Monday, October 17, 2011

විසි අට වෙනි දිගහැරුම

මම ගෙදරට යද්දි කවුරුවත් පේන්න හිටියේ නැහැ. කුස්සියටත් එබිලා කවුරුත් නැති පාර මම මගේ කාමරේට යන්න යද්දි පුංචම්මා මතු වුණා අපර්ණාගේ කාමරේ ඉඳලා.
"ඔයා ආවද පුතේ? බලන්නකෝ හරි වැඩේ නේ වුණේ, අද අපර්ණා ලිඳ ලඟ ලිස්සලා වැටුණානේ"
පුංචම්මා කිව්වාම මගේ හිතට ආවෙ බයක්.
"ඈ...ඉතිං මොකද වුණේ? කෝ දැන් අපර්ණා අක්කා?"
"මම එවෙලෙම අපූට කතා කරලා අපර්ණාව දොස්තර කෙනෙක් ලඟට එක්ක ගියා. දෙයියඟේ පිහිටින් මොනවත් වෙලා නම් නෑ. ස්කෑන් එකකුත් කලා"
පුංචම්මා කිව්වා.
මම සැනසුම් සුසුමක් හෙලුවා. මේ ප්‍රශ්ණ අස්සේ අපර්ණාටත් මොනවා හරි වුණා නම් එහෙම.
"දැන් කෝ?" මම ඇහුවා.
"නිදි. කෙල්ල බය වුණා. ඇඬුවත් එක්ක, සුදීපත් නෑනෙ"
"අයියට කිව්වේ නැද්ද?"
"නෑ. නෑ. කරදරයක් නැති නිසා කිව්වේ නැහැ. හොඳ වෙලාවට අපූ හිටියේ. කොල්ලා හිටපු විදියටම දුවගෙන ආවා පව්"
පුංචම්මා එහෙම කිව්වාමයි මට මතක් වුණේ අපූර්ව එන්න පරක්කු වුණේ මේ නිසා වෙන්න ඇති කියලා. ඒත් අපූර්ව මට ඒක නොකිව්වේ ඇයි?
"දැන් දෙකහමාරටත් ලඟයි. කාලම හිටියා නං පුතේ. අද සුධර්මා අපටත් එක්ක දවල්ට උයලා ෆ්‍රයිඩ් රයිස්. අද අපූගේ උපන් දිනේලු"
මම කන්න ගිය ගමන නවත්තලා පුංචම්මා දිහා බැලුවා. මට දැනුනේ කරකවලා අතෑරියා වගෙ හැඟිමක්. 'එහෙනම් අද කේක් කැපුවේ ඇත්තටම අපූර්වගේ උපන්දිනේට? මේ කොල්ලා මට මුකුත්ම නොකිව්ව හැටි?
මම ඉක්මණට කාලා ඉවරවෙලා කාමරෙට ගිහිං අපූර්වට කතා කරන්න ෆෝන් එක ගත්තා. එහා පැත්තෙන් කතා කලේ අපූර්ව නෙවෙයි, සුධර්මා ඇන්ටි.
"ආන්ටි මම මෙත්මා කතා කරන්නේ. අපූර්ව ඉන්නවද?"
"ආ...කොහොමද දූ? පුතා මේ දැනුයි කන්නේ. පොඩ්ඩක් ඉන්න බලන්න මම කතා කරන්න"
"නෑ නෑ ආන්ටි කනවනං කමක් නෑ. මම පස්සේ ගන්නම්"
මම එහෙම කියලා කතාව නතර කලා. මම ආපහු ගන්න කලින් ෆෝන් එක නාද වුණා.
"ඇයි කතා කලේ හදිසියක්ද?"
"ඔව්. මම ඔයා එක්ක තරහම තරහයි"
"ඒ මොකද?"
"ඔයා මොකද මට අපර්ණා වැටුන වග නොකිව්වේ? ඔයාගේ බර්ත්ඩේ එක බව වත් මට කිව්වේ නෑනෙ ඔයා"
"ආ ඒකද? අපර්ණා අක්කට අමාරුවක් නෑ කියලා ඩොක්ටර් කියපු නිසයි ඔයාට මම නොකිව්වේ. නැත්තං ඔයා බය වෙලා ගෙදර දුවන් එන හින්දා"
