Thursday, November 10, 2011

පනස් පස්වෙනි දිගහැරුම


මම පඩිපෙල නැග්ගේ පස්ස බල බල. බැරිවෙලාවත් අපූර්ව ඉඳීවි කියලා. ඒත් ඔහු පේන්න හිටියේ නෑ. ඒ එක්කම මගෙ හිතට ආවේ දැන් අපූර්ව මං ගැන මොනවා හිතාවිද කියන සිතිවිල්ල. මං ඔහුව අමතක කරලා කලිඳු අයියට කැමැත්ත දීලා කියලා හිතාවිද? ඒහෙම හිතද්දි මට දැනුනේ මහා වරදකාරී හැඟීමක්. මම ආයෙමත් අපූර්වව දුකට පත් කලා නේද කියලා මට හිතුණා. මේච්චර වෙලා එකලස් කරගෙන උන්නු හිත ආයෙත් විසිරුණා.
උදේ වුණත් මාලිගාවට ආපු සෙනග නම් අඩුවක් වෙලා තිබුණේ නෑ. අපි අත් පා දෝවනය කරගෙන, මල් වලට පැන් ඉහගෙන උඩ මාලෙට නැග්ගා. අපූර්වයි, මමයි ඇවිත් වුණා බාරේ හිතේ තියාගෙන මම දළදා හාමුදුරුවන්ට මල් වට්ටිය පූජා කලා. අපි දෙන්න එකට නොහිටියත් අපූර්වගේ අනාගතේ වාසනවන්ත වෙන්න කියලා මම ප්‍රාර්ථනා කලා.
 ඒත් තවමත් හිත නම් නොසන්සුන්. මම ආයෙත් වට පිට බැලුවේ බැරි වෙලාවත් අපූර්ව ඉඳීවිද කියලා. ඒත් ඔහු හිටියේ නෑ. ඔහු යන්න ඇති කියලා මම හිතුවා. සෙනග ගොඩක් උන්නු නිසා අපි ඉක්මණට වැඳලා පල්ලේ මාලේ විහාර ගෙට එන්න ආවා. බට්ටි හිටියේ සතුටින් ඉතිරිලා, මල්ලිකා නැන්දා ශ්‍රද්ධාවෙන් ඉතිරිලා. කලිඳු අයියත් හිටියේ බොහොම සැහැල්ලුවෙන්. මම විතරක් පුදුම තරම් නොසන්සුන් වෙලා.
"කටුගෙට යනවද?" වැඳලා ඉවර වෙලා කලිඳු අයියා ඇහුවා.
"අනේ යමුකෝ" බට්ටිට කිව්වේ මගේ අතේ එල්ලිලා.
මට ඕන කරලා තිබ්බේ ඉක්මණට මෙහෙන් යන්න. ඒත් බට්ටියි, මල්ලික නැන්දයි හැමදාම එන්නේ නෑනෙ.
"හ්ම්. එහෙනම් යමුකෝ" මම කිව්වා.
ඒ එක්කම වගේ මට පෙනුනේ විහාරගෙයි දොරෙන් ඇතුලට ආපු අපූර්ව. ඔහු මාව දැක්කා. ඒතකොටත් කලිඳු අයියලා කෞතුකාගරේට යන්න ටිකට් ගන්න එහා පැත්තට ගිහින්. මොහොතකට මම බය වෙලා වගේ අපූර්ව දිහාත්, ඔහු මා දිහාත් බලාගෙන උන්නා. ඊට පස්සේ මම දෙවරක් නොහිතම බට්ටිලා උන්න දිහාවට දුවලා ගියා.
"ආ..කොහෙද හිටියේ. එන්න යමු" කලිඳු අයියා මට ඉස්සර වෙන්න දුන්නා.
මගේ හද ගැස්ම හොඳටම වැඩිවෙලා. අපූර්ව මෙහාටත් ඒවිද? එහෙම ආවොත් මොකද කරන්නේ කියලා මම කල්පනා කලේ කලිඳු අයියා මොන මොනවදෝ කිව්වත් ඒවට ඇහුම්කන් නොදී.
