Sunday, November 6, 2011

හතලිස් අට වෙනි දිගහැරුම

"ඊයෙත් එතකොට කලිඳු ආවා?" අපූර්ව මගෙන් ඇහුවේ සංස්කෘතික මධ්‍යස්ථානය ඉස්සරහ වාහනේ නවත්තලා. දළදා මාලිගාව පිටිපස්සේ පිවිසුමෙන් එද්දි තමා මේ ස්ථානය හමු වෙන්නේ. අපි ගියේ සංස්කෘතික මධ්‍යස්ථානයට එහාපැත්තේ තිබුණ 'අවන්හල'ට. අපූර්ව වාඩිවෙලත් උන්නේ කල්පනාවක.
මම ගෙදරින් ආවේ අනික් කෝස් එක බලන්න යනවා කියලා පුංචම්මට කියලයි.ඒත් මට ඕන වුණේ අපූර්ව හම්බවෙලා පැටලුණ සිතිවිලි ලිහා ගන්න විදිහක් හොයා ගන්නයි.
"එයා මොකද ඉතිං කිව්වේ?" අපූර්ව කල්පනාවෙන් මිදිලා ඇහුවා.
කලිඳු අයියා කියපු දේ අපූර්වට කියන්නේ කොහොමද කියලා මට තේරුණේ නෑ. ඒක මම කියන්න ඕනද කියලත් මම එක වෙලාවක හිතුවා. ඒත් අපූර්ව මේක දැනගන්නම ඕන.
"එයා කිව්වා..." මම මුමුණද්දි අපූර්ව මගේ දිහා බලාගෙන උන්නේ තියුණු බැල්මකින්."එයා කිවා..මට..ආදරෙයි කියලා"
"මොකක්?" අපූර්වගේ ඇස් උඩ ගියා."එහෙම කිව්වා?" අපූර්වගේ සාමාන්‍යයෙන් ප්‍රසන්න හිනාවකින් පිරිලා තියෙන මූණ අද අඳුරු වෙලා ගිහින්. මම ඔහු  දිහා නොබලා හිටියේ මා එක්කත් තරහා ගනීවි කියලා.
"ඔයා මොකද කිව්වේ?"
"මං මොනා කියන්නද? මං මුකුත් කිව්වේ නෑ"
අපූර්ව මගේ දිහාට නැවුණා.
"ඔයාට තේරෙන්නේ නැද්ද, ඔයා මුකුත් නොකියන එකෙන් වෙන්නේ තවත් එයාගේ බලාපොරොත්තු වැඩි වෙන එක කියලා?" අපූර්වගේ ස්වරයේ තිබ්බේ කේන්තියක්.
"මං වෙන මොනවා කරන්නද අපූර්ව? මම බෑ කිවා නං එයා ඒක ගෙදර ගිහින් කියයි, ඊට පස්සේ අපේ ගෙදරට ආරංචි වෙයි, එතකොට අප්පච්චි මගෙන් ඇහුවොත් මම මොකද කියන්නේ? ඔයා ඇවිත් අහනකල් මට ඇත්ත කියන්න පුලුවන්ද? ඊට පස්සේ මොනවා වෙයිද කවුද දන්නේ? අප්පච්චි ආයෙත් අසනීප වුනොත්?"
අපූර්ව හිස දෙපසට වැනුවා.
"ඔයා ඒ හැමෝම ගැන හිතනවා, ඔයා ඇයි මං ගැන හිතන්නේ නැත්තේ මෙත්මා? ඔයා ඔය විදියට හැසිරෙද්දි මගේ හිතට මොනා දැනෙනවා ඇත්ද කියලා ඇයි නොහිතන්නේ?"
අපූර්වගේ වචන ඉඳිකටු අනින්නා වගේ මගේ හිත විනිවිද ගියා.
"ඔයා මොනවද මේ කියන්නේ අපූර්ව? මම කලිඳු අයියට හෝප්ස් දුන්න කියලද? එහෙම නම් මං එයාට ආයෙත් මාව මුණැගැහෙන්න එන්න එපා කියන්න ඕන නෑනෙ" මම උත්සාහ කලා මගේ හඬ උස් වෙන්න නොදී තියා ගන්න.
අපූර්ව ඒ පාර නිරුත්තර වුණා. පුටුවේ පිටිපස්සට වෙලා ඉඳගත්තු ඔහු සුසුමක් හෙලුවා.
වේටර්වරයා අපි අතරට ආවේ මෙවෙලේ.
"මොනාද බොන්නේ?" අපූර්ව ඇහුවා.
"මට මුකුත් එපා" මම කිව්වා. අපූර්ව කියපු දේවල් මගේ හිත රිද්දලයි තිබුණේ.
"අපට තේ ගේන්න" අපූර්ව ආයෙත් මගෙන් නාහා ඇනවුම් කලා.
"අපි ඕකට රණ්ඩුවෙන්න ඕන නෑ. දැන් කරන්න තියෙන්නේ එකම එක දෙයයි..." අපූර්ව කිව්වා.
මම ඔහු දිහා බැලුවා යන්තමට හිස උස්සලා.
"මට ඇවිත් ඔයාගේ අප්පච්චිව හම්බවෙන්නම වෙනවා"
ඒ ගැන මතක් වෙද්දි හිතේ ඉපදෙන අහේතුක බය ආයෙත් හිතට ආවේ ඇසිල්ලකින්.
"අනේ මන්දා අපූර්ව ඒ ගැන හිතද්දිත් මට බය හිතෙනවා"
"ඒත් මේ දේවල් මෙහෙම වෙද්දි තවත් පරක්කු වෙන්න මට හිත දෙන්නේ නෑ මෙත්මා" අපූර්ව කිව්වේ කල්පනාබරව.
මට අපූර්ව ගැන ලොකු ආදරයක් දැනුනා. මම ඔහුගේ අතක් හෙමිහිට අල්ලගත්තා.
"ඔයා ගෙදර ගිය දවසට පහු වෙනිදට මම එනවා"
හිතලා හිතලා අන්තිමේදි  අපූර්ව මට කිව්වා.

