Monday, October 17, 2011

විසි අට වෙනි දිගහැරුම, ඉතිරි කොටස


"දැන්...දැන්... කෝ මගේ අප්පච්චි?"
"කෝපරේටිව් හොස්පිටල් එකට ඇඩ්මිට් කලා පුතේ. ඔයා ඉක්මණට ගෙදර එන්න"
අම්මා කිව්වාම මගේ හිතේ තිබ්බ බය දෙගුන තෙගුණ වුණා.
"අප්පච්චිට අමාරුද අම්මා?" මම ඇහුවේ දෙගිඩියාවෙන්. කඳුලු  බිංදු දෙකක් කම්මුල් දිගේ රෝල් වුණා.
"අමාරු නැත්තෙත් නෑ. අනේ මං දන්නෑ පුතේ. ඔයා එන්න. කෝ දීපා?"
"කුස්සියේ, ඉන්න මම කතා කරන්නම්"
"එපා දැන් ඕන නෑ. මම මේ ටවුමෙන් ගන්නේ. මම ආයේම ගන්නම්. දීපාට විස්තරේ කියලා ඔයා එන්න බලන්න ඉක්මණට"
අම්මා රිසීවරේ තිබ්බා. මම දුරකථනේ ලඟින් මෑත් වුණේ හීනෙන් වගේ. පියවි ලොකෙට මං ආවේ අපූර්ව මගේ අතකින් අල්ලලා නැවැත්තුවට පස්සේ.
"වට්ස් අප්? ඇයි මේ කඳුලු?"  ඔහුත් කලබල වෙලා.
"මොකද නංඟි?" අපර්ණාත් ඇහුව කලබලෙන්.
අම්මා මට නොකිව්වට අප්පච්චිට අමාරු ඇති කියලා මට බය හිතුණා. මම අපූර්වගේ දෝතින්ම අල්ලගත්තා.
"අප්පච්චි..."මට කියන්න පුළුවන් වුණේ එච්චරයි. මගේ ඇස් අලින් කඳුළු වරුසාවක්ම වැටුණා. මම එහෙමම අපූර්වට වාරු වුණා. අන්තිමට අප්පච්චිට පපුවේ අමාරුවක් හැදුණ වෙලාවේ දොස්තර කිව්වේ, ආයේ තදබල විදියට අමාරු වුණොත් අප්පච්චිට නරකයි කියලා.මට හුඟක්ම බය හිතිලා තිබ්බේ ඒකයි.
"අප්පච්චිට මොකද නංඟි?" අපර්ණාත් අමාරුවෙන් නැගිටලා අපි ලඟට ආවා.
මම උන්නේ අපූර්වගේ උරහිසේ මූණ ඔබාගෙන. ඔහු මාව වාරු කරගෙන හිටියත්, ඔහුත් අනදමන්ද වෙලා ඇති කියලා මට හිතුනා.
"කවුද...මේ මොකද? මොනාද මෙතන මේ වෙන්නේ?" කුස්සියෙන් ආපු පුංචම්මා ඇහුවේ කලබලෙන්.
"ආන්ටි මේ දැන් නුවර එලියෙන් කෝල් එකක් ආවා. මෙයා ඒකට ආන්සර් කල වෙලේ ඉඳන්ම අඬනවා මිස අපටත් මුකුත් කිව්වේ නෑ"
අපූර්ව් තැතනුවා. ඒත් ඔහු මාව අතෑරියෙත් නෑ.
"අනේ දෙයියනේ අර මොකද? පුතේ...මොකද වුණේ කියන්නකෝ" පුංචම්මා මගේ ලඟට ඇවිත් එයාගේ පැත්තට හරවා ගත්තා.
"පුංචම්මා...අප්පච්චී" මම අඬාගෙනම පුංචම්මට තුරුල් වුණා.
"ඇයි...ඇයි අයියට මොකද?"
"හොස්පිටල් ඇඩ්මිට් කරලා..." මම අඬ අඬාම කිව්වා.
"දෙයිහාමූදුරුවනේ! මක් වෙලාද?"
"ආයේම හාට් ඇටෑක් එකක්ලු"
"අම්මද කතා කලේ?"  පුංචම්මා ඇහුවාම මම හිස වැනුවා.
