Friday, November 4, 2011

හතලිස් හය වෙනි දිගහැරුම

උදේ පානදරම මම දිව්වේ අපර්ණා අක්ක බලන්න අපූර්වගේ ගෙදරට. ඇය එතකොටත් නිදි. මම ඇහැරවන්නේ නැතිව කාමරෙන් එළියට ආවා. සුධර්මා ඇන්ටි අන්කල්ට ගෙනියන්න බත් බඳිනවා. අන්කල් ටීවී එකේ මුල් පිටුව බලන ගමන් රෙදි මදිනවා. මම ඇන්ටි උන්නු දිහාට ගියා.
"තාම නිදි නේද?" ඇන්ටිමගෙන් ඇහුවා.
"හ්ම්"
"පව්" ඇන්ටි ආයෙමත් වැඩ.
"අපේ ප්‍රශ්ණ නිසා ඇන්ටිලාටත් කරදරේ" මම කිව්වා.
සුධර්මා ඇන්ටි මගේ දිහා බලලා හිනා වුණා.
"පිස්සුද ළමයෝ? අපට කරදරයක් නෑ. ප්‍රශ්ණ ඉතිං කාටත් තියෙනවනේ. ඒ වෙලාවට උදව් කරන්න එපැයි"
"තෑන්ක් යූ ඇන්ටි මේ කරන උදව් වලට"
ඇන්ටි කෑම පෙට්ටියත් අරගෙන මං ලඟට ආවා.
"තමන්ගේ අයට තෑන්ක් කරන්නේ නෑ" එහෙම කියලා ඇය ඉස්සරහට ගියේ අන්කල්ට බත් එක දෙන්න. මම කුස්සියේ මේසේ අසලින් වාඩිවුණා. අපර්ණා අක්කට කතා කරලම යන්න මට ඕන වුණා.
"ගුඩ් මෝනින්ග් මමා..."
එහෙම කියාගෙන එකපාරටම කුස්සියට ආවේ අපූර්ව. ශර්ට් එකක් වත් නැතිව, පිජාමා කලිසම පිටින්, නිදි ගැට කඩ කඩ ආපු ඔහු මාව දැක්කෙ ටික වෙලාවකට පස්සේ.
"ඔයා මෙහේ?" අපූර්ව කිව්වේ එක පාරටම දොර රෙද්දට මුවා වෙන ගමන්. මට හිනා ගියා.
"ඇයි? මට මෙහේ එන්න හොඳ නැද්ද?"
"ඒත් මේ උදේ පාන්දර?"
"පාන්දර? හොඳ පාන්දර. දැන් උදේ හතටත් ලඟයි"
අපූර්ව ආයෙත් මුකුත් අහන්න කලින් සුධර්මා ඇන්ටි ආයෙමත් කුස්සියට ආවා.
"මොකද මේ දොර ලඟ හිටගෙන? කෝ ඔය දොර රෙද්ද අතාරින්න...අන්න තේ එක කෑම මේසේ උඩ තිබ්බා"
න්ටි අපූර්වට කිව්වා. අපූර්ව දොර රෙද්ද අතෑරල එතනින් නික්මුණා.
"තාමත් පොඩි ළමයෙක් වගේ...අනේ මන්දා කවදා හැදෙයිද කියලා. ඊයේ තේ එක ඇඳ යට තිබිලා දැනුයි මට හම්බවුණේ"
සුධර්මා ඇන්ටි උස මග් එකක් පෙන්නලා මට කිව්වා. මම හිනා වුණා විතරයි.
"කවදා හරි ඔයාට තමයි මේ කරදරේ ඊලඟට" සුධර්මා ඇන්ටි කිව්වාම මගෙ හුස්මත් මොහොතකට හිරවුණා. මම ඇන්ටි දිහා බැලුවේ ඒ කියපු දේ තේරුම් කරගන්න. ඇන්ටිත් මා දිහා බලලා යන්තම් හිනා වුණා.
"ඔයා හිතං හිටියේ මං ඔය දෙන්නා ගැන දන්නේ නෑ කියලද?"
ඒ පාර නම් මාව ගැහෙන්න ගත්තා. මට දැනුනේ ලොකු වැරැද්දක් කරලා අහු වුණා වගේ හැඟිමක්.
"පුතා මට ඔය දෙන්නා ගැන කියලා ටික කාලයක් වෙනවා. අපි කවදාවත් එයා කැමති දේකට එපා කියලා නෑ. ඒ වගේමයි එයා කවදාවත් අපට නරක නාමයක් ගේන විදිහේ වැඩක් කරලත් නෑ. ඒ නිසා මේ කාරණාවෙදි වුණත් එයාට මම එපා කියලා කියන්න ගියේ නෑ" ඇන්ටි කිව්වේ හැඟිම්බරව.