"අපි උඩ එකට යනවා. ඔය බලා එන්න" කලිඳු අයියා මට එහෙම කියලා බට්ටිත් එක්ක උඩ කුටියට යන්න ගියා. මල්ලිකා නැන්දයි, මමයි තාමත් පහල. උඩ මාලෙට යන්න හිතන් මම දොර ලඟට යන්න හදද්දි එතනින් මතු වුණේ ආයෙමත් අපූර්ව. ඔහු දෙපැත්තම බැලුවා. අන්තිමට මාව දැකලා ඔහු මං උන්නු දිහාවට එද්දි මම හිටියේ ගල් ගැහිලා වගේ. මට අඩියක් වත් හොල්ලගන්න බැරි වුණා. අපූර්ව ඇවිත් මගේ ලඟ නැවතුණා. ඒ ඇස්වල තිබ්බේ මම කවදාවත් දැකලා නොතිබ්බ විදිහේ නපුරු කමක්. ඒ ඇස් වලින් ගිනි පිටවෙනවා වගෙයි මට දැනුනේ.
"මට ඔයා එක්ක කතා කරන්න ඕන" අපූර්ව කිව්වේ වියලි විදියට.
මම වටපිට බැලුවා. මල්ලිකා නැන්දා නැමීගෙන මොකක්දෝ විස්තරයක් කියවනවා.
"දැන්?" මම ඇහුවේ බයෙන්.
අපූර්ව ආයෙත් මුකුත් නොකියා මගේ අතකින් අල්ලගත්තා.
"අනේ...අපූර්ව මේ මොනාද කරන්නේ? ඔයාට පිස්සුද?"  මම අත මුදා ගන්න උත්සාහ කරමින් කිව්වා.
"ඔව් මට පිස්සු. ඒක වැඩි වෙන්න කලින් එනවා යන්න"
අපූර්ව කිව්වේ මගේ අතින් ඇදගෙන දොර ලඟට යන්න හදන ගමන්. මම හිටියේ හොඳටම බය වෙලා. අපූර්වට ඇත්තටම පිස්සු හැදිලද?
ඔහු මාව අතෑරියෙම නැහැ. ඔහු එක්ක යනවා ඇරෙන්න මට කරන්න දේකුත් තිබ්බේ නෑ. මේ වගේ තැනක කලබලයක් ඇති කරගන්න මට උවමනා නොවුණ නිසා.
"අපූර්ව මාව අතාරින්න මම එන්නම්. මෙතන මෙහෙම හැසිරෙන්න හොඳ නෑ"
මම කිව්වේ ඔහුගේ පස්සෙන් ඇදිලා යන ගමන්. ඒ පාර ඔහු මාව ඇදලා ඉස්සරහට දැම්ම.
"යමු" ඔහු කිව්වේ මගේ පස්සෙන් එන ගමන්.
අපි මාලිගාවෙන් පිට වෙලා මලුවට යනකල්ම ඔහු මා පස්සෙන් ආවා. යනවා ඇරෙන්න මට කරන්න දෙයක් තිබ්බේ නෑ. දැන් කලිඳු අයියලා මාව හොයාවි කියලා හිතෙද්දි මම පත් වුණේ ලොකුම ලොකු අපහසුතාවයකට. ඒත් අපූර්ව මෙතන කලබලයක් කලොත් ඒක පුදුම ලැජ්ජාවක්, අගෞරවයක් කියන සිතිවිල්ල ඊට වඩා බලවත් වුණා.
"කොහාටද මේ යන්නේ?" මම ඇහුවේ මාලිගාවට ඇතුල් වෙන පඩිපෙල පාමුල නැවතිලා.
"චර්ච් එක ලඟට.යමු" අපූර්ව මාව දේවාල භූමියට ඇතුල් වෙන පැත්තට යොමු කරලා කිව්වා.
"අපූර්ව මට සෙරෙප්පුත් නෑ. ඔයා මේ මොනවද කරන්නේ?" මම පුලුවන් තරම් හෙමින්, අනික් මිනිස්සුන්ට වෙනසක් නොපෙනෙන්න ඇහුවා. ඒත් ඔහු කතාවක් නෑ. මම දේවාල භූමියට ඇතුල් වෙන දොරටුව ලඟ  නැවතුණා.
"මොනවද මේ කරන්නේ?" මම ඔහුගෙන් ඇහුවේ නොමනාපෙන්. මෙච්චර දුක් විඳලා, මෙච්චර දවසකින් දැකලා, හම්බවුණාම මෙහෙම වුණ එක ගැන මගේ හිත රිදිලයි තිබුණේ. ඒත් අපූර්ව දැක්කේ ඒක නෙවෙයි. ඒ නිසා ඔහු උන්නේ හොඳටම අවුල් වෙලා.
