Tuesday, August 9, 2011

සත් වන දිගහැරුම

"අක්කිලාගේ රිසල්ට්ස් ඒවි නේද ලබන මාසෙ විතර?"
අපූර්ව ඇහුවා. අපි උන්නේ බස් නැවතුමේ. මම හිස වනලා ඔව් කිව්වා. අපි මුණගැහුණේ සති දෙකකට විතර පස්සෙ. ඒ අපූර්ව මොකක්දෝ වැඩකට කොලඹ ගිහින් උන්නු හන්දා.
"පාස් වෙලා තිබුණොත් කැම්පස් යනවා නේද?"
මට සුසුමක් හෙලුණේ ඉබේටම. මම වැව රවුමේ ඈත කෙලවරක ඇස් රැඳෙව්වා.
"මම දන්නේ නෑ මල්ලි"
අපූර්ව මම දිහා පුදුමෙන් වගේ බැලුවා.
"ඒ මොකද?"
"අපේ අප්පච්චි ඒකට කැමති නෑ. ගියත් යන්න වෙන්නේ පිටරට එකකට තමා. ඒකත් කියන්න බෑ."
අපූර්ව මා දිහා බලාගෙනම මොහොතක් හිටියා.
"ඔයාගේ අප්පච්චි ස්ටර්න් ද?"ඔහු ඇහුවේ සැකෙන් වගේ.
මම ආයෙම හිස වැනුවා.
"ඔයා අප්පච්චිට බයද?" ඔහු එහෙම අහද්දි මට දැනුනේ අසරණ කමක්.
"අප්පච්චිට හැමෝම බයයි"
"ඇයි ඒ? එයා චන්ඩියෙක්ද?"
"අනේ නෑ. ගොද වෙලාවට අප්පච්චි හරි හොඳයි. ඒත් දෙයක් කිව්වොත් කිව්වාමයි. හරි සැරයි"
අපූර්ව නිහඬව අහගෙන හිතියා. මමත් මොහොතක් පරේ වාහන එහාට මෙහාට යන දිහා බල්ලගෙන හිටියා.
"ඔයා මෙහෙදි ඉන්නේ දුකින් කියලා හර්ෂි අක්ක කියනවා. ඒ මොකද?"
අපූර්ව ඇහුවාම මට දැනුනේ මගේ හිත කඩා වැටුණා වගෙයි.අපූර්ව ඒක ඇහුවේ ගොඩාක් දයාබරත්වයෙන් කියලා මට හිතුණා.මම හිනාවෙන්න උත්සාහ කලා.
"අක්කා එහෙම කිව්වද?"
"හ්ම්ම්. මටත් ඒක නොදැනුනා නෙවෙයි"
මගේ උගුර හිරවෙලා, අස් දෙක උණුසුම් වෙනවා මට දැනුනා. ඒත් මේ ආගන්තුකයා ඉදිරියේ මට අඬන්න ඕන වුනේ නැහැ. මම දිග සුසුමක් හෙලුවා.
"ඔයා හුඟක් දේවල් හිතේ තද කරගෙන දුකින් ඉන්නව. ඇයි කාට හරි කියලා හිත සැහැල්ලු කර ගන්නේ නැත්තේ?"
අපූර්ව ඇහුවා.
"අපි යමු..." මම ඔහු කිව්ව දේ නෑහුණා වගේ කිව්වා.
"ඇයි ඔයාට මට කියන්න බැරි?" අපූර්ව ආයෙම ඇහුවා.
මම අපූර්ව දිහා බැලුවේ වේදනාවෙන්. ඇත්තටම වෙලාවකට මේ නගරය මට කොච්චර එපාවෙනවද, මට ගෙදර යන්න කොච්චර ඕනෙද, අම්මා, නංගි , අයියා නැතිව මට කොයි තරම් පාලුද කියලා මතක් වෙද්දි ආයෙමත්  ඇස් වලට කඳුලු පිරුනා.
අපූර්වගේ කුතුහලය පිරුණ ඇස් දෙක ලොකු වුනා.
"ඔයා අඬනවා අක්කි.." අපූර්ව කලබල වෙලා. ඔහු ඉක්මණට සාක්කුවට අත දාල ලේන්සුවක් අරන් මට දික් කලා.
