Monday, November 14, 2011

හැට එක්වෙනි දිගහැරුම ඉතිරි කොටස

"මොකක්ද?" මම ඇහුවේ ගැහෙන හිතින්. අපර්ණා ගැන ආරංචියක්ද? අපූර්වගේ මූණෙ ඇඳුනේ හිනාවක්.
"කන්ග්‍රැජුලේෂන්ස්! ඔයා නැන්දා කෙනෙක් වෙලා...චූටි ගර්ල් කෙනෙක්ට. මමා මේ දැන් මෙසේජ් කලා"
මම පුටුවෙන් නැගිට්ටේ. පපුව දිගේ උඩට ආපු සතුටක් උගුර හිර කරද්දි.
"අනේ ඔය ඇත්තමද?"
"අම්මයි, බබායි දෙන්නම හොඳින්ලු. හවසට බලන්න පුළුවන් වේවි කියලා කිව්වාලු"
හර්ෂි අක්කයි, මල්ලිකා නැන්දයිත් කුස්සියේන් මතු වුනේ මේ වෙලාවෙ. දෙන්නගේම ඇස් වල සතුටු කඳුළු. මම දුවලා ගිහින් අක්කට තුරුළු වුණා.
"චූටි කෙල්ලෙක්ලු" අක්කා කිව්වේ හැඟීම්බරව.
අපූර්ව මගේ දිහා බලලා හිස ඇල කරලා හිනා වුණා.
"ඔයාට කොහොම තෑන්ක් කරන්නද අපූඔර්ව. ඔයා නොහිටින්න අක්කව වෙලාවට හොස්පිටල් ගෙනියන්න බැරි වෙන්නත් තිබුණා"
මම කිව්වා.
"දැන් සේරම හරි නේ..." ඔහු කිව්වේ ලොකු හුස්මක් හෙලලා.
"ඒ සතුටතට එහෙමනම් අපි තේ බොමු" අක්කා ආයෙම කුස්සියට ගියා.
"මම ගෙදර ගිහින් වොෂ් එකක් දාගෙන එන්නම් හවස යන්න. මට තේ හදන්න එපා අක්කි" අපූර්ව කිව්වේ ඉස්සරහ දොර ලඟට යන ගමන්. මම ඔහු යන දිහාව බලාගෙන හිටියා.
"ඔයා මට කිව්වේ ඔයාගේ අන්තිම තීරණේද නංඟි?"
ආයෙමත් අපි සාලේ තනි වුණාම කලිඳු අයියා ඇහුවා.
"ඔව්" මම හිස වැනුවා.
"කවදා හරි ඔයාගේ හිත වෙනස් වුණොත්..." ඔහු පටන් ගත්තා.
"එහෙම වෙන්නේ නෑ" මම මැදින් පැනලා කිව්වා.
කලිඳු අයියගේ මූණෙ තිබුණේ පරාජිත පෙනුමක්. අපි උන්නේ දොර ලඟටම වෙන්න හිටගෙන.
"මම දන්නෑ වෙන මොනවා කියන්නද කියලා. ඒත් ඔයා ආදරේ වෙන කෙනෙක්ට නම් මට ඔයාගේ ආදරේ බලෙන් ලබාගන්න බෑනෙ" ඔහු කිව්වේ මා දිහා නොබලා.
මම මුනිවත රැකගෙන හිටියා. බට්ටි අමතකවෙලා දාලා ගිය ටීවී එකේ සද්දේ ඇරෙන්න වෙන කිසිම සද්දයක් මොහොතකට තිබුණේ නෑ. කලිඳු අයියා ලොකු සුසුමක් හෙලුවා.
'මාත් එහෙනම් යන්නම් නංගි..." කලිඳු අයියා කටහඬ  අවදි කලා.
එවෙලේ නම් මට ඔහු ගැන දුක හිතුණා.
"තේ බීලා යන්න ඉන්න අයියේ"
"කමක් නෑ. මට දැන් තේ බොන්න හිතක් නෑ"
කියන්න දෙයක් හොය හොය මම හිත පීරුවා.
"මං නිසා ඔයාගේ හිත රිදුනා නම් මට සමාවෙන්න අයියා. ඒත් ඇත්තතම මට මීට වඩා දෙයක් කරන්න බෑ"
ඔහු හිස වැනුවා.
"මට තේරෙනවා. මට ඔයාට බල කරන්න බෑ. ඒත් සමහරවිට අපට පුලුවන් වේවි නේද හොඳ යාලුවෝ වෙන්න?"
මම හිනා වෙන්න උත්සාහ කලා.
"මම හිතන්නේ පුලුවන් වෙයි"
"එහෙනම් මම ගිහින් එන්නම්...හර්ෂිටත් කියන්න"
"හොඳයි. ම්ම්..මේ  කලිඳු අයියා..." ඔහු යන්න හදද්දි මම ආයෙම ඔහුට කතා කලා.
"කියන්න නංඟි"
"මා එක්ක තරහා වෙන්න එපා"
"කවදාවත් නෑ. ආදරේ කරලා තරහා වෙන්න බෑනෙ. ඒක ඔයා දන්නවා නේද?"
