Friday, December 23, 2011

මගේ යාලුවනේ ඔයාලා හැමෝටම සුභ නත්තලක් වේවා!

Tuesday, December 20, 2011

නෙතූගෙන්...

නෙතූගේ අලුත්ම කතාව කියවන්න කැමති අය මෙතනට එන්න....

http://nethunovel2.blogspot.com/2011/12/blog-post.html

Saturday, November 26, 2011

නෙතූගෙන්...

කාලෙකට පස්සේ ලියන්නේ. ඉතින් කොහොමද ඔයාලගෙ තොරතුරු මගේ යාලුවනේ? තාමත් අලුත් කතාවක් ලියන්න මම හිත හිත ඉන්නවා. අලුත් අවුරුද්දෙම ලියන්න ගන්නයි දැනට හිතේ තියෙන්නේ.. ඔයාලා හැමෝම හොදින් ඇති කියලා හිතනවා..

Friday, November 18, 2011

නෙතූගෙන්....

මට අදහස් දක්වපු, මේ කතාව බලපු හැමෝටම ගොඩාක් ගොඩාක් ස්තුතියි. කතාව ඉවර වුණ නිසා මටත් දැනෙන්නේ පාලුවක්. වෙනදට ලියන්න වෙලාවක් එනකල් නොඉවසිල්ලෙන් මමත් ඉන්නේ. අද නම් පාලුයි...ඒත් මට සතුටුයි මේ කතාව මෙහෙම ඉවර වෙලා, ඔයාලත් සතුටු වුණ එක ගැන නම්.
Dishan, Dream boy, Glimmer girl, uttara, samadhi, නිසුපා, සිහින, රූ, සිත් රූ සිහින, Dinesh, කුරුලු පොඩිත්තා.....මෙකී නොකී හැමෝම ගොඩක් ආදරෙන්, උනන්දුවෙන් මට මේ කතාව ලියන්න දිරි දුන්නා. ඔයාලව මම ඇත්තටම හමුවෙලා නැති වුණත්, දැකලා නැති වුණත්, මට දැනෙන්නේ ඔයාලා මගේ ලඟම යාලුවො කැලක් වගේ. සමහරවිට අපි මගතොටදි හමු වෙනවත් ඇති...;)
කතා ලිව්වත් නොලිව්වත් අපි හොද යාලුවො වේවි කියලා මම හිතනවා...කවදාහරි මේ හීනේ පොත් පිටු අතරට එකතු කරගන්න මට අවස්ථාවක් ලැබුණොත් එදාට අපි මුණගැහෙමු...පොත එලි දක්වන දවසට...මෙත්මාගෙයි, අපූගෙයි හීනේ හැබෑ වුණා වගේ බලමු නෙතූගේ ඒ හීනෙත් හැබෑ කරගන්න පුලුවන් වෙයිද කියලා...
ඉතින් මගේ යාලුවනේ ඔයාලගේ වටිනා අදහස් වලට, කතාව කියවන්න ගත කරපු කාලෙට ආයෙමත් ඔයාලට ගොඩක් ස්තුතියි...

Thursday, November 17, 2011

නෙතූගෙන්...

