Thursday, November 10, 2011

පනස් හතරවෙනි දිගහැරුම


"අක්කේ..අක්කේ...මේ බලන්න..." බට්ටි කඩාගෙන බිඳගෙන මගේ දිහාවට දුවගෙන එද්දි, මම හිටියේ මිදුලේ, පෝච්චියට දාන්න මල් කඩ කඩ.
"මොකක්ද?"
මම හැරිලා බලද්දි බට්ටි මගේ ලඟ. ඇගේ අතේ තිබුණේ පත්තරයක්.
"මේ...අද පත්තරේ අපූර්ව අයියගේ පින්තූරයක් තියෙනවා"
බට්ටි කියද්දි මම අතේ තිබ්බ මල් ටික ඇය අතට දීලා  පත්තරේ අතට ගත්තේ උදුරලා වගේ.
'උසස් පෙළින් ඉහලම ළකුණු ලබා ගත් විශිෂ්ඨයෝ'’ පත්තරේ ලොකු තද කලු අකුරින් මුද්‍රණය කරලා තිබුණා. ඊට පහලින් තිබුණ පාසැල් ළමයින්ගේ මූණු අතර අපූර්වගෙත් මූණ තිබුණා. මගේ ඇස් ඇසිල්ලකින් යොමු වුණේ ඊට යටින් තිබුණ අකුරු පෙල දිහාට.
'මහනුවර දිස්ත්‍රික්කයේ ජීව විද්‍යා අංශයේ දෙවැනි ස්ථානය ලබාගත් අපූර්ව හේෂාන් ලිවේරා ශිෂ්‍යයා. විද්‍යාලය...." මගේ ඇස් බොඳ වුණා. හිතට එක පාරටම ආවේ ලොකු සතුටක්. මගේ අපූර්ව ඇත්තටම හොඳට විභාගේ පාස් වෙලා. ඒත් ඒ සතුට තිබුණේ මොහොතක් විතරමයි. ආයෙමත් පුරුදු දුක ඇවිත් ඒ සතුට මකලා දැම්මා.
මං පත්තරෙත් අරන් කාමරේට දුවලා ආවේ බට්ටිව මිදුලේ අමතක කරලා.
මට ඕන වුණා අපූර්වට කතා කරන්න. ඒත් ෆෝන් එක අතට ගත්තම හිතට දැනුනේ චකිතයක්. අපූර්ව සමහරවිට හිත හදාගෙනත් ඇති කියලා මට හිතුණා. එහෙම නම් මම කතා කලොත් ආයෙත් ඔහුගේ හිත පෑරෙන්නත් පුළුවන්. මම ආයෙම ෆෝන් එක කොට්ටය යටටම දැම්මා. පත්තරේ තිබ්බ අපූර්වගේ පින්තූරේ මම අතගෑවේ හිත දුකින් පිරෙද්දි. විභාගේ පාස් වුණොත් මාළිගාවට ගිහින් බාරයක් වෙන්න කියපු එක ඔහුට මතක් වේවිද කියලා මම කල්පනා කලා. සමහරවිට මතක් වුණත් ඔහු යන එකක් නෑ, හිත රිදෝගන්න බැරි නිසා. මම පත්තරේ අපූර්වගෙ රූපෙ තිබුණ පිටුව ඉරලා කොට්ටේ යටින් තියගත්තා.
දින සති ගෙවුණේ බොහොම උදාසින විදියට.  මගේ හිසේ තුවාලය වේලිලා තිබුණා. ඒ වුණත් තරමක කැලලක් නම් ඉතිරි වෙලා තිබුණා. ඒත් මට ඒ කිසි දේක ගානක් තිබුණේ නෑ. ඒ සිද්ධිය වුණ දා ඉඳලම හැම සති අන්තෙකම වගේ කලිඳු අයියා අපේ ගෙදර මාව බලන්න ආවා ගියා. මුලින් මට ඒක මහා වදයක් විදියට දඇනුනත් සති කීපයක් ගත වෙද්දි මට ඔහුගේ ආගමනය වදයක් වත්, සතුටට කාරණාවක් විදියට වත් දැනුනේ නෑ.
එක සඳුදා හවසක මමයි, බට්ටියි ආච්චි අම්මට බුදු සමිඳු පුදන්න මල් කඩමින් හිටියා. අම්මටැ හවස ක්ලාස් එකක් නිසා ගෙදර ඇවිත් උන්නේ නෑ. අප්පච්චිත් වත්තටැ ගිය පාර ඇවිත් උන්නේ නෑ. මම බට්ටිට මල් කඩන්න කියලා තේ හදන්න මල්ලිකා නැන්දට කියලා ආපහු වත්තට යන්න සල්ලෙට ආවා.
