Wednesday, October 19, 2011

තිස් දෙවැනි දිගහැරුම


හෙට වෙද්දි ලොකුපුතාගේ ටිකට් කපනවා කිව්වේ" අප්පච්චි බලන්න ගිහින් ආපු ආච්චි මම්මා අම්මට කියනවා මට ඇහුණා.
"ආ...ඇත්තද? කවුද අම්මේ දවල් ඇවිත් හිටියේ?"
"ඔය කොම්පැනියේ අය ඇවිත් හිටියේ මහා ගොඩක්. හවස් හේමලතා යනවා කිව්ව නිසා එන්න ඕන නෑ කිව්වා කවුරුවත් ගෙදරින්"
හේමලතා කියන්නේ අපේ අප්පච්චිගේ එකම නංඟි. මගේ නැන්දා.
"අනේ මන්දා, එහෙමයි කියලා නොගිහින් කොහොමද?"
කොහොම වුනත් හවස මමයි, අම්මයි, බට්ටියි, හර්ෂි අක්කයි, අපූර්වයි අප්පච්චි බලන්න ගියා. ඊලඟදා උදේ අප්පච්චිව ගෙදර එවන්න පුළුවන් වෙයි කියලා දොස්තර කිව්වා.
"හෙට වෙද්දි ලොකු පුතා ඒවි. ඒක නෙවෙයි දැන් හර්ෂි මොකද කරන්නේ, හෙට යනවද නැත්තම් ඉරිදම යනවද?"
එහෙම ඇහුවේ ආච්චි මම්මා රෑ කෑම මේසෙදි.
"ඔව්. මේ ළමයත් රස්සාව කරන්න එපැයි. අනික අපූර්ව පුතාටත් ගෙදර වැඩ ඇතිනේ. ඒවා පාඩු කරගෙනත් බෑනෙ"
සීයා පප්පත් කිව්වා.
"ඔන්න බලන්නකෝ ඉන්දි, මෙයාලා අපේ ගෙවල් වල එන්නෙත් නෑ. අපි ආවාමත් එළවන්න හදනවා"
හර්ෂි අක්කා කිව්වාම හැමෝතම හිනා.
"එහෙම නෙවෙයි ලමයෝ...අනේ හැබෑටම මේ කෙල්ලගේ කට නං?"
ආච්චි මම්මට නම් චුත්තක් විතර තරහා ගිහින් ද කොහෙද.
"අහන්නකෝ ආච්චිමම්මේ, අපි හිතුවේ අනිද්දා උදේ යන්න. මං දවස් තුනක් නිවාඩු දාලයි ආවේ. මේ වගේ වෙලාවකට නැති නිවාඩු මොකටද?"
'එතකොට මේ දරුවා?"
"මත නම් කොහොමත් එකයි. මමා හදිසියේ එන්න නොකිව්වොත් ඇරෙන්න මතත් මෙයාලා එක්කම ගියාම ඇති" අපූව කිව්වේ කෙසෙල් ගෙඩියක් කන ගමන්. මම හැමෝටම හොරෙන් ඔහුට මද සිනාවක් පෑවා.
"පැංචිත් එදාට යනවද?" එහෙම ඇහුවේ අම්මා.
"නැතුව කොහොමද? මේ ලමයගෙත් වැඩ පාඩු වෙනවනේ"
මට කලින් ඉස්සර වුණේ සීයා පප්පා.
"ඔව් අම්මා. දැන් කරන කෝස් එක තව සති දෙකකින් ඉවර වෙනවා. ඊට පස්සේ අනික් එක පටන් ගන්නේ තව සතියකින් විතර. එහෙම වුණොත් ඒ සතියේ ආපහු එන්න පුළුවන්නේ" මමත් කිව්වා.
අපූර්ව කෙසෙල්  කන ගමන් යටැසින් මගේ දිහා බලනවා මම දැක්කා.
"අක්කේ ඔය ජෑම් එක දෙන්නකෝ" බට්ටි කිව්වේ මට . මම ඒක අරන් දුන්නා.
"ඒත් අප්පච්චි දාලා යන්නත් මට මොකක්ද වගේ" මම ආයෙම කිව්වා.
"දැන් අප්පච්චිට හොඳයි නේ. අර කිව්වත් වගේ ඉගෙනීම පාඩු කර ගන්න එපා. ටිකක් ගණන් කෝස් එකක් නේ. අපරාදෙ නේ සල්ලි. ඔයා මේ ප්‍රශ්ණ ගැන හිතලා ඔලුව අවුල් කර ගන්න ඕන නෑ" අම්මා මට කිව්වේ තීරණාත්මක විදියට.
කවුරු මොනවා කිව්වත් ම්ම නුවර යන්නම ඕන කියලා මම තීරනය කරලයි හිටියේ. අප්පච්චි ගැන හිතද්දි හිත දෙපැත්තට වැනුනත්, මට අපූර්ව නොදැක ඉන්න පුළුවන්කමක් තිබ්බේ නෑ.

