Wednesday, November 2, 2011

හතලිස් හතර වෙනි දිගහැරුම


එක්සෑම් එක පටන් ගත්තේ උදේ නවයට. මම යන්තම් අටයි හතලිස්පහ වෙද්දි පංතියට යා ගත්තා. අමා ඇවිත් උන්නත් හදිසිය නිසා කතා කරන්න වෙලාවක් වුණේ නෑ. දොලහට දීපු කෑම පැයෙත් අපි වැඩිපුර කලේ පොත් බලන එක. යාන්තම් දෙකහමාර වෙද්දි විභාගේ ඉවර වුණාමයි අපි සැනසුම් සුසුමක් හෙලුවේ.
"ඔන්න ඒකත් ඉවරයි. මදෑ" අමා කැන්ටිමේ මේසේ අසලින් ඉඳගත්තා. මමත් පුටුවක් අදලා ඒ ලඟින්ම වාදි වුණා.
"ඉතිං කියන්නකෝ ඔයාගේ අලුත්ම විස්තර" අමා හරි බරි ගැහුණා.
මම ඈට කලිඳු  අයියා ගැන විස්තරේ කියද්දි ඈ ඒක අහගෙන හිටියේ ඇස් ලොකු කරගෙන.
"අපොයි දෙයියනේ! මාර වැඩ නේ ඔයාට වෙන්නේ මෙත්. ඒකත් ගිහින් ගිහින් ගජධීර මැඩම්ගෙම පුතා වෙච්ච හැටි. දැන් ඉතිං මොකෝ කරන්නේ?"
"මට මොනවත් හිතා ගන්න බෑ අමා" මං කිව්වා.
"මැඩම් ඔයාට කතා කලාද අද?"
"නෑ. නෑ. මම දැක්කෙවත් නෑ. ක්ලාස් එකක ඇත්තේ. මම මේ බලන්නේ මැඩම්ට අහු නොවි යන මගක්. එයාලා අහන ප්‍රශ්ණ වලට මා ලඟ උත්තර නෑ අමා. මට එපා වෙලා ඉන්නේ"
"ඒත් මැඩම් ඔයාව හොයයි"
"ඔව්, ඊට කලින් මම පැන ගන්න ඕන. අපූර්ව ඇවිත් ඇති"
අමා සුසුමක් හෙලුවා.
"ඔයාට මොනවා කියන්නද කියලා මටත් තේරෙන්නේ නෑ. ඒත් මොකක් හරි මටැ කරන්න දෙයක් තියෙනවා නම් කියන්න, මං කරන්නම්"
"තෑන්ක්ස් අමා. මම දැන් යන්නම්. ඔයාට කෝල් කරන්නම්කෝ විස්තර කියලා. අපි ආයෙත් හම්බවෙයි නේ රිසල්ට්ස් බලන්න එද්දි. ඒ නැතත් මාව අමතක කරන්න එපා"
අමා හිනා වුණේ දුකෙන්.
"අපි ආයෙත් මුණැගැහෙයි. වෙඩින් එක මට කියන්වනේ?"
"ඒක ගත්තොත් කියන්නම් කෝ"
"ටේක් කෙයා දෙන්"
"යූ ටූ"
මම අමාගේ කම්මුල ඉඹලා ඉක්මණින් එළියට ආවේ ගජධීර මැඩම් මාව හොයන්න කලින් එන්න ඕන නිසා. මම එළියට එද්දිම අපූර්වත් එතන. මම එක පාරටම පුදුම වුණා. අපූර්ව දකිද්දි මතු වෙන නුහුරු කෝල හැඟීම හිත පුරා පැතිරෙන්න ගත්තා.
"මං හිතුවේ නෑ මෙතනට ඒවි කියලා" මම කිව්වේ ඔහු ලඟට යන ගමන්.
"මම ඇවිත් ටිකක් වෙලා, ඒ නිසා ඇවිදගෙන මේ පැත්තට ආවා"
ඔහු කිව්වා.
"මට ඔයාට කියන්න ගොඩාක් දේවල් තියෙනවා අපූර්ව..." අපි ආපහු වැව රවුම දිහාට යන්න හැරුණා.
"කොහාටද අපි යන්නෙ?" ඔහු මගෙන් අහනවා.
"ඔයා කැමති තැනකට"
"පේරාදෙණියේ ගාඩ්න් එකට?"
