Saturday, November 12, 2011

පනස් හත්වෙනි දිගහැරුම


"පැංචි..."
අම්ම කාමරේට ආවේ මම නිදා ගන්න ඇඳ හද හද ඉද්දි.
"අම්මා...ඇයි?"
බට්ටිට කොට්ට ඇඳට දාන්න දීලා මම අම්මා දිහාට හැරුණා. අම්මගේ අතේ මොනවදෝ පාර්සලයක්. අම්මා ඒකෙන් මොකක්දෝ එළියට අදින ගමන් ඇඳේ වාඩි වුණා.
"මේක ඔයාට..." අම්මා මං දිහාට දික් කළේ ලස්සන, දම් පාටට හුරු රෝස පාට සාරියක්.
"මට?" මම එක අතට ගත්තා.
"ඔව්. නුවර යන දවසට අඳින්න. ඔයාගේ වෙන ඇඳුමක මෙෂර්මන්ට් අරන් මේඩ් අප් කරලයි තියෙන්නේ. ඒ නිසා ඇඳලා බලන්න අඩු පාඩු මොනවද කියලා"
"මාත් යන්න ඕනෙද අම්මා?"
"ඔයාගේ මැඩම් ඔයාව එක්ක එන්නම කියලා තියෙනවා. දැන් කාලේ සිරිත් විරිත් සේරම වෙනස් වෙලා නේ"
මම සාරිය දිහා බලලා ආයෙමත් අම්මා දිහා බලලා හිනා වුනා. මට අම්මා ගැන දැනුනේ දුකක්.
"ලස්සනයි අම්මා" මම අම්මට කිව්වේ අහේතුකව ඇස් තෙමපු කඳුළු පටලයකින් ඇගේ මූණ බොඳ වෙද්දි.
'දැන් අඳින්න ඕන නෑ. හෙට බලලා කියන්නකෝ" එහෙම කියලා අම්මා කාමරෙන් යන්න ගියා.
ජීවිතේ පළවෙනි වතාවට මම අඳින්න යන ඔසරිය. මම ඒක අතගාමින් කල්පනා කලා.
"ඕක ඇන්දාම, ඔයා උඩරට මැණිකෙ කෙනෙක් වගේ ඉඳීවි" මගේ දිහා බලාගෙන උන්නු බට්ටි කිව්වා. මම හිනා වුණා විතරයි.
තීන්දු කර ගත්ත දවසට කලින් දවසේ අපි නුවර යන්න පිටත් වුණා. එදා පුංචම්මලගේ ගෙදර ඉඳලා පහුවදා කලිඳු අයියලගේ ගෙදර යන්නයි සැලසුම් කරලා තිබුණේ.ගෙදර ජීප් දෙකම මේ ගමනට පිටත් වුණා.
සියා පප්පයි, ආච්චි මම්මයි, මල්ලිකා නැන්දයි, සුමනේ මාමයි එකක. මමයි, අප්පච්චියි, අම්මයි, බට්ටියි එකක. සියා පප්පගේ ජීප් එක එලෙව්වේ සුමනේ මාමා.
පුංචම්මලගේ ගෙදරට ලං වෙද්දි මගේ හිත එන්න එන්නම නොසන්සුන් වුණා. හදිසියේ වත් අපූර්ව මුණගැහුනොත් මම මොනව කරයිද කියලා මමම දැනං හිටියේ නෑ. අපූර්වගේ ගේ ලඟින් යද්දි අප්පච්චි උවමනාවෙන් ඒ දිහා බලනවා මම දැක්කා. මම හිටියේ ඒ පැත්තවත් නොබලා.
"අප්පේ...එන්න එන්න..." පුංචම්මා දොර ලඟ හිටගෙන හිටියා අපි එනකල් මග බලාගෙන.
අම්මයි, අප්පච්චියි වෙන්සක් නොපෙන්නා හිනා වීගෙන ගේ ඇතුලට ගියා. මම පැනපු ගමන් පුංචම්මව බදා ගතා.
"මට සමාවෙන්න පුංචම්මා" මම කිව්වේ උගුර රිදුම් දෙද්දි ඇඬෙන්න වගේ.
"දැන් ඕක අමතක කරන්න පුතේ" පුංචම්මා මගේ හිස අතගෑවා.
"හානේ මෙයාලා ඇවිත්..." ගේ ඇතුලේ උන්නු හර්ෂි අක්කා ආවේ එහෙම කියාගෙන.
හමෝම වාදි වෙලා ගිමන් නිවාගන්න අතරේ හර්ෂි අක්කා මා දිහාට ඇවිත් මාව වැලඳගත්තා.
"කෝ අපර්ණා?" මම රහසින් ඇහුවා.
"ම්ම්..මේ..සුධර්මා ඇන්ටිලගේ ගෙදර"
අක්කා කිව්වාම මගේ හිත යන්තමට සසල නොවුණා නෙවෙයි.
"පව්..." මම කිව්වා.
ඇඳුම් මාරු කරගන්න උඩ කාමරේට ගියාම මට දැනුනේ පුදුමාකාර තනියක්. මේ ගෙදර ගොඩක් තැන් වල අපූර්වගෙයි, මගෙයි මතක විසිරිලා තිබුණා. ඔහු දවසක් ජනේලේ ලඟදි මගේ නලල ඉඹපු හැටි, මට ආදරෙයි කියපු හැටි, ඔහු සෙල්ලම් කරපු බැඩ්මින්තන් මල මගේ හිසේ වැදුන දා මුලින්ම අපි මුණගැහුන හැටි මට මැවිලා පෙනුනා. ජනේලේ පැත්තටවත් නොගිහින් මම ඇඳේ වාඩි වුණා. මම ඔහුව කොහොම මතක් නොකර ඉන්නද, හෙට දවසට මූණ දෙන්න හිත හදා ගන්නද කියලා මම දැනං හිටියේ නෑ. ගෙදරදි තදකරගෙන හිටපු හිත මෙහේදි දිය වෙලා ගියේ ගිනි සිලකට ලං කරපු ඉටි ගුලියක් වගේ.
