Tuesday, October 18, 2011

විසි නව වන දිගහැරුම


"හා නුවර එළියේ ඔක්කොම මෙතනින් බැහැ ගන්න. ආයේ නවත්තන්නේ වැලිමඩ ස්ටෑන්ඩ් එකේ"
කොන්දොස්තරවරයා කෑ ගහද්දි අපි බස් එකෙන් බැහැන් ගත්තා.
එක පාරටම් ආඅපි නැවුම් සීතලක් ඇඟ විනිවිද යනවා මට දැනුනා. හිතට ආවේ එක්තරා විදියක සතුටක්. මම මේ නගරෙට කොයි තරම් ආදරේද? ලොකේ වෙන කොහාට ගියත් මේ තරම් සුවයක්, සැනසීමක් ඒ කොහේදිවත් මට දැනෙන්නේ නැති වේවි. අපි බහිද්දි වෙලාව හවස හතහමාරයි. හොඳටම කලුවර වැටිලා තිබුණත් නගරය පුරා තිබුණ තැඹිලි පාට වීදි ලාම්පු එලිය පරිසරයේ පැතිරිලා තිබුණා මීදුම් පටලය අතරින් පෙරිලා ඇවිත් ඒ අඳුර තුනී කරලා තිබුණා.
"හප්පෝ ඉන්ග්ලන්ඩ් ගියා වගේ නේ"
අපූර්ව කිව්වේ සීතල යන්න අත් දෙක එකට අතුල්ලන ගමන්.
"මේක ලිට්ල් ඉන්ග්ලන්ඩ් හරිද? ඒක නෙවෙයි ඉන්දි අපි ත්‍රී වීල් එකක යමුද?"
අපි හිට ගෙන උන්නේ ප්‍රධාන බස් නැවතුම් පොලට මෙහා පැත්තේ ත්‍රීරෝද රථ නැවතුම්පොල ඉස්සරහ. මම වට පිට බැලුවා.
"එහෙම කරමු නේද අක්කා"
මම කියද්දිම වගේ අපි ඉස්සරහ ඇවිත් නැවැත්තුවේ සීයා පප්පාගේ පරණ ජීප් එක. සීයා පප්පා ඒකේ ඇතුලේ ඉඳන් හෝන් කලා. අපි තුන් දෙනා ජීප් එකට නැග ගත්තා.
"බස් එක ටිකක් පරක්කුයි නේද?" සීයා පප්පා ඇහුවා.
"ඔව්. අද එද්දි පාරේ හොඳටම මීදුම සීයා පප්පේ" අක්කා උත්තර දුන්නා.
"අප්පච්චිට කොහොමද සීයා පප්පේ?" මම ඇහුවේ ගැහෙන හිතින්.
"හවස යද්දි නම් ටිකක් තත්වේ හොඳ අතට හැරිලයි තිබුණේ. බය වෙන්න දෙයක් නෑ කියලා ඩොක්ට කිව්වා. ඒත් තාම ටිකට් කපනව කියලා නම් කිව්වේ නැහැ. ඒත් මම නෙලුම්ට කිව්ව කලබල වෙලා ඔයාව මෙහේ ගෙන්නන්න ඕන නැහැ කියලා"
මම සැනසුම් සුසුමක් හෙලුවා.
"ඒකට කමක් නෑ සීයා පප්පේ.මම ආපු එක ගැන අප්පච්චිටත් සතුටු හිතෙයි නේ"
"කවුද මේ අනික් යංග් මෑන්?" සීයා පප්පා අපූර්ව ගැන විමසුවා.
"මේ අපේ එහා පැත්තේ ගෙදර ලිවෙරා අන්කල්ගේ පුතා නේ සීයා පප්පේ" අක්කා කිව්වා.