කොහොමද කතාව හොඳද? :)
මම මේ කතාව ලියන්න පාදක කර ගත්තේ මං ආසම නගර දෙක. එකක් මම ඉපදුන නුවර එලිය. අනික මම දැන් ඉන්න මහනුවර. මම අවුරුදු 20ක් පිදුරුතලාගල පැත්තකින්  ඉර පායලා, ග්‍රෙගරි වැව් තලය දිලිසෙන හැටි බල බල, සිරීපාදේ පැත්තෙන් ඉර බහිනවා දැක දැක ජීවත් වෙච්ච කෙනෙක්. ඊට පස්සේ පේරාදෙණියේ ඇවිත් හන්තානට කවි ලිය ලිය, යාලුවන්ට කතා ලිය ලිය හිටපු  කෙනෙක්. මම ජීවත් වුන පරිසරය මගේ මේ කවි, කතා ලිවීමේ ආසාවට හේතු වෙන්නත් ඇති කියලා මට හිතෙනවා. තාමත් ලියන්න මං හරිම ආසයි.
ඔබ හීනයක් වගේ මං ලියපු තුන් වෙනි කතාව. මම මුලින්ම ලිව්වේ විද්‍යා ප්‍රබන්ධ දෙකක්. මුල්ම එක 'ආගන්තුක තාරකාව', ලිව්වේ මම 8 වසරේ ඉද්දි. (උත්තරා ඔයා ඒක කියවලා ඇතී) ඒ පටන් ගත්තු ගමන තමා මම තාමත් මේ යන්නේ.
ඔබ හීනයක් වගේ කියන්නේ මම බ්ලොග් එකකට ලියපු පලවෙනි කතාව. මම මීට කලින් සිය පාරක් විතර කියපු විදියට මේ මට ලැබෙන ප්‍රතිචාර මම හීනෙකින්වත් බලාපොරොත්තු වුණ දෙයක් නෙවෙයි. ෆලෝවර්ස්ලා 23ක් කියන්නේ මට නම් 230000ක් විථර. ඊට අමතරව මේක බලන අනික් අය, විවිධ රටවල්වල ඉන්න අපේ අය කොච්චරක්ද?
ඒත් එක්කම ඔයාලගේ ආදරනීය අවංක අදහස්...ඒවා මට කොච්චර වටිනවද කියලා ලියන්න මේ පිටුව මදි. ඇත්තටම ඔයාලා වගේ යාලුවෝ ගොඩක් මට හම්බවුණ එක ගැන මට හරිම සතුටුයි. ඒ සේරම මට හොයලා දුන්නේ ඔබ හීනයක්වගේ කතාව. ඒ නිසා මේ කතාවට මමත් හරිම ආදරෙයි.
මම දවසකුත් කිව්වා වගේ, මේ කතාවේ මම ජීවත් වුණා. අපූර්වට මෙත්මට දැනුන, සතුත, ආදරේ මේ හම දේම මටත් දැනුනා. සමහර වෙලාවට මගේ ඇස් වලටත් කඳුළු ආවා, ඇත්තටැම. ඒ තරම්..ම්ම්...කොහොමද කියන්නේ...බැහැලා ලියපු කතාවක් මේක.
ඉතිං මේ කතාව නිසා කවුරුහරි සතුටු වුණා නම්, මේ කතාව රස වින්දා නම් ඒ මට ඇති. ඒ අතරම, මේ කතාව මොන මල විකාරයක්ද කියලා හිතපු අයත් ඉන්න ඇති ඕන තරම්. ඒකට කමක් නෑ.
අද වෙනකල් මාත් එක්ක රැඳිලා, මෙත්මට අපූර්වට ආදරේ කරපු, අදහස් දක්වපු, නොදක්වපු මගේ ආදරනීය කියවන්නෝ වුණ ඔයාලා ටික දෙනාට ගොඩක් ගොඩක් ස්තුතියි.
අපි බලමු ආයෙමත් අපත මුණගැහෙන්න පුලුවන් වෙයිද කියලා තව්ත් හිත් දෙකක සොඳුරු ආදරයකුත් එක්ක...
ඔයාලා මට කියන්න, ඊලඟට ඕන මගේ මොන කතාවද කියලා. 2ක් සයන්ස් රොමෑන්ස්, අනික්වා මේ වගේම ආදර කතා 2ක්...හැබැයි ඉතින් මට කවදා ලියන්න පටන් ගන්න වෙයිද දන්නේ නෑ. පටන් ගත්තාම මම මූණු පොතේ අප්ඩේත් එකක් දාන්නම්, ඔබ හීනයක් වගේ පිටුවේ...
ආයෙමත් කියන්න ඕන, මේ තරම් කල්, මේ තරම් ආදරෙන් මා එක්ක හිටිය ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි! කවදා හරි, කාට හරි හිතුනොත් ආයෙමත් මේ කතාව කියවන්න ඕන කියලා දෙවනි පාරටත්, අන්න එදාට මම විශ්වාස කරනවා මම ලිව්වේ හොඳ කතාවක් තමා කියලා...ඒත් එහෙම නොහිතුනත් කමක් නෑ, මොකද එක පාරක් හරි මේ කතාව කියවපු එකත් මට ගොඩක් වටින නිසා... ඔයාලා හැමදාම මගේ යාලුවෝ වෙලා ඉඳීවි කියලා මම හිතනවා..
එහෙනම් මම සරසවියෙන් පිට වෙලා එද්දි ලියපු පුංචි පද පෙලකින් මේ කතාවට විරාමයක් තියන්නම්...
Good byes are not forever…
Good byes are not the end…
they simply mean I will miss you,
until we meet again…

ඔබ හීනයක් වගේ- අවසාන කොටස :)


