Tuesday, November 8, 2011

පනස් දෙවනි දිගහැරුම

මට යාන්තම් නින්දක් යාගෙන එද්දි කොට්ටේ යට තිබ්බ ෆෝන් එක නාද වෙන්න පටන් ගත්තා.'අපූර්ව?'
මම දුවලා ගිහින් කාමරේ දොර වහලා පුටුවක් තියලා ආවේ අගුලත් කැඩිලා නිසයි. අත වෙව්ලන්න ගත්තු නිසා ඇමතුම ගන්න මට ටික වෙලාවක් ගියා.
"අපූර්ව..අපූර්ව..." මම කතා කලා කලබලෙන්ම.
"මම යෂිෂ්..."
"යෂිෂ්...කෝ අපූර්ව? අනේ මට එයාට කතා කරන්න ඕන"
"දැන් මොනවා කතා කරන්නද? ඔයා අපූගේ මුළු ජීවිතේම විනාස කලා. හොඳට හිටපු කොල්ලව නාස්ති කලා. ඔහොම දෙයක් කරන්න නම් මොකටද හලෝ මේ කොල්ලව ගෙන්න ගත්තේ ආ? පවුලේ හයිය පෙන්නලා මේකට ඉන්සල්ට් කරන්නද?"
යෂිෂ් අහද්දි මට ආයෙමත් ඇඬෙන්න ගත්තා.
"බනින්න යෂිෂ්, ඕන තරම් බනින්න. ඔයා කියන සේරම හරි. මම අපූර්වගේ ජීවිතේ විනාස කලා තමයි. ඒ පව මට කවදාවත් ගෙවලා ඉවර කරන්න ලැබෙන එකක් නෑ"
මම සීතල පොළවෙ ඉඳගෙන කිව්වා.
"යෂිෂ් ගිව් මී ද ෆෝන්...ගිව් මී.." මට අපූර්වගේ හඬ යාන්තමට ඇහුනා.
"හරි...මම මේ වතාවට අපූට දෙන්නම්, ඒත් ආයෙත් සැරයක් මේකගේ ජීවිතේ අවුල් කරන්න හදන්න එපා. අදින් පස්සේවත් අපූට පාඩුවේ ඉන්න දෙනවා..."
යෂිෂ් එහෙම කියලා අපූර්වට දුන්නා. යෂිෂ් මට බැන්නට මට ඔහු එක්ක තරහා ගියේ නෑ. ඊටත් වඩ බැනුම් අහන්නයි මම සුදුසු කියලා මට හිතුනා.
"අපූර්ව..." මම කතා කලා.
"ඇයි මට මෙහෙම කළේ මෙත්මා, ඇයි?"
මට ඇඬිල්ල  නවත්තගන්න පුළුවන් වුණේ නෑ.
"මං ඔයාට මෙච්චර ආදරේ කරද්දි, ඔයා මට පොඩ්ඩක් වත් ආදරේ කළේ නැද්ද?" අපූර්වගේ හඬ වෙනස් වෙලා. දුර්වල වෙලා. හිතේ තිබ්බ දුක් කන්ද තවත් බර වුණා.
"ඔහොම අහන්නේ ඇයි අපූර්ව? ඔයා දන්නවා නේද මං ඔයාට කොච්චර ආදරේද කියලා. අනේ මට බය හිතුණා අපූර්ව, අප්පච්චි ඔයාට මොනවා හරි කරයි කියලා..."
අපූර්ව හයියෙන් හුස්ම ගන්නවා.
"එහෙම දෙයක් වෙලා මැරිලා ගියා නම් මේ තරම් විඳවන්න එන එකක නෑ. මට මෙහෙම නොකර බොන්න වස ටිකක් දුන්නා නම් ඉවරයි මෙත්මා...එහෙනම් මෙහෙම මැරි මැරී උපදින්න වෙන්නේ නෑ"
අපූර්ව කියන්නේ හිතට පිහියෙන් අනින්න වගේ කතා. මම ඇඳට හේත්තු වෙලා කඳුළු වලට ඔහේ ගලන්න ඉඩ හැරියා.
"පව් කතා කියන්න එපා අපූර්ව...මම එහෙම කලාට ඔයාට මගේ හිතේ තියෙන ආදරේ පොඩ්ඩක් වත් අඩු වෙලා නෑ...එහෙම වෙන්නෙත් නෑ"
"එහෙනම් ඇයි මා එක්ක එන්න බැරි? මෙත්මා...ඔයා එක පාරක්  කියන්න මට එන්න කියලා, මම එනවා. ඔයා දන්නවා නේද ඔයා නැතුව ජීවත් වෙන්න මට බෑ කියලා. මෙත්මා...මා එක්ක යන්න එන්න. මං ඔයාට කවදාවත් දුකක් නොදී බලාගන්නවා. මම තාමත් නුවර එලියේ ඉන්නේ. මට ඔයාව දාලා යන්න හිත හදා ගන්න බෑ. ඔයා කිව්වොත් මේ දැන් මට එන්න පුළුවන්. මාත් එක්ක යන්න එන්න මෙත්මා..."
