Monday, September 26, 2011

දොලොස් වෙනි දිගහැරුම


මාව ගෙදර එක්ක යන්න අප්පච්චි මාස දෙකකින් විතර ආවේ නෑ අමා"
එදා පංතියේ හිටියේ මමයි, අමායි විතරයි. හිරු මොකක් නිසා ආවේ නැද්ද දන්නේ නැහැ.
"තින් අම්මා වත් ආවේ නැද්ද?"
"නෑ. අප්පච්චි නැතුං අම්මා එන්නේ නෑ. හැබැයි කෝල් නං කරනවා. මම හිතන්නේ අප්පච්චි මොකද නාවේ කියලා"
පුංචම්මලාගෙ ගෙදර මට කරදරයක් නැති වුණත්, අම්මලා මතක් වෙද්දි මට ගෙදර යන්න ඕනමයි කියලා හිතුණා. අප්පච්චි මට කීප සැරයක් කතා කලත් මාව ගෙදර එක්ක යන්න එන්න කියන්න මට බය හිතුණා. ඒ නිසා මට කවදා හරි අප්පච්චි එයාම හිතලා එනකල්ම ඉන්න වෙන බව හිතද්දි මට දැනුනේ දුකක්.

"මාව ගෙදර එක්කං යන්න අප්පච්චි ආවේ නැහැ" මම හවස මුණගැහුණාම අපූර්වටත් කිව්වා.
"තින් ෂෝක් නේ. ඔයා මෙහේ ඉන්න"
ඔහුට මගේ දුක ගැන වගක්වත් නෑ.
"ඔයාට තේරෙයි ගෙදරින් පිට ඉන්න වුණා නං" මම නෝක්කාඩු කිව්වා.
"ඉතිං අක්කි මාස දෙකක් විතරයි නේ"
"මාස දෙකක් වුණාට, මාත් ගෙදර යන්න ආස නැද්ද?"
අපූර්ව මං දිහා බලාගත්වනම නැවතුණා.
"අනේ අපේ අක්කට ඔහොම හිතෙන්නේ නැද්ද දන්නේ නෑ"
අපූර්ව එහෙම කිව්වාම, මගේ දුකට උඩින් අපූර්ව ගැන දුකකුත් මගේ දුක් කන්ද බර කලා.
"අපි ඔය කතා නවත්තමු මල්ලි"
මම අන්තිමට කිව්වා.
"විභගෙටත් තව මාස පහයි තියෙන්නේ. එන්න එන්නම පීඩනය වැඩියි. සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා. ඒ අස්සේ ස්පෝර්ට්ස්, ටූනමන්ට්ස්, සමිති සමාගම් වැදයි...මට නම් තිත්ත වෙනවා වෙලාවකට"
අපූර්ව ඒ පාර තවත් අඳෝනාවක් පටන් ගත්තා.
"ඔයාට කරන්න බැරි තරම් දේවල් ඔහුවට ගන්න එපා. එක්සෑම් නේ වැදගත්. ඒකට මුල් තැන දෙන්න. මෙහෙන් කැම්පස් යන්නත් අමාරු නිසා උපරිමේට මහන්සි වෙන්න වේවි"
"ඔයා මට උදව් කරනවද අක්කි?"
"නැතුව? මට පුලුවන් සේරම උදව් මම කරන්න ලෑස්තියි. ඒත් මට මොනාද කරන්න පුළුවන්?"
මම කිව්වාම අපූර්ව කල්පනා කරන්න පටන් ගත්තා.
"ඔයා මගේ ලඟින් ඉන්න ඒ ඇති"
ඔහු කිව්වාම මට ඔහු ගැන සියුම් අනුකම්පාවක් දැනුනා.