ඊට පස්සේ කොච්චර දේවල් වුණාද? අපේ ගෙදර මීමැසි ගුලක් වගේ කලබල වෙලා. පුංචම්මයි, හර්ෂි අක්කයි ආවේ දවස් දෙකකට කලින්. ඒ හැමෝම මේ ලොකු වැඩේට හරි හරියට ලෑස්ති වෙනවා. මම හිටොයේ අන්ද මන්ද වෙලා. මේ හැමදේම මෙච්චර ඉක්මණත වේවි කියලා කවුද හිතුවේ?
එදා උදේ වෙද්දි ගෙදරට කට්ටිය එන්නත් පටන් ගත්තා. අපේ ලඟම  නෑයෝ, අප්පච්චිගේ කිට්ටුම හිතවතුන් කීපදෙනෙක් හෙම. මෙ අසේරම් දකිද්දි මම තව තවත් නොසන්සුන් වුණා. ඇඳේ වාඩි වෙලා මම කල්පනා කලේ මම අද දවසට කොහොමද මූණදෙන්නේ කියලා.ඇඳුම්, ආභරණ මගේ ඇඳ උඩ ගොඩ ගහලා. මොනා තෝර ගන්නද කියලා මටම හිතා ගන්න බැරි වුණා. දෙයියනේ මේ ලඟක් වෙනකල්ම අපූර්වට පෙම් බැන්ද මම හදිසියේම විවාහ වෙන්න යනවා. මේක ඔහු කොහොම බාර ගනීවිද කියලා මම දැනගෙන උන්නේ නෑ.
පුතේ ඇඳගන්න කලින් ඇවිත් මොනා  හරි කන්නකෝ" එහේ මෙහ දුවමින් උන්නු පුංචම්මා මගේ කාමරේ ලඟ නැවතිලා කිව්වා. මම පහලට බැස්සේ වෙන කරන්න දෙයක් නැති නිසා.
""මොකද මේ අනද මන්ද වෙලා? ඔච්චර බය වුනොත් මදෑ. අද තියෙන්නේ රෙජිස්ට්‍රේෂන් එක විතරයි. ඔයාව අදම කැන්දන් යන්නේ නෑ" ආච්චි මම්මා හිනා වෙනවා.
ආච්චි මම්මට නම් මොකද, බඳින්න යන්නේ මම නේ.
මම අමාරුවෙන් කිරිබත් කෑල්ලක් ගිල ගත්තා. කොහොමත් මට කන්න පිරියක් තිබ්බේ නෑ.
"ඔය කාලා ඉවර? කෝ බලන්න...දැන් බය වෙන්න එපා. ඔයාගේ අප්පච්චි ඔයාව බලගත්තා වගේ, මාව බලා ගත්තා වගේ, එයාත් ඔයාව හොඳට බලාගන්න බව මට විශ්වාසයි" එහෙම කිව්වේ මගේ ලඟට ආපු අම්මා.
මම ඉඳගෙනම අම්මට තුරුල් වුණා.
"මං දන්නෑ අම්මේ...මට මේ මොනවත් හිතා ගන්න බෑ"
අම්මා මගේ හිස අතගෑවා.
"එහෙනම් ඔයා උඩට ගිහින් ලෑස්ති වෙන්න" අම්මා ඊට පස්සේ මට කිව්වා.
මම සාලෙන් යද්දි අප්පච්චි ආපු ආය්ත් එක්ක සතුටු සාමිචියේ යෙදෙනවා."රෙජිස්ට්‍රේෂන් එක අරන්, ඒ පුතාගේ ඩිග්‍රිය ඉවර වුණාම වෙඩින් එක ගන්න පුලුවන් නේ. ඒකයි අපි එහෙම කතා කරගත්තේ. කොහොමත් ඉතින් බඳින එකනේ. අද කලාම මොකෝ, හෙට කලාම මොකෝ" අප්පච්චි ආපු යාලුවෙක්ට පැහැදිලි කරනවා.
"ඔයා ඉන්නේ බය වෙලා නේද?" මට අඳින්න සහාය වෙන්න ආපු හර්ෂි අක්කා මට කතා කරන්න මොහොතක් නැවතුණා.
"බය වෙන්නේ නැද්ද මෙහෙම දේවල් වෙද්දි?"
"ගණං ගන්න එපා...සේරම හරි යයි"
"ඒ වුණාට මට මොකක්ද වගේ? අනේ මට යන්නත්  බෑ වගේ අක්කා. මෙච්චර ඉක්මණට බඳින්න...අනේ මන්දා" මම කිව්වේ අක්කා මට ඔසරිය අන්දවන්න එහා මේහා හරවද්දි.
"හා හා මේ...ඔයා නිකන් අර රන් අවේ බ්‍රයිඩ් එකේ ජූලියා රොබර්ට්ස් වගේ වැඩ කරන්නද යන්නේ? මේ පාර නම් මේකෙන් පැනලා යන්න බැරි වෙයි.දැන් කෙලින් ඉන්න මේ රැලි හදන්න"
තව පැය කීපයක් ගෙවිලා ගිහින්, ඔන්න නැකැත් වෙලාව ලං වුණා. හර්ෂි අක්කා මාව හැඩ වැඩ කලාට පස්සේ මම පහලට බැස්සේ ගැහි ගැහී. මුලින්ම අම්මටයි, අප්පච්චිටයි වඳිද්දි මගේ ඇස් වලට කඳුළු පිරුණා. ඒ අයගෙත් ඇස් වල කඳුළු තිබ්බ බව මම නැගිටිද්දි දැක්කා. හැමෝටම වැඳලා අන්තිමට මම ගියේ පුංචම්මා ලඟට. ඈ මාව වැලඳගෙන සිප ගත්තා. අයියාත් උන්නේ ගොඩක් හැඟීම්බර වෙලා.
