Sunday, November 13, 2011

හැට එක්වෙනි දිගහැරුම

"ආ..ඔයාලා ආවද? මම මේ බල බල හිටියේ. ලොකු අප්පච්චිලා දැන් තමා ගිහින් තියෙන්නේ"
"අයියව බලලද?" මම ඇහුවේ නොඉවසිල්ලෙන්.
"ම්ම්. තාමත් සිහිය නෑලු. ඒත් අවදානම් තත්වෙන් මිදිලා කියලා දොස්තරලා කිව්වලු. සමහරවිට එයාව නුවරට මාරු කර ගන්න පුළුවන් වෙයි කියලා කිව්වා. ඒ වැඩ ටිකත් බලාගෙනම ලොකු අප්පච්චිලා ඒවි මහිතේ. අම්මලා නම් එන්න පිටත් වෙනවා කිව්ව දවල්ට සුදීපව බලලා"
අක්කා කිවාමයි හිතට යන්තම් සැනසීමක් ආවේ. බය වෙන්න දෙයක් නැත්තම් එච්චරයි. දැන් එකම බය අපර්ණා ගැන. "ඔයා අපර්ණා ගැන කිව්වද?"
"අම්මට කිව්වා. අම්මා හොඳටම ගිනි පත්තු වෙලා ඉන්නේ. අපි කොහොම මේ දේවල් කර ගනීද කියලා. කොහොමද අපර්ණාට?"
"තාම මුකුත් නෑ. ඉක්මණට තියටර් ගන්නවා කිව්වලු" මම කිව්වේ කුස්සියේ පුටුවකට බර වෙමින්.
"අපූ ඉඳගන්න" අක්ක අපූර්වට පුටුවක් පෙන්නලා කිව්වා.
"ඔයා උදේට කාලත් නෑ කියලා ඇන්ටි කිව්වා. කිරිබත් තියෙනවා බෙදන්නද? නැත්තම් බත්ද කන්නේ?"
අක්කා ඇහුවේ පිඟානක් අතට අරගෙන.
"ඔය මොනා හරි කමක් නෑ" අපූර්ව කිව්වා.
අක්කා කිරිබත් කෑලි කීපයක් දාලා ඔහුට පිඟාන දුන්නා.
"අපර්ණා ගැන කියලා ඇන්ටි කතා කරයි නේද?" අක්කා අහනවා.
"එහෙම කිව්වා" අමම් උත්තර දුන්නා.
"මමා ගාව...." කියද්දිම කකා හිටපු කෑම අපූර්වගේ පිට උගුරේ ගිහින්. ඔහු පිඟාන පැත්තක තියලා කහින්න ගත්තා.
"පිටට තට්ටු කරන්න..." අක්ක වීදුරුවක් හොයන ගමන් මට කිව්වා. අපූර්ව තාම කහිනවා. බැරිම තැන මම ඔහුගේ පිටට තට්ටු කලා.
"තෑන්ක්ස්" ඔහු මට කිව්වේ අක්කා දීපු වතුර වීදුරුව අතට ගන්න ගමන්.
"මමා ගාව ෆෝන් එකක් තියෙනවා. එයා එලියට ඇවිත් ඒකෙන් ගනීවි" අපූර්ව කියන්න ගිය දේ කිව්වේ දැන්.
මම වෙලාවා බැලුවා. දොලහමාරත් වෙලා.
"අද දවල්ට ආයෙත් යන්න බෑනෙ. අපි හවස යමු නේද?" මම අක්කගෙන් ඇහුවා.
අක්කත් ඔරලෝසුව දිහා බලලා හිස වැනුවා.
"හ්ම්. එහෙම තමා කරන්න වෙන්නේ"

