Saturday, August 6, 2011

සය වෙනි දිගහැරුම

"හොඳයි, මෙන්න තියෙනවා ඔයාලා ලියාගෙන ආපු පොයම් වල හරි වැරදි බලපුවා. චේතිය මේ ටික බෙදන්න. මෙත්මා, චාමරී, කෝලිත, ඔයාලගේ පොයම් හරිම හොඳයි. කොල ටික බෙදුවට පස්සේ අපි පංතියටම ඇහෙන්න එවා කියවමු".
ගජධීර මැඩම් කිව්වාම මට දැනුනේ සතුටක්.
මම ලිව්වේ "ජිවිතය" කියලා කවි පංතියක්.
"ලස්සනයි ඉන්දි...මට නම් නිකමටවත් ඔහොම අදහස් එන්නේ නෑනෙ."මම කවිය කියවලා ඉවර වෙලා වාඩි වුණාම එහෙම කිව්වේ හිරුණි. පංතියේදි අපි එක්ක උන්නු අනික් යෙහෙළිය තමා හිරුණි. ඇය ආවෙ මාතලේ ඉඳලා.
"බලන්නකෝ අද සෙනසුරාද වෙලත් වරුවක් ක්ලාස් දාලා නේ.මට නම් එපා වෙනවා."
අමා විවේකයේදි අපට පාන් වගයක් බෙදන ගමන් කිව්වා.
"ඒක හොඳයි නේ අමා. ගෙදරට වෙලා නිකම් ඉන්නවට වඩා. අනික ගජධීර මැඩම් නේ ඉන්නේ." මම කිව්වා.
"ඔයා හිතන්නේ මම ගෙදරට වෙලා නිකම් ඉන්නවා කියලද?"
"ඇයි ඔයා මොනවද කරන්නේ?" හිරුණි අහුවා.
"මම නිදියනවා, කනවා, TV බලනවා, ආයෙ කනවා, නානවා...ඕව කරන්න ගියාම දවසත් මදි සමහර වෙලාවට."
අමා ඔහේ කියාගෙන ගියා.
"ඔය කිව්වේ.." හිරුණි 'අනේ මන්දා' කියන්න වගේ හිස වැනුවා. මම හිනා වුණා.
"හා ඒක පැත්තක දාමු කෝ. අද ක්ලාස් ඇරිලා අපි මාළිගාවේ යමුද?"
හිරුණිගේ යෝජනවට අපි එකඟ වුණේ එක පයින්.

පන්තිය ඉවර වුණේ දොලහමාරට විතර. මම අමායි, හිරුණියි එක්ක ලහි ලහියේ එළියට ආවා.
"ඉන්දි දුවන්නේ හරියට දැන්ම නොගියොත් මාලිගාව පැනලා දුවයි වගේ නෙ."
හිරුණි අමා එක්ක මගේ පස්සෙන් එන ගමන් කිව්වා. අපි හිනා වෙවීම පාරට බහිද්දිම වගේ මගේ ඇස් ගියේ ට්‍රිනිටි කොලේජ් එක පැත්තේ ඉඳලා ආපු කොලු රංචුවක් දිහාට.  ඒ වෙන දෙයක් නිසා නෙවෙයි. ඒ කොලු රංචුවට මැදි වෙලා අපූර්වත් අපි උන්නු දිහාට එමින් හිටපු හන්දා. අතේ තිබ්බ එකම පොතත් රෝල් කරගෙන, කොලො රැලත් එක්ක මොන මොනවාදෝ කියවමින් ආපු ඔහු එක පාරටම මාව දැක්කා. ඔහුගේ මූණේ ඇඳුනේ අපූරු හිනාවක්. ලා නිල් පාට කොතු වැටුණ කමිසෙත්, නිල් පාට ඩෙනිම් කලිසමත් නිසා අපූර්ව වෙනදට වඩා හැඩයි කියලා මට හිතුණා. මම හිත හිත ඉද්දි ඔහු මගේ ලඟටම ඇවිත්.
"හෙලෝ අක්කි...කොහේද මේ?" ඔහු ඇහුවා.
"අපට අදත් එක්ස්ට්‍රා ක්ලාස් එකක්. දැනුයි එක ඉවර වෙලා අපි එන්නේ.ඉතිං  ඔයා කොහේද ගියේ? "
…"අද සුධර්මාරාමේ ෆිසික්ස් ක්ලාස් එක. අපිත් මේ එක ඉවට වෙලා එන ගමන්"
ඔහුගේ යාලුවෝ කැල අපට එහායින් නතර වෙලා අපූර්ව එනකල් බලාගෙන් හිටි බව මම දැක්කා.