අපූර්ව එහෙම ඇහුවාම මම එක පාරටම උත්තරයක් දුන්නේ නෑ. මීට කලින් කවදාවත් ගෙදර අය එක්ක ඇර මම එහේ ගිහින් තිබුණේ නෑ කා එක්කවත්. හිතට බයක්, නුහුරක් නොදැනුනා නෙවෙයි. ඒත් මම ඉන්නේ අපූර්ව එක්කනේ කියන සිතිවිල්ල ඊට වඩා බලවත් වුණා.
අපි වාහනේ පාරෙන් එහා පැත්තේ නවත්තලා පේරාදෙණිය උද්භිද උද්‍යානයට ඇතුල් වුණා. සතියේ දවසක හවස කියලා නෑ, එහේ සෙනග කන්දරාවක් හිටියා. ලොකු අය, පොඩි අය, පාසැල් ළමයි, පෙම්වතුන්, සංචාරකයෝ මේ හැම වර්ගෙම අය. මෙච්චර සෙනගක් මැද අපි කතා කරන්නේ කොහොමද කියලා මට හිතා ගන්න බැරි වුණා.
"හරි ක්‍රවුඩඩ් නේ?" අපූර්වත් වට පිට බලලා ඇහුවා.
"ඒකනේ"
කොහොමහරි වටේ දෙපාරක් විතර ඇවිදලා අපි යාන්තම් නිදහස් තැනක් සොයා ගත්තා. ඒත් ලඟ පාත සෙනග නොහිටියාමත් නෙවෙයි.
අපූර්ව වැලිමිට තියලා දනහිසට බර දීලා මගේ පැත්තට හැරුණා.
"ඉතිං... කියන්න බලන්න"
මම ඔහු දිහා බලලා ඉස්සරහ බලා ගත්තා. අපට ඉස්සරහ තණ පිට්ටනියේ පුංචි ළමයි දෙන්නෙක් සෙල්ලම් කරනවා මට පෙනුනා.
"මොනාද?" මම ඇහුවා ඔහු දිහා බලලා.
"දැන් ගොඩාක්දේවල් කියන්න තියෙනවා කිව්වේ"
මම හිනා වුණා විතරයි. අපූර්වට මේ සේරම කියන්නේ කොහොමද කියලා මම හිතත් එක්ක වාද කරමිනුයි හිටියේ.
"ඊයේ වෙච්ච දේ ගැන මට දුකයි අපූර්ව. ඒත් මට එන්න විදියක් තිබ්බෙම නෑ"
"ඔය ගැන කතා කරන්න ඕන නෑ දැන්. කියන්නකෝ එක්සෑම් කොහොමද?" ඔහු ඇහුවා.
"එච්චරම අමාරු නෑ"
අපූර්ව ඒ පාර කෙලින් ඉඳගෙන මට ලං වෙලා මගේ අතක් හෙමිහිට අල්ලගත්තා.
"මං නැති දවස් ටිකේ මොකද කලේ?" ඔහු ඇහුවේ දයාබරව.
"විශේෂ දෙයක් නෑ. ඔහේ හිටියා"
"පාළු හිතුණද?"
"ඔව්. ගොඩක්"
"මටත් එහෙමයි. දවසම මහන්සි වෙලා රූම් එකට ගියාම විතරයි හිතන්න වත් නිදහසක් ලැබෙන්නේ. ඒ වෙලාවට ඔයා නැති අඩුව මට ගොඩක් දැනුනා මෙත්මා. ඔයාට හරියට කතා කරන්නවත් විදියක් තිබ්බෙ නෑනෙ. හොරා පොලිස් නේ ඒකත්"
මම හිනා වුණා.
"ඒක නෙවෙයි, කොහොමද දැන් අප්පච්චිට?" ඔහු ඊලඟට ඇහුවා.
"දැන් නම් හොඳයි වගේ, ඒත් ඉතිං ඔය ලෙඩේ නිට්ටාවට සුව වෙනවා කියලා එකක් නෑනෙ"
"හ්ම්"
අපූර්ව අපි ඉස්සරහ සෙල්ලම් කරමින් උන්නු ළමයි දෙන්න දිහා බලාගෙන කල්පනාවකට වැටිලා. මම වෙලාව බැලුව. හවස තුනහමාරටත් ලඟයි.
