Wednesday, November 9, 2011

පනස් තුන්වෙනි දිගහැරුම


හවස දෙක වෙද්දිම අහස අලුපාට වලාකුලු එකතු කරගෙන වැස්සකට අර අදිනවා. ඒ වැහි අඳුරත් එක්කම සීතල හුලඟ මීදුමත් අරගෙන පරිසරය පුරාම කැරකෙනවා. මේ උදේ පායන, හවස වහින කාලෙ. මම කාමරේ බැල්කනියට වෙලා මීදුමින් වැහෙන අපේ ගෙවත්ත දිහා බලාගෙන හිටියා. ජර්සියක් දාලා නොහිටපු නිසා තදින්ම සීතල දැනුනත්, මම නැගිටලා යන්නහිතුවේ නෑ. තාමත් අපූර්ව නිසා තැවෙන හිත හදා ගන්න මට පුලුවන් වුනේ නෑ. මම දවසින් බාගයක්ම කලේ මෙතනට වෙලා වුණ දේවල් ගැන කල්පනා කරපු එක විතරයි.
ගෙවුන දවස් කීපෙම කෑම කන්න ඇරෙන්න මම පහල තට්ටුවට ගියේ නෑ. බට්ටි එක්ක ඇරෙන්න ගෙදර කිසි කෙනෙක් එක්ක කතා කලොත් ඇරෙන්න කතා කරන්න ගියෙත් නෑ. මට ඕන වුණේ තනි වෙන්න. තනියෙම හිතන්න. එදායින් පස්සේ අපූර්වවත්, යෂිෂ් වත් මට කතා කලෙත් නෑ. ඒ දෙන්නා පරිස්සමෙන් ගෙදර ගියාද, මොනා වුණාද කියලා දැන ගන්න විදියක් මට තිබ්බෙත් නෑ.අපූර්වගේ ආදරේ නැතුව, ඔහුගෙන් ආරංචියක් නැතුව මම ජීවත් වුනේ ජීවත් වෙන්න ඕන නිසා මිස, ආයෙමත් කිසිම බලාපොරොත්තුවක් මට තිබුණේ නෑ. අපූර්ව මගේ ජීවිතේ කොයි තරම් ඉඩක් අත් කරගෙන හිටියද කියලා මට තේරුණේ දැනුයි.
"පැංචි...පුතේ පොඩ්ඩක් ඔහොම නවතින්න" දවසක් මම රෑ කෑම අරගෙන මගේ කාමරේට එන්න ලෑස්ති වෙද්දි අප්පච්චි මට කතා කලා.
මම ආයෙම ඉඳගත්තා. කෑම මේසේ හිටියේ අම්මයි, අප්ප්ච්චියි, සීයා පප්පයි විතරයි. ආච්චි මම්මයි, බට්ටියි  සාලේ ටීවී බලනවා.
"මොකකද පුතේ ඔයා මේ කරන වැඩේ තේරුම?" අප්පච්චි ඇහුවා. "අර සිද්ධිය වුණ දා  ඉඳලම ඔයා අපි එක්ක මූණ බලලා වචන දහයක් කතා කරන්නේ නෑ. ඔයා මේ විදියට කරන්නේ අපෙන් පලි ගන්නද? ඔයා මේ ඉන්නේ අපෙන් පලි ගන්න ඕන නිසාද? මොකකද ඔයාට වෙලා තියෙන්නේ?"
මම උන්නෙ මේසේ දිහා බලාගෙන.
"මට කාගෙන්වත් පලි ගන්න ඕන නෑ" මම කිව්වා.
"එහෙනම් මොනාද ඔයා මේ කරන්නේ? ඔයා ඔයාගෙනුයි, අපෙනුයි දෙගොල්ලන්ගෙන්ම පලි ගන්නවා. ඔයා හිතනවද ඔයා ඔහොම කලා කියලා අපි අර කොල්ලට ඔයාව දේවි කියලා?"