"රෑට ආපහු ගන්නම් කිව්වා"
මගේ ඇඬුම නතර වෙන්න හුඟ වෙලාවක් ගියා.  අපර්ණා අක්කටත් මේ ආරංචිය සෑහෙන්න කම්පනයක් වුණා. ඇය අඬ අඬම උන්නා මිසක් වචනයක් වත් කතා කලේ නැහැ. අපූර්වත් තවම උන්නේ පුංචම්මලාගේ ගෙදර. හැමෝටම අප්පච්චි හදිසියේ අසනීප වුණ එක එකතු කරලා තිබුණේ දුකටත් වඩා ලොකු කම්පනයක්.
"මං හින්දා තමයි සේරම ප්‍රශ්ණ" අපර්ණා අක්කා එක පාරටම කිව්වා. ඈ උන්නේ පුටුවක ඉඳගෙන අත් දෙකින්ම පුටුවට බර වෙලා ඉස්සරහට නැවිලා.
"එහෙම හිතන්න එපා අක්කේ. ඔයා මොනා කරන්නද?" මම කිව්වේ ඇගේ හිත හදන්න ඕන නිසා.
"ඒත් ඔයාලගේ අප්පච්චි අසනීප වුණේ සුදීප මාව බැන්ද බව ආරංචි වෙලා වෙන්න ඇති. මම නං මහා පව්කාරියක්. මං හින්දා කී දෙනෙක්ගේ සැනසීම නැති වෙලාද?"
ඈ මූණ දෝතේ හංඟගෙන අඬන්න ගත්තා. පුංචම්මා ඈ ගාවට ලං වුනා.
"අඬන්න එපා පුතේ. ඇඬුවා කියලා වුණ දේවල් වෙනස් කරන්න බෑනෙ. අනික ඔයා ඉන්නෙත් දුර්වල වෙලා. ඔහොම හිතට දුක් ගන්න නරකයි මේ කාලේ"
"ඔව් අක්කේ. අප්පච්චිට ඉක්මණට සනීප වෙයි. මට ඒක විශ්වාසයි" මමත් කිව්වා.
"දැන් සුදීප අයියට මේ වග කියන්න ඕන නැද්ද?" එහෙම ඇහුවේ අපූර්ව.
"ෆෝන් එක ඕෆ් වැඩ නෑ මල්ලි. මම ගන්න බැලුවා" අපර්නා කිව්වේ අඬන එක යන්තම් අඩු කරලා.
හර්ෂි අක්කා එද්දිත් අපි සේරම සාලේ.ආරංචිය අහපු ගමන් අක්කා කලබල වුණත්, අපට වඩා සිහියෙන් හිටියා. ඈ ආච්චි මම්මට කතා කරලා විස්තරේ අහ ගත්තා. අපි උන්නේ කලබල වෙලා නිසා ඒක කාටවත් මතක් නූනු ගාණයි.
"ලොකු අප්පච්චිට කතා කරන්න දීලා නෑ කාටවත් තාම. හවස ගියාම තමා ආයේම  බලන්න වෙන්නේ කියලා සීයා පප්පා කියනවා. ඉතිං දැං එහේ යන්න වෙයි නේද අම්මා?" අක්කා ඇහුවා.
"නැතුව? ඉන්දිව එක්ක එන්නම කියලා කිව්වානේ" පුංචම්මා උත්තර දුන්නා.
"අම්මට යන්න බෑනෙ කොහොමත්, අපර්ණා ඉන්නවනේ. එහෙම වුණොත් මට තමා නංඟි එක්ක යන්න වෙන්නේ"
අක්කා කල්පනා කරලා එහෙම කිව්වා.
"දැන් වෙලාව හතරයි. දැන්ම ගියොත් ඒ.සී. බස් එකක් නම් අල්ලගන්න පුලුවන් වෙයි" අක්කා ආයෙම කිව්වා.
"කෙල්ලෝ දෙන්නෙක් විතරක් තනියෙම යවන්න, මේ රෑ වෙන වෙලාවේ?"
"ඕක නම් මොකක්ද අම්මා. බස් එකේ ගිහිං බහින එකනේ"
පුංචම්මා ඒකට අනුබලයක් නොදී කල්පනා කරන්න ගත්තා.
මම උන්නේ අසරණ වෙලා. අපූර්ව මගේ දිහා බලලා පුංචම්මට කතා කලා.
"ආන්ටි කැමති නම් මට පුළුවන් මේ දෙන්නා ඇරලවලා එන්න යන්න"
මම හිස උස්සලා ඔහු දිහා බැලුවා.
"අනේ පුතේ...කොහොමද ඒක කරන්නේ? ඔයා අද උදෙත් අපට උදව් කලා. ඔයාටත් වැඩ තියෙනවනේ"
පුංචම්මා අදි මදි කලා.
