Wednesday, September 21, 2011

අට වෙනි දිගහැරුම ඉතිරි කොටස...

ඉරිදා දවස ගෙවුනේ විදුලි වේගයෙන්. ආච්චි අම්ම එක්ක පන්සල් ගිහින්, නංඟියි අම්මයි එක්ක වරුවක්ම ටවුන් එකෙ රවුම් ගහලා, හවස සීයා පප්පයි ,නංඟියි එක්ක වැව ගාව ඇවිදින්න ගියා. අයියාගෙ ෆෝන් එකට කතා කරන්න හැදුවත් ඒක ඒ හැම වෙලේකම විසන්ධි කරලයි තිබුණේ. ගෙදර අනික් අය එක්ක ඉන්න ලැබීම සතුටක් වුණත් අය්යා ගැන නම් හිතේ තිබුණේ මහ දුකක්.
"අල පෙති බැදලා, සලාදෙ හදලා, මට්න් ඩෙවල් කලා. ඔන්න දැන් බත උයා ගන්නයි ඉතිරි." ආච්චි අම්මා කුස්සියේ තිබුණ පුටුවකට බර වුණේ එහෙම කියාගෙන. 
මට එක පාරටම් අයියාව මතක් වුණා. එයා අල පෙති කන්න හරිම ආසයි.
"අයියත් හිටියා නං" මට කියැවුණා.
ආච්චි අම්මා මා දිහා බැලුවේ ගැස්සිලා වගේ. මම බිම බලා ගත්තේ මගේ ඇස් වලට උනපු කඳුලු හංඟ ගන්න.
"පැංචි ආ බව දන්නවා නම් මගේ කොල්ලා කොහේ හිටියත් ඒවි බලලා
"ඉන්න තැනකින් පණිවිඩයක් වත් එවනවා නං..." අම්මාගෙ සංතාපය මුසු හඬත් මට ඇහුණා.
"අයියා තරහ නිවුණාම ආපහු ඒවි" ඒ දෙන්නාගේ හිත හැදෙන්න මම එහෙම කිව්වා.

"අක්කා ආයෙම හෙට යනවද?"
මමයි, නංඟියි නිදා ගන්න ලෑස්ති වෙද්දි නංගි මගෙන් අහද්දි මට දැනුනේ ලොකු දුකක්. අයියත් නැති ගෙදර මමත් ගියාම නංඟිට පාලු හිතේවි. මම ඇගේ මූණ අත ගෑවා.
"යන්න එපැයි බට්ටි. අනිද්දට ක්ලාස් නේ"
මඳ අඳුරේ මට පෙනුනේ නංඟි ගේ බෝල ඇස් දෙක විතරයි.
"අයියා ආයේ එන්නෙම නැති වෙයිද දන්නේ නෑ නේද අක්කේ?"
මටත් වඩා අයියා නැති පාලුව නංඟිට ලොකුවට දැනෙන බව මට තේරුණා.
"නෑ, අයියා ආපහු එනවමයි, ඉක්මණටම. දැන් හොඳ කෙල්ල වගේ නිදා ගන්නකෝ"
මම ඈව තුරුලු කරගෙන කිව්වා. පුංචිම කාලෙ වගේ තාමත් බට්ටි ලඟ තිබ්බේ බබාලා ගාව එනවා වගේ සුවඳක්. ඒ සුවඳ විඳගනිමින්ම මම ඇස් පියා ගත්තා.
අට වෙනි දිගහැරුම ඉතිරි කොටස...
ඒත් මට රෑ නින්දක් ආපු නැති තරම්. ගෙදර මේ තරම් ප්‍රශ්ණයක් තියෙද්දි මම හෙට නුවර යන්නේ කොහොමද? අම්මා තනියෙම මේ දේවල් දරාගෙන ඉන්නත් එපැයි. මට හිතුණා ගෙදර නවතින්න. ඒත් අප්පච්චි ඒකට කොහොමටවත් ඉඩ දෙන එකක් නෑ. ඒ එක්කම මගේ මතකෙට ආවෙ අපූර්ව. එදා එද්දි මට කියලාවත් එන්න බැරි වුණ එක ගැන අපූර්වට තරහ ගිහින්ද දන්නෙ නැහැ. ඒ එක්කම වගේ මට ඇහුණා ගෙදරට වාහනයක් එන හඬ. ඒ අප්පච්චි වෙන්න ඇති. මම ඔරලෝසුවේ ලයිට් එක දැම්මා. වෙලාව රෑ එකයි දහයයි. නිදිමතක් නොතිබුණත් මම ඇස් පියාගෙන නිදා ගන්න උත්සාහ කලා.

