Tuesday, July 26, 2011

සිව්වන දිගහැරුම

"අමා බුද්ධාගමේ නේද?" පංති අහවර වෙලා බස් නැවතුමට අවිදගෙන එන අතරතුර මම අමා ගෙන් ඇහුවා. අමා මම දිහා බැලුවේ පුදුමෙන් වගේ.
"ඔව්. ඇයි එහෙම අහන්නේ?"
"හපෝ... බය වෙන්න එපා. මම නිකම් ඈහුවේ. මට ආසයි මාලිගාවෙ යන්න අමා. අපි දවසක යමුද?"
"ඇයි ඔයා මාලිගාවේ ගිහින් නැද්ද?" අමා ඇහුවා.
"ඔය ඉතිං ...ගිහින් තියෙනවා තමයි. ඒත් ආයෙ ආයෙ යන්න ආසයි. කොච්චර ගිතත් ඇති වෙන්නේ නෑ.'
අමා කට කොනකින් හිනාවුණා.
"හරි හරි. යමු යමු.හැමදාම වුණත් යන්න නම් බැරියැ."
"හැමදාම නම් බෑ. අපි කලින් ක්ලාස් ඉවර වුනු දවසක යමු."
අම්මා හිස වනුවා.
දැන් පංති යන්න පටන් අරන් ටික කලක් ගිහින් හන්ද යන එන ගමන මට හුරු වෙලයි තිබුණෙ.ඒ නිසා හමදාම හර්ෂි අක්ක එනකල් ඉන්න ඕන වුණේ නැහැ.
"මම එහෙනම් යනවා මෙත්මා. පරිස්සමෙන් යන්න."
අමා ක්වීන්ස් හෝටලය ලඟදි මගෙන් සමු ගත්තා.මම හෙමිහිට අම්පිටියේ බස් නැවතුම ලඟට පියවර මැන්නා.
වැඩ අහවර වෙලා යන මිනිස්සු, ඉස්කෝලෙ ළමයි, වැව රවුමේ තැන තැන උන්නු හිඟන්නෝ මගේ ඇස ගැටුනා. මේ නන්නාඳුනන මිනිස්සු මැද මමත් තනි වෙලා නේද කියලා මට හිතුණා. ඒත් කවදාහරි අපි අපේ දේවල් තනියෙම කර ගන්න ඉගෙන ගන්න ඕන නේ. මම පටන් අරන් තිබුණේ පළවෙනි පාඩම.මෙහේ පරිසරය, ජීවන රටාව ඒකට තෝතැන්නක්.ජීවිතේ මේ තරම් කටුක බව, අමාරු බව මට මෙහේදි තරම් වෙන කොහේදිවත් මට දැනිලා තිබුණේ නැහැ.තනියෙම හුඟක් දේවල් කර ගන්න වෙද්දි මට තේරුම් ගියා මම තව දුරටත් ගෙදරට වෙලා නට නට හිටපු පුංචි කෙල්ල නෙවෙයි කියලා. ජීවිතේ වගකීම් වල බර මට දැනෙන්න පටන් අරන් තිබුණා.
"මෙත්මා..." මගේ කල්පනා දැහැන බිඳුනේ කවුදෝ මට කතාකරන හඬින්. මම කලබල වුණා. මේ නුවර නගරයේ මට නමින් කතා කරන්න උන්නේ හර්ෂි අක්කා විතරයි.මම ඉක්මණට පිටිපස්ස හැරිලා බැලුවා.මගේ තිගැස්ම අඩු වෙන්න පටන් ගත්තේ මා ලඟට හිනාවෙමින් එමින් උන්නු අපූර්ව දැකලා.මට පුදුමයකුත් නොදැනුනා නෙවෙයි.
"සොරි නම කියලා කතා කලාට. අක්කි කියලා කෑ ගහන එක හරි නෑ කියලා හිතුණා." අපූර්ව කිව්වේ හති දම දම.
"මම ඒත් බැලුවා කවුද කියලා මගේ නම අඬගැහුවේ" මම හිනාවක් මුවට නගා ගත්තා.
" දේවානම්පියතිස්ස රජතුමා වගේද?" අපූර්ව ඇහුවා.
"ඒ කිව්වේ?"