එහෙම කිව්වේ අම්මා. මම අම්ම දිහා එක පාරක් බලලා ආයෙමත් මේසෙටම එබුණා.
"නෙළුම්..." අප්පච්චි අම්මගේ කතාව නැවැත්තුවා.
"ඇයි ඔයා මෙහෙම කරන්නේ?" අප්පච්චි ආයෙම ඇහුවා.
"වෙච්ච දේවල් ගහෙන් ගෙඩි එන්නා වගේ අමතක කරලා දාන්න මට බෑ. මම අපූර්ව එක්ක නොගිහින් ගෙදර නැවතුනානේ. ඇයි තවත් මට වද දෙන්නේ? මට හිත හදා ගන්න කල් ඕන. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න" මම කිව්වේ කෑ ගහලා වගේ.
අප්පච්චි ගල් ගැහිලා මා දිහා බලාගෙන හිටියා. අම්මා නම් හිටියේ තරහින්ද මන්දා.
"කලිඳුලගේ ගෙදරින් දන්නලා එවලා තියෙනවා මේ මාසේ අන්තිමට එහේ එන්න කියලා. එහේ යන්න කලින් ඔය කරන දෙයක් කරොත් තමා හොඳ" අම්මා කිව්වේ නිර්දය විදියට.
මම හිස උස්සලා අම්ම දිහායි, අප්පච්චිදිහායි මාරුවෙන් මාරුවට බැලුවා. මගේ හිතේ තියෙන වේදනාව මේ අයට පොඩ්ඩක් වත් නොතේරෙන හැටි. අප්පච්චිට වඩා අම්ම නපුරුයි කියලා මට අද හිතුණා.
"ඇයි කිසි කෙනෙක් මං ගන හිතන්නේ නැත්තේ? අම්මලා කියන විදියට මට හිත හදා ගන්න බෑ. මම අපූර්වට ආදරේ කලේ ඇත්තටම. මට ආයෙත් වෙන කෙනෙක්ට ආදරෙ කරන්න බෑ, මට...මගේ...පාඩුවේ...ඉන්න දෙන්න!" එහෙම කියලා මම කාමරේට දුවලා ආවේ අඬ අඬ.
එහෙන් මට මගේ ආදරේ නැතිවෙලා. මෙහෙන් අම්මලා මගේ හිත තවත් පාරනවා. මං පිලිසරණක් බලාපොරොත්තු වෙන්නේ කාගෙන්ද කියලා මම දැනගෙන හිටියේ නෑ.
අනේ රත්තරං පුතේ ඔය වගේ හිතුවක්කාර වෙන්න එපා.ඔයා නිසා ගෙදර සේරම ඉන්නේ දුකින්. අපි හැමදේම කරන්නේ ඔයාලගේ හොඳටනේ"
කාමරේට ආපු ආච්චි මම්මා මාව සනසන්න හැදුවා.
මගෙ හිතුවක්කාරකම නිසාදෝ ඇස් වලට කඳුලු වත් ආවේ නෑ.
"අප්පච්චි ඊයේ හවසත් දොස්තර කෙනෙක් ලඟට ගියා. මේවා හිතලා ආයෙත් ලෙඩ වුණොත්? අප්පච්චි නිසා නේද ඔයා මේ තරම් දේවල් කලේ? එහෙම කරලා දැන් හදන්නේ ඔයා ආයෙත් අප්පච්චිව අසනීප කරන්නද?"
ඒ පාර හැමෝම හදන්නේ අප්පච්චි ගැන කියලා මගේ හිත වෙනස් කරවන්න. ඒ වුණැත් අප්පච්චි දොස්තර කෙනෙක්  ලඟට ගියා කිව්වාම මට බය නොහිතුනා නෙවෙයි. මම කිසිම දෙයක් නොකියපු පාර ආච්චි මම්මා කාමරෙන් යන්න ගියා.