"අයියා නම් හරිම නරකයි නේද අම්මා? එයා ආවේ නෑනෙ අප්පච්චි බලන්න. අඩු ගාණෙ ගෙදරවත්"

බට්ටි හිටපු ගමන් එහෙම ඇහුවාම හැමෝම හිටපු තැන් වලම ගල් ගැහුණා වගේ. ඈට ගානක් නැහැ මේ දේවල් ගැනැ, තාමත් පොඩි නිසා. කොහොම වුනත් කවුරුවත් ඒකට උත්තරයක් දෙන්න උත්සාහ කලෙත් නෑ.

 

'දැන් අපේ අයියත් නැති එකේ ඔයා එක්කෝ මෙහේ නවතින්න අයියා. එතකොට හොඳයි"

මං කෑම මේසේ අස් කරන වෙලාවේ බට්ටියි, අපූර්වයි සල්ලේත වෙලා කතා කරමින් උන්නා. බට්ටිගේ කතාව ඇහිලා මගේ හිත ඇවිලුණා.

"එතකොට අපේ ගෙදර ඩැඩායි, මමායි තනි වෙනවානේ" අපූර්ව කියනවා.

"ඇයි ඔයාට වෙන කවුරුත් නැද්ද?"

"ඉන්නවා. මගේ අක්කි. ඒත් එයා ඉන්නේ රට නේ"

"අයියෝ...ඉතිං ඔයා අපේ අක්කව ඔයාගේ ගෙදර ගිහිං දාන්න"

බට්ටිගේ කතාව ඇහිලා මගේ මුවගට නැගුනේ හිනාවක්.

"එහෙනං ඔයාගේ අක්කව මට ගෙනියන්න දෙනවද?"

මම හැරිලා අපූර්ව දිහා බැලුවා. ඒත් ඒ දෙන්න බරතම කතාව.

"ඔව්, දෙන්නං"

"එතකොත අම්මතයි, අප්පච්චිටයි දුවෙක් නැති වෙනවනේ?"

"එයාලට ඉතිං මම හිටියාම මදෑ"

බට්ටිගේ පණ්ඩිත කතාවට අපූර්ව හයියෙන්ම හිනා වෙනවා.

බට්ටි කියන විදියට දෙවල් සිද්ධ වෙනවා නම් කොච්චර හොඳද? මම පිඟානකුත් අතේ තියාගෙන කල්පනා කලා.

"අස් කරනවද නැත්තං..." මම එක පාරතම පිටිපස්ස බැලුවා. මගේ ලඟ උන්නේ හර්ෂි අක්කා.

"ඇයි මොනවා කරනවා වගේද පේන්නේ?"

මම ආයෙම පිඟන් පිහින්න පටන් ගත්තා.

"ඒවා ඉතිං මොකට කියනවද? ඒක නෙවෙයි අම්මලා නිදිද?"