මම ඈ දිහා බලාගෙන හිටියේ අදහාගන්න බැරිව. අනේ අපේ අම්මලත් එහෙම හිතනවා නම්?
"මං බයේ හිටියේ පුතා මොන කැරොල් කරත්තයක් උස්සන් එයිද කියලා" ඇන්ටි හිනාවුණා. ඊට පස්සේ ඈ මගේ ලඟට ඇවිත් මගේ කම්මුලකින් අත තියලා මා දිහා බලුවෙත් හැඟිම්බරව.
"ඔයා එයාට දුකක් නොදී, එයාට ගොඩක් ආදරෙන් ඉඳිවි කියලා මට විශ්වාසයි"
මොනවා කියන්නද කියලා මට හිතා ගන්න බැරි වුණා. මම එහෙමම ඇන්ටිට තුරුල් වුණා. ඈ මගේ හිස අතගෑවා.
"එක්ස්කියුස් මී...මාත් එන්නද?"
මම හිස විතරක් හරවලා බලද්දි අපූර්ව ටී ෂර්ට් එකක් දාගෙන ආයෙමත් ඇවිත්. ඇන්ටි ඔහුටත් අතක් දික් කලා. අපූර්ව ඇවිත් අම්මට තුරුල් වුණා පුංචි ළමයෙක් වගේ.
"ලව් යූ මමා"
අපර්ණාට කතා කරලා මම අපූර්වගේ ගෙදරින් ආවේ සැහැල්ලු සිතින්. සුධර්මා ඇන්ටිගේ ආදරේ, කමැත්ත, මගෙ හිතට එක් කලේ නිදහස් හැඟීමක්. ගෙවල් දෙකෙන්ම අකමැති වුණා නම් කොහොම හිටීවිද?

"මෙයා කොහෙ ගිහින්ද මේ උදේ පාන්දරම?" මම ගෙට යද්දි ආච්චි මම්මා කුස්සියේ තේ බොනවා. පුංචම්මත් මා දිහා බැලුවා.
"අල්ලපු ගෙදරට ගියා, ඇන්ටි බලලා එන්න" මම කිව්වා.
පුංචම්මා උදේට උයන්න කංකුං තෝරනවා. මම ත් උදව් කරන්න හිතාගෙන පැත්තකින් වාඩි වුණා.
"මේ කෙල්ලෝ දෙන්නා ගැන නම් මට බයක් නෑ.මගේ හිතට අමාරු අර කොල්ලා මතක් වෙද්දි"
ආච්චි මම්ම පටන් ගත්තේ  මං එන්න කලින් කතා කර කර උන්නු දෙයක් වග මට තේරුණා. ඔය කියන්නෙ අයියා ගැන.
"හ්ම්...ඒක නම් ඇත්ත. අනේ මන්දා අම්මේ, අයියා වුණත් ඔය තරම් මුරණ්ඩු නූනා නම් තමා හොඳ. මොනා කලත් එකම කොල්ලා නේ. අනික කී දවසක් ඔහොම විරසක වෙලා ඉන්නද? මේ ජීවත් වෙලා ඉන්න ටික කාලේ හොඳින් ඉන්න නේ බලන්න ඕන" පුංචම්මා කියනවා.
"අපි කිව්වට වැඩක් නෑ. මද්දු වගේ නෙවෙයි ලොකු පුතා. එයාම හිතලා ඕක තේරුම් ගත්තොත් මිසක්කා. නෙලුම් වුණක් ඕක නොකියා කියනවා කොච්චරවත්. අනේ මේ කොල්ලා කොහේ ඉන්නවද, මොනා කරනවද දන්නේ නෑ" ආච්චි මම්මා කම්පා වෙනවා.
මම පුංචම්මා දිහා බැලුවා. පුංචම්මත් මා දිහා බලලා ආයෙමත් වැඩේට යොමු වුණා.
"සිංහල අවුරුද්දටවත් කොල්ලා ගෙදර ආවොත්?" ආච්චි මම්මා කිව්වා.
"අයියා දැන් තාත්තා කෙනෙක් වෙන්නයි යන්නේ" මමත් කට පියාන ඉන්න බැරි තැන කිව්වා. ආච්චි මම්ම දැහැනකින් මිදිලා වගේ මං දිහා බැලුවේ ඇස් ලොකු කරගෙන.