"එදා මා එක්ක බට්ටා පැනපු, එල්ලේ ගහපු, රණ්ඩු කරපු පුංචි කෙල්ලමද කියලා හිතෙනවා පැංචියෝ.."
අයියා කිව්වේ මගේ නලල ඉඹලා.
"මනමාල මහත්තායා ඇවිත් වගේ...නැකතට තව විනාඩි දහයක් විතර තියෙනවා. ඒ වුනත් අපි ඒ පැත්තට යමු නේද?"
සීයා පප්පාගේ මල්ලි, සීයා බාප්පා අප්පච්චිට කිව්වා.
මගේ හදවත ඔන්න දඩ දඩ ගාලා ගැහෙන්න ගතා. දොර දිහා බලන්න බැරි ගතියකුයි මට දැනුනේ.මම අප්පච්චිගේ අතේ එල්ලුණා. අප්පච්චි එක්ක ලියපදිංචි කරන තැනට යද්දි මට මතක් වුණේ ඉස්සරෝම දවසක අපූර්වයි මායි පල්ලි ගිය හැටි. ඒ අතීතේ මගේ ඇස් ඉස්සරහා මැවිලා පෙනුනා.
'තාත්තගේ අතේ එල්ලිලා බ්‍රයිඩ් එනවා...හෙමිහිට සෙනග මැදින් ඇවිදගෙන...ග්‍රූම් අල්තාරේ ලඟ හිටගෙන ඉන්නවා..."
"බ්‍රයිඩ් දිහා හැරිලා බලන්න බෑ...එතකොට අන්ලකී ලු.."
මගේ ඇස් වලට ආයෙමත් කඳුළු පිරුණා. මේ අපේ හීනේ  නේද?
මට හිස උස්සලා මනමාලයා දිහා බලන්න පුලුවන් වුණේ  නෑ. මම අප්පච්චිගේ අත බදාගෙනම නැවතුණා.
"දෙන්නම මෙතනට දැන් ආවා නම් හරි..." රෙජිස්ට්‍රාර් නෝනා අපට කිව්වා. අප්පච්චි මගේ අත මුදවලා මාව එතනට යැව්වා. ගෙදර හැමෝම අපි වටේට හිටගෙන. මම උන්නේ හොඳටම ගැහෙමින්, බිම බලාගෙන. කලුපාට කෝට්, කලිසම් ඇඳලා, උන්නු ඔහු යන්තම් හැරිලා මගේ දිහා බැලුවා. හද ගැස්ම තව තවත් වැඩි වෙන්න ගත්තා.
"මට පොඩි දෙයක් කරන්න ඕන, බඳින්න කලින්. මට එහා පැත්තේ උන්නු ඔහු එකපාරටම කිව්වා. මට දැනගන්න ඕන මෙත්මා මාව බඳින්න කැමතිද කියලා මුලින්ම..."
රෙජිස්ට්‍රාර් නෝනා අප්පච්චි දිහා බැලුවෙ පුදුමෙන්.
 "මනමාලි කැමති නැද්ද?"
"ඕන එකක් කරන්න දෙන්නකෝ මිසිස් රත්නපාල" අප්පච්චි කිව්වේ හිනා වෙවී.
"මෙත්මා..." ඔහු මාව ඔහුගේ පැත්තට හරවගත්තා. ඊට පස්සේ සාක්කුවෙන් මුදුවක් දාපු පෙට්ටියක් එලියට ගත්තා. ඒකේ තිබුනේ සුදු පාට ගලක් අල්ලපු චාම් ඒත් ලස්සන මුද්දක්. මම තාමත් ගහෙනවා. මෙයා මොන පිස්සුවක් නටනවද මන්දා?
ඊලනගට ඔහු එක දනහිසක් බිම තියලා මගේ ලඟ දණගහ ගත්තා. මම ඔහු දිහා බැලුවේ ලැජ්ජාවෙන් මිරිකෙමින්.
"මෙත්මා...විල් යූ මැරී මී?" ඔහු අහුවේ පුරුදු දයාබරත්වයෙන්.
මම ඇස් අගින් වට පිට බැලුවා. හැමෝම හිනා වෙනවා.
"සේ යර්ස්..." කවුදෝ කියනවා මට ඇහුණා.
"විල් යූ?" ඔහුගේ ඇස් වලින් ආදරෙ උතුරනවා.
"නැකත පහු වෙනවෝ ඉක්මණට කියන්න ඉන්දී.." ඒ නම් හර්ෂි අක්කා.
"අනේ නැගිටින්නකෝ..." මම හෙමින් ඔහුට කිව්වා. වටේම අය බලන් උන්න නිසා මට දැනුනේ පුදුම ලැජ්ජාවක්.
"විල් යූ?"
ඔහු අහන පාටක් නෑ. මම ඇස් පියා ගත්තා.
"යස්...." ඇස් ඇරලා ඔහුගේ දෑස් දිහා බලාගෙන මම කිව්වා.
"හුරේ..." ඒ නම් හර්ෂි අක්කාමයි. හැමෝම අත්පුඩි ගැහුවා හෙමිහිට.
මගේ අත මුදුවට අල්ලගෙන මුදුව ඇඟිල්ලට දාපු අපූර්ව මගේ මූණට එබිලා හිනා වුණා.
"ඔයා මගේ..."
"දැන්වත් පටන් ගමුද? එහෙම ඇහුවේ රෙජිස්ට්‍රාර් නෝනා.
අපි දෙන්නම ආයෙමත්  මේසේ අසලට ගියා. ඊට පස්සේ සිද්ධ වුණ හැමදේම හරියට හීනයක් වගේ...