"අපූ...අදම එනවද?" එතන හිටපු කෙනෙක් කෑ ගහද්දි මට සියුම් ලැජ්ජාවකුත් දැනුනා.
"හිටපං ටිකක්" කියලා කෑ ගහපු අපූර්ව ආයෙම මා දිහාට හැරුණා.
 "අක්කි දැන් ගෙදරද යන්නෙ?"
"නෑ මං අර යාලුවෝ දෙන්නා එක්ක මාළිගාවේ යන්න කියලා"
මම අපට ටිකක් එහාට වෙන්න හිටපු අමායි, හිරුණියි පෙන්නලා කිව්වා.
"එනවද යන්න?" මම ඔහුගෙන් ඇහුවේ නිකමට වගේ.
"අපූ...උඹ එනවද අපි එන්නද?" අපූර්වගේ යාලුවෝ ආයෙම කෑ ගහනවා.
"යන්න යන්න මම එන්නම්" අපූර්ව අත වනලා යාලුවන්ට කිව්වා. ඒ පාර කොලු රැල ඉබි ගමනින් ඉස්සරහට ඇදෙන්න වුණා.
"මාළිගාවේ යන්න බෑ අක්කි. ඔයා ගිහින් එන්න. මම ඔයා එනකල් ඉන්නම්"
අපූර්ව එහෙම කිව්වාම මට හිතා ගන්න බැරි වුනා මම මොනවා කියන්නද කියලා.ඔහු මම එනකල් ඉන්නව කිව්වේ අයි කියල්ල මට එකපාරටම හිතුණා. මොකද වෙනදා අපි අහම්බෙන් හම්බවුනොත් මිසක අපූර්ව මම එනකල් ඉඳලා නැති හන්දා.
"නෑ. නෑ.මට තනියට එන්න කිව්වා නෙවෙයි. නිකමට යමු කිව්වේ. එහෙනම් ඔයා යන්න. අන්න ඒ පාර යාලුවො ටික අතන නතර වෙලා බලන් ඉන්නවා"
මම කිව්වාම අපූර්ව යන්න හැරුණා. මම ගිහිං හිරුණිටයි, අමාටයි එකතු වුණා.
"කවුද ඒ හැන්ඩියා?" එහෙම ඇහුවේ අමා.
"අනේ ඒ පුංචි අම්මලගේ ගෙදර එහාපැත්තේ ගෙදර ඉන්න මල්ලි"
"ආ...මල්ලිද?ඇත්තටම? පේන්නේ නම් නෑ" හිරුණි අමුතු හිනාවක් පාලා කිව්වා. මගේ හිතට දැනුනේ නොසතුටක්.
"ඔය ඉතිං ...මොනවා කිව්වත් වැරදියට නේ හිතන්නේ." මම කිව්වේ අහක බලා ගෙන.
"අපි එහෙම් හිතුවට කමක් නෑ. අසල්වැසියාට ප්‍රේම කරනවා එහෙම නෙවේ හරිද පුතේ?"
අමා මගේ මූණට එබිලා කියද්දි මම ඇයට රැව්වා.

දළදා මලිගාවත මම හැමදාමත් හුඟක් ආසා කලා. ගල්පදිපෙල නැගලා ගිහින් මාළිගාවට ඇතුල් වෙද්දි හිතටත්,ගතටත් දැනුනේ පුදුමාකාර සනීපයක්. මාලිගාව ඇතුලේ සෑහෙන්න සෙනග හිටියා. ඒ අතරේ විදේශික අයත් හුඟක් හිටියා. අපි ඉහල මාලෙට නැගලා, අරගෙන ආපු සුදු නෙලුම් මල් පූජා කලා. පන්සිල් අරගෙන් ඉවර වෙලත් අපි ටිකක් වෙලා උඩමාලෙ වාඩි වෙලා හිටියා.
"අපි එහෙනම් යමුද?" හිරුණි බිම තියලා තිබුණ බෑග් එක අතට ගන්න ගමන් ඇහුවා. මම ඇයත් එක්ක ම නැගිට්ටා.

"මදෑ.. ඒකයි හතලිස්පහයි වෙලාව. මම කිව්වනේ මියුසියම් එක බලන්න ගියොත් වෙලා යයි කියලා."