"ප්ලීස් අඬන්න එපා. අනික මෙතන. ඔයාටමයි හොඳ නැත්තේ. අපි ගෙදර යමු" ඔහු වටපිට බලල කිව්වා.
බස් එකක නැගලා ගෙදරට යන පාර අසල බහින තුරුම ඊට පස්සේ අපි කතා කලේ නැහැ. මම  හිතට දහ අතේ දුවන්න ඉඩ දීලා ඔහේ උන්නා.
"අක්කි මේ සෙනසුරාදා මම එන්නද ඔයාගේ ක්ලාස් එක ලඟට?" ගෙදරට ලං වෙද්දි අපූර්ව එහෙම ඇහුවා. මම කියන්න දෙයක් හිතන්නත් කලින් ආයෙම ඔහුම කතාකලා.
"මං එනවා. මං එනකල් ඉන්න"
මට කිසි දෙයක් කියන්න ඉඩ නොදීම ඔහු  ගේට්ටුවෙන් ඇතුලට ගියේ මට අතකුත් වනාගෙන.
ඉස්සර ගෙදර ඉන්න දවස් වල එළියට ඇවිදින් නංගි එක්ක වලාකුලු පාවෙලා යන හැටි බලන්න මම පුරුදු වෙලා හිටියා.වලාකුලු විවිධ හැඩ මවමින් අහසේ පාවෙලා යද්දි මමයි නංගියි තරඟෙට ඒවයේ හැඩ ගැන මත පල කර කර ගෙවපු කාලෙ මතක් වෙද්දි ආයෙම හවස තිබුණ මූසල අඳුරු හැඟීම හිත වසා ගත්තා. මෙහාට ඇවිත් මාස දෙකකට වැඩි කාලයක් ගත වෙලා තිබ්බත් තාමත් මාව ගෙදර එක්ක යන්න අප්පච්චි ආවේ නැහැ.
"පුතා වට් ආ යූ ඩුයිං දෙයා? කම් ඉන්, ඉට්ස් සෙවන් තර්ටි නව්'
මම පියවි ලෝකෙට ආවේ ඒ හඬින්. මම ඇරලා තිබ්බ ජනේලෙන් පිටත බැලුවා. මට මෙතනට අපූර්වගේ ගෙදර මිදුල පෙනුනා. මම දැක්ක කවුරු හරි මිදුලේ ඇවිද ඇවිද ඉන්නවා. ඒ අපූර්ව වෙන්න ඇති කියලා හිතන්න අමාරු වුනේ නැහැ. මම ජනේලෙ වහලා ලඟ තිබුඅන් පුටුවට බර වුණා.ජනෙල් වීදුරුවෙන් වටේට තිබ්බ ගෙවල් වල වහලවල් වලට උඩින් අහසේ පායලා තිබුණ තරු දැක්කාම මට ඉබේම ගීතයක් මතක් වුණා මං ආස කරන.
'හිරු හැපී හඬන සයුරේ
තරු කඩා වැටෙන මොහොතේ
ඔබ සොයා ගනිමි දඟ කරන තාරුකා
යුවලක් ලඟ අහසේ...
ලොව නිදි ගත් මේ යාමේ...'
මගේ හිත ආයෙම අතීතෙට දුවලා ගියේ මටත් නොදැනීම.

"න්..න..න්.. නංගි නෙලුම් මැඩම් ගි...ගියාද?"
දවසක් මම ඉස්කෝලෙ ඇරිලා ගෙදර යන්න ලෑස්ති වෙද්දි මා ලඟට ආපු කලිඳු අයියා ඇහුවා. මම ටිකක් වෙලා ගල් ගැහිලා වගේ එයා දිහා බලගෙන් උන්නා.කවදාවත් එයා මට මෙහෙම කතා කරලා තිබුණේ නැහැ.
"අම්මා..ම්ම්ම්..අද කලින් ගියානේ අයියා.." මම අමාරුවෙන් වචන ගැට ගහ ගත්තා.
කලිඳු අයියා දකිද්දි මට මේ සිද්ධ වෙන දේ මොකක්ද කියලා මට තේරුණේ නැහැ. ඒ අහිංසක තරු ඇස් මාව පුදුම විදියට නොසන්සුන් කලා.
"ට්..ටීච මේක දාලා ගිහිං." ඔහු මට පොතක් දික් කලා. ඒ අම්මගේ දිනපොත.
