Friday, November 4, 2011

හතලිස් හත් වෙනි දිග හරුම

ආයෙමත් වැස්ස පටන් අරන්. ඒත් පරිසරයේ තිබ්බේ උණුසුම් භාවයක්. වහින්න කලින් ගේ ඇතුලේ ඉන්න බැරි තරම් රස්නෙයි. මමයි, අපර්ණයි එලියේ ඇහැල ගහ යටට ගියේ ඒ නිසා. අපර්ණා චූටි මල් පීස් ගවුම් වල මල් මහනවා. දන් දන් සුදීප ජුනියර් දඟ කරන්න පතන් අරන් කියලා ඈ කිව්වේ සෙනෙහසින්. අපි අතරට එන්න ඉන්න පැටියා ගැන මටත් දැනුනේ ආදරයක්. අපි දෙන්නම මග බල බල හිටියේ අයියා ලඟදිම ඒවි කියලා.
"ඔයා හිතන්නේ මේ ගෑණු ළමයෙක් කියලද, පිරිමි ළමයෙක් කියලද?" මම අපර්ණාගෙන් ඇහුවා.
"අනේ මන්දා...මුලින්ම දන් ගත්තු දා නම් මට හිතුණේ කෙල්ලෙක් වෙයි දෝ කියලා. කියන්න බෑ ඉතින්. කවුරු වුණත් ඉතිං අපේ බබා නේ"
අපර්ණා කිව්වේ කුස අත ගාණ ගමන්. මේ කාලෙදි බබාට අපි කියන දෙවල් ඇහෙන බව මම අහලා තිබ්බා.
"වැස්සක් එන්න වගේ නේද?" පුංචම්මා අපි අතරට ආවේ එහෙම අහගෙන.
"හ්ම්. ඒ නිසාද මන්දා ගේ අස්සේ ඉන්න බෑ රස්නෙයි. ඒකයි අපි එළියට ආවේ" මම කිව්වා.
"මං ආන්න ප්ලුං ගෙනැත් බබාට කොට්ට දෙකක් හැදුවා. කොට්ට සල්ලි වලටැ ගන්න ඕන නෑ. බබ ලැබෙන කලින් කොට්ට වල කට මහන්න නරකයි" පුංචම්ම කිව්වේ අපර්ණා මහන දිහා බලාගෙන ඉඳලා.
"ඇයි ඒ?" මම ඇහුවා.
"එතකොට අම්මට අමාරු වෙනවා වැඩිලු"
පුංචම්මා එහෙම කිවා.
ඒ මොකද කියලා අහන්න ගියත් මගේ අවධානය වෙන පැත්තකට යොමු වුණේ ගෙදර ගේට්ටුව ඇරෙන හඬට. අනික් දෙන්නත් ඒ පැත්ත බැලුවා.
"කලිඳු පුතානේ මේ. එන්න එන්න"
පුංචම්මා ආපු කෙනාව සාදරෙන් පිලිගත්තත් මගේ හිත නම් ඔහුව දැකලා මැලවුණා.
අපර්ණා මගේ දිහා බැලුවා. මම මූණ ඇඹුල් කරගෙන ඈ දිහා බැලුවා.
"අද කාර් එක ඒ.සී. හදන්න දාලා. ඒ නිසා බස් එකේ ආවා" කලිඳු අයියා ආවේ එහෙම කියාගෙන.
මම ඔහු දිහා නොබලා අපර්ණා අක්කා මහපු මල් වැලක් දිහාවට ඇස් හැරෙව්වා. අපර්ණා අක්ක යන්න නැගිට්ටා.
"මේ අපේ සුදීපගේ නෝනා. ද්වසකට දෙකකට අපේ ගෙදර ආවා"
පුංචම්මා කලිඳු අයියට කිව්වා.
"වැස්සකුත් එන්න යන්නේ, පුතා ගෙට ආවා නං"
"ඕන නෑ පුංචි අම්මා. වැස්සොත් එන්න බැරියැ"