අමා නෝක්කඩු කිව්වේ අපි මාලිගාවේ කෞතුකාගාරෙ බලල ඉවර වෙලා පහලට බහිද්දි.
"හරි හරි. රෑ එකයි හතලිස්පහ උනේ නෑනෙ. දැන් ඉක්මණට යමු" හිරුණි කිව්වා.
අපි මාලිගාවෙන් පිට වෙලා මාලිගාවේ පිටිපස්ස පැත්තෙන් වැව රවුමට අවතීර්ණ වුණා.
"අපි ක්ලොක් ටවර් එක ලඟට යනවා.ඔයා ටොරිංටන් එක ලඟට යනවද, නැත්නම් මෙතනින් නගිනවද?"
වැව රවුමෙන් පහලට බහින පඩිපෙල ලඟ නතර වෙල අමා ඇහුවා.
"මං මෙතනින් නගින්නම්"
"තනි නෑනෙ නේද? එක්කෝ අපි ඔයාව බස් එකකට නග්ගලාම යන්නද?"
හිරුණි වටපිට බල බල මගෙන් ඇහුවා. ඒත් මම මුකුත් කියන්න කලින් අමා එක පාරම හිරුණිට ඇනලා කෑ ගැහුවා.
"ඕන වෙන එකක් නෑ හිරු. අන්න මෙයාගේ නේබර් කාරයා මේ පැත්තත එනවා. දැන් තනි නෑනෙ කොහොමත්"
මමයි, හිරුණියි එක පාරටම හැරිලා බලද්දි වැව රවුමේ එහා පැත්තේ ඉඳන් එමින් හිටියේ අපූර්ව තමයි.

"අපි එහෙනම් යනවා මෙත්." හිරුණි අමාවත් ඇදගෙන පඩිපෙල බැහැලා යන්න ගියා. මම හිටියේ අන්ද මන්ද වෙලා. ඒ දෙන්නාගේ මේ හැසිරීම මගේ හිතේ ඇති කලේ අමනාපයක්. අපූර්ව සහ මං ගැන එයාලා වැරදියට හිතාගෙන ඉන්නවාවත්දෝ කියලා හිතුනම මට දැනුනේ තරහක් එක්කම අනියත බයක්. අපූර්ව ලඟට ඇවිත් කතා කරනකල්ම මම බලාගෙන හිටියේ අමා ලා ගිය දිහාව.
"මම ගොඩක් වෙලා බලාගෙන හිටියා"
අපූර්ව මට කිව්වාම මම එයා දිහාවට හැරුණේ අමනාපෙන්මයි.
"මොකටද?"
මං එහෙම ඇහුවාම අපූර්ව එකපාරටම උත්තරයක් දෙන්න බැරුව අන්ද මන්ද වුනා.මම අපූර්ව දිහාම බලාගෙන උනා. අපූර්වත් මගේ දිහා මොහොතක් බලාගෙන ඉඳලා බිම බලා ගත්තා. ආයෙම එක පාරක් මා දිහා බලපු ඔහු එක පාරටම පඩි පෙල බැහැලා යන්න ගියා.ඔහුගේ හිත රිදුන බව මට තේරෙද්දි අපූර්ව පේන තෙක් මානේක වත් හිටියේ නැහැ. හිතේ තිබුණ අපැහැදිලිකම වෙනුවට හිතට මෝදු වුනේ දුකක්.
මම බස් එකකට නැගගත්තේ ඒ සිහියෙන්මයි. වෙනදට බස් එකෙ හිර වෙද්දි මට තරහා ආවත් අද ඒ කිසි දෙයක් දැනුනේ නැති ගාණයි. 'මම අපූර්වට ඒ විදියට කතා කලේ ඇයි?' මම කල්පනා කලා. 'ඔහුගේ හිත හොඳකමට මම එනකල් හිටපු එක මම හෑල්ලුවට ලක් කලා කියලා අපූර්වට හිතුනොත්?නැත්නම් මම ඔහු ගැන වැරදියට තේරුම් ගත්තා කියලා හිතුවොත්?' එහෙම් හිතද්දි මට දැනුනේ මහා පසුතැවිල්ලක්. 'ඒත් ඉතිං දැන් මොනවා කරන්නද?'

"ඉන්දි අද දවල්ට කන්නේ නැද්ද?"