"ඔයා කැමති නම් අපි මාලිගාවට ගිහින් බාරයක් වෙමු විභගෙට කලින් දවසක" මම යෝජනා කලේ සැකෙන්. මොකද අපූර්ව එන නො එන එක ගැන කියන්න බැරි නිසා.
"අපිට දැන් යන්න බැරිද?" ඔහු ඇහුවාම මම පුදුම වුණා.
"දැන්? දැන් වෙලාව පහයි. හවස් වෙලානේ"
"ඉතිං හවස් වුණාම මොකද? මාලිගාව හතහමාර වෙනකල් ඇරලා තියෙන්නේ වඳින්න එන අයට"
අපූර්ව නොගියට ඒවා දන්නවා. ඒක අතකට ඔහුව මාලිගාවේ යන්න කැමති කර ගත්ත එකත් ලොකු දෙයක් කියලා මට හිතුණේ කලින් කීප වතාවක්ම අඬ ගහලත් ඔහු යන්න ආවේ නැති හින්දයි.
"කමක් නෑ. එහෙනම් යමු"
මම අපූර්වට සුදු නෙලුම් මල් දෝතක් අරන් දුන්නා. මාලිගාවේ දකුණු පැත්තේ තියෙන පුංචි පැන් පොකුනෙන් දෙපා දෝවනය කරගෙන, මල් වලට පැන් ඉහාගෙන අපි උඩ මාලෙට ගිහින් මල් පූජා කලා. ඊට පස්සේ අපි ඉඳගත්තේ වන්දනා කරන්න.
'මම පුංචි කාලේ මමා මාව මෙහේ එක්ක එනවා. යාලුවෝ එක්කත් ඉඳහිට එනවා.  ඒත් අද ආවාම මට මතක් වුණේ ඉස්සර මමා එක්ක මෙහේ ආවාම මගේ හිතට දැනුණ අමුතු හැඟීම. මෙහේදි හිත පුදුම විදියට නිස්කලංක වෙනවා" අපූර්ව හෙමින් මට කියද්දි මම අහගෙන හිටියා.
"ඔයා ඉහලින්ම පාස් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එදාට අපි සුදු මල් වට්ටි හතක් පූජාකරමු" මම කිව්වා.
"හතක් නෙමේ දහයක්ම පූජා කරමු"
අපූර්ව කිව්වාම මට හිනා ගියා.
"මොකක්ද අර උඩ රන් ආලේපිත තහඩුවක ලියලා තියෙන්නේ?" අපූර්ව මල් ආසනේට උඩින් පිහිටපු ලී බිත්තිය පෙන්නලා ඇහුවා. එතැන තහඩුවේ කොටලා තිබ්බේ ගාථාවක්.
"සබ්බ පාපස්ස අකරණං..." මම ඒක ඔහුට ඇහෙන්න හෙමින් කියෙව්වා.
"සියළු නපුරු දෙයින් දුරස් වී, සියලු හොඳ ක්‍රියාවන් සිදු කරමින්, තම සිත පාලනය කර ගනිමින් සිටිය යුතුය යන්න බුදුන් වහන්සේගේ ඉගැන්වීමයි..."
ඒ ගාථාවේ තේරුම ඒකයි. ඒත් ඒක කිව්වේ මම නෙවේ අපූර්ව. මම හොඳටම පුදුම වුණා.
"ඔයා දන්නවද ඒ ගාථාවේ තේරුම?"
"මම දන්නේ නං නැහැ, හැබැයි, අර එහා පැත්තේ තහඩුවේ ඉංග්‍රීසියෙන් ලියලා තියෙන්නේ නං ඔය ටික තමයි. ඒ ගාථාවේ තේරුම ඒකද?"
ඔහු ඇහුවා.
මට අපූර්ව ගැන ලොකු ලෙන්ගතුකමක් දැනුනා. ඔහු වෙලාවකට පොඩි ලමයෙක් වගේ කියලා මට හිතුණා.
"අපි යමු. රෑ වෙනවා"