"හ්ම්. මේ දවස් ටිකේම හරියට නින්දකුත් නෑනෙ. හෙටත් උදේම යන්න එපැයි. වයසක උදවිය නම් නවය වෙද්දි නිදි. අර බඩ්ඩ තමා තාම ඇහැරිලා ඉන්නේ.

මං සාලේ හිටපු නංඟිව පෙන්නුවා.

"හපෝ..ජර්සි දෙකක් දාලත් සීතලයි හලෝ"

අක්කා කිව්වේ වෙව්ලමින්.

"ඉතිං මෙතන තැග් ගැහි ගැහී ඉන්නැතුව ගිහිං නිදියනවකෝ"

අක්කා මට දිව දික් කරලා හිස වනලා ඇද කලා.

"ඔව් ඔව්. අපි නිදා ගත්තම මෙයා හොඳයි නෙ නේද?"

"මොනාද හොඳ?" මම ඇහුවේ අක්කා කියපු දේ නොදැන නෙවෙයි.

"අපූ එක්ක පෙම් කෙලින්න..." අක්ක කිව්වේ මගේ ලඟ ලං වෙලා රහසින්.

"ෂික්...කියන කැත විතරක්! මොනවා කියනවද මන්ද අක්කේ ඔයා" මම කිව්වේ ලැජ්ජාවෙන් රතු වෙලා.

"ඇයි මම කිව්වේ බොරුද හා?"

මම අක්කට රවලා පිඟන් ටිකත් අරන් කුස්සියට ගියා. අක්කා ඉතුරු භාජන ටික උස්සගෙන මගේ පස්සෙන් ආවා. මල්ලික නැන්දා කුස්සිය අස් කර කර හිටියා.

"අනේ මේ මොකද පුංචි නෝනා? තිබ්බ නං මම අස් කරලා දානවනේ"

"අපේ ගෙදර අපි වැඩ කලාම මොකද නැන්දේ?"

මම එහෙම කියලා පිඟන් ටික කුස්සියෙන් තියලා අක්කා එක්කම සාලෙ ආවා.

අපේ ගෙදර සාලේ හුඟක් ලොකු එකක්. පැත්තක ගිනි තපින උදුනකුත් තිබුණා. අනික් පැත්තේ තමයි සොෆා සෙට් එකයි, වේවැල් පුටු සෙට් එකකුයි තියලා තිබුණේ. කෑම කන මේසේ තියලා තිබුණේ සාලේ මැද වේදිකාවක් වගේ උස්සලා හදපු කොටසක. කෑම මේසේ පිටිපස්සෙන් බැස්සාම කුස්සියට යන පොඩි පැසේජ් එකයි, අමුත්තඟේ කාමර දෙකයි තිබුණා. දකුණු පැත්තේ අම්මලගේ කාමරේ. වම් පැත්තේ සීයා පප්පලගේ කාමරේ. ඉස්සරහ දොරින් ඇතුල් වෙලා පැසේජ් එක දිගේ ටිකක් ඇවිදගෙන ආවාම වම් පැත්තේ තමා ගිනි උදුනයි, ඒ ලඟ තියපු සැප කුෂන් පුටු දෙකකුයි තියලා තිබුණේ. අපේ කාමර තිබුණේ උඩ තට්ටුවේ.

