Monday, November 7, 2011

පනස් එක් වෙනි දිගහැරුම


"සිහිය එනවා වගේ" ඇස් දෙක උඩින් බරක් තියලා වගේ දැනෙද්දි මට යන්තම් වටපිටින් සද්ද ඇහෙන්න ගත්තා. මං ඇස් අරින්න උත්සාහ කරන අතරෙම මට සිද්ධ වුණ දේවල් එකින් එක මතක් වුණා. උගුරේ රිදුම මට වැඩිය දැනුනේ උගුර කට වේලිලා තිබ්බ නිසාද මන්දා.
"පැංචි..." මට ඇහුණේ අප්පච්චිගේ කටහඬ.
නළලේ පැත්තක් ඉවසන්න බැරි තරම් කකියන්වා. මම හෙමිහිට ඇස් ඇරියා. මගේ ඉහ ඉද්දර වාඩිවෙලා බොහොම දුකින් වගේ මං දිහා බලාගෙන උන්නේ අප්පච්චි. මගේ හිතට එකපාරටම ආවේ අපූර්ව. මගේ පපුව හිරවෙනවා වගේ මට දැනුනා.
අප්පච්චිත එහාපැත්තේ මූණේ හිනාවකුත් තවරගෙන මා දිහා බලාගෙන උන්නේවත්සල අයියා. ඇඳේ අනෙක් කෙලවර ලඟ මල්ලිකා නැන්දයි, බට්ටියි, කලිඳු අයියයි හිටගෙන උන්නා. ඒත් කෝ අම්මා? මම යන්තම් හිස හරවලා බැලුවා. අම්මා උන්නේ අනෙක් පැත්තේ. ඇඳේ කණුවක් දෑතින්ම අල්ලගෙන. ඒ මූණේ තිබ්බේ බයක්ද, තරහක්ද, දුකක්ද කියලා මම දන්නේ නෑ. ඒත් මට අම්මා ගැන දුකක් දැනුනා.
"නංඟි මීට පස්සේවත් දඟලන්නේ නැතිව හෙමිහිට කරන දෙයක් කරන්න. පඩිපෙලෙන් වැටිලා ඔයින් බේරුණා මදැඇ"
වත්සල අයියා කිව්වා. මට තේරුණා ගෙදර අය කියන්න ඇත්තේ මොකක්ද කියලා මං ගැන. මට ආයෙත් අපූර්ව මතක් වුණා. ඔහුට මොනවා වෙලා අත්ද? ඊලට මගේ ඇස් නිරායාසයෙන්ම යොමු වුණේ කලිඳු අයියා දිහාවට. ඔහු මාව සනසවන්න වගේ හිනා වුණා. ඒත් ඒ මූණෙත් තිබ්බේ තරමක බය වුණ ගතියක්.
"පේන්න නම් තියෙන්නේ නළලේ තුවාලෙයි, අත් වල සීරුම් ටිකයි විතරයි. නංඟි වෙන කොහේ හරිත් වැදුනද? රිදෙනවද?"
වත්සල අයියා ඇහුවේ සිරින්ජයකට බෙහෙත් පුරවන ගමන්. මම 'නැහැ'යි කියන්න හිස වැනුවා. ඉස්සර වගේ බෙහෙත් විදින්න බයේ මම අප්පච්චිගේ ඇඟේ එල්ලුනේ නෑ. බෙහෙත විදිද්දි තද කරලා ඇස් පියා ගත්තා. පොඩිත්තක් රිදුණා විතරයි.
"එහෙමනම් බය වෙන්න දෙයක් නෑ. කෝකටත් හෙට විතර ආයේ මම ඇවිත් බලන්නම් කෝ. ඒ අතරේ වමනේ ගියොත් හරි, ආයෙත් කලන්තේ හැදුනොත් හරි මට කෝල් එකක් දෙන්න. ඔයා රෙස්ට් කරන්න ඕන හොඳේ" වත්සල අයියා අප්පච්චිට උපදෙස් දීලා මං දිහා බැලුවා.
"මං හොඳටම බය වුණා. දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ" අප්පච්චි ලොකු සුසුමක් හෙලුවා.
"මට අමාරුවක් නෑ" මම එහෙම කියලා නැගිටලා ඇඳෙන් වාඩි වෙන්න හැදුවා.
"හා..හා...ඇඳෙන් නැගිටින්න එපා. ඔහොම ඉන්න" අප්පච්චි මට එහෙම කියලා අම්මා දිහා බැලුවා." ඔයා දුව ලඟ ඉන්න. මම අද වැඩට යන්නේ නෑ. ඒත් වත්තට ගිහින් එන්න ඕන ටිකකට"
අම්මා හිස වැනුවා.