කලිඳු අයිය්යා දැන්මම නෑකං කියන්නත් පටන් අරන්. අපර්ණයි, පුංචම්මයි යන දිහා මම බලාගෙන හිටියේ අපහසුවට පත් වෙලා. කලිඳු අයියා අපර්ණා නිසා හිස් වෙච්ච ඉඩේ වාඩිවුණා.
"කොහොමද ඉතිං?" ඔහු ඇහුවේ මා දිහා බලලා.
ඔහු උපැස් යුවලක් පැලඳගෙන ඉන්න වග මම දැක්කා. ඒ නිසාදෝ ඔහුට නියම දොස්තර පෙනුමක් ඇවිත් තිබුණා.
"හොඳයි" මං කිව්වා.
"මේක ඔයාට" ඔහු මා දිහාට දික් කලේ කවරෙක දාපු පෙට්ටියක් වගේ එකක්.
"තෑගි ගෙනාවේ මොකටද?" මම ඒක ගන්න අදි මදි කරමින් කිව්වා.
"ඔයාට මම මොනවත් ගෙනාවෙම නෑනෙ. ඒ නිසා අද අරන් ආවා. ලොකු දෙයක් නෙවෙයි. ගන්න"
ඔහු ඒ පාර ඒක් මගේ උකුල උඩින් තිබ්බා.
"තෑන්ක් යූ අයියා"
කතා කරන්න දෙයක් හොයා ගන්න බැරුව අපි දෙන්නම ටික වෙලාවක් දෙපැත්ත බලාගෙන නිහඬව හිටියා.
"අද ලෙක්චර්ස් නැද්ද?" මුලින් කතාකලේ මම.
"අද වරුවයි තිබුණේ. හවස ප්‍රැක්ටිකල් එක කැන්සල් වුණා"
අපරාදෙ! මට හිතුණා.
"ඔයා ගෙදර යන්නේ කවදද?" ඒ පාර ඔහු අහනවා.
"තාම හිතුවෙ නෑ අයියා. කරපු කෝස් එකේම අනික් ලෙවල් එකත් කරන්න කියලා තමා හිතුවේ"
"ආ...ඔව්. අප්පච්චි මට කිව්වා. ඔයා කැමති දෙයක් කරන්න. කවදා හරි ඔයා ජොබ් එකක් නොකලට මට ප්‍රශ්ණයක් නෑ. ඒත් ඉතිං ඉගෙන ගන්න එක හොඳයි නේ. ඉගෙන ගත්තු දෙයක් අපතේ යන්නේ නෑනෙ"
ඔහු කිව්වම මගේ හිතට එක පාරටම ඇතුල් වුණේ බයක්. ඔහු අපේ අනාගතේ ගැනත් හිතලද? ඔහුට එහෙම හිතන්න තවත් ඉඩ දෙන්න ඕන නෑ කියලා මම කල්පනා කලා.
"එදා ගෙදරදි ඔයාව හම්බවුණාට පස්සේ අද තමා හරියට කතා කරන්න ඔයාව මුණගැහුණේ. අනික් හැම වෙලේකම ඔයා හිටියේ හදිසියෙන් නේ" ඔහු කියනවා. මම ඇස් අගින් ඔහු දිහා බැලුවා. ඔහු කතා කලේ දනහිසට අත් වලින් බර දීලා අත් දෙක දිහා බලාගෙන. නොහිතපු වෙලාවක ඔහු මගේ දිහා බැලුවා. මම ඉක්මණට අහක බලා ගත්තා.
"එදා මගෙන් හිතන්න කල් ඉල්ලගත්තනේ දෙයක් ගැන,ඒ ගැන හිතුවද?" ඔහු ඇහුවා.
"මම ඔයා ගැන හරියට දන්නෙත් නැතුව මට තීරනයක් ගන්න බෑ නේද?" මමත් ඇහුවා.
"මොනාද ඔයාට මං ගැන දැනගන්න ඕන? කියන්න"
මම අලි අමාරුවක වැටුනා. දැන් දීපංකෝ උත්තර.
"හදිසියේ වත් හැමදේම දැනගත්තට පස්සේ මට බෑ හිතුනොත්?" මම වෙන ප්‍රශ්ණයක් ඇහුවා.
"එහෙම වෙයිද?"
"කියන්න බෑනෙ. එහෙම වුනොත් අපේ අම්මලා දැන් කරන හැමදේම තේරුමක් නැති වෙනවා" මම කිව්වා.