මගේ හිත ආයෙත් ගිනි වැදුනා. අපූර්ව තාමත් මෙහේ? ඒත් මම කොහොමද ඔහු කියන දේ කරන්නේ?
"ඔයා කොහෙද ඉන්නේ අපූර්ව?" මම ඇහුවේ ඔහු මේ ලඟක ඉන්නවද කියලා දැනගන්න.
"හොටෙල් එකක. මම දන්නෑ කොහෙද කියලා. මං කොහොමද ඔයාව දාලා ආපහු යන්නේ?”
"අනේ...හෙට ගෙදර යන්න අපූර්ව. මෙහෙම ඉන්න එකේ තේරුමක් නෑ. මට එන්න වෙන්නේ නෑ"
"ගෙදර නෙවෙයි, මට හිස හැරුණු අතේ යන්නයි හිතිලා තියෙන්නේ"
"අනේ එහෙම නම් කරන්න එපා. ඔයාගේ දෙමව්පියන් ඉස්සරහ පව්කාරියෙක් කරන්න එපා මාව"
"මට කියන්න...කවදාහරිවත් ඔයාට එන්න බැරිද මා ලඟට?"
"මං කොහොමද පොරොන්දු වෙන්නේ?"
"මෙත්මා..."
"ම්ම්"
"ප්ලීස් මා එක්ක යන්න එන්න"
"මට ඒක කරන්න බෑ අපූර්ව...ගෙදරට මාව ඕන. ඔයා හොඳටම දන්නවනේ. මම කොහොමද අපූර්ව අප්පච්චි දාලා එන්නේ?"
"මම දන්නෑ, මම දන්නෑ...මම දන්නේ මට ඔයා ඕන කියලා විතරයි"
"දුර හිටියත් මං ඔයාගේ විතරමයි අපූර්ව"
"ඔයාට කලිඳුව මැරි කරන්න වුනොත්? අප්පච්චි කිව්වොත් ඔයා එහෙම කරයි. එතකොට මට මොකද වෙන්නේ මෙත්මා?" අපූර්ව අහනවා. ඇත්තටම ඒකට දෙන්න උත්තරයක් මට තිබ්බෙ නෑ.
"ඔයාට උත්තරයක් නෑ නේද? එහෙම වුනොත් ඒක මට දරා ගන්න බැරි වෙයි මෙත්මා...බැරි වෙයි"
අපූර්ව දිගටම කතා කලේ බිඳුන හඬකින්. ඔහු ඇත්තටම අඬලද? මේවා දරා ගන්න බැරිව මගේ පපුව පැලෙයි කියලා මට හිතුණා.
"මම කලිඳු බඳින්න කැමති වෙලා නෑ තාම. ඔයා හිතන්නේ මට ඒක කරන්න පුළුවන් කියලද?"
"ඒත් ඔයාගේ අප්පච්චි බල කලොත් ඔයා ඒකත් කරයි.ඒක එහෙම වෙන්න දෙන්න බෑ. මං ආයෙත් කියන්නේ, මා එක්ක යන්න එන්න"
"ඒක කරන්න බෑ අපූර්ව"
අපූර්ව ගොඩක්වෙලා නිහඬව හිටියා මගේ උත්තරෙන් පස්සේ.
"ඔයා මා එක්ක එන්නේ අප්පච්චි කැමති වුනොත් විතරද?" අපූර්ව අන්තිමට ඇහුවා.
"ඔව්"
"මං ආයෙත් ඇවිත් අප්පච්චිගෙන් ඔයාව ඉල්ලන්නද?"
"අනේ එපා අපූර්ව...ආයෙත් එන්න එපා. ආවත් වැඩක් වෙන්නේ නෑ"
"ඔයා කලිඳුව මැරි කරන්න එපා..." හදිසියේම අපූර්ව මට කිව්වා."එහෙම කලොත් එදාට මේ අපූර්වව ඔයාට සදහටම නැති වෙයි...මා එක්ක නාවට ඔයා වෙන කෙනෙක්ට අයිති වෙන එක මට බලන් ඉන්න බෑ"
මට කතා කරගන්න බැරි වුණා. ඒ තරමට මට ඇඬෙන්න වුණා.එහා පැත්තෙන් අපූර්වගෙත් හුස්ම ගන්න හඬ ඇර වෙන දෙයක් ඇහුනේ නෑ, එක පාරටම ආයෙත් මුකුත් නොකියා ඔහු ඇමතුම විසන්ධි කලා. ආයෙත් ඔහුට කතා කරන්න මට හයියක් තිබ්බේ නෑ. මටම අයිති නැති මගේ ජිවිතේ ගැන මං ඔහුට මොන පොරොන්දු දෙන්නද? මට උත්තර නැති අපූර්වගේ ප්‍රශ්ණ නිසා ඔහුගේ හිත රිද්දන්න මට හිතුණේ නෑ. මට හෙට මොන මොන ප්‍රශ්ණ වලට මූණ දෙන්න වේවිද. ඒවට මොනවගේ තීරණ ගන්න වේවිද කියලාත් මම ඇත්තටම දැනගෙන හිටියේ නෑ.

1 comment:

  1. ලස්සනයි ... කියවන්න බලාගෙන ඉන්නවා..

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....