අපූර්ව මොහොතක් මගේ දිහා බලාගෙන ඉඳලා, අල්ලගත්තු මගේ අත අතෑරියේ දේවාල භූමියෙන් ඉවතට ගිහිල්ලා. ඔහු මාව ඇදගෙන ගිහින් නැවතුණේ ඒ හරියේ නවත්තලා තිබුණ ඔහුගේ වාහනේ අසල.
සෙරෙප්පුත් නැතිව, අතත් රිදුම් දිදී මාව ඇදගෙන ආපු ඔහු දිහා බැලුවේ නොමනාපෙන්මයි.
"මොනවද අපූර්ව මේ කරන්නේ?"
"මාත් අහන්න ගියේ ඒකම තමා" අපූර්ව කිව්වේ නපුරු විදියට. තාමත් ඔහුගේ ඇස් කෝපයෙන් දිලිසෙනවා.
"අර මිනිස්සු මාව දැන් හොයනවත් ඇති" මම කිව්වා.
"ආ...හිතට අමාරුද ප්‍රේම කුමාරයා කලබල වෙයි කියලා? හිතන්න නැතුව ඇති නේ මාව අද මෙහෙම හම්බවෙයි කියලා? අලුත් ප්‍රේම කතාවට ආශීර්වාද ගන්න වෙන්න ඇති එන්න ඇත්තේ?" අපූර්ව කිව්වේ නිර්දය විදියට.
මගේ හිතටත් ආවේ තරහක්. මොනවත් නොදැන අපූර්ව කතා කරන විදිහ?
"අපූර්ව දැනගෙන කතා කරන්න. මම මෙහේ ආවේ ඇයි කියලා ඔයා දන්නේ නෑනෙ"
"ඔව් ඔව්. ඒක් ඇත්ත. තව මම නොදන්න මොන මොන දේවල් ඇත්ද? මම මෙහාට වෙලා ඔයා ගැන හිත හිත විඳවද්දි, ඔයා අරූ එක්ක මගුල් නටනවා. ඕකටද එදා අප්පච්චිගේ හයිය පෙන්නලා මාව එලවගත්තේ? මට ආදරේ ඇති කියලා හිත හිත මම තමුසෙට පූජා පැවැත්තුවේ නැති එක විතරයි. මීට හොඳයි එදා අප්පච්චිට මට වෙඩි තියන්න දුන්නා නම්"
අපූර්ව කතා කලේ හොඳටම තරහින්. ඔහු කියපුවා මට අදහා ගන්න බැරි වුණා. මම ගල් ගැහිලා, මොනවත්ම කියා ගන්න බැරිව හිටියා.
"ඇයි මට මෙහෙම කළේ? ඇයි මට මෙහෙම කළේ? ඔහු අන්තිම ටික ඇහුවේ කෑ ගහලා වගේ. පාරේ එහා පැත්තෙන් ගිය දෙතුන් දෙනෙකුත් අපි දිහා හැරිලා බලනවා මම දැක්කා. මට පොලොව පලාගෙන යන්න තරම් ලැජ්ජාවක් දැනුනා.
"අපූර්ව මෙතන කෑ ගහන්න එපා. මිනිස්සුත් බලනවා. එක්කෝ අපි කාර් එකට නැගලා කතා කරමු" මම කිව්වා.
"ඉතින් බලපුවාවෙ. මට මොකද? මට දැන් කෝක වුනත් එකයි"
"අපූර්ව වෙච්ච දෙවල් නොදැන ඔහොම කතා කරන්න එපා" මම සන්සුන් වෙන්න උත්සාහ කරමින් කිව්වා.
"කියන්න ඕන නෑ. මම දැක්කා නේ"
"ඇහින් දකින හැම දේම ඇත්ත නෙවෙයි අපූර්ව"
"මොනවද එහෙනම් ඇත්ත?" ඔහු ඇහුවේ මගේ මූණට එබිලා. "මොනවද ඇත්ත? මගේ විභාගෙට බාර වුණා නේද කියලා මතක් කරගෙන, ඔයා ගැන හිත හිත, මම ආවේ මොන තරම් හිත එකලස් කර ගෙනද? ඒ හැම දේම ඉවරයි. ඉවරයි"
අපූර්ව කිව්වේ කාර් එකත පාරක් ගහන ගමන්. ඒ පාර ඒකෙ සයිරන් එක වදින්න ගත්ත මහා හයියෙන්. අපූර්ව සාක්කුවට අත දාලා හොයලා හොයලා යන්තම් යතුර හොයාගෙන ඒක නතර කරන්න විනාඩියක් විතර ගියා.
