Monday, November 7, 2011

පනස්වෙනි දිගහැරුම

හිත ඇතුලේ ගිනි කනදක් පිපිරුවා වගේ මට දැනුනා. ඒත් අප්පච්චි නිහඬයි. ඒ මොහොතෙම මට ඇහුනා වීදුරු එකටෙක ගැටෙන සද්දයක්. තේ ට්‍රොලිය තල්ලු කරගෙන ආපු අම්මා එකපාරටම නැවතිලා මට එහා පැත්තේ. අම්මා එක පාරටම බැලුවේ මගේ දිහා. බය වෙච්ච පාරට මමත් අම්මා දිහාම බලාගෙන හිටියා. කවුරුවත් කතා නොකලේ ඒ වචනේ තිබ්බ බරපතල කමින් කම්පනය වෙලා වගේ.
"මං මෙත්මාට ආදරෙයි. මගේ පටත් වඩා ආදරෙයි. ඒකයි මම අද ආවේ" අපූර්ව ආයෙමත් කිව්වා.
අප්පච්චි හෙල්ලුනේවත් නෑ. අම්මත් හිටපු තැනමයි. සීයා පප්පා කම්පනය වෙලා වගේ අහක බලාගෙන. හැමදේම මොහොතකට නිසලවෙලා හරියට කාලය නැවතිලා වගේ.
"පුතා දන්නවද පුතා ඔය කියනදේ බරපතලකම?" අන්තිමට අප්පච්චි හඬ අවදි කලේ මාව පුදුමයට පත් කරමින්. අප්පච්චිගේ හඬ කවදාවත් නැති තරම් නිවිලා. ඒත් ඊට පිටිපස්සෙන් තියෙන්නේ ලොකු කුණාටුවක්ද කියලා මට බය හිතුණා. අපූර්ව හිස උස්සලා අප්පච්චි දිහා බැලුවා.
"පුතාගේ වයස කීයද?" ඒ පාර අප්පච්චි අහනවා.
"මගේ වයස මෙතනට..."
"මං ඇහුවේ වයස කීයද කියලා"
"දහ නවයයි"
"දහ නවයයි. එතකොට රස්සාව?"
"තාම නෑ. මම ඒ ලෙවල් කලා විතරයි තාම. ඒත් මම දන්නවා මම එක හොඳට පාස් වෙන වග"
"රස්සාවක් නෑ" අප්පච්චි කියනවා.
"ඒත් මෙත්මාව සතුටින් තියන්න පුලුවන් තරම් වත්කමක් මට තියෙනවා. මට කාර් එකක් තියෙනවා, ගෙදරක් තියෙනවා..." අපූර්ව තරමක් උස් හඬින් කියාගෙන යද්දි අප්පච්චි අතක් උස්සලා ඒක නැවැත්තුවා.
"පුතාගේ ආගම මොකකද?" ඊට පස්සේ අප්පච්චි ඇහුවා.
"මම කැතලික්" අපූර්ව කිව්වේ වෙලා අරගෙන.
අප්පච්චි හිස වනමින් කල්පනා කරන්න ගත්තා.
අම්මා මං ලඟට ආවා.
"මොකකද මේ විකාරෙ තේරුම?" අම්මා මගෙන් ඇහුවේ රහසින් වගේ. මම වෙව්ල වෙව්ල බිම බලාගෙන හිටියා මිසක් වචනයක් වත් කියාගන්න මට බැරි වුණා.
'මේ ළමයට පිස්සුද?" අම්මා කියාගත්තේ තමන්ටමයි.
"පුතා මොන හේතුවක් නිසා මෙහෙම දෙයක් හිතුවද කියන්න මම දන්නේ නෑ. ඒත් මම මේ එඩිතර කම අගය කරනවා. ඒත් පුතේ...පුතා ඉල්ලන දේ දෙන්න මට පුලුවන් කමක් නෑ" අප්පච්චි කිව්වේ නිවුණු ඒත් තර්ජනාත්මක ස්වරයක් හැංගුනු හඬකින්. 
මගේ හිතේ අකුණු දහසක් පිපිරුවා. බිත්තියට හේත්තු වෙලා ඇස් දෙක පියා ගනිද්දි කඳුළු කැට ගොඩක් මගේ කම්මුල් දිගේ බිමට වැටුණා. එච්චරයි. අප්පච්චි ඉතිං නම් කීයටවත් අපිට කැමැත්ත දෙන්නේ නෑ.
"මට දැනගන්න පුලුවන්ද ඒ ඇයි කියලා?"
"ඔව්.ඔව්. මම මේ කියන්න ගියේ ඒක තමයි. පළවෙනි කාරණේ මගේ කෙල්ලව මම දෙන්නේ සිංහල බෞද්ධ කෙනෙක්ට විතරයි. දෙවනි එක එයාට වඩා වයසින්, අත්දැකීම් වලින් අඩු කෙනෙක්ට මම එයාව කොහොමටවත් දෙන්නේ නෑ. අන්තිම කාරණේ තමයි දැනටමත් මෙත්මාව කෙනෙක්ට තීන්දු කරලා ඉවරයි"
ආයෙමත් නිහඬතාවයක් පැතිරුණා, මොහොතකට.
"ඒත් මෙත්මාගේ අකමැත්තෙන් එයාව කාටවත් දෙන එක වැරදියි නේද අන්කල්?" අපූර්ව ආයෙමත් කිව්වා.
"අකමැත්තෙන්කවුද කියන්නේ එයා අකමැතියි කියලා? එයා මොකටද අකමැති වෙන්නේ?"
මට ඉකි ගැහුණා. අම්මා රිදෙන තරම් හයියෙන් මගේ බාහුවකින් අල්ලලා මාව හෙලෙව්වා.