"ඒකට මොකද ආන්ටි. මිනිස්සුන්ට බැරි වෙලාවට උදව් කරන්න ඕන නේ. මේ වගේ වෙලාවක නොකරන උදව්වක් ඉතිං වැඩක් නෑනෙ"
අපූර්ව හැම දේම කරන්නේ මං හින්දා  බව මම දැනං උන්නා. ඒත් මම කොහොමද ඔහුට එන්න කියන්නේ?
"නෑ. ඔයා කරදර වෙන්න එපා අපූර්ව" මං කිව්වේ ඒකයි.
අපූර්ව එවෙලේ මං දිහා බලපු විදියට මට බිම බැලුණා.
"මංදා. මම කිව්වේ මට පුළුවන් දේ. ආන්ටිම කියන්නකෝ මොකද කරන්න ඕන කියලා"
කොහොම හරි හැමෝම තර්ක විතර්ක කරලා අන්තිමට තීරණය වුණා අපට තනියට අපූර්වත් යන්න. මම ලෑස්ති වුණේ විදුලි වේගෙන්. වෙනදා වගේ ගැලපෙන ඇඳුම් හොයන්නේ නැතිව අතට අහු වුණ එක ඇඳගෙන මම යන්න ලෑස්ති වුණා.
සුධර්මා ඇන්ටි අපූර්ව අපිත් එක්ක යන එක ගැන විරෝධයක් පෑවේ නෑ. ඒත් අපූර්වට ඔහුගේ කාර් එක අරන් යන්න ලෑස්ති වුණාම නං සුධර්මා ඇන්ටි ඒකට එක හෙලාම විරුද්ධ වුණා.
"අනේ අනේ ඔයා කා එක අරන් යන්න නම් එපා. ඔයා පාරවල් ඔයාට පුරුදුත් නෑ. වංගුත් වැඩියි. අනික දැන් රෑ වෙද්දි මීදුමත් දානාවා"
"ඔව් අපූර්ව. අපි බස් එකේ යමු" මමත් කිව්වා.
"එහෙනම් අපේ කෙල්ලෝ දෙන්නා පරිස්සමින් එක්ක යන්න පුතේ"
පුංචම්මා කිව්වා.
"පරිස්සමින් පුතා. ගිය ගමන් අපට කෝල් එකක් දෙන්න" සුධර්මා ඇන්ටිත් කිව්වේ අපූර්වව ඉඹලා.
"මම ප්‍රේ කරන්නම් නංඟි. දෙවියන් වහන්සේ අපට කරුණාව දක්වයි" අපර්ණා මට කිව්වා.
"ඔයා පරෙස්සමින් ඉන්න අක්කා. මේ දේවල් ගැන හිතලා හිතේ අමාරු හදා ගන්න එපා. බබාට හොඳ නෑනෙ"
මමත් ඈට කිව්වා. පුංචම්මටයි, සුධර්මා ඇන්ටිටයි වැඳලා අපි ගමන යන්න පිටත් වුණා.

අපි බස් නැවතුමට එද්දි අවසාන ඒ. සී. බස් එක යන්තම් තිබුණා. අක්කා අපි දෙන්නට වාඩි වෙන්න ඉඩ ඇරලා ඉස්සරහම තනි සීට් එකක වාඩි වුණේ හරියට  අපට තනි වෙන්න අවසර දෙන්න වගේ.
අක්කා හරිම පුදුම චරිතයක් කියලා මට හිතුණා.
අපි මැද හරියේ ආසන දෙකකට බර වුණා. බස් එක පිරෙන්නම වගේ සෙනග හිටියත් බස් එක අද්දන පාටක් නම් තිබුණේ නෑ. මම උන්නේ ඒ ගැන නොසන්සුන් වෙලා. මට ඕන වුණේ පුළුවන් ඉක්මණින් ගෙදර යන්න.
"මේක කීයටද මන්දා යන්නේ?" මම අපූර්වට කිව්වා.
අපූර්ව මුකුත් නොකියා ඔහුගේ දිගු ඇඟිලි අතරේ මගේ පුංචි අත හිර කර ගත්තා. මම ඔහු දිහා බැලුවා.
"කලබල වෙන්න එපා ඉතිං. දැන් අපි කොහොමත් යනවනේ"
මම අපූර්වගේ උරහිසකට හිස බර කර ගත්තා.
