Wednesday, October 19, 2011

තිස් එක් වෙනි දිගහැරුම


''ම්හ්" අම්මා කෙඳිරිගාගෙන ඇඳේ අනික් පැත්තට හැරුණා. අම්මට නින්ද ගිහින් හොඳටම. මං අම්මගේ කකුල් අතගාන එක නවත්තලා, බ්ලැන්කට් එකක් අරන් පොරවලා එළියට ආවා.
මට බැලුනේ කෑම මේසේ දිහා. දවල්ට උයපු කෑම වහපු ගමන් එහෙමමයි. කවුරුවත් කෑමට අතවත් තියලා නැති ගාණයි. මම එතනින් තිබුණ පඩි දෙක බැහැලා සාලෙට ආවා. සාලේ දොරත් ඇරලා දාලා. පාලු සාලේ සැටිය උඩට වෙලා කල්පනා කර කර හිටියේ අපූර්ව. හිත එක පාරටම සෙනෙහසින් පිරුනා ඔහු දැකලා. මම හෙමින් ඔහු උන්න දිහාවට ඇවිදගෙන ගියා.
"අපූර්ව..."
ඔහු මගේ දිහා බැලුවේ ගැස්සිලා වගේ.
"ඔයා ලඟට එනකල්ම දැක්කේ නෑ" ඔහු කිව්වා.
"මොනාද ඔය හැටි හිතන්නේ?" මමත් ඔහු අසලින්ම ඉඳගත්තා. ඔහු පුටුවට හේත්තු වුණා.
"මුකුත් නෑ"
"තාම කාලත් නෑ නේද?" මම ඇහුවා.
"ආච්චි අම්මා කන්න දෙන්න හැදුවා. ඒත් බඩගින්නක් තිබ්බේ නෑ. ඔයා කෑවද?"
"නෑ. කන්න පිරියක් නෑ අපූර්ව"
"මටත් එහෙමයි"
"ඒ වුණාට එහෙම කියලා බෑනෙ. එන්න කන්න යමු"
මං අපූර්වට කතා කලා.
ඔහු මං දිහාවට හැරුණා. ඒ මූනේ තිබුනේ විස්තර කරන්න බැරි විදියේඅ හැඟීමක්.
"දැන් කන්න බෑ"
"මට ඔයා ගැන හරියට හොයලා බලන්නවත් බැරි වුණා. කෑවද, බිව්වද කියලවත්. මේ ප්‍රශ්ණ නිසා මගේ ඔලුව අවුල් වෙලා තියෙන්නේ" මම කිව්වේ පසුතැවිල්ලෙන්.
"මම දන්නව. ඒකට කමක් නෑ"
"එන්නකෝ, අපි තේ ටිකක් වත් බොමු" මම අපූර්වගේ අතකින් ඇදගෙන කුස්සියට ගියා. මල්ලිකා නැන්දා පේන්න හිටියෙත් නෑ.
"මේ කට්ටිය කොහේ ගිහින්ද මන්දා? වාඩිවෙන්න" කුස්සියේ තිබුණ පුංචි රවුම් මේසේ පෙන්නලා මම කිව්වා.
"හර්ෂි අක්කයි, බට්ටියි කොහෙද යනවා කියලා ගියා, ඔයාලගේ කුස්සි අම්මත් එක්ක" අපූර්ව කිව්වා.
මම කේතලේට වතුර එකක් පුරවලා ගෑස් ලිප දල්වලා ඒක උඩින් තිබ්බා. අපූර්ව ඉඳගන්නේ නැතුව මගේ පස්සෙන් ඇවිත්.
"තේ හදන්න දන්නවද?"
"ඇයි දන්නේ නෑ කියලා හිතුවද?" මම කිව්වේ ගෑස් ලිප තිබුණ මේසෙට පිට දීලා හිගෙන. හිත සැහැල්ලු වෙන්නේ අපූර්ව ලඟදි විතරයි. ඔහු මගේ ඉස්සරහින් හිට ගෙන උන්නා.
"අම්මා ඔයාව හොඳට හදලා තියෙනවා"
අපූර්වගේ කතාවත මට හිනා පහල වුණා.
"ඇයි එහෙම කියන්නේ?"