"...මෙත්මා ඉන්දීවරී ජයමන්න යන අය නීතියේ හැටියට සරණපාවාගත් මාගේ භාර්යාව වශයෙන්...." අපූර්ව ඒ ටික කියද්දි මා දිහා බැලුවා. සතුට වැඩි කමට මට ඇඬෙන්න වුණා.
දුක් විඳලා, හිත් රිද්දෝගෙන, අඬලා, අමාරුවෙන් රැක ගත්තු මගේ ආදරේ...අපූර්වගේ ආදරේ...අපේ ආදරේ... ඔන්න ඔය විදියට ඇත්තටම අපේ වුණා. මේ ආදරේ නිසා අපි දෙන්නා මොන තරම් විඳවන්න ඇත්ද? ඒත් ඒ හැම තප්පරේකටම හරියන්න දැන් අපි මුළු ජීවිතේටම අපේ වෙලා. අන්තිමට රෙජිස්ට්‍රාර් නෝනා විවාහ සහතිකේ මට දීලා අපේ අනාගතේට සුබ පැතුවා.
ඊට පස්සේ මම දුවලා ගියේ අප්පචි ලඟට.
"දැන් ඔයා අපට අයිති බාගයයි. අනික් බාගේ අයිති මෙයාට" අප්පච්චි අපි ලඟට ආපු අපූර්වගේ උරහිසින් අතක් තියලා කිව්වා.
මගේ රත්තරං අප්පච්චි. කොච්චර නම් මං ගැන හිතලද? කොයි තරම් හොඳට මාව තේරුම් අරගෙනද? ඊලඟට එතනට ආපු අම්මත් මාව ඉඹලා තුරුල් කර ගත්තා.
"හැමදාමත් ඔයාගේ සතුට තමා පුතේ අපේ සතුට..." අප්පච්චි කිව්වා.
"මගේ කෙල්ලව ඔයාට තරම් හොඳින් වෙන කාටවත් බලාගන්න බෑ කියලා මම දන්නවා පුතේ" අම්මා අපූර්වගේ හිස අතගාලා කිව්වා.
ඊට පස්සේ ගෙදර පාටිය පටන් ගත්තා. යන්තම් කාලා මායි අපූර්වයි එලියට ආවා අනික් අයට හොරෙන්ම.
"ඔන්න දැන් ඔයා මගේ හැමදාටම" අපූර්ව කිව්වේ සැහැල්ලුවෙන්.
අපි දෙන්නා අපේ වත්තේ කෙලවරට ඇවිදගෙන ආවා. යාන්තම් වැටුන ආවා, මීදුම, පිදුරුතලාගල කඳු වැටිය...මේ සේරම දිහා මං බලාගෙන උන්නේ ආසාවෙන්...'යාලුවනේ...මගේ ආදරේ මට හම්බවුණා' කියලා කෑ ගහලා ඒ දේවල් වලට කියන්න මට හිතුණා...
"මං කවදාවත් වෙන කාගෙවත් වුණේ නෑ අපූර්ව..."
"ඒක් මං දන්නවා රත්තරං..." අපූර්ව කිව්වේ එක අතකින් මාව ඔහු වෙත තුරුල් කර ගන්න ගමන්.
"මං  කවදාවත් හිතුවෙ නෑ අප්පච්චි අපට කැමැත්ත දේවි කියලා"
"මාත් හිතුවේ නෑ. ඒත් අප්පච්චි කෙලින්ම ඇවිත් අපේ මමායි, ඩැඩායි එක්ක කතා කලා. ඔයා මට ආදරේ වග, හිතින් විඳවන වග...අප්පච්චිට ආදරේ වග මේ සේරම අප්පච්චි දැනගෙන හිටියා..."
"මගේ රත්තරං අප්පච්චි..." මම කිව්වා.
අපූර්ව හිනා වුණා සෙනෙහසින්.
"ඉතින් මැණිකේ...එහෙනම් කියමුකෝ බලන්න..." අපූර්ව කට හදලා කිව්වා.
මම ඔහුගේ උරහිසින් හිස තියා ගත්තා.
"මං ඔයාට ගොඩක් ආදරෙයි අපූර්ව..."ඈත පේන පිදුරුතලාගල කඳු පෙල දිහා බලාගෙන, අපූර්වගේ අතක වෙලෙන ගමන් මම මිමිණුවා. ඔහු මගේ හිස මතින් මූණ තියා ගත්තා.
"ආයෙත් කියන්න..." ඔහු කෙඳිරුවා.
"මං ආදරෙයි..."
"ආයෙත්.."
"මං ආදරෙයි..."
"ආයෙත්.."
"අනේ...දැන් කිව්වේ..."
"තව එක පාරක්..."
"ම්හු.."
"අනේ..."
"අපූර්ව මං ඔයාට ගොඩාක් ආදරෙයි..."
"ඒ ඇති මැණිකේ මට..."
අපි දෙන්නම් හිනාවුණා. ඒ හිනාව, අපේ සතුට හැමදාම තියේවා කියලා එවෙලේ මම ප්‍රර්ථනා කලා. සුපුරුදු විදියට පිදුරුතලාගල කඳු වැටිය උඩින්  මීදුම ගලද්දි, සීතල හුලඟ අපිව සිප ගෙන ඈතට ඈතට හමාගෙන යද්දි, පාට පාට රෝස මල් පොකුරු ඒ හුලඟේ නැලවෙද්දි, අපූර්ව ඈත පේන කඳු වලල්ල දිහා බලගෙන හිටියේ සොම්නසින්. මම ඔහුට තුරුල් වෙලා ඇස් පියාගත්තා.
"මෙත්මා..."
"හ්ම්..."
"ඔයා මගේ... හැමදාටම….මගේ විතරමයි"
ම්ම්..”