", එහෙමද? සිරිතුංග පුතාව මම හොඳට අඳුනනවා. මම දන්නේ ඔහාට පදිංචි වෙන්න එන්නත් කලින්. පුතා දැන් ලොකු ඉලන්දාරියෙක් නේ ඈ? මොකක්ද නම?"
සියා පප්පා ලොකු කතාවකට මුල පිරුවා.
"මං අපූර්ව හේෂාන්"
ඊට පස්සේ ගෙදර යනකල්ම වගේ සීයා පප්පා අපූර්ව එක්ක විවිධ දෙවල් කතා කරමින් ගියා.
අපි ගෙදර යද්දි ගෙදර උන්නු සේරම අපි එනකල් මග බලාගෙනයි උන්නේ. මම ජීප් එකෙන් බිමට පැනලා අම්මා ලඟට දිව්වා. අම්මා මාව වැල්ඳගත්තා.
"ඇයි පරක්කු?"
ආච්චි මම්මා ඇහුවේ අක්කාගෙන්. අක්කා විස්තරේ කිව්වා.
"මේ පුතා කවුද?" ආච්චි මම්මා ඊලඟට ඇහුවා.
"මේ අපූර්ව. පුංචම්මලාගේ ගෙදර එහා පැත්තේ සුධර්මා ඇන්ටිගේ පුතා. අම්මට නම් මතකයි නේ?" මම අඳුන්නලා දුන්නා ආච්චි මම්මට.
"ඔව් ඔව්. මට මතක නැත්තේ මොකද? එන්න පුතේ ගෙට" අම්මා කිව්වේ හිනා වෙලා අපූර්වව පිලිගන්න ගමන්.
"අපේ බොඩිගාඩ් විදියට අම්මා එව්වා" හර්ෂි අක්කා කිව්වේ අපූර්ව දිහා බලා හිනාවෙමින්.
"අපූර්ව අයියත් අවිත්"
අපි ආපු සාදේ ඇහිලා ගේ ඇතුලේ ඉඳන් දුවගෙන ආපු බට්ටි එක පාරටම මග හිටගෙන කිව්වේ සතුටින් ඇස් ලොකු කරගෙන.
"කොහොමද බට්ටියෝ?" අපූර්ව ඇහුවා.
"හොඳයි" එක පාරටම බට්ටිට ලැජ්ජාවක් හිතිලද කොහෙද අම්මා ලඟට තුරුල් වෙමින් ඇය උත්තර දුන්නා.
අපූර්ව්වත ගෙදර අනික් අය එක්ක මිත්‍ර වෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. සීයා පප්පට නම් ඔහුව  හොඳටම හිතට අල්ලලා වග පෙනුනා. නංඟිත් ඔහු ආපු නිසා උන්නේ සතුටින්.
"මොකද අම්මා මෙහේ වුණේ?"
අපි දෙන්නා උන්නේ කුස්සියේ. රෑ කෑම අහවර කලා අනික් සේරම අය සාලේ වාඩිවෙලා කතා කරමින් හිටියා. අම්මා බර සුසුමක් හෙලුවා. ඊලඟට ඇස් වල කඳුළු.
"දන්නවද අයියා කරලා තියෙන වැඩේ?"
මම බිම බලාගත්තා. අම්මට බොරු කියන්න මට බෑ. ඒ නිසාම මම මුකුත්ම නොකියා හිටියා.