අපේ ඒ හමුවීමේ අන්තිම ප්‍රථිපලය වුණේ ඊලඟ දවසේ මම ගෙදර යන්න ලෑස්ති වුණ එක. තවත් කල් බල බලා ඉන්න මටත් ඕන වුණේ නෑ. මම ගෙදර එන්න ඕන කිව්වම අප්පච්චි මුලින්ම ඇහුවේ කලිඳු අයියා එක්ක නේන්නේ මොකද කියලා. එයාට වැඩ වැඩියි කියලා මම ඒ ප්‍රශ්ණේ මගෑරියා. ඊට පස්සේ අප්පච්චි මගෙන් මුකුත් ඇහුවේ නෑ. ඊලඟ දවසේ උදේ වෙද්දි සුමනේ මාමා මාව ගෙනියන්න ඇවිත් හිටියා.
"කෝස් එක ගැන අප්පච්චිට කියන්නත් ඕන නේ පුංචම්මා. ඒක පටන් ගන්නවට අප්පච්චි කැමති වුණොත් මං ආයෙත් එනවා"
පුංචම්මට වඳින ගමන් මං කිව්වා. ඒත් අපූර්ව ආවට පස්සේ ආයෙත් අප්පච්චි මට මේහේ එන්න දේවිද කියලා හිතුණ නිසාදෝ මට පුංචම්මා දාලා එද්දි දැනුනේ දුකක්. හිත තිබ්බේ පුදුම තරම් නොසන්සුන් වෙලා. ඇත්තම සිද්ධිය දැනගෙන උන්නු අක්කලා දෙන්නත් මං තරම්ම නොසන්සුන් වෙලයි හිටියේ.
"හැමදේම හරි යයි ඉන්දි" හර්ෂි අක්කා කිව්වේ මාව ඉඹින ගමන්. ඇය එහෙම කිව්වත් ඒ මගේ හිත හදන්න වග මම නොදැන උන්න නෙවෙයි.
"ඔය දෙන්නා වෙන්  කරන්න එපා කියලා මම ප්‍රේ කරන්නම් නංගි" අපර්ණා කිව්වා.
"අයියා ආවොත් එයාට සේරම කියන්න අක්කා. කවුරු නැතත් මම එයාට ඉන්නවා කියන්න" මම ඈට කිව්වා.
මම වාහනේට නැගැලා එද්දි අක්කලා දෙන්න උන්නේ ඇස් වල කඳුළු පුරෝගෙන. අපි අපූර්වගේ ගෙදර පහු කරද්දි මම ඒ පැත්ත බලාගෙන ආවත් අපූර්ව පේන්න හිටියේ නෑ.
ඒ වෙනුවට අපි ගම්පොල පහු කරද්දිම වගේ ඔහු මට ඇමතුමක් දුන්නා.
"කොහෙද ඉන්නේ?" ඔහු ඇහුවා.
"ගම්පොල පහු කලා විතරයි" මම කිව්වා.
"හ්ම්"
අපූර්ව හිටියෙත් ඇතුලාන්තෙන් චංචල වෙලා වග, ඔහු ලඟ නොහිටියත් මට දැනුනා.
"ඔයාට මේක කරන්නම ඕනද අපූර්ව?" මම ඇහුවේ ඒ නිසා.
"අද නැතත් කවදා හරි කරන්න වෙනවනේ"
"සමහරවිට ඔයාගේ ගෙදර අයත් එක්ක ආවොත්?" මම යෝජනා කලා.
"මමාටයි, ඩැඩාටයි මට මේ ගමන ගැන කියන්න බෑ. එයාලා බය වෙයි.ඔයාගේ අප්පච්චි මොනවා කියයිද කියලා නොදැන මට ඒ අයව දැන්ම එක්ක එන්න බෑ. එතනදි මොනා වෙයිද කියලා කියන්න බෑනෙ. වැරදි දෙයක් වුනොත් ඒ දෙන්නගෙත් හිත කැඩෙයි, මං නිසා. ඒක මට දරා ගන්න බැරි වෙයි" අපූර්ව කිව්වා.
"ඔයා දන්නවා නේද අප්පච්චි අකමැති වුණොත් වෙන දේ?"