අපි ඇඳගත්තු ඇඳුම් පිටින්ම සාලෙට වෙලා දුරකථනය දිහා බලාගෙන හිටපු එකයි ඊලඟ පැය කීපේ කලේ. පුංචම්මා දෙපාරක් විතර කතා කරලා අපර්ණා ගැන ඇහුවා. ඒත් ඒ අය අයියා ගැන තොරතුරක් දැනං හිටියේ නෑ එන්න පිටත් වෙලා නිසා. එද්දිත් අයියට සිහිය තිබිලා නෑ. අප්පච්චියි, සීයා පප්පයි අයියා ලඟ නැවතිලා තිබුණා.
මම උන්නේ පුදුම මානසික පටලැවිල්ලක. අපර්ණා...අයියා..අපූර්ව...
මමයි, අක්කයි, මල්ලිකා නැන්දයි බලා ගත්තු අත බලාගෙන. බට්ටි විතරක් ටීවී බලනවා. අපූර්ව පත්තරයක් අතට තියාගේන නිදි කිරනවා. හවස තුන විතර වෙද්දි අක්කා උන් තැනින් නැගිට්ටා.
"ඉන්දි...දැන්වත් ඇඳුම් මාරු කර ගන්නකෝ. අපර්ණාට අලුත් ඇඳුමකුත් බෑග් එකකට දා ගන්න. හදිසියේ කාට හරි ඉන්න වුණොත්, ඒ නිසා මගේ ඇඳුමකුත් දාන්න" අක්කා එහෙම කියලා මල්ලිකා නැන්දත් එක්ක කුස්සියට ගියේ කෑම මොනවා හරි හදන්න වෙන්න ඕන.
මම උඩට යන්න නැගිට්ටා. අපූර්ව තුන් පාරක් විතර නිදි කිරලා එක පාරටම ගැස්සිලා වගේ ඇහැරුණා. ඒ විකාර රූපී බව නිසාම මට හිනාවක් ආවා. අපූර්ව මා දිහා බලද්දි මම හිනා වෙනවා. ඔහු බලපු වග දැක්කාම මම ඉවතට හැරුණා, හිනාව නවත්තගෙන.
ඒ අතරේ ගෙදරට වාහනයක් එන සද්දයක් අපට ඇහුණා. හැමෝම උනන්දුවෙන් බලා ඉද්දි දොරෙන් ගෙට ඇතුල් වුණේ කලිඳු අයියා. කුස්සියේ උන්නු අක්කත් එලියට ආවා. කලිඳු අයියා කෙලින්ම ආවේ මගේ ලඟට.
"මොකද දැන් තත්වේ? අප්පච්චිලා ආවද? මම මේ පුලුවන් උන හැටියෙම දුවගෙන ආවේ...ඔයාලා නේන බව අප්පච්චි අපට කිව්වේ දැන්  පැයකට විතර කලින්. අපි අරහේ බලාගෙන හිටියා මොනවත් නොදැන. හරි එකට කමක් නෑ දැන් මොකද වුණේ කියන්නකෝ"
මම අක්කා දිහා බැලුවා.
"වාඩි වෙන්නකෝ කලිඳු" අක්කා කිව්වා.
ඊට පස්සේ සිද්ධ වෙච්ච දේවල් සේරම ඔහුට කිව්වෙත් අක්කාමයි.මම ආයෙමත් ඉඳගෙන, අහගෙන හිටියා. අපූර්ව දිහා බලන්න මට හයියක් තිබුණේ නෑ. අප්පච්චි හොඳටම කලබල වෙලා ඉන්න ඇති කියලා මටැ හිතුණා. නැත්තම් කීයටවත් කලිඳුලට නොකියා ඒ මිනිස්සුන්ගේ කාලේ නාස්තිකරන්නේ නෑ අප්පච්චි.
කතාව ඉවර වුණාම අපූර්ව නැගිට්ටා. මට ඔහු දිහා බැලුණේ ඉබේටම.
"හර්ෂි අක්කා මට වතුර එකක් දෙන්නකෝ" එහෙම කියගෙන ඔහු ඇදුනේ කුස්සිය පැත්තට.
"අයියගේ යාලුවෝ ඉන්නවා නුවරයි, කලුබෝවිලයි හොස්පිටල් දෙකේම. අයියා කලුබෝවිලට නම් කතා කරන්න ඇති. නුවරටත් කතා කරන්න කියලා කියන්නද?"
අපූර්ව ගිය එක ගැන වගක් නැති කලිඳු අයියා මගෙන් ඇහුවා. ඒත් මගේ හිත තිබ්බේ අපූර්ව ගාව.
"ඕන නෑ කලිඳු. අපි ඇන්ටි  කෝල් එකක් දෙනකල් බලමු. කතා කලත් ඒ අයට දැන් කරන්න පුළුවන් දෙයක් නෑනෙ. බබ හමබවෙන්න තියටර් අරගෙනත් ඇති දැන්"
හර්ෂි අක්කා කිව්වා.
ඊට පස්සේ ඇයත් කුස්සියට ගියේ අපිව තනි කරලා.
