Saturday, November 12, 2011

හැටවෙනි දිගහැරුම

ඒ වෙලාවේ ඉස්පිරිතාලේ සූ ගලා සෙනග. කොහොමත් පිටින් ආපු අයට එවෙලේ ඇතුලේ ඉන්න දුන්නේ නෑ. ආරක්ෂක නිලධාරියා අපි දිහා බලමිනුයි හිටියේ.
"අපි එළියට යමු. මෙතන වාහන පාක් කරන්න දෙන්නේ නෑ. මම අරහෙන් වාහනේ දාලා එන්නම්. ඔයාලා මේ හරියෙම ඉන්න. මමා එනකල් හොඳද?" අපට එහෙම කියලා අපූර්ව යන්න ගියා.
මම හර්ෂි අක්කා දිහා බැලුවා. ඈ උන්නෙත් බය වෙලා.
"මට බයයි අක්කා...ලේත් ගියා නේ"
අක්කා මගේ අතක් තද කරලා අල්ලගත්තා විතරයි.
අපි එතන කොච්චර වෙලා හිටගෙන උන්නද මට නිච්චියක් නෑ. අන්තිමේදි කල්පයක් විතර ගියාට පස්සේ අපූර්ව ආවා. ඒත් ඇන්ටි තාමත් නෑ.
"මමා ආවේ නෑ තාම?" අපූර්ව ඇහුවා.
අපි හිස හෙලෙව්වා.
ඊට පස්සේ අපි තුන් දෙනාම කතා බහකින් තොරව තනියෙම කල්පනා කර කර ඔහේ හිටගෙන උන්නා. තවත් කල්පෙකට විතර පස්සේ ඇන්ටි ඈතින් මතු වුණා.
"මොකද වුණේ මමා?"
"වාට්ටුව ඇතුලට ගත්තා. සී සෙක්ෂන් එකක් කරන්න වෙයි කියලා තමා එතන හිටපු නර්ස් කෙනෙක් මට කිව්වේ. කවුරුහරි නවතින්න කිව්වා. මට ඉන්න පුළුවන්. පුතේ ගෙදර ගිහින් මට මොකක් හරි ඇඳුමක් ගෙනත් දෙන්න. හොඳ වෙලාවට අපර්ණා එයාගේ  බෑග් එක නම් කලින්ම ලෑස්ති කරලයි තිබ්බේ. උයලා තියෙන දේකුත් අරගෙනම එන්න" ඇන්ටි කිව්වා.
"ඇන්ටි ඉන්න ඕන නෑ, මම නවතින්නම්" මම ඉදිරිපත් වුණා.
"ඔයාට මොනවා තේරෙනවද? අදට මම ඉන්නම් කෝ. ඔයාලා ගෙදර ගිහින් ඇඳුම් මාරු කරලා එන්න. අපර්ණා ගැන දැනගත්තු ගමන් මම කෝල් එකක් දෙන්නම්"
ඇන්ටි කිව්වා.
"ඔව්. ඕවා ඇඳගෙන හොස්පිටල් එකේ ඉන්න බෑනෙ"අපූර්වත් කිව්වා.
වෙන කරන්න දෙයක් නැති තැන ඒකට එකඟ වෙලා අපි අපූර්වත් එක්ක එන්න ආවා.
අපූර්ව වාහේනේ ගෙනාවාම, මම හර්ෂි අක්කට කලින් පැනලා පස්සෙන් නැග්ගා. හර්ෂි අක්කා ඉස්සරහින් නැග්ගේ මා දිහා බලලා.
"මොකද හර්ෂි අක්ක වුණේ?" අපූර්ව ඇහුවා.
මම පිටිපස්සේ ඉඳන් මැද කණ්ණාඩියෙන් පේන ඔහුගේ ඇස් දිහා නොබලා ඉන්න උත්සාහ කලා.
අක්කා වෙච්ච දේවල් සේරම අපූර්වටකිව්වා.