"මට අපර්ණා බලන්න යන්න ඕන. ඒත්...මට සුධර්මා ඇන්ටිට මූණ දෙන්න බෑ අක්කා" මම හර්ෂි අක්කට කිව්වේ හවස කට්ටියම තේ බිබී ඉන්න අතරේ එලියේ ඇහැල ගහ යටදි.
"ඔයා එහේ යන්න ඕන නෑ" අක්කා කිව්වා.
මම සුසුමක් හෙලුවා.
"අ..ම්..අපූර්ව ගෙදරද අක්කා?" ගොඩ වෙලාවක ඉඳලා අහන්න හිටි දෙයක් මම දැන් ඇහුවා. අක්කා මගේ දිහා ඇස් කොනකින් බලලා අහක බලාගත්තා.
"නෑ. අද කොලඹ ගිහින්. අපූර්ව ජෙනිෆර් ගාවට යන්නයි හදන්නේ. යූකේ වලට. අද ඒකෙ වැඩකට ගිහින්"
ඒ වචන මගේ හිතට ඇතුල් වුණේ උල් කටු ගොඩක් වගේ. සත්තකයි මගේ හිත රිදුණා. අපූර්ව ඇත්තතම මව දාලා යන්න යන වග හිතුවාම මගේ හිත වැලපෙන්න පටන් ගත්තා.
"ආයෙත් ඕවා ගැන හිතන්න එපා ඉන්දි. අපූර්වට එයාගේ ගමන යන්න දෙන්න. ඔයා කලිඳු එක්ක ඔයාගේ ගමන යන්න ලෑස්ති වෙන්න" අක්කා කිව්වේ එච්චරයි.
ඒ කතාව අහපු වෙලේ ඉඳලා මගේ හිත නොසන්සුන් වෙලයි තිබුණේ. හැම වෙලේකම ඇස් වලට කඳුළු පිරුණා. අපි දෙන්න කියපු , කරපු දේවල් මගේ ඇස් ඉස්සරහා මැවි මැවී පෙනුනා. ඒ මොනවා වුණත් අපූර්වගේ ජීවිතේට බලපෑම් කරන්න මට දැන් අයිතියක් නෑ. මට තිබුණේ බලන් ඉන්න විතරයි, මගේ එකම ආදරේ මගෙන් ඈත් වෙලා යන හැටි. මේ හැම දෙයක් අස්සෙම අප්පච්චි මං දිහා බලාගෙන, මං කියන කරන දේවල් ගැන ඇහැ ගහගෙන  උන්නු බව මම එවෙලේ දැනගෙන හිටියේ නෑ.
හවස කලිඳු අයියා පුංචම්මලගේ ගෙදර ආවාම ඔහුට කතා කරන්න පහලට යන්නවත් මට හිතුණේ නෑ.
"කලිඳු ඇවිත්" අක්කා කාමරේට ඇවිත් මට කිව්වා.
"මට යන්න බෑ අක්කේ, මගේ ඔලුව රිදෙනවා" මම බොරුවක් කිව්වා. ඇත්තටම මට ඔහුට මූණ දෙන්න හිතක් තිබුණේ නෑ.
"එහෙම කියලා පුලුවන්ද? එයා ඇවිත් ඉන්නේ ඔයා හම්බවෙන්න නේ"
"අනේ අක්කේ මට ඇත්තටම බෑ යන්න. අපි හෙටත් හම්බවෙනවනේ. එයා අප්පච්චිත් එක්ක කතා කරලා යයි නේ. මම නිදි කියන්න"
"අනේ මං දන්නෑ" අක්කා එහෙම කියලා යන්න ගියා.
මම ඇස් පියා ගත්තා. මම මේ කරන්න යන්නේ ඇත්තටම හරි දේද කියලා මම කල්පනා කලා. මට පුළුවන් වෙයිද අපූර්ව අමතක කරලා කලිඳුත කැප වෙන්න? මගේ හිත කෑ ගහලා මට කිව්වේ එහෙම කරන්න එපා කියලා. මම ආදරේ නොකරන කෙනෙක් බඳින්න එපා කියලා. හෙටින් පස්සේ ආයෙත් මට හැරෙන්න බෑ. එහෙම වුණත් මට ගන්න වෙන තීරණයක් තිබ්බේ නෑ. අපූර්ව මගේ ජීවිතෙන් ඈතට යන්න හදනවා. ඔහු ආයෙත් මගේ ජීවිතේට එන එකක් නෑ. අපේ ආදරේ ඉතිං හීනයක්ම විතරයි, කවදාවත් හැබෑවෙන්න බැරි.

2 comments:

  1. දෙන්නම පව්, but Methma ගැන අපූ ගැන තරම් දුකක් හිතෙන්නේ නැ, don't know why. hmmmmmmmmmmm

    ReplyDelete
  2. හිතේ කොනක පොඩි බලාපොරොත්තුවක් තියෙනව මෙත්මයි අපූර්වයි එකතු වෙයි කියල. බලමු... කතාව ඉක්මනට ඉවර වෙනව කිව්වම නම් දුකයි. ඒත් කතාවට සධාරණයක් වෙනවනම් ඒක හොඳයි... :)

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....