Monday, November 7, 2011

හතලිස් නව වෙනි දිගහැරුම


මම උදේ ඇහැරුනේ බට්ටි මගේ ඇඟට උඩින් කකුලක් දාපු නිසා. බට්ටි එක්ක නිදා ගත්තු දවසට තැළුම් තෙල් ගාන්න ඕන ඇඟේ. තාමත් එලිය වැටිලා තිබුණේ නෑ. මම කකුල අහක් කරලා මේස ඔරලෝසුවේ වෙලාව බැලුවා. වෙලාව උදේ පහයි දහයයි. ඇස් පියාගෙන අනික් පැත්ත හැරුනත් මට නින්දක් ආවේ නෑ. අපූර්ව දැන් නැගිටලා ඇත්ද? මම හිතුවා. මගේ හිත හොඳටම නොසන්සුන් වෙලයි තිබුණේ. අපූර්ව මේ කරන්න හදන්නේ මොන පිස්සු වැඩක්ද කියලා එක වෙලාවක මට හිතුණා. ඒත් පහු වෙන්න වෙන්න ඒ දේ කරන්න බාධක වැඩි වෙන වගත් මම දැනගෙන හිටියා. කලිඳු අයියලාගෙ ගෙදර අපිත් ගියොත් අප්පච්චිලා යෝජනාව ස්ථිර කලා වෙනවා. ඊට කලින් කරන දෙයක් කරන්න ඕන කියන එකත් ඇත්ත. හිතලා, හිතලා උදේ පාන්දරම මම මගේ හිත අවුල් කරගත්තා විතරයි.
නිදා ගන්න බැරිම තැන මම නැගිටලා පහලට බැස්සා. මල්ලිකා නැන්දයි, අම්මයි කුස්සියේ උන්නා. ආච්චි මම්මා රේඩියෝ එකේ මීටරේ කරකවනවා උදේ පිරිත් අහන්න.
අප්පච්චිත් උන්නේ නැගිටලා.
"මොකෝ මේ අද උදේම නැගිටගෙන?" මාව දැකපු අප්පච්චි ඇහුවා.
"බට්ටි එක්ක නිදා ගන්න බෑ, පයින් අනිනවා. ආයෙත් නින්ද ගියේ නෑ අප්පච්චි" මම ඈත ඉඳන්ම උත්තර දුන්නා.
අප්පච්චිට හිනාවක් ගියා.
"මෙහාට එන්නකෝ පුතේ" අප්පච්චි මට කතා කලාම මාව ආයෙත් ගැහෙන්න ගත්තා හරියට හොරකමක ගිහින් අහු වුණා වගේ. ඒත් මම අප්පච්චි ලඟට ගියා.
"ඇයි අප්පච්චි?"
"නුවර ඉඳන් ආවට පස්සෙම හරියට කතා කරන්න බැරි වුණානෙ. කොහොමද විභාගේ එහෙම?" අප්පචි ඇහුවා.
"එච්චරම ආමරු නෑ"
"දැන් අනික් කෝස් එකත් කරන්නද හිතන්නේ?"
"අනේ මන්ද අප්පච්චි, යාලුවෝ නම් කියනවා ඒ ලෙවල් පාස් නිසා සී.අයි.එම්. කරන්නත් කියලා, මම තාම්ත් හිතනවා ඒ ගැන"
"ඔව්, ඉතින් බිස්නස් වලටැ සම්බන්ධ් අදෙයක් කලත් කමක් නෑ. මොකද මගේ බිස්නස් බලාගන්න වෙන්නේ ඔයාටනේ කවදා හරි" අප්පච්චි කියනවා.
මම අප්පච්චි දිහා නොබලම හිටියා, මුකුත් නොකියා.
"කලිඳු පුතා මොකද කියන්නේ?" අප්පච්චි හිටි ගමන් ඇහුවා.
"මම ඇහුවේ නෑ අප්පච්චි"
අප්පච්චි මොහොයක් මගෙ අදිහා බලාගෙන හිටියා.
"මට ඇත්ත කියන්න පැංචි, ඔයා කලිඳු පුතාට කැමති නැද්ද?"
"ඇයි අප්පච්චි එහෙම අහන්නේ?"
අප්පච්චි සුසුමක් හෙලුවා.
"මට එහෙම පේන නිසා"