"යං අන්කල් මාත් යන්න ඕන. මල්ලි නම් ටික වෙලාවක් ඉඳීවි" වත්සල අයියා කිව්වා.
මම මුකුත් නොකියා අහක බලා ගත්තා අප්පච්චි මා දිහා බැලුවම.
"එයාට රෙස්ට් කරන්න දෙන්න අන්කල්...මල්ලි ඔයාටත් එක්ක කියන්නේ. වැඩිය කතා කරලා මහන්සි කරන්න එපා" වත්සල අයියා ආයෙමත් කිව්වා.
ඊට පස්සේ සේරම අය කාමරෙන් එලියට ගියා කලිඳු අයියා ඇරෙන්න. මම ඇඳ විට්ටම කොට්ටයක් තියලා හේත්තු වුණා. කලිඳු අයියා මගේ ලඟට ආවා.
මට කා එක්කවත් කතා කරන්න උවමනාවක් තිබුණේ නෑ.මම ඔහු දිහා නොබලා ඇඳ රෙද්දේ මල් රටාව දිහා බලාගෙන හිටියා.
"මොනවද මේ කරගන්නේ ඈ?
ඔහු ඇහුවේ හිනාවෙලා. මම යාන්තම් හිනා වුණා.
"හොඳ වෙලාවට මම තනි තට්ටුවේ ගෙයක් ගත්තේ. නැත්තං මට වෙන්නේ අයියටත් ගෙදර හොස්පිටල් එකක් දාලා දීලා ගෙදර තියා ගන්න වෙනවා"
මම ගොලුවත රකිමින් ඇඳ රෙද්ද දිහාම බලාගෙන හිටියා. හිතේ හැම තැනකම හිටියේ අපූර්වම විතරයි. මට ඕන වුණේ තනි වෙලා මේ ගැන හිතන්න.
"ඇයි මේ කතාවක් නැත්තේ?" මං පියවි ලෝකෙට ආවේ ඔහුගේ පැනයෙන්.
"මුකුත් නෑ"
"මං ආවට අකමැතිද?"
මම හිද වැනුවා.
"අයියා කීයටද ආවේ?" බැරිම තැන මම ඇහුවා.
"මම ආවා උදේම. ඒ ආපු ගමන්ම වගේ තමා ජයේ අන්කල් අයියට කෝල් කලේ. අපි ඉගිලිලා වගේ ආවා ඒ පාර"
"මං හින්දා කරදරේ නේද?" මම ඇහුවා.
කලිඳු අයියා මගේ දිහා බැලුවේ දයාබරත්වයෙන්.
"ඔයා නිසා කරදර වෙන්නැත්තම් වෙන කා වෙනුවෙන් කරදර වෙන්නද?"
එහෙම කිව්වාම මම ආයෙත් අපහසුතාවයට පත් වුණා.
මගෙ අපූර්ව අරහේ මං නිසා විඳවනවා මතක් වෙද්දි, කලිඳු අයියගේ ආදර බස් අහන්න මට පුළුවන්කමක් තිබ්බේ නෑ.
"ඔය කතාව අපි නවත්තමු අයියා" මම කිව්වා.
කලිඳු අයියා මොනවදෝ අහන්න ගියත් ඇහුවේ නෑ.
"හරි. එහෙනම් ඔයා රෙස්ට් කරන්න. මම හවසට එන්න බලන්නම්. පරෙස්සමින් ඉන්න නංඟි"
ඔහු කිව්වේ මගේ හිසට අතක් තියලා.
ඇස් වලට කඳුලු ආවේ අපූර්ව මතක් වෙලා. කලිඳු අයියා යන්න කලින් තද කර ගත්තු ඇඬුම, එයා දොර වහනවත් එක්කම පිට පැන්නා. මම කොට්ටයක් බදාගෙන හොඳටම ඇඬුවා. කොච්චර වෙලාද කියන්න මම දන්නේ නෑ. අන්තිමට හුස්ම ගන්න බැරි වුනාම යාන්තම් මගේ ඇඬිල්ල තුනී වුණා. ඒ එක්කම මට ඇහුණා කාමරේ දොර ඇරෙන හඬ. මම ඉක්මණට දෑස් පියා ගත්තා. මගේ ඉහ ඉද්දරින් ඇඳේ මෙට්ටේ පාත් වෙනවා මට දැනුනා. ඒ එක්කම මගේ නහයට දැනුනේ අම්මගේ සුපුරුදු ලැවෙන්ඩර් විලවුන් සුවඳ. අම්ම නිතරම් එක පාවිච්චි කරපු නිසාදෝ, පාවිච්චි නොකරන වෙලාවල්දි වුණත් ඒ සුවඳ අම්මා ලඟ තිබුණා. මම නිදි වගේ පෙන්නන්න උත්සාහ කලා. අම්මා මගෙ හිස අතගෑවා.
