Wednesday, October 19, 2011

තිස් තුන්වන දිගහැරුම


'නංඟි බට්ටා.. දැන් ගිහින් නිදා ගන්න. අපටත් නිදි මතයි. කෝ කෝ නැගිටින්න ඉතිං"
අක්කා බට්ටිව නැගිට්ටවගෙන කාමරෙට එක්කගෙන ගියා. අපිත් එයාලා පස්සෙන් පඩිපෙල නැග්ගා, සාලේ ලයිට් නිවාගෙනම.
"ගුඩ් නයිට් අයියා.." බට්ටි කෑ ගහනවා.
"ගුඩ් නයිට් බට්ටි"
අපූර්ව එහෙම කියලා මං දිහාට හැරුණා. මම උන්නේ ඔහු දිහා බලාගෙන.
"ඇයි?"
"නිදිමතද?" මම ඇහුවා.
"එච්චරම නෑ" ඔහු කිව්වේ හිනාවෙලා.
"අපි යමුද එළියට?"
"මේ මිදෙන සීතලේ? අයි හිතපු ගමන් එහෙම හිතුණේ?"
මම මුකුත්ම නොකියා අයියගේ කාමරේට ගියා. අපූර්ව මං පස්සෙන් ආවා. මම කාමරෙන් බැල්කනි එකට යන ජනේලේ ඇරියා. කාමරේ ඇතුලට සීතල සුලඟක් ආවේ ගත හිරිවට්ටමින්.
"දොර වහගෙන එන්න" මං කිව්වා.
"අර මොකටද?"
මං ඔහු දිහාට හැරුනා. ඇඳලා උන්නු කලු පාට ජර්සිය අපූර්වට ලස්සනයි.
"මං අද නිදාගන්නේ මෙහේ" මට හිතුණා අපූර්වව බය කරන්න.
අපූර්ව ඇත්තටම බය වෙලා.
"ආ යූ මෑඩ්? ප්ලීස් ගෝ අවුට් මෙත්මා. බැරි වෙලාවත් කවුරුහරි ආවොත් ඔයාටමයි හොඳ නැත්තේ"
මගේ ඇස් වලට දැන්මම කඳුළු පිරුණා. මේ ආදරේ මම කොහොම හිතින් අයින් කරන්නද? අපූර්ව මං ලඟට ආවා.
"ඇයි මේ කඳුළු?"
"දොර වහලා එන්න මට ඔයාට කතා කරන්න ඕන"
"මේ දැන්?"
ඔව් මේ දැන්. හෙට අප්පච්චි ආවාම කතා කරන්න බැරි වෙයි"
අපූර්ව මොහොතක් මා දිහා බලාගෙන ඉඳලා ගිහින් දොර වහලා ආවා. මම මේස ලාම්පුව පට්ටු කලා. කාමරේ මන්දාලෝකයක් පැතිරුණා.
"මොනාද මේ ඔයා කරන්න හදන්නේ?" අපූර්ව අහනවා.
"අපි බැල්කනි එකට යමු"
මම ඉස්සර වුණා.
"මට තේරෙන්නේ නෑ තාමත් මේ මොකද කියලා. මේ මහ රෑ, අපි දෙන්නා එකම් කාමරේක...කවුරුහරි ආවොත්?"
දුකත් එක්කම මගේ හිතේ ඇති වුණේ නොමනාපයක්.
"එහෙනම් මම යන්නද?"
මම යන්න හැරුණම අපූර්ව මගේ අතකින් අල්ලලා මාව නැවැත්තුවා.ඊලඟ මොහොතේ අපි උන්නේ ඇඟේ ගෑවෙන නොගෑවෙන තරම් ලඟින්.
"ඇයි මේ? මොකද ඔයාට වෙලා තියෙන්නේ?" ඔහු මගේ නිකටින් ඔසවලා ඇහුවේ හෙමින්. දයාබරව. මම බිම බලාගෙන උත්තරයක් නොදී  හිටියා විනාඩියක්. දෙකක්. මට ඕන වුණේ මගේ හිත දැඩි කර ගන්න. ඊට පස්සේ මම අපූර්වගෙන් මිදිලා බැල්කනියේ යකඩ වැට අසලට ගියා.
"අපි අපිගන කතා කරන්න ඕන අපූර්ව"
අපූර්වත් ඇවිත් මට එහා පැත්තෙන් හිට ගත්තා.
"ඔව්...මටත් ඒ ගැන කතා කරන්න ඕන කමක් තිබුණා. ඒත් පටන් ගන්න හිත හයිය කර ගන්න බැරිවයි හිටියේ"
මම ඔහු දිහා බැලුවා. ඒත් මද අඳුරේ ඒ මූණ මට හරි හැටි පෙනුනේ නැහැ.