"සප්‍රයිස්..." එක පාරටම මං ඉස්සරහට ආපු කලිඳු අයියා කිව්වා. අනපේක්ෂිතව සිද්ධ වුන දේ නිසා බය වෙච්ච පාර මම උන්නු තැනම නැවතුණා.
"බය වුණාඅද?"
මම හුස්මක් හෙලලා හිස වැනුවා."නෑ"
"අපට සති දෙකක් ස්ටඩි ලීව්. ඒ නිසා පාඩම් කරන්න පටන් ගන්න කලින් ඇවිත් යන්න ආවා" ඔහු මට මග ඉඩ දීලා අයින් වෙන ගමන් කිව්වා.
"එතකොට අද පාඩම් කරන්නේ නැද්ද? වාඩිවෙන්න" මම ඔහුට කිව්වා.
"අද නෑ. හෙට ආපහු යන්න බලාගෙන ආවේ"
"ම්ම්" මම කියන්න දෙයක් නැති  තැන එහෙම කිව්වා.
"චූටි නංඟි හිටියා එළියේ මල් කඩ කඩ මං එද්දි" ඔහු කතාව දිගටම ගෙනියන්න හදනවා.
ඒත් මම හිටියේ අපූර්ව ගැන කල්පනාවක. තේ හදන්න කියන්න කුස්සියට යද්දි දවසක් මම අපූර්වට තේ හදලා දුන්න හැටි මතක් වෙලා ඒ ගැන කල්පනා කරමිනුයි මම සාලෙට එන්න ආවේ.
"ම්ම්...මොකක්ද? ආ..ඔව් ඔව්. මේ..පෝච්චි වලට දාන්න නේ"
ඔහුට මගේ වෙනස තේරුණාද මන්දා.
"හෙට උදේම යන ගමන් මම මාලිගාවට යන්නත් හිතාගෙන ඉන්නේ. ඔයාට බැරිද මට ඔයාගේ වත්තෙන් මල් ටිකක් දෙන්න?" කලිඳු අයියා එහෙම ඇහුවේ ඇත්තටද, විහිලුවටද මම දන්නේ නෑ.
ඒත් මාලිගාව ගැන කිව්වාම ආයෙත් මට අපූර්වගේ බාරේ ගැන මතක් වුණා. අනේ මට පුළුවන් නම් ඔහු වෙනුවෙන් ඒ බාරේ ඔප්පු කරන්න.
"මාලිගාවේ යන්නත් ආසයි. නුවර ඉද්දි ගියාට පස්සෙම යන්න බැරි වුණා නේ" මම කිව්වා.
කලිඳු අයියා මගේ දිහාඅ බලාගෙන මොහොතක් කල්පනා කලා.
"ම්ම්...ඔයා ආසම නම් මට පුළුවන් ඔයා එක්ක යන්න" ඔහු කිව්වාම මම පත් වුණේ අපහසුතාවයකට.
"අනේ මම එහෙම හිතලා කිව්වා නෙවෙයි"
"නෑ. නෑ. මම ඒක දන්නවා. මං කිව්වේ උදේ ගිහින් හවස එන්න, ඕන නම් ආච්චි මම්මයි, බට්ටියිත් එක්ක?"
ඔහු කිව්වාම උත්තරයක් දෙන්න කලින් මම ටිකක් කල්පනා කලා. එහෙම පුළුවන් නම් අපූර්වගේ බාරෙත් මට ඉෂ්ඨ කරතෑකි.
"ඒත්...අප්පච්චි මොකක් කියාවිද දන්නේ නෑනෙ" මම කිව්වේ ඔහු දිහා නොබලා.
"ඔයා කැමති නම් මම අප්පච්චිගෙන් අහන්නද?"
මම ආයෙත් කල්පනා කලා. මම එහෙම කලො ත් ඒ කරන්නේ හරි වැඩක්ද කියලා. ආච්චි මමත් යනවා නම් ඉතිං ඇති වැරැද්දකුත් නෑ කියලා මට හිතුණා. මොකද එතකොට මං ගැන වැරදි දෙයක් හිතන්න කලිඳු අයියට හේතුවක් ලැබෙන්නෙත් නෑනෙ.
"එහෙනම් අහලා බලන්නකෝ" මම තව ටිකක් කල්පනා කරලා කිව්වා.