මම ඇඳේ දිගා වෙලා හිත හිත ඉද්දි කාමරේට ආපු පුංචම්මා ඇහුවා. මම හෙමින් නැගිටලා ඇඳේ වාඩි වුනා.
"කන්න බෑ වගේ පුංචම්මේ"
"එහෙම කියලා කොහොමද? ඔය තාම උදේ කාපු පාර නේද? හා හා, යමු පහලට. මම බත් බෙදුවා."
පුංචම්මා මාවත් ඇදගෙන පහලට ගියා.
"අනේ කන්න බෑ පුංචම්මේ" මම කෙඳිරිගෑවා.
"නෑ, නෑ කන්නම ඕන. ඉන්නකෝ ඔයාට බැරි නම් මම කවන්න."
පුංචම්මා බත් එක අතට ගත්තා.
මට මතක් වුනේ අම්මාව. එක පවුලේ නූනත් පුංචම්මටත් තිබ්බේ අම්මගේ ගති ගුණ. අම්මා නැති පාලුව මට ඒ තරම් නොදැනුනේ ඒ නිසා වෙන්න ඇති. පුංචම්මා හර්ෂි අක්කට තරම්ම මටත් ආදරේ බව මම දැනගෙන  හිටියා.
"දීපා.. දීපා.."
පුංචම්මා මට බත් කවන අතරතුරේ කවුදෝ කතා කරනවා අපට ඇහුනා.
"සුධර්මා ද කොහේද?"
පුංචම්මා කුස්සියේ දොරෙන් එබිලා බැලුවා.
"ආ සුධර්මා...එන්න. එන්න." ඊලඟට ලොකු හිනාවකින් මූන සරසාගත්තු පුංචම්මා කිව්වා.
"වැඩක්ද?" එහෙම් අහගෙන කුස්සියට ආවෙ ලස්ස්සන ගවුමක් ඇඳගත්තු ගැහැණු කෙනෙක්. මගේ ඇස් දෙක එක පාරටම ගියේ ඇගේ දිගම දිග කොණ්ඩෙට.
"මේ අලි බබාලට කවනවා"
පුංචම්මා කියද්දි අය මං දිහා බලලා හිනාවක් පෑවා. ඇය බොහොමත් ලස්සන බව මම දැක්කේ මෙවෙලේ. පුංචි ඇස් දෙකකුයි, හොඳට දැකලා පුරුදු ලස්සන හිනාවකුයි ඇයට තිබුණා.
"අයියාගේ දුව නේද?" ඇය ඇහුවා.
'ඔව්. ඉන්දි දන්නවද මේ කවුද කියලා? මේ අපූගේ අම්මා"
කටට ගත්තු බත් පිඩ එහෙම්මම මට ගිලුන. ඒත් මම අමාරුවෙන් හිනා වුණා.
"පුතා කිව්වා ලස්සන අක්කි කෙනෙක් ඇවිත් ඉන්නවා කියලා. ඒත් මම හිතුවේ නෑ නෙලුම්ගේ දුව කියලා"
එහෙම කිව්වාම මට තේරුනා ඇය අපේ අම්මවත් අඳුනන බව.
"ඉතිං හිටගෙන ඉන්නේ වාඩි වෙන්නකෝ."
පුංචම්මා බත් පිඩක් අනමින්ම කිව්වා. මට බත් කෑවා ඇති කියලා හිතුනා.
"මට ඇති පුංචම්මා" මම ඉඳගෙන උන්නු මේසෙන් බැහැලා වතුර බොන්න ෆ්‍රිජ් එක ලඟට ගියා.
"අනේ වාඩි වෙවී ඉන්න බෑ දීපා. ගෙදර කවුරුත් නෑ. පුතා තාම ආවෙත් නෑ. මං මේ ආවෙ හවස සමිති රස්වීමට යනවද අහන්න."
සුධර්මා ඇන්ති කියනවවා මට ඇහුණා. මම වතුර වීදුරුවත් අරන් එලියට ආවා. ආයෙමත් අර පසුතැවිල්ල මුසු හැඟීම මගේ හිතට ආවා වගේ. 'අපූර්ව කොහේ ගිහින්ද?"
"දුව මම එහෙනම් යනවා. එන්න වෙලාවක අපේ ගෙදා. මමත් තනියෙම නේ ඉන්නේ"
නොහිතපු වෙලාවක සුධර්මා ඇන්ටි ආව නිසා මගේ සිතුවිලි දැහැන බිඳ වැටුණා.