"මං දන්නවා ඔයා නිදි නෑ කියලා. අවුරුදු ගාණක් ඔයාව නිදි කරවපු මට ඒක කියන්න අමාරු නෑ" අම්මා කිව්වාම මම ඇස් ඇරියා.
අම්මාගෙ කටහඬ වෙනස් වෙලා. හරියට හෙම්බිරිස්සාව හැදිලා වගේ. අම්මා අඬලද?
"ඇයි පුතේ සිද්ධ වෙච්ච දේවල් වලට ඔයාගෙන්ම පලි ගන්න හදන්නේ? මේ නළල තුවාල කර ගත්තේ ඒකනේ. ඇයි දරුවෝ මෙහෙම අපට දුක් දෙන්නේ?" අම්මා අහනවා.
දුක් දෙන්නේ අම්මලා මටයි කියලා මට කියන්න ඕන වුනත්  මම උත්තර දෙන්න ගියේ නෑ.
"අයියා කරපු දේ ගැන දැන දැනත්, අප්පච්චි ලෙඩ වෙන බව දැන දැනත් අයි පුතේ මේ වගේ දේවල් වල පටලැවුණේ? දැන් කීදෙනෙක් විඳවනවද බලන්න ඔයාත් එක්ක?"
"ආදරේ ඇතිවෙන්නේ පස් මහ බැලුම් බලලා නෙවෙයි අම්මා" මම කිව්වේ අම්මගේ මේ චෝදනා ඉවසගන්න බැරිව.
"ඔයා තාම පොඩියි. ඔයාට තාමත් ජීවිතේ ගැන තේරෙන්නේ නෑ. ආදරේ කියන්නේ ජීවීතේම නෙවෙයි මෙත්මා"
මම ආයෙත් මුනිවත රැක්කා. මෙච්චර දෙයක් කලාට පස්සෙත් අම්මලා ඇයි මට වද දෙන්නේ කියලා මම කල්පනා කලා.
"ඒ මොනා වුණත් දන් ඒ සේරම ඉවරයි.අප්පච්චි වෙනුවෙන් ඔයා කරපු දේ ගැන මට ආඩම්බරයි ඇත්තටම. ඒත් මට එක වෙලාවක බය නොහිතුනා නෙවෙයි ඔයා අපූර්ව එක්ක යාවිදෝ කියලත්..."
අපූර්වගේ  නම ඇහෙද්දි මගේ හිත කීරි ගහුණා. අනේ මගේ අපූර්ව දැන් මොනවා කරනවා ඇත්ද?
"අප්පච්චිටත් ඔයා ගැන ගොඩක් සතුටුයි පුතේ...වෙච්චදෙවල් සේරම නරක හීනයක් කියලා හිතලා අමතක කරලා දාන්න. ටික දවසක් යද්දි, කලිඳු ඔයාගේ ජීවිතේට ලං වෙද්දිප්යාට අපූර්ව අමතක වේවි"
මට අම්මා කියපු දේ අදහා ගන්න බැරි වුණා. අම්මලා හිතන්නේ කොච්චර වැරදි විදියටද? මගේ හීරිලා, තුවාල වෙච්ච හිතට පාඩුවේ ඉන්න නොදී අම්මලා දෙන්න හදන්නේ වැරදි බේත්ක්. අම්මලා තාමත් හදන්නේ මාව කලිඳුට ලං කරන්න.
"මං අපූර්වට ආදරෙයි. ලඟ හිටියත්, දුර හිටියත් මං ආද්‍රේ අපූර්වට අම්මේ" එහෙම කියද්දි මගේ ඇස් වලින් ආයෙත් කඳුළු පිට පැන්නා.
"ආයෙත් ඔය ගන කතා කරන්න ඕන නෑ. ඔය නම් මේ ගෙදර ඇහෙන්න ඕනත් නෑ. ඔයා හදන්නේ අප්පච්චිව ආයෙත් ආසනීප කරන්නද මෙත්මා? අප්පච්චි මට කිව්වේ මේ ගැන ඔයාට මතක් කරන්න වත් එපා කියලා. ඔයා අද අපේ නම්බුව රැක්කා වගේ ඉදිරියටත් කරාවි කියලා මම හිතනවා. අපූර්වව අමතක කරන්න බලන්න පුතේ...කාලයක් යාවි තමා ඒත් කරන්න දෙයක් නෑ"
අම්මා කිව්වේ ඇඳෙන් නැගිටින ගමන්.