"ඇයි අර මිහිඳු හාමුදුරුවෝ ඇවිත් තිස්ස තිස්ස කියල රජතුමාට කතා කලාම, රජතුමා වටපිට බැලුවලුනේ නේද කවුද මේ තමන්ට නම කියලා කතා කරන්න තරම් නිර්භය කෙනා කියලා...."
අපූර්ව කිව්වාම මට හොඳටෝම හිනා ගියා.
"අනේ නෑ. එහෙම නෙවෙයි.මම අඳුරන අය මෙහේ අඩුයි නේ. ඒකයි මම පුදුම වුණේ කවුද කියලා.ඉතින් මල්ලි මොකද මේ අද පයින්. තාත්තා අවේ නැද්ද?"
මම අපූර්ව එක්කම ඉස්සරහට ඇවිදගෙන ආවා.
"ඩැඩා හැමදාම එන්නේ නෑ අක්කි. වැඩ කලින් ඉවර වුණ දවසක තමා එන්නේ."
"එහෙමද? එතකොට ඔයා හවස් වුණේ මොකෝ?"
"අද අයි. ටී. ක්ලබ් එකේ රැස්වීමක් තිබ්බා හවස. මමයි ඒකෙ ප්‍රෙසිඩන්ට්. අපි හදන්නේ ප්‍රදර්ශණයක් කරන්න. ඒ ගැන කතා කර කර ඉඳලා හවස් වුණා. දැන් නම් හොඳටම බඩත්ගිනියි."
මට අපූර්ව ගැන දුකක් දැනුනා. ඇත්තටම දැන් කාලෙ  ඉස්කෝලෙ  ළමයින්ට මොන තරම් වැඩ ද? ඒ එක්කම මට මතක් වුණා අමා එක්ක කන්න දවල් ගත්තු බිස්කට් එක.
"මම ගාව බිස්කට් තියෙනවා දෙන්න ද?" මම ඇහුවා.
"අනේ එපා අක්කි තෑන්ක්ස්. දැන් ඉතිං ගෙදරම ගිහින් කනවා"
"ගෙදර යන්න අඩුම ගාණෙ තව විනාඩි විස්සක් වත් යයි. මෙන්න මම බිස්කට්  එක එළියට ගත්තා. කන්න."
මම බිස්කට්  එක එළියට අදින ගමන් කිව්වා.අපූර්ව ඇස් ලොකු කරගෙන මා දිහා බැලුවා.
"මෙතන? මෙතන කන්න බෑනේ අක්කි. දැන් ඕක අදින්න එපා."
"අනේ ලමයෝ මෙතන කෑවට මක් වෙනවද? මොකෝ කනවා කියන්නේ නරක වැඩක්යැ? පොලිසියෙන් අල්ලන්නේ නෑ, කන්න."
මම බල කලා.
අපූර්ව මං දිහා බලලා ටිකක් කල්පනා කලා.
"ඕක දා ගන්නකෝ. අක්කි මේ... දැන් මෙතනට එන බස් සේරම එන්නේ සෙනග පිරිලා ඉතිරිලා. හිට ගෙන හිර වෙලා යන්න ගියාම ඔයාට එපා වෙයි.මං කියන්නද අපි ටොරිංටන් එක ලඟට ගිහින් නැගලා එමු. ඉඳගන්නත් පුලුවන් නේ."
අපූර්ව ඊට පස්සේ මට කිව්වා. මමත් ඒකට කැමති වුණේ බස් වල තිබ්බ තදබදය මටත් ඇති වෙලා තිබුණ හන්දා.
"ටොරිංටන්  එක ලඟට හුඟක් දුරද?" මම ඇහුවේ වැව රවුම ලඟින් හැටන් නැෂනල් බැංකුව පැත්තට පාර පනින ගමන්.
හවස කියලා වෙනසක් තිබුණේ නෑ, පාරේ හැම වෙලේකම වාහන මහ ගොඩක් එහාට මෙහාට ගමන් කරමින් තිබුණා.
"මෙහේ පාර මාරු වෙන්න තමා බය. මට තාමත් හුරු නෑ වගේ." මම පදික වේදිකාවට ගොඩ වෙලා අපූර්වට කිව්වා.
"හ්ම්. ඔව්. තනියෙම යද්දි නම් හුඟක්ම පරිස්සම් වෙන්න ඕන."

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....