පුදුමෙකට වගේ අප්පච්චි වැඩි විස්තර නාහම ඒකට අවසර දුන්නා. ඒත් ආච්චි මම්මාට ඒ ගමන එන්න විදියක් තිබ්බේ නෑ. එදාට ආච්චි මම්මට ඉස්පිරිතාලේ ක්ලිනික් එකක්. අන්තිමට ගමන යන්න මට එකතු වුණේ මල්ලිකා නැන්දයි, බට්ටියි.
රෝස, ටියුලිප්, ගෝල්ඩන්, ඇස්ටර්මේරියා, ජර්බරා වගේ නා නා විධ මල් රාශියක් කූඩෙක පුරෝගෙන, සුදු ඇඳුමින් සැරසිලා අපි තුන් දෙනාම උදෙන්ම කලිඳුඅයියත් එක්ක ගමන යන්න පිටත් වුණා.
ආයෙමත් නුවර. මගේ හිතට සතුට ගේනාපු, ආදරේ කියලා දීපු ලස්සන නුවර. ඒත් අද මම යන්නේ ඒ ආදරේ අහිමි වෙච්ච හිත පෑරුණ කෙල්ලෙක් විදියට. ජීවිතේ මොන තරම් මායාකාරීද කියලා මට හිතුණා. පේරාදෙණිය පහු කරලා නුවරට වාහනේ සේන්දු වෙද්දි මෙච්චර වෙලා සද්ද නැතිව උන්නු හදවත ඩිග් ඩිග් ගාලා ගැහෙන්න ගත්තේ මාව නොසන්සුන් කරමින්.
ඒ උදේ වෙලාව නිසා පරිසරයේ තිබුණේ සෞම්‍ය අව්වක් එක්ක පුංචි හුලඟක්. දන්න කියන, අපූර්වටයි, මටයි සුපුරුදු ටොරිංටන් උද්‍යානය, බස් නැවතුම්පොල, වැව රවුම දකිද්දි හිතේ නිදාගෙන උන්නු වේදනාව ආයෙත් හෙමිහිට ඉව කර කර අවදිවෙන්න වුණා. රථ ගාලට වාහනේ දාලා මාලිගාව දිහාට ඇවිදගෙන එද්දි මට දැනුනේ මගේ ඇතුලාන්තෙම දැවිලා යනවා වගේ හැඟීමක්. වැරදිලාවත් අපූර්ව නම් මුණගැහෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කලා.
"මට සුදු නෙළුම් ගන්න ඕන" මාලිගාවේ ඇතුල් වීමේ දොරටුව ලඟට යද්දි මම කිවා.
"මෙච්චර මල් කන්දරාවක් තියෙද්දි?" මල්ලිකා නැන්දා ඇහනවා.
"මම නෙළුම් වලට ආසයි"
"ම්ම්...මං කියන්නද, ඔයා එහෙනම් මේ දෙන්නත් එක්ක ඇතුලට යන්න. මම මල් අරගෙන එන්නම්. සෙරෙප්පු බාරගන්න කවුන්ටරේ ලඟ ඉන්නකෝ, ඊට කලින් මට එන්න බැරි වුණොත්" කලිඳු අයියා කිව්වා.
මම ඒකට එකඟ වුණා."මල් විසි එකක් ඕන" මම කලිඳු අයියට කිවා.
"බාරයක් ඔප්පු කරන්නද?" ඔහු ඇහුවේ යන්න හැරිලා.
"ඔව්" මම කිව්වේ එච්චරයි.
කලිඳු අයියා මල් ගේන්න ගිය අතරේ මම බට්ටිවයි, මල්ලිකා නැන්දවයි එකතු කරගෙන මාලිඅගාවේ ඉස්සරහ පිවිසුමෙන් ඇතුලට ගියා. අපි ගොඩක් දුර යන්න කලින් කලිඳු අයියා මල් අරගෙනත් ඇවිත්.
"ඕන්න..ගෙනාවා" ඔහු එහෙම කියලා මල් වට්ටිය මා අතට දුන්නා.
උපැස් යුවල ඇඳගෙන උන්නු සුදු කමිස කරේ එල්ලගෙන, සුදු පාටම කලිසමකින් සැරසිලා උන්නු කලිඳු අයියාගෙන් මට දිස් වුණේ පහන් පෙනුමක්. ඔහු ගැන සියුම් අනුකම්පාවක් මගේ හිතට පිවිසුණා. ඔහු මේ සේරම කරන්නේ මම නිසා.
