Friday, November 11, 2011

පනස් හයවෙනි දිගහැරුම


"හර්ෂි අක්කා..."
මම හර්ෂි අක්කට කතා කලේ මාස දෙකකට විතර පස්සේ.
"ඉන්දි? ඉන්දි නේද?"
"ඔව්"
"මදෑ අපිව මතක් වුණා. මොනවද මනුස්සයෝ මෙච්චර කල් කලේ? කෝල් එකක් නෑ. අපි කෝල් කලාම කතා කරන්නේ නෑ. මොකද වෙලා තිබ්බේ?"
"වෙන්න තියෙන හැම දෙයක්ම වුණා අක්කේ" මම කිව්වේ කලකිරීමෙන්.
හර්ෂි අක්කා සුසුමක් හෙලුවා.
"ඒක් නම් ආරංචියි. ලොකු අම්මා කතා කරල අපේ අම්මට දොස් කිව්වා හරියට"
"අනේ අක්කා...මට සමාවෙන්න. පුංචම්මා මාත් එක්ක හොඳාටම තරහා ඇති. මම ඒ හැමෝගෙම විශ්වාසේ බින්දා"
"පිස්සුද? අම්මා තර්හා නෑ. අම්මා කොහොමටත් සැක කරලා තියෙනවා, එහෙම දෙයක් ඇති කියලා. ලොකු අප්පච්චි අපටැ කතා කරලා සමාව ඉල්ලුවා, ලොකු අම්මා දොස් කියපු එකට. අපේ අම්මා ඔය කා එක්කවත් තරහා නෑ. ලොකු අම්මත් ඊට පස්සේ ආයෙම කතා කරලා තිබ්බා. ඔයා ඒවා ගැන හිතන්න එපා"
ඒ වචන ටික මගේ හිතට ගෙනාවේ සහනයක්.
"දැන් ඉතින් ගිය දේවල් ගැන හිතන්න එපා. ලොකු අප්පච්චි ඔය තරම් හොඳට ඔය කාරණාව මේවා කරගත්තු එක ගැන සතුටු වෙන්න. අපූර්ව ගැන දුකයි තමයි. ඒත් මොනවා කරන්නද?"
අපූර්ව ගැන කිව්වාම මගේ හිත ආයෙමත් පෑරුණා.
"අපි වෙන් වෙලා ඉවරයි අක්කේ"
"මම දන්නවා...ඔයා දැන් ඒවා ගැන වැඩිය හිතන්න යන්න එපා"
"හ්ම්...කොහොමද අපර්ණා?"
"හොඳින් ඉන්නවා. බබා හම්බෙන්න තව මාසයක් විතර තියෙන්නේ. සුදීපත් ලඟදි ඇවිල්ල ගියා. මිනිහට දැන් සරුයි. කවදාහරි ගෙදර එන්නේ තමන් තත්වයක් හදාගෙනමයි කියලා කියනවා. බබා හම්බුනාම ඔය සේරම තරහ මරහ ආච්චිටයි, සීයටයි අමතක වෙයි මම නම් කියන්නේ"
ඒක අහද්දි නම් හිතට හීන් සතුටක් දැනුනා. කවුරු මොනවා කිව්වත් ඒ පුංචි පැටියා අපේ පවුලට අයිති කෙනෙක් නේ.
"මම ඔයා බලලා යන්න එන්නම්" හර්ෂි අක්කා අන්තිමට කිව්වා.
"ගෙදර හැමෝම මතක් කලා කියන්න"
මම කෝල් එක ගත්තේ අප්පච්චිගේ ෆෝන් එකෙන්. අප්පච්චි එක ගෙදර තියලා ගියේ  කලිඳු අයියාට කෝල් කරන්න. අපූර්ව මට දීපු ෆෝන් එක නුවර ගිහින් ආපු දවසෙම මම අල්මාරිය ඇතුලට දැම්මා මිස ආයෙත් ඒක පාවිච්චි කරන්න ගියේ නෑ. ඒ හැම දෙයක්ම හිත වේදනාවට පත්කරන නිසා.