"ඔයා බය වෙන්න එපා. මෙහේ හොස්පිටල් එකේ ඔක්කොම පහසුකම් තියෙනවා. අයියගේ වයිෆ්ට ප්‍රශ්ණයක් වෙන එකක් නෑ" කලිඳු කිව්වෙත් එහෙමයි.
මම බිම බලාගෙන හිටියා.
"ඔයා අද වෙනස්" කලිඳු මට කිව්වේ මුදු හඬින්. "ලස්සනයි"
මම හිස ඉස්සුවේ නෑ. ඒත් මගේ හිත විදුලි වේගෙන් වැඩ කරමින් තිබ්බේ. අපූර්ව, අප්පච්චි, අපර්ණා, අයියා...අප්පච්චි උදේ කියපු දේවල්. අපූර්ව කියපු දේවල්.
"බලන්නකෝ වෙච්ච දේ නේද? අද ඔයාව අපේ අම්මලට පෙන්නන්න තිබ්බා නම් කියලා මට හිතෙනවා"
"හැමදේම වෙන්නේ හොඳටයි කියනවනේ" මම කිව්වා.
කලිඳු අයියා මා දිහා බැලුවේ ඒක තේරුම් ගන්න බැරි වෙලාද කොහෙද?
"ඒ කිව්වේ?"
මම ලොකු හුස්මක් ගත්තා. වෙච්ච දේවල් නිසාදෝ හිත තිබුණේ අමුතු වෙලා.ඒත් හැමදාමත් දෙපැත්තට වැනි වැනී උන්නු හිතේ තිබ්බ දේ අද මට පැහැදිලි වුණා. මම කලිඳු දිහා බැලුවේ තීරණාත්මකව.
"කලිඳු අයියා...මට ඔයාට කියන්න දෙයක් තියෙනවා"
ගැහෙන හිතින් වුණත් මම කිව්වා. අද නොකිව්වොත් මට මේක ආයේ කවදාවත් කියන්න බැරි වෙයි කියලා මට හිතුණා.
"මොකක්ද?"
"ඔයා දවසක් මගෙන් අහපු දේට උත්තරේ" මම කිව්වේ ඔහු දිහා විටින් විට බලමින්."මං හිතත් එක්ක ගොඩක් තර්ක කරලයි මේ තීරණේට ආවේ..."
මම එහෙම කියලා, කල්පනා කලේ මේක කියන්නේ කොහොමද කියලා. ඒත් වැල් වටාරම් නොකියා කෙලින්ම කියන එක හොඳයි කියලා මට හිතුණා.
"මට…. මට  ඔයාව මැරි කරන්න බෑ අයියා..." මටම පුදුම හිතුණා ඒ වචන පෙල මම කිව්වද කියලා. ඒක කියා ගන්න බැරිව මම කොච්චර හිතේ පීඩනයකින් උන්නද කියලා මට තේරුණේ ඊට පස්සේ හිතට ලොකු සැනසීමක් දැනුන නිසා.
"මොකක්?"
"ඔයා දවසක් ඇහුවනේ මම මොකද කියන්නේ කියලා ඔයා ගැන. මට කියන්න තියෙන්නේ මේක තමයි"
කලිඳු අයියා ගල් ගැහිලා මගේ දිහා බලාගෙන හිටියා මොහොතක්.
"ඒත් ඇයි? මෙච්චර දේවල් වුණාට පස්සෙත්?"
"මම මේකට කැමති වුණේ මට අප්පච්චිගේ හිත රිද්දන්න බැරි නිසා. මං හිතුවා කවදාහ රි මට හිත හදා ගන්න පුළුවන් වේවි කියලා. ඒත් මට බෑ අයියා. මම දන්නවා මට බෑ කියලා"
කලිඳු අයියා සුසුමක් හෙලුවා. ඔහු ඉන්නේ හිතේ අමාරුවෙන් වග මට නොතේරුණා නෙවෙයි.
"හේතුව?" ඔහු ආයෙත් ඇහුවා.
"මම වෙන කෙනෙක්ට ආදරෙයි ඒකයි"
"වෙන කෙනෙක්ට? එහෙනම් ඇයි අප්පච්චිලා මේක තීන්දු කරනකල් මුකුත් නොකියා හිටියේ?"
"අප්පච්චිලා අපේ සම්බන්ධෙට කැමති නැති නිසා. මට අප්පච්චිට පිටුපාන්න බැරි නිසා. ඒත් අයියා අප්පච්චිලට ඉඩ දීලා, ඔයා එක්ක ඇවිත් ඔයාව රවට්ට රවට්ට ජීවත් වෙන්නත් මට බෑ. ඒක මහා පවක්. එහෙමයි කියලා මට කවදාවත් ඔයාට ආදරේ කරන්නත් බෑ"
ඔහුගේ හිත රිදෙන බව දැන දැනත් මම කිව්වා. ඔහු උන්නේ බිම බලාගෙන.
ඔහු හිස වැනුවා.
"මට මේ මොනවත් තේරෙන්නේ නෑ. ඉතිං අප්පච්චිලා දැනගෙන හිටියේ නැද්ද ඔයාට ඒ ආදරේ අමතක කරන්න බැරි වග? එහෙම දෙයක් වුණා නම් ඇයි නංඟි ඔයා මට කලින් නොකිව්වේ?"