"ඇත්ත කියනවා, මොකක්ද මේකේ තේරුම? අපූර්වට එන්න කිව්වේ ඔයාද? මොකක්ද අපූර්වත් එක්ක ඔයාට තියෙන ගනුදෙනුව? පැංචි...මට කියනවා" අම්මගේ හඬ නපුරු වෙලා. මට තවත් හයියෙන්  ඇඬුනා විතරයි.
"එයා කැමති වෙන කෙනෙක්ට නිසා" අපූර්ව පොඩ්ඩක් වත් බය නැති හැටි?
"වෙන කෙනෙක්ට? මොනවද ඔය ළමයා මේ කියන්නේ?" අප්පච්චි ඒ පාර කලබල වෙලා.
"අන්කල් නොදන්නවට, අපි අතරේ සම්බන්ධයක් තියෙනවා. දැන් මාස හයක විතර ඉඳන්. මෙත්මා මට ආදරෙයි"
අපූර්ව එහෙම කිව්වාම, කනට නෑහුනත් ඇඟට දැනෙන තරමේ නොසන්සුන්තාවයක් ගෙදරම වෙලා ගත්තා කියලා මට දැනුනා. අම්මා මාව අතෑරියා. මම තවත් තදින් බිත්තියට හේත්තු වුණා.
"මෙත්මට කතා කරන්න..." අප්පච්චි ගිගිරුවා.
මම ඇස් ඇරලා බලද්දි අප්පච්චි හිටගෙන. අපූර්ව කලබලයක් නැතුව ඉඳගෙන ඉන්නවා. යෂිෂ් කලබලෙන් හැමෝගෙම මූණු දිහා බල බල ඉන්නවා. තරහින් පිපිරෙන සීයා පප්පව ආච්චි මම්මා අමාරුවෙන් අල්ලගෙන ඉන්නවා.
"මුගේ තියෙන...."
මම බිත්තියට ඇලිලා වගේ උන්නා. අම්මා අප්පච්චි ලඟ ඉඳන් මට කතා කලා. මට ඒත් හෙලවෙන්නවත් බෑ.
"මෙත්මා!" මම ගැස්සුනා. අප්පච්චිගේ හඬින් ගේ දෙදරුම් කෑවා.
අම්මා ඇවිත් මාව බලෙන්ම සාලේ මැදට ඇදගෙන ගියා. අපූර්ව නැගිට්ටේ එවෙලෙ. ඔහු දෑස් ලොකු කරගෙන මගේ දිහා බලං උන්නා. යෂිෂ් නැගිටලා අපූර්වට ලං වුණා.
"ඇත්තද මේ කියන්නේ?" අප්පච්චි මගේ ලඟට ඇවිත් ඇහුවා සැරෙන්. අප්පච්චිගේ ඇස් දෙකත් රතු වෙලා.
"අප්පච්චි..." මම තැතනුවා අඬ අඬාම.
"ඇත්තද මූ මේ  කියන්නේ?" ඒ පාර අප්පච්චි මගේ බාහුවෙන් අල්ලාලා හෙලෙව්වා.
"අනේ අප්පච්චි..."
"අන්කල්...මෙත්මාව අතාරින්න.." අපූර්ව කෑ ගහනව.
කඳුළු වරුසාවකින් වැහුන ඇස් නිසා මට සේරම පෙනුනේ බොඳ වෙලා.
"ඇත්තද මේ කියන්නේ? ඇත්තද?" අප්පච්චි ආයෙමත් ඇහුවා.
"ඔව්....ඔව්..." අන්තිමට මට කියවුණා. ආප්පච්චිට මාව අත ඇරුණා.
"මොනවා...උඹ..." අම්මා මා දිහා බැලුවේ ගිනි පිටවෙන දෑසින්. ඊලඟ මොහොතේ අම්මගේ අතක් මගේ කම්මුලේ පතිත වුණ. ඒ වේගෙට මම විසිවෙලා වැටුනේ අපූර්ව පැත්තට.
"මෙත්මා..." අපූර්ව පැනලා මාව අල්ලගත්තා. මම අපූර්වට තුරුලු වුණේ දෙවරක් නොහිතම.
"මෙත්මා..." අප්පච්චි ආයේමත් ගිගිරුවා. මම අපූර්වව අතනෑරපු පාර අප්පච්චි එතනින් පිටවෙලා ගියේ කලබලෙන්මයි.
ඊටපස්සේ එතන ඇති වුණේ එකම ගාල ගෝට්ටියක්. සීයා පප්පා අපූර්වට ගහන්න එන්න හදනවා. යෂිෂ් පැනලා ඔහුව නවත්තගන. ආච්චි මම්මා විලාප තියන්වා. අම්මා ඇවිත් මාව ඇදලා ගන්න ගියා පාරට මගේ අත් දෙකම හීරුණා. ඒත් මම අපූර්වව අතනෑරම හිටියා.
ඊට පස්සේ අප්පච්චිගේ දැඩි අතකට මගේ අතක් හිර වුණා මට දැනුනා. ඒ හයියට මට තවත් අපූර්වව අල්ලන් ඉන්න පුලුවන් වුණේ නෑ. අප්පච්චි මාව ඇදලා අහකට කරපු වේගෙට මම සාලේ වීදුරු කැබිනෙට්ටුවෙ වැදිලයි නැවතුනේ. වීදුරුව සලාං හඬින් බිඳිලා ගියා.
ඊට පස්සේ දැක්ක දේයි මම බයෙන් ත්‍රස්ත වෙලා ගියා. අප්පච්චි හිටියේ අප්පච්චිගේ දිග තුවක්කුව අපූර්ව දිහාට මානගෙන. අම්මා අප්පච්චිගේ අතේ එල්ලිලා කෑඅ ගහනවා.
"අප්පච්චී...." මම උගුර හීරෙන තරම් හයියෙන් කෑගහගෙන එතනට දිව්වා. අපූර්ව අප්පච්චි දිහාම හිතුවක්කාර විදියට බලාගෙන ඉන්නවා. යෂිෂ් අපූර්වගේ පැත්තකින් හිටගෙන.