"මොනවා...සුදීප අයියා ඇක්සිඩන්ට් වෙලා? ගෝඩ් ග්‍රේෂස්!දැන් කොහොමද දන්නේ නෑ නේද?"
"මොනවත් දන්නේ නෑ. අපේ අය ගිය ගමන්ම වගේ නේ අපර්ණා ට අමාරු වුණේ. බට්ටි දන්නෑනෙ. එයාට කියවුණා"
අක්කා කියනවා.
මම ඉස්සරහ බැලුවා. විශ්වාස කරන්න, අපූර්වගේ ඇස් තිබුණේ මං ලඟ. මම ඉක්මණට අහක බලා ගත්තා.
"එතකොට මේ ලෑස්ති වෙලා හිටියේ කොහේ යන්නද?"
"කලිඳුලගේ ගෙදර යන්න"
අපූර්ව ඊට පස්සේ මොනවත් ඒ ගැන ඇහුවේ නෑ.
අපි ගෙදර යද්දිත් අප්පච්චිලා කතා කරලා තිබුණේ නෑ.
"තාම යනවද දන්නෙ නෑනෙ" අක්කා කිව්වා.
ඇඳුම් මාරු කර කර ඉන්න නොහිට මම ඇන්ටිටයි, කෝකටත් කියලා අපර්ණටයි කෑම ඔතන අතරේ, අපූර්ව ඇන්ටිට ඇඳුම් ගේන්න ගෙදරට ගියා.
"ඉන්දි...ඔයාට පුළුවන් නේද අපූ එක්ක හොස්පිටල් එකට මේවා අරන් යන්න. මම ගෙදර ඉන්නම්. බට්ටිත් ඉන්නවනේ. අනික දැන් අම්මලා කතා කලොත් මේ විස්තරේ කියන්නත් එපායැ"
අක්කා කිව්වාම මගේ හිස ගිනි ගත්තා. අපූර්ව එක්ක මම යන්න?
"අනං මනං නොහිතා යන්න. මේක හදිසි වෙලාවක් නේ" අක්කා කිව්වා.
කරන්න දෙයක් නැති තැන මම ඒකට එකඟ වුණා.
"ඔයා යන්නේ නැද්ද?" අපූර්ව ඇහුවේ හර්ෂි අක්කාගෙන්.
හර්ෂි අක්කා අපූර්ව දිහා අමුතු බැල්මක් හෙලලා හිස වැනුවා. 'නෑ'
මහාමායා පාසැල පහු කරනකනුත් අපි අතරේ කතාවක් ඇති වුණේ නෑ. මම උවමනාවෙන්ම අහක බලාගෙනයි ආවේ.
"බය වෙන්න එපා, අයියට වත්, අපර්ණා අක්කිටවත් කරදරයක් වෙන එකක් නෑ"  අපූර්ව අපි අතර තිබ්බ නිහඬතාවය බින්දා.
ඇත්තටම මම ඒ ගැන බයෙන් තමා උන්නේ. කාට හරි මොකක් හරි වුණොත් අපි ඉඳලා වැඩක් නෑ කියලයි මම හිත හිතා උන්නේ.
"මේ වගේ වෙලාවක මෙහෙම කියනවට මුකුත් හිතන්න එපා. ඔයා අද ලස්සනයි මෙත්මා..." අපූර්ව කිව්වේ හිත පතුලටම දැනෙන්න. හිත ආයෙමත් කැලඹෙන්න පටන් අරන්. මම වෙනසක් නොපෙන්න ඉන්න උත්සාහ කලා.
"මට දත් දොස්තර ගැන ඉරිසියත් හිතෙනවා" අපූර්ව හිනා වුණා.
මම ඒත් මුකුත් කියන්න ගියේ නෑ.
ඊට පස්සේ ඉස්පිරිතාලෙට යනකල්ම ඔහු මට මොනවත් කිව්වේ නෑ. අපි යනකොටත් අපර්ණාව තියටර් එකටවත් අරන් නෑ කියලයි අපූර්වග අම්මා කිව්වේ. දොස්තරලා තාමත් අපර්ණාව පරීක්ෂා කරන බවත් ඇය කිව්වා.