"අර බර්ගර් කෙල්ල අරන් පැනලා ගිහිං. අප්පච්චිත් එක්ක හොඳටම රණ්ඩු වෙලා, ඉස්සෙල්ලම රස්සාවෙන් අස් වෙලා. ඒ මදිවට එයාගේ ෂෙයාර්ස් ඔක්කොම වෙන කාටදෝ විකුණලා. සීයට විසිපහක් එයාගෙ නේ තිබ්බේ. අප්පච්චි එහෙන් ටී බිස්නස් හිර වෙලා. මෙහෙන් මේකගේ පිස්සු වැඩ. එදා අසනීප වුණ දවසේ උදේ ඉඳන්ම කිය කියා හිටියා ඔලුව රිදෙනවා කියලා. දවල් සුමනෙට කෑ ගැහුවා මොකක්දෝ වාහන ප්‍රශ්ණෙකට. ඊට පස්සේ පපුව අල්ලගෙන වැටුණා. හොඳ වෙලාවට එවෙලෙම කෝපරේටිව් එකට ගෙනිච්චා. ටිකක් පරක්කු වුණා නම් එහෙම.."
අම්මා කතාව නැවැත්තුවා. කඳුළු පිහ ගත්තා. අම්මා අඬන්නේ අප්පාච්චිට අසනීප නිසාද, නැත්තම් අයියා ගැන දුකටද? දෙකටමද? මට හිතා ගන්න බැරි වුණා. මම අම්මා ලඟට කිට්ටු වුණා.
"දැන් අප්පච්චිට හොඳයි නේද අම්මා?"
"තාම කෑම නම් දුන්නේ නෑ. සේලයින් එකක් දෙනවා. හෙට තමා බලන්න වෙන්නේ"
මම සුසුමක් හෙලුවා.
"අප්පච්චි කතා කලාද?"
අම්මා හිස වැනුවා.
"කතා කරන්න එපා කියලයි තියෙන්නේ. ඒ ඔයාව ඇහුවා කීප සැරයක්. ඒකයි මම එන්නත් කිව්වේ"
මම අම්මාගේ උරහිසට බර වුණා.
"ඩොක්ටර්ස්ලා මොනවද කියන්නේ?"
"හැමෝම කියන්නේ විවේකය අඩු නිසා මානසික පීඩනය වැඩියිලු. ප්‍රෙෂර් නැගලලු. වැඩියෙම මහන්සි වෙන්න එපා කියලයි කියන්නේ. ඒත් ඉතිං අප්පච්චි මහන්සි නොවී දැන් මේවා බලාගන්න කවුද ඉන්නේ? එකෙක් හිටියා කොල්ලෙක් කියලා, ඌත් යකෙක් වුණා නේ"
අම්මා ආයෙම කඳුළු පිහිනවා.
"අප්පච්චි කොච්චර සැර වුනත් ඔය තුන් දෙනා තමයි එයාගේ පණ. මෙච්චර දුක් වින්දේ දරුවෝ නිසා. දැන් ඒ එකෙක් නිසාම අප්පච්චි අසරණ වෙලා ඉන්න හැටි දැක්කාම මගේ හිත වාවන්නේ නෑ පුතේ"
මම මුකුත් කිව්වේ නැහැ. අපර්ණා ගැන අම්මට කියන්න මගේ කට නලියනවා. ඒත් කියන්න බෑ. ඊලඟට අපූර්ව. දෙයියනේ අපි ගැන දැන ගත්තොත් අප්පච්චියි, අම්මයි මැරිලා යාවි. මට හිතා ගන්න බැරි වුනා මොනවා කරන්නද කියලා. මම දුර දිහ හිතුවේ නැත්තේ ඇයි? ඒත් දුරදිග හිතුවා කියලා අපූර්වට මම ආදරෙයි කියන එක වෙනස් වේවිද? ඇස් වලට උනපු කඳුළු ඔහේ ගලන්න මම ඉඩ දුන්නා. තීරණයක් ගන්න කියලා මගේ හිත මට බල කරනවා. ඒත් මම මොකක්ද ගන්න තීරණේ?

