පස් යන්න දෙන්නේ නෑ"
මම කිව්වේ උපේක්ෂාවෙන්. වෙන්නෙ නැති දේවල් ගැන දුක් නොවී ඉන්න මම මේ වෙනකොට පුරුදු වෙලා හිටියා.
"ඔය ජීවිතේ මහ දුකක් අක්කි"
ඒ වචන වල තිබ්බේ දරා ගන්න බැරි තියුණු කමක්. මං එක පාරටම අපූර්ව දිහා බැලුවා.
"හිත රිදුනා නම් සොරි, ඒත් එක නේද ඇත්ත?"
මට කියන්න දෙයක් තිබ්බේ නැහැ. මම අහක බලා ගත්තේ හිත හීනියට රිදිලා.
"දැං ඕවා අමතක කරලා, අපි ඉතිං යන්න ආපු ගමන යමු කෝ" අපූර්ව එහෙම කියලා ඉස්සර වුණා.
මාලිගාව ලඟින් පාර පැනපු අපි ඇවිදගෙන ගියේ නාථ දේවාලය පැත්තට.
අපි නාථ දේවාලය ඉස්සරහින් ගිහින් අවතීර්ණ වුණේ දුඹුරුපාට ගඩොලින් කරපු ලොකු පල්ලියක් ලඟට.
'ශාන්ත පාවුළු දේවස්ථානය' මම බෝඩ් එක කියෙව්වා.
"එන්න යං" අපූර්ව ඉස්සර වුණා.
මම මීට කලින් කවදාවත් පල්ලියකට ගිහින් තිබුණේ නැහැ. ඒ නිසාදෝ මගේ හිතේ තිබ්බේ බිය මුසු කුතුහලයක්.
ඒ පල්ලිය හරිම අලංකාර එකක් බව මට පෙනුනා. දිග ශාලාවේ දෙපැත්තේ දිග ලී බංකු දාලා තිබුණා මැදින් ඇවිදගෙන යන්න ඉඩ තියලා. ඉස්සරහම තිබුණේ ලී කැටයමින් සරසපු අපේ මකර තොරණ වගේ එකක්. උස වහලේ උඩ කොටස පාට පාට වීදුරු වලින් හදලා තිබුණා. දෙපැත්තේ තිබ්බ උස ජනේල වලටත් දාලා තිබ්බේ ඒ වීදුරුමයි. ඇත් දත් පාත ගාපු ලොකු කුලුණු සහ උස බිත්ති ඒ පල්ලියේ වහල දරා ගෙන හිටියා. මම හිටියේ මේ නිශ්ෂබ්ද ලස්සනින් මුසපත් වෙලා වගේ. පල්ලිය ඇතුලේ තව පුංචි කාමර කීපයක්ම තිබ්බා. ඊට අමතරව රාමු කරපු පිංතූර එහෙමත් බිත්ති වල එල්ලලා තිබුනා.
පල්ලිය ඇතුලේ උන්නේ මාත්, අපූර්වත් විතරයි. අපේ පන්සලට හාත්පසින්ම වෙනස් වුණත් පල්ලිය ඇතුලේ තිබුනෙත් භක්තිය ඇති කරවන් සුළු ශාන්ත සුන්දරත්වයක්.
"එන්න" අපූර්ව මාව ඉස්සරහටම එක්කගෙන ගියා.
ඉස්සරහ තිබුණේ අර මකර තොරණ වගේ රාමුවෙන් වෙන් කරපු වේදිකාවක් වගේ  කොටසක්.ඒ රාමුවේ මැද හරියෙන් හරහට ලස්සන ලී පරාලයක් වගේ එක සවි වුණේ දෙපැත්තේ හදලා තිබ්බ ලී වැටකට.
"මේ තමයි අල්තාරේ" අපූර්ව මට කිව්වා.
මත එක පාරටම කිත්සිරි ජයසේකර ගායකයගේ 'අමීෂා' සිංදුව මතක් වුණා.
"මේක විශේෂ තැනක්ද?"
මම ඇහුවේ රහසින් වගේ. පල්ලියේ තිබ්බ නිශ්ෂබ්දතාවයට බාධා කරන්න මට ඕන වුණේ නැහැ.
"මේක හුඟක් විශේෂ තැනක්. අපේ ආගමේ අය කසාද බඳින්නේ, ජීවිත කාලේටම එකට ඉන්න පොරොන්දු වෙන්නේ මෙතනදි"
අපූර්ව නැවතිල්ලේ කිව්වා. මගේ හිතට ආවේ අමුතු භක්තිමත් හැඟීමක් වගේ එකක්. මං ආයෙමත් ඒ ස්ථානය දිහා බැලුවා. ඒ සිරිත හරිම සුන්දරයි කියලා මට හිතුනා.
"වෙඩින් එක දවසට මනමාලයා මෙන්න මෙතන හිටගෙන ඉන්නවා. එතකොට මනමාලි අර දොර ලඟ ඉඳන් තාත්තගේ අතේ එල්ලිලා ඉඳගෙන ඉන්න සෙනග මැදින් මේ පැත්තට එනවා. මනමාලය තමයි අන්තිමට එයාව දකින්නේ. කලින් බැලුවොත් බෑඩ් ලක් කියලයි කියන්නේ.ඉතිං එයා හෙමීට හෙමීට ඇවිත් මනමාලයා ලඟින් හිට ගන්නවා...දැන් ඔයා ඉන්නවා වගේ"
අපූර්ව තාලෙකට කිව්වා. මම පුදුමය මුසු වුණ හිනාවකින් ඔහු දිහා බලන් හිටියා.
"ඊට පස්සේ?" මම ඇහුවා.
