Monday, November 14, 2011

හැටදෙවනි දිගහැරුම


"අම්මලා එනවෝ" එලියට වෙලා හිටපු බට්ටි ගෙට දුවගෙන ආවේ එහෙම කියාගෙන.
අපි දොර ලඟටැ දිව්වා. අම්මයි, පුංචම්මයි, ආච්චි මම්මයි, සුමනේ මාමයි වාහනෙන් බැහැලා ගෙට ආවා. හැම්මෝම උන්නෙ අවිඩාපත් වෙලා වගේ. අම්මාගේ නම් ඇස් දෙකත් ඉදිමිලා අඬලද කොහෙද.
"අප්‍රණට මොකද?" පුංචම්මා ගෙට ආවෙම එහෙම අහගෙන. අම්මත් අපි දිහා බැලුවා. ආච්චි මම්මත් අපි දිහා බලාගෙන් උන්නේ නොඉවසිල්ලෙන් වගේ. අක්කතයි, මටයි හිනා ගියේ එකට.
"ඔන්න දැන් සේරමල්ලා ආච්චි අම්මලා වෙලා. අපර්ණට දුවෙක් හම්බවෙලා" අක්කා කිව්වා.
පුංචම්මට ලොකු හිනාවක් ගියා. අම්මා සුසුමක් හෙලුවත් හිනා වුණේ නෑ. ආච්චි මම්මා පපුව අල්ලගෙන පුටුවකට බර වුණා.
"තෙරුවන් සරණයි"ආච්චි මම්මා මිමිනුවා.
මම බලා හිටියේ අම්මා දිහා. අම්මත් මා දිහා බැලුවා.
"හැමදේම හරියයි අම්මා" මම කිව්වා.

හවස බබා බලන්න මුලින්ම ඇතුලට ගියේ අම්මයි, පුංචම්මයි. ඒ දෙන්න එලියට එනකල් අපි උන්නේ නොඉවසිල්ලෙන්. මම, හර්ෂි අක්කා, අපූර්ව, බට්ටි, ආච්චි මම්ම සේරම. අම්මා එලියට ආවේ සුධර්මා ඇන්ටිත් එක්ක. අම්මගෙ ඇස් වල කදුළු.
"ඇරපු අතක් නෑ පුතා පොඩි කාලේ වගේමයි" අම්මා කිව්වා.
ලෙඩ්ඩු බලන් වෙලාව ඉවර වුණ නිසා අපට බබා බලන්න යන්න වුණේ නෑ. එදා දවසේ අපර්ණා අක්ක ලඟ නැවතුනේ පුන්චම්මා.
"මොනා වුණත් දැන් ඉතින් අහක දාන්නයැ. අපර්ණා දැක්කාම දුකත් හිතෙනවා" ආපහු එන ගමනෙදි අම්මා මට කිව්වා. මට දැනුනේ සතුටක්. අම්මට එහෙම හිතෙන එක කොච්චර දෙයක්ද?
අයියව බලලා ඉවරවෙලා අප්පච්චිලා ආවේ රෑ අටට විතර. අපි හිටියේ මග බලාගෙන.
"පුතාව හෙට නුවර ඉස්පිරිතාලෙට මාරු කරයි. වත්සල පුතාගේ යාලුවෝ උන්නු නිසා වැඩේ ලේසි වුණා"
ගිමන් හරින්න වාඩි වෙච්ච අප්පච්චි වට වෙලා විස්තර අහන්න හිටපු අපට කිව්වා.
"එතකොට, අම්මයිතාත්තයි, දුවයි සේරම එකම ඉස්පිරිතාලෙ" හර්ෂි අක්කා කිව්වේ කට කොනකින් හිනාවෙලා.
"අම්මයි, දුවයි...ඒ කවුද?"
අක්කගේ කතාවේ අගක් මුලක් තේරුම් ගන්න බැරි වෙච්ච අප්පච්චි ඇහුවා. අම්මා බැලුවේ මං දිහා.
"අප්පච්චි...ඔයා දැන් සියා කෙනෙක්. අයියලට දුවෙක් හම්බවුණා" මම කිව්වා.
