Tuesday, November 1, 2011

හතලිස් එක් වෙනි දිගහැරුම


"පැංචී" අම්මා දොර ලඟ ඉඳන් මට කතා කරනවා ඇහෙද්දිත් මම උන්නේ ඇඳේ කල්පනා කර කර.
"මොකද මේ, දොරත් අගුලු දාගෙන?" මම දොර ඇරියම අම්මා ඇතුලට ආවේ එහෙම අහගෙන.
"නෑ අම්මා, මම මේ ටිකක් පාඩම් කරන්න කියලා බැලුවේ. එක්සෑම් එකට තව දවස් තුනයි නේ. ඊයෙත් බැරි වුණා නේ"
මම අම්මට බොරුවක් කිව්වා. මට පේන විදියට දැන් ඉතින් මට දිගටම බොරු තමා වැඩිපුර කියන්න වෙන්නේ.
මම ආපහු ඇඳ උඩින් ඉඳගත්තා. අම්මත් මගේ ලඟින්ම වාඩි වෙලා ලොකු කතාවක් කියන්න හරි බරි ගැහුණා. මම උන්නේ නොසන්සුන් වෙලා. අම්ම මොනවා කියාවිද කියලා දෙගිඩියාවෙන්.
"දුව මොකද හිතන්නේ?" අම්මා අහනවා.
"මොනවා ගැනද?" මං ඇහුවේ ඕනවට එපාවට.
"කලිඳු ගැන"
මං අම්මා දිහා බැලුවා.
"මං මොනා හිතන්නද?"
අම්මා මගේ දිහාට හෙලුවේ තියුණු බැල්මක්.
"ඇයි? යෝජනාව ආවේ අපටද?"
මම හුස්මක් ගත්තා. මගේ ඇස් වලට කඳුළු පිරුණේ අහේතුකව.
"ඇයි මාව ඉක්මණට දෙන්න හදන්නේ?" මං ඇහුවේ ඇඬුම්බරව.
අම්මගේ මූණේ හැඟීම් වෙනස් වුණා. බර හුස්මක් ගත්තු අම්මා මගෙ දිහා බැලුවේ අනුකම්පාවෙන් වගේ.
"මොනවද දරුවෝ මේ කියන්නේ?"
"මට දැන්ම බඳින්න බෑ අම්මා. මම තාම පොඩියි නේ"
ඒ පාර අම්මට ලා හිනාවක් ගියා.
"දැන්මම කරන්න කියනවා නෙවෙයි නේ. ඔයා එයාව ආශ්‍රය කරලා බලන්න. මම දන්න තරමට නම් කලිඳු හොඳ ළමයෙක්"
අම්මා කිව්වා. මම මුකුත්ම කිව්වේ නෑ.. ඒ ගැන කතා කරන් එකත් මට මහා වදයක් විදියටයි දැනුනේ.
"හ්ම්. අපි පස්සේ කතා කරමු. ඔයා එහෙම නම් පාඩම් කරන්න"
අම්මා කාමරෙන් යන්න ගියා.
හිතේ තිබුණ පුංචිම නිදහසත් අම්මා ඇවිත් ගියාත පස්සේ නැති වෙලා කියලා මට හිතුණා. මේ කරදර සේරම ගැන කාට හරි කියලා හිත නිදහස් කර ගන්න තිබ්බා නං. අක්කට, අපූර්වට, අයියට, පුංචම්මට මේ සේරම අයට කතා කරලා මට වෙන්න යන අසාධාරණේ ගැන කියන්න මට ඕන වුණා. ඒත් මං දැනං හිටියේ නෑ කතා කරන්න ඕන කාටද කියලා.
එක වෙලාවක කලිඳු අයියට කතා කරලා ඇත්තම කියන්න ඕන කියලත් මට හිතුණා. ඒත් ඊට පස්සේ මොනවා වෙයිද? කෝකටත් අපූර්ව එනකල් ඉන්නවා කියලා මම අන්තිමට තීරණය කලා.
පාඩම් කරනවා කියලා අම්මට කිව්වත්, පාඩම් කරන්නම් තරම් මනසක් මට තිබ්බේ නෑ. පොත දිහා බලාගෙන හිටියා විතරයි.
"පුංචි නෝනා..." මේ අතරේ කාමරේට එබුණේ මල්ලිකා නැන්දා."ලොකු මහත්තයා කතා කරනවා.
මං ආයෙම පොතට එබුණා.
"මං එන්නම්"
මේ හැම දෙයක්ම මට තේරුණේ වදයක් විදියට. මම කකුල් අද්ද අද්ද අප්පච්චි උන්නු තැනට ගියා.
අප්පච්චි හිටියේ සාලෙ. ඒ ලඟම ආච්චි මම්මා වූල් ගෙත්තමක් කරමින් හිටියා.
"මොකද මේ පැංචි ඈලි මෑලි දුබල ගතියෙන්?"
"මුකුත් නෑ අප්පච්චි" මම යන්තම් හිනා වෙලා අප්පච්චි ලඟින් වාඩි වුණා.