"ආ... පැංචි දැන් ද ඇහැරුණේ?" මම ඇහැරිලා එලියට යනකොට අප්පච්චි උන්නේ සාලෙ වාඩි වෙලා ටීවී එක නරඹමින්.නංඟිත් ඇස් පොඩි කර කර මගේ පිටිපස්සේන් ආවා.
"කෝ දෙන්නම එන්නකෝ මෙහාට"අප්පච්චි කතා කලා.
එතනට ගිය අපි දෙන්නව අප්පච්චි අත් දෙකෙන් අල්ලලා ලඟට කර ගත්තා.
"මගේ හොඳ කෙල්ලෝ දෙන්නා. මගෙන් පස්සේ  සේරම බාර ගන්න ඉන්නේ ඔය දෙන්නා තමයි"අප්පච්චි කිව්වේ ආදරෙන්.
මම අමාරුවෙන් හිනා වුණා. අප්පච්චි නොකියා කියන්නේ අයියාට සමාවක් දෙන්න සූදානම් නෑ කියන එක බව මට නොතේරුණා නෙවෙයි. නංඟිට නම් මේව ගාණක් නෑ, එයා තාමත් පොඩි නිසා. එයා කලේ අප්පච්චි ලඟින් වාඩි වෙලා ටීවී බලන්න පටන් ගත්තු එකයි.
'බට්ටී...තේ බොන්න එන්න...අක්කටත් එන්න කියන්න..."අම්මගේ හඬ කුස්සියෙන් ඇහුණා.
ඒ පාර නංඟි ඇඳන් උන්නු දිග නයිටියත් බිම දිගේ ඇද ගෙනම කුස්සියට යන හැටි මම බලාගෙන උන්නා. තාම අවුරුදු දහයක් වුණත් ඈ ඒ කාලෙ මට වඩා ලස්සනට, පිරිපුන්ව උන්නා.
"ඔහොම හිටියට දඟ මල්ල. පැංචිත් දැන් නැති නිසා ගෙදර රජ කර ගෙන ඉන්නේ. හැමෝම එයා කියන කියන විදියට වැඩ.
නංඟි යන දිහා බලාගෙන උන්නු අප්පච්චිත් එහෙම කිව්වා. මම හිණා වුණා.
"පැංචී...එන්න තේ බොන්න"අම්මා ආයෙම කතා කලා.
අප්පච්චිත්  මං එක්කම කුස්සියට යන්න ආවා. අම්මා මගේ අතට තේ එකක් දීලා අප්පච්චිට බත් එක බෙදලා මේසෙන් තිබ්බා.අපි දෙන්නම මේසෙට වාඩි වුණා. බට්ටි තේ එකත් අරන් අම්මත් එක්ක එළියට ගියේ අපේ බලු පැටියා බොනීට කෑම දාන්න.
"කොහොමද නුවර ක්ලාස් එක හොඳද?"අප්පච්චි ඇහුවා.
එදා එන දවසෙත් අප්පච්චිට මං එක්ක හරියට කතා කරන්න බැරි වුණ හන්දා අප්පච්චි මගෙන් විස්තර ඇහුවේ අද.
"හ්ම්...හොඳයි අප්පච්චි. ඉංග්‍රීසි ඉගෙන ගන්න ඒකෙන් හොඳ රුකුලක් හම්බ වෙනවා"
අප්පච්චි හිස වැනුවා."එහෙනම් හොඳයි"
මම හෙමිහිට තේ එකතොලගෑවා. අප්පච්චිත් උන්නේ කල්පනාවක වග මට පෙනුනා. ඔහුට බාධා කරන්න මට ඕන වුණේ නැහැ.
"අයියා ගැන අම්මා කියන්න ඇති නේද දුවට?" නොහිතපු වෙලාවක අප්පච්චි මගෙන් ඇහුවා. මට කියන්න දෙයක් තිබුණේ නැහැ. මම බිම බලාගෙන හිටියා.
"ඒකා හදපු වෙලේ බලු පැටියෙක් හැදුවා නම් ඌ අද නගුට වත් වනයි. කෙලෙහිගුණ දන්නේ නැති එකා. එදා ඉඳන්ම කලේ හිතුවක්කාරකම්"
අප්පච්චිගේ වචන වලට මගේ හිත ආයෙම පෑරුණා.
