Wednesday, November 2, 2011

හතලිස් තුන් වෙනි දිගහැරුම


පහුවදා මම නැගිට්ටේ දාහක් ප්‍රාර්ථනා හිතේ පුරෝගෙන. අපි මුණගැහෙන්නේ කොච්චර කාලෙකින්ද?
"පුංචම්මා මං උදේ ලයිබ්‍රි ගිහින් එන්නම්" මං පුංචමට කිව්වේ බොරුවක් නෙවෙයි. මම උදේ ලයිබ්‍රි යන්නත් හිතාගෙනයි උන්නේ.
"ඉන්දි...මේ අප්පච්චි කතා කරනවා"
මම උදේ කෑම කාලා ඉවර වුණා විතරයි, පුංචම්මා මට කතා කලා.
"ඔව්, අප්පච්චි" මම කතා කලා.
"අද උදේ දුව ලොකු වැඩක් නෑ නෙද?" අප්පච්චි ඇහුවාම මට දැනුනේ කුතුහලයක්.
"ම්ම්...ඇයි අප්පච්චි?"
"මුකුත් නෙවෙයි, මම කලිඳු පුතාට කිව්වා ඔයා මේ දවස් වල නුවර ඉන්නේ ඒ නිසා ඔහේ ඇවිල්ල යන්න කියලා. ඒ පුතාට අද එන්න පුලුවන් කිව්වා. එයා උදේ ඒවි. අද එයාට ලෙක්චර්ස් නෑ කියපු නිසා මම කිව්වා යන්න කියලා. අඳුනගන්නත් එක්ක හොඳයි නේ"
අප්පච්චි එහෙම කිව්වාම මගේ හිත කඩා වැටුණා වගෙයි මට දැනුනේ. අප්පච්චි මොනවා කරනවද මන්දා.
"අප්පච්චි මං උදේ ලයිබ්‍රි යන්නයි හිටියේ" මම කිව්වේ අඩු ගාණෙ ඈඅ නිසාවත් මට මේකෙන් ගැලවීමක් ලැබෙයිද කියලා.
"ඒ ළමයා ඒ තරම් වෙලා ඉන්න එකක් නෑ. මං කියන්නම් ඔයාව ලයිබ්‍රි දාන කියලා ඕන නම්"
ඒ පාර තවත් එකක්.
"අනේ එපා. මම මොනා හරි කරන්නම්කෝ අප්පච්චි"
බැරිම තැන මම කිව්වා.
උදේ ප්‍රබෝධමත් වෙලා තිබ්බ හිත දැන් මැලවිලා. මේ ගෝතයාටත් අදම එන්න ඕන වුණා නේ. මම හිතාගෙන හිටියේ උදේ අපූර්ව හම්බවෙලා හවස පාඩම් කරන්න. ගිය සතියෙම වගේ පාඩමක් නොකෙරුන නිසා විභාගෙ ගැන පොඩි බයකුත් මට තිබුණා. ඒ සේරමත් හරි මම අපූර්වට මොකද කියන්නේ? මම දහ අතේ කල්පනා කලේ දැන් මොකද කරන්නේ කියලා.
"මොකෝ මේ අහස පොළව ගැටලන්න වගේ කල්පනා කරන්නේ ඒ පාර"
ගෙයි අතු ගාමින් හිටපු පුංචම්මා මගෙන් ඇහුවා. මම විස්තරේ පුංචම්මට කිව්වාම ඈ නම් සතුටු වුණා.
"කොච්චර හොද!මටත් බලාගන්න පුළුවන් වෙනවනේ"
මම පුංචම්මට ගේ අතු ගාන්න ඉ දීලා කුස්සිය පැත්තට ගියේ අපූර්ව පේන්න ඉඳිද බලන්න. ඒත් කවුරුවත්ම හිටියේ නෑ. අම සුසුමක් හෙලලා ආපහු කමරේට ගියා. අද අපි දෙන්නට කියපු වෙලාවට හම්බවෙන්න බැරි වේවි.