අප්පච්චි මොහොතක් මගේ දිහා බලාගෙන හිටියේ මං කියපු දේ අදහාගන්න බැරිව වගේ. ඊට පස්සේ ඔහු බැලුවේ අම්මා දිහා. හරියට මං කිව්වේ ඇත්තද අහන්න වගේ.
"පුතා වගේම කෙලි පැටියෙක්" අම්මා කියද්දි අම්මගේ ඇස් දිලිසුනා.
අප්පච්චි ලොකු සුසුමක් හෙලලා පුටුවට හේත්තු වුණා. ඒ පාර නම් මට බයත් හිතුණා. ඒත් ඒ මොහොතෙම අප්පච්චිගේ මූණෙත් ඇඳුනේ හිනාවක්. මම අම්මට තුරුල් වුණා. ඒ දවස මට කවදාවත් අමතක නොවෙන දවසක් වුණා. ඒත් දවස තවමත් ඉවර වෙලා තිබුණේ නෑ.
"ඉන්දි...එන්නකෝ මේ කෑම ටික අපූලට ගිහින් දීලා එන්න. දවසම හොස්පිටල් ඉඳලා ඇන්ටිට මහන්සි නිසා ලොකු අම්මා කිව්වා කෑම ගෙනිහින් දීලා එන්න කියලා. රෑට උයන්න බෑනෙ"
අක්කා කිව්වේ මම රෑ කෑමට කෑම මේසේ අස් කර කර ඉන්දැද්දි. මම ඈ දිහාවටැ හැරුණේ පුදුමෙන්.
"මේ අපේ අම්මා එහෙම කිව්වා?"
"නැතුව? අපූයි, ඇන්ටියි නොහිටින්න අපි දෙන්නා අද මොනා කර ගනීද දන්නෑ කියලා ලොකු අම්මත් කිව්වා. හ්ම්...එනවා යන්න. ඒ මිනිස්සු කෑම කන්නේ කීයටද?"
අක්කා කිව්වාම. මම බාගෙට අස් කරපු මේසෙ එහෙමම තියෙද්දි ඈත් එක්ක යන්න පිටත් වුණා.
අපි වේලිලා ගිය එලවලු කොටුව පහු කරලා අපූර්වගේ ගේ දිහාවට ගියේ කලුවරේමයි. ඒත් කුස්සියේ ලයිට් දාලයි තිබුණේ. ඒ එලිය මැදින් අපට පෙනුනා මොකක්දෝ දුමක් නගිනවා. ටිකක් ලං වෙද්දියි තේරුණේ කුස්සියම ඒ දුමින් වැහිලා ගිහින් කියලා. අපට කැස්සකුත් ආවා. ඇතුලෙත් කවුදෝ කහිනවා.
"අම්මෝ...මොකද මේ? ඇන්ටි..." දුම ඇතුලේ එහා මෙහා වෙච්ච චායාවට අක්කා කතා කලේ කැහැ කැහැමයි.
"මේ මම මම..." දුම ඇතුලෙන් ඇහුනේ අපූර්වගේ අපැහැදිලි හඬ.
"මොකද මේ ගෙයි ගිනි තියන්න හදනවද?" අක්කා ඇහුවේ අතින් දුම පහ කරන්න හදමින්, අත දෙපසට වන වන. මම ලඟ තිබුණ ජනේලයක් ඇරියා. දුම තුනී වීගෙන යද්දි ඒප්‍රන් එකකුත් බැඳගත්තු අපූර්ව මතු වුණා ඇසුත් රතු කරගෙන.
"නූඩ්ල්ස් හදන්න ලිපේ තියලා සාලෙට ගියා. එද්දි ඒක කර වෙලා. වතුර දැම්මාම තවත් දුම නගින්න  ගත්තා" අපූර්වගේ අතේ තිබුණේ කලුපාට වෙච්ච භාජනයක්. එක ඇතුලේ කර වෙච්ච නූඩ්ල්ස් කෑලි වතුරේ පාවෙවී තිබ්බා.
මම බිම බලාගෙන හිනා වුණා.