"නෑ. මේ වගේ ලොකු ෆැමිලීස් වල, මල් වගේ හැදෙන ගෑණු ළමයි තේ හදන්න තියා තනියෙම පඩියක් වත් බැහැ  ගන්න බැරි අය කියලයි මම හිතුවේ.
"අපි ඔයා හිතන විදියේ ලොකු ෆැමිලි එකක් නෙවෙයි අපූර්ව. සීයා පප්පා ඉස්සර වැඩ කලේ රේල්වේ එකේ ස්ටේෂන් මාස්තර් කෙනෙක් විදියට. අප්පච්චිගේ බිස්නස් දියුණු වුණේ ලඟදි. මුලින්ම අප්පච්චි පටන් අරන් තියෙන්නේ ටී  බිස්නස් එක පොඩියට. ඒ අතරේ තව තව පොඩි බිස්නසුත් කරලා තියෙනවා. අප්පච්චි ඒ කාලෙ හොඳ චණ්ඩියෙක්ලු.බිස්නස් දියුණු වෙන්න පන් ගත්තේ අයියා ඉපදුණාට පස්සේ කියලා මට මතකයි අප්පච්චි ඒ දවස් වල නිතරම කියනවා. අම්මා ඉතිං ටීචර් කෙනෙක් නේ"
මම කියද්දි අපූර්ව මැදින් පැන්නා.
"අප්පච්චි චණ්ඩි පාට් පෙන්නලද අම්මව කසාද බැඳලා තියෙන්නේ?"
මම අපූර්වට රැව්වා බොරුවට.
"පිස්සුද? ඒ දෙන්නා බැඳලා තියෙන්නේ යෝජනාවකින්"
"එහෙමද? ඉතිං කියන්නකෝ ඔයා කිය කිය හිටපු එක"
අපූර්ව කිව්වා පුටුවක ඇදලා මගේ ඉස්සරහින් වාඩි වෙන ගමන්.
"කොහොමහරි ෆිනෑන්ස් කම්පනි එක පටන් ගත්තේ බට්ටි ඉපදුනාට පස්සේ. අපට මේ ලඟක් වෙනකල් සර්වන්ට්ස්ලා හිටියේ නෑ. සේරම කලේ අම්මයි, ආච්චි මම්මයි තමයි. දෙන්නා නැන්දම්මයි, ලේලියි වුණා මම කවදාවත් දැකලා නෑ ඒ දෙන්න අතර කිසි ප්‍රශ්ණයක් ඇති වෙනවා. ආච්චි මම්මා හැමවෙලේම කියන්නේ අපේ අම්මා එයාගේ ලේලි නෙවෙයි දුවෙක් කියලා. දැන් ඉතිං අම්මටත් වැඩ වැඩියි, ආච්චි මම්මට්ත් ඉස්සර වගේ දුවලා පැනලා වැඩ කරන්න අමාරුයි නේ. ඒ නිසයි මල්ලිකා නැන්දව වැඩ ට ගත්තේ, දැන් අවුරුදු තුනක් ඇති මහිතේ එයා ඇවිත්"
අපේ කතාව අතරේ කේතලේ වතුර එක උතුරන්න ගත්තා. මම ගෑස් ලිප නිවලා දැම්මා.
"ටීද, ප්ලේන්ටීද?"
මම වැඩ කරන දිහා ඔහේ බලාගෙන උන්නු අපූර්වගෙන් මම ඇහුවා.
"ඔයා කැමති දෙයක් හදන්න"
මම කිරි තේ දෙකක් හදලා, එකක් අපූර්ව දීලා රවුම් මේසේ අසලින් වාඩි වුණා. මේසේ උඩ හැමදාම වගේ කේක්, බිස්කට් නම් වරදින්නේ නෑ.
"මොනා හරි කන්න අපූර්ව"
"ඕන නෑ. ම්ම්...තේ එක නම් සුපර්"
අපූර්ව තේ උගුරක් බීලා කිව්වා. මට දැනුනේ අහිංසක ආඩම්බරයක්. මේ විදියට මගේ අතින්ම අපූර්වත තේ හදලා දෙද්දි, සලකද්දි, හිතට එන්නේ ලොකු සෙනෙහසක්, තමන්ගේ කමක්.