මල්ලිකා නැන්දයි, බට්ටියි බරටම විස්තර කතා කර කර වට පිට බල බල අපට පිටිපස්සෙන් ආවා. මමයි, කලිඳු අයියයි කතා බහක් නැතුවම ඉස්සරහට ඇවිදගෙන ගියා.
"දෙන්නකෝ සෙරෙප්පු සේරම ගලවලා. මං තියලා එන්නම්" කලිඳු අයියා අපේ සෙරෙපු තියලා එනකල් මම ආරක්ෂක කුටියෙන් ඇතුල් වෙලා ගිහිල්ල නැවතුණා. ඒත් අපි ගැන අමතක කරලා, බට්ටියි, මල්ලිකා නැන්දයි පඩිපෙලත් නැගලා. සෙනග අතරේ මම ඒ දෙන්නව හොයද්දි මගේ දිහාට යොමු වෙලා තිබ්බ පුදුමය මුසු වුණ බැල්මක් රැඳවුණ ඇස් දෙකක් ලඟ මගේ දෑස නැවතුණේ ඉබේටම. මගේ හදවත මොහොතකට නැවතුණා වගේ. ඇස් වල අයිති කාරයා පඩි පෙල බහින එක නවත්තලා එතනම ගල් ගැහිලා.
"අපූ කමෝන්...දහයට අරූගේ පාටි එකට යන්න ඕන"
පඩිපෙල බැහැලා උන්නු කොල්ලෙක් කතා කලා.
ඇස් වලට කඳුළු පුරද්දිම මම බිම බලා ගත්තේ, අතේ තිබ්බ මල් වට්ටියට මුවා වෙලා.
"ඔයා මං එනකල් හිටියද? යමු එහෙනම්" කලිඳු අයියා මගේ ලඟට ආවෙත් මෙවෙලේ. මම මල් වට්ටියත් අරන් ඉස්සර වුණේ යන්ත්‍රානුසාරයෙන් වගේ. ආයේමත් වටපිට බලද්දි මං මගේ ජීවිතේ දැකපු ඒ ඇස් දෙක සෙනග අස්සේ අතුරුදහන් වෙලා තිබුණා. හිත තිබ්බේ හොඳටෝම සසල වෙලා.

6 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මෙත්මටත් පිස්සු. මට හිතෙන්නේ එය කලිඳුට කැමතිද කොහෙද හිත යටින් :D නැත්නම් හෝප්ස් දෙන විදිහට වැඩ කරන නැනේ හ්ම්ම් හ්ම්ම්ම්

    ReplyDelete
  3. @ dishan rajapaksha - eke nam athe ... eya karapu waden kalidu hopes thiyaganewa,, anith ekek thama dan oke dakapu apu hithenewa methma kalidute kamathi nisa thama achara lesiyen eyate yanne ariye kiyala ,,,

    kohoma unath kathawe lassanate galagene yanewa,, keep writing akki,,, <3

    ReplyDelete
  4. ඊලග කොටසත් අදම දාන්න ..

    ReplyDelete
  5. I like this...:) you are are getting worried about apoorwa and feel resentful towards Methma
    But, don't jump into judgments too quickly...coz u never know what could happen! :)

    thank u for all ur comments :)

    ReplyDelete
  6. methma mehema karana eka waradiy...eya kaliduta hopes denawa.....ara ahinsaka kolla apurwa duk widinawa..methma waradiy............

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....