මමයි, අක්කයි ගිහින් ගිනි උදුන ලඟ පුටු දෙකට බර වුණා. ඒක දල්වලයි තිබුණේ.
"මට සුදීප ගැන හරිම දුකයි ඉන්දි" අක්කා කතාව පටන් ගත්තා. "අපර්නා නම් හරිම පව්. ඊටත් වඩා ලොකු අම්මා. අනේ මංදා මේක කොහොම තිබ්බ පවුලක්ද?"
මම ගින්න දිහා බලාගෙන සුසුමක් හෙලුවා. ඔරලෝසුවේ දහය වදිනවා මට ඒ එක්කම ඇහුණා.
"මේවට අපට විසඳුම් හොයන්න බෑ අක්කා. අපි නිකං හති වැටෙනවා විතරයි. කාලයාට ඉඩ දීලා බලන් ඉන්නවා මිසක අපට වෙන කරන්න දෙයක් නෑ."
මම කිව්වේ ඇත්තටම මට හිතුණ දේ.
"ඒ දේ නම් දැන් වෙලා ඉවරයි නේ. ඒත් ඔයාලා දෙන්න?"
මගේ හිත ඇතුලෙත් ගින්නක් පත්තු වුණා. ඒ ගැන මට මුකුත්ම කියන්නත් බෑ. හිතන්නත් බෑ.
"අද වුන දේ බලද්දි, ඔය ග්දෙන්න ගන ආරංචි වුනොත් මොනවා වෙයිද කියලා හිතද්දිත් මගේ ඇඟ ගැහෙනවා. අප්පච්ච්යි, අම්මයි කියන දේවල් ඇහුවාම පිස්සු හැදෙනවා. ඔයා තමයි දැන් ඒ දෙන්නගේ එකම බලාපොරඔත්තුව"
අක්කා එහෙම කිව්වාම ම දැනුනේ අසීමාන්තික බයක්. මම අක්කා දිහා බැලුවේ අසරණව.
"ඔයාට දැනෙන්නේ කොහොමද කියලා මට හිතා ගන්න පුළුවන් ඉන්දි. මමත් ඔය තත්වේ හිටපු නිසා. අන්තිමට දිනන්නේ ඒ ගොල්ලෝම තමා. ඉමෝෂනල් බ්ලැක්මේලින්ග්. මේකත් හරියටම මට වුන දේ වගේ තමයි"
අක්කා බර සුසුමක් හෙලුවා.
"මට තේරෙනවා අක්කා. මේ ප්‍රශ්ණ ගැන හිතලා, හිතලම මගේ හිතත කිසිම සැනසීමක් නෑ. අයියා නිසා අප්පච්චි මේ තරමට වැටුණා. මං ගැන දැනගත්තොත් අම්මයි, අප්පච්චියි මැරෙයි. මම දන්නවා මේක පටන් ගන්න කලින් මට හිතන්න තිබ්බ  බව. ඒත්...ආදරේ ඇති වෙන්නේ අපටත් හොරාම. මම දන්නවා මට තීරනයක් ගන්න වෙන බව,අද නැතත් කවදා හරි. ඒත් මම ගන්න ඕන තීරණේ මොකක්ද?"
මම අක්කා දිහා බැලුවා.
"මේ වගේම ප්‍රශ්ණෙකින් පැරදුන මට ඔයාට දෙන්න පුලුවන් උත්තරේ මොකක්ද කියලා මම දන්නේ නෑ. ඒත් කලින් ටිකක් හරි හිතුවා නම්..."
"මම උත්සාහ කලා අක්කේ. ඒත් මට බෑ. මම හරිම අසරණයි. ඊත් මං අපූර්වත.... ආදරෙයි. ගොඩක්..."
අන්තිම වචනෙට එද්දි ඇස් වල කඳුළු පිරිලා. මම ආයෙම උදුනේ ගිනි දලු සැලෙන දිහාවට නෙත් හැරෙව්වා.
"අපූර්ව මොකද කියන්නේ?" අක්කා ඇහුවා.
"මම ඇහුවේ නෑ"
"කවදටද අහන්නේ?"
මම කඳුළු පිරුණ ඇස් වල්ලින්ම අක්කා දිහා බැලුවා.