"දවල්ට එන්නකෝ දූ ආයෙත්. දැන් මෙතන ඉන්න දෙන්නේ නෑනෙ. අපෙ පුතාට කන්න දේකුත් දෙන්න හොඳේ" අපි ආපහු එන්න යද්දි ඇන්ටි මට කිව්වා. මම හිස වනලා එන්න ආවා.
ආපහු එද්දි මම උන්නේ හරිම අපහසුතාවෙන්. අපි දෙන්න වෙන් වෙලා නේද කියලා හිත හිත මට අපූර්ව එක්ක එන්න ලේසි වුණේ නෑ. අපූර්ව මට ඕන කියලා හිත කෑ ගහන්න ගත්තා. ඒත් අපි වෙන් වෙලා ඉවරයි.
"මෙත්මා..." අපූර්ව හඬ අවදි කලා අපි දුම්‍ය ස්ථානය පහු කරලා ඉදිරියට ඇදෙද්දි. දෙවියනේ ඒ හඬ මගේ හිත සසලන තරම්.
"ඇයි?"
"ඔයා බය වෙලාද ඉන්නේ තාමත්?"
"හරි ආරංචියක් ලැබෙනකල් බයයි තමයි" මම කිව්වා.
"යන්න හිටි ගමනත් අතරමග නැවතුනා නේද?" අපූර්ව ඇහුවේ සරදමටද?
"ඒක නම් ඉතින් කවදා යා ගන්න බැරිද?" මම කිව්වා.
අපූර්ව කතාවක් නැතිව වංගු දෙකක් විතර ගත්තා.
"මට එක දෙයක් කියනවද?" ඔහු ඇහුවා.
"මොකක්ද?"
"ඔයා මේ තරම් නපුරු වුණේ කොහොමද මෙත්මා?"
ඔහු කියපු දේ තේරුම් ගන්න බැරිව මම ඔහු දිහා බැලුවා.
"මම?"
"ඇයි මම එවපු එක මැසේජ් එකකටවත් උත්තර නො එව්වේ? අඩු ගාණේ මාව එපා කියලාවත්?"
"මැසේජ්? මොන මැසේජ්ද?" මම ඇහුවේ පුදුමෙන්.
අපූර්ව මොහොතක් වෙලා අරන් සුසුමක් හෙලුවා.
"ඒ කියන්නේ ඔයා අඩුම තරමේ ෆෝන් එක අතටවත් අරන් නෑ?"
"ඔයා කියන දේ මට තේරෙන්නෙ නෑ අපූර්ව"
එහෙම කියලා මම මගේ අතේ තිබ්බ පුංචි බෑග් එකෙන් ඔහු මට දවසක් තෑගි කරපු ෆෝන් එක එලියට ගත්තේ කුතුහලෙන්.
මම ඒක ගෙනාවේ අපූර්වට ආපහු දෙන්න. ඒත් ඒකේ බැටරි බැහැලා. අපූර්ව ඒක දිහා බලා ආයෙමත් ඉස්සරහ බලා ගත්තා.
"ඔන් කරන්න බෑ. බැටරි බැහැලා" මම කිව්වා.
"දැන් ඕක ඔන් කරන්න පරක්කු වැඩියි. දැන් ඕක විසි කලත් කමක් නෑ" ඔහු කිව්වේ ලොකු හුස්මක් හෙලලා.
මම ආයෙමත් මුනිවත රැක්කා. කතා කරන්න ගියොත් කොහෙන් කෙලවර වේවිද නොදන්න නිසා.
"මම ලබන මාසේ යූකේ යනවා" ආයෙමත් කතාව පටන් ගත්තේ ඔහුමයි.
"ආරංචි වුණා" මම කිව්වා.
"සමහරවිට ආයෙමත් මම මෙහේ එන එකක් නෑ" ඔහු කිව්වාම. හිත සැලුනා හොඳටෝම.
