Saturday, November 12, 2011

පනස් අටවෙනි දිගහැරුම


පහුවදා මට උදේ පාන්දරම ඇහැරුණා. ඒ වෙනකොටත් පහල තට්ටුවේ එකම ගාලගෝට්ටියක්. අම්මලා උයනවා, කැවිලි පාර්සල් බඳිනවා එක යුද්ධයයි. මම පහලට යද්දි අප්පච්චි විතරක් මිදුලේ ඇහැල ගහ යට තේ කෝප්පෙකුත් අතේ තියාගෙන කල්පනාවක.
"අප්පච්චි..." මම ඔහුට කත කලා.
"ආ..පුතා නැගිට්ටද?"
"අප්පච්චි මොකද ඔතන පිනි බබා කරන්නේ? ගෙයි සද්දේ වැඩි නිසාද ඔතන ඉන්නේ?"
අප්පච්චි හිනා වුනා විතරයි.
"ගෙයි නෙවෙයි පුතේ හිතේ කලබලේ තමා වැඩි. අද ගොඩක් වැදගත් දවසක් නේ. ඒ දවස ගැන මම මේ හිතුවේ" අප්පච්චි කිව්වේ බැරෑරුම් විදියට.
අප්පච්චි දන්නවා නම් මගේ හිතේ තියෙන කලබලේක තරම. මම ඒත් වෙනසක් නොපෙන්නා අප්පච්චිට හිනා වුණා.
"වැඩිය හිතන්න එපා අප්පච්චි. හැමදේම හොඳින් සිද්ධ වෙයි. කෝ ඔය කෝප්පේ දෙන්න. මම යනවා. ලෑස්ති වෙන්නත් එපැයි" මම එහෙම කියලා එද්දිත් අප්පච්චි මගේ දිහා බලාගෙන ඉන්නවා මම දැක්කා.
"ඉක්මණට කාලා දැන්ම ලෑස්ති වෙන්න පටන් ගන්න. නැත්තම් ඔයාටමයි වෙලා යන්නේ" අම්මා මට බත් පිඟානක් බෙදලා දීලා කිව්ව.
මම කුසියේ දොර ලඟට ගිහින් නිකමට අපූර්වගේ ගේ දිහාව බැලුවා. ඒ පැත්තේ කවුරුවත්ම නෑ. එලවලු කොටුවත් පාළු වෙලා ගිහින්. මට එක පාරටම මතක් වුණේ අපූර්ව දවසක් ඔතනදි මාව උස්සගත්ත විදිහ. දුකක් හිතට ආවත් ඒ ක්‍රියාව මතක් වෙද්දි නම් මට හිනාවක් ආවා. අදින් පස්සේ ඒ සේරම වෙනමම අතීතයක් විතරයි.
"අනේ අක්කා ගොඩක් මේකප් නම් එපා හොඳේ. මම මේ ඉන්න විදිය හොඳයි"
මට බාගෙට ඔසරිය අන්දලා මාව හැඩ වැඩ කරන්න ආපු අක්කට මම කිව්වා.
"ඉන්නවකෝ, ඉන්නවකෝ...මම ඒක කරන්නම්"
කොහොමහරි පැයක් විතර දඟලලා අක්කා මාව අන්දලා ඉවර කලා. කොහොමත් අක්කට ලස්සනට සාරි, ඔසරි අන්දන්න පුළුවන්කම තිබ්බා, හැමදාම අඳින නිසා.   කණ්ණාඩියෙන් බැලුවාම මටත් පුදුම හිතුණා මේ මමමද කියලා. මොකද මීට කලින් කවදාවත් මම ඔසරියක් ඇඳලා නෑනෙ. අක්කා මගේ දිහා බලාගෙන උන්නේ කට කොනකින් හිනා වීගෙන.
"මොකෝ?" මම ඇහුවා.
"අදම ගෙදර නවතින්න කියාවිද දන්නේ නෑ"
අක්කා කිව්වාම මට ලැජ්ජා හිතුණා.
"අනේ යන්න අක්කා..."
"එහෙනම්, හැඩ බලලා ඉවර වෙලා පහලට එන්නකෝ" අක්කා මට එහෙම කියාගෙන පහලට ගියා. කණ්ණාඩියෙන් පෙනුන මගේම ප්‍රතිබිම්බය දිහා බලාගෙන ඉද්දි මට හිතුණේ මම අම්මට වඩා අප්පච්චි වගේ කියලා. ඒ එක්කම අද දවස ගැන හිතේ තිබ්බ බර මතක් වෙලා මට සුසුමක් හෙලුණා. අද මගේ ජීවිතේ තීරණාත්මක දවසක් වේවි. අඩු ගාණෙ අදින් පස්සේවත් මට අලුත් අනාගතේට මූණ දෙන්න හිත හදා ගන්න වේවි. මගේ ඇහැ ගියේ කණ්ණාඩි මේසේ උඩ තියලා තිබුණ අපූර්ව මට දීපු ෆෝන් එක දිහාවට.මම ඒක මෙතනින් තිබ්බේ කොයිවෙලේද කියලා මට මතකයක් තිබ්බේ නෑ. අපූර්ව මතක් වුණා විතරයි, මට ඇඬුණා. මම ටිෂූ එකක් අරන් ඇස් තෙත මාතු කර ගත්තා. අපි අපේ අනාගතේ ගැන ගොඩක් කතාකරලා නැති වුණත් කවදාහරි මම මේ විදියට යන්න හිටියේ අපූර්ව ලඟට නේද කියලා හිතද්දි හිත වේදනාවෙන් පිරුණා.
