Tuesday, November 15, 2011

හැට හතරවෙනි දිගහැරුම

අයියා බලන්න ඉස්පිරිතාලේ යන ගමන්ම අපර්ණවත් බලන්න යන්න මමයි, හර්ෂි අක්කයි උදේම ලෑස්ති වුණා. එදාට අපර්ණා ලඟ් අනවතින්න අම්මා ලෑසි වෙලයි හිටියේ. අම්මා තාමත් උන්නේ මාත් එක්ක හිත හොඳකින් නෙවෙයි කියලා මට හිතුණා. අප්පචි ඊයේ රෑ වෙනකල් අම්මත් එක්ක කතා කර කර උන්න කියලා මට මල්ලිකා නැන්දා උදේ කිව්වා. අම්මා දැන් මට නොබනින්නේ අප්පච්චි කියපු නිසා වෙන්න ඇති කියලා මම හිතුවා.
වාට්ටුවට ඇතුල් වෙද්දි නම් මගේ හිත ගැහෙන්න ගත්තා. මම අයියව අන්තිමට දැකලා දැන් කොච්චර කල්ද? අප්පච්චි පස්සෙන් ගිය මම අයියා උන්නු ඇඳ  ගාව නැවතුනේ හිත දුකකින් පිරෙද්දි. මගේ අයියගේ සුදු මූණේ තැලුම් ගොඩයි. වම් කකුල මුල්ලුමනින්ම වගේ වෙලුම්පටි වලින් වෙලලා. නලලත් සුස්දු වෙලුම්පටි වලින් වෙලලා. තාමත් ඒවා අතරින් රතු පාට ලේ පැල්ලම් පේනවා. මම ලඟ උන්නු හර්ෂි අක්කගේ අතකින් තදින් අල්ලගත්තා.
"පැංචි..." අයියා මාව දැකලා හිනා වෙන්න උත්සාහ කලා.
"මගේ අයියේ...ඔයාට දැන් සනීපයි නේද? අනේ අපි කොච්චර බය වුණාද?" ඊලග මොහොතේ මම අයියා ලඟට ලං වුනේ අප්පච්චිවත් පෙරලගෙන වගේ.
"දැන් ගොඩක් හොඳයි පැංචි...ඔයාව දැක්කෙ කොච්චර කාලෙකින්ද? ඔයා ගොඩක් ලොකු වෙලා වගේ..." අයියා මගේ මූණ දිහා බලා කිව්වා.
මට ඇඬෙන්න ගත්තා. අයියා මගේ අත මිරිකගෙන හිටියා.
"අඬන්න එපා දැන්. සේරම හරි නේ. මට අමාරුවක් නෑ"
ඒ අතරෙම තවත් කට්ටිය අයියා බලන්න ඇවිත්. මම හිස උස්සලා බලද්දි ඇඳේ වම් පැත්තේ උන්නේ වත්සල අයියයි, කලිඳු අයියයි. මම පත් වුණේ ලොකු අපහසුතාවයකට. කලිඳු අයියා මුලින් මා දිහා බැලුවද මම දන්නේ නෑ. ඒත් මම බලද්දි නම් ඔහු හිතලම මං දිහා නොබලා උන්නද කොහෙද. මම ඒ අයට කතා කරගන්න දීලා පැත්තකට වුණා. හිත යාන්තම් නිසල වීගෙන එද්දි වාට්ටුවේ අනික් පැත්තෙන් ආවේ වෙන කවුරුත් නෙවේ අපූර්ව. ආයෙමත් හිත කැලඹුණා.
"සුදීප මේ අපූර්ව. ඔයාට මතකයි නේද?" හර්ෂි අක්කා අපූර්වව අයියට අඳුන්නලා දුන්නා. අපූර්ව අයියට මුකුත් කියන්න කලින් කලිඳු දිහාත්, මා දිහාත් යන්තම් බලනවා මම දැක්කා.
"මල්ලිව හම්බවෙන්න මට ගොඩක් උවමනාව තිබ්බා. එද මගේ නෝනට කරපු උදව්වට මම කොහොම ස්තුති කරන්නද මන්දා. ඔයා විතරක් නෙවෙයි ඔයාගේ අම්මත් අපර්ණා නිසා සෑහෙන්න මහන්සි වුණ බවත් මම දන්නවා. මල්ලීට ගොඩක් පිං මල්ලි. මට ස්තුති කරන්න වචන මදි..." අයියා අපූර්වගේ අතක් අල්ලගෙන කිව්වේ ගොඩක් හැඟිම්බරව. මගේ ඇස් වලට ආයෙත් කඳුළු පිරුණා.
"ඕක මොකක්ද අයියා. ඒ වෙලාවේ හැටියට පුලුවන් දේ තමා, මමයි, මමායි කලේ. අයියා ඉක්මණට සනීප වෙන්නකෝ. අරහේ දුවයි, අම්මයි බලාගෙන ඉන්නවනේ ඔයා එනකල්" අපූර්ව කිව්වේ හිනා වෙවී.
