Wednesday, September 28, 2011

දහ හතර වන දිගහැරුම


"මොකද දන්නෑ හිරු ක්ලාස් නො එන්නේ? ගිය සතියෙත් දවස් දෙකක් ආවේ නෑනෙ"
උදේ පංතිය පටන්ගන්න තව වෙලා තිබුණා. අමායි, මමයි කතා කර කර උන්නේ හිරුණි ගැන. පංතියට ආපු පිරිමි ළමයි දෙන්නෙක් අපට ගුඩ් මෝනින් කියා ගෙන ඇතුලට ගියා. අපි හිටියේ පංතිය ඉස්සරහ හිටගෙන.
"අනේ මංදා අමා. මොකක් හරි අවුලක් ද දන්නේ නැහැ. අනුරාධ අයියගේ වැඩේ ගෙදරට ආරංචි වෙලාද දන්නේ නෑ"
හිරුණිගේ සම්බන්ධයක් තිබ්බ අනුරාධ කියලා කෙනෙක් එක්ක. ඔහු වැඩ කලේ බැංකුවක. හිරුණි හැමදාම කිව්වේ ඔහු අඩු කුලේ කියලා හිරුගේ ගෙදරින් ප්‍රශ්ණ වග.හිරු නො එන්න හේතුව ඒ මොකක් හරිද කියලා මම සැක කලේ ඒකයි. අමා උරහිස් හැකිලුවා.
"දෙයියෝ තමා දන්නේ"
මම අයියා ආපු විස්තරෙත් අමාට කිව්වා.
"අයියා හැන්ඩිද?"
"මොනා අහනවද?නිකං සල්මාන් ඛාන් වගේ. මම දැක්කම හිතා ගන්න බැරිද අයිය ගැන?"
"මොකක්ද? ඇහුන්නෑ"
මම අමාට හෙමිහිට පාරක් ගැහුවා,ඈ හිනා වෙද්දි.
"ඒක නෙවෙයි, කොහොමද ඔයාගේ අර ඉම් රාන් ඛාන් වගේ මල්ලි කාරයා?"
"කවුද අපූර්වද?"
"අපූර්වද, පූර්වද මම දන්නේ නෑ. මම ඇහුවේ අර හැමදාම හවසට ඔයාගේ බොඩි ගාඩ් වගේ එන කෙනා ගැන"
මම හිනා වුනා.
"ඔය ඉන්නේ. අදත් සමහරවිට ඒවි"
"අම්මේ මතක් කලාම මූණේ තියෙන සිරියාව. ඇත්තටම ඒ කොල්ලා අපට වඩ අවුරුද්දක් ද කොහෙද බාලයි නේද?"
"දෙකක් විතර. එයා ජනවාරි නේ ඉපදිලා තියෙන්නේ" මම කිව්වා.
"හ්ම්ම්" අමාගේ මූණට බැරෑරුම් පෙනුමක් ආවා.
"ඇයි අමා?"
"මට තේරෙන්නෑ ඔයාලා ආශ්‍රය කරන විදිහ. මෙහෙම කිව්වට මා එක්ක තරහ වෙන්න එපා. ඒත් දකින අයට නං හිතෙයි ඔයාලා අතර ලව් අෆෙයාර් එකක් තියෙනවා කියලා"
අමා කිව්වාම මගේ හිත නොසන්සුන් වුණා.
'දකින අය හිතන ඒවා මට වැඩක් නෑ. මම දන්නවනේ ඇත්ත මොකක්ද කියලා" මං කිව්වේ නොමනාපෙන්.
"හරි, හදිසියේ වත් එයා ඔයාට ආදරෙයි කිව්වොත්?"
මම අමා දිහා බැළුවේ ගැස්සිලා වගේ.
"පිස්සුද? එයා එහෙම කියන්නේ නෑ" මම කිව්වේ අහක බලා ගෙන.
"බැරි වෙලාවත් කිව්වොත්?"
"කියන්නෑ"
"කිව්වොත්?" අමා මට වදේ ගහනවා.
"කිව්වොත් ගහනවා කන පුපුරන්න" මම එහෙම කියලා පංතිය ඇතුලට ගිහිං වාඩි වුණා. අමා මගේ පස්සෙන් ඇවිත් මට එහා පැත්තෙන් ඉඳ ගත්තා. මං අමා දිහාට නැවුණා.
"ආයේ ඔය කතාව ඇද්දොත් මම තරහා වෙනවා" මම රහසින් වගේ ඈට තර්ජනය කරලම කිව්වා.
"රයිට් මැඩම්"