"මට අහන්න බෑ" මට කෑගැහුණද? "මට බයයි. මට අපූර්වගෙන් ඈත් වෙන්න බයයි. මට ඒක දරා ගන්න බැරි වෙයි"  මම කිව්වේ හඬ බාල කරලා.
අක්කා මගේ අතකින් අල්ලගත්තා. මම ඉක්මණට ඇසිපිය හෙලුවේ කඳුළු වැටෙයි කියලා.
"මම අම්මටයි, අප්පච්චිටයි ආදරෙයි. අයියා වගේ ඒ හිත් රිද්දනත් මට බෑ. මට පව්කාරියෙක් වෙන්න බෑ. ඊයේ අප්පච්චි දැක්කාම මගේ පපුව පැලෙන්න ආවා. මම මොනාද කරන්නේ අක්කා? මට මොනවත් හිතා ගන්න බෑ. ඔලුව යකාගේ කම්මල වගේ"
කඳුළු හරිම හිතුවක්කරයි. ඇසිපිය පවා නොතකා පිට පනින්නේ ඒකයි. මම බර වෙලා තිබ්බ නහය පිස්සා.
"මොනවා කියන්නද කියලා මටත් හිතා ගන්න බෑ ඉන්දි. මෙච්චර ඉක්මණට මේ ප්‍රශ්ණේ ඒවි කියලා මම හීනෙකින් වත් හිතුවේ නැහැ. ආවත් මේ තරම් දරුණුවට ඒවි කියලා හිතුවේ නෑ. මං කැමති ඔයාලා දෙන්නා එකතු වෙනවත. ඔයාලගේ ආදරේ වෙනස්. අහිංසකයි. මම ආස නෑ ඒක බිඳිලා යනවා බලන්න. ඔයාලා එකතු වුණොත් සාමාන්‍ය විදියට ගහලා, බැනලා, තරහාවෙලා ඒක ඉවර වෙනවා නම් ඒත් කමක් නෑ. පස්සේ හරි යාවි කියලා හිත හදා ගන්න පුලුවන්. ඒත් මේක ආරංචි වෙලා ලොකු අප්පච්චිට මොනාහරි වුනොත්? ආදරේ නිසා තමන්ගේ දෙමව්පියන්ගේ මරණෙට වග උත්තරකාරයෙක් වෙන්න හිතක් පපුවක් තියෙන කොයිම දරුවෙක්ටවත් පුලුවන්ද? ජීවිත කාලෙම ඒක් විඳවන්න වේවි. දොස්තර කියපු දේ මතකනේ ලොකු අප්පච්චි ගැන? එහෙව් එකේ ඔයාත අපූර්ව එක්ක යන්න කියලා කියන්න අවංකවම මට බෑ නංඟි. ඒත් අපූර්ව හිතනවා නම් එයාට මොනා හරි කරලා මෙහේ අය කැමති කර ගන්න පුළුවන් කියලා ඔයාලා එකට ඉන්න. හොඳම දේ තමා දෙන්නම මේ ගැන කතා කරලා විසඳුමකත එන එක. එයා මෙහේ තත්වෙ දැක්කනේ"
අක්කා කියාගෙන ගියා.
මගේ හිතට දැනිලා තිබ්බේ ලොකු බයක්. ඒ බය කාලයක් තිස්සේ හිතට උඩින් පාවි පාවි මගේ හිත විඩාබර කරලයි තිබුණේ.  මම අපූර්වලා උන්නු දිහා බැලුවා. තාමත් අපූර්ව බට්ටි එක්ක ලොකු වැඩක්. ආයේමත් කඳුළු අලුත් වුනා. මම කොහොමද මගේ අපූර්වව අමක කරන්න හිතන්නෙවත්?

2 comments:

  1. ලස්සනයි .. හොද වෙලාවට කොටස් ඉක්මනට දාන්නේ // ඊලග කොටස කියවන්න ඉවසිල්ලක් නැතුව ඉන්නේ ..

    ReplyDelete
  2. අක්කා දවසට කොටක් කීපයක්ම දානවනේ.. එක අතකට ඒක හොදයි.. කියවන්න ලේසියි..

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....