අයියත් හිනා වුණා. අපි හැමෝගෙමත් මූණු වල හිනාවක් අඳුනා.
"කලිඳු පුතාට අද හවස වැඩක් නැත්තම් හවස එන්න ඒ පැත්තේ. මෙත්මත් ගෙදර ඉන්නවනේ"
අපි අපර්ණා බලන්න එන්න යද්දි අම්මා කලිඳුට කිව්වා. අපූර්ව එක පාරටම අම්ම දිහා බැලුවා. කලිඳු අයියා මං දිහා බැලුවා. මට බැලුණේ අප්පච්චි දිහා.. පුදුමෙකට අප්පච්චිත් බලන් උන්නේ මං දිහා.
"බලමුකෝ අම්මා" කලිඳු අයියා එහෙම කිව්වා.
මම හර්ෂි අක්කත් එක්ක පිට වෙලා ආවේ අම්ම ගැන ඉපදිච්ච අමනාපෙකුත් එක්කමයි. ඒත් ඒ හැම සිතිවිල්ලක්ම අපේ පුංචි දෝනි පැටියා දැක්කාම මටැ අමතක වුණා. රෝස පාට ඇඳුම් ඇඳලා, පුංචි බෝනික්කියක් වගේ අම්මට තුරුල් වෙලා ඈ නිදාගෙන හිටියා. මට මේ පුංචි පැටියා ගැන දැනුනේ ලොකුම ලොකු ආදරයක්.
"කොහොම්ද සුදීපට?" අපර්ණා අක්කා ඇහුවා.
"දැන් ගොඩක් හොඳයි. ඔයාට කොහොමද? කවද්ද ටිකට් කපනවා කියන්නේ?"
"හෙට කපයි කියලයි කිව්වේ. එහෙම වුණොත් හොඳයි. මට නම් දැන් ඉස්පිරිතාලේ ඉඳලා එපා වෙලා" අපර්ණා අක්ක කිව්වා.
"එහෙනම් හොඳයි. අන්න අද නැන්දම්ම එනවා කිව්වා නවතින්න රෑට" හර්ෂි අක්කා කිව්වේ අපර්ණාට ගෙනාපු කලමණා මේසේ උඩින් අස් කරන ගමන්.
"ඇත්තමද?" අපර්ණා ඇස් ලොකු කරලා ඇහුවා.
"හ්ම්..."
මම පැටියගේ කිලුටු ඇඳුම් කෑලි ටික බෑග් එකකට දා ගත්තා.
"අපූර්ව මල්ලි හොඳින්ද?" අපර්ණා ඇහුවේ මගෙන්.
"ඔව්. අද අයියා බලන්නත් ආවා" මම කිව්වේ ටිකක් වෙලා ගිහින්. අපූර්ව ගැන කියද්දි මගෙ හිත කොහොමටත් සසල වෙනවාමයි.
"අනේ කොච්චර හොඳ කොල්ලෙක්කද ඒ? මම දන්නෑ ඔයාගේ අම්මලා එයාට මොකටැ අකමැති වෙනවද කියලා" අපර්ණා අක්කා ආයෙමත් කියනවා.
"ඒක මම ලබා උපන් හැටිද කොහෙද අක්කා" මම කිව්වා.
අපර්ණා අක්කා ආයෙමත් මුකුත් ඒ ගැන කිව්වේ නෑ, මොකද ඒ වෙලාවෙම අම්මා ඇතුලට ආපු නිසා.
අපි වට්ටුවෙන් පිට වෙලා එන්න ආවා,ලෙඩ්දු බලන වෙලාව ඉවර වෙද්දි.
අපි එද්දි අපූර්ව අපි එනකල් එලියේ හිටගෙන හිටියා. අප්පච්චිත් ඒ අසලම ඉන්නවා දැකලා මගේ බඩේ ගින්දරක් පත්තු වුණා.
"මම ටවුන් එකේ පොඩි වැඩකට නවතින්න ඕන. ඔයාට පුලුවන්ද පැයක් දෙකක් ඉන්න මං එනකල්" අප්පච්චි ඇහුවා.
හර්ෂි අක්කා අපූර්ව එක්ක කතා කරන්න නැවතුණා.
"අනේ අප්පච්චි මම බස් එකේ යන්නම්. නිකං ඉන්න එකේ තේරුමක් නෑනෙ" මම කිව්වා.
"හ්ම්..හ්ම් එහෙනම් නගින්නකෝ. මම බස් ස්ටෑන්ඩ් එකෙන් ඔයාව දාලා හර්ෂිවත් ඇරලගෙන යන්න"
අප්පච්චි කිව්වා.
මම අපූර්ව් අදිහා එක පාරක් බලලා හර්ෂි අක්කා ලඟට වුණා.
"අපි එහෙම නම් යනවා පුතා" අප්පච්චි අපූර්වට කිව්වාම මට දැනුනේ පුදුමයක්. ඒත් ඉතින් මෙච්චර දේවල් කලාට පස්සෙත් අපූර්ව එක්ක කතා නොකර කොහොමද එක අතකට.