"මොනවා? අනේ ඇත්තද? දෙයියන්ගේ පිහිටයි" ආච්චි මම්මා කිව්වේ ඇස් අගට එකතු වුණ කඳුළු පිහින ගමන්. මට ඇය ගැන දැනුනේ දුකක්.
"නෙලුම්ට ඕවා කියන්න යන්න එපා අම්මේ. අනික් පාර හිතේ අමාරුවක් හදා ගනී. අයියා සමාව දෙන්නේ නැත්නම් මොනා වුණත් වැඩක් නෑනෙ" පුංචම්මා ආච්චි මම්මට කිව්වා.

ආච්චි මම්මයි, සීයා පප්පයි, ඇස් වාට්ටුවට ගිහින් එහෙම්මම ගෙදර යන බවයි කිව්වේ. පුංචම්මා කොච්චර පෙරැත්ත කලත් නවතින්න දෙන්නම් කැමති වුණේ නෑ.
"ඉන්නේ කොහොමද දීපා? අරෙහේ නෙළුම්ට වැඩ ගොඩ ගැහිලා ඇති. අප්පච්චි එපායැ ලොකු පුතාගෙ වැඩ වලින් බාගයක් බලන්න. අපි ආයෙමත් එන්නම්. කොහොමත් සිංහල අවුරුදු ඉවර වෙච්ච ගමන්ම කලිඳු පුතාලගේ දිහා යන්න එනවනේ"
ආච්චි මම්මා යන්න වාහනේට නැගලා කිව්වා. එහෙමන් නම් ඉතින් නේන එකමයි කාරිය කියලා මට කියන්න හිතුණා.
ආච්චි මම්මලා ගියාට පස්සේ පුංචම්ම ලොකු සුසුමක් හෙලලා පපුවත් අල්ලගෙන පුටුවක ඉඳගත්තා.
"හප්පේ...දැනුයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ. මං බඩේ බිත්තර තම්බ තම්බ හිටියේ අපර්ණට අමාරුවක් වත් වුණොත් කියලා. මෙහෙම ගියොත් මටත් ලඟදිම පපුවෙ අමාරුවක් හැදෙනවා"
මම පුංචම්මට හිනා වුණා.
"පුංචම්මා හිතන්නකෝ කොච්චර පිනක්ද ඔයා කරගන්නේ කියලා"
"පින පල දෙයි මේවා ඔයාගේ අප්පච්චි දැන ගත්තු දාට. හ්ම්..හ්ම්..යං අර කෙල්ලව එක්ක එන්න"
මම එකඟ වුණේ පැනලා.
අපි පිටිපස්ස පැත්තෙන් යද්දි අපූර්ව එයාලගෙ එළවළු කොටුවේ තක්කාලි කඩනවා.
"ආ...ගොවි මහත්තයා අස්වැන්න නෙලනවද?" පුංචම්මා ඇහුවේ හිනා වෙලා.
"ඔව් ආන්ටි. මේ ටික ඉදිලා වැටෙන නිසා කඩන්න කියලා අම්මා කිව්වා"
"අම්මා ඉන්නවද?"
"ඔව්. ඔව්. අර අක්කිත් එක්ක ඉන්නවා මං දැක්කා"
පුංචම්මට යන්න දීලා මම එතන නැවතුණා.
"ආ... අල්ලගන්න" අපූර්ව මට තක්කාලි කූඩයක් දීලා කිව්වා. මම ඒක අතට ගත්තා.
"කොහොමද ඊයේ මගේ සිංදුව?" අපූර්ව අහනවා.
"හොඳයි, හොඳයි. ඒත් මං බයේ හිටියේ"
"ඇයි ඒ? ඔයාගේ දත් දොස්තරට වැඩේ අහු වෙයි කියලද?"
"මගේ දත් දොස්තර?"
"එහෙනම්? අද ආවේ නැද්ද ඔයා බලන්න?"
මං අපූර්වට රැව්වා.
"අනේ මේ...විකාර නොකියා ඉන්න අපූර්ව"
"මොනා වුණත් හොඳ කොල්ලෙක් පාටයි" අපූර්ව නවත්තන්නෙම නෑ.
"මං යනව යන්න" මම තක්කාලි කූඩේ බිම තියලා අපූර්වගේ ගේ දිහාට යන්න ආවා. අපූර්වගේ කතාවලින් මගේ හිත රිදිලයි තිබුණේ.
"හෝව්, හෝව්, ඉන්න. කොහෙද යන්නේ?"
අපූර්ව මා පස්සෙන් එද්දි මම ඈතට දිව්වා.