"බැරි සිල් නොගනින් අබරෝ කියන්නේ ඕකට තමා. අපි මේ කෑම අරන් ආවේ. කෝ අම්මා?" අක්ක ඇහුවේ භාජනේ දිහා බලලා කට ඇද කරන ගමන්.
"මමාට නින්ද ගිහින්. එයා නැගිටිද්දි කන්න තමා මේ හදන්න ගියේ"
එහෙම කියද්දි නම් මඅපූර්ව ගැන දුකකුත් ඇති වුණා.
"යං ඇන්ටි බලලා එන්න. ඔයා කුස්සිය ගිනි තියන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න හොඳේ"
අක්කා ගේ ඇතුලට යන්න හැරුණා.
"මෙත්මා..." අපූර්ව මට කතා කලේ මෙවෙලේ. මමයි, අක්කයි දෙන්නම ඔහු දිහාට හැරුණා.
"විනාඩියක් කතා කරන්න පුලුවන්ද?"
ඔහු හුවාම මම අක්කා දිහා බැලුවා. අක්කා මං දිහා බලලා මුකුත්ම නොකියා ආපහු යන්න හැරුණා. මම පත් වුණේ අපහසුතාවයකට. මට අපූර්ව දිහා කෙලින් බලන්න පුලුවන් වුණේ නෑ.
"අපි එලියට යමුද?"
අපූර්ව ඇහුවේ තවමත් දොර ලඟ හිටගෙන උන්නු මගෙන්.
ඔහු මම උත්තර දෙනකල් නොඉඳ අතේ තිබ්බ සේරම පැත්තක තියලා, ප්‍රන් එක ගලවලා, එලියට යන දොර ලඟට ගිහින් ආපහු මා දිහා බැලුවා.
මම යම්දෝ, නොයම්දෝ කියලා මොහොතක් කල්පනා කලරා අන්තිමට හිත එකලස් කරගෙන ඔහු දිහාට පා නැගුවා. අපූර්වගේ හිත වෙනස් වෙන කිසිම දෙයක් කරන්නේ නෑ කියලා ඒ යද්දි මම තදින්ම හිතා ගත්තා.
අපි එලියට බැස්සා. කුස්සියෙන් ආපු එලිය තීරුවක් වගේ පොලව මත පතිත වෙලා තිබ්බ නිසා පිටිපස්ස ඒ තරම් කලුවර වුණේ නෑ.
එතනට අහසේ බාගයක්ම ලස්සන දර්ශණය වෙනවා. එක වලාකුලක්වත් නැති, තරු පිරුණ අහසේ දෑකැත්තක් හැඩේට හඳ පායලා තිබුණා. මම දොර මගෑරලා බිත්තියට හේත්තු වුණේ ඉස්සරහට ගිහින් අහස දිහා බලාගෙන සක්මන් කරපු අපූර්ව දිහා බලාගෙන.
"ස්සනයි නේද?" අපූර්ව ඇහුවේ නැවතිලා මගේ දිහා බලලා.
"හ්ම්..." මට ඔහුගේ මූණ යන්තම් පෙනුනා.
"අද මහා පුදුම දවසක් නේ?" ඔහු එතනම ඉදගෙන ආයෙත් මගෙන් ඇහුවා.
"ඇයි ඒ?"
"දුකෙන් පටන් අරන්, සතුටින් ඉවර වෙච්ච අමුතු දවසක්. හිතන්නකෝ...උදේ පටන් ගද්දිම අහන්න ලැබුණේ අයියා ඇක්සිඩන්ට් වෙලා කියලා, ඊට පස්සේ අපර්ණා  අක්කිට අමාරු වුණා...ඒත් දැන් ඒ සේර හොඳ අතට වෙනස් වෙලා..." අපූර්ව ආයෙමත් අහස දිහා බැලුවා.
මම නිහඬව ඔහු කියපු දේ ගැන කල්පනා කලා.
"ඒත් ඉතින් සමහරුන්ට නම් අද දුක දවසක් වෙන්න ඇති..." අපූර්ව කිව්වා මා දිහා නොබලම.
"ඒ කාටද?" මම ඇහුවේ කුතුහලෙන්.