"ඔයා මොනාද කියන්න හදන්නේ?" ඒ හඬේ තිබුණේ පුංචි බයක්ද?
"මම කියන්නේ...මං ගැන බලාපොරොත්තු තියා ගන්න එපා කියලයි...කියන්නේ ඕනෙවට වඩා"මුල් වචන වල සැර බාල කරන්න ඕන නිසා මම අන්තිම වචන ටිකත් එකතු කලා.
ඒ අතර වැහි පොද එක දෙක වැටෙන්න පටන් ගත්තා. මම අහස දිහා බැලුවා. අලු පාට වලාකුලුවලින් අහස වැහිලා ගිහින්. ලොකු වැස්සක් ඒවි  කියලා මට හිතුණා. ඒත් කලිඳු අයියට නැගිටින්න උවමනාවක් නෑ වගේ.
"ඔයා ඔයාගේ අප්පච්චිට මේක කිව්වද?" ඔහු ඇහුවා.
"මට අප්පච්චිට කියන්න බෑ අයියා. ඒකයි මම ඔයාට කියන්නේ. අප්පච්චි මාව තේරුම් ගන්න එකක් නෑ" මම කිව්වා.
"ඒත් ඔයා දන්නවා නේද ගෙවල් දෙකෙන්ම මේක ස්ථිරයි කියලා හිතාගෙන ඉන්න බව?" ඔහු හදන්නේ මාව බය කරන්නද?
"ඒ වුනත් කසාද බඳින්න මම කැමති වෙන්න ඕන නේ" මට කියවුණා. වැස්ස ටික ටික වැඩි වෙනවද කොහෙද. ඒත් තාමත් ඇහැල ගහ යට අපි උන්නේ වියලිව.
"ඔයා මට මොනා හරි හංගනවා නංඟි"
ඔහු කිව්වා. අපූර්ව ගැන කියන්වා නම් මේ තමයි හොඳම වෙලාව. ඒත් අපූර්ව අපේ ගෙදරින් අහන්න කලින් මට ඒක කියන්න බෑ. අප්පච්චිට පිටින් ආරංචි වුනොත් අප්පච්චිට යකා වැහෙයි. එතකොට අප්පච්චි හරියට හිතුවක්කර වෙනවා. ආයේ මටවත් අපූර්වට වත් දේවල් පැහැදිලි කරලා දෙන්න ඉඩ ලැබෙන එකක් නෑ. ඒ නිසා මම අමාරුවෙන් අපූර්ව ගැන නොකියා ඉන්න හිත හදා ගත්තා දැනට.
"එහෙම දෙයක් නෑ. ඒත් මම තව හිතන්න ඕන" මම කිව්වා.
කලිඳු අයියා බිම බලාගත්තා. දුකෙන්ද මන්දා.
"එතකල් ඔයා මෙහෙම එන්නේ නැතුව ඉන්නවා නම් මම කැමතියි අයියා" මම ඒ පිටටම කියලා දැම්මා.
කලිඳු අයියා මගේ දිහා බැලුවේ ගැස්සිලා වගේ. එවෙලේ නම් මට ඔහු පව් කියලත් හිතුණා. අපේ අප්පච්චිලා මේ කොහේවත් ගිය කෙනාව ඇදලා අරං මට ජෝඩු කරන්න නොහිතුවා නම් මේ කිසි දුකක්, කරදරයක් නෑ නේද කියලා මත හිතුණා.කලිඳු අයියගේ වැරැද්ද්දක් නෑ.