"මම ආවෙත් ඒකතම තමයි. ඒ බාරේ ඔප්පු කරන්න තමයි"
ආයෙමත් අපූර්ව කඩා පනින්න කලින් මම කියලා දැම්මා. අපූර්ව මා දිහා බැලුවා. සැකෙන් වගේ.
"නැත්තම් මොකටද මම ගේදරින් ගෙනාපු මල් තියෙද්දිත් නෙලුම් මල් විසි එකක් අරන් යන්නේ? අනික ඔයා කියන ව්දියට මට කලිඳු එක්ක මගුල් නටන්න ඕන වුණා නම් මම බට්ටියි, මල්ලිකා නැන්දයි එක්ක එන්න ඕන නෑනෙ" මම කිව්වේ හෙමින්.
අපූර්වගේ ඉරියව් පොඩ්ඩක් වෙනස් වුණා.
"බට්ටි? මල්ලිකා නැන්දා?"
"ඔයා ඒ අයව දැක්කේ නැනෙ. ඒක තමා මම කියන්නේ ඇහින් දකින් හැම දේම හැම වෙලේම ඇත්ත නෙවෙයි කියලා"
"හරි ඒක එහෙමයි කියමුකෝ. කලිඳු එක්කම එන්න ඕන වුණාද? හැමෝම එනවා නම් ඇයි ඔයාලගේ වාහනේක නාවේ?" අපූර්ව හදන්නේ රණ්ඩු වෙන්නමයි.
"අප්පච්චි එහෙම මට නුවර එන්න දේවිද වෙච්ච දේවල් වලින් පස්සේ? මේකටත් කැමති කර ගත්තේ අමාරුවෙන්. ගෙදර තත්වේ නොදන්නවා වගේ කතා කරන්න එපා"
මම අහක බලාගත්තා.
ටිකෙන් ටික පරිසරය උණුසුම් වීගෙන එනවා. මම වට පිට බැලුවා. දැන් කලිඳු අයියලා මාව හොයනවත් ඇති. මම හිටියේ ගිනි පත්තු වෙලා. ඒ අස්සේ අපූර්ව මෙතන මාව තියාගෙන අධිකරණයක වගේ ඉවරයක් නැති ප්‍රශ්ණ අහනවා.
"මෙත්මා ප්ලීස්...ඔයා මගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා. ඔයා මගේ විතරක් නෙවෙයි, කලිඳුගේ ජීවිතෙත් එක්කත් සෙල්ලම් කරනවා. ඔයා ආදරේ මට නම් ඇයි මෙහෙම කලිඳුට හෝප්ස් දෙන විදියට වැඩ කරන්නේ? ඇයි?"
අපූර්ව ඇහුවා.
"අප්පච්චිලා කලිඳුලගේ යෝජනාව මොන හේතුවක් නිසා වත් අහක් කරගන්න කැමති නෑ. අප්පච්චි මට එහෙම නොකියා කියනවා හැමවෙලේකම. අනික මට එයාට ගෙදර එන්න එපා කියන්න බෑ. එයා එන්නේ අප්පච්චිගෙන් අවසර අරගෙන. එයා මගෙන් අහන්නේ නෑ""
"ඔයා, ඔයාගේ අප්පච්චි, කලිඳු, මේ සේරම හරි. එතකොට මං? මට මොකද වෙන්නේ?" අපූර්ව අහනවා.
මොනවා කියන්නද කියලා හිතන්න කලින් ඔහු ආයෙමත් මගේ ඇඟට කඩාගෙන පැන්නා.
"මට මේ සේරම එපා වෙලා. සේරම! වෙන එකෙක් වුණා නම් මම වගේ ඔයා පස්සේ වැටීගෙන එන්නේ නෑ මෙච්චර දේවල් වෙද්දිත්. ඒත් මට එහෙම කරන්න බෑ. ඇයි දන්නවද? ඇයි දන්නවද?' ඔහු මගේ මූණ ලඟටම ඇවිත් අහනවා. මම ඇකිලුණා.
"මම තමුසෙට ආදරේ නිසා. මගේ පණටත් වඩා තමුසෙට ආදරේ කරපු නිසා" අපූර්ව කිව්වේ පරාජිත ස්වරයෙන්.