එදා හවස හොඳටම වැස්ස. පලාතම අඳුරු වෙලා තිබ්බේ රෑ වෙන්න ඔන්න මෙන්න වගේ. කුඩ ගේන්න අමතක වුන උදවිය නොතෙමෙන තැන් වල, වෙළඳසැල් වල දොරකඩවල් අසල හෙම රැස් වෙලා හිටියා එක පොදියට. මම වටපිට බැලුවේ අපූර්ව ඉන්නවද කියලා. තැන් තැන් වල සුදු ඇඳගත්තු ළමයි හිටියත් අපූර්ව ඒ අතර උන්නේ නැහැ.
"කියන්න අමතක වුණානේ. මමත් අද යන්නේ අම්පිටිය පැත්තට. මී කණුවේ ඉන්න අපේ අත්තම්මලාගේ ගෙදර"
අමා මට කිව්වා.
"කොහෙද ඒ?"
"අනේ මෝඩි. අම්පිටියේ බස් එක්ක ගිහිං බෙරවට්ස් ඉස්කෝලෙ ලඟ බැහැලා උඩහට යන්න ඕන. එහෙට තමා මී කණුව කියන්නේ"
අමා කිව්වාමයි මට මතක් වුණේ.
"ආ..හරි හරි. ඒත් එහෙට බස් තියෙනවනේ.මම බහින්නේ ඊට හෝල්ට් එකක් එහා"
"මම දන්නවා. මී කණුවට බස් තියෙන්නේ පැයකට වරක් නේ. ඊට ලේසියි අම්පිටියේ එකක යන එක. අත්තම්මලා ඉන්නේ පල්ලිය ලඟ හන්දා පාරෙ ඉඳන් ඒ තරම් දුරක් නෑ"
අමා කිව්වා. අමාත් එන නිසා මට ඇති වුණේ සතුටක්.
අපි මාලිගාව ලඟින් පාර පැනලා වැව රවුමට ගොඩ වුණා. තවමත් වැස්ස එක සීරුවට ඇද හැලෙනවා.
"අමා ආයෙම එක්සෑම් කරන්නේ නැද්ද?"
මම ඇහුවාම ඈ සුසුමක් හෙලුවා.
"ගෙදරින් නම් කියනවා කරන්න කියලා. ඒත් මම බයෝ වලට හරි යනවා මෙත්මා. මට නං බෑ ආයෙම එක්සෑම් වලට මැරෙන්න.කොහොමත් මේ පාර කරන්න බෑනෙ. එක්සෑම් වලට තව මාසයක් වත් නෑ"
අමා කිව්වාමයි මට එක මතක් වුණේ. අපූර්ව පාඩම් කරන්වා ඇති. මට හිතුණා.
"අද නං මාව දාලා යයි වගේ" මට ඇහුණේ පුරුදු කටහඬක්. මම වට පිට බැලුවා. වලාකුළු බැම්ම ලඟ යාළුවෙක්ගේ කුඩයක් ඇතුලට වෙලා හිනා වෙවී උන්නේ අපූර්ව. මං නැවතුණා.
"ඔයා මොකද මෙතන කරන්නේ? පාඩම් කරන්නේ නැද්ද?" මම ඇහුවා.
"පොඩි වැඩකට ඉස්කෝලෙට ආවා. පරක්කු වුණ නිසා ඔයා එනකල් ඉන්න හිතුණා"
අපූර්ව යාළුවා එක්කම ඉස්සරහට ආවා.
"ඔව් අක්කේ ඔයා නිසා තුනහමාරෙ ඉඳන් මටත් මෙයා එක්ක කට්ට ෂෙයාර් කරන්න වුණා"
ඊලඟට කතා කලේ අනික් මල්ලි. මම අපූර්ව දිහා බැලුවා ඇහිබැම උස්සලා.
"මේ යෂීෂ්...යෂිෂ් පබසර දංගොල්ල. මගේ හොඳම යාළුවා" අපූර්ව යාළුවාව මට අඳුන්වලා දුන්නා.
"නයිස් ටු මීට් යූ"
"අක්ක මෙත්මා නේද? "මූ ආපු වෙලේ ඉඳලා ඔයා ගැනමයි කියවන්නේ. ඉතිං ඔයාටත් වඩා දැන් අපි ඔයා ගැන දන්නවා"
යෂිෂ් අපූර්වටත් හපන්.මම ආයෙම අපූර්ව දිහා බැලුවා.
"ඇත්තද මේ යාළුවා කියන්නේ?" මම ඇහුවා.
"අනේ අක්කි මේ යෂිට පිස්සු. කවුද මේ අනික් අක්ක?" අපූර්ව හෙමිහිට කතාව මාරු කලා. මම අමාව දෙන්නටම අඳුන්වලා දුන්නා.
"එහෙනං මස්සිනා මම යනවා. අද හවස එහේ එනවනේ? හරි. මම ගිහින් එන්නම්, ඔන්න අක්කලා දෙන්නටම කිව්වේ"
යෂිෂ් යන්න ගියා. දැන් අපූර්ව තෙමෙනවා. මම අමාගේ කුඩේ යටට ගිහිං මගේ කුඩේ ඔහුට දුන්නා.
"හොඳ වෙලාවට අමා අක්කා හිටියේ. නැත්තං මට වෙන්නේ තෙමෙන්න" අපූර්ව කිව්වා.
"අනේ ඔව්. මොකද තුන්හමාරට ආවා නම් ගෙදර නොගියේ? බොරුවට කාලෙ කකා මෙතන හිටියා" මම අපූර්වට දොස් කිව්වා. අපූර්ව පූසා වගේ අහං ඉද්දි මට පව් කියලත් හිතුණා.
"විභාගේ කටේ තියාගෙන තෙමිලා ලෙඩ වුණා නං එහෙම? ඒකයි මම කිව්වේ" මම ඔහුව අස්වසන්න කිව්වා.
අපි තුන් දෙනාම නැග්ගේ තලාතුඔය බස් එකකට. අමා බේරවට්ස් එක ලඟින් බැහැගත්තා. මමයි, අපූර්වයි ඊලඟ හෝල්ට් එකෙන් බැස්සා. තවමත් මුරුගසන් වරුසාව.