ලොකු වැස්සක් කඩා වැටුණේ හිටපු ගමන්. ඇහැල ගහ යටත් තෙමෙන්න ගත්ත නිසා අපි ඉක්මණට නැගිට්ටා. ඒත් වුනේ නොහිතපු දෙයක්. මගේ සායට අල්ලලා තිබුණ ලොකු රේන්දේ ලී බංකුව පිටිපස්සේ දාලා තිබ්බ කම්බි දැලක පැටලුනා මම බංකුවෙන් එහා පැත්තට පනින්න යද්දි. මම සාය ඇද්දත් ඒ ක ගැලවුණේ නෑ. මට පස්සේ එන්න ආපු කලිඳු අයියා වැස්සෙම නැවිලා ඒ පැටලිල්ල ලිහන්න හැදුවේ මම ඒක කරන්න කලින්. මම අපහසුතාවයට පත් වුනත් මම එහෙමම හිටියා. වැස්සෙන් අපි දෙන්නම හොඳටම තෙමුණා. අන්තිමට කලිඳු අයියම රේන්දේ මුදවලා දුන්නා. ඔහු මුළුමනින්ම තෙමිලා. ඔහුගේ සුදු කමිසේ ඇඟටම ඇලිලා. මට ඔහු ගැන ඇනුකම්පාවක් දැනුනා.
"ළමයිනේ දුවලා ගෙට එන්න..." පුංචම්මා දොරකඩට ඇවිත් කෑ ගහනවා.
අපි දෙන්න ඉක්මණට ඒ දිහාට දිව්වා.
"හපොයි! හොඳටම තෙමිලා. වැස්ස කඩා වැටෙනකල්ම දැනුනේ නැද්ද හැබෑට?" පුංචම්ම ඇහුවා.
සාලේ අපි දෙන්න හිටගෙන උන්නු තැන් වල වතුර පැල්ලමක් එකතුවෙලා.
"පුතේ...අර නා න කාමරේට ගිහින් දැන් නා ගන්න. නැත්තම් හෙම්බිරිස්සවක් වත් හැදෙයි. දැන් ඇඳගන්න මම බාප්පාගේ ඇඳුමක්වත් දෙන්නම්" පුන්චම්මා එහෙම කියලා මා දිහාට හැරුණා. "ඔයා අයියගේ ඇඳුම් වොෂින් මැෂින් එකට දාලා වේලලා දෙන්න"
කලිඳු අයියා උපැස් යුවල පිහින ගමන් මා දිහා බැලුවා.
"මම එන්නම්" ඔහුට කියලා මම උඩ තට්ටුවට ආවේ ඇඳුම් මාරු කර ගන්න. ඇඳුම් මාරු කරගෙන යද්දි කලිඳු අයියා පේන්න හිටියේ නෑ.
ඉක්මණට ඔහුව යවන්න හිතාගෙන හිටයත් සිද්ධ වුණේ වැස්ස නිසා මුළු හවසම ඔහුට අපේ ගෙදරම ගත කරන්න වුණ එකයි. මම ඔහුගේ ඇඳුම් ටික වේලලා දුන්න. රෙදි සෝදන යන්ත්‍රෙට දාලා.
"අනේ පුතේ මේ ටික වේලිලා මදි. අයන් කරලා දුන්නොත් මොකෝ"
කලිඳු අයියට තේ එකක් දීල මැදගෙට ආපු පුංචම්ම කිව්වේ, මම සෝදලා අරගෙන ආපු ඇඳුම් ටික අල්ලලා බලලා. අන්තිමත මට ඒකත් කරන්න වුණා. මම දත්මිටි කමින්, පුංචම්මත් එක්ක අමනාපෙන් ඒක කලා.
"මං නිසා ගොඩක් කරද වුණා නේද?" රෙදි ටික කලිඳු අයියා අතට දෙද්දි  ඔහු ඇහුවා.
"අනේ නෑ. ඕක මොකක්ද?" මම බොරු හිනාවක් පාලා කිව්වා.
ආයෙමත් සාලේ උන්නේ අපි දෙන්න විතරයි. පුංචම්මා මහා සෙනගකට උයන්න තියෙන කුස්සි අම්මෙක් වගේ කුස්සියෙන් හෙල්ලෙන්නේ නෑ.
"නංඟි..." කලිඳු අයියා මාව ඇම්තුවා.
"ම්ම්" මම ඔහු දිහා බැලුවා. ඒ ඇස් දෙක එක තප්පරේකට මගේ දෑස් වල රැඳුනා. හිත යාන්තම් සසැලුනා ඉස්සරෝම කාලෙකදි වගේ. මම අහක බලාගත්තේ ඒකයි.