"මගේ දොස්තර මහත්තයා ලඟට..." මම දුවන් ගමන් කිව්වා.
ගේ ලඟට යද්දිම වගේ අපූර්ව මාව අල්ලගත්තා.
"එතකොට මේ මහත්තයාට මොකද වෙන්නේ?" අපූර්ව ඇහුවා මගේ මූණට එබිලා.
"ඕන දෙයක් වෙච්චාවේ" මම ආයෙත් ඔහුට බොරුවට රැව්වා.
"ගියොත් එහෙම උස්සගෙන එන්නේ" අපූර්ව කියනවා.
"ඇත්තට? පුලුවන්ද දන්නෑ" මං කිව්වා.
"බැහැයි කියලද හිතන්නේ?" එහෙම කියපු අපූර්ව එක පාරටම මාව හරහට උස්ස ගත්තා. මම හොඳටම බය වුණා.
"අනේ අපූර්ව මාව බිමින් තියන්නකෝ..දැන් පුංචම්මත් ඒවි..අනේ..."
මම ඔහුට බැගෑපත් වුණා.
"එහෙනම් චැලේන්ජ් කලේ මොකෝ?" මාව දෙපැත්තත පද්දන ගමන් ඔහු අහනවා.
"හරි හරි. මම පරාජේ බාර ගන්නවා. දැන්වත් තියන්නකෝ..."
අපූර්ව මට දඟකාර හිනාවක් පාලා, මාව උස්සගෙනම ගිහින් අතෑරියේ බාගෙට මැරුන තක්කාලි ගාලක් උඩ. මුළු ඇඟම තක්කාලි ගඳ ගහන්න පටන් ගත්තා.
"ඔයා නම් හරි නරකයි. බලන්න මුළු ඇඟම තක්කාලි ගඳයි" මම බිම ඉඳගෙන ඇඳුමේ පැටලුණ වේලිච්ච කොල අයින් කරන ගමන් කිව්වා.
"මං නරකයි තමයි. දත් දොස්තර...හොඳයි නේ" අපූර්ව හිටගෙන මා දිහා බලාගෙන හිනා වෙනවා.
ඒ පාර නම් මට කේන්ති ගියා. අම්මලා අප්පච්චිලා මදිවට දැන් මෙයත් පටන් අරගෙන. මම තක්කාලි ගාලෙන් නැගිටලා අපූර්ව දිහාවත් නොබලා පුංචම්මා හොයන්න දිව්වා.
"ඒයි...ඔහොම ඉන්න..." අපූර්ව ත් මගේ පස්සෙන්ම ආවා.
මේ සැරේ ඔහු මාව අල්ලගන්න කලින් මම කුස්සියට දුව ගත්තා. හොඳ වෙලාවට පුංචම්මලා කුස්සියේ හිටියා.
"මොකෝ මේ? හම්මෝ තක්කලි ගඳ! මොකද ළමයා මේ?" පුංචම්ම ඇහුවේ නහය හකුලුවලා.
අපර්ණායි, සුධර්මා ඇන්ටියි මා දිහා බලාගෙන උන්නෙත් පුදුමෙන් වගේ.
"අපූර්ව මාව අර මැරුණ තක්කාලි ගාලට තල්ලු කලා" මම නෝක්කඩුවක් කිව්වා.
එතකොටම වගේ අපූර්වත් ගෙට ආවා.
"මොක්කද පුතා මේ කරන වැඩ? ඔයා මොකද මෙත්මාව තක්කලි ගාලකට තල්ලු කලේ?" සුධර්මා ඇන්ටි ඇහුවේ සැරෙන් නම් නෙවෙයි. අපූර්ව හිස කසමින් හිනා වෙනවා. මම ඔහු දිහා නොබලම හිටියා.
"අයියෝ විහිලුවට නේ මමා"
"විහිලු තමා. දැන් මේ ලමයා ගාව තක්කාලිම ගඳයි නේ"
අපර්ණාට නම් හිනා. පුංචම්මත් බලාගෙන උන්නේ හිනා වෙවී.
"නෑවාම ඕක හරි යයි" අපූර්ව මගේ දිහා බලලා කිව්වා.
"හරි හරි. දැන් ඕකට වාද කලා මදෑ. අපි එහෙනම් යන්නම් සුධර්මා. උයන්නත් ඕන. අනේ කරපු උදව්වට ගොඩාක් ස්තුතියි" පුංචම්මා යන්න නැගිට්ටා.
"අනේ ඕක මොකක්ද දීපා. දූ නිතර මේ පැත්තේ එන්න ඕන හොඳේ" ඇන්ටි අපර්ණාගේ මූණ අතගාලා කිව්වා.