"අක්කේ" බට්ටි කාමරේට ආවේ ඊට පස්සේ.
මම ඇය දිහා බැලුවා. ඇගේ අතේ තිබ්බේ කෙසෙල්ගෙඩි වගයක්.
"ඔයා ඩෙසර්ට් එක අරගෙන නෑනෙ. ඒ නිසා මම අරගෙන ආවා" බට්ටි ඒ ටික මට දික් කරන ගමන් කිව්වා.
"මේසෙන් තියන්න" මම කිව්වා.
ඇය කෙසෙල් ගෙඩි කීපය මේසේ උඩින් තියලා මගේ ඇඳෙන් ඉඳ ගත්තා.
"අක්කා ඉස්සර වග නෙවෙයි. වෙනස් වෙලා. හැම වෙලේම දුකින් ඉන්නේ ඇයි? අපූර්ව අයියා නිසාද?"
බට්ටිටත් දැන් යමක් කමක් තේරෙනවා. මම උත්තරයක් නොදී ඇගේ හිස අතගෑවා.
"අප්පච්චි දැන් පහලදි අම්මට බැන්නා?" ඈ ඊට පස්සේ කිව්වා.
"බැන්නා? ඒ මොකෝ?"
"අක්කට පාඩුවේ ඉන්න දෙන්න, ඔලුවට අනං මනං දාන්න එපා කියලා"
මට අප්පච්චි ගැන දැනුනේ පුදුමයක්.
"අප්පච්චි එහෙම කිව්වද?"
"හ්ම්" බට්ටි හිස වැනුවා.
"අම්මා නුවර පුංචම්මට කතා කරලා බැන්නා කියලත් අප්පච්චි අම්මට බැන්නා"
"මොනව? පුංචම්මට බැනලා?"
ඒක අහපු මගේ හිතට ආවේ දුකක්. මං කරපු දෙවල් වලට ඒ අය මොනවා කරන්නද?
"අප්පච්චිත් නිතරම ඉන්නේ කල්පනා කර කර. අයියා ගෙදරින් ගිය ද්වස් වල වගේ. හැමෝම ඉන්නේ දුකෙන්. ඉස්සර වගේ ගෙදර තියෙනවා නම් මම ආසයි අක්කා. දැන් ගෙදර හරිම පාලුයි වගේ"
බට්ටි ඔහේ කියවනවා.
මුල්ම වතාවට මට මං කරන් දේ ගැන පසුතැවිල්ලක් දැනුනා. මෙච්චර හොඳට තිබ්බ ගෙදරට ආයෙත් ගිනි ඇවිලුවේ මමද? මම් අනිසා අහක ඉන්න පුංචම්මලත් බැනුම් අහනවා. මේ ගැ න මොකක් හරි කරන්න ඕන කියලා මට තදින්ම හිතුණා.

අප්පච්චි ඔහුගේ කන්තෝරු කාමරේ කවිච්චියට වෙලා ජනේලෙන් එපිට බලාගෙන කල්පනාවක. මම හෙමින් කාමරේට ඇතුල් වුණා.
"අප්පච්චි..."
අප්පච්චි මා දිහාට හැරිලා බැලුවා ඉක්මණට. පුදුමෙන් වගේ.
"පැංචි? ඇයි පුතේ? එන්න මෙහට"
අප්පච්චි මට කතා කලා.
මම ගිහින් කවිච්චියේ අප්පච්චිට පැත්තකින් ඉඳගත්තා.
"ඇයි පුතේ?"
මම කතාවක් නැති පාර අප්පච්චි ආයෙම ඇහුවා. අප්පච්චිගේ හඬ ආදරනීයයි. ඒ හඬේ පොඩ්ඩක් වත් මං ගැන අහිතක් නෑ.
"අප්පච්චි මා එක්ක තරහද අප්පච්චි?" මම ඇහුවේ බිඳුණු හඬින්.
