Friday, November 11, 2011

පනස් පස්වෙනි දිගහැරුම ඉතිරි කොටස


මගේ ඇස් වලට කඳුළු පිරුණා. ලෝකෙම එපා වෙලා වගේ අපූර්ව බිම බලාගෙන හිටියා.
අපූර්ව මං නිසා මේ තරම් විඳවන එක මට දරා ගන්න බැරි වුණා. කවදාවත් සිද්ධ වෙයි කියලා හිතන්න බැරි දෙයක් ගැන මම තාමත් ඔහුට බලාපොරොත්තු දෙන එක වැරදියි කියලා මගේ හිත මට දොස් කිවා. එක්කෝ අප්පච්චි කියන දේකට කැමති වෙලා මම අපූර්වට හිත හදා ගන්න දෙන්න ඕන. එහෙම නැත්තම් කලිඳුට සේරම කියලා, අප්පච්චිට අකීකරු වෙලා මම තනි මතේට අපූර්ව එක්ක යන්න ඕන. ඒත් දැන් ගිනි අව්වේ, පාරක් මැද, සෙරෙප්පුත් නැතිව හිටගෙන, මම ඒ තරම් බැරෑරුම් දෙයක් තීරණය කරන්නේ කොහොමද? මේක ජීවිත තුනක් හතරක් පිලිබඳ ප්‍රශ්ණයක්. මගේ හිස කැරකෙන්න වගේ ගත්තා මේ දේවල් හිතද්දි.
"මෙතන මෙහෙම ඉඳගෙන ඔය ප්‍රශ්ණ වලට උත්තර හොයන්න බෑ අපූර්ව. මං නිසා ඔයා ඔහොම විඳවන එක මට දරා ගන්නත් බෑ. මම දන්නේ නෑ මොනවා කරන්නද කියලා. මට තේරෙන්නේ නෑ"
මම කිව්වේ කඳුළු නො එන්න ඉක්මණට ඇසිපිය සලන ගමන්.
"ඔයාට හැමෝම ඕන. ඒකයි ඔයාට මුකුත් කරන්න බැරි. ආයේ හිතන්න දෙයක් නෑ. ඔයා මට ආදරේ නම් කලිඳුට කියන්න බැරි ඇයි අපි ගැන?" අපූර්ව අහනවා.
"කිව්වත්, නොකිව්වත් අපි ගැන තීරණ ගන්නේ අපි දෙන්න නොවෙන නිසා"
"එහෙම වෙන්නේ කොහොමද? ඔය දෙන්නම දෙන්නට අකමැති නම් මැරි කරන්න බල කරන්නේ කොහොමද?"
"මම අකමැති වුණාට කලිඳු අකමැති නැති බව හැමෝම දන්නවා. හදිසියෙන් අකමැති වුණොත් ඒකට හේතු අහයි. ඊට පස්සේ ආයේත් සේරම කුණු ගොඩවල් ඇවිස්සෙනවා. කලිඳු ගේ ගෙදරින් දොස් කියන්නේ අපට. මගේ අප්පච්චිට ඒක දරා ගන්න බැරි වෙයි අපූර්ව"
අපූර්ව මගේ ලඟට ආවේ ඇස් දෙක පුංචි කරලා මා දිහා බලාගෙන.
"මොකක්ද ඔයා කියන්න හදන්නේ?" ඔහු අහුවේ හෙමින්.
"අපි කාලයට ඉඩදෙමු කියලයි. කාලය හැම ප්‍රශ්ණෙම විසඳනවා"
"බම්බුව!" අපූර්ව කිව්වාම මම ගැස්සුනා."එතකොට මට කියන්නේ කිසි දෙයක් සර්ටන් නැති අනාගතයක් වෙනුවෙන් හැමදාම මේ විදියට විඳවන්න කියලද?"
"ඔයා හිතන්නෙපා ඔයා විතරයි විඳවන්නේ කියලා. ඔයා හිතනවද මම ගෙදරට වෙලා ඉන්නේ සතුටින් කියලා? මම හිතින් විඳවන තරම් දන්නේ මම විතරයි අපූර්ව" ඇස් අගින් පැනපු එක කඳුලක් පිහින ගමන් මම කිව්වා.
"හරි, මට ආදරේ නම්. කවදාහරි මාව ඕන නම් එක දෙයක් කරන්න පුළුවන්" අපූර්ව කිව්වා.
"මොකක්ද?"
"අපි මැරි කරමු. කාටවත් නොකියා අපි මැරි කරමු. එතකොට අපි කොච්චර දුරින් උන්නත් ප්‍රශ්ණයක් නෑනෙ. එතකොට අපිව වෙන් කරන්න කාටවත් බෑ"
මම හිස වැනුවා. අපූර්වට කිසි දෙයක් නොතේරෙන හැටි?
"එහෙම කරන්න පුළුවන් නම් මම එදා ඔයා කතා කරපු වෙලේ එනවනේ අපූර්ව. මට එහෙම කරන්න බෑ. අප්පච්චි මැරෙයි ඒක දැනගත්තු දාක. මම මේ හැම දේම කරන්නේ අප්පච්චි නිසා. අයියා වගේ අප්පච්චිගේ හිත රිද්දන්න මට බෑ. අප්පච්චි හැම දේම කරන්නේ අපි නිසා. අපේ හොඳට. ඔයාට දුකක දෙන්න බෑ වගේම, මට අප්පච්චිට දුකක් දෙන්නත් බෑ. ඒත්..ඒ දෙකම එක පාර කරන්න බෑ" මම කිව්වා.