7 comments:

  1. methmata thiyenne Apu gena kalindu ta kyanna. Eya adare krnne apu ta kyalath, eyawa amathaka krnna ba kiyalath kyanna. Pena vdiyata kalinduth naraka kenek neme. Eyata puluwan wei bohowita prashne therum ganna.

    ReplyDelete
  2. mmmmmmmmmmmm eke athe,, eya kaldute kiyane thiyenne,, samehare wite kalidu aputaty methmatay prashne wisdagane udaw karane puluwan :)

    ReplyDelete
  3. මෙත්මා නරකයි අක්කි ඇයි එයා කලිදුට hopes දෙන්නේ....එයා ඇත්ත කීවානම් හරිනේ....පව් අපූර්ව.... :(

    ReplyDelete
  4. මෙත්මා නරක නිසා ඔයාලා කතාව බලන එක නවත්තන්නද යන්නේ? :)
    අපූර්වගේ පැත්තෙන් වගේම මෙත්මාගේ පැත්තෙනුත් හිතන්නකෝ...

    ReplyDelete
  5. අනේ අක්කී කතාව කියවන එක නවත්තන්නේ නෑ.....ඒත් මම මෙත්මා උනානම් කලිදුට කියනවා අපුර්වට ආදරේ කරනවා කියලා....ඇයි එයා දෙන්නෙක්ගේ හිත් එක්ක සෙල්ලම් කරන්නේ..මොනවා උනත් අපුර්වයි,කලිදුයි දෙන්නම පව්..

    ReplyDelete
  6. balagena yanakota kello okkoma dual sim ne ai ehema wenne akki?? mata nam ehema hithannawath ba....ara booruwata ba kiyanna bari kamak na ne....eyawath shape eke thiyan innava...katha wada

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....