"මට...යන්න...දෙන්න.." මම අත මුදා ගන්න හැදුවත් ඔහුගේ අත යදඬුවක් වගේ මගේ අත හිර කරගෙනයි උන්නේ.
"මං ආයෙත් කියනවා, මං එච්චර හිතන්නේ නැතුව ඒක කිව්වේ. ඇත්තටම කලිඳු කියන්නේ අපේ ආදරේ ඉස්සරහදි මට විහිලුවක්ම විතරයි මෙත්මා. එයාට කවදාවත් බෑ අපි දෙන්නව ඈත් කරන්න. ඒකයි මම විහිළු කලේ. ඒක මේ තරම් ඔයාගේ හිත රිදවයි කියලා දන්නවා නම් මං කීයටවත් ඒක කියන්නේ නෑ"
අපූර්ව කිව්වේ ආයාචනාත්මකව.
"මට ඒකෙන් වැඩක් නෑ" මම කිව්වා. තාමත් මගේ හිතේ තරහ නිවිලා තිබුණේ නෑ.
"අනේ ප්ලීස් ඔහොම කරන්න එපා"
"මට යන්න දෙනවද නැද්ද?" මං ආයෙත් අත ඇද්දා.
"නෑ"
මං ඒ පාර නිහඬවම හිටියා, මූණත් නපුරු කරගෙනම.
"අයෑම් රියලි සොරි, රියලි, රියලි වෙරි සොරි. මා එක්ක තරහා වෙන්න එපා පැටී..."
අපූර්ව පුරුදු දයාබරත්වයෙන් කිව්වා. මගේ ඇස් වලට කඳුළු ආවා.
"ඇයි එහෙම කළේ අපූර්ව?"
අපූර්වගේ මූණ වෙදනාවකින් පිරුණා. ඔහු මගේ අතින් හෙමිහිට මාව ලඟට ඇදලා අරන් මගේ හිස ඔහුගේ පපුවට තෙරපගත්තා. මම ඇස් පියාගද්දි කඳුළු බිංදු ගොඩක් සට සට ගාලා බිම පතිත වුණා.
"ආය කවදාවත් ඔහොම විහිලුවටවත් කියන්න එපා අපූර්ව..."
"නෑ. කවදාවත් නෑ. ඒ වගේමයි ඔයාව වෙන කාටවත් අයිති වෙන්න මම ඉඩ තියන්නෙත් නෑ. ඔයා මගේ විතරමයි"
අපේ මුල්ම විරසකය ඔන්න ඔය විදිහට නිමා වුණේ, ආදරේ තවත් ටිකක් වැඩිකරලා.
"ඉන්දී" හවස මම අපර්ණා එක්ක පුංචි ඇඳුම් මහන හැටි ගැන කතා කර කර ඉද්දි පුංචම්ම මට කතා කළා.
"ඇයි පුංචම්මා?"
ඒත් මට උත්තරයක් ඕන වුණේ නෑ. දොරකඩ හිටගෙන උන්නේ ලස්සන මල් පොකුරක් අතින් ගත්තු කෙනෙක්. ඒ මල් පොකුර සුදු පාටයි, කහ පාටයි රෝස මල් වලින් හදපු එකක්.
"ඔයාටලු" පුංචම්මා කිව්වාම මම පුදුම වුණා.'කවුද මේ මට මල් එවන්නේ?
ඒ ප්‍රශ්ණේ හිතේ තියාගෙනම මම මල් පොකුර අතට ගත්තා, ගෙනාපු කෙනා දිපු රිසිට් එක අත්සන් කරලා.
"කාගෙන්ද?" පුංචම්මා ඇහුවා.
මම මල් පොකුර මැද තිබුණ කාඩ් පත දිගෑරියා.
ඔබටයි මේ ආරධනා... ඔබටයි මේ ආයාචනා...
හිරු සඳු ඇති තුරා, සසර සරනා තුරා...
ඉන්නට බෑ තරහා වෙලා...
ඒකෙ ලියලා තිබ්බේ එහෙමයි. නමක් නොතිබ්බත් ඒ දිගටි අකුරු අඳුන ගන්න මට නමක් ඕන වුණේ නෑ. මගේ මුවගට හිනාවක් නැගුනා, හිතට අපූර්ව ගැන ලොකු ආදරේකුත් ඒකතු වෙද්දි.
"කලිඳුගෙන්ද?" පුංචම්මා ආයෙත් ඇහුවා.
මම මුකුත් නොකියා හිනාවෙලා, ඈට ඕන එකක් හිතා ගන්න ඉඩ දීලා මල් පොකුරත් අරන් කාමරේට එන්න ආවා. අද සිද්ධිය ගැන අපූර්ව ගොඩාක් හිතලා වග මට තේරුණා. අපූර්වටත් කරන්න හිතෙන දේවල්!
No comments:
Post a Comment