ඇඳ උඩ, මැදලා දාලා තිබ්බ අපූර්ව ආසම මගේ සුදු පාට කොට රැලි ගවුම දිහා බලාගෙන මම හිතුවේ දුකෙන්.
ඊට පස්සේ මම  අපූර්වට කෝල් එකක් ගත්තා. ඒත් ඒක ඉස්සුවේ සුධර්මා ඇන්ටි.
"අපූර්ව..."
"පුතා නම් තාම නිදි. කවුද මේ මෙත්මා දූද?"
"ඔව් ආන්ටි"
"මොකක්ද කියන්න ඕන? සුධර්මා ඇන්ටි ඇහුවට මට කියන්න පුළුවනෑ හම්බවෙන්න එන්න වෙන්නේ නෑ කියලා?
"නෑ ආන්ටි, මං කතා කලා කියන්නකෝ"
"ඕකේ. මං කියන්නම්"
මගේ වෙලාවට අපූර්වත් තාම නිදි.
මට කරන්න දෙයක් තිබ්බේ නෑ. වෙන දෙයක් වෙච්චාවේ කියලා බලං ඉන්නවා ඇරෙන්න.
කලිඳු අයියගේ වාහනේ අපේ ගෙදරට හරවද්දි උදේ නවයහමාර පහු වුණා විතරයි. සාලේ හිටපු මම කුස්සියට දිව්වා.
"මේ මොකෝ?"
 කුස්සියේ උන්න පුංචම්ම ඇහුවේ මා දිහා විමසුම් බැල්මක් හෙලලා.
"කලිඳු අයියා..."
පුංචම්මට හිනාවක් ගියා.
"ඉතිං මෙහේ දුවගෙන ආවේ? ගිහිං පිළිගන්න එපැයි"
"අනේ මට බෑ. පුංචම්ම යන්නකෝ"
පුංචම්මා ආයෙත් මට වද නොකර සාලේ දිහාට ගියා. මාත් හෙමිහිට පස්සෙන් ඇදුනා.
"එහෙනම් ඉන්දි කතා කරන්නකෝ, මම බොන්න දෙයක් හදාගෙන එන්නම්"
සියළු පිලිගැනීම් ඉවර වෙලා පුංචම්මා ගෙට ගියා අපිව තනි කරලා. මම පුළුවන් තරම් කලිඳු අයියට මූණ නොදී ඉන්න උත්සාහ කලා. වෙලාව නවයයි හතලිහයි. අපූර්ව නැගිටලා ඇත්ද?
"මං ඇවිල්ලා ඔයාට කරදර කලාද මන්දා? අප්පච්චි කිව්වා හෙට ඔයාට විභාගෙකුත් තියෙනවා කියලා"
කලිඳු කියනවා.'එහෙනම් ආවේ මොකටද?' හිතෙන් බැන බැන මම හිනා වුණා.
"නෑ, කමක් නෑ"
"ඔයා තව ගොඩක් දවස් මෙහේ ඉන්නවද?" ඔහු ඇහුවා.
"කියන්න බෑ. කොහොමත් මම ඉක්මණට ගෙදර යන්න ඕන" මම කිව්වා.නැත්නම් මේ මනුස්සයා හැමදාම මෙහේ එන්න තියා ගනී.
පුංචම්ම තේ අරන් ඇවිත් පිළිගන්නලා ආයෙමත් කුස්සියට ගියා.
"මං එන්නම් කෝ. පොඩි වැඩක් තියෙනවා"
මට පුංචම්මා ගැනත් දැනුනේ තරහක්. දහයට කාලයි. 'අපූර්ව ලෑස්ති වෙනවා ඇත්ද. තාම නිදි නම් හොඳයි'
"ඔයා මං අහපු දේ ගැන තාමත් හිතුවේ නැද්ද?" කලිඳු අයියා තේ එක අතට අරගෙන ඇහුවා.