මම කියන්න දෙයක් කල්පනා කලා. අප්පච්චි උත්තරයක් බලාපොරොත්තුවෙන් මා දිහා බලාගෙන ඉන්නවා.
"මට එක පාරටම තීරණයක් ගන්න බෑ" මම කිව්වා. මේ මාතෘකාව දැන් දැන් මට වදයක් වී ගෙනයි ආවේ.
"ඒ මොකද?"
"මට එයා ගැන විශේෂ කැමැත්තක් ඇති වෙන්නේ නෑ" කියන්න දෙයක් නැති තැන මම කිව්වා.
"කාලයක් යනකොට, දෙන්න තේරුම් ගන්න කොට ඒක හරි යාවි"
අප්පච්චි කිව්වේ හරිම ලේසියෙන්. ඒත් ඒක කරන්න කොච්චර අමාරුද කියලා අප්පච්චි දන්නේ නෑ.
"ඔයාගේ අම්මයි, මමයි බැන්දෙත් යෝජනාවකින්. ඒතකොට අපි දැන් ඔය දෙන්න තරම් වත් අඳුනන්නේ නෑ. ඒත් අපි හොඳින් පවුල් කෑවෙ නැද්ද අද වෙනකල්? ඔය සේරම බැන්දාම හරි යන්වා"
මගේ හිත තිබුණේ කලකිරිලා. අප්පච්චි හදන්නේ මාව කොහොමහරි කලිඳු අයියටම දෙන්න. මම ඒ කලකිරිම නිසාම වචනයක් වත් ඒකට කියන්න ගියේ නෑ.
"අනික ඔයා දන්නවනේ දැන් අපේ පවුලේ නම්බුව, ගෞරවය මේ සේරම තියෙන්නේ ඔයා අතේ කියලා. අපේ පවුල් දෙක පෑහෙන එක අපි දෙගොල්ලන්ටම නම්බුවක්"
අප්පච්චිගේ කතා අහද්දි මම තව තවත් අසුභවාදීව හිතන්න වුණා. අපූර්වට කිසිම අවසරයක් ලැබෙයිද කියලා මට තිබුණේ සැකයක්.
"අර කාලකණ්ණියා කරපු වැඩෙන් පස්සෙත් මේ උදවිය අපේ පවුලට සම්බන්ධ වෙන්න කැමති වුණ එකත් ඔයාගේ වාසනාව" අප්පච්චි කීව්වාම මගෙ හිත පෑරුණා. අප්පච්චි තාමත් අයියට සමාවක් දීලා නෑ.
අප්පච්චි ආයෙත් මුකුත් කියන්න කලින් අම්මා තේ අරන් ආවා. මම ඒ අවසරයෙන් කුස්සියට පැන ගත්තේ අප්පච්චිගේ කතා වලින් තවත් මගේ හිත රිද්දගන්න බැරි නිසා.
"අපි පිටත් වුණා" අපූර්ව මට පණිවිඩයක් එවලා තිබ්බා,මං ආයෙත් කාමරේට යද්දි. අපි කියන්නේ කවුරු වෙන්න ඇතිද කියලා මම කල්පනා කලා. සමහරවිට යෂිෂ් වෙන්න ඇති. මම වෙලාව බැලුවා. හයයි විස්සයි. ඒ කියන්නේ අටහමාර විතර වෙද්දි ඒ අය මෙහාට ඒවි. ආයෙත් මගේ හද ගැස්ම වැඩි වුණා.
එදා සෙනසුරාද දවස්ක් නිසා අම්මා උනේ ගෙදර. අප්පච්චිත් වැඩට යන්නේ පරක්කු වෙලා. ඒ නිසාමයි මම කලින්දා හදිසියේම ගෙදර ආවේ. මොකද අපූර්ව එද්දි සේරම අය ගෙදර ඉන්න ඕන බව ඔහු කියපු නිසා.
අටහමාර ලං වෙද්දි මට දැනුනේ පුදුමාකාර නොසන්සුන් කමක්. කොටින්ම මම උන්නේ මේ ලෝකේ නෙවෙයි. . දැන් අපූර්ව එයි, දැන් අපූර්ව එයි, කියලා හිතද්දි හද ගැස්ම පිටට ඇහෙන තරම් වැඩි වුණා.