අපි මාලිගාවෙන් එලියට ඇවිත් වැව රවුම දිගේ ඉස්සරහටැ ඇවිදගෙන ආවා. අපිව පහු කරගෙන ගිය සමහර මිනිස්සු අපි දෙන්නා දිහා බැලුවේ අමුතු විදියටැද කියලා මට හිතුණා.
"බලන්නකෝ අපූර්ව අර මිනිස්සු බලන විදිහ. මොනා හිතාහෙන බලනවද මං දන්නේ නැහැ"
මම අපූර්වට ලං වෙලා රහසින් වගේ කිව්වා.
"ඉස්කෝලෙ යන කොල්ලෙක් අපරාදේ අමාරුවේ වැටිලා කියලා හිතනවා ඇති"
ඔහු කිව්වේ විහිළුවට වුණත් ඒක් අමගේ හිතට තදින්ම වැදුනා. මට දැනුනේ වරදකාරී හැඟීමක්.
"ඇත්ත තමයි. අපි හැමදාම මෙහෙම මුණගැහෙන එක වැරදියි. කවුරු වුණත් වැරදියට හිතන්න ඉඩ තියෙනවා"
මම කිව්වාම අපූර්ව හිනා වුණා.
"ඔයාට පිස්සු. ඔය නුවර ඕන තරම් කපල්ස් ඉන්නේ. කොච්චර ඉන්නවද? මිනිස්සුන්ත ගාණක් නෑ"
"ඒ ඉත්ං අපි වගේ අය නෙවෙයි නේ. මිනිස්සු අපි ගැනත් වැරදියට හිතුවොත්? ඕවා ගෙදරට එහෙම ආරංචි වුණොත් අප්පච්චි මාව මරයි"
"ඒක හරි අන්ෆෙයාර් නෙ? හේතුවක් නැතුව?"
"අප්පච්චි හේතු අහ අහා ඉන්නේ නෑ. එයා දෙයක් හිතුවොත් ඒකම තමා හරි"
අපූර්ව මගේ දිහා බැලුවා.
"මොනාද ඉතිං මම කරන්න ඕන?"
ඒකට උත්තර දෙන්න කලින් මගේ ඇස් නැවතුනේ අපට ටිකක් එහායින් අපි දිහා බලාගෙන හිටපු කෙනෙක් ලඟ.
"හර්ෂි අක්කා" මට කියවුණා.
අපූර්ව අක්කව දැක්කේ ඊට පස්සේ.
"කොහෙද මේ ඩබල ගියේ?" අක්ක ඇහුවේ සෝපහාසෙන් වගේද?
"අපි මාලිගාවේ ගියා" අපූර්ව වගේ වගක් නැති ගාණට කිව්වා. මම නම් උන්නේ ගැහෙන හිතින්.
"හා...කවදා ඉඳන්ද මෙයා එහේ යන්න පටන් ගත්තේ?" අක්ක කට කොනකින් හිනා වෙලා ඇහුවා.
"ඇයි කලින් ගිහිං රෙජිස්ටර් වෙලා ඉන්න ඕනෙද එහේ යන්න?" අපූර්ව එකටෙක කිව්වා. මගේ හිට තවත් නොසන්සුන් වුණා.
"නරක නං මොකද? ඒත් මෙච්චර රෑ වෙනකල් ගෑණු ලමයෙක් එක්ක, යුනිෆෝර්ම් එක පිටින් ඔය විදියට එහේ මෙහේ යන එක නම් හරි නෑ"
අක්කා කිව්වේ අහක බලා ගෙන.
මම තිගැස්සුනා. අක්කට තරහ ගිහිං වගේ. අපූර්වටත් කියන්න දෙයක් තිබ්බේ නැහැ. අපි තුන් දෙනාම බස් එකක් එනකල්ම නිහඬවම හිටියා. එතනට ආපු බස් එකේ හොඳටම සෙනග.
"ඒකෙ නම් යන්න බෑ" අක්කා කිව්වා.
බස් එක අපි උන්නු තැනින් හෙමිහිට ඉස්සරහට අද්දද්දි හිතාගන්නවත් වෙලාවක් නොදී අපූර්ව ගිහින් ඒකේ එල්ලුණා.
"අපූර්ව" මට කෑ ගැස්සුනේ ඉබේටම වගේ.
අක්කත් අන්ද මන්ද වෙලා හිටියා.
"පුදුම ළමයෙක් නේ"
මට අක්කා ගැන සියුම් තරහක් දැනුණ.