"නෑ..." මම එකෙපාරටම කිව්වා."තාම හිතන්න වෙලාවක් ආවේ නෑ. ඔයාලා ඇවිල්ලත් තාම සතියක් වත් නෑනෙ"
කලිඳු අයියා මගේ දිහා එක එල්ලේ බලද්දි මට දැනුනේ අපහසුතාවයක්.
"පුදුමයි! ඒ ආපු දවසේ ඉඳන් මම හැම වෙලේකම වගේ ඔයා ගැන හිතුවා"
මගේ උගුරකට වේලුණා ඒ කතාව ඇහුවාම. මම බිමට නෙත් යොමා ගත්තා.
"කමක් නෑ. ගෑනු ළමයි ඔහොම තමයි නේ. ඔයා කැමති දවසක් ගන්න. ඒත් මම කැමතියි ඔයා මාව ඉක්මණට මේ දෙගිඩියාවෙන් මුදවනවානං"
කතා කලේ ඔහු විතරමයි. මම මොනවා කියන්නද? දහය වෙන්න තව විනාඩි තුනක් වත් නෑ. මම ඔරලෝසුව දිහා බැලුවේ දුකෙන්.
"ඔයාට පාඩම් කරන්න ඕන නම් මම යන්නම් නංඟි" කලිඳු අයියා කිව්වේ මම නිතරම ඔරලෝසුව දිහා බලපු නිසාද මන්දා. මම මුකුත් කියන්න කලින් පුංචම්මා ආයෙත් අපි අතරට ආවා.
"පිස්සුද? කෑම ටිකක් කාලම යන්න ඉන්න පුතේ. ඉස් ඉස්සෙල්ලම ආපු දවස නේ"
මට පුංචම්ම ගැන දැනුනේ අමනාපයක්. මම ගැලවෙන්න පොටක් කලපන්න කරද්දි, පුංචම්මා කලිඳු අයියට ඇල්බම් පෙන්නන්න පටන් ගත්තා. මගේ පුංචි කාලේ පින්තූරත් ඒ අතරේ තිබුණා. මගේ ඉවසීම ඉවර වෙන්න ලං වෙලයි තිබුණේ. අපූර්ව මට කෝල් කරන්න ඇති. මම හිතුවේ දුකෙන්.
කොහොමින් හරි අන්තිමට කලිඳු අයියා යද්දි එකොලහයි කාලයි. මගේ ඉවසීම ඒ වෙනකොටත් ඉවර වෙලයි තිබුණේ. ඒ නිසාම මම උන්නේ එක වචනයක් වත් නොකියා.
"හෙට විභාගෙට සුභ පතනවා. අපේ අම්මාත් ඒවි හෙට. පුළුවන් වුණොත් මාත් එන්න බලන්නම් හවසට"
එහෙම කියලා කලිඳු අයියා යන්න ගියා.
තාප්පේ නිසා නොපෙනුනත් මට ඉබේටම බැලුනේ අපූර්වගේ ගෙයි දිහාව. ඊට පස්සෙ මම උඩ තට්ටුවට දිව්වේ ෆෝන් එක ගන්න.
"දැන් සිය පාරක් විතර ඕක වැදුනා. අරන් එන්නත් බෑනෙ අරයා ඉද්දි. ඒ නිසා මම නිකම් හිටියා, අපූර්ව නේද?"
අපර්ණා කිව්වේ මම කාමරෙට ගිහින් ෆෝන් එක අතට ගද්දි.අපූර්ව විසි එක පාරක් කෝල් කරලා! මට අපූර්ව ගැන දැනුනේ දුකක්. ඒ වගේම මං ගැනත්.
මම කතා කරන්න බලද්දි අපූර්ව ෆෝන් එක ඕෆ් කරලාද කොහෙද. මට ඇඬෙන්න තරම් දුකක් දැනුනා.  ඒ පාර මම ගත්තේ ගෙදරට. ආයෙමත් එහා පැත්තෙන් කතා කලේ සුධර්මා ඇන්ටි.
"අපූර්ව ප්ලීස්"
"හෝල්ඩ් ඕන්.."