"ආ..අනේ තෑන්ක්ස්. අම්මට මේක ඕනමයි"
"අදෝ ගොතයා.. උඹ දැන් එහෙනම් නෙලුම් පොහොට්ටුවකද වහන්න යන්නේ?"
මම දිනපොත අතට ගන්නවත් එක්කම ඇහුණ හඬින් අපි දෙන්නම ගැස්සුණා. ඒ භානුක අයියයි ඒයාගේ සගයෝ ටිකයි. කලිඳු අයියා බිම බලා ගත්තේ දුකෙන්ද, ලැජ්ජාවෙන්ද කියලා මත තේරුණේ නැහැ. මට ආවේ තරහක්.
"අයියා දුරද ඉන්නේ?" මම භානුකව ගණන් නොගෙන ඇහුවා.
කලිඳු අයියා ඇස් ඉස්සුවාම ඒ ඇස් වල තිබුණ හැඟීම දරා ගන්න බැරිව මට බිම බැලුණා. කලිඳු අයියාට තිබුණේ පුදුමාකාර දොඩමලු ඇස් දෙකක්.
"ඔව්. හාවාඑළියේ. ඇයි එහෙම අහන්නේ?"
"නිකං. ඒක නෙවෙයි, භානුක අයියාලා තාමත් ඔයාට කරදර කරනවද?"
මම පඩිපෙලක් පහලට බැස්සා.
කලිඳු අයියා අහිංසකව හිනා වුණා.
"ඔයාට පිං සිද්ධ වෙන්න නෑ"
'අනං මනං කියනවා නේද ඒ වුණාට?" මම ඒ පාර ඇහුවා.
"මම ගණං ගන්නේ නෑ. එහෙනම් මම යනවා නංඟි" කලිඳු අයියා ඉක්මණට කතා කරද්දි වැඩිය ගොත ගැහෙන්නේ නෑ. මම ඔහු යන හැටි බලාගෙන උන්නා. ඔහු තලෙලු වුණත් අමුතු සුන්දර පෙනුමක් තිබුණ බව මට අදටත් මතකයි.
"අනේ අම්මේ මෙයාට කම්පියුටරේ හදලා දුන්නට වඩා හොඳයි වහලම තිබ්බානං"
අක්ක පුංචම්මත් එක්ක කාමරේට ආවේ එහෙම කියාගෙන. මගේ කලපනාවන් සේරම විසිරුණා.
පුංචම්මා මගේ ලඟින් ඇවිත් ඉඳගත්තා.
"ආ හරි වැඩක් නේ. ඔයාට පේන්න ඕක ලඟට වෙලා ඉන්න ඕනේද? මම එකේ වැඩ කරන්නේ නැද්ද පුංචම්මේ?"
මම පුංචම්මගේ උරහිසින් හිස තියා ගත්තා.
"අද උදේ ඉන්දිගේ අප්පච්චි කෝල් කලා"
පුංචම්මා කිව්වාම මම ටිකක් කලබල වුණා. 
"මොනවද කිව්වේ?"
"හෙට අනිද්දා දිහාට ඇවිත් යන්න එනවා කිව්වේ.ඔයා ගැන විස්තරත් ඇහුවා."
"එහෙමද?"
"ලොකු අප්පච්චි ගේ කැනඩා ගමන මොකද දන්නේ නැහැ?"අක්කා ඇහුවා.
"ඒක ඉක්මණට හරි යයි කිව්වේ. සුදීප කෙසේ වෙතත් කෙල්ලෝ දෙන්නව නම් අරන් යනවලු"
පුංචම්ම කිව්වාම මගේ හිත කීරි ගැහුණා. අක්කා මං දිහා බැලුවේ අනුකම්පාවෙන් වගේ.
"අපි අකමැති වුණත් අප්පච්චි කරන්නේ අප්පච්චිට ඕන දේ නේ." මම එහෙම කිව්වේ හිතේ අමාරුවෙන්. පුංචම්මා මුකුත් නොකියා මගේ හිස අත ගෑවා.
"හිරු වෙලාව කීයද?" මම ඇහුවේ හතරවෙනි පාරට. අපි උන්නේ පංතියේ අභ්‍යාසයක් කරමින්. හිරුණි පොතෙන් ඇස් ඉවතට අරන් මා දිහා බැලුවා.