"අපූර්ව..." මම හිතට ධෛර්යය අරගෙන කතා කලා. වෙච්ච දේවල් කවදාහරි මම අපූර්වට කියන්නම ඕන නේ.
"මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. හැබැයි කලබල වෙන්න නම් බෑ"
අපූර්වට මගේ හඬේ අමුත්තක් තේරුණාද මන්දා. ඔහුගේ මූණ වෙනස් වුණා.
"මොකක්ද?"
මට ඔහු දිහා කෙලින් බලන්න බැරි ගතියක් දැනුනා. මං අහක බලාගත්තේ ඒකයි.
"ඉතිං කියන්නකෝ..." අපූර්ව නොඉවසිලිමත්.
"ගෙදරින් මට ප්‍රපෝසල් එකක් ගෙනාවා අපූර්ව..."
අන්තිමට මම වචන ගලපගත්තා.
"මොකක්?" අපූර්ව මගේ දිහා බැලුවෙ මං කියපු දේ අදහාගන්න බරුව වගේ. "ප්‍රපෝසල් එකක්?"
මම හිස වැනුවා. අපූර්ව මොහොතක් ගල් ගැහිලා වගේ බලාගෙන ඉඳලා සුසුමක් හෙලුවා.
"ඉතිං මොකද වුණේ?"
"ඒ කට්ටිය ගිය සතියේ දවසක ආවා මාව බලන්න අපේ ගෙදර. මේවා කවදා කතා වුණාද, කොහොම වුණාද කියලා මම දන්නේ නෑ අපූර්ව...ඒත් ඒ අය ආවා"
"ඊට පස්සේ?"
"ගෙවල් දෙකෙන්ම මේ යෝජනාවට කැමතියි"
අපූර්ව අන්ද මන්ද වෙලා වගේ මොහොතක් කල්පනා කළා.
"ඔයාගේ කැමැත්ත ඇහුවේ නෑ?"
"ඇහුවා, සේරම තීරණය කරලා, කේන්දරත් බලලා, අන්තිමට" මම කිව්වේ තරහෙන්. අයියා කරපු දේවල් වලට අප්පච්චිලා දඬුවම් දෙන්න හදන්නේ මට.
"කේන්දරත් බලලා? ඒ කියන්නේ තත්වේ ගොඩක් සීරියස්?" අපූර්ව ඇහුවේ හෙමින්.
මට අඬන්න ඕන වුණා. කෑ ගහලා අඬන්න. ආදරේ අපි දෙන්නට මේ තරම් දුක් දෙන්නේ ඇයි?
"ඔයා මොකද කිව්වේ මෙත්මා?"
"මුකුත් නෑ. මම මොනා කියන්නද? එහෙන් අප්පච්චි, මෙහෙන් ඔයා. මං කාගේ පැත්ත ගන්නද අපූර්ව?"
අපූර්ව මගේ අත තදින්ම අල්ලගත්තා.
"මට තේරෙනවා"
"අපි දැන් මොකද කරන්නේ අපූර්ව? මට සේරම තිත්ත වෙලා ඉන්නේ. හැමෝම හම්බවුනොත් අහන්නේ ඔය ගැන. ඊයේ උදේ ආවේ...ඒ..අප්පච්චිලා මට ජොඩු කරන්න හදන කෙනා තමයි"
අපූර්ව මගේ දිහා එකපාරටම බැලුවා.
"එයා මොකටද එහේ ආවේ?"
"අප්පච්චි කියපු නිසා. අප්පච්චිට ඕන මම එයාව ආශ්‍රය කරන්න. තේරුම් ගන්න. මම ඉන්නේ ගිනි ගොඩක අපූර්ව...කියන්න මම මොනවද කරන්නේ කියලා?"
මම අපූර්වගේ උරහිසින් හිස තියා ගත්තා.
අපූර්ව හෙමිහිට මගේ අත පිරිමදිමින් කලපනා කරන්න වුණා.
"මං ඔයාගේ අප්පච්චිත් එක්ක ඇවිත් කතා කරන්නද?" අපූර්ව ඇහුවාම මම ඔහුගේ උරහිසින් හිස ගත්තේ විදුලි වේගෙන්.
"අනේ එපා එපා. දැන්ම කොහොමද එහෙම කරන්නේ? අප්පච්චි කැමති වෙන එකක නෑ අපූර්ව"
අපූර්ව මා දිහා බලුවේ මූණ නපුරු කරගෙන.