"හොඳයි ආන්ටි" මම හිනාවක් මුවට නගාගෙන කිව්වා.

"කෝ නංගි අම්මා?"
අක්ක ආපු බව මම දැක්කේ කුස්සියේ කැරට් කප කප ඉන්දැද්දියි.
"සමිතියට ගියා"
"මොන?"
"මරණාධාර වෙන්න ඇති"
"කීයට විතරද ගියේ?"
"මේ දැන් දැන්"
"හ්ම්ම්"
අක්කා හෙමින් හෙමින් කාමරේට යනවා මට ඇහුණා.
එයා ආපහු කුස්සියට එද්දි මම කැරට් කපලා ඉවරයි.
"මොකද අද කුස්සියට බැහැලා? ඔය කේතලේ තියන්න.."
එහෙම කියගෙන අක්කා ජනේලෙ ලඟ පුටුවේ වාඩි වුනා.
"රෑට නූඩ්ල්ස් හදන්න කැරට් කැපුවා"
මම කේතලේ ලිපෙන් තියලා, කැරට් භාජනේ මේසෙ උඩින් තිබ්බා.
"අද හරි වැඩක් වුනානෙ අක්කේ" අක්කා තේ හදන අතරතුර මම හිතේ තදකරගෙන හිටපු දේවල් අක්කට කියන්න පටන් ගත්තා.
"මොකෝ කොල්ලෙක් වත් පස්සෙන් ආවද?"
"නෑ අනේ, අහන්නකෝ...ඔන්න අද ක්ලාස් ඉවර වෙලා එද්දි මට අපූර්ව මුණගැහුණා. ඉතිං මම එයාට කතා කරලා යාලුවොත් එක්ක මාලිගාවේ ගියා. ආපහු ගෙදර එන්න එද්දි අපූර්ව වෙනදා වගේ මට හම්බවුණා_"
"වෙනදා වගේ?" අක්ක මට බාධා කලා.
"ඔව්. වෙනදත් සමහර දවස් වලත එයා ඉන්නවනේ. ඉතිං අමයි, හිරුයි මට විහිලු කලා එයා ගැන අනං මනං කියලා. මං හිටියේ තරහා ගිහින්. ඒ හින්දා මගේ අතින් අපූර්වගේ හිත රිදෙන දෙයක් කියවුණා."
"ඇයි.. ඒ මොකක්ද?"
මම මුලු විස්තරේම් අක්කට කිව්වාම එයත් කල්පනාවට වැටුණා.
"ඒ මල්ලි මම ගැන වැරදියට හිතයිද දන්නෙ නෑ අක්කේ?"
"අපූ දැන් මා එක්කමයි ආවේ. වෙනසක් නම් පේන්න තිබ්බේ නෑ හැබැයි.කොල්ලට දුක හිතෙන්න ඇති. මං වුණත් තනියෙම එනවා නම් මම එනකල් ඉඳලා, ගෙදරට ඇරලනවා. ජෙනිෆර් නැති අඩුව එයාට දැනෙනෙවා ඇති.පව්. අපි කතා කරලා බලමු"
අක්කා එහෙම කිව්වාම මට තවත් දුක හිතුණා.
මේ අතරේ ගෙදර ඉස්සරහ දොරේ සීනුව නාද වුණා. අක්ක මං දිහා බලලා ඉස්සරහට ගියා.එයා කා එක්කදෝ කතා කරනවා මට ඇහුණා. ඊලඟට අක්ක මට කතා කලා.
"නංඟී...සුධර්මා ඇන්ටි යතුර දීලා ගියාද?"
එහෙම දෙයක් මට දීලා තිබුණේ නැහැ. මම ඉස්සරහට ගියා.
"නෑනෙ. ඇයි?"
මගේ කකුල් දෙක එක පාරටම නතර වුණේ දොර ලඟ උන්නු අපූර්ව දැකලා.
"අයියෝ... මමා ඔහොමමයි. හැමදාම අමතක කරනවා. දැන් මොකද කරන්නෙ?"
අපූර්ව ඉණටත් අත් දෙක තියාගෙන කිව්වේ එපා වුන ගාණට.
"මමා එනකල් මෙහේ ඉන්න. එන්න ඇතුලට"
අක්කා කිව්වාම මම දොර රෙද්දට මුවා වුණා. ඔහු ගෙට එන්න අති.