"මම පැංචිව නුවර යැව්වේ තව හොඳට උගන්නන්න. එතකොට උසස් පෙල මොනවා වුණත් මට පුලුවන් ඔයාව කැනඩ ගෙනිහින් තව උගන්වන්න. මම හැදුවේ හොඳක් කරන්න. ඒත් ඌ කියනවා මම පවුල ඇත් කරන්න යනවලු, අනික් අයගේ සතුට ගැන හිතන්නේ නැහැලු. අර මාගස්තොට ඉඩම මම විකුණලා දැම්මේ ඒක අපට වැඩක් නැති හන්දා. ඒ මුදල් වලින් මම පේරාදෙනියේ ඉඩමක් අරන් දැම්මා ඕකගේ නමට. ඒවා කවුරුවත් දන්නේ නෑ පුතේ"
අප්පච්චිගේ වචන වල තිබ්බේ වේදනාවක්, කලකිරීමක්. මම අප්පච්චිගේ අතින් අල්ල ගත්තා.
"ඔන්න මම දැක්කා අර හාවාඑළියේ ඉන්න රස්තියාදුකාරයෙක් එක්ක ඉන්නවා. උන් නොකරන ජරා වැඩක් නෑ. ඕන් ආශ්‍රය කරන යාලුවන්ගේ හැටි.ඒ මදිවට කොහෙද යන බර්ගර් තේවුඩිච්චියෙක්ව කරේ එල්ලගෙන. පුතාගේ සීයා පප්පා අමාරුව්න් ගොඩනගපු මේ දේවල්, අපේ නම්බුව මං ආරක්ෂා කළා. ඔයාලා ඒක වැඩි කරන්නයි ඕන. අර විදියේ වැඩ කරද්දි ඌව තවත් මෙහේ තියා ගන්නේ මොකටද? ඔයාලගේ අම්මා හිතන්නේ හිතින් විතරයි. මට එහෙම කරන්න බෑ. මම හිතන්න ඕන මොලෙන්. එහෙම නූනා නං මට බෑ පවුලකුත් බලාගෙන කම්පැනි දෙකකුත් හදන්න
අප්පච්චි සුසුමක් හෙලුවා. මම දැක්කා අම්මා එලියට යන දොර ලඟ හිටගෙන අහගෙන ඉන්නවා.
"පුතෙක් කියලා එකෙක් හැදුවා නම ගෙනියන්න, ඌ හදන්නේ නම කන්න.  මම අද ඔයාටත් කියන්නේ දුවේ...ඔයත් කවදා හරි අයියා වගේ වුණොත් එදාට මට අමතක කරන්න වෙයි ඔයා මගේ දුව කියන එක. මේ තාත්තා එහෙමයි. තමන්ගේ පවුලේ නම්බුව රකින්න බැරි නම් ඒ දරුවන් ගෙන් මට වැඩක් නෑ.
අප්පච්චි අන්තිමට එහෙම කිව්වා. මම නිෂ්ශබ්දව අහගෙන හිටියා. මගේ හිතට දැනුනේ අහේතුක බයක්.
"හ්ම්, එහෙනම් ගිහින් මූණ හෝද ගන්න. දවල්ට කාල යන්න ලෑස්ති වෙන්න" අප්පච්චි කිව්වාම මම නැගිට්ටා.

එදා දවසේ මම කොහේවත් ගියේ නැහැ. පුලුවන් තරම් ගෙදර අය එක්ක ඉන්නයි මම උත්සාහ කලේ. ආච්චි මම්මා පුංචම්මට ගෙනියන්න දේවල් ලෑස්ති කරන්න උදේ ඉඳන්ම මහන්සි වුණා. උදේ වරුව පුදුම ඉක්මණට ගෙවිලා ගිහින් තිබ්බා. දවල් කෑම කාල අහවර වෙලා මම යන්න ලෑස්ති වුණා.
යන්න එලියට බැහැලා වඳිද්දි ආච්චි මම්මා නම් උන්නේ කඳුලු පුරෝගෙන. නංඟිත් පැත්තකට වෙලා අම්මාට වාරු වෙලා දුකින් බලාගෙන හිටියා. අම්මා වෙනසක් නොපෙන්වා උන්නත් මම ගියාට පස්සේ අම්මට ඇඬෙන බව මම දන්නවා.
"ගිහිං එන්නම්" හිත ගලක් කරගෙන මම හැමෝටම කිව්වා.මමත් ඇඬුවොත් ඒ අයට තවත් දුක හිතෙන නිසා මම අමාරුවෙන් නාඬා හිටියා.
"ආයේ ඉක්මණට එන්න"නංඟි අත වැනුවා.