"පුතා මේ කාමරේ නිදා ගන්න. පැංචි මේ පුතාට ඇඳ හදලා දෙන්න. මල්ලිකා නිදිද කොහෙද. කොට්ට සේරම ඔයාගේ කාමරේ. පුතාට කොට්ට දෙකකුත් ගෙනත් දෙන්න"
අම්මා අපූර්වට දුන්නේ මගේ කාමරේට එහා පැත්තේ තිබුන අයියාගේ කාමරේ.
"පුතා මොකද මට සුදීප මොකද? මම එහෙනම් යනවා පුතේ නිදා ගන්න. ඊයේ රෑ දෙකේ ඉඳන් මම ඇහැරලා ඉන්නේ"
අම්මා එහෙම කියාගෙන යන්න ගියා.
කාමරේ ඇතුලේ අපූර්වයි, මායි ආයෙම තනි වෙලා. අම්මා කොච්චර අහිංසකද? ඈ ගැන මට දැනුනේ දුකක්. අපි ගැන දන්නවා නං අද මෙතන මොනවා වෙයිද? එහෙව් මගේ අම්මගේ විශ්වාසය බිඳින එක පවක්. ඒත් ඊට වඩා පවක් නේද ඒ විශ්වාසේ රවට්ටමින් දැන් මම මේ කරන්නේ?
"ගෙදර අය හරීම හොඳයි මෙත්මා. ඔයාට තරම්ම අම්මා ගැන මටත් දුකයි. අයියා, අප්පච්චි නිසා අම්මා සෑහෙන්න දුකින් ඉන්න වග පේන්වා"
අපූර්ව අයියාගේ මේසේ අසලින් වාඩි වෙලා කිව්වේ මම ඇඳේ ඇතිරිල්ල එලන දිහා බලාගෙන.
"අපි ගැන දැනගත්තු දාට අම්මාට මොනවා වෙයිද කියලා මට හිතන්නත් බයයි අපූර්ව" මම කිව්වෙ රහසින් වගේ.
ඒ පාර අපූර්ව නැගිටලා මගේ ලඟට ආවා. අපි ආයෙමත් අපේ ඇස් අතරේ අතරමං වෙලා. ඔහු මොනවාදෝ කියන්න හදන බව මට තේරුනා. ඒත් කිව්වේ නැහැ.
"මං කොට්ට අරන් එන්නම්"
ඒ බැල්මෙන් මිදිලා මම මගේ කාමරේට ආවා. හර්ෂි අක්කට නින්ද ගිහිං වගේ. මම ආපහු එද්දි අපූර්ව උන්නේ ඇඳ මත ඉඳගෙන කල්පනාවකට වැටිලා. මම කොට්ට දෙක ඔහුට දුන්නා.
"මහන්සි ඇති නේ. ඔයා නිදා ගන්න. ගුඩ් නයිට්"
මම යන්න හැරුණට මගේ අතක් අපූර්වගේ ඇඟිලි අතරේ හිර වුණේ එකපාරටම. මම ඔහු දිහාට හැරුනා ඉබේටම වගේ.
"අනේ...අතාරින්න..." මම කිව්වේ මටවත් නහෙන ගානට.
මගේ හද ගැස්ම වැඩි වෙලා තිබුනේ. ඔහු මං දිහා බලාගෙන උන්නා.
"ඇයි මේ?" මම ඇහුවේ දොර දිහත් බලමින්. කවුරුහරි ආවොත් අපි දෙන්නම ඉවරයි.
ඔහු මගෙන් බැල්ම ඉවත් නොකරම මගෙ පිටි අත්ල සිප ගත්තා. මම අත ඇදලා ගත්තා ඉක්මණට. ඔහු නැගිටලා මට ලං වුණා.
"අපූර්ව..."
"මොනවත් කියන්න එපා...මේ වෙලාව, මේ මොහොත මට විඳගන්න දෙන්න. මේ මොහොත හිතේ තියාගෙන මට නිදාගන්න දෙන්න. දුක හිතෙන දේවල් කියන්න හදන්න එපා. අද දවස ආයේ කවදාවත් එන්නේ නෑනෙ"
අපූර්ව මගේ කන්පෙත්තේ දැවටෙමින් කිව්වා.
"මම යනවා..." මම ඔහුගෙන් ඈත් වුණා.
"ඔව්, ඔයාට මං ගාව ඉන්න බෑනෙ" අපූර්ව උන් තැනම හිටගෙන කිව්වේ දුකකින් වගේද කියලා මට හිතුණා.
මම යන්තම් හිනාවෙලා මගේ කාමරෙට එන්න ආවා. තාමත් වැඩි වුන හද ගැස්ම අඩුවෙලා තිබුණේ නැහැ. අම්මා... අප්පච්චි...අපූර්ව...අපේ ආදරේ... ඇඳට වැටිලා මම කල්පනා කලා. කවදාහරි මේ සේරම එලි වුන දවසට මගේ බයට මට කෙලින්ම මුණ දෙන්න වෙන වග මට මතක් වුණා. එදාට මම තෝර ගන්නේ කාවද? ඒක උභතෝකෝටික ප්‍රශ්ණයක් වෙලා මගේ හිත ඇතුලේ නිතරම පාවි පාවි තිබුණා.

2 comments:

  1. අපොයි....අනාගතේ කොහොම වෙයිද???

    ReplyDelete
  2. ඉදිරියට කතාව මොනවගේ වේවිද??

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....