"එතකොට බර්ත්ඩේ එක?"
"ඒක ඉතිං කියන්න මොනාද තියෙන්නේ? ඔයාට ට්‍රීට් හම්බවුණානේ? අනික ඉතිං මම හොයා ගන්නකල්ම ඔයා මට ඔයාගේ එක කිව්වෙත් නෑනෙ?"
අපූර්ව කිව්වාම මට කියන්න දෙයක් තිබ්බේ නෑ ඒකට විරුද්ධව.
"හරි, ඒකෙන් කමක් නෑ. ඔයාට මොනාද මගෙන් ඕන?"
"ම්ම්...හිතලා බලා තමා කියන්න ඕන. අපටත් පිස්සු මේ අතේ දුරින් ඉදන් ෆෝන් එකෙන් කතා කරන්න. බොරුවට බිල වැඩි කරගන්නේ නැතුව අපි එලියට ඇවිත් කතා කරමුද?"
"අනේ බෑ. පුංචම්මා බනියි ආයේ කොහේ යනවද කියලා"
මම කිව්වා.
"හරි එහෙනං මම එන්නම්"
ඔහු රිසීවරය තිබ්බා.'ඒ පාර අපූර්ව මොනාද කරන්න යන්නේ?' මම ඇඳුනුත් මාරු නොකරම කල්පනා කලා. ඊට පස්සේ මම එහෙමම පහලට බැස්සා අපර්ණා බලන්න යන්න. මම යද්දි අපර්ණා උන්නේ ඇහැරලා.
"මොකද අක්කා වුණේ?"
මම කාමරේ මේසේ අසලින් වාඩි වෙන ගමන් ඇහුවා.
"මේ ලිඳ ලගට මූණ හෝදගන්න ගිය වෙලාවේ කකුල ලිස්සුවා ලිං පඩිය උඩදි"
අපර්ණා කිව්වේ යන්තම් හිනාවෙලා.
"මදෑ ඔයින් ගියා. දොස්තර කිව්වා නේද ප්‍රශ්ණයක් නෑ කියලා?"
"ඔව්. ඔව්. ස්කෑන් එකකුත් කලා. මම බයේ හිටියේ ඒත්. සුදීපත් නෑනෙ"
අපර්ණා කිව්වේ ඇඳ විට්ටමට හේත්තු වෙන ගමන්.
"ඉන්දී...ඔයා කොහේද? මෙන්න අපූ ඇවිත්, පොඩ්ඩක් එන්න පුතේ"
පුංචම්මාගේ හඬ මට සාලෙන් ඇහුණා.
මම අපර්ණා දිහාත් බලලා, නැගිටලා සාලෙට ආවා.
"ඕන් අක්කලට කේක් අරන් ඇවිත්" පුංචම්මා කිව්වේ හිනා වෙවී.
මම අපූර්ව දිහා බැලුවා. ඔහු ඇඳුම් මාරු කරලා සැහැල්ලු නිල් පාට ටී ෂර්ට් එකකුයි, කොට කලිසමකුයි ඇඳගෙන ඉද්දි මට ඔහුව හැඩට පෙනුනා.
"මම  කුස්සියේ වැඩක උන්නේ. අපර්ණාත් කාමරේ ඉන්නවා පුතේ. මම එන්නම් කතා කර කර ඉන්න"
පුංචම්මා අපිව සාලේ තනි කරලා කුස්සිය දිහාවට ගියා.
"කේක් දෙන්නමද ආවේ?" මම ඇහුවේ සරදමට.
"නෑ. ඔයා මට මොනවද දෙනවා කිව්වනේ. ඒක ගන්නත් එක්කයි ආවේ"
අපූර්ව කිව්වේ දඟකාර විදියට.
"මම නම් එහෙම කිව්වේ නෑ. මම ඇහුවේ ඕන මොනාද කියලා නේ"
අපූර්ව අඩි කීපයක් මගේ ලඟට ආවා.
"ඕනද? ඕන ඔයාව. ඒකනේ හොයාගෙන ආවේ"
මම හිනා වෙලා බිම බලාගත්තා.