"එහෙමද?" මම අමාරුවෙන් වචනයක් හොයා ගත්තා.
"මෙහේ හිටියොත් මට හිත හදාගන්න බැරි වෙයි. ඒ නිසයි මම යන්නේ" අපූර්ව හදන්නේ ආයෙමත් මග හිත අවුස්සන්නද? ඒ නිසා මම මුනිවත රැක්කා.
"කතා නොකරම ඉන්නේ ඔයා මා එක්ක තරහද මෙත්මා?" ඔහු අහනවා.
මගේ උගුරේ මොනවදෝ හිර වෙලා වගේ අමාරුවක් මට දැනුනා. මට හීනෙකින් වත් ඔහු එක්ක තරහා වෙන්න බැරි වග ඔහු දන්නවා නම්?
"නෑ අපූර්ව" මම කිව්වා.
"එදා මං ගොඩක් ඉමෝෂනල් වෙලා ඔයාට මොන මොනවා කිව්වද කියලා මට මතක නෑ. ඔයාගේ හිත රිද්දලා ඇවිත් මම සතුටින් හිටියා නෙවෙයි. ඔයා ඒක දන්නවා නේද?"
මම හිස වැනුවේ ඔහුගේ වචනයක් වචනයක් පාසා මගේ හිත පිච්චෙද්දි."ඔව්"
අපි ගෙදරට යන පාරට අපූර්ව වාහනේ හැරෙව්වා.
"මම එදා හවස ඔයාට කතා කරන්න ගොඩක් ට්‍රයි කලා. ඒත් ෆෝන් එක ඉස්සුවේ නෑ ඔයා. ඔයාට බැනලා ආවට මගේ හිත මට දොස් කිව්වා"
"නෑ අපූර්ව ඔයා කිව්වේ ඇත්ත" මම කිව්වා.
"කලිඳු ගැන කියලා ඔයාට ඉන්සල්ට් කරපු එක ගැනයි මම කියන්නේ. එවෙලෙත්, ඒ මොහොතෙත් ඔයා ආදරේ කලේ මට වග මම දැනං හිටිය මෙත්මා. ඒත් වුණේ ඔයා කලිඳු එක්ක දැක්කාම මට ඉහිලුම් නැතුව ගිය එකයි"
අපූර්ව හදන්නේ ආයෙමත් මගේ හිත දුර්වල කරන්න.
"දැන් ඒ සේරම ඉවරයි නේ අපූර්ව. ඔයා ජීවිතේ අලුතින් පටන් ගන්න යන්නේ. මාත් එහෙමයි. ඒ නිසා මේ කතාව අපි තවත් දුර ගෙනියන්න ඕන නෑ"
මම කිව්වේ ආයෙත් කඩා වැටෙන්න මට බැරි නිසා. අපූර්ව ඔහුගේ ගෙදර ලඟ කාර් එක නැවැත්තුවා.
"කාර් එක ගෙදර දාලම යමු" ඔහු කිව්වේ ගේට්ටුව ඇරලා වාහනේ ඇතුලට දාන ගමන්. ඔහු මට බහින්න ඉඩ දුන්නේ නෑ.
වාහනේ ගරාජයට දාලා අපි බැහැලා එන්න ආවේ අපූර්වගේ ගෙදර පිටිපස්සෙන්. එලවළු කොටුවේ තිබ්බ පැල බොහෝමයක් මැරිලා ගිහින්. දැන් එතනට අපේ ගෙදර කුස්සිය පැත්ත හොඳට පේනවා. පුංචි ලී ගේට්ටුව ලඟට යද්දි.
"එදා වුණ දේවල් වලට මා එක්ක තරහා වෙන්න එපා කියන්නයි මං හැදුවේ. නැතුව ඔයාගෙ හිත ආයෙමත් අවුල් කරන්න නෙවෙයි" අපූර්ව කිව්වා මම ලී ගේට්ටුව අරිද්දි. මම එහෙමම නැවතුණා.