"අපූර්ව හියර්...කවුද මේ?" අපූර්වගේ හඬ ඇහුනාම මට දැනුනේ කියා ගන්න බැරි තරම් දුකක්.
"අපූර්ව මම..."
ඒ පාර ඔහු නිහඬ වුණා.
"අනේ ෆෝන් එක තියන්න එපා ප්ලීස්"මම ආයාචනා කලේ ඔහු මට් අකතා නොකරාවි කියන බයට.
"මං ඔයා එක්ක තරහම තරහයි..." ඔහු කිව්වා.
"මං දන්නවා. අයෑම් රියලි රියලි වෙරි සොරි. මට එන්න විදියක්ම තිබ්බේ නෑ. අප්පච්චිගේ යාලුවෙක් ආවා. අප්පච්චි මට ගෙදර ඉන්නම කිව්වා. ඒකයි එන්න බැරි වුණේ"
මම කිව්වා විස්තරේ බාගෙට.
"මං කී පාරක් කෝල් කලාද?අඩු ගාණේ මට කියන්න එපැයි"
මගේ හිත රිදිලයි තිබුණේ. ඒත් අපූර්වගේ වැරැද්ද්ක් නෑ.
"ෆෝන් එක තිබ්බේ උඩ. මං ඔයාට උදේ කතා කලා. එවෙලේ ඔයා නිදි"
අපූර්ව සුසුමක් හෙලුවා.
"හරි, එහෙනම් දැන් එන්නකෝ"
මම වෙලාව බැලුවා. දොලහටත් ලඟ වෙලා.
"අනේ...මට දැන් නම් එන්න වෙන්නේ නෑ. හෙට විභාගෙට පාඩම් කරන්න ඕන. ප්ලීස් මා එක්ක තරහා වෙන්න එපා"
අපූර්ව ආයෙත් නිහඬයි. ඔහු කතා නොකර ඉන්නේ තරහා ගිහින් නිසා වත්ද?
"අපූර්ව.."
ඒත් ඔහු නිහඬයි.
"අපි හෙට හවසට හම්බවෙමු අපූර්ව. වෙනදා වගේ"
මම කිව්වා.
අපූර්ව ආයෙත් සුසුමක් හෙලුවා.
"ඔයා එක්ක තරහා වෙන්න බැරි තරම් මං ඔයාට ආදරේ වැඩියි මෙත්මා. ඒත් එහෙමයි කියලා මගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන්න එපා"
කවදාවත් අපූර්ව මට එහෙම කතා කරලා තිබ්බේ නෑ. මගේ හිත තවත් ටිකක් රිදුණා. මගේ අසරණකම අපූර්ව දන්නවානං?
"ඔහොම නපුරු කතා කියන්නේ ඇයි අපූර්ව? මම හිතලා කලා නෙවෙයි නේ. මම හෙට සේරම ඔයාට කියන්නම්. අනේ මා එක්ක තරහා වෙන්න එපා"
"තරහා නෑ, මං කිව්වනේ. ඒත් මට දුක හිතුණා"
මම ලොකු හුස්මක් ගත්තා. තවත් මේ විදියට කතා කලොත් මට ඇඬෙනවා සිකුරුයි.
"හරි, දැන් ඔයා පාඩම් කරන්නකෝ. හෙට උදේ නේද එක්සෑම්? අපි හවසට හම්බවෙමු. වරද්දන්න එපා..."
ඒ පාර ඔහුගේ ස්වරය මුදුයි.
"මට සමාවෙන්න අපූර්ව"
"හරි ඉතිං, දැන් ඕවා ගැන නොහිතා පාඩම් කරන්නකෝ ම්ම්..මම තියන්නම්"
"හොඳයි"
අපූර්ව ඇමතුම විසන්ධි කලා. මම සුසුමක් හෙලලා ලය සැහැල්ලු කර ගත්තා. හෙට හැමදෙම අපූර්ව දැනගනීවි. ඊට පස්සේ මොකක් වේවිද? පාඩම් කරන අතරතුරත් මම කල්පනා කලේ ඒ දේ.

No comments:

Post a Comment

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....