"ඔයාට මං හින්දා කරදයි අපූර්ව. ඔයාට සැනසිල්ලේ ගෙදරට වෙලා ඉන්නත් නෑනෙ"
"ඇයි ඔයා ඔහොම හිතන්නේ? මම ඔයා වෙනුවෙන් කරදර නොවී කා වෙනුවෙන් කරදර වෙන්නද හා? ඔයාව තනියෙම ගෙදර යවලා හිත හිත ඉන්න මට බෑ. ඔයා නොදැක ඉන්නත් මට බෑ. ඔය සේරටම වඩා  මෙවෙලේ ඔයාව තනි කරන්නත් මට බෑ"
මම යන්තම් හිනා වුණා. අපූර්වගේ ගතේ උණුසුම මට දනුනා. අපූර්වට ඇරෙන්න මීට කලින් කිසිම පිරිමියෙකුට මම මේ තරම් ලං වෙලා නැහැ. අපූර්ව ගැන මගේ හිතට පිවිසුණේ ලොකු සෙනෙහසක්.
"මොනාද ඔය හැටි හිතන්නේ?"
අපූර්ව අහනවා.
"මුකුත් නෑ"
අපූර්ව ඔහුගේ කම්මුල මගේ හිසට හේත්තු කලා. මට දනුනේ ලොකු සුරක්ෂිත බවක් ඔහු නිසා.
"ඔයා හිතනවා තමයි මොනා ගැන හරි. කියන්නකෝ මටත්. ඔයාගේ හිත සැහැල්ලු වෙයි"
"මම හිතන්නේ ඔයා ගැන" මම කිව්වා.
"මං ගැන?"
"හ්ම්. මම වෙන මොනවා ගැන හිතන්නද, මගේ හිතේ ඉන්නේ ඔයා විතරක් කොට?"
අපූර්ව මගේ ඇඟිලි ටික මිරිකුවා මුකුත් නොකියම. ඒ නිශ්ෂබ්දතාවය ටික දුරක් යනකල් එහෙමම තිබුණා.
"දිස් ඉස් ලයික් අ ඩ්‍රීම් ටු මී මෙත්මා..." අපූර්ව එහෙම කිව්වේ කොල පාට තේ වතු මැදින්  මීදුම දාලා, කෙමෙන් කෙමෙන් අඳුරු වීගෙන එන පරිසරය දිහා බලලා.
"මොකක්ද?"
"මම ආසම නගරෙට මම යනවා. මම ආදරේ කරන ඔයත් එක්ක. හරියට හීනයක් වගේ මට"
"ඔව්. ඇස් ඇරගෙන දකින හීනයක්" මම කිව්වා.
අපූර්ව මගේ දිහා බැලුවා. මමත් බැලුවා ඔහු දිහා.
"ඇයි?" මම ඇහුවේ දයාබරව.
"ඔයා මට කවදාවත් හීනයක් වෙන්න එපා මෙත්මා. එහෙම වුණොත් මට සදහටම නිදාගන්න හිතෙයි"
මම අපූර්වගේ අත මිරිකගත්තා තදින්ම.
"අනේ...එහෙම හිතන්නවත් එපා"
"ඔයා දන්නේ නෑ, මම මෙහෙම හිටියට මගේ ඔලුවේ දාහක් දෙවල් වැඩ කරනවා. මම ඔයාට ආදරේ කරන්නේ ඇත්තටම. කවදා හරි ඔයා මගේ කර ගන්න මට ඕන. ඔයාව මැරි කරන්න මට ඕන. ඒ අනගතේ මම ප්ලෑන් කරලත් ඉවරයි. ඒක මට කරගන්න බැරි වුණොත් මම මහා නිකමෙක් වෙයි කියලා මට හිතෙනවා. ඒත් දැං මේ ප්‍රශ්ණ එද්දි ඇත්තතම මට බයකුත් හිතෙනවා මෙත්මා. ඔයාගේ අප්පච්චි මටත් අකමැති වුණොත්, අයියගේ වයිෆ්ට වගේ? මම මොකද කරන්නේ? මා එක්ක පැනලා යන්න එන්න කියලා මට ඔයාට කියන්න බෑ"
අපූර්ව සුසුමක් හෙලුවේ මගේ හිත බර කරලා.
අපූර්ව කවදාවත් නැතිව අද මේ දේවල් ගැන කතා කරන්නේ ඇයි කියලා මට හිතා ගන්න බැරි වුණා. අපේ ගෙදරින් අකමැති වුනොත් කරන්නේ මොකක්ද කියන එක උත්තරයක් නැති ප්‍රශ්ණයක්. මම ආයෙමත් අපූර්වගේ උරහිසට බර වෙලා ඇස් පියා ගත්තා. අද, හෙට, අනිද්දා...මම කවදා වෙනකල් මේ ප්‍රශ්ණේ මගෑරලා ඉන්නද? කවදාක හරි මේ ප්‍රශ්ණේ මගාරින්න බැරි විදියට මගේ ඉස්සරහට එන බව මතක් නොකර ඉන්න මම උත්සාහ කලා.