"ඉන්දී...පහලට එන්නැද්ද?" අක්කා පහල ඉඳන් කෑ ගැහුවා.
මම ආයෙත් ඇස් තෙතමාත්තු කරගෙන පහල තට්ටුවට එන්න ආවා.
"...ඒ කාලේ නම් මනමාලි වෙන්න ඉන්න කෙනා මනමාලයගේ ගෙදර යන්නේ නෑ. දැන් මේ අලුත් මෝස්තර නේ" ආච්චි මම්මා පුංචම්මට කියනවා.
"ඒ අය මේ ළමයව එක්ක එන්න කියලනේ අම්මා. ඒකනේ යන්නේ" පුංචම්මා කියනවා.
ඒත් මාව දැකපු ගමන් ඒ දෙන්නගෙම කතාව නැවතුණා.
"අයි මේ?" මම ඇහුවේ ගල් ගැහිලා වගේ මා දිහා බලා උන්නු කට්ටිය දිහා බලලා.
පුංචම්මා හිනා වුණා විතරයි. අම්මත් හිනා වෙලා හිටියා.
"මගේ කෙල්ලට ඇස් වහක්, කට වහක් වදින්න එපා, රත්නත්තරේ පිහිටයි' ආච්චි මම්මා අන්තිමට එහෙම කිව්වේ ඇස් දෙක පිහින ගමන්.
එහෙම කිව්වාම මමත් හැඟිම්බර වුණා. ඇස් වලට යන්තම් උනපු කඳුලු හංග ගන්න මම බිම බලා ගත්තා.
"පුංචි නෝනට ලොකු මහත්තයා කතා කරනවා" අපි හැමෝම ගොලු වෙලා ඉද්දි සාලෙට ආපු සුමනේ මාමා කිව්වා. මම අප්පච්චි උන්නු කාමරේට ගියා හෙමිහිට.
"අප්පච්චි..." මම කතා කලාම මොනවදෝ ලියකිය්විලි වගයක් කියවමින් හිටපු අප්පච්චි මා දිහා හිස උස්සලා බලුවා. බලලා බලාගෙනම විනාඩියක් විතර හිටියා.
"මං ලස්සනද අප්පච්චි?" මම ඇහුවා.
අප්පච්චි නැගිටලා මගේ ලඟට ඇවිත් හිටගෙන මගේ මූණට එබුණා.
"පුංචි සුරංගනාවියක් වගේ ලස්සනයි" අප්පච්චි කිව්වා.
"ඇත්තටම?"
"ඔව්. හැම තත්තා කෙනෙක්තම තමගේ දුව  සුරංගනාවියක් වගේ තමා පුතේ"
අප්පච්චි කිව්වාම මගේ ඇස් වලට කඳුළු ඉනුවා ආයෙමත්.
"අපේ ජීවිතේට සතුට ගෙනාපු, අපේ සතුට වෙනුවෙන්  තමන්ගේ සතුට කැප කරපු ඔයා ඇත්තටම මට සුරංගනාවියක් වගේ තමා මගේ පුතේ"
ඇස් වලට බර වැඩි වුණු කඳුළු කම්මුල් දිගේ රෝල් වුණා.
"ඔයා හිතනව නම් ඔයාගේ අප්පච්චිට ඔයාගේ හිත තේරුම් ගන්න බෑ කියලා ඔයා වැරදියි මගේ පුතේ. අද මේ තීරණේ ගන්න කලින් මට ඇත්ත කියන්න පුතේ...ඔයා කලිඳුට ඇත්තටම කැමතිද?"
මම බිම  බලා ගත්තා. අප්පච්චි අද ඇයි මෙහෙම අහන්නෙ ඇයි කියලා මට තේරුණේ නෑ. ආයෙත් කඳුළු වැටෙද්දි මම වචන ගැටගහගත්තා.
"මම කැමති වෙන්න උත්සාහ කරන්නම් අප්පච්චි"
අප්පච්චි මොනවදෝ කියන්න හැදුවත් ඒකට ඉඩක් ලැබුණේ නෑ. සාලෙන් ඇහුණේ මහා විලාපයක් එකපාරටම. අපි දෙන්නම ඒ පැත්තට දිව්වේ පුලුවන් තරම් ඉක්මණට.

2 comments:

  1. Please Please put the next part today itself if you can

    ReplyDelete
  2. hmmmmmmm akki apite methma.. kalidu and apu thun dena ganeme dukay,, ae unate methmate kalidute kiyane bari ay wisthare, hopes dennewate wada eke hode nadde??? ane manda ay ane mechara ikmnate kathawe iwere karane yanne?? :( nywy akki keep writing ,, this stor is my life nw :) take care

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....