"මොකෝ මේ පැයෙන් පැයට වෙලාව අහන්නේ? මම ට්යිම් කීපර් කෙනෙක් කියලා හිතුවද? අද නං මොකක් හරි දෙයක් වෙලා මෙයාට අමා." හිරුණි පෑනේ මුදුන හප හප කිව්වා.
අමා අපි දිහා නොබලම කතා කලා.
"හ්ම්ම්. මටත් තේරුණා"
"ඉතිං වෙලාව කියන්නකෝ"
"දොලහට දහයයි" හිරුණි ඒ පාර කිව්වා.
අද පන්තියට ආපු වෙලේ ඉඳලා මම උන්නේ හරිම නොසන්සුන් කමකින්. මට දැනුනේ හිතේ ගිනි ගොදක් පත්තු කරලා වගේ හැඟීමක්. වෙලාව ඇහුවාම ඒ ගින්න උගුරටම පැතිරෙනවා වගේ මට දැනුනා. මම පෑන කරකවකවා කල්පනා කලේ අපූර්ව අද මොකටද එනවා කිව්වේ කියලා.අපි වෙන්දට ඕන තරම් මුණගැහිලා තිබුණත් කලින් මෙහෙම කතා කරගෙන මුණගැහිලා නැහැ. එක අතකට මම මෙහෙම මොකට සැලෙනවද කියලා මටම හිතා ගන්න බැරි වුනා.
කොහොමින් හරි ඒ පැය කීපයේ මොනවත්ම වැඩක් කර ගන්න මට හිත එකතැන් කරගන්න බැරි වුණා.
පන්තිය අහවර වෙලා පිටතට එද්දි මගේ හද ගැස්ම එළියටත් ඇහෙන තරම් වැඩි වෙලයි තිබුණේ. මම වට පිට බැලුවා.
"මොකද ඉන්දි? ඔයා වෙනස් අද?" අමා මං දිහා සැකෙන් වගේ බලලා ඇහුවා.
"මුකුත් නෑ"
මම ආයෙමත් වට පිට බලුවේ අපූර්ව පේන්න නොහිටි හන්දා. මම ආයෙමත් හැමතැනම සිසාරා බැලුවත් අපූර්ව නං පේන්න හිටියේ නැහැ.  මගේ හිත පොඩිත්තක් සැලුණා.   හිතට පුංචි දුකක් දැනුනේ ඇයි දන්නේ නැහැ. මම ඒ පාර වෙනසක් නොපෙන්වා අමාලත් එක්ක එකතු වුණා.
"අපි එහෙනම් යනවා ඉන්දි..."පුරුදු තැනදි අපි වෙන් වුණා.
මම බස් නැවතුමට ආවේ අපැහැදිලි සිතින්. 'අපූර්ව නාවේ මොකෝ?' මම කල්පනා කළා. ඒ එක්කම මට පිටිපස්ස බැලුණේ නිකමට වගේ. මගේ පාද ඉබේම නතර වුණේ මගේ පිටිපස්සේ හිනා වෙවී උන්නු අපූර්ව දැකලා.කලු පාට ටී ෂර්ට් එකකුයි, ලා නිල් පාට ඩෙනිමකුයි ඇඳලා උන්නු අපූර්වගේ හිසකෙස් සුලඟට අවුල් වෙලා, ඔහුට එක් කරලා තිබ්බේ දඟකාර පෙනුමක්. ඔහු මං දිහාවට පය ඉක්මණ් කළා.මම ඔහුට යන්තම් හිනා වුණා.
"මම එන්නැති වෙයි කියලා හිතුවා නේද?"
මම හිස වනල නැහැයි කිව්වා.
"බොරු"
"ආවේ නැත්තේ ඇයි කියලයි හිතුවේ"
'ඇයි මං එන්නම් කිව්වේ කියලා හිතුවේ නැද්ද?"
"හිතුවා. ඒත් හිතාගන්න බැරි වුණා" මම කිව්වා.
"අක්කි මුකුත් හිතන්නේ නැත්නම් මම දෙයක් අහන්නද?"
" අහන්න"
"අපි කොහාට හරි යමුද, නිදහසේ කතා කරන්න පුලුවන් තැනකට?"