"එහෙම නම් මොන මගුලකටද තවත් අපි මේක කරන්නේ? අප්පච්චිට අකීකරු වෙන්න බැරි නම්, අපට එයා කැමැත්ත දෙන්නෙත් නැත්නම්, මොකටද? මොකටද?" අපූර්ව ආයෙමත් තරහින්.
"එකට ඉන්නවයි, ආදරේ කරනවයි කියන්නේ දෙකක් අපූර්ව. අපි එකට හිටියත් ජීවිත කාලෙම වෙන් වෙලා හිටියත් මගේ ආදරේ වෙනස් වෙන්නේ නෑ. මං ආදරේ ඔයාට විතරයි, හැමදාම. මං කියන්න හදන්නේ ඒකයි. මට කවදාවත් බෑ කලිඳු අයියට ආදරේ කරන්න, අපට ජිවිත කාලෙම ලඟින් ඉන්න වුණත්. තේරුම් ගන්න. එහෙමයි කියලා මට අප්පච්චිගේ හිත රිද්දලා ඔයා ලඟට එන්නත් බෑ බෑ "
අපූර්ව අහක බලාගෙන හයියෙන් හුස්ම ගන්නවා. හරියට තරහා පාලනය කරගෙන ඉන්නවා වගේ.
"ඔය මොන විදියට කිව්වත් අන්තිමට කියන්නේ මට ඔයාගෙන් දුරස් වෙන්න කියලනේ? ඒකනේ? මමනේ දැන් ඔයාට තියෙන ප්‍රශ්ණේ? හරි මම අයින් වෙන්නම්. ඔයාගෙන් අයින් වෙන්නම්. ඔයා එතකොට කලිඳු එක්ක ඕන දෙයක් කර ගන්න" අපූර්ව අන්තිමට කිව්වා.
මම ඇස් ලොකු කර ගත්තා.
" මම දැන් ඒකද කිව්වේ? මට කලිඳු එක්ක යන්න ඕන නම් මම මේ තරම් ඔයාට කරුණු පැහැදිලි කර කර මෙතන ඉන්න ඕන නෑනෙ. මම කියන්නේ මං ගැන වැරදියට හිතන්න එපා කියලා. අපට එකතු වෙන්න බැරි වුණත් කවදාහරි. මොනාද අපූර්ව ඔයා මේ කියන්නේ?"
"කියන්නෙද, කියන්නේ රැෂනල් දේ. කරන්න පුළුවන් දේ.තවත් බොරුවට අපි බලාපොරොත්තු පොදි බඳින්න ඕන නෑ. ඔයාට ඔයාගේ අප්පච්චිගේ විශ්වාසේ බිඳින්න ඕන වෙන්නෙත් නෑ. මෙහෙම කලාම ඔක්කොම හරි. මම ඔයාගෙන් අයින් වෙන්නම්. එතකොට ලෙඩා මලත් බඩ සුද්දයි!"
"අපූර්ව?"
"එක සැරයක් කිව්වනේ...මම අයින් වෙනවා. ඔයා ඔයාගේ අප්පච්චි ලඟට යන්න. ඔයාගේ කලිඳු ලඟට යන්න...අපි මේක තවත් කන්ටිනියු කරන්න ඕන නෑ...එච්චරයි" අපූර්ව කිව්වේ අතක් උස්සලා කියපු දේ තහවුරු කරන්න වගේ.
තවත් කඳුළු නවත්තගන්න මට පුළුවන් වුණේ නෑ. ඇස් වලින් කඳුළු වැටෙද්දි අපූර්ව මගේ දිහා බැලුවේ වත් නෑ. අපි ආයෙමත් ඈත් වෙන්න යනවා. මේ පාර ආයෙමත් එකතු වෙන්න ඉඩක් නෑ. අපූර්වගෙන් ඈත් වෙන්න මට බැරි වුණත් ඔහු කියනවා වගේ අපි මේ කරන්නේ තේරුමක් නැති දෙයක්. අපේ අප්පච්චි කවදාවත් කැමති වෙන්නෙත් නැත්නම්, මට අප්පච්චි දාලා එන්නත් බැරි නම්, මම තවත් අපූර්වට බලාපොරොත්තු දෙන එකේ තේරුමක් නෑ; ඈත ඉඳන් ඔහුට ආදරේ කරනවා ඇරෙන්න. අපූර්වගේ අනගතේ පැහැදිලියි. කිසිම බාධාවක් නෑ. ඔහුට වරදින එකකුත් නෑ. ඒ නිසා මට දුක හිතන්න දෙයක් නෑ.මේ තමයි කරන්න ඕන හොඳම දේ. මම කඳුළු පිහ ගත්තා.
"ඔයා කියන දේ හරි...කරන්න ඕන හොඳම දේ ඒක බව මටත් තේරෙනවා... "
එහෙම කියලා මම ඔහු දිහා බැලුවා. ඔහු ඇහැක් උස්සලා වත් මා දිහා බැලුවේ නෑ.
"මගෙන් වුණ හැම වැරැද්දකටම මට සමා වෙන්න අපූර්ව...පුළුවන් නම් විතරක්..."
තාමත් ඔහු මා දිහා බලන්නේ නෑ.
මම යන්නං අපූර්ව..
මම එහෙම කියලා දුවලා එන්න ආවේ ආපහු හැරිලාවත් නොබලා, කඳුළු වැල් එක සීරුවට කම්මුල් තෙමද්දි.