"එහෙනම් මට කියන්නේ අර යකාට ඔයාව අරගෙන යන්න දීලා බලන් ඉන්න කියලද?"
මගේ ඇස් වලට කඳුළු පිරුණා.
අපූර්ව හිස දෙපසට වනමින් කල්පනා කරන්න වුණා ආයෙත්. වෙලාව හතරහමාරයි.
"අප්පච්චි මට අකමැති නම් ඔයාට අපි දෙන්නගෙන් කෙනෙක් තෝරගන්නම වෙනවා. ඒත් එයාගෙන් නාහා කොහොමද අපි ඒක දැනගන්නේ? ටිකක් හිතලා බලන්න"
"මට තේරෙන්නේ නෑ අපූර්ව"
"ඔයාට ඕන මං මොනවා කරන්නද?"
"මම දන්නේ නෑ" මම කිව්වේ අත් දෙකේ මූණ ඔබා ගෙන. අපූර්ව මගේ අත් දෙක ඈත් කරලා මගේ මූණට එබුණා.
"මේ බලන්න...මේ බලන්න මෙත්මා" මම ඔහු දිහාට හැරුණා.
"මාව විශ්වාස නැද්ද?"
"විශ්වාසයි"
"එහෙනම් අහන්න. මුකුත් කියන්න එපා. මම ඇවිත් ඔයාගේ අප්පච්චිගෙන් කැමැත්ත අහනවා. අද නෙවෙයි, ඒත් ලඟදිම. වෙලාව ආපු ගමන්ම.ඔයාට තේරුණාද?"
මම හිස වැනුවත් ඒ අදහස ගැන මගේ කැමැත්තක් තිබ්බෙම නෑ. මගේ හිත හැම තිස්සෙම කිව්වේ අප්පච්චි නම් කැමති වෙන එකක් නෑ කියලමයි.
"එහෙමත් බැරි වුනොත්, වෙන කරන්නම් දෙයක් නැති වුණොත්, කියන්න ඔයා මං එක්ක එනවද කියලා? මං මේ ඇත්තටම අහන්නේ"
මම අපූර්ව දිහා බැලුවේ ඇස් ලොකු කරලා.
"අයියා කලා වගේ?"
"ඔව්"
"මට පොරොන්දු වෙන්න බෑ අපූර්ව" මං කිව්වේ ඇත්තටම.
"එහෙම කරන්න මාත් කැමති නෑ. ඒත් ඔයාව වෙන කෙනෙක්ට අයිති වෙන්න දෙන්නත් මට බෑ"
මං ආයෙමත් අපූර්වගේ උරහිසින් හිස තියා ගත්තා.
"ඒත් එතකල් වෙන කාටවත් බලාපොරොත්තු ඇති වෙන විදියට හැසිරෙන්න එපා මෙත්මා. එතකල් නෙවෙයි, ඊට පස්සේවත්. මට ඒක දරා ගන්න බෑ"
"මං එහෙම කරන්නේ නෑ අපූර්ව"
අපූර්ව හෙමිහිට මගේ නලල ඉම්බා. මම ඇස් පියා ගත්තා.
"වෙලාව පහයි. අපි එහෙනම් යමුද?" කතා නොකර ගෙවුණ විනාඩි ගණනාවකට පස්සේ අපූර්ව කිව්වා.
"හ්ම්"
"ගෙනාපු තෑගි ගෙදරට ගෙනැත් දෙන්නම්. නැත්තං දීපා ආන්ටි මොනවා හරි හිතයිනේ"
මම හිස වැනුවා.

අපිගෙදර ලඟට සේන්දු වෙද්දි පහමාරත් පහු වෙලා.
"මං හතට විතර එන්නම්"
අපූර්ව මාව බස්සල්ල කිව්වා,
"හරි"
"හිනාවෙලා ඉන්න. ඔයාව වෙන කාටවත් අරන් යන්න දෙන්නේ නෑ මං"
මම හිනා වුණා.
"යන්නම්" මම එහෙම කියලා ගේට්ටුව අරිද්දි මිදුලේ වාහන ගොඩයි. මගේ හිතට එක පාරටම ආවේ බයක්. 'අප්පච්චිගේ කැබ් එකයි, කලිඳු අයියාගේ කාර් එකයි?'

1 comment:

  1. අපොයි තත්වය භයානකයි වගේ..

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....