නෙතූගෙන්...

ඔන්න මම පොරොන්දු වුණ වෙලාවටත් කලින් මේක දානවා....සමහරවිට මේ ඔයාලා බලාපොරොත්තු වුණ තරම් ලස්සන අවසානයක් නොවෙන්නත් පුලුවන්...එත්....මේ තමා මගේ කතාව...
Please Enjoy!

Wednesday, November 16, 2011

නෙතූගෙන්...

හෙට අවසාන කොටස....................?

හැට හය වෙනි දිගහැරුම

අපි ආයෙම නුවර එලියේ ආවා, සුපිපි බබාත් අරගෙනම. අයියට සනීප වෙනකල් අපේ ගෙදර ඉන්න කියලා අප්පච්චි කිව්වා. ඒ අතරේ අයියා හද හද උන්නු ගෙදර ආයෙම වැඩ පටන් ගත්තා. තාමත් අපර්ණා අප්පච්චිට හරියට මූන දුන්නේ නෑ. අප්පච්චි එද්දි අහලක වත් හිටියෙත් නෑ. ඒත් අම්මා ක්ක නම් මටත් වඩා හිතවත් වුණ ගාණයි. ගෙදර ප්‍රශ්ණ මේ විදියට ඉවර වෙච්ච එක ගැන හිතේ තිබ්බේ සැනසීමක්. එදායින් පස්සේ මට අපූර්ව ගැන කිසිම ආරංචියක් ලැබුණේ නෑ. මම අමාරුවෙන් ඔහු ගැන සිතිවිලි යටපත් කරන්ගෙන ඉන්න උත්සාහ කලා.
සිංහල අවුරුද්ද ලං වෙද්දි අයියගේ කකුල ගොඩාක් දුරට සනීප වෙලයි තිබුණේ. කිහිලි කරුව නැතිව ටික දුරක් ඇවිදින්න ඔහුට පුළුවන් වුණා. අපේ ගෙදර අය ගජරාමෙ අවුරුදු කන්න ලෑස්ති වුණා, හැමදාම වගේ. අවුරුදු දවසට දවස් කීපෙකට කලින් ඉඳලම ගෙදර කැවිලි හදන, පිටි කොටන, දොදොල් හැඳිගාන කට්ටිය ගොඩයි. ඒ අස්සේ සුපිපි බබාගේ හුරතල්. මේ සේරම නිසා තරමක් දුරට මගේ හිත සුව වීගෙන ආවා.
ගෙදර අලුතින් තීන්ත ගාන දවසේ මමයි, බට්ටියිත් එකතු වුණා ජොලියට වගේ තීන්ත ගාන්න. අපි  සාලේ පැත්තක තීන්ත ගගා ඉද්දි අප්පච්චි අපි ලඟට ආවේ හිනා වෙවී.
"බාස්ලා මදිවට මෙතන මකබාස් ලා දෙන්නෙකුත් ඇවිල්ලානේ. ආයෙත් තීන්ත ගාන්න වෙයි වගේ විජේ මේ පැත්තේ" අප්පච්චි කිව්වේ තීන්ත බාස් වෙච්ච විජේදාස සීයට. ඔහු  හිනා වුණා විතරයි.
"අනේ...නිකං ඉන්න අප්පච්චි අපි හොඳට ගෑවා, නේද අක්කා" බට්ටි කිව්වා.
මම අප්පච්චිට හිනා වුණා.
"හ්ම්. හ්ම්. ඔයාලගේ ගෙදර වෙච්චි මට මොකෝ" අප්පච්චි කිව්වා.
"පැංචි එන්නකෝ පොඩිත්තක් මෙහාට" ඊට පස්සේ අප්පච්චි මට කතා කලා.
"ඇයි අප්පච්චි?" මම ඔහු එක්ක එලිපත්තට ආවා.
"අවුරුද්දත් ලඟ එනවනේ, පුතාට මොනවද මගෙන් ඕන මේ පාර?"
ඒ අප්පච්චිගේ සිරිත. හැමදාම වුරුද්දට අප්පච්චි අපෙන් අහලා අපට ඕන දෙවල් තමා අරන් දුන්නේ.