"අපේ ගෙදර දැන් තියෙන තත්වේ ඔයා දැක්කනේ අපූර්ව" මම මුලපිරුවා කතාවට.
"හ්ම්...අම්මා, අප්පච්චි, ගෙදර අනෙක් අය සේරම දුකින්. අයියා හිතුවක්කාර වුන නිසා" අපූර්ව කිව්වා.
"දැන් ගෙදර හමෝගෙම ඇස් තියෙන්නේ මං ගාව"
"ගෙදර ලොකු ගෑණු ළමයා. හැමෝගෙම ආදර පුංචි. පැංචි. අම්මලගේ ඇස් දෙකින් එකක්. දැන් ඉන්න එකම බලාපොරොත්තුව. මං දන්නවා"
අපූර්ව වියලි විදියට කියද්දි මගේ ඇස් වලට ආයෙම කඳුළු පිරුණා.
"අම්මයි, අප්පච්චියි හැම දුකක්ම වින්දේ අපි හින්දා. අපට සැප දෙන්න. දූවිල්ලක් වත් නොවැදී මල් වගේ අපේ අප්පච්චි අපිව බලාගත්තේ අපූර්ව"
"ඉස්සර ඉඳන්ම අමාරුවෙන් ගොඩනගපු තත්වේ. කාලයක් තිස්සේ රැකගෙන ආපු පරම්පරාවේ නම්බුව. එකම කොල්ලත් හිතුවක්කාර වුනාට පස්සේ පලුදු වුන රත්තරං දෙමව්පිය හිත්. ඒ නම්බුව...මේ හැමදේම හදන්න වෙන්නේ ඔයාට. මට ඒක තේරෙනවා"
අපූර්වගේ හඬ බිඳෙන්න ඔන්න මෙන්න. මගේ ඇස් වලින් නවතින්නේ නැතිව වැටෙන කඳුළු. මම අමාරුවෙන් ඉකි නොගහා ඉන්න උත්සාහ කලා.
"මමත් අයියා වගේම අම්මාලාට කැමති වෙන්න බැරි කෙනෙකුට ආදරේ කරනවා කියලා දැනගත්තොත් අම්මලට දුක හිතෙයි. ඒ ඔයා කියලා දැන ගත්තොත්..."
"අම්මලාට මැරෙන්න හිතෙයි නේද? මගේ ආගම වෙනස්. තාත්තා එක ආගමක, අම්මා වෙන ආගමක. අක්කා අපේ මූණේ දැලි ගාලා පැනලා ගිහිං. අපේ වයස් පරතරේ...මම තාමත් හරියට රස්සාවක් වත් නැති  පොඩි කොල්ලෙක්...මම ඔය දේවල් ගැන නොහිතුවා නෙවෙයි"
අපූර්ව කියද්දි මම සීතල කම්බි කූරු හයියෙන්ම මිරිකගත්තා.
"මෙවා ගැන මට කලින් හිතන්න තිබ්බා, මම හදිසි වුනා වැඩියි" මම කිව්වා.
"ණෑ මෙත්මා. ඔයා එහෙම කළේ මට ආදරේ හින්දා. මම ඔයාට දුරින් ඉඳන් ආදරේ කලා නම් ඉවරයි. මමයි ඔයාට කරදර කරලා මේ ආදරේ පතන් ගත්තේ. මම ඔයාගේ ගෙදර තත්වේ මේකයි කියලා කලින්ම දැනගෙන හිටියා නං...මම ඇත්තටම හිතුවේ මේක මට ජය ගන්න බැරි බාධකයක් නෙවෙයි කියලයි-"
මම ඉවසන්න බැරි තැන කම්බි කූරු වැ උඩ තිබුන අපූර්වගේ අතක් මතින් අතක් තිබ්බා.
"ජෙනී ගියාට පස්සේ මගේ පේරන්ට්ස්ලා විඳපු දුක මමත් විඳෙව්වා මෙත්මා. මමාට ඇස්ත්මා හැදුනෙත් ඊට පස්සේ. ඩැඩා තාමත් ඒ නිසා කොච්චර වද වෙන්වද? ඒ දෙන්නා විඳින දුක තවත් අම්මෙකුට, තාත්තෙකුට දෙන්න මුල් වෙන්න මට බැහැ"
මම අහගෙන හිටියා, හිත ඇතුලේ දහසක් අකුණු පුපුරද්දි. කඳුල්U ගැලුවා ඉවරයක් නොවී. නහය බර වෙලා හුස්ම ගන්නත් අමාරු තරමට. මං හුස්මක් උඩට ඇද්දා.
"ඔයා අඬනවා..." අපූර්ව කිව්වේ මගේ අත ඇඟිලි වලට හිර කර ගන්න ගමන්. ඒ අත සීතලම සීතලයි.