"කලිඳුට...මට..."අපූර්ව කියන්නේ මොනවදමගේ හිත සසල වුණා.
"ඇයි එහෙම කියන්නේ?" ඔවුන් දෙන්නටම අද දවස කණගාටුදායක වුණේ කොහොමද? කලිඳු අයියට නම් එහෙම වෙන්න ඇති, ඒත් අපූර්වට?
"අද ප්ලෑන් කරලා තිබ්බ දේවල් කලිඳුට කර ගන්න බැරි වුණානෙ. අච්චර ලස්සනට උන්න ඔයාව එයාගේ ගෙදර අයට පෙන්නගන්නත් බැරි වුණානෙ. ඒකෙන් හැම දේම පස්සට යනවා. ඒ නිසා..."
අපූර්ව කියන්නේ උපේක්ෂාවෙන්. ඒත් ඒ වචන වලට මගේ හිත රිදුණා.
"ඔයා මටත් වඩා කලිඳු ගැන හිතනවනේ" මම ඇනුම්පදයක් කිව්වේ ඒකයි.
අපූර්ව මං දිහා බැලුවා. ඒ මූණේ තිබ්බ හැඟීම මට තෝර ගන්න තරම් එලියක් තිබුණේ නෑ ඒත්.
"ඔව් මෙත්මා...මං හිතනවා තමයි. මොකද එයා තමයි ඔයාව මගෙන් උදුර ගන්න යන්නේ. ඔයා මතක් වෙන හැම වෙලේකම එයාවත් මට මතක් වෙනවා... ඒ කියන්නේ දවසකට සිය පාරකටත් වඩා. ඒ හැම වෙලේකම මට කලිඳු ගැන ඉරිසියා හිතෙනවා. එයා අපේ ජීවිතේට නාව නම් කොච්චර හොඳද කියලා පවා හිතෙනවා. ඒත් අද මෙහෙම වෙයි කියලා මම කවදාවත් බලාපොරොත්තු වුණේ නෑ. බලන්න වෙලාව කැරකෙන හැටි?"
ඔහු කිව්වා.
ඒ වචන වලට මගේ හිත සසැලුනේ වෙන දෙයක් නිසා නෙවෙයි. මෙච්චර දේවල් වුණාට පස්සෙත්,තවමත් අපූර්ව මං ගැන හිතන බව, ඒ වචන වලින් කියවුණ නිසා. ඒත් කලිඳුගෙන් මම ඈත් වුණ බව මට ඔහුට කියන්න ඕන වුණේ නෑ. මම ඒ ගැන හිතමින් ඉද්දි අපූර්ව හෙමින්ම මගේ ලඟට ඇවිත්, මට අඩියක් විතර දුරින් නැවතුණා. මං ඔහු දිහා බැලුවා. ඔහු හිස ඇල කරලා මා දිහා මොහොතක් බලාගෙන හිටියා.
"සමහරවිට අදින් පස්සේ කවදාවත් අපට ආයෙත් තනියෙම මේ වගේ කතා කරන්න බැරි වෙයි. ඒකයි මට ඔයාට කතා කරන්න ඕන වුණේ. ඔයා අද නැත්තම් හෙට ආයෙමත් ගෙදර යන්න යාවි. ඊට පස්සේ තව මොන මොනා වේවිද? අපි ආයෙමත් හම්බවෙන එකක් නෑ"
අපූර්ව කිව්වේ මා දිහාම බලාගෙන. මගේ හිත ටිකින් ටික දුකින් බර වෙන්න පටන් ගත්තා. අපූර්ව ගැන හිතේ තිබුණ ආදරේ, අමාරුවෙන් යටපත් කරගෙන උන්නු ආදරේ ආයෙමත් අලු ගසා දාලා නැගිට්ටා. මම බිම බලා ගත්තා.