"ඊට පස්සේ, මනමාලිගෙ වේල් එක අයින් කරල, දෙන්නම ෆාස්ටර් පැත්තට හැරෙනවා...ඩියර්ලි බිලව්ඩ්, වී ආර් ගැදර්ඩ් හියර් ටුඩේ....කියලා පටන් අරන් එතුමා කසාදේ සිද්ධ කරනවා" ඔහු කිව්වේ නාට්‍යාකාරයෙන්.
මට හිනා ආවා.
"හරිම ෂෝක්. ඔයාගෙ වෙඩින් එක දවසට මටත් බලා ගන්න පුළුවන්" මම කිව්වා.
"මගේ වෙඩින් එක දවසට?" අපූර්ව මා දිහා බලලා හෙමින් ඇහුවා.
"ඔව්. ඔයා මට ආරාධනා කරනවා නේ?" මම ඇහුවා.
"නැතුව, නැතුව. ඔයා නැතුව කොහොමද?" අපූර්ව කිව්වා. ඒත් ඒකෙ යටි අදහසක් තියෙන වග මට එදා තේරුණේ නැහැ.
"එන්න අපි දැන් ප්‍රේ කරමු"
ඔහු ඊලඟට මාව එක්ක ගියේ අර දිග පුටුවක් ලඟට. මම එතන ඉඳගෙන, අපූර්ව දනින් වැටිල යාඥා කරන විදිය බලා හිටියේ ශාන්ත හිතින්.
"ඔයාට ඕන දෙයක් දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න. ඔයාට ඒක ලැබේවි" අපූර්ව මට කිව්වේ රහසින් වගේ.
"ඉල්ලන ඕනම දෙයක් ලැබෙනවද?" මම ඇහුවා.
"ඔයා ඒ දේ ලබන්න සුදුසුයි නම් අනිවාර්යෙන්ම ලැබෙනවා"
"මටත් එක්ක ඔයාම ඉල්ලන්න" මම කිව්වා.
අපි පල්ලියේ සෑහෙන වෙලාවක් වාඩි වෙලා ඉන්න ඇති, වචනයක්වත් කතා නොකර.
"ඒ පල්ලියේ ජේසු තුමාගේ පිළිමයක් නෑනෙ" අපි ආපහු එද්දි අපූර්වගෙන් මම ඇහුවා.
"අපි කැතලික් නේ අක්කි, අපි පිළිම වන්දනා කරන්නේ නෑනෙ පිළිම වන්දනා කරන්නේ ක්‍රිස්ටිඅන් අය" ඔහු කෙටියෙන් මට කිව්වා.
"ඒ පල්ලිය හරිම ලස්සනයි අපූර්ව. තෑන්ක්ස් මාව එක්ක ගියාට"
මම කිව්වාම අපූර්ව හිණා වුණා විතරයි.
අපි හෙමිහිට ඉස්සරහට ඇවිදගෙන ආවා. එතකොටයි මට මතක් වුණේ අනිද්දට අම්මගේ උපන් දිනේ කියලා. එදාට අම්මගේ විතරක් නෙවේයි මගෙත් උපන්දිනේ යෙදිලා තිබුණා.
"අපි යමුද බර්ත්ඩේ කාඩ් එකක් ගන්න?" මම අපූර්වගෙන් ඇහුවා.
"කාටද?" ඔහු ඇහුවේ පුදුම වෙලා වගේ.
"අපේ අම්මට. අනිද්දා අම්මගේ උපන් දිනේ"
"යං. යං.' අපූර්ව මාව එක්ක ගියේ පොත් සාප්පුවකට. අපි එතනින් පූස් පැටියෙක් ඉන්න ලස්සන කාඩ් එකක් තේරුවා. මම එදාම ඒක තැපැල් කලා.
"අම්මට සතුටු හිතෙයි. ඒක නෙවේ අක්කි, ඔයාගේ බර්ත්ඩේ එක කවද්ද?"
අපූර්ව ඇහුවාම මම ලා හිනාවක් පෑවා.
"මොකටද?"
"නිකං. දැන ගන්න අහන්නේ"
"කියන්නේ නෑ. පුළුවන් නම් හොයා ගන්න"
"මම පාටි ඉල්ලන්නේ නෑ. කියන්නකෝ අක්කි"
"ම්හු." මම හිස වනලා බෑ කිව්වා.
"හරි මම හොයා ගන්නම් කෝ"
අපි ගෙදර යන්න පිටත් වුණේ KFC එකෙන් අයිස් ක්‍රීම් කාලා.මට නුවර ගැන තිබ්බ නුහුර නැතිවෙලා ගිහින්.මං මෙහේ උන්නේ ගෙදරට වඩා හිතේ නිදහසකින්. ඒ හැම දේකටම හේතුව අපූර්ව. අපේ යාලු කමට අපි අතර තිබ්බ වයස් පරතරය වත්, ආගම් වෙනස වත් බලපෑවෙ නෑ. මතක් වුණේ වත් නෑ. මම අපූර්වට හුඟාක් ලං වෙලා බව මට ටිකෙන් ටික තේරෙන්න ගත්තා.
"අක්කි, ඔයාගේ නැෂනල් අයි. ඩී. නම්බර් එක කියන්නකෝ"
බස් එකේ ඉඳගෙන ඉන්න අතරේ කොලයක් අරගෙන මොනාදෝ බලපු අපූර්ව හදිසියෙන්ම ඇහුවා.
"ඒ මොකටද හදිසියේ?"
"කියන්නකෝ, ප්‍රශ්ණ නාහා හැම එකටම"
මම වැඩිය නොහිතා ඒක ඔහුට කිව්වා. මම නිකමටවත් හිතුවේ නෑ ඒක ඔහු ඉල්ල ගත්තේ මොකට වෙන්න ඇතිද කියලා.

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....