Tuesday, November 15, 2011

හැටතුන්වෙනි දිගහැරුම


එදා රෑ මට කොහොමවත් නින්ද ගියේ නෑ. ඇඳේ අනික් පැත්තට මේ පැත්තට හැරි හැරී මම කල්පනා කලේ අපි දෙන්න අතරේ වුණ දේවල් ගැන. ඒ හැම වෙලේකම හිත උණුසුම් වෙලා බඩ කැලතෙනවා වගේ හැඟීමක් මට දැනුනේ. ඒත් ඔහු මගෙන් දුර යන බව මතක් වුණාම අද මේ මොනවත් නොවී තිබුණා නම් හොඳයි කියලාත් එක වෙලාවක හිතුණා. කොහොමින් හරි මට නින්ද යන්න ඇති. ඒත් අක්කා ඇවිත් මාව නැගිට්ටවද්දි මට දැනුනේ නිදාගෙන තප්පරයකින් ආපහු නැගිට්ටා වගේ.
එදා උදේ ගෙදර තිබ්බේ පුදුමාකාර කලබලයක්. අපේ කට්ටිය මොනා හරි වුණාම මෙහෙම පිස්සෝ වගේ කලබල වෙන්නේ ඇයි කියලා මට නම් තේරෙන්නේ නෑ.  කෑම උයනවා. කෑම බඳීනවා, රෙදි හොයන්වා, නාන කාමරේට දුවනව, නැති වෙච්ච බඩු හොයනවා, පොඩ්ඩක් නැවතිලා අපට මොනා හරි අණක් දෙනවා, එහෙමත් නැත්තම් කාගේ හරි ඇඟක හැපිලා තරහින් මුනු මුනු ගානවා. මමයි, බට්ටියි සාලෙට වෙලා ඈනුම් ඇර ඇර මේ කලබලේ දිහා බලාගෙන හිටියා.
කොහොම හරි උදේ අට විතර වෙද්දි  කලබලේ සංසිඳුනා. ගෙදර හිටියේ මමයි, මල්ලිකා නැන්දයි, බට්ටියි විතරයි. දවල් වෙද්දි අයියව නුවර ඉස්පිරිතාලෙට ගෙනාපු බව අප්පච්චි මට කතා කරලා කිව්වා. මට දැනුනේ ලොකු සතුටක්. අයියට ඒ තරම් අමාරුවක් දැන් නෑ කියලයි අප්පච්චි කිව්වේ.ඒ කට්ටියම බලන්න අපි හවස යමු කියලා අපි කතාකරගෙන හිටියා.
ඒත් දවල් සිද්ධ වුණේ මම කොහොමවත් බලාපොරොත්තු නොවුන දෙයක්.
දවල් අයියා බලන්න ගිය අම්මා ගෙදර ආවේ දුම්මල වරම අතට ගත්තා වගේ ආවේස වෙලා. අප්පච්චිත් උන්නේ හිත හොඳින් නොවෙන බව තමා පෙනුනේ.
"මෙත්මා...පොඩ්ඩක් අපේ කාමරේට එන්න" අම්මා ගෙට ගියේ මට එහෙම කියාගෙන.
මම කාමරේට ගියේ මුකුත් හිතා ගන්න බැරිව. අම්මා එතකොටත් උන්නේ කාමරේ සක්මන් කර කර. අප්පච්චි පුටුවක වාඩි වෙලා කල්පනාබරව.
"හරි ලස්සනයි ගෑණු ළමයා කරලා තියෙන වැඩේ" අම්මා මම දැක්කාම නැවතිලා කිව්වේ තරහින් වගේ.
"ඇයි?" මම ඇහුවේ අප්පච්චි දිහාත් බලලා.
"'ඇයි? ඇයි තමයි! ඔයා හදන්නේ ඒ පාර අපේ මූණේ දැලි ගාන්නද? ඇත්තද අර කලිඳු ළමයට අකමැතියි කිව්වා කියන්නේ?"
මට  කාරණාව තේරුම් ගියේ එවෙලේ. අම්මගේ ඇස් වලින් ගිනි පිටවෙනවා. මම අම්මව තවත් තරහා ගස්සන්න බැරි නිසා බිම බලා ගත්තා.
"ආ...ඒකද? මම ...එහෙම කිව්ව තමයි" මම හෙමින් කිව්වා.
"ඒ මොකද එහෙම කිව්වේ? ඉස්සෙල්ල එකක් කියලා, පස්සේ තව එකක් කියන්නේ? එහෙම නම් ඇයි මේ ගමන යන්න දා ගන්න කියලා කිව්වේ?" අම්මට තවත් තරහා ගිහින්.
"නෙලුම්..." අප්පච්චි හඬ අවදි කලා.
"ඔයාගේ හුරතලේ තමා මේ සේරටම හේතුව. මට කලිඳුගේ අම්මගේ මූණ බලන්න ලැජ්ජ හිතුණා අද ඔය කතාව කිව්වම. මොකක්ද ඒ ලමයගේ තියෙන අඩුව?"