අප්පච්චි මාව බස් නැවතුමෙන් දාලා විනාඩියක් වත් ගියේ නෑ මා ඉස්සරහා නැවැත්තුවෙ මම කවදාවත් දැකලා නැති කාර් එකක්. ඒත් ඇතුලේ උන්නෙ නම් එහෙම කෙනෙක් නෙවෙයි. අපූර්ව. 'එහෙනම් අපූර්වවට අලුත් කාර් එක හම්බවෙලා'
"නගින්න..." අපූර්ව කිව්වා.
මම ටිකක් පසු බෑවේ අප්පච්චිට තියෙන බය නිසා.
"අප්පච්චිට මම කියන්නේ නෑ. මෙතන වාහන බ්ලොක් වෙන්න කලින් නගින්න" අපූර්ව කිව්වා ආයෙමත්.
මම කරන්න දෙයක් නැති තැන වාහනේට නැග්ගා.
"බබා බැලුවද?" අපූර්ව අහන්නේ මොනවත්ම අපි අතර නූණ විදියට.
"ඔව්"
"කොහොමද ලස්සනද?" අපූර්ව අහන්නේ මුදු හඬින්.
"ම්ම්...බෝනික්කියෙක් වගේ"
"ඒ කියන්නේ එයාගේ නැන්දා වගේද?"
ඔහු කියපු දේ මට එක පාරටම තේරුණේ නෑ.
"ආ..."'ඊට පස්සෙයි මට ඒක් තේරුණේ. මම ඒකට උත්තරයක් නොදී ජනේලෙන් පිටත බලා ගත්තා.අපූර්ව හිනා වෙනවා.
"මොකද කලිඳු නාවේ ඔයාව එක්ක යන්න?" ඔහු ඊට පස්සේ ඇහුවා. මගේ හිත රිදුණා.
"ඇයි අහන්නේ?"
"අහන්නේ දැනගන්න"
මම සුසුමක් හෙලුවා. "මගෙන් ඕවා අහන්න එපා"
"හරි හරි. ඒක අමතක කරන්නකෝ. නිදිත් මතයි දැන් නම්" අපූර්ව එකපාරටම කතාව වෙනස් කලා. මගේ හිත තේරිලාද කොහෙද.
"ඊයේ රෑ මට නින්ද ගියේ නෑ මෙත්මා..." ඔහු කිව්වා ඊලඟට.
"ඇයි?"
"ඔයා නිසා. ඊයේ වෙච්ච දෙවල් නිසා අපි අතර. ඔයා අනුන්ගේ බව දැන දැනත් මම මේ මොනාද කරන්නේ කියලා වෙලාවකට මට හිතෙනවා. ඒත්...අනේ මං දන්නෑ"
ඔහු හිස වැනුවා.
"මම අනුන්ගේ නෙවෙයි තාම" මම කිව්වා.
අපූර්ව යන්තම් මගේ දිහා බැලුවා.
"ඔයා මගෙත් නෙවෙයි නේ ඒ වුණත්"
ඔහුගේ වචන මගේ හිත හොඳටම කලඹනවා.
"එහෙනම් ඇයි ඊයේ අර වගේ දෙයක් කලේ? ඇයි හැමවෙලේම මට ආදරෙයි කිය කිය මගේ හිත රිද්ද්න්නේ? ඔයා මොනාද එහෙම කරලා බලාපොරොත්තු වෙන්නේ?"
මම ඇහුවා තදින්ම.
අපූර්ව ආයෙම මා දිහා බලලා සුසුමක් හෙලුවා.
"මම දන්නෑ මෙත්මා...ඔයා දකිද්දි ඔයා මගේ නෙවෙයි කියලා මට හිතෙන්නේ නෑ. ඒක මම හොඳටම දන්නවා වුණත්...ඊයේ හැන්දෑව හරියට හීනයක් වගේ...ඒත් ඔයාට හිතෙනවා නම් නරක දෙයක් වුණේ කියලා, ප්ලීස් මට සමාවෙන්න"
මම නිෂ්ශබ්බ්දවම හිටියා. අපූර්වත් ඊට පස්සේ මුකුත්ම කිව්වේ නෑ ගේ ලඟට එනකල්ම.
"මම යනවා..." ගෙදර ලඟදි මම බැහැ ගත්තා.
අපූර්ව මොන්වත්ම කිව්වේ නෑ. ඒත් මම ගේට්ටුවෙන් නොපෙනී යනකල්ම බලාගෙන උන්නු වග මම දැක්කා.

3 comments:

  1. අනේ මන්ද මුන් දෙන්න මොන කරනවද කියල :D :D

    ReplyDelete
  2. ko akki ade post ekak danne nadde??? ane mate meke post ekak kiyawwe natham nikan life ekak na wage :( hehe ikmnate ekak danne hode :) tc

    ReplyDelete
  3. ඔව් අක්කි මම ගෙදර ආවේ පොස්ට් එකක් දාල ඇති කියල හිතල කියවන්න ,, ඉක්මනට එකක් දාන්න ,,,

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....