"රෑට කාලත් නෑ තාම" ආච්චි මම්මා කිව්වා.
"බඩගින්නක් නෑ"
"හ්ම්. හ්ම්. හිත පිරිලා නැතෑ නේද?" ආයෙමත් ආච්චි මම්මා කියනවා.
"ඔව්.ඔව්. මේ ඒකම තමයි" මං කිව්වේ අමනාපෙන්.
අප්පච්චියි, ආච්චි මම්මයි දෙන්නටම හිනා.
"දුවගේ මැඩම් නම් දුවට හොඳටම කැමතියි. කලිඳු පුතත් එහෙමයි. දැන් ඉතින් අපිත් දවසක් දාගෙන ඒ පුතාලගේ ගෙදර යන්න ඕන"
අප්පච්චි කියද්දි මං අහගෙන හිටියේ සැලෙන හිතින්. ඒ කියන්නේ දැන් හැමදේම තීරණය වෙලා ඉවරද?
"කේන්දර දෙකත් රන් රස වගේ ගැලපෙනවා කියලයි බලපු කෙන කියලා තියෙන්නේ" ආච්චි මම්මා කියනවා.
මගේ ඇස් උඩ ගියා. ඒ කියන්නේ කේන්දරත් බලලද? හිත පුදුමාකාර විදියට කලබල වෙලා.
"යෝජනාව තීන්දු කලාට දැන්මම වෙඩින් එකක් ගන්න ඕන නෑ. දුවට ඕන කාලයක් ආශ්‍රය කරන්න. අනික තාම වයස විසි එකයි නේ. ඒ දරුවත් විශ්ව විද්‍යාලෙන් පිට වෙන්න තව කල් තියෙනවනේ"
මම ගහක් ගලක් වගේ අහගෙන හිටියා. අප්පච්චිලා මගේ අනාගතේට සැලසුම් හදලත් ඉවරයි.
"දුව කලිඳු පුතාට කැමතියි නේද?"
අප්පච්චි එහෙම ඇහුවේ අන්තිමට. මං හිනා වුණේ අඬන්න  බැරි කමට.
"මං දන්නේ නෑ අප්පච්චි"
"ඒ මොකද එහෙම කියන්නේ?"
අප්පච්චිගේ හඬ වෙනස් වෙලා. මට බයක් දැනුනා.
"නෑ. එයා හොඳ ඇති තමයි. ඒත් මං කියන්නේ එක දවසි න් මනුස්සයෙක්ට කැමතිවෙන්න බෑනෙ. ඊටත් බඳින්න"
අප්පච්චි හිනා වෙලා මගේ හිස අතගෑවා.
"මේ කෙල්ල පැහිලා ඉන්න තරමක්. ඒ කියන්නේ මුණගැහිලා කතා කරන්න ඕන. හොඳයි එහෙනම්"
වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩා වැටුණා වගේ දෙයක් මට වුණේ. අකමැත්ත තරමක් හරි පෙන්නලා සහනයක් ගන්න ගිය මට වුණ දේ.
"මං යන්නද අප්පච්චි එහෙනම්. මම පාඩම් කර කර ඉන්න ගමන් මේ ආවේ"
මම එහෙම කියලා නැගිටලා කාමරේට එන්න ආවා.ඉදිරියට වෙන්න යන දේ ගැන මට හිතා ගන්න බැරි වුණා. මං කොහොමද කලිඳු අයියව බඳින්නේ? බඳිනවා කියන එක සෙල්ලමක් නෙවෙයි. ජීවිත කාලෙම මම කොහොමද වෙන කෙනෙක් එක්ක ඉන්නේ, අපූර්වත් එක්ක මිස? මම මොකද කරන්නේ? පාඩම් කරනවත වඩා මම කලේ ඒ ප්‍රශ්ණ වලට උත්තරයක් හොයන්න වෙහෙසෙන එක.
අපූර්ව හෙට ආයෙමත් ලංකාවට ඒවි. වාසනාවට වගේ විභාගෙ තිබ්බෙත් ඒ දවස් වල නිසා මට නුවර යන්න අවස්ථාවක් ලැබෙනවා. විභාගෙට දවස් දෙකකට කලින් නුවර යන්න ඕන කියලා මම අප්පච්චිට කිව්වේ ඒකයි. හෙට අපූර්ව දකින්න ලැබේවි කියන එකම සැනසීම හිතේ දරාගෙන මම නින්දට වැටුණා.

3 comments:

  1. අම්මල තාත්තල කියල මෙහෙම දරුවන්ගේ ජිවිත ගැන තීරණ ගන්න එකටනං මම එකහෙලාම විරුද්දයි

    ReplyDelete
  2. හොඳ වෙලාවට හම කෙනාම එහෙම නෑ. ඒත් මීට අන්ත අයත් ඉන්නවා.

    ReplyDelete
  3. meka puduma lokayak ne.......akki.........

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....