"ළමයෝ, කන ඇහෙන්නේ නැද්ද? මම දැන් කී පාරක් කතා කලාද?" මම උඩ ගිහින් බිම වැටුනේ අම්මා කන ලඟටම ඇවිත් කතා කලාම.
"ආ..ඇයි අම්මා?"
"මොකද ළමයෝ ඔයාට මේ වෙලා තියෙන්නේ? අන්න කලිඳුගෙන් කෝල් එකක්, අප්පච්චිගේ ෆෝන් එකට. ගිහින් ගන්න"
අම්මා කිව්වාම මම තව ටිකක් කැළඹුනා. මේ මනුස්සයා මට මොකට කෝල් කරනවද? ඒත් ඉතින්  නොයා කොහොමද? මම යද්දි අප්පච්චි කලිඳු ෆෝන් එක සාලේ තීපෝව උඩ තියලා කොහෙදෝ ගිහින්. මම ඒක අතට අරන් කත කලා.
"හෙලෝ"
"හෙලෝ ඉන්දීවරී...මම කලිඳු" කලිඳු අයියාගේ හඬ මට ඇහුනා.
"කියන්න අයියා"
"කොහොමද
ඔයා හොඳින්ද?"
"ම්ම්...වරදක් නෑ"
"ඔයා හදිසියේම ගෙදර ආවා කියලා අප්පච්චි කිව්වා. ඇයි හදිසියේම ආවේ?"
"හදිසියේ නෙවෙයි. ගෙදර එන්න එපැයි" මම කිව්වා.
"ඒත්...මං හිතුවා ගෙදර යද්දි මට කියයි කියලා. මාත් කොහොමත් මේ සති අන්තේ නුවරඑළි එන්නයි හිටියේ"
ඔහු කියනවා. මම ඔහුට කැමති නැති බව ඔහුට නොතේරෙන්නේ ඇයි කියලා මට හිතුණා.
"ඔයාට වැඩ ඇති කියල නොකිව්වේ" පුලුවන් තරම් හිත නොරිදෙන විදියට කතා කරන්න මම උත්සාහ කලා.
කලිඳු අයියා හිනවුණාද කොහෙද.
"ඒ කියන්නේ මං ගැන හිතනවා?"
මම නිහඬ වුණා.
"ලැජ්ජා හිතුනද?"
ඔහු ආයෙම අහනවා.
"මං එහෙනම් තියන්නම්"  මම ඉක්මණට කිව්වා.
"හරි හරි. අ..ම්ම්.. මම අද හවස නුවරඑළියේ එනවා. ඔයා අකමැති නැත්නම් මම ඔහේ එන්නද?" ඔහු අහපු විදියට මොනවා කියන්නද කියලා මට හිතා ගන්න බැරි වුණා.
"එන්නද , එපාද?" ඔහු ආයෙත් ඇහුවේ මම නිහඬ වුණ නිසා වෙන්න ඇති.
"කමක් නෑ එන්න" අන්තිමට මම කිව්වා.
මේ අතරේ තමයි මල්ලිකා නැන්දා මැදගෙට දුවගෙන ආවේ.
"පුංචි නෝනා...පුංචි නෝනා, අර නුවර මහත්තයා ඇවිත්"
ඇඟට අයිස් වතුර බාල්දියක් වත්කලා වගේ හැඟීමක් මට දැනුනා. මට දැනුනේ එක පාරටම මගේ කකුල් දෙකත් පණ නැති වුණා වගේ. මම ඇමතුම එහෙමම විසන්ධි කරලා සාලේ පැත්තට දුවගෙන ආවා. ගේ ඇතුල්ලට ආපු අපූර්වයි, යෂිෂුයි දැක්කාම මම සාලේට ඇතුල් වෙන දොර ලඟ නැවතුනේ ඉබේටම. එහෙනම් ඔහු ඇත්තටම ආවා. පපුව ඇතුලේ බෙරයක් ගහන්නා වගේ හද ගැස්ම වැඩි වෙලා. මම දොර පලුව අල්ලාගත්තේ මාව වැටේවි කියන බයට.
"ආ...මේ අපූර්ව පුතා නේ. එන්න එන්න ඇතුලට" සාලේ උන්නු සීයා පප්පා බොහොම සාදරෙන් ඒ දෙන්නව පිලි ගත්තා. හැමදාම වගේ?" කුස්සිය දිහා ඉඳන් ආපු අම්මා මගේ ඇඟේ හැපීගෙනම සාලෙට යන ගමන් ඇහුවා.