මම අප්පච්චි දිහා බැකුවා.
"මොකද පුතේ ඔයා එහෙම කලේ?" ඔහු ඇහුවේ අම්මා වගේ නෙවෙයි හෙමින්.
"මට එයාව බොරු කියලා රවට්ටන්න බැරි නිසා අප්පච්චි. මට එයා ගැන මොනම කැමැත්තක් වත් හිතෙන්නේ නෑ. මට එයාට ආදරේ කරන්නත් බෑ" මම කිව්වා.
"ආදරේ...ඔය ආදරේ තමා ඔයාගෙ ඔලුව විකාර කලේ" අම්මා ආයෙමත් මට සැර කලා.
"ඒත් ඇයි පුතා එහෙම කලේ? ඔයා දන්නවනේ ඔයාගේ කලින් සම්බන්ධෙට අපි අකමැති වග" අප්පච්චි කිව්වා.
අම්මගේ වචන වලට නෙවෙයි, හෙමින් කියපු ඒ වචන වලට හිත රිදුණා වැඩියි.
"මම ආයෙමත් ඒක ගැන හිතනවා නෙවෙයි අප්පච්චි. ඒත් මට ඒ ආදරේ මෙච්චර ඉක්මණට අමතක කරන්න බෑ. සමහරවිට කවදාවත් බැරි වෙයි. ඒකයි...මට කලිඳුව රවට්ටන්න ඕන නෑ"
"එකක් ඉවරවෙනකොට එකක් තියෙන්නම එපායැ. මට නම් මේක පුදුම ලැජ්ජාවක්. පාරකදි දැක්කත් ආයෙම කොහොමද ඒ මිනිස්සුන්ගේ මූණ බලන්නේ?"
"නෙලුම්...දැන් ඔය ඇති. අපට මේ ළමයව බලෙන් කාටවත් දෙන්න බෑනෙ. දැන් ඔයා යන්න. මම මේක මෙයත් එක්ක බලා ගන්නම්" අප්පච්චි අම්මා කිව්වා.
අම්මා කාමරෙන් යන්න ගියේ මට ගස්සගෙන. මම අප්පච්චි දිහා බැලුවා.
"ඔයා කරපු දේ වැරදියි කියලා මම හිතන්නේ නෑ පුතේ. මොනා නිසාවත් වෙන කාවවත් රවට්ටන්න ඕන නැති වග මාත් පිලිගන්නවා. ඔයා බුද්ධිමත් ළමයෙක්. ඒත් අම්මා කියනවා වගේ අපි කොහොමද ඒ මිනිස්සුන්ට ආයෙම මූණ දෙන්නේ?"
මම බිම බලාගෙන අහගෙන හිටියා විතරයි.
"ඔයා තාමත් අර අපූර්ව ළමයා ගැන හිතනවද? මට ඇත්ත කියන්න"
මගේ හද ගැස්ම වැඩි වෙලයි තිබුණේ. මම අප්පච්චිට කොහොම තේරුම් කරන්නද, හිත පුරාම ඉන්න කෙනෙක් ගැන අමුතුවෙන් හිතන්න ඕන නැති වග, මුළු හිතෙන්ම ආදරේ කරපු කෙනෙක්ව මතක කරන්න කොච්චර අමාරුද වග? ඒ නිසා ම්ම මුනිවත රැක්කා.
"ඔව්?"
"මම නොහිතා ඉන්න උත්සාහ කරනවා අප්පච්චි...තාමත්"
ඊට පස්සේ අප්පච්චි මට මුකුත්ම කිව්වේ නෑ ඒ ගැන.
"ඔයා යන්න. අම්ම කියන ඒවා වැඩිය ගණන් ගන්න එපා"
අප්පච්චි මාව කාමරෙන් පිට කලා.
මොනා වෙන්න යනවද කියලා මට නම් හිතා ගන්න බැරි වුණා.

4 comments:

  1. හප්පේ මෙත්මගේ අම්මනම් ගිනි බෝම්බයක්නේ හෙහෙ
    හ්ම්ම්ම්ම් බලමුකෝ මොකද වෙන්නේ කියල ඉස්සරහට
    හොඳ දෙයක් වෙයි කියල හිතනවා :)

    ReplyDelete
  2. නෙතු ගොඩාක් ස්තුතියි අදත් කතාචෙි කොටසක් පලකලාට. මොකද ඔය කතාව දානකමි ගොඩක් වෙලා බලන් ඉන්නවා අපේ ඔෆීස් එකේ ගොඩාක් අය. පුලුවන්නමි තව කොටසක් අදම දාන්න බලන්න...!!!

    ReplyDelete
  3. ඔව් අක්කි .. පුළුවන් නං තව කොටසක් අදම දාන්න .. .

    ReplyDelete
  4. ane ow nethu akke,, thawath post ekak danneko puluwannam ademe :)

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....