"මම  කවදාවත් හිතුවේ නෑ ඔයා එක්ක ආයෙම මේ වගේ කතා කරන්න මට ඉඩක් ලැබෙයි කියලා...ඇත්ත‍ටම අද හරිම පුදුම දවසක්. හිතපුවත් නැති වෙලාවක මෙන්න ඔයා මාව හොයාගෙන ඇවිත්..."අපූර්ව කිව්වේ මට විතරක් ඇහෙන්න වගේ. මම යන්තමට පෙනුන ඔහුගෙඅ ඇස් දිහා බැලුවා. මා දිහා බලාගෙනම උන්නු ඔහු තවත් මගේ ලඟට ආවා. 
"මෙත්මා?" ඔහුගේ හඬ කවදාවත් නොවුණ තරම් දයාබරයි. ඇහෙන නෑහෙන තරමයි.ඔහු මගේ නලල මතින් නලල හේත්තු කරගද්දි මගේ ඇස් පියවුණේ ඉබේටම. ඔහුගේ සුසුමක උණුසුම, සුවඳ පවා මට දැනෙනවා. ඒ එක්කම මම හොඳටම ගැහෙන්න ගත්තා.
"කියන්න ආයෙමත් ඇයි ආවේ කියලා, මේ විදියට මගේ ලඟට?" ඔහු ඇහුවේ උත්තරයක් නැති ප්‍රශ්ණයක්.
"මං දන්නෑ" මම කෙඳිරුවා.
"මම දන්නවා..."
"හ්ම්..."
"ඒ ඔයා අයිතිවෙන්න ඕන මට නිසා"
මම හුස්මක් හෙලුවා.
"අපූර්ව..."
"ම්හු...මුකුත් කියන්න එපා. මුකුත්ම කියන්න එපා"
ඔහු මගේ දෝතින් අල්ලලා තදකර ගත්තා.
"මට ඔයාව අමතක කරන්න බෑ මෙත්මා...එදා මං මොනවා කිව්වත්, ඔයා මගෙන් අඩියක් ඈතට ගිය වෙලේ ඉඳලම මට ඒක දැනුනා...දන්නවද?"
මගේ හිතුවක්කාර ඇස් කඳුළු පුරන්න පටන් ගත්තා.
"කියන්න...ඔයා මාව අමතක කලාද කියලා?"
මම තොල හපා ගත්තා. මට අප්පච්චි මතක් වුණා. ඒත් අපූර්වගෙන් මිදෙන්න බැරි ලෝබකම් ඒ සිතිවිල්ල පරදලා ඉස්මතු වුණා.
"කියන්න..."
"කවදාවත් නෑ...එක මොහොතකටවත් නෑ" මම කියද්දි මගෙ හඬ බිඳුණා.
අපූර්ව තවත් ඔහුගේ නලල මගේ නලලමත තෙරපුවා, දෝතම තදින් මිරිකගන්න ගමන්.
"ඔයාව උදේ දැකපු වෙලේ ඉඳලා, ඔයා එක්ක කතා කරන්න, තනියෙම, මට උවමනා වුණා. මට ඔයාව ඕන මෙත්මා...මට ඔයා නැතිව මේ නුවර, මේ ලංකාවෙ තවත් ඉන්න බෑ. මම යන්න හදන්නේ ඒකයි"
අපූර්ව කියද්දි මට ඇඬෙන්න වුණා.
"අනේ අඬන්න එපා.ප්ලීස්. මං  නිසා ඔයා ගොඩාක් ඇඬුවා. ගොඩක්. දැනුත් අඬන්න එපා..." ඔහු කීවට මම නාඬා ඉන්නේ කොහොමද?
"මම යන්නේ ඔයාව දාලා යන්න මට පුළුවන් නිසා නෙවෙයි. මං නිසා ඔයා තවත් දුක් වෙනවා බලන්න බැරි නිසා. ඔයාගේ අප්පච්චිට ඔයාව නැති කරන්න බැරි නිසා. එහෙම නැතුව ඔයාව මගේ ලඟට ගන්න බැරි කමකට නෙවෙයි. ඔයා අප්පච්චිට කොච්චර ආදරේද කියලා මම දන්නවා"
ඔහු ආයෙමත් කිව්වා.
මට හොඳටම ඇඬෙනවා.
"මේ බලන්න..."