"ම්ම්..." මට ඉහලට ගත්තු හුස්ම පහලට දාන්නත් මොහොතකට අමතක වුනා වගේ. මම ඇස් ලොකු කර ගත්තා.
"ප්ලීස්, මං කිව්වනේ වරදවා හිතන්න එපා කියලා. මාව විශ්වාස නැද්ද ඔයාට?"
මට කරන්න ඕන දෙයක් හිතා ගන්න බැරි වුණා. හුඟාක් වෙලා හිතලා අන්තිමට මම එකඟ වුනා.
"ඔයාට කොහාටද යන්න ඕනෙ?" අපූර්ව ඇහුවා.
"මම දන්නේ නැහැ"
ඔහු ටිකක් වෙලා කල්පනා කලා.
'එන්න යමු"
ඔහු මාව එක්ක ගියේ, නගරය මැදම තිබුණ පුංචි , ලස්සන අවන්හලක් ඇතුලට. පුටු දෙකක් විතරක් තිබ්බ මේසයක් අසල නතර වුණ ඔහු මට වාඩිවෙන්න පුටුවක් ඇදලා දුන්නා. ඊට පස්සේ ඔහු මා ඉස්සරහින් වාදි වුණා. මම ඇත්තටම මෙහෙම කරන්නේ ඇයි කියලා මංවත් දැනං හිටියේ නැහැ. තේරුමක් තිබ්බේ නැතත් අපූර්වට පිටුපාන්න බැරි ගතියක් මට දැනිලා තිබ්බා.
මම මේසේ අඳලා තිබුණ රටාව දිහා බලාගෙන නිහඬව හිටියත් මගේ හිතේ යකාගේ කම්මල වගේ විවිධ සිතුවිලි පොරකමින් තිබුණා.
"අක්කි මොනවද හිතන්නේ? මම මෙහෙම කරන්නේ ඇයි කියලද?"
මගේ හිත තේරුණා වගේ අපූර්ව ඇහුවා. එක අතකට මම වෙන මොනවා හිතන්නද?
"ඔයා හිනාවෙන්නෙත් නෑ අද. ඔයා ඉන්නේ බයවෙලා වගේ."
"මම මීට කලින් කවදාවත් කිසි කෙනෙක් එක්ක මෙහෙම ඇවිත් නෑ" මම ඔහු දිහා නොබලම කිව්වා.
"මම දන්නවා අක්කි. "
එවෙලේම වගේ වේටර්වරයා ආපු නිසාවෙන් අපේ කතාව මදකට නතර වුනා.
"අපට ඔරේන්ජ් ජූස්  දෙකක් ගේන්න" අපූර්ව කිව්වා. ඊට පස්සේ ඔහු ආයෙම මං දිහාවට හැරුණා.
"මම කියන දේ අහං ඉන්නවද?" ඔහු ඇහුවා මගෙන්.
මම මුකුත් නොකියම ඔහු දිහා බැලුවා.
"අක්කිව මම මුලින්ම දැක්කේ එදා බැඩ්මින්ටන් ගහපු දවසේ. දැකපු ගමන් ඔයා ගැන මගේ හිතේ ඇති වුණේ පැහැදීමක්. මං දන්නේ නෑ ඇයි කියලා_' ඔහු මගෙන් ඉවතට ඇස් අරගෙන කිව්වා.
"මටත් ඉන්නව අක්ක කෙනෙක්. එයා අවුරුදු පහක් තිස්සේ දැන් රට. මම දන්නේ නෑ එයාට නිකම් වත් මාව මතක් වෙන්වද කියලා. අපි දෙන්නා අතරේ කොහොමටත් ඒ තරම් බැඳීමක් තිබ්බේ නෑ. මම එයාට කතා කලෙත් ජෙනී කියලා. අක්කි කියන්න මට කවදාවත් හිතිලා නෑ. එයා අපි ගන කවදාවත් හිතුවේ නැහැ. අන්තිමට මමාගෙයි, ඩැඩාගෙයි හිත් රිද්දලා, අපේ රිලේෂ්න් කෙනෙක් එක්කම රට ගියා. දැන් ඉඳ හිට කතා කළත්, අපිව බලන්න ඕන කියලා නිකම්වත් මෙහේ එන්නේ නැහැ. අන්තිමට අපි තුන් දෙනා ගෙදර තනි වුණා. මම හොඳටෝම තනි වුනා. ඒත් එයාව මට ඕන නෑ අක්කි"
අපූර්ව සුසුමක් හෙලුවා. මම ඔහු දිහාම බලගෙන උන්නේ කියන්න දෙයක් හිතා ගන්න බැරිව.