"ඔයා නොදන්නවට, මම ඔයා ගැන ගොඩක් හිතනවා. ඒකයි මං ඉඩක් තියෙන හැම වෙලේකම ඔයා බලන්න එන්නේ"
මගේ හිත ගැහෙන්න ගත්තා. කලිඳු අයියා කතා කරන විදියට ඔහුට නිර්දය විදියට මුකුත් කියන්න මට හිත් දුන්නේ නෑ.
"ඔයා ඒකට අකමැති නම් මං ආයෙත් නෑවිත් ඉන්නම්. ඒත් මම ඔයාගෙන් එක දෙයක් ඉල්ලන්න ඕන"
මම ඒ මොකකද කියලා අහන්න ගියේ නෑ.
ඔයාගේ  තීරණේ මොකක් වුණත් මගේ හිත මං ඔයාට කැප කරලා ඉවරයි. ඒක ඔයා මතක තියා ගන්න,  ඔයා තීරණයක් ගන්න හිතද්දි"
ඔහු කියන්නේ හැඟිම්බරව. මම හිටියේ නොසන්සුන් වෙලා.
"ඔයාට කවදාවත් දුකක් නොදී බලාගන්න මට පුළුවන්. ඔයාගේ අප්පච්චිට ඕනත් ඒකයි"
මම ඔහු දිහා බැලුවා එහෙම කිව්වාම.
මේ ඉන්නේ ඉස්සරෝම දවස් වල, ආදරේ ගැන තේරෙන්නෙවත් නැති කාලේ මගේ හිත හැඩි කරපු  කලිඳු අයියම නේද කියලා එවෙලේ මට හිතුණා. මට ඔහු ගැන ලොකුම ලොකු අනුකම්පාවක් දැනෙන්න ගත්තා. මම ආයෙත් බිම බලා ගත්තා.
"ඉන්දීවරී..." කලිඳු අයියා කතා කලේ මට කියලා තේරෙන්න මොහොතක් ගියේ ඒ නම කියලා මට වැඩිපුර කවුරුවත් කතා නොකරන නිසා. මම ආයෙත් හිස ඉස්සුවා.
"මං ඔයාට ආදරෙයි"
හිත ලොකූ බරකින් මිරිකිලා යනවා වගේ ඒවචන කීපය ඇහෙද්දි මට දැනුනා. මම එතන නොයිඳ කුස්සියට දුවලා ගියේ සර්වාංගෙම ගැහෙද්දි.
ඊට පස්සේ ඔහු පිට වෙලා යද්දිවත් මම ඔහුගේ මූණ දිහා බැලුවේ නෑ. එහෙම බලන්න බැරි කමක් මට දැනුනා.
"ආයෙත් දවසක එන්න පුතේ. පරෙස්සමින් යන්න" පුංචම්ම කිව්වා.
කලිඳු අයියා මා දිහා බලපු බව මට තේරුණා.
"මං යනවා ඉන්දීවරී..."

6 comments:

  1. මම අදත් කියෙව්වා ඔන්න ..

    ReplyDelete
  2. හ්ම්ම්ම්, බලමුකෝ ඉස්සරහට ඉන්දීවරී මොන කරයිද කියල......

    ReplyDelete
  3. mama hama episod ekakema kiyewwa Maxxaaaa

    ReplyDelete
  4. waiting for the next part!!!!!!!!

    ReplyDelete
  5. අය්යෝ සෙනසුරාදා , ඉරිදා .. නිවාඩු ද අක්කි ?? :(

    ReplyDelete
  6. @ Panchi: thanksss :)

    @danula&dishan:thank u too...
    ඉන්දීවරී ඇත්තටම මොනා කරයිද මන්දා...

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....