"නංඟී..." අක්කා මට අඬගහනවා මට ඇහුණා.ඊලඟ මොහොතේ එකපාරටම ආපු අක්කට දොර රෙද්දට මුවා වෙලා උන්නු මාව නොපෙනුනු හන්දා එයා මගේ ඇඟේ හැපුණා. අපි දෙන්නම දෙපැත්තට විසි වුණේ එකට.
"මොනවා කරනවද මන්දා..."අක්කට කියවුණා.
මම අපූටත් එක්ක තේ හදාගෙන එනකල් යන්වාගිහින් කතා කරනවා"
ඊලඟට කුස්සියට ආපු ඇය කිව්වා.
මම චුට්ටක් වෙලා හිතුවා. වැරැද්ද මගේ නිසා මුලින් කතා කරන්න ඕනෙ මම තමා. මම දොර රෙද්ද අයින් කරගෙන හෙමිහිට ඉස්සරහට ගියා.අපූර්ව මම දැකපු ගමන්ම හිටගෙන අහක බලා ගත්තා.
"අපූර්ව.." මම කිව්වා නෙවෙයි මට කියවුණා. ඒ මම ඔහුට නම කියලා කතා කරපු පළවෙනි වතාව.
'අද මට තරහ ගිහින් හිටියේ යාලුවෝ කරපු විහිලුවකට, ඒකයි මා අතින් ඔයාගේ හිත රිදෙන දෙයක් කියවුණේ' මම එහෙම හිතුවට කියන්න දිව අගට ආවේ නැහැ. අපූර්ව ෆෝන් ඉවත බලාගෙනම හිටියා.
"මොකද දෙන්න අලුත් ගේම් එකක් ද? කත නොකර සිටගෙන සිටීම, ආ?"
හර්ෂි අක්ක තේ බන්දේසියක් උස්සාගෙන අපි අතරට එනකල්ම මම ඇයව දැක්කේ නැහැ.
"මොකද අපූ හිටගෙන? වාඩිවෙන්න, ඔයත් එන්න ඉන්දි."
අක්කා තේ මේසය උඩින් තියල මාවත් ලඟින් වාඩි කරවගත්තා. අපූර්ව තවමත් හිටගෙන. ඒ පාර අක්ක නැගිටල ඔහුවත් වාඩි කෙරෙව්වා.
" මොකද මේ දෙන්නා තරහා වෙලා. නෝනයි, මහත්තයයි වගේ. මම ප්‍රාර්ථනා කරනවා එච්චර නම් දුරදිග යන්න එපා කියලා. මොනාද ළමයි මේ ඈ? අපූ මෙච්චර කල් හිටියා මාත් එක්ක කවදාවත් තරහා වෙලා නෑනෙ."
අක්කා කිව්වා. මම බලාගෙන හිටියේ මේසෙ උඩ සීනි ඇටයක් උස්සගන්න දඟලන කූඹියෙක් දිහා.
"තරහක් නෙවේ අක්කා. මම ආස නැහැ කාටවත් කරදරයක් වෙන්න."
කූඹියා සීනි ඇටේ එක්කම පෙරලුනා. මගේ හිස එසවුණේ නිරායාසයෙන්මයි.
"ඔයා කරදරයක් කියලා මං කිව්වද?" මම අහුවේ මඳක් සැරෙන්.
"එහෙනම් මොකටද අර විදියට කිව්වේ?"ඒ අපූර්ව.
ඒක ඔයාගේ වැරැද්දක් නෙවෙයි. මගේ යාලුවෝ මාව තරහා ගස්සලයි හිටියේ. ඒකයි. මම මල්ලි ගැන වැරැද්දක් හිතුවේ නැහැ"
මම කිව්වේ බිම බලාගෙන.
"ඉතිං ඔයාට තරහා ගියාම අහල පහල අය බයිට් ද?" අපූර්ව නපුරු විදියට ඇහුවා.
මම හිස උස්සලා ඔහු දිහා බැලුවේ පුදුමෙන්. ඔහු මට මේ විදියට කතාකරන එක මට හිතා ගන්න බැරි වුණා.මොහොතකට අපූර්වගේ දෑස් මගේ දෑස් වල පැටලුණා.
"නැහැ" මම හෙමින් කිව්වා ආයෙමත් බිම බලා ගන්න ගමන්.මගේ හිත රිදිලයි තිබුණේ අහේතුකවම.