"මෙහේ ඉක්මණට තේ නිවෙනවා ඇති නේද? ඇයි ආද්‍රතාවය අඩුයි නේ" අපූර්ව කියනවා.
"මොකක් අඩුයි? අනෙ අමේ සිංහලෙන් කතා කරන්න" මම විහිලු කලා.
"ගෙට් අවුට් ඌ සිලී ගර්ල්"
"අනේ ඔව්, මෙයා හර්ම නුවණක්කාරයා" මං කට ඇද කලා.
අපූර්ව හිනාවෙලා මගේ අතකින් අල්ලගන්න උත්සාහ කලා. මම පුටුව පස්සත ඇදගෙන ඈතට වුණා. ඒ දැඟලිල්ල නිසා අපූර්වගේ තේ එක ඇල වෙලා තේ ටිකක් මේසේට හැලුණා.
"ආ..තේ එකත් හලා ගත්තා නේද?"
මම කිව්වේ ආයේම පුටුව මේසේ අසලට ලං කර ගන්න ගමන්. අපි දෙන්නටම හිනා ගියේ එකට. හිනාවෙලා, හිනාවෙලා අපූර්ව එක පාරටම ආයෙම මගේ දිහා බලාගෙන ඉන්නවා.
"ඇයි?" මම හෙමින් ඇහුවා.
"ඔයා හිනාවෙනවා දැක්කේ දවස් දෙකකට පස්සේ"
මම ඇස් බිමට යොමා ගත්තා.
"ඔයා නොහිටින්න මේ වුණ දේවල් වල හැටියට මට හිනා වෙන්නත් අමතක වෙන්න ඉඩ තිබ්බා අපූර්ව. ඔයා මගේ ලඟින් ඉන්න එක මට ලොකු දෙයක්. ඇත්තමයි"
අපූර්ව හිස වැනුවා.
"අම්මා ගොඩක් ඇඞුවා නේද?"
"හ්ම්. අයියට බැනලා ආවට අම්මට දුකයි. අම්මා අයියට ගොඩක් ආදරෙයි"
"දෙමව්පියෝ හැම දරුවටම එක වගේ ආදරෙයි මෙත්මා. බල්න්න නේද එක පුංචි මිස්ටේක් එකක් නිසා වුණ දෙයක්? ගෙදර සතුට, ගෙදර අයගේ සැනසීම, මේ හැමදේම නැති වෙලා. හැමෝගෙම හිත් වල දුකයි, ඇස් වල කඳුළුයි විතරමයි ඉතිරි. මේක හරිම වැරදියි මෙත්මා"
අපූර්ව කියන්නේ මහා දැනමුත්තෙක් වගේ. මේ අවුරුදු දහ නවයට අපූර්ව ජීවිතේ මේ තරම් තේරුම් ගත්තේ කොහොමද?
"ඒක කාගෙ වැරැද්දද?"
"නෑ මෙත්මා. අපට කාටවත් වැරදිකාරයෙක් කියලා හංවඩු ගහන්න බෑ. දෙගොල්ලොම තව හිතන්න තිබ්බා. විශේෂයෙන් සුදීප අයියා. එයා අපර්ණා අක්කව ඔය තත්වෙට ඇදලා නොදැම්මා නං අද මොනවා හරි කරන්න තිබුණා"
මට චුට්ටක් රිදුණා එහෙම කියද්දි.
"ඒත් වුන හැම දෙයක්ම වුණේ ආදරේ නිසා නේ. අනික අයියා අපර්ණාව බාර ගත්තු එකම කොච්චර දෙයක්ද?"
අපූර්ව මං දිහාට හෙලුවේ තිය්ණු බැල්මක්.
"ඩෝන්ට් බී පාෂල් මෙත්මා. බී ෆෙයාර්. එහෙම කරලා අයියා අපර්ණාට උදව්වක් කලා නෙවෙයි නේ. ඒක එයා කරන්නම ඕන දෙයක්. අයියා නිසයි අපර්ණට එහෙම වුණේ. එයා ඒක පිලිගන්න ඕන. මම අයියා නරකයි  කියනවා නෙවෙයි. එයා හොඳ නිසා තමයි ඒක කලේ"
"ඒත් අපර්ණාටත් හිතන්න තිබ්බා නේ?"