මම ඔහු දිහා බලලා යන්තම් හිස වැනුවා. මගේ ඇස් වලට කඳුලු ආවා. මුල්ම වතාවට ඔහු වෙනුවෙන්.
"ඔයාගේ ඉදිරි ජීවිතේට මං සුබ පතනවා...සමහරවිට ඔයාගේ ආදරේ ඔයාට ආයෙම හම්බවේවි...ඔයා සතුටින් ඉන්න. මගේ ආදරේ මට නැති වුණාට කමක් නෑ”  ඔහු අන්තිමට කිව්වා.
මම ඇහිපිය සැලුවට කඳුළු නැවතුණේ නෑ. ඔහු පඩිපෙල බැහැලා වාහනේට නගිනවා මම බලා හිටියේ බොඳ වෙච්ච ඇස් වලින්.
"කෝ කලිඳු  ගියාද?"
මම ගෙට එද්දි තේ බන්දේසියක් උස්සගෙන ආපු අක්කා ඇහුවා.
"හ්ම්..."
"මොකද වුණේ? ඔයාලා දෙන්න අතර මොකක් හරි ප්‍රශ්ණයක් වුණාද?" මා දිහා බලපු අක්කා ඇහුවේ සැකෙන්.
මම වෙච්ච දෙවල් සේරම කෙටියෙන් අක්කට කිව්වා. කතාව ඉවර වෙද්දි ඈ උන්නේ කල්පනාබර වෙලා.
"ඔයා මොනා කරන්න යනවද කියලා මට තේරෙන්නේ නෑ ඉන්දි. ඔය හිතනවද ඔහොම කලා කියලා ලොකු අප්පච්චි අපූට කැමැත්ත දේවි කියලා?"
අක්ක ඇහුවේ සැටියෙන් ඉඳගෙන තේ  බන්දේසිය ටීපෝව මතින් තියලා.
"ඒක මම දන්නේ නෑ අක්කා. කොහොම වුණත් මම ආයෙම අපූර්වට බලාපොරොත්තු දෙන්න යන්නෙත් නෑ. එයා යන්න යන ගමන එයා ගියාවෙ. ඒකෙන් එයාට වෙන්නේ හොඳක් නේ. මට හිතට එකඟව කලිඳුව බඳින්න බෑ. කාටවත් ආදරේ කර කර වෙන කවුරුවත් එක්ක ජීවත්  වෙන්නේ කොහොමද මම? මම මෙහෙම ඉන්නවා. එතකොට මගේ හිතටත් හොඳයි. මම අප්පච්චිට අකීකරු වෙලත් නෑ"
මම කිව්වේ ඇත්තටම.
"හ්ම්...ඔයා හිතනවා නම් ඒක තමා හොඳ කියලා. එහෙම කරන්න. මොනා කලත් මේ අක්කා ඔයාට උදව් කරන්න ඉන්නවා"
මම හිනා වුණා. හර්ෂි අක්කා ගැන මට ලොකු සෙනෙහසක් දැනුනා.
"එහෙම නම් දැන්වත් ඇඳුම් මාරු කර ගන්න. හවස යන්නත් එපායැ" අක්කා එහෙම කියලා තේ බන්දේසිය අරන් ආපහු යන්න ගියා.
මම උඩ තට්ටුවට එද්දි මගේ හිතට දැනුනේ පුදුමාකාර සැහැල්ලුවක්. අපේ පවුලට පුංචි අමුත්තියක් එකතු වෙලා. අප්පච්චි අයියට සමාව දීලා. කලිඳු නිසා මගේ හිතේ තිබ්බ කරදරේ ඉවර වෙලා...මම තනියෙම හිනා වුණා. දැන් ප්‍රශ්ණ වලින් බාගයක් ඉවරයි. මේ සතුට අස්සේ අප්පච්චිට කලිඳුගේ ප්‍රශ්ණේ ලොකුවට දැනෙන එකක් නෑ කියලා මම හිතුවා. එහෙම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කලා. ඒත් මේ සේරම අතරේ හිතේ ඈත කොනක අපූර්ව ගැන පුංචි දුකකුත් හැංගිලා තිබුණා.

5 comments:

  1. hmmmmmmmmmmmmm lassanate liyanewa akki, mate nam ilange kotesa balanekan mokuth hithagane ba mona wey da kiyala :)

    ReplyDelete
  2. ane kalidu paw..aputh paw.. methma wage thawa ekkenek mawenawa nam..........................

    ReplyDelete
  3. අනිත් කොටසත් අදම කියවන්න මම බලාගෙන ඉන්නවා ... ප්ලීස් .. අනිත් කොටසත් අදම දාන්න ..

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....