"අයෑම් සොරි" මම ආයෙම කිව්වා. මගේ කටහඬ අමුතු වෙලා වග මට තේරුණා.
අපූර්ව දිග සුසුමක් හෙලන හඬ මට ඇහුනා.
"හරි, කමක් නෑ. ඒත් ආයෙම එහෙම කරන්න එපා. ඉට් හර්ට්ස්"
අපූර්ව වෙලා අරගෙන කිව්වා. මගේ හිත යන්තමට තිගැස්සුනා.
"අහෙම්...මේ... මමත් මෙතන ඉන්නවා" මෙච්චර වෙලා සද්ද නැතුව උන්නු අක්කා උගුරේ රැල් බුරුල් ඇරලා කිවා. අපූර්වගේ මූණේ පුංචි හිනාවක් ඇඳුනාම මටත් හිඅන ගියා.
"තේ නම් නිවිලා...බිස්කට් වත් කන්න ඉතින්"

රෑ කෑම කාලා අහවර වෙලා අක්කයි, මමයි කුස්සියේ පිඟන් ටික හෝදමින් ඉද්දි පුංචම්මා සාලෙ නාට්‍යයක් බලමින් හිටියා.
"ඉන්දි.." මම පිඟන් පිහ දම දම ඉද්දි අක්කා මට කතා කලේ මොකක්දෝ අහන්න වගේ.
"ම්ම්..." මම වැඩේ නොනවත්වාම හූමිටි තිබ්බා.
"නෑ... එක්කෝ ඕන නෑ." අක්ක ඊලඟට එහෙම කිව්වා.
මම ඒ පාර නම් වැඩේ නවත්තලා ඇය දිහා බැලුවා.
"ඇයි... කියන්නකෝ?"
"මුකුත් නෑ. මුකුත් නෑ."
අක්කා එහෙම කිව්වත් එයා මොනවා හරි අහන්න හිටිය බව මට තේරුණා. ඒත් එයා ඒක කිව්වෙම නැහැ.

Monday, August 1, 2011

පස් වෙනි දිගහැරුම

අපි පදික වේදිකාව දිගේ ඉස්සරහට ඇවිදගෙන ගියා. ඒ එන අතරතුරේදි අපූර්වට මුණගැහුණේ පුදුම යාලුවෝ තොගයක්. ඒ යාලුමිත්‍රාදීන්ට හායි, හලෝ, කිය කිය එන්නම අපට ගොඩක් වෙලා ගියා මම හිතන්නේ.
"මෙන්න මෙතන තමා ටොරිංටන් එක." අපූර්ව නැවතුනේ කොන්ක්‍රීට් වලින් හදපු  උද්‍යානයක් ලඟ. ඒකෙ තැනින් තැන වවපු බෝගන්විලා මල් පඳුරු මම දැක්කා.
"මෙතනද බස් ගහන්නේ?"
මම ඇහුවේ ඒ හරියේ නම් පේන්න බස් නොතිබුණ හන්දා. එහා පැත්තේ ඔරලෝසු කණුව ලඟ නම් බස් පෝලිම් ගැහි ගැහී තියෙනවා මට පෙනුනා.
"ඔයාට නුවර ගැන සාමාන්‍ය දැනීමක් වත් නෑනෙ අක්කි. ඔහොම නම් මෙහේ ඉන්න බෑ."
අපූර්ව කිව්වේ ඇස් කරකවමින්.
"ඒකට කමක් නෑ. මම මෙහේ නවතින්න එන්න අදහසක් නෑනෙ." මම කිව්වා.
"කවුද දන්නේ?" අපූර්ව මා දිහා බලලා කිව්වා.
මම ආයෙම මුකුත් කියන්න කලින් අපූර්ව පඩි පෙලක් බැහැලා මාවත් එක්කගෙන ගියේ පාර යතින් තිබුණ බිම් ගෙයක් ඇතුලට. එතන හතර මං හන්දියක් වගේ හතර පැත්තට පඩිපෙලවල් තිබුණා. වෙලඳසැල් තිබුණා, මිනිස්සුත් ගොඩක් හිටියා. මම මීට කලින් මෙතනට ඇවිත් තිබුණේ නැහැ.
"කොහෙද මල්ලි අපි මේ යන්නේ?" මම වටපිට බැලුවා.
"මේක මගී උමං මාර්ගයක්. පාර දිගේ ගිහින් වාහන අස්සේ පාර පනින එක වලක්වන්න තමා මිනිස්සුන්ට දෙපැත්තට මාරු වෙන්න මේක හදලා තියෙන්නේ."