"විභාගෙට තව මාසයයි නේ?" මම ඇහුවා.
"හ්ම්ම්...කෝ දෙන්න ඔය කුඩේ මම අල්ලන්න. ඔයා මිටියි නේ" අපූර්ව මා අතින් කුඩේ ගත්තා.
"මම අද යනවා යෂිෂ්ගේ ගෙදර. එයා ඉන්නේ අස්ගිරියේ. විභාගේ ලඟ නිසා පාඩම් කරන්න ඕන නේ. සමහරවිට අපට ආයේ කාලෙකට හම්බවෙන්න බැරි වෙයි" අපූර්ව මට කිව්වා.
"ඒක හොඳයි. කට්ටියක් පාඩම් කරද්දි ඉක්මණට මතක හිටිනවා. හම්බනූනට කෝල් කරන්න පුලුවන් නේ"
"හ්ම්ම්. ගෙදර ඉද්දි මට පාඩම් කෙරෙන්නේ නැහැ. මමා කෑ ගහනවා එහෙන්. මමා තමයි යෂිගේ ගෙදර යන්න කියලා කිව්වේ. යෂි ගේ අම්මා මමාගේ හොඳම බ්‍රැකට් එකක්. දෙන්නා කතා වෙලා වෙන්න ඇති"
මම හින වුණා මුකුත් නොකියා.
"ඔයාට පාළු හිතෙයිද මම ගියාම?" අපූර්ව ඇහුවා එක පාරටම.
"ම්ම්...ආ...දන්නේ නෑ. සමහරවිට පාළු හිතෙයි. ඒත් ඔයා මේ මාසේ වෙන වැඩ ගැන නොහිතා පාඩම්ම කරන්න. අද වගේ මම එනකල් ඉන්න එන්න එහෙම එපා" මම කිව්වා.
"ඔව්. කොහොමත් එන්න වෙන එකක් නෑ"
අපි ටික දුරක් කතාවත් නැතුවම ඇවිදගෙන ගියා. මගේ කුඩේ පොඩි නිසා අපි දෙන්නගෙම පැත්තක් තෙමිලයි තිබ්බේ.
"අක්කිගෙන් මම දෙයක් අහන්නද?" අපූර්ව ආයෙම කතාව පටන් ගත්තා.
"අහන්න"
"මං ගැන වරදවා හිතන්න එපා හැබැයි"
"ඉස්සෙල්ල අහන්නකෝ"
"අක්කි කවදා හරි කාට හරි ආදරේ කරලා තියෙනවාද? මම අහන එක තේරෙනවනේ?"
මගේ හිත අහේතුකවම නොසන්සුන් වුණා වගෙ.
"ඇයි එහෙම අහන්නේ?" මම අහුවා.
"ඔය ඉතිං මොකක් හරි ඇහුවාම උත්තර නොදි ප්‍රශ්ණ අහනවා" අපූර්ව කියන්නේ අමනාපෙන් වගේ.
"නැහැ" මම කිව්වා.
"සොරි" අපූර්වට ඒක ඇහිලා නෑ.
"ආදරේ කරලා නැහැ. ඉතිං දැන් මොකෝ?"
අපූර්ව මුකුත්ම කිව්වේ නැහැ.
"ඇහුවේ මට කවුරුහරි හොයලා දෙන්නද?" මම ආයෙම ඇහුවා ඔහුගේ මූණට එබිලා හිනවෙමින්.
"හොයලා දුන්නොත් බාර ගන්නවද?" ඔහු අහනවා.
"මම දන්නේ නෑනෙ ඔයා කපු වැඩෙත් පටන් අරන් කියලා"
මම කිව්වා. ඒත් අපූර්ව හිනා වුණේ නැහැ. ඔහු උන්නේ වෙනම කල්පනාවක. අපි හිටියේ ගෙදර පේන දුරින්.
"මට ඔයාව දාලා යන්න දුකයි. අපි කාලෙකට හම්බවෙන්නෙත් නැති නිසා" අපූර්ව හිටපු ගමන් එහෙම කිව්වා.
"එහෙම හිතන්න එපා. මට ප්‍රශ්නයක් නෑනෙ. අනික මට දැන් නුවර හුරුයි"
අපි ඇවිත් ඔහුගේ ගෙදරට ඇතුල්වෙන ලොකු ගේට්ටුව ලඟ නැවතුණා. දැන් නම් මගේ හිතටත් මොකක්දෝ දුකක් දැනෙමින් තිබ්බා. ටික දවසකට වෙන් වෙද්දි ඇයි මෙහෙම දැනෙන්නේ? අපූර්ව පිට කොහේවත් යනවත් නෙවෙයි. ඒත් හීනි දුකක් හිතේ කටු අනින්න වුණා.
"විභාගේ අන්තිම මාසෙ නිසා මට එලියට වත් බහින්න වෙන්නේ නෑ. ඔයා පරිස්සමින් ඉන්න අක්කි. මං වෙනුවට ඇරලන්න කෙනෙක් හොයා ගන්න එපා" අපූර්ව කිව්වා.
අපූර්ව එහෙම කිව්වේ ඇයි කියලා මම එවෙලේ වැඩිය හිතුවේ නැහැ.මට හිනා ගියත් අපූර්ව උන්නේ පුදුමාකාර විදියට බැරෑරුම් වෙලා.
"හරි හරි. ඔයත් හොඳ ළමයා වගේ හොඳට පාඩම් කරන්න ඕන හරිද?" මම කිව්වා.
අපූර්ව මොහොතක් හිස ඇල කරගෙන මගේ දිහා බලාගෙන උන්නා.
"මම මේ ගමන්ම යනවා. මට කෝල් කරන්න. එස්. එම්. එස්. කරන්න" අපූර්ව කිව්වා.
"හොඳයි. එහෙනම් මම යන්නද?"
"හරි අක්කි. ගෝඩ් බ්ලෙස් යූ"
මම අපූර්වට අතක් වනලා ගෙදර දිහාට දුවගෙන ආවා. නිකමට හැරිලා බලද්දි අපූර්ව වැස්සේ තෙමෙමින්ම තාමත් මම යන දිහා බලාගෙන උන්නා.
"පිස්සා...තෙමෙන්නේ නැතිව ගෙට යන්න" මම කෑ ගහලා ඔහුට කිව්වා.