"මට ඔයා එක්ක කවදාවත් තරහා වෙන්න බෑ. මම තරහා නෑ අපූර්ව. ඔයා යන තැනක හොඳින් ජීවත් වෙන්න බලන්න" මම එහෙම කියලා එන්න ආවා.
තවත් කතා කරන්න කරන්න වෙන්නේ අපි  තවත් ලං වෙන එක විතරයි. එහෙම වුනොත් ආයෙමත් දුක හිතෙන්නේ අපි දෙන්නටමයි.
ඒ එන අතරෙත් අතීත මතක සැමරුම් ගොඩක් හිතේ ඇති වෙලා නැතිවෙලා ගියා. ඒ අතීතේ කොච්චර නම් ලස්සනද? ඒත් ඒක අතීතයක්ම විතරයි. මම පස්ස නොබලම අපේ ගේ දිහාවට පා නැගුවා. අපූර්ව මගේ පස්සෙන් ආවා, කතාවක් නැතුවම.

පනස් නවවෙනි දිගහැරුම


"මොකද මොකද මේ?" අප්පච්චි ඇහුවා.
මම සාලේ පුරා ඇස් යැව්වා. සාලේ දුරකථනය තිබුණ තැන අම්මා බිම වැටිලා ඉන්නවා. ඒ ලඟ පුංචම්ම අඬ අඬ අම්මට කතා කරනවා. ඒ ලඟම ඉඳගෙන ආච්චි මම්මා විලාප තියනවා. මට දැනුනේ මහා බයක්. මමයි, අප්පච්චියි අම්මා ලඟට දිව්වා.
ඒ අතරේ මූණ කලු කරගත්තු සීයා පප්පා අපි ලඟට ආවා.
"මොකද අප්පච්චි මේ?" අප්පච්චි උන්නේ මං තරම්ම අන්දුන්කුන්දුන් වෙලා.
"සුදීප..."
මගේ හද ගැස්ම වැඩි වුණා.
"සුදීපට මොකද?" අප්පච්චි ඇහුවේ බය වෙලා වගේ.
"පුතේ...කලබල වෙන්න එපා. සුදීපට පොඩි අක්සිඩන්ට් එකක් වෙලා. දැන් කලුබෝවිල ඉස්පිරිතාලෙලු"
මට හීල්ලුනා. මාවත් එහෙමම බිම ඉන්දවුණා.
"අයියා..." අපි සේරම එක පොදියට අඬන්න පටන් ගත්තා.
"ජයේ...අනේ ජයේ මගේ දරුවා...මාව එක්ක යන්න ජයේ.." අම්ම අප්පච්චිගේ අතේ එල්ලිලා කෑගහනවා.
"පොඩ්ඩක් කලබල නොවී ඉඳහල්ලකෝ" සියා පප්පා කෑ ගැහුවා.
මම පුංචම්මට තුරුල් වුණා.
"දැන් කලබල වෙලා වැඩ කරන්න බෑ. කොල්ලට කොහොමද කියලවත් තාම දන්නේ නෑ නෙ..."
"අපි යමු අප්පච්චි. දැන්මම යමු" මෙච්චර වෙලා ගල් ගැහිලා වගේ උන්නු අප්පච්චි කිව්වේ අම්මවත් ඇදගෙන එලියට යන ගමන්.
"අනේ අප්පච්චි මාවත් එක්ක යන්න" මමත් පිටිපස්සෙන් ගියා.
"හැමෝම යන්න අවශ්‍ය නෑ. පැංචි ගෙදර ඉන්න හර්ෂිත් එක්ක. අපි ගිහින් විස්තරේ  බලලා කියන්නම්" එහෙම කිව්වේ සීයා පප්පා.
"ඒත්..."
"එක පාරක් කිව්වා නේද? ඔයා මේ කොහෙද එන්න හදන්නේ?  සීයා පප්පා හැරුණේ ආච්චි මම්මා දිහාට.
"මගේ කොල්ලා බලන්න මමත් යන්න ඕන"
ආච්චි මම්මා තදින්ම කිව්වා.