"අන්කල්ට ඕන දෙයක් කරන්න. ඒත් ඔය කිසි දෙයක් නිසා අපේ ආදරේ වෙනස් වේවි කියලා හිතන්න එපා..."
"අනේ අප්පච්චීඑපා අප්පච්චී..." මම අප්පච්චිගේ කකුල් ලඟ වැටුණා.
"මාව අතාරිනවා.." අප්පච්චි අම්මව පැත්තකට කරන්න හදනවා.
"අපූර්ව යන්න...මෙතනින් යන්න..." අම්මා අප්පච්චිගේ අතක එල්ලිලා කෑ ගහනවා.
"අනේ අපූර්ව යන්න අපූර්ව යන්න...යන්න.." මම දුවලා ගිහින් අපූර්වගේ ඇඟේ එල්ලිලා කිව්වා.
"මාත් එක්ක යන්න එන්න..." අපූර්ව මගේ අතකින් අල්ලගත්තා.
"මගෙන් මැරුම් නොකා ඕකිව ඇතෑරලා යන්නයි කිව්වේ..." අප්පච්චි ආයෙත් ගිගිරුවා.
"මා එක්ක යන්න එන්න...මං ඕන දේකට ලෑස්ති වෙලයි අද ආවේ...මාත් එක්ක එන්න මෙත්මා"
"අනේ යෂිෂ් මෙයාව එක්ක යන්න...ප්ලීස්...ප්ලීස්.." මම යෂිෂ්ට බැගෑපත් වුණා.
"මෙත්මා මෙහාට එනවා..." අම්මා කෑ ගහනවා. අප්පච්චි තාම අම්මත් එක්ක ඔට්ටු වෙවී තුවක්කුවේ එල්ලේ ගන්න හදනවා.
"අනේ පුංචි නෝනා එන්න..." මල්ලිකා නැන්දා ඇවිත් මගේ අතකින් අල්ලගත්තා.
"අනේ යන්න අපූර්ව...මෙතන නරක දෙයක් වෙන්න කලින් යන්න...මට ඔයා එක්ක එන්න බෑ අපූර්ව...මට  බෑ.."
අපූර්ව මගේ දිහා බැලුවේ මං කියපු දේ අදහාගන්න බැරිව වගේ.
"ඔයා මට ආදරේ නම් එන්නම ඕන..."
මම හිස වැනුවා.
"මං ඔයාට මගේ ජීවිතේටත් වඩා ආදරෙයි...ඒත් මට එන්න බෑ අපූර්ව...මං අප්පච්චිටත් ආදරෙයි..."
මම කිව්වේ අඬමින්.
මගේ අතකින් අල්ලගෙන උන්නු අපූර්වගේ ග්‍රහණය බුරුල් වුණා. අප්පච්චි තුවක්කුව පහත දැම්මා මගේ දිහා බලාගෙන හරියට පුදුම වෙලා වගේ.
අපූර්ව දැක්කාම මගේ හදවත පැලෙන්න තරම් වේදනාවක් මට ආවත්, ගෙදර දාලා, අම්මා, අප්පච්චි දාලා ඔහු එක්ක යන්න මට පුළුවන්කමක් තිබ්බේ නෑ. අපූර්වගේ ඇස් වල කඳුළු පිරිලා තිබුණා. මට දැනුනේ අපි දෙන්නා වටේට සේරම නිශ්චල වෙලා වගේ.
"අපි යමු අපූ..." යෂිෂ් අපූර්වව ඇද්දා. ඒත් ඖඋර්ව මා දිහා බලාගෙනම හිටියා තව මොහොතක්. ඔහු මොනවදෝ කියන්න උත්සාහ කලත් යන්තම් තොල් හෙලවුණා විතරයි.
මට හොඳටම ඇඞෙන්න වුණා. මේ තරම් දුර, මං නිසා ආපු ඔහුට දෙන්න මා ලඟ තිබුණේ දුක විතරයි.  
"ම\න් ඔයාට ආදරෙයි...ආදරෙයි...ආදරෙයි..." මම අඞ අඞාම කිව්වා. යෂිෂ් අපූර්වව ඇදගෙන ගියේ ඔහු මා දිහා තවමත් බලාගෙන ඉද්දිමයි. තවත් බලා ඉන්න බැරි තැන මම මගේ කාමරේට දිව්වා. එතන උන්නු අනික් අය සේරම අන්ද මන්ද වෙලා බලාගෙන ඉද්දි.
"පැංචී..." අම්මා මගේ පස්සෙන් එනවා මට ඇහුණා.
කාමරේට ගිහින් දොර වහ ගත්තු මම කලේ බැල්කනියට දුවලා ගිහින් අපේ මිදුල දිහා බලපු එක. අපූර්වගේ කලු පාට කාර් එක මිදුල දිගේ ඇදිලා ගිහින් ගේට්ටුවෙන් නොපෙනී ගියා. ඒත් ඔහුව මට පෙනුනේ නෑ.
මගේ ජීවිතේම ඒ එක්ක මට නැතිවුණා වගේ හිස් බවක් මට දැනුනා. මම ඊට පස්සේ කලේ ගිනි ගෙන දැවෙනවා වගේ තේරුන හිත්වේදනාව නිසා ආපු ආවේගෙට මගේ ඇඳ විට්ටමේ හිස ගහගෙන ගහගෙන ගිය එකයි. මම අපූර්වට දුන්නු වේදනාවට ඒ මොනවා කලත් මදි කියලා මට හිතුණා.
"මෙත්මා...දොර අරින්න පුතේ.." අම්ම දොර ලඟ කෑ ගහනවා මට ඇහුනේ හීනෙන් වගේ. මට අන්තිමට මතක තිබුණේ 'කරාස්" හඬින් දොර කඩාගෙන කවුදෝ කාමරේට දුවගෙන එනවා විතරයි.