අපූර්ව ගිහිං රෑ මට එස්.එම්. එස්. එකක් එවලා තිබුණා.
'සිංදු අහ අහ පාඩම් කරන ගමන්. ලස්සන සිංදුවක් යන නිසා ඔයාව මතක් වුණා'
'හිරු හැපී හඬන සයුරේ...
තරු කඩා වැටෙන මොහොතේ...
ඔබ සොයා ගනිමි
දඟ කරන තාරකා යුවලක් ලඟ අහසේ...
ලොව නිදි ගත් මේ යාමේ..."
මම ඒක බැලුවේ නිදිමතේ. මම නින්දෙන්ම වගේ උත්තරයක් ගැහුවා.
"ලස්සනයි"

6 comments:

  1. wrote this while taking breaks. ලියන්න ඇබ්බැහි වෙලා වගෙ මමත්.... ;)

    ReplyDelete
  2. බොහොම ස්තුතියි .....
    පාඩම් කරන එකත් හොදට කරන්න....

    ReplyDelete
  3. nethu,i've read the story without pausing to draw my breath..i find it very romantic,but yet it's touching...

    ReplyDelete
  4. ලස්සන කතාවක්.මට ඊයෙ අහම්බෙන් වගේ මේක හම්බ වුනේ.ඔක්කොම ටික කියෙව්වා.අද තව එකක් දාලා.
    මොනවා වුනත් විබාගෙ වැඩ ඉවර කරලා ඉන්නනාපි ඉන්නවා කවදා හරි ඔයා අයෙත් ලියනකල්..:))

    ReplyDelete
  5. මම අදත් කියෙව්වා ... හරිම ලස්සනයි ..

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....