"පුතේ අපර්ණා බලා ගන්නත් ඕන නිසා ඔයාලා දෙන්න ඉන්න. අනේ  කෙල්ලට මේවා කියන්න යන්න එපා. තේරුණාද?"
පුංචම්මා අපි දෙන්නට කිව්වා.
අප්පච්චිලා පිටවෙලා යන හැටි අපි බලාගෙන උන්නේ අඬ අඬාම.
මමයි, අක්කයි සාලේ වාඩිවෙලා බලාගත් අත බලාගෙන හිටියා. බට්ටියි, මල්ලිකා නැන්දයිත් එහෙමයි.
"කුස්සියේ දොර ඇරුනා නේද?" එක පාරටම හර්ෂි අක්ක ඇහුවා.
ඒකට උත්තරයක් දෙන්න කලින් කුස්සිය පැත්තෙන් ගෙට ආවේ අපර්නා.
"පුංචම්මා..."
අපි මූණෙන් මූණ බලා ගත්තා. අපර්ණා පිටි පස්සෙන් සුධර්මා ඇන්ටිත් ඇවිත් හිටියා.
"ආ...මේ මොකද මේ? ඔයාලා ගියේ නැද්ද? කෝ දීපා?" සුධර්මා ඇන්ටි ඇහුවේ අක්කාගෙන්, ඈ තාමත් මාව දැක්කේ නෑ.
"මොකද මේ හැමෝම බය වෙලා...මෙත්මා...මේ ඔයාද?" හතරවටේම පුදුමෙන් බල බල හිටපු අපර්ණා මාව දැක්කා.
මම ඇඬුම් වලකගෙන හිටියේ අමාරුවෙන්.
"මේ හැමෝම ලස්සනට ඇඳගෙනත් නොගියේ? මොකක් හරි කරදරයක්වත් ද? කියන්නකෝ හර්ෂි..." අපර්ණා ආයෙමත් අක්කා දිහාට හැරුණා.
"අපේ අයියා ඇක්සිඩන්ට් වෙලා..." බට්ටිගේ කටින් පිට වුණා. හැමදේම මොහොතකට නැවතුණා වගේ. මල්ලිකා නැන්දා බට්ටිගේ කට වැහුවේ, හර්ෂි අක්කට හීලුණේ, අපර්ණාගේ ඇස් උඩ ගියේ, මේ සේරම වුණේ එකට.මට උඩට ගත්තු හුස්ම පහලට දානත් අමතක වුනා.
"මොනවා?" අපර්ණා එහෙමම බිත්තියට හේත්තු වුණා.
බට්ටිට වැරැද්දක් කියන්න බෑ. එයා අපර්ණා කවුද කියලා දන්නේ නෑනෙ.
සුධර්මා ඇන්ටි පැනලා අපර්ණව වත්තන් කර ගත්තා, බිමට වැටෙන්න කලින්.
"අපර්ණා..."
අපිත් එතනට දිව්වා.
"සුදීප...අනේ මගේ සුදීප..." අපර්ණා අසිහියෙන් වගේ කියවනවා.
"මොකද ඇන්ටි අපි දැන් කරන්නේ?" අක්කා හොඳටම කලබල වෙලා.
"කලබල වෙන්න එපා. පොඩ්ඩක් මෙයාව සන්සුන් කරන්න බලන්නකෝ"
සුධර්මා ඇන්ටි කිව්වේ දාඩිය පිහින ගමන්. මල්ලිකා නැන්දා අපර්ණාටපවන් ගහනවා.
මමයි, අක්කයි, ඇන්ටියි එකතු වෙලා අපර්ණාව සැටිය උඩට එක්කගෙන ආවා.
අපර්ණා නවත්තන්නේ නැතිව හූල්ලනව.
"බය වෙන්න දෙයක්  නෑ අපර්ණා. ලොකු අප්පච්චිලා ගියා නේ. බයවෙන්න දෙයක් නෑ කියලා හොස්පිටල් එකෙන් කිව්වා" අක්කා අපර්ණාව සනසන්න හදනවා.