"මේ බලනවා, තමුසේ මගේ නංඟි. මම කැමති නෑ මේ නොගැලපෙන දේවල් වලලට පැටලිලා තමුසෙට කතා හැදෙනවට. මොනා හරි ආරංචි වුණොත් ලොකු අප්පච්චිගෙන් අපට විසුමක් වෙන්නෙත් නෑ, තමුසෙට විසුමක් වෙන්නෙත් නෑ. තේරුම් ගන්නවා!"
අක්කා ඇඳුම් වත් මාරු නොකර මගේ කාමරෙට ඇවිත් දොර වහලා මට දොස් කිව්වා. මට තරහක් එක්කම ආත්මානුකම්පාවකුත් හිතට ආවා.
"ඔයා හිතන විදියේ දෙයක් අපි අතර නැහැ" මං කිව්වේ ඒ තරහින්මයි.
"මොකක්ද මං හිතන විදිය? ආ මොකක්ද?"
අක්කා මගේ මූණට එබුණා. හිතේ තිබ්බ තරහට මට කියන්න දෙයක් තිබ්බේ නැහැ. මම ඇඳ උඩ තිබ්බ ෆෝන් එක අතට ගත්තා.
"මොනාද කරන්න යන්නේ ඒ පාර?"
මම අක්කා දිහා බැළුවේ තරහා පිරුණ ඇස් වලින්.
"මං අප්පච්චිට කතා කරලා කියනවා මට මෙහේ ඉන්න බෑ මාව ගෙදර එක්ක යන්න කියලා"
මං කිව්වේ කෑ ගහලා වගේ.
අක්කා ටිකක් ගැස්සුණ බව මම දැක්කා. ඇය හිට ගෙන හෙමීට ජනේලෙ ගාවට ගියා පස්සෙන් පස්සට. මම අප්පච්චිගේ නොම්මරේ ඔබලා ෆෝන් එක කනේ තියා ගත්තා.
'බීප්....බීප්...' අප්පච්චිගේ ෆෝන් එක නාද වෙනවා. මගේ ඇස් අක්කා දිහාවට යොමු වුණා. ඈ තාමත් ජනේලෙ ලඟ හිට ගෙන හිටියා, මා දිහා බලාගෙනම. හරියට මේ මම ම ද කියලා හිතා ගන්න බැරුව වගේ.
"හෙලෝ" එක පාරටම අප්පච්චිගේ හඬ ඇහුණාම මම ගැස්සුණා වගේ. කතා කරගන්න බැරි වුණ හන්දා මම ඒක විසන්ධි කරලා ඇඳ උඩටම වීසි කලා. අක්කා එක්ක තරහා වෙන්න මට බැහැ, මම කොට්ටයක් බදා ගෙන අඬන්න වුණේ හිතේ තිබ්බ දුකටයි, තරහටයි දෙකටම එක්ක.
එක පාරටම මගේ හිසටැ ඇඟිලි තුඩු පහසක් දැනුනා. මගේ ලඟ උන්නේ අක්කා. මට තවත් හයියෙන් ඇඬුණා.
"අඬන්න එපා නංගි...වුණ දේ අමතක කරන්න. ඒත් මම කිව්වේ ඔයාගෙ හොඳට මිසක් තරහකට නෙවෙයි නේ"
අක්කා කිව්වේ ආදරෙන්.
"හර්ෂී...ඉන්දී..කෝ මේ ළමයි? තේ බොන්න එන්න" පුංචම්මා පහල ඉඳන් අපට කතා කලා.
"හා...දැන් නැගිටලා, ඇඳුම් මාරු කරගෙන එන්න. අඬලා ඇස් රතු කර ගන්න එපා. අම්ම අහයි ඇයි කියලා"
අක්කා නැගිට්ටේ මගේ මූණත් ඉඹගෙන.
"අක්කේ?" මම ඈට කතා කලා. ඈ දොර ලඟ හිටගෙනම හැරිලා බැලුවා.
"සොරි. තරහා වෙන්න එපා"

2 comments:

  1. අද තමා ගොඩ වැදුනේ... මුල් ටික කියවලාම අදහසක් පල කරන්නම්.... වෙලාවක් තමයි හොයා ගන්න ඕනි කොටස් 12 ම කියවන්න්න.... :)

    ReplyDelete
  2. ඔන්න අදත් කියෙවුවා..

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....