"අපූර්ව පුතානෙ..." අම්මා කතා කරනවා මට ඇහුනා.
මම දොර පලුව තවත් තදින් අල්ලගත්තා.
"වාඩිවෙන්න පුතේ" අප්පච්චිගේ හඬ සාලෙන් ඇහුනා. මගේ හිතේ කොහේදෝ හැංගිලා තිබුණ බය අනෙක් සිතුවිලි සේරම පරයගෙන උඩට මතු වුණා.
"කොහේ හරි යන ගමන්ද,මේ උදේම?" අප්පච්චි අහනවා.
"නෑ අන්කල් මෙහේමයි ආවේ" අපූර්වගේ හඬේ නම් කිසිම කැලඹීමක් නෑ.
"ආ...ඒක හොඳයි. අද නිවාඩු දවස නේ" සීයා පප්පා සතුටින් කියනවා මට අහුනා.
"ඇත්තටම මම ආවේ වෙන වැදගත් කාරණයක් කතා කරන්න. උදේම ආවේ හැමෝම එක්ක මේ ගැන කතා කරන්න ඕන නිසයි" අපූර්ව නැවතිල්ලේ කියනවා.
"වැදගත් කාරණාවක්?" ඒ අප්පච්චි.
මේ අතරේ අම්මා ආපහු කුස්සිය දිහාට එන්න ආවා.
"ඔයා මොකද මෙතන කරන්නේ ගල්බීත වෙලා වගේ. ඉස්සරහට යන්න. අර අඳුනන ළමයෙක් නේද ඇවිත් ඉන්නේ? මම බොන්න දෙයක් අරන් එන්නම්"
අම්මා එහෙම කියාගෙන යන්න ගියා. ඒත් මම කොහොමද සාලේට යන්නේ? මම දොර පලුව අල්ලගෙනම සාලේ පෙන මානෙට ගිහින් නැවතුනා, අප්පච්චිට මාව නොපෙනෙන්න. මට දැනුනේ ගිනි කන්දක් උඩ ඉන්නවා වගේ. දැන් කොයි මොහොතක හරි ඒක පුපුරන්න ඉඩ තිබුණා.
"මගෙන් මොකක් හරි උදව්වක් ඔනේද පුතාට?" අප්පච්චි ඇහුවේ පුටුවේ හරි බරි ගැහෙන ගමන්. අපූර්ව උන්නේ පුටුවේ ඉස්සරහට ඇවිත්. සීයා පප්පා උනන්දුවෙන් අපූර්ව දිහා බලාගෙන හිටියා. යෂිෂ් උන්නේ බිම බලාගෙන. මගේ හිතේ බය උතුරන්න ඔන්න මෙන්න, අපූර්ව දැන් කියයි, දැන් කියයි කියලා මගේ හිත මොර දෙන්න ගත්තා.
"උදව්වක් ඉල්ලන්න නෙවෙයි අන්කල්, අන්කල්ගෙන් වෙන දෙයක් ඉල්ලන්නයි මම ආවේ" අපූර්ව නැවතිල්ලේ කිව්වා ආයෙමත්.
"වෙන දෙයක්?මොකක්ද?"
අපූර්ව ලොකු හුස්මක් ගත්තා. ඊලඟ තප්පර කීපය මට දැනුනේ කල්පයක් වගේ.
"මෙත්මාව" එච්චරයි. අපූර්ව කිව්වේ එච්චරයි.

4 comments:

  1. අනේ ඊලග කොටස ඉක්මනට දාපියෝ....

    ReplyDelete
  2. ඔහොම තැන් වලින් නැවත්තුවම හරිද .. ඊලග කොටසත් ඉක්මනට දාන්න ..

    ReplyDelete
  3. අය්යෝ මොනාද අප්පා කරන්නේ, හොඳම හරියේදී නැවැත්තුවා :(
    You really can write so well, I felt like my heart is trying to burst as the beat increases lol

    ReplyDelete
  4. අපූර්ව... සුපිරි.....
    --- මෙය කොන්ද පණ ඇති කොල්ලෙකු ගේ කතාවකි. ---

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....