"අනේ මන්ද....වෙනදා ඒවම හොඳයි...අප්පච්චිට මොනවද මගෙන් ඕන?" මම ඇහුවා.
මම ඉතින් තෑගි දුන්නේ අප්පච්චිගේ සල්ලි වලින්ම තමා. ඒත් ගිය අවුරුද්දේ මම අප්පච්චිට මගේ පොඩි වත්තෙන් පලතුරු කූඩයක් දුන්නා. අප්පච්චි ඒක හරියට අගය කලා මට මතකයි.
"මට මගේ පැංචිව ආපහු දෙන්න..." අප්පච්චි කිව්වම මම එක පාරටම පුදුම වුණා.
"මම කාලෙකට කලින් එයාව නැති කර ගත්තා. මට ආයෙත් එයාව හොයලා දෙන්න පුතේ"
අප්පච්චි කිව්වාම, මට දැනුනේ දුකක්. මම කොයි තරම් ඒ අයගෙන් ඈත් වෙලා ඉන්න ඇතිද, ඒක මොන තරම් අප්පච්චිට දැනිලද කියලා  මට තේරුණේ එවෙලේ. මම එහෙමම අප්පච්චිට තුරුල් වුණා.
"මට සමාවෙන්න අප්පච්චි"
"සමාව දෙන්න දෙයක් ඔයා කරලා නෑ. මට ඕන ඔයා සතුටින් ඉන්නවා බලන්න. අපි හැමදේම කලේ ඒකට. ඉදිරියටත් එහෙමයි"
කොහොමින්, කොහොමින් හරි අවුරුදු දවසත් උදා වුණා. ලිප් නිවලා, වැඩ ඉවර කරලා අපි ලෑස්ති වුණේ පන්සල් යන්න හැමදාම වගේ.
එදා වැඩ අල්ලන්න යෙදිලා තිබ්බේ හවස හයකුත් ගාණට. ඒ කාලේ ඉඳන්ම මේ දවසට මම ගොඩක් ආස කලා. එදාට අම්මා. අප්පච්චි, මේ හැමෝම ගෙදර. කරන්න වැඩකුත් නෑ. ඒත් ඒ වෙලාවට කරන්න ඕනතරම් වැඩ මතක් වෙනවා. අපි කරන්නේ වරුවක්ම පයින් පන්සල් ගිහින් එන එක. ඒත් අද සුපිපි යන නිසා අපිටත් යන්න වුණේ වාහන වල.
"මේක තමා මගේ ජීවිතේ හොඳම අවුරුද්ද..." අපර්ණා මට කිව්වේ හැඟිම්බරව.
"ඔයා හරි ලකී අක්කා...ඔයාට ඔයා ආදරේ කරපු හැමදේම ලැබුණා, අන්තිමට හරි..."
මම කිව්වාම අපර්ණා මා දිහා බැලුවේ දුකෙන් වගේ.
"කලිඳු ඔයාට ගොක් ආදරේ කරයි" ඈ කිව්වා.
"කලිඳුයි, මායි අතරේ එහෙම දෙයක් වෙන්නේ නෑ අක්කා. මම එයාට අපූර්ව ගැන කිව්වා"
"මොනවා, ඔය ඇත්තමද?"
"ඔව්"
"එහෙනම් ඇයි ඔයා අපූර්වට් ක නොකිව්වේයි ඔයා එයාට යන්න දීලා බලන් ඉන්නේ?" අපර්ණා අක්ක හුවේ රහසින් වුණත් ඒ හඬේ තිබ්බේ ලොකු පුදුමයක්.
"මම අපූර්වට ආදරේ නිසා...ඒ වගේම මම අප්පච්චිටත් ආදරේ නිසා"
අපර්ණා අක්කා මා දිහා බලාගෙන ඉඳලා සුසුමක් හෙලුවා.
"මට ඔය දෙන්න ගැන හරිම දුකයි නංඟි. අපූර්ව කියන්නේ නමේ හැටියටම ගොක් අපූරු කොල්ලෙක්"
"දැන් ඕවා හිතලා වැඩක් නෑ"
ඊට පස්සේ අපර්ණා අක්කා අපූර්ව ගැන කතා කලේ නෑ.
පන්සලට ගිහින් , මල් පහන් පුදා මම ප්‍රර්ථනා කලේ කොහේ හිටියත් මගේ අපූර්වට හොඳින් ඉන්න ලැබෙන්න කියලා.