"මට ඒ රිස්ක් එක ගන්න වෙනවා. මොනවත් නොකර කොහේවත් යන ගොබිලෙක් ඔයාව අරන් යනකල් බලං ඉන්න මට බෑනෙ"
"ඔයා හෙට එනකල් මම බලං ඉන්නවා" මම කිව්වා. අක්කලා දාලා එද්දි උනපු කඳුළු ආයෙත් අලුත් වුණා.
"බය නැතුව ඉන්න. හෙට මොනා වුණත්, ඔයා මගේ වෙන එක වෙනවමයි"
"හ්ම්"
"මට ආදරෙයි නේද?"
"ඔව්. ගොඩක්"
"හෙට ලස්සනට ඉන්න හොඳද?"
මම හිනා වෙන්න උත්සාහ කලා.
"හොඳයි"
ගෙදරට සේන්දු වෙද්දි මට දැනුනේ ලොකු වැරැද්දක් කරලා ගෙදර එනවා වගේ හැඟීමක්. ගෙදර තිබ්බ සුපුරුදු යුද්ධේ අස්සේ මම පුලුවන් තරම් අප්පච්චිව මගෑරලා ඉන්න උත්සාහ කලා. අප්පච්චිට කෙලින් මූණ දෙන්න බැරි ගතියක් මට දැනුන නිසා. රෑ කෑම කද්දිත් මම හිටියේ හිත ඇතුලෙන් කැලඹිලා.
"මොකෝ ළමයෝ, ආපු වෙලේ ඉඳලා තුෂ්නිම්භූත වෙලා වගේ ඉන්නේ? ඔය බත් එක අනනවා විතරනේ" මගේ දිහා විමසුම් බැල්මෙන් බලාගෙන හිටපු අම්මා කිව්වා.
"ගමන් මහන්සිය වෙන්න ඇති" ආච්චි මම්මා කිව්වා.
"ඔයා එන වග කලිඳු පුතාට කිව්වේ නැද්ද?" එහෙම ඇහුවේ අප්පච්චි.
"නෑ, කියන්න බැරි වුණා"
"ඒ ළමයට කියලා ආවා නං නේද හොඳ?" ආච්චි මම්මා කියනවා.
"හැමදේම කියන්න ඕනද?" මම ඇහුවේ අමනාපෙන්.
"පැංචි..." අප්පච්චි මගේ දිහා බැලුවේ සැරෙන් වගේ.
මම නිහඬ වුණා මුකුත් නොකියා. ඒත් කලිඳුට මාව බලෙන් ජෝඩු කරන්න හදන්න එපා කියලා අප්පචිට කෑ ගහලා කියන්න මට ඕන වුණා.
අන්තිමට කෑවායින්, නොකෑවායින් මම කාමරේට ගියේ කලින් නිදා ගන්න බව කියලා. ගෙදර අයට වෙනසක් නොපෙන්න ඉන්න ඕන වුණත්. මං කලබල වෙලා හිටි තරමට ඒක මට හරියට කරන්න බැරි වුණා. හෙට දවස ගැන හිතේ තිබ්බේ බයක්. හෙටින් පස්සේ මොනා වෙයිද කියලා හිතන්න මං බය වුණා. ඒ මොනා වුණත් එක දෙයක් නම් වෙනස් නොවෙන බව මම සහතිකෙන්ම දැනගෙන හිටියා. ඒ මං අපූර්වට ආදරෙයි කියන එක.

4 comments:

  1. පුළුවන් නන් ඊලග කොටසත් අදම දාන්න ..

    ReplyDelete
  2. දාන්න බලනවා :)

    ReplyDelete
  3. ඉක්මනට ඊළඟ කොටස ඕනේ............................................

    මෙච්චර ඉක්මනට මෙහෙම වෙයි කියල හිතුවේ නැ :)

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....