ඔහු මගේ දිහා බලලා ඇහුවා.
"අප්පච්චිලා හිතන්න ඇති මම හිත හදා ගනී. ඔයාව බැන්දාම මම වෙනස් වෙයි කියලා. මාත් එක වෙලාවක එහෙම හිතුවා. ඒත් මම දැන් දන්නවා අයියා මට එහෙම කරන්න බෑ කියලා.අප්පච්චිලා මේ තීරණේ ගත්තු දා ඉඳලම මම මේ ගැන හිතුවා. ගොඩක් හිතලා තමයි මම මේ තීරණේ ගත්තේ"
මම ආයෙමත් කිව්වා.
කලිඳු අයියා උන්නු තැනින් නැගිටලා එහේ මෙහේ සක්මන් කරන්න ගත්තා.
"මට තාමත් හිතා ගන්න බැරි ඇයි අද වෙනකල් ම මේක ඔයා හිතේ තියාගෙන හිටියේ කියලා...ඔයා හිතනවද අප්පච්චි දැන් ඔයාගේ කලින් සම්බන්ධෙට කැමැත්ත දේවි කියලා? ඒ නිසාද මෙහෙම කරන්නේ?" ඔහු මං ලඟ නැවතිලා ඇහුවා.
"ඒක මම දන්නේ නෑ. ඒ මොනා වුණත් අප්පච්චි අකමැති දෙයක් මං කරන්නේ නෑ කොහොමවත්. මේ ඇති වෙච්ච ප්‍රශ්ණ නිසා අපි දුරස් වෙලා ඉවරයි. ආයෙත් අපි එකතු වේවිද කියන්න මම දන්නේ නෑ. ඒත් මට එයට ආදරේ නොකර ඉන්න බෑ. ඔයා එක්ක ඇවිත් ඔයාට ආදරෙයි වගේ පෙන්නලා රඟපානත් මට බෑ. මං මේ කරන්නේ මගේ හිතට එකඟව හරියිකියලා මට හිතෙන දේ"
මම කිව්වා.
ආයෙමත් වාඩි වුන කලිඳු අයියා අතකින් ඇස් දෙක පොඩි කරමින් කල්පනා කරන්න ගත්තා.
"එතකොට ඔයා දැන් අප්පච්චිට මොකද කියන්නේ?" ඔහු ඇහුවේ මා දිහා නොබලා.
"මම ඔයාට කියපු දෙවල්ම තමයි. මට විශ්වාසයි මේ පාර අප්පච්චි මාව තේරුම් ගන්න බව. අප්පච්චි මට ආදරෙයි"
"එතකොට ඔයා හදන්නේ මාවත් පිලි නොගෙන, ඔයාගේ ආදරේටත් යන්න ඇරලා තනියෙම ජීවත් වෙන්නද?"
"ඒක මම දන්නෑ. කාලයාට ඉඩ දීලා මං බලන් ඉන්නවා. මං ආදරේ කරපු කෙනා මට දීපු ආදරේ මට මුළු ජීවිතකාලෙටම ඇති" මම කිව්වේ අපූර්ව මතක් කර කර.
කලිඳු අයියා ඒ පාර හිස උස්සලා මා දිහා බැලුවා.
"මම ඔයාට ආදරේ කලා නංඟි..."
"මං ආදරේ කලේ නෑ…. මට ආදරේ කරන්නත් බෑ. අනේ ප්ලීස් තේරුම් ගන්න"
මම බැගෑපත් වුණා.
"හිතන්න අද මේ මොනවත් නොවී ඔයා අපේ ගෙදර ආව නම්, ඒත් ඔයා මට මෙහෙම කියන්නද හිතන් හිටියේ?"
"සමහරවිට"
කලිඳු අයියා මගේ දිහා බලාගෙන හිටියේ දුකින්. ඒත් මම වෙන මොනව කරන්නද? මම අහක බලා ගත්තා.
"ඔයා..." කලිඳු උඅයියා තව මොනවදෝ කියන්න පටන් ගන්න යද්දිම අපූර්ව අපි අතරට ආවා හදිසියේම.
"එක්ස්කියුස් මී...හදිසි පණිවිඩයක් මෙත්මට..."
ඔහු කිව්වේ මා දිහා බලලා.

4 comments:

  1. තැන්ක යු අක්කි .. අද කොහොමහරි පොස්ට් එකක් දැම්මට .. මම උදේ ඉදන් බලන් හිටියේ ,,

    ReplyDelete
  2. මෙත්මා අන්තිම වෙනකන් ඉඳල හරි තීරණයක්‌ ගත්ත ඒක ගැන සතුටුයි

    ReplyDelete
  3. හ්ම්ම්..කළිඳුත් පව්..

    ReplyDelete
  4. ඇති යන්තම් මෙත්මට කට ඇරුනා. කලිඳු පව්, ඒත් අපුර්ව ඊට වඩා පව්.

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....