ලිප ගිනි දල්වන නැකත ලං වෙද්දි, අයියයි, බට්ටියි, පොඩි ළමයි දෙන්නෙක් වගේ රතිඤ්ඤා පත්තු කරන්න දඟලනවා.
"ඔය ළමයව ඈතට අරන් යන්න දුවේ..බය වෙයි" සද්දේ මොකක්ද බලන්න ආපු අපර්ණට ආච්චි මම්මා කිව්වා.
"ජයේ වෙලාව බලන්න" අම්මා කුසියේ ඉඳන් කෑ ගහනවා.
"අප්පච්චි වෙලාව බලන්නලූ.." මම  කුස්සියයි සාලෙයි අතරේ ඉඳන් දෙපැත්තට පණීවිඩ කියනවා.
"හරි, තව විනාඩියයි..."
"තප්පර දහයයි, නවයයි...තුනයි, දෙකයි..එකායි..."
අම්මා ගිනි මෙලෙව්වද කොහෙද. අපි ඔක්කොම ඒක බලන්න කුස්සියට දිව්වා.
නැකත උදා වෙද්දි මුලු පලාතම රතිඤ්ඤා හඬින් ගිගුම් දුන්නා. අපි පත්තර කොල කිලෝ එකක් විතර දල්වලා යන්තම් කිරි මුට්ටිය උතුරව ගත්තා.
සීයා පප්පා හැමදාම වගේ ලොකු කිරිබත් පිඟානක් අරගෙන අපි හැමෝටම කිරිබත් කැව්වා. ඊට පස්සේ උදා වුණේ ගනුදෙනු කරන වෙලාව.
ඳින කලබලේ ස්සේ හැමෝටම වැඳලා අන්තිමටයි මට අප්පච්චි කිට්ටු කරන්න ලැබුණේ. එලියේ අප්පච්චි එක්ක ගනුදෙනු කරන්න වත්තේ අයයි, තව අඳුරන අයයි පෝලිමක් හිටියා.
වෙනදා වගේ නෙවෙයි අද අප්පච්චි අතේ මොකක්දෝ කොලයක්. මම ලඟට යද්දි අප්පච්චි හිනා වුණා. මම දණ ගහලා අප්පච්චිට වැන්දා.
"මගේ දුවට තුණුරුවන් සරණයි.."
ඊට පස්සේ මම නැගිට්ටේ පුරුදු පරිදි දෙනු නැතුව ගනු කරන්න.
"මං ඉල්ලපු දේ ගෙනාවද?" අප්පච්චි ඇහුවා.
"මොකක්ද අප්පච්චි?" මම පුදුමෙන් ඇහුවා.
"මගේ පරණ පැංචිව?"
මම හිනා වුණා.
"මම හැමදාම අප්පච්චිගේ පැංචි තමා අප්පච්චි"
"මේ අවුරුද්දේ මම ලොකු ගනුදෙනුවක් කරන්නයි යන්නේ" අප්පච්චි කියද්දි ගෙදර අනික් අය සේරම හිනා වෙවී වට වෙලා මා දිහා බලාගෙන උන්නා. මටැ මොකක්දෝ වෙනසක් තේරුනා මේ හැසිරීමේ.
"ඒ කිව්වේ?"
"මම ඔයාව දීලා, ඔයත් එක්කම තව පුතෙක් අපේ පවුලට ගන්නයි හිතුවේ" අප්පච්චි කිව්වා.
මට අම්මා දිහා බැලුණා, අම්මත් හිනා වෙනවා.
"මොනාද මේ කියන්නේ?"
මම ඇහුවාම අප්පච්චි මගේ අත උඩින් තිබ්බේ ඔහු කලින් අතේ තියාගෙන උන්නු කොලේ.
"නැකැත් පත්‍රයක්?" මම ඇහුවේ ඒක කියවන්න උත්සාහ කරන ගමන්.
මුලින්ම මගේ ඇහැ ගියේ උඩින්ම මුද්‍රණය කරලා තිබ්බ නම් දෙක  දිහාට. ඒක් කියවගෙන යද්දි මට හීන් දාඩිය දැම්මා. මෙච්චර ඉක්මණට? මම අප්පච්චි දිහා බැලුවෙ පුදුමෙන්.
"ඒත් අප්පච්චි?"
"ඔයාව හරියට නොබලම ඒ අය කැමති වුණා පුතේ" අප්පච්චි කිව්වා.
"ඒත් මේක නොවෙන වග මං එයාට කියලා ඉවරයිනේ" මම කිව්වා.
"අපි එහෙම කිව්වේ නෑනෙ"
"ඒත් එයා කැමති වුණාද ආයෙමත්..." මට කතා කර ගන්න බැරි වුණා.
"එක පයින්"
"එයාගේ අම්මලා?"
"හොඳටම"
මම බිම බලා ගත්තේ මොනවත් හිතා ගන්න බැරිව. මෙච්චර දේවල් වුණාට පස්සෙත්? මට අප්පච්චි ගැන දැනුනේ පුදුමයක්ම විතරයි.අප්පච්චි හිටපු විදියට, කරපු, කියපු දේවල් වල විදියට මෙහෙම දෙයක් කරාවි කියලා මම හීනෙකින්වත් බලාපොරොත්තු වුණේ නෑ. මට තිබුණේ බලාගෙන ඉන්න විතරයි. මේ මොනාද වෙන්න යන්නේ?

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....