"ඔයා නැති අනාගතයක් ගැන හිතන්න මම බයයි අපූර්ව..." මම කිව්වේ එච්චරයි.
අපූර්ව මගේ අත දෝතේ හිර කරගෙන ආයෙමත් මගේ හිස මත කම්මුලක් බර කලා. ඔහු මුකුත්ම නොකිව්වත් හිතට යකඩ බරුවක් කිඳා බැස්සා වගේ ලොකු සෙනෙහසක් මට අපූර්ව ගැන දැනුනා.
'ප්යාර් හුවා ඉකරාර් හුවා හේ ප්යාර් සේ පිර් ක්යූ ඩර්තාහේ දිල්...' බස් එකේ රේඩියෝවේ ලස්සන පරණ හින්දි ගීයක් වාදනය වෙනවා.
"ඔයා දන්නවද ඔය සිංදුවේ තේරුම?" එහෙම ඇහුවේ අපූර්ව.
"ම්හු" මම හිස වැනුවා.
"ඒකෙ තේරුම තමයි, 'ආදරයක් ඇති වුණා, ඒකට එකඟතාවයකුත් ඇති වුණා ඒත් ඇයි ආදර‍යට හිත බය වෙන්නේ, හිත කියනවා යන්න තිබෙන මග දුෂ්කරයි, කොහේ නවතින්න වේවිද දන්නේ නෑ කියලා' අන්න ඒකයි මුල් පද පෙලේ තේරුම"
මම හිනා වුණා.
"ඔයා හරි ෂෝක් නේ. හින්දිත් දන්නවද?" මම ඇහුවා.
"ඔව්. මම ඒ භාෂාවට ආසයි"
"අපෝ මට නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ, සිංදු ලස්සන නිසා අහනවා මිසක"
"අහන්නකෝ අන්තිම පද පෙල. හම් නා රහේංගේ, තුම් නා රහේංගේ ඵිර් භි රහේ නිෂානියා...ඒ කියන්නේ 'ඔබත් නැති වේවි, මමත් නැති වේවි ඒත් අපේ සලකුනු ඉතිරි වී තියේවි' කියලයි"
අපූර්ව් ආයෙම කිව්වා.
"ලස්සනයි අපූර්ව. ඒ සිංදු තේරෙන කොට ඒවා තවත් ලස්සනයි කියලා හිතෙනවා"
"ඒ සිංදුවේ කියනවා වගේ, අපි කවදා හරි වෙන් වුණත් අපේ ආදරේ සලකුණු ඉතිරි වෙලා තියේවි නේද මෙත්මා?"
"ඔයා මොනවද අපූර්ව මේ කියන්නේ, කවදාවත් නැතුව?"
මම ඔහු දිහා බැලුවේ දුකෙන්.
ඔහුත් මගේ දිහා බලාගෙන උන්නේ මොහොතක්.
"හරි හරි. ඒක අමතක කරන්නකෝ. අපි දන් ලඟද ඉන්නේ බලන්න?"
ඔහු කිව්වේ මාව අස්වසන්න වගේ. මම නැවිලා එලිය බැලු වා ඉන්නේ කොහේද කියලා හිතා ගන්න. කිකිලියාමන පාසල ලඟ පොලිස් චෙක් පොයින්ට් එක පහු වෙනවා කලුවර වුණත් මට අඳුරගන්න පුළුවන් වුණා.
"තව වංගු තුනක් ගියාම අපි නුවර එලිය නගරෙට ඇතුල් වෙනවා"  මම අපූර්වට කිව්වා.
"හ්ම්...ඔන්න දැන් නම් සීතලක් මට දැනෙන්න ගත්තා" අපූර්ව කිව්වේ එලියට එබෙන ගමන්. මම ඔහු දිහාවට හැරුණා.
"ඔයාව මගේ උපන් ගමට සාදරෙන් පිළි ගන්නවා"

3 comments:

  1. මේ කතාවේ ඔක්කොම එකපාර කියවන්න තියනවනම්

    ReplyDelete
  2. "ඔයා මට කවදාවත් හීනයක් වෙන්න එපා මෙත්මා. එහෙම වුණොත් මට සදහටම නිදාගන්න හිතෙයි" .......... sahenna hithata waduna eka nan.......

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....