"තරහද?" අපි දොර ලඟට යද්දි අපූර්ව ඇහුවා මගෙන්. මම අහක බලා ගත්තා.
"අයියෝ ආන්ටි මෙයා මා එක්ක තරහා වෙලා" අපූර්ව කිව්වේ පුංචම්මට.
"තරහ ගැස්සුවා නම් ඉතිං යාලු කරගන්න එකයි ඇත්තේ, නේද පුංචම්මේ?" අපර්ණා අක්කා ඇහැක් ගහලා කියලා පුංචම්මත් එක්ක ඉස්සර වුණා.
මමත් ඒ පස්සෙන්ම ගියේ අපූර්ව දිහාවත් නොබලා. ඔහුගේ විහිලු වලින් මගේ හිත හොඳටම රිදිලයි තිබුණෑඅ. මම ලිහා ගන්න බැරි ප්‍රශ්ණ ගොඩකටැ මැදි වෙලා ඉද්දි තව විහිළු කරන්නත් එනවා.
"අනේ අනේ තරහා වෙන්න එපා පැටී..." අපූර්ව මට ලං වෙමින් කිව්වා."විහිලුවක් නේ කලේ"
"විහිළු වලින් ඇස් රතුවෙන්නත් පුලුවන් කියලා දන්නෙ නැද්ද?" මම තරහෙන්ම ඇහුවා.
"කවුද දන්නේ ඔච්චර තරහා යයි කියලා"
"අනික් අය මොනා කිව්වත් මට කමක් නෑ...ඒත් ඔයා?" මම ඔහු දිහා බැලුවේ තරහෙන්මයි.
අපූර්වගේ හිනා මූණ අතුරුදහන් වුණා.
"ඔයාට හොඳටම තරහා ගිහින්"
"ඔයාට ඕන මම ඒ දත් දොස්තර එක්ක යන්න නම්, කමක් නෑ. ඒත් මං මේ හැම කරදරයක්ම ඉවසගෙන, හිත රිදෝගෙන ඉන්නේ කා නිසාද කියලා ඔයා අමතක කරන්න එපා "
"මෙත්මා..."
"මට ඔයා කියන මුකුත් අහන්න ඕන නෑ" මම නොනැවතීම එළවලු කොටුව ලඟටම ගියා, අපූර්ව මගේ අතකින් ඇදලා නවත්තනකල්ම.
"මෙත්මා ප්ලීස්...මේ අහන්න..."
මම ඔහුගේ අත ගසා දැම්මා.
"මට යන්න දෙන්න...ඔයා මගේ හිත හොඳටම රිද්දුවා අපූර්ව...හොඳටම"
තරහටයි, දුකටයි සේරටම එක්ක මගේ කඳුළු පිට පැන්නා.
අපූර්ව බලාගෙන හිටීයෙ කම්පනයට පත් වෙලා වගේ.
"මම හිතුවේ නෑ..." ඔහු තතනද්දි මං ආයෙමත් කතා කලා.
"ඔයා හිතුවේ නැත්තේ මගේ ගැන, ඔයාට ආදරේ කරන මේ හිත ගැන. මට ඕන නම් ඔයාව අමතක කරලා දාලා, කලිඳු අයියට කැමති වෙන්න තිබ්බා. ඒත් මං එහෙම නොකලේ ඇයි? ඔයා නිසා අපූර්ව, ඔයා නිසා...ඉතිං ඒක ඔයාට විහිළුවක් නම්, මට ආයෙත් ඔයා එක්ක කතා කරන්න දෙයක් නෑ"
මට මෙච්චරටම තරහා ගියේ ඇයි කියලා මං වත් දැනගෙන හිටියේ නෑ. කලිඳු අයියා ගන එක එක්කෙනා කියන ඒවා අහලා ඇති වෙලා ඉද්දි අපූර්වත් මට විහිළු කරපු නිසාමද, නැත්තම් ඒ සේරම එක්ක තිබ්බ තරහා අපූර්වගේ පිටින් මම යැව්වද කියලා මම දන්නේ නෑ.
අපූර්වත් හිටියේ අඬන්න ලං වෙලා වගේ මා දිහා බලාගෙන.
"මම යනවා" මං ගේට්ටුව ඇරියේ කඳුළු පිහින ගමන්.
"ඔහොම ඉන්න…." අපූර්ව ආයෙමත් පැනලා මගේ අතකින් අල්ල ගත්තා.

No comments:

Post a Comment

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....