අපූර්ව පැහැදිලි කළා.  නුවර මම හිතුවට වඩා කොච්චර සංකීර්ණද? නුවර එක්ක සසඳද්දි අපේ ගම කොච්චර පුංචිද කියලා මට හිතුණා.
කොහොම කොහොම හරි අපි එහෙන්මෙහෙන් රිංගලා  ඇවිත් බස් එකකට නැගලා වාඩි වුණා.
"හප්පෝ...මට කලන්තේ වගේ. මීට හොඳයි අතනින්ම බස් එකකට නැග්ගා නම්. අපි කොච්චර දුර ආවද?"
මම පවන් සලා ගන්නා ගමන් කිව්වා. මට හොඳටම දාඩියත් දාලයි තිබුණේ. අපූර්ව හිනා වුණා.
"ටික දවසක් යද්දි හුරු වෙයි. මිනිස්සු අනික් සත්තුන්ට වඩා හරි ඉක්මණට ඕන දේකට අනුවර්තනය වෙනවනේ" අපූර්ව කිව්වා.
ඇති ඇති. මට දැන් මානව පරිණාමය ගැනත් අහන්න බෑ." මම කිව්වා.
බස් එකේ දෙතුන් දෙනෙකුට වඩා මෙවෙලේ හිටියේ නැහැ. අපූර්ව අතේ තිබ්බ පොත රෝල් කර කර වට පිට බල බල හිටියා.
"අපි බිස්කට් කමුද?" මම මේ පාර ඇහුවාම අපූර්ව බෑ කිව්වේ නෑ. කොහොම වුණත් සෙනග හුඟක් පිරෙන්න කලින් අපූර්ව බිස්කට් කාලා ඉවර වුණ එක ගැන නම් මම සතුටු වුණා.

"කවුරුහරි අපේ ගෙදර ගිහින් කියයිද දන්නේ නෑ මම ගෑණු ළමයෙක් එක්ක ජෝඩු දාලා බස් එකේ ආවා කියලා."
බස් එකෙන් බැහැලා එන අතරතුර අපූර්ව මට එහෙම කිව්වා. මගේ හිත යන්තම් නොසන්සුන් වුණා.
"හරි වැඩේ. ඉතිං මොකද කරන්නේ?" මම ඇහුවේ පුංචි බයකුත් හිතේ තියාගෙන.
"මොනා කරන්නද ඇත්ත කියනවා මිසක්."
"ඔව්. ඔව්.  ඒක තම හොඳ" මමත් හිස වැනුවා.
ඒ පාර අපූර්ව මහ හයියෙන් හිනා වෙන්න ගත්තා. මම ඔහු දිහා බැලුවේ පුදුමෙන්.
"ඇයි හිනාවෙන්නේ?"
"හයියෝ... ඔයා නම් හරිම සිලී අක්කි. ඔයා මේ බය වෙලා ඉන්නේ හරියට එහෙම දෙයක් වෙලා වගේනෙ. මම ගැන එහෙම හිතන්නෑ අපේ අම්මි. එයා මම ගැන හොඳට දන්නවා. බය වෙන්න එපා. මම විහිලුවට කිව්වේ"
මම නැවතිලා අපූර්ව දිහා බැලුවේ අමනාපෙන්. ඔහු ඒ පාර හිනා වෙන එක නවත්තලා මා ලඟට ආවා.
"අපි යමු නේ? වෙලා යනවා."
අපූර්වට තිබ්බේ හරිම අමුතු ගතිගුණ. වෙලාවකත හරිම හොඳයි. වෙලාවකට නපුරුයි. ඒත් ඔහු අක්කාවයි, මාවයි ආශ්‍රය කලේ බොහොම දයාබරත්වයෙන් කියලා කල් යද්දි මට තේරුණා.ඒ සමහරවිට ඔහුගේ එකම සොහොයුරියත් පිටරටක උන්නු නිසා වෙන්න ඇති. හුඟාක් දවස් වල පංති ඇරිලා එද්දි අපූර්ව මට මුණගැහුණා. මටත් නොදැනීම මම ඔහුගේ චරිතයට ඇලුම් කරන්න පටන් ගත්තා.මම හිතුවේ ඒ  මට කවදාවත් මල්ලියෙක් නොහිටපු නිසා වෙන්න ඇති කියලයි.

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....