"මං ඔයාට මගේ ජීවිතේටත් වඩා ආදරෙයි. මං කොහොමද ඒක ඔප්පු කරන්නේ? ඔයා නැති හෙටක් ගැන මම හිතන්නත් බයයි. ඔයා මට මං මේ ගන්න හුස්ම වගේ. මම ඇත්තටම ගොඩාක්, ගොඩාක් ඔයාට ආදරෙයි. මේ ආදරේ මම පටන් ගත්තේ ජිවිත කාලෙම ඔයාවම මගේ ලඟින් තියා ගන්න හිතා ගෙන-"
අපූර්ව කිව්වේ වේදනාබර හඬකින්.
මට දැනුනේ මම පුපුරන්න ඔන්න මෙන්න තියෙන ගිනි කන්දක් උඩ හිට ගෙන ඉන්නවා වගේ හැඟිමක්. හිත නම් තිබුණේ දැනටමත් ඉරිතලලා.
"ඔයාගේ අප්පච්චි, අම්මා ඔයාට කොච්ච්‍ර ආදරේද? ඔයා ඒ ආයතත් ඒ වගේමයි. ඔයා ඒ අය නිසා මොන තරම් අඬනවද? ඔයාගේ අම්මා...එයා කොච්චර හොඳ අම්මා කෙනෙක්ද? ඔයාගේ පවුලේ අය ලඟ මං අබමල් රේණුවක් තරමයි මෙත්මා. අනේ... මං කොහොමද මෙච්චර ලස්සන පවුලකත ආයෙමත් ගිනි අවුලවන්නේ, අවිලුණ ගිනිත් තවම නිවිලා නැති කොට..."
අපූර්ව හුස්මක් ගත්තා. මම උන්නේ අඬමින්.
"දැන් සුදීප අයියට කොච්චර දුකක් දැනෙනවා ඇත්ද? අපර්ණා අක්කත මොනවා හිතෙනවා ඇත්ද? ඔයාගේ අප්පච්චිගේ තත්වෙට වග කියන්න ඕන එයාලා කියලයි හැමෝම ඇඟිල්ල දික් කරන්නේ. හිතන්න ඒක මොන තරම් හිතට වදයක් ද කියලා. ජීවිත කාලෙම විඳවන්න වේවි. ඇත්ත ට ම අපි තීරණයක් ගන්න ඕන මෙත්මා"
මම කඳුළු අතරින්ම හිස වැනුවා. 'ඔව්"
"මේ බලන්න"
අපූර්ව මාව ඔහුගේ පැත්තට හරවගත්තා. ඒ සීතල අඟිලි තුඩු වලින් මගේ කඳුළු පිහ දැම්මා. ඒත් ආයෙම කම්මුල් තෙත් වෙනවා.
"ඔය තරම් අඬලා මගේ හිත තවත් පාරන්න එපා..."
ඔහු මගේ දෑතම අරන් පපුවට තියලා තද කර ගත්තා.
"ඔයාට තේරෙනවා නේද අපට තවත් දුර යන්න බෑ කියලා..."අපූර්ව කිව්වාම මම ඔහුගේ මූණ දිහා බැලුවා. ඒ ඇස් දිලිසෙනවා මට අඳුරේ උනත් පෙනුනා. මම හිස වැනුවා. මට ඒ දේ වචනෙන් කියන්න තරම් හයියක් තිබුණේ නෑ.
"මෙත්මා...මගේ රත්තරං.." ඔහු කිව්වේ මගේ නලල මතින් ඔහුගේ නලල හේත්තු කරලා.
"ම්ම්" මම ඇස් පියා ගත්තා.
"අපි...අපි වෙන් වෙමු..." අපූර්වගේ හඬ බිඳුනා.

6 comments:

  1. oh god :(

    ReplyDelete
  2. ayyoo.... pls dn't do this.... :(

    ReplyDelete
  3. අයීයෝ.................අනේ මේ දෙන්නා වෙන් කරන්න නම් එපා ඕන්.

    අපුවට මෙත්මව හීනයක්ම වෙයිද?.

    ඉතිරි කොටස් ටිකත් ඉක්මනට දාන්න.

    ReplyDelete
  4. අය්යෝ මොකද වෙන්න යන්නේ /// අනිත් කොටසත් ඉක්මනට දාන්න...

    ReplyDelete
  5. අපොයි මොකද මේ වෙන්නෙ...අනේ මේ දෙන්නා එකතු වෙන්නෙ නැද්ද ??

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....