අප්පච්චිට එක පාරටම කියන්න දෙයක් හිතා ගන්න බැරිව වගේ මං දිහා බලාගෙන හිටියා.
"මං මොකටද පුතා එක්ක තරහා වෙන්නේ?"
"මං අප්පච්චිගේ හිත රිද්දුවා"
අප්පච්චි සුසුමක් හෙලුවා.
"හිත නම් මාත් පුතාගේ රිද්දුවා නේ"
"නෑ අප්පච්චි. වැරැද්ද මගේ...මායි අප්පච්චිට, අම්මට හොරෙන් හිතු මනාපෙට දේවල් කලේ"
මම කිව්වාම අප්පච්චි මුකුත් කිව්වේ නෑ.
"මට සමාවෙන්න අප්පච්චි" මම කිව්වේ අප්පච්චිගේ උරහිසකට හිස හේත්තු කරලා.
අප්පච්චි මා දිහා නොබලාම මගේ හිස අතගෑවා.
"මගේ පුතා ගැන මට ආඩම්බරයි පුතේ. වෙච්ච දේවල් එක දවසකින් අමතක කරන්න බැරි බව මම දන්නවා. පුතා ඕන තරම් කල් අරගෙන හිත හදා ගන්න. එතකල් කිසි දෙයක් කරන්න මම ඔයාට බල කරන්නේ නෑ"
අප්පච්චි ටික වෙලාවකට පස්සේ මට කිව්වා.
මට ඉතින් නම් කවදාවත් මගේ හිත හදාගන්න බැරි වග මම අප්පච්චිට තේරුම් කරලා දෙන්නේ කොහොමද? අපූර්වගේ ආදරේ මගේ මුලු ජීවිතේටම කා වැදිලා ඉවර වග, අපූර්ව නැති ජීවිතයක් ගැන මට හිතන්න බැරි වග මම කොහොම තේරුම් කරන්නද?
"ඒත් පුතේ...මේ කිසි දෙයක් නොදැන හිටපු කාලේ මම කලිඳු පුතාගේ දෙමව්පියන්ට පොරොන්දුවක් දීලා ඉවරයි. මේ අප්පච්චි දුන්න පොරොන්දුවක් කඩ නොකරන බව පුතා දන්නවනේද?"
අප්පච්චි නොකියා කියන්නේ මට කලිඳුව බඳින්න කියලා.
"මම කවදාවත්, කාගෙන්වත් මේ වගේ බැගෑපත්ව මොනවත් ඉල්ලලා නෑ. ඒත් මට ඔයාගෙන් දෙයක් ඉල්ලන්න ඕනේ"
අප්පච්චි කිව්වා.
"කියන්න අප්පච්චි" අප්පච්චි ඉල්ලන්න යන දේ මට ඉවෙන් වගේ නොවැටහුනා නෙවෙයි.
"ඔයා හිත හදා ගන්න ඕන තරමක් කල් ගන්න. ඒත් මේ අප්පච්චි දුන්න පොරොන්දුව කඩ වෙන තාලේ තීරණයක් නම් ගන්න එපා. මොකද මම හොඳටම දන්නවා මේ අපි කරන්න යන දෙයින් මගේ පුතාට හොඳක් මිස නරකක් වෙන්නේ නෑ කියලා"
මගේ ඇස් වලට කඳුලු පිරුණා. සමහරවිට ඒ මගේ හිතේ කොනක යන්තමට දැල්වෙවී තිබ්බ බලාපොරොත්තුවේ පහන් සිල අප්පච්චිගේ කතාව අහලා නිවිලා ගිය නිසා වෙන්න ඇති. ඒ බලාපොරොත්තුව අප්පච්චි කවදාක හරි මටයි, අපූර්වටයි කැමැත්ත දේවි කියන එක. ඒත් ඒක හීනයක්ම විතරයි. එතකොට මට වෙන්නේ අපූර්වව සදහටම අමතක කරන්න හිත හදා ගන්නද?

2 comments:

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....