"අපර්ණාට එහෙම කියන්න කලින් චුට්ටක් හිතන්න. ඔයා එයාගේ තත්වෙ හිටියත් එච්චරයි. ෂී වස් හෙල්ප්ලස්. එයාට තිබ්බ එකම පිලිසරණ සුදීප අයියා විතරයි. තමන්ට වටින දෙයක් හම්බ වුණාම, තියෙන එකම වස්තුව ඒක වුනාම, මිනිස්සු ඕන දෙයක් කැප කරනවා ඒ දේ බේරගන්න. තියාගන්න"
මම අපූර්ව දිහා බැලුවා.
"එතකොට ඔයා කියන්නේ වැරදි සේරම අයියගේ කියලද?"
"මම එහෙම කියන්නේ නෑ. ඒත් අයියට ටිකක් හිතන්න තිබ්බ කියලයි මම කියන්නේ. 'ලුක් බිෆෝ යූ ලීප්' කියලා කතාවක් තියෙනවා අහලා නැද්ද?
මම අපූර්වට ගස්සලා අහක බලා ගත්තා.
"ඒත් හැඟිම් වලට වාල් වුනාම කාටවත් ආප්තෝපදෙෂ මතක් වෙන්නේ නෑනෙ"
"ඇත්ත. ඒත් හුඟක් වෙලාවට මම පිරිමියෙක් වුණත් මම කියන්නේ, ඔහොම අවස්ථාවල ගැහැණු අය තමගේ දේවල් කැප කරන්නේ ඒ නිසාම නෙවෙයි. ඒක පරිත්‍යාගයක් කියලා හිතලා, දේවත්වයෙන්. ඒත් පිරිමි  කොයි වෙලාවකවත් ගෑනියෙක්ව තමන්ට නතු කර ගන්නේ දේවත්වයෙන් නෙවෙයි. ඒක මහා ලොකු පරිත්‍යාගයකුත් නෙවෙයි. වී හැව් නතින්ග් ටු ලූස්.
මම ඕවා හොඳට දන්නවා. මොකද මටත් හිටියා සහෝදරියක්. මටත් ඉන්නවා ඔය වගේ දේවල් වලට පෙලඹෙන මිත්‍රයෝ. ඔයාටත් මං කියන්නේ, තේරුම් කරන්න හදන්නේ ඒකයි. ගෑණු හිත් ස්වභාවයෙන්ම දුර්වලයි ගොඩ වෙලාවට.
ඒ බව අපි තේරුම් ගන්න ඕන. ඔයාලගේ මේ ප්‍රශ්නේදි අයියට ටිකක් හිතන්න තිබ්බා. ගෙදර පසුබිම මේකයි, දෙමව්පියෝ මෙහෙමයි කියලා. අපර්ණාව හදිසියේ අතාරින්න වුණත් එයාට කිසිම දෙයක් නැතිව අසරණ වෙන්න දෙන්න හොඳ නෑ කියලා. බෑඩ් ලක්, එයාත එහෙම හිතුණේ නෑ"
ඉතිං එහෙම නැතුව ප්‍රශ්ණ විසඳෙන්න නම් ඔයාගේ පේරන්ට්ස්ලා එයාලගේ අදහස්, උදහස් අතාරින්න ඕන. එහෙම නොකලා කියලා අපට එයාලව අතාරින්න වත්, දොස් කියන්න වත් බෑ. අපට අයිතියක් නෑ"
මට අපූර්ව ගැන දැනිලා තිබ්බේ පුදුමයක්. ඔහු ලෝකය දකින්නේ කොච්චර වෙනස් විදිහටද?
"හරි, හදිසියේ ඔයාට ඔය ප්‍රශ්ණේ ආවා නං? අපර්ණා වෙනුවට එතන මං හිටියා නං?"
"මම දන්නවා ඔයා ඔය ප්‍රශ්ණේ අහන වග. එහෙම නං මම අමාරුවෙන්හරි ඔයාට ආදරේ කියන්නෙ නැතුව ඉන්නවා. හැබැයි මට ඇත්තටම ඒ ප්‍රශ්ණේ නෑ. ඒ නිසා මට ඔයාට ආදරෙයි කියන්න බාධාවක් තිබ්බේ නෑ"
"ඒ කියන්නේ ඇත්තතම ආදරේ නෑ කියන එක නේ?" මම ඇහුවා.