වේටර්වරයා ආපු නිසා ආයෙම අපේ කතාවට බාධා වුණා. දොඩම් වීදුරු දෙක මේසය මත තියපු ඔහු යන්න ගියාම අපූර්ව ආපහු කතාව පටන් ගත්තා.
"මට ජෙනී නැති පාලුව නොදනුනේ හර්ෂි අක්කා නිසා. එයා හරිම හොඳයි. මම එයාට හරිම ආදරෙයි" අපූර්ව කිව්වේ පුංචි හිනාවකුත් එක්ක. මම ත් යන්තමට හිනා වුනා.
"දන්නවද අක්කි, මේ ලෝකෙන්ම මට මල්ලි කියලා ලෙන්ගතුව කතාකරන්නේ ඔයා විතරයි. ඔයත් හර්ෂි අක්ක වගේම හරිම හොඳයි. ඒථ් හර්ෂි අක්කට වඩා මොකක්දෝ ලඟ බවක් ඔයා ගැන මට දැනෙනවා. එදා ඔයාගෙ ඇස් වල කඳුලු දැකලා මට හරියට දුක හිතුණා. මම කැමතියි ඔයාගේ දුක බෙදා ගන්න අක්කි. ඔයා මොනවා හිතයිද මම දන්නේ නැහැ, ඒත් මම කැමතියි මීට වඩා ඔයාට ලං වෙන්න."
අපූර්ව නැවතිල්ලේ, බොහොම පැහැදිලිව මට කිව්වා. මගේ උගුර කට වේලිලා තිබුණ හන්ද මම බීම වීදුරුව තොල ගෑවා. අපූර්ව මා දිහා බාලගෙන ඉන්න බව මට දැනුනා.
"ඔයා කියන දේ මට තේරෙන්නෙ නෑ අපූර්ව.මීට වඩා ලං වෙන්න කියන්නෙ මොකක්ද?" මගේ හිත හොඳටම සසල වෙලයි තිබුණේ.
"මං ගැන වැරදියට හිතන්න එපා. මම අදහස් කළේ අපි හැම දෙයක් ගැනම ඕපන්ලි කතා කරමු කියලා. දුක, සතුට හැම දෙයක් ගැනම. මට ඔයා ගැන කියන්න. මම කැමතියි දැනගන්න"
අපූර්ව එහෙම කිව්වා. මම ආයෙම මේස රෙද්ද මත ඇස් රැඳෙව්වා.අපූර්වගෙ දයාබරත්වය මාව වසාගෙන පැතිරෙනවා වගේ මට දැනුනා. ඒ තුල ඔහුට මොකක්දෝ අවනත වීමක් මගේ හිතේ තියෙන වගක් මට තේරුණා.
"මං ගැන මොනා කියන්නද මල්ලි. මට අම්මයි, නංඟියි, අයියයි, සැර අප්පච්චි කෙනෙකුයි ඉන්නවා. සීයා පප්පයි, අච්චි මම්මයි ඉන්නවා. එච්චරයි"
මම වෙලා අරගෙන කිව්වා.
"එහෙනම් ඇයි අක්කි දුකින් ඉන්නේ? ඇයි ගෙදර මතක් කලාම ඔයාගේ ඇස් වලට කඳුලු පිරෙන්නේ?"
මගේ හිත ආයෙමත් නොසන්සුන් වුනා. මම මූණට වැටුන කෙස් රොදක් කන පිටිපස්සට කලේ අපූර්ව දිහා නොබලම.
"මට කියන්න අක්කි. හිතේ තියෙන දුක තව කාට හරි කිව්වාම ඒ දුක අඩු වෙනවා"
අපූර්ව හෙමින්, දරාගන්න බැරි තරම් දයාබර හඬකින් කිව්වා.අන්තිමට මම කටහඬ අවදි කලා.