එහෙම කියපු ඔහු මගේ මූන දෝතින්ම උස්සලා තමන් දිහට හරව ගත්තා. මගේ කඳුළු පිරුණ ඇස්, ඔහුගේ ඇස් අතරේ ආයෙමත්.
'මං ඔයාට ආදරෙයි මෙත්මා...තාමත්. එදා වගේම..."
කඳුළු බින්දු රෝල් වුණේ ඔහුගේ අත දිගේ. මද අඳුරේ අපි අපේ ඇස් අතරේ අතරමං වෙලා. එදා මව හිනස්සපු, මට ආදරේ කරපු, මගේ දුක අහන්න හිටපු මගේ අපූර්ව...මාව දාලා යන්න එපා කියලා ඔහුට අතුරුලු වෙලා අඬන්න මට ඕන වුණා. ඒත් මම එහෙම කරන්නේ කොහොමද? මට අප්පච්චිගේ හිත කඩන්න බෑ.
"ආයෙමත් අහන්න බැරි වෙයි, සමහරවිට කවදාවත්, එක පාරක් මට කියන්න මෙත්මා...මට ආදරෙයි නෙද?"
ඔහු ඇහුවේ හෙමිහිට, දයාබරව.
"...හැමදාම...මැරෙනකල්ම..." මම කිව්වා.
"මේකට මට සමා වෙන්න"
එහෙම කියපු ඔහු පාත් වෙලා මගේ දෙතොල් සිප ගත්තා. මොහොතකට මගේ හද ගැස්මත් නවතින්න ඇති. තප්පරයක්, දෙකක් ගෙවෙන්න ඇති. එහෙම නැත්තම් ඒ විනාඩියක්ද? මම  දැනං උන්නේ නෑ.ඊට පස්සේ ඔහු මාව තුරුළු  කර ගත්තා. මම ඔහුගේ උණුසුමට අවනත වෙලා ඇස් පියා ගත්තා. ඒ මොහොතේ,ඒ වෙලාවේ මට වෙන කිසිම දෙයක් මතක් වුණේ නෑ. මතක් කරන්න ඕන වුණෙත් නෑ.
"අපූර්ව..."
අපි දෙන්න ගැස්සිලා දෙපැත්තට වුණේ සුධර්මා ඇන්ටිගේ කටහඬට. මම අපූර්ව දිහා බලලා ගෙට ඇතුල් වුණා. අපූර්ව මා පස්සෙන් ආවා. සුධර්මා ඇන්ටි අක්කා එක්ක කුසියට ආවේ එවෙලේ. මට සුධර්මා ඇන්ටිගේ මූණ බලන්න බැරි ගතියක් දැනුනා.
"මේ දෙන්නට යන්න ටෝච් එක හොයලා දෙන්න පුතා...පිටිපස්ස කලුවරයි..." ඇන්ටි කිව්වා.
"ඕන නෑ ඇන්ටි, අපට යතහැකි. දුවලා යන එකනේ. අපි එහෙනම් යන්නම්. යූකේ යන්න කලින් මෙයාට පාටියක් දෙන්නත් ඕන..." හර්ෂි අක්ක අපූර්ව දිහාට හැරිලා කිව්වා.
මගේ හිත දුකින්  පිරුණා. මම අපූර්ව දිහා නොබලා හිටියේ ඒ දුක තවත් වැඩි කරගන්න ඕන නැති නිසා.
"අන්න ඒවා හොඳ වැඩ" අපූර්ව හිනාවෙලා කිව්වා.
"අපි ගිහින් එන්නම්" ඇන්ටි...යන්නම්..." එන්න හදද්දි මම කිව්වා.
අම්මට මුවා වෙලා අපූර්වත් මා දිහා බලාගෙන උන්නේ දුකින් වගේ කියලා මට හිතුණා.
 

4 comments:

  1. ඇත්තටම මොකද දැන් වෙන්න යන්නේ දැන් ...??

    ReplyDelete
  2. dan ithin anik post eke danekan mate ade raete ninda yaneth na :(

    ReplyDelete
  3. අනිත් එකත් ඉක්මනට දාන්නකෝ, හොඳ අක්කිනේ ;)

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....