"හර්ෂි...මගේ බඩ මොකක්ද වෙනවා..." ඒ පාර අපර්ණා හති දාන්න පටන් ගත්තා.
"මොකද මොකද?"
"අම්ම්මෙහ්...මම දන්න්නෑ...යටි බඩරිදෙනවා.."
එහෙම කියාගෙන අපර්ණා නැගිට්ටා.
"දේව මෑනියනේ..." සුධර්මා ඇන්ටිට කියවුණේ සැටියේ සටහන් වෙලා තිබ්බ ලොකු ලේ පැල්ලමක් දකලා.
මගේ හිසත් කැරකෙන්න ගත්තා. ඒ පාර මොනවද වෙන්න යන්නේ.
"දීපා...හර්ෂි..අනෙ පුතේ...මෙත්මා...ඉකමණට අපේ ගෙදරට දුවලා ගිහින් පුතාට කියන්න වාහනේ ගන්න කියලා. අපි දැන්ම හොස්පිටල් යන්න ඕනේ" ඇන්ටි කිව්වේ හති දම දම.
අපර්ණා නම් උන්නේ අඩ සිහියෙන් වගේ.
ආයෙත් කියනකල් නොඉඳ මම පිටිපස්ස පැත්තෙන්ම අපූර්වගේ ගෙදරට දිව්වා.
"අපූර්ව..." මම දොර කඩාගෙන වගේ ගෙට දුවලා කෑ ගැහුවා. ඒත් ඔහු පේන්න නෑ.
මම දිව්වේ පඩිපෙලට. ඒක නැග්ගේ කකුලින්ද අතින්ද කියලාවත් මට මතක නෑ.
තට්ටු කරන්න නවතින්නේ නැතිව මම අපූර්වගේ කාමරේට කඩා වැදුනා.
තුවායක් දවටගෙන, තව තුවායකින් හිස පිහ පිහ උන්නු අපූර්ව මගේ දිහා බැලුවේ පුදුමෙන් වගේ.
"මෙත්මා!?"
"අනේ...අපූර්ව..ඉක්මණට...වාහනේ ගන්න...අපර්ණට..අපර්ණට අමාරුයි.." මම හති දම දම එහෙම කිව්වා.
"මොකක්ද මොකක්ද?" අපූර්වත් කලබල වෙලා.
"අපර්ණට අමාරුයි දෙයියනේ...ඉක්මණට වාහනේ අරන් එන්න" මම කෑ ගහලා එහෙම කියලා ආපහු පුංචම්මලගේ ගෙදරට දිව්වා.
මමයි, අක්කයි අපර්නව පිටිපස්සේ දාගත්තා. සුධර්මා ඇන්ටි ඉස්සරහින් නැග්ගා. අපූර්වගේ මූණවත් මම හරියට දැක්කේ නෑ. අපර්ණා වේදනාවෙන් ඇඹරෙනවා. අපූර්ව පුළුවන් තරම් වේගෙන් මහනුවර ඉස්පිරිතාලේ දිහාට කාර් එක පදවගෙන ගියා.
"පුතා..හරී..."
ඇන්ටි අපූර්ව ව ඉක්මණ් කරන්න හදනවා.
ඉස්පිරිතාලෙට ගිහින් වාහනේ නවත්තපු අපූර්ව අපිව අයින් කරලා අපර්ණව උස්සගෙන හදිසි ප්‍රතිකාර ඒකකයට දිව්වා. අපිත් ඒ පස්සෙන්ම දිව්වා.
ඊ ට පස්සේ වුන සේරම හරියට වේගයෙන් ධාවනනය කරපු රූප පෙලක් වගේ. අපර්ණාව ට්‍රොලියක දාලා කොහාටදෝ ගෙනිච්චේ නර්ස්ලා වට කරගෙන.ලිය කියවිලි අරන් ඇන්ටි ඒ පස්සෙන්ම දිව්වා.

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....