11 comments:

  1. ඊලග කොටසත් ඉක්මනට දාන්න ..

    ReplyDelete
  2. මෙික මම ගොඩාක් ආසාවෙන් කියවෙන කතාවක්. ඊලග කොටසත් ඉක්මනටම දාන්න....!!!!

    ReplyDelete
  3. please put the next part asap :(

    ReplyDelete
  4. ඉතිරි කොටසත් දාන්ඩෝ

    ReplyDelete
  5. අර්ධ ශතක වෙනි දිග හැරුම.
    කොටස් 50ක් පුරාවට ලස්සනට මේ හීනේ අකුරු කලාට, නෙතු ඔබට ගොඩක් ස්තුතියි..

    ReplyDelete
  6. @ලයනෝ:
    ඇත්ත තමයි. කොටස් පනහයි! මේ කතාව මුලින්ම ලියද්දි මම හිතුවේ වත් නෑ ඒක මේ තරම් දෙනෙක් කියවයි, ආස වෙයි කියලා. ලයනෝ ඔයාටත් , මේක කියවන අනික් හැමෝටමත් මමයි ස්තුති කරන්න ඕන. මම හිතනවා මේ හීනේ ඉවර වෙනකල් ඔයලා හැමෝම මා එක්ක දිගටම ඉඳීවි කියලා...

    @ අනික් කට්ටියට:
    මේ තාම ටයිප් කරනවෝ...

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....