"හිතේ ඉන්න කෙනෙක් අමතක කරන හැටි මම දන්නේ නෑ අම්මා. මගේ හිතේ ඉන්නේ අපූර්ව විතරයි. ඒත් බය වෙන්න එපා මම අද කියපු වචනෙ කවදාවත් කඩන්නේ නෑ"
මම කිව්වේ කලකිරීමෙන්.
"දැන් ඔයානිදා ගන්න බලන්න තව ටිකක්" කියපු ම්මා සුසුමක් හෙලලා යන්න ගියා
අවට පරිසරය වහින්න් අවගේ අඳුරු කරලා. ඒ නිසාම කාමරෙත් අඳුරුයි. තැලිලා, පොඩිවෙලා තිබ්බ හිත එකලස් කරගෙන නිදා ගන්න මට පුලුවන් වුණේ නෑ. ආයෙමත් කාමරේ දොර ඇරුණා. මම හිස හරවලා බලද්දි ඒ බට්ටි.
"අක්කා...ඔයා නිදිද?" ඈ මගේ මූණට එබුණා.
"ඇයි බට්ටියෝ?"
"ඔයා දවල්ට කන්නේ මොනාද කියලා බලලා ගිහින්  දෙන්න කියලා අප්පච්චි කිව්වා"
"මට මොනවත් එපා කියන්න"
මම කිව්වත් බට්ටි කාමරෙන් නොගිහින් මගේ ලඟින් වාඩි වුණා.
"අක්කා අඬන්න එපා අක්කේ. අපූර්ව අයියා ආයෙමත් ඒවි" බට්ටි පොඩි කමට කියනවා. මගේ කඳුළු ආයෙත්  අළුත් වුණා.
"අපූර්ව අයියා ආයෙත් එන්නේ නෑ බට්ටි"
"එයා මට කිව්වා එනවා කියලා"
මම ඉක්මණට නැගිටලා ඇඳේ වාඩි වුණා ඒ කතාව ඇහුවාම.
"එයා ඔයාට කිව්වා? කොයි වෙලේද?"
"ගෙදරින් යද්දි. මම හිටියේ එළියේ. ගිහින් එන්න කිව්වාම එයා කිව්වා, ඔයාගෙ අක්කව ගෙනියන්න ආයෙත් එනවා කියන්න කියලා අක්කට. ඇයි අක්කේ එයා අඬ අඬ ගියේ? අප්පච්චි එයාට බැනලද?"
ඒ ක ඇහුවාම මගේ හිත ගිනි පත්තු වුණා. අපූර්ව අඬලා?
"එයා ඇඬුවද? ඔයා දැක්කද?" මම ඇහුවා.
"ම්ම්...ගෙයින් එලියට එද්දි ඇස් දෙක වහගෙන තමා ආවේ, අඬනවා වගේ" බට්ටි ඇස් කරකවමින් කල්පනා කර කර කියන්වා.
මම බට්ටිව තුරුල් කර ගත්තා. කඳුළු බිංදු වරුසාවක්ම ආයෙත් වැටෙන්න ගත්තා.
"අක්කේ?"
"ම්ම්..."
"අක්කාගේ ප්‍රින්ස් චාර්මිං අපූර්ව අයියා නේද?"
මම මුකුත් කිව්වේ නෑ, කඳුළු සැලුවා ඇරෙන්න.
"ඔයා අඬන්න එපා. එයා කවදා හරි ආයෙත් ඔයා හොයාගෙන ඒවි. හැම කතාවක්ම දුකෙන් පටන් අරගත්තට සතුටින් ඉවර වෙනවා නේ"
ඒත් මගේ කතාව ඒ වගේ සුන්දරව ඉවරවෙන එකක් නෑ කියලා බට්ටිට තේරුම් ගන්න තව ගොඩක් කල් යාවි. ඒත් තව කල්පයක් ගියත් මම අපූර්වට ආදරෙයි කියන එක වෙනස් වේවිද? අදින් පස්සේ අපි දෙන්නගේ අනාගතේ මොන වගේ වේවිද? හෙට දවස ගැන මට තිබ්බේ බයක් විතරයි. අපූර්ව නැතිව මට ජීවත් වෙන්න බෑ කියලා හදවත මොර දෙද්දි, එන විදියකට ජීවිතේට  මූණ දෙනවා කියලා මම හිත හදා ගන්න උත්සාහ කලා.

1 comment:

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....