"නෑ. නෑ. ආදරේ නිසා තමයි එහෙම කරන්නේ. මං මගේ දෙමව්පියන්ව හරියට තේරුම් ගත්තා නං, එයාලාමෙ අදෙවල් වලට අකමැති බව මං දන්නවා. එහෙනම් ඇයි මම අසරණ කෙල්ලෙක්ට හෝප්ස් දෙන්නේ? මම එයාට ආදරේ නම් දුකක් දෙන්න මට බෑනේ. ඒ නිසා මම පුලුවන් තරම් කල් එයාට දුරින් ඉඳන් ආදරේ කරනවා. අහලා නැද්ද 'නෝ පේන් විතවුට් ගේන්' කියලා කතාවක්. හැමෝතම සාධාරණයි"
"එතකොට බැරි වෙලාවත් ගෙදරින් බඳින්න කිව්වොත්?"
"අයි වුඩ් සිම්ප්ලි සේ නෝ..එච්චරයි"
"එතකොට අම්මලාට දුක හිතෙන්නේ නැති වෙයිද?" මම ඇහුවාම අපූර්ව හීනියට හිනා වුණා.
"හිතෙයි, ඒත් මම අකීකරු වෙලා එයාලව දාලා වෙන කෙනෙක් ලඟට ගියොත් දැනෙන තරම් නෙවෙයි"
එච්චරයි, මට අහන්න තවත් ප්‍රශ්ණ තිබුණේ නැහැ. අපූර්ව ගැන තිබ්බ ආදරේ තරමටම, ගෞරවයකුත් ඔහු ගැන මගේ හිතේ ඉපදුනා. ඊලඟට මගේ හිතට ආපු ප්‍රශ්ණේ අපි දෙන්නා. ඒත් මම ඒක අහපු නැති එක කොච්චර දෙයක්ද කියලා මත හිතුණේ කුස්සියේ දොර රෙද්ද මෑත් කරගෙන මතු වුණ අම්මා දැකලා.
"මං සේරම අහගෙනයි හිටියේ..." අම්මා ආවේ එහෙම කියාගෙන. මගේ ඉහමොළ රත්වුණා.
"මො...මොනාද අම්මා?"
මට ගොත ගැහුණා අපූර්වත් උන්නේ බය වෙලා වගේ.
"මේ දරුවා කියපු දේවල්.  අනේ මගේ පුතාටත්  ඔය විදියට හිතන්න මොලේ තිබ්බා නං" අම්මා කිව්වාමයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ. එහෙනම් අම්මට සේරම ඇහිලා නෑ.
"මං එච්චර වාසනාවන්ත නෑ පුතේ. පුතාගේ අම්මා නං හරිම වාසනාවන්තයි. පුතා වගේ හිතන දරුවෙක් ඉන්න නිසා. පුතාට කවදාහරි මුණගැහෙන ගෑණු ළමයත් වාසනාවන්තයි" අම්මා කිව්වා ආයෙම.
අපූර්ව ලස්සනට හිනා වුනා.
"ඇයි මේ ආන්ටිට මල් දෙකක් වගේ දුවලා දෙන්නෙක් ඉන්නේ?"
අම්මාගේ මූණෙත් ඇඳුනේ හිනාවක්.
"ඔව්. ඒත් මට දුක මේ කෙල්ලෝ දෙන්නටත් හරි හමන් තැනකින් කටයුත්තක් කර ගන්න අපේ එකා ඉඩතියලා නැති එකයි. අපේ නම්බුව ඉවරයි"
"ගෑණු ළමයා හොඳ නම් අද කාලේ ඕවා බලන්නේ නෑ ආන්ටි. හොඳ කොල්ලෝ රටේ ඉන්නවා"
මම හිනාව ගිලගත්ත ඒ පාර. අම්මා අපූර්වට මොනවදෝ කියන්න හදලා නොකියා නැවැත්තුවා.
"ඔව් ආන්ටි, මොකක්ද?"
"නෑ. ඒක නෙවෙයි පුතාලා දවල්ට කෑවෙත් නෑ නේද? මේ  ලෙඩ්ඩු බලන්න ගිය අය තවත් නෑ" අම්මා කතාව වෙන අතකට හැරෙව්වා.

No comments:

Post a Comment

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....