කොහෙන්දෝ මගේ නොම්මරේ හොයා ගත්තු කලිඳු අයියා මම ආපහු මාලිගාව ලඟට යනකොටම මට කතා කලා. ඒ අය උන්නේ හොඳටම බය වෙලා.
"ඔයා කොහෙද ළමයෝ ගියේ? අපි හැම තැනම හෙව්වා. යන තැනක කියලා යන්න එපැයි. මම හැම තැනටම කතා කරලා අන්තිමට ඔයාගේ පුංචි අම්මගේ දුවගෙන් තමා නම්බර් එක ඉල්ල ගත්තේ"
කලිඳු අයියට දාඩියත් දාලා මාව හොයලම.
"යාළුවෙක් හමබවෙලා කතා කරන්න පහලට ආවා. දැන් ඉතින් මම ආවානේ"
"ආවා තමයි, මේ මහත්තයා තව ටිකෙන් පොලීසියටත් කෝල් කරනවා" මල්ලිකා නැන්දත් මට දොස් කිව්වා.
මම මුකුත්ම කියන්න ගියෙත් නෑ. ඒ අය එක්කත් වාදෙකට පැටලෙන්න තරම් මානසිකත්වයක් මට තිබ්බේ නෑ. කලිඳු අයියා මාව හම්බවුණ බව අනික් අයට කතා කරලා කියද්දි, අපි හෙමිහිට මාලිගාවෙන් පිට වෙලා වාහනේ තිබුණ දිහාට එන්න ආවා. සිද්ධ වුණ දේවල් නිසා මම හිටියේ අසිහියෙන් වගේ. හිත තලලා පොඩි කරලා දාන වේදනාවට ඉඩ දීලා මම ඔහේ ඇවිදගෙන ආවා.
පුංචම්මා බලන්න ගෙට ගොඩ වැදිලා එන්න හරි යන්න හිටියත් දැන් මට එහේ යන්නත් හිතක් තිබ්බේ නෑ. ගියත් මම ඒ අයට මූණැ දෙන්නේ කොහොමද? හදිසියේ වත් සුධර්මා ඇන්ටි හම්බවුනොත් මම ඇයට මූණ දෙන්නේ කොහොමද? මේ හැම දේම නිසා එහේ නොයා ඉන්න මම තීරණය කලා.
"ඔයාට පාඩම් වැඩ පාඩු වෙනවනේ අයියා. අපි බස් එකේ යන්නම්. ඔයා එන්න ඕන නෑ ඇරලන්න" මම වාහනේට නැගලා කලිඳු අයියට කිව්වා.
"පිස්සුද? අප්පච්චි කිව්ව ගෙදරටම ඇරලවන්න කියලා. වෙච්ච දෙයින් අප්පච්චිත් බය වෙලා හොඳටම"
අප්පච්චි බය වුණේ ඇයි කියලා හිතන්න මට අමාරු වුණේ නෑ. මම ඊට පස්සේ නිහඬ වුණා.
අපි ගෙදර ආවේ කොහොමද කියලා මට මතකයක් තිබ්බේ නෑ. ඒ තරමට හිත අවුල් වෙලා, බිඳිලා, සී සීකඩ වෙලා තිබුණා.  කොහොමහරි අන්තිමට අපි ගෙදරට ආවා. පුරුදු විදියට මගේ කාමරේ බැල්කනියට වෙලා, සීතලේ, උණු කඳුළු වලට කම්මුල් තෙමන්න ඉඩ දීලා ඉන්දැද්දි මට හිතුණේ එකම එක දෙයයි.මේ දේවල් දරා ගන්න අමාරු වුණත්, හෙට , නැත්තම් අනිද්දා, නැත්තම් තව අවුරුද්දක් ගියත් හිත හදාගන්නම ඕන බව.

3 comments:

  1. ලස්සනයි අක්කි . .

    ReplyDelete
  2. අනේ ඉක්මනට අනිත් කොටසත් ලියන්නකෝ .. මම දන සිය පාරක් විතර ඇවිත් බැලුව අලුත් එකක් ලියලද කියල ..

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....