"මම නුවරට පොඩ්ඩක්වත් කැමති නෑ මල්ලි. මම ගෙදර ඉඳපු කාලෙ මම හිටියේ සතුටින්, සමනළයෙක් වගේ සැහැල්ලුවෙන්. ඒත් අපේ අප්පච්චිට ඕන වුණේ ඒක නෙවෙයි. එයාට ඕන වුණා මම උසස් පෙලට විද්‍යාව කරන්න, මාව මේ විදියට නුවර එවන්න. මම කවදාවත් අප්පච්චිට අකීකරු වෙලා නැහැ. මම මේ ගමනට කොහොමටවත් කැමති වුණේ නැහැ. ඒත් මම මේකට අකමැති වුණා නම් අම්මට තමා විසුමක් නැති වෙන්නේ.  අයියා හිතුවක්කාර වුණ එකට අම්ම අදටත් බැනුම් අහනවා. අප්පච්චි අපට ආදරේ නැතුව නෙවෙයි. එයාට ඕනෙ අපට හොඳම දේ දෙන්න බව මං දන්නවා. ඒත් ඒ දේ අපට ඕන දේ ද කියලා එයා හිතන්නේ නෑ.දැන් අප්පච්චි හදන්නේ අපිවත් අර රට යන්න. අපට කරන්න දෙයක් නෑ. මට අම්ම මතක් වෙද්දි දුකයි. අප්පච්චි නිසා විඳවන්නේ අම්මා"
මම හැල්මේ කියාගෙන ගියා. මේවා ගැන මම කා එක්කවත් කතා කරන්න  අකමැති වුණත් අපූර්ව ලඟදි මට හැමදේම කියන්න පුලුවන්කමක් ලැබුණා. ඇස් වලට උණපු කඳුලු කම්මුල දිගේ බේරිලා ඇවිත් වැටුනේ බීම වීදුරුවට. ඊට පස්සෙ තව කඳුලු බිංදු දෙකක් වැටුණා. මම ඇස් පියා ගත්තා.
"මට බය හිතෙනවා අපූර්ව. කවදා හරි මටත් අප්පච්චිට අකීකරු වෙන්න හිතෙයිවත්දෝ කියලා. එහෙම වුණොත් මොනා වෙයිද කියලා මට හිතා ගන්න බෑ."
මගේ කම්මුලට දැනුණ සීතල ඇඟිලි පහසක් නිසා මගේ ඇස් ඇරුණේ නිරායාසයෙන්ම. මුකුත් නොකියාම අපූර්ව මගේ කඳුලු පිස දැම්මා. මම උන්නේ ගල් ගැහිලා වගේ.
"අඬන්න එපා අක්කි.. ඔයාගේ හිත හදා ගන්න මට උදව් කරන්න දෙන්න.සමහරවිට හොඳ යාලුවෙක් හිටියොත් ඔයාට ගෙදර අය නැති පාලුව දැනෙන එක අඩු වේවි" අපූර්ව ඉක්මණට අත ඉවතට අරන් කිව්වා
මගේ නහය බර වෙලා තිබුණා. මම ලේන්සුවෙන් ඇස් තෙත මාත්තු කර ගත්තා.
"සමහරවිට ඔව්" මම කිව්වා.
අපූර්ව හුඟක් වෙලා මගේ දිහා බලාගෙන උන්නා මාව අපහසුතාවයට පත්වෙනකල්ම. මම ඔහුගේ දෑස් මගහැරලා බිම බලාගත්තා.
"ඔයා පව් අක්කි" අපූර්ව හෙමිහිට කිව්වා.
ආපහු ගෙදර එද්දි මගේ හිතේ අපූර්ව ගැන තිබුණේ කියා ගන්න බැරි විදියේ හැඟීමක්. පැහැදීමක්, ලෙන්ගතුකමක් වගෙම වෙනදට වඩා ලඟ බවක් මට ඔහු ගැන දැනෙමින් තිබුණා. ඒ වගේම හිතේ එකවිදියක සැහැල්ලුවකුත් මට දැනුණා. ඒ මම හිතේ තෙරපගෙන උන්නු දේවල් ටිකක් අපූර්වට කිව්ව නිසා වෙන්න ඇති. මං මේ විදියට පිරිමියෙක් ඉස්සරහා කඩා වැටුණේ ඇයි කියලා තේරුම් ගන්න මට ඕන වුණා. මට තේරුණ එකම දේ නම් නම් වගේම අපූර්වත් අපූරු බව විතරයි.








දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....