"මම මාව ඔයාට පවරලා ඉවරයි නෙ. එහෙම නෙවෙයි, මම ඔයාගේ උපන් දිනේ ජනවාරි බව දැනං හිටියත් දිනෙ දැනං හිටියේ නැති නිසා මොනවත් තෑග්ගක් ගන්න බැරි වුණා" මම කිව්වා.
"මට මොනවත් එපා පිස්සුද?"
"එහෙම බෑනෙ. පොඩ්ඩක් ඔහොම ඉන්නකෝ"
මම එහෙම කියලා ආපහු මගේ කාමරෙට දුවගෙන ආවා. අපූර්වට දෙන්න දෙයක් මගේ ලඟ ඇත්තටම තියෙනවද? මට එක පාරටම මතක් වුණේ අයියා කොහෙන්දෝ මට එක පාරක් ගෙනැත් දීපු විදුලියෙන් වැඩ කරන රතු පාට, ලස්සන ඉටිපන්දම. ඒක ඇත්ත ඉටිපන්දමක් වගේම ලස්සනට පත්තු වෙන විදියටයි නිර්මණය කරලා තිබුණේ. ඒකට මම ගොඩක් ආස නිසාත්, බට්ටිට අහු වුනොත් කඩයි කියන බය නිසාත් මම ඒක නුවර එද්දි අරගෙනයි ආවේ. ඒත් මේ වෙලාවේ ඒක අපූර්වට දෙන්න මට කිසිම ලෝබ කමක් දැනුනේ නැහැ.  මම ඒක පරෙස්සමට මගේ ලඟ තිබ්බ තෑගි ඔතන කොලයකින් සරසගෙන පහලට ආවා.
මම එද්දි අපර්ණාත් සාලෙට ඇවිත්. පුංචම්මයි තුන් දෙනාම එක්ක සාලේ කතා කරමින් උන්නා.
"මේක ඔයාට හැමදාම මාව මතක් වෙන්න" මම එහෙම කියලා අපූර්වට තෑග්ග දුන්නා.
"මොනාද?"
"ගිහිල්ලම බලන්නකෝ" මම කිව්වා.
අපි කතා කරමින් ඉන්න අතරේ පුංචම්ම ආයෙම කුස්සියට දිව්වේ අපර්ණාට හදමින් උන්නු කෑමක ඉතිරිය හදන්න.
"අපූර්ව අද නම් ලොකු පිනක් කර ගත්තේ" අපර්ණා කිව්වා.
"අනේ ඕක මොකක්ද අක්කා" අපූර්ව කියද්දිම වගේ ගෙදර දුරකථනය නාද වුණා.
"ඉන්දී...කවුද බලන්න" පුංචම්මා කුස්සියේම ඉඳන් කෑගැහුවා.
මම දුරකථනය තියලා තිබුණ මුල්ලට ගිහින් රිසීවරය කනට ලං කලා.
"දීපා නංඟි..." ඒ අපේ අම්මාගේ හඬ.
අහේතුකවම හිතට ආවේ බයක්.
"අම්මා...මම පැංචි"
"පැංචි..." අම්මා අඬනවද? "පැංචි...අප්පච්චි.."
අම්මා කතා කලේ නවත්ත නවත්ත. අප්පචි ගැන කිව්වාම හිතේ බය තවත් වැඩි වුණා.
අපූර්වට ඒක දැනිලදෝ ඔහු මගේ ලඟට ආවා.
"ඇ..ඇයි අප්පච්චිට මොකද අම්මා?" මමත් උන්නේ වෙව්ලමින්.
"අප්පච්චිඅ ආයෙම අසනීප වුණා පුතේ..."
"අනේ..." මට කියවුණා. ඇස් වල කඳුලු පිරුවේ ඇසිල්ලකින්. අපූර්ව බලා උන්නේ කුතුහලෙන්.
"දැන්...දැන්... කෝ මගේ අප්පච්චි?"

No comments:

Post a Comment

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....