"දැන් අර ගමන යන එක ගැන මොකද කරන්නේ?" මට ඇහුණා අම්මා දවසක් අප්පච්චිගෙන් අහනවා. මම උන්නේ ගිනි උදුන තිබුන පැත්තට වෙන්න ඉඳගෙන පොතක් කියවමින්. පොත කිය්වන් එක පැත්තක දාලා මම ඒ කතාවට ඇහුම්කන් දුන්නා.
"පැංචිගෙන් නාහා ඒක ගැන තීරණයක් ගන්න බෑ. මේ ගමන යන්න එයා කැමති වෙන්න ඕන. කෙල්ල තාමත් ඉන්නේ දුකෙන්"
"ඒත් ඉතින් එහෙම කියලත් කොහොමද?"
"වෙලාවකට මට හිතෙනවා නෙළුම් අපි මේ කරන්න යන්නේ හරි දේද කියලත්?"
"අනේ මන්ස්ගාත නොකියා ඉන්න. පැංචි කලිඳුට කැමති බව පේන්නෙ නැද්ද? අකමැති නම් කියන්න එපැයි"
අප්පච්චි මුකුත් කිව්වේ නෑ. කල්පනා කරනවා වෙන්න ඇති.
මම ලොකු පුටුවෙන් නැගිටලා අප්පච්චිලා උන්නු දිහාවට ගියා. ඒ දෙන්න මාව දැක්කේ එතකොට.
"ආ..ඔයා මෙතනද හිටියේ?" අම්මා ඇහුවේ පුදුමෙන් වගේ.
"අප්පච්චි කලිඳු අයියලගේ ගෙදර යන එක ගැන ඔය තරම් හිතන්න ඕන නෑ. තීන්දු කර ගත්තු දවසට යන්න දා ගන්න. ආයෙත් ඒක වෙනස් කර ගන්න යන්න ඕන නෑ"
මම එහෙම කියලා, මුකුත් අහන්න නොඉඳ මිදුලට එන්න ආවා. මගේ ජීවිතේ හැමදාමත් දෝලනය වුණේ අපූර්වයි, කලිඳුයි අතර. කාලෙට ඉඩ දීලා බලාගෙන හිටියත් හැමදාමත් වුණේ මම අපූර්වගේ පැත්තෙන් කලිඳුගේ පැත්තට තල්ලු වුණ එක. තවත් නොකෙරෙන දේකට ලතවෙන්න ඕනේ නෑ කියලා මට හිතුණා. ඒත් මම හොඳටම දැනගෙන හිටියා කවදාවත්, කවමදාවත් අපූර්වට ඇරෙන්න කාටවත් මට ආදරය කරන්න බැරි වග. ඊටත් අපූර්ව දැන් මාව අමතක කරන්න හිත හදාගෙනත් ඇති කියලා මට හිතුණා. ඒදා සිද්ධියෙන් පස්සේ මට ඔහු ගැන කිසිම ආරංචියක් ලැබුණේ නෑ. ඔහු වෙනුවෙන් සදාකාලිකව වැලපෙන හිතේ කොටසක් හැමදාමත් මට තියේවි. ඒත් සමහරවිට අපේ දෛවය මේක වෙන්න ඇති. ඉස්සරෝම දවසක අපි දෙන්න ස්ට්‍රෝබෙරි පැල ඉන්දපු පාත්ති දිහා බලාගෙන මම කල්පනා කලා. අපූර්ව...අපේ ආදරරේ හීනයක් විතරක්ම වෙන්න තරම් අපි පව් කරලා තිබුණේ ඇයි?

2 comments:

  1. මෙත්මට ඔච්චර ලේසියෙන් හැමදේම අමතක කරන්න පුලුවන්ද? පව් අපුර්ව.......

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....