කැබ් එක කෙමෙන් කෙමෙන් ගෙදරින් ඈත් වෙද්දි මම ආසනේට හේත්තු වෙලා ඇස් පියා ගත්තා. අතරමගදි පෙනුන තේ වතු, දිය ඇලි ඉස්සර මගේ හිතට ගෙනාවේ මොන තරම් නැවුම් හැඟීමක් ද? ඒත් අද ඒවා නිකම්ම දර්ශණ බවට පත් වෙලා තිබ්බා. අපි ඉක්මණට නුවරට සේන්දු වුණා. ආයෙමත් අර ඒකාකාරී, වෙහෙසකර ජීවිතේ, එපාකරපු හැඟීම මගේ හිතට පිවිසුනා.
"කැබ් එක පුංචම්මලගේ මිදුලට දාද්දි පුංචම්මා එළියට ආවේ, හර්ෂි අක්කත් එක්ක.මම ඇතුලේ තිබ්බ බෑග් ටිකත් අතට අරන් බිමට බැහැගත්තා. 
""බරටම උස්සගෙන ඇවිත් තියෙන්නේ"හර්ෂි අක්ක හිනාවීගෙනම මගේ අතින් බෑග් ටික ගත්තා.
"අම්මටයි, නෙලුම්ටයි වෙන වැඩක් තිබ්බේ නෑ එළවලු හොයනවයි, කැවිලි හදනවයි ඇරෙන්න
අප්පච්චි ගෙට ආවේ එහෙම කියාගෙන.
"අනේ ඒකනේ. එදා කළබලේට ගිය නිසා නෙවෙයි නං එහාත මොනවා හරි හදලා යවන්නයි මමත් හිතාගෙන උන්නේ. අයියට අම්මවත් එක්ක එන්නයි තිබුණේ"
පුංචම්මා කිව්වා.
"අම්ම කොහෙද නංඟි එන්නේ. නෙලුම්ටත් වැඩ වැඩි නිසා අම්ම එපායැ සේරම බලා කියා ගන්න"
අප්පච්චියි, පුංචම්මයි කතා කර කර ඉන්න අතරේ මම අක්ක එක්ක මගේ කාමරේට  ගියා.
"හොඳ නිවාඩුව නේ.මට තමා මෙහේ පාලු" අක්කා නෝක්කඩු කිව්වා.
"අද නිවාඩුද?"මම ඇහුවේ නාන කාමරෙට යන්න තුවාය අතට ගන්න ගමන්.
"ඔව්.ඔයා එහෙනම් නා ගෙන එන්න. මං තේ හදලා තියන්නම්"අක්ක එහෙම කියා ගෙන කාමරෙන් පිට වුනා.
මම ඉක්මණට නාගෙන පහලට ගියා.
"ආ... ඉන්දිත් එන්න තේ බොන්න
මම යද්දි අප්පච්චිලා තේ බොමින් හිටියා.
"අපි හිතාගෙන හිටියේ අද මාලිගාවට යන්න. අදපෝය නේ.පහට විතර යන්නයි ඉන්නේ" පුංචම්මා කිව්වා.
"ෂා...කොච්චර හොඳද? මට ගිහිං දාන්න තිබ්බා දැන්මම යනවා නම්"අප්පච්චි කිව්වා.
"අයියා අද යනවද? මම උන්නේ ඉඳීවි කියලා"
"බෑ නංඟි. වැඩ ගොඩ ගැහිලා. නිවාඩු ගන්න බෑ. හැම දේටම මංම ඉන්න එපැයි"
"දැං ඉතින් අයිය්‍ර ඕවාපුතාට බාර දෙන්නයි තියෙන්නේ"
පුංචම්ම එහෙම කිව්වාම මට අප්පච්චි දිහා බැලුණා.
"හහ්, එයා කරන බිස්නස්. මං හිතාගෙන ඉන්නේ කවදා හරි මේ සේරම දුවලා දෙන්නට දීලා දාන්න නංඟි"
 මම ඒ අයට කතා කර ගන්න ඉඩ දීලා එලියට ඇවිත් ඉස්සරහා පඩියෙන් වාඩි වුනා.
"කමෝන් මෑන්, ඉට්ල් බී ෆන්"
මට ඒ හඬ ඇහුණේ අපූර්වලගේ ගෙදර දිහාවෙන්. මම යන්තම් ඉස්සිලා බැලුවත් මට මුකුත් පෙනුනේ නැහැ.
"සොරි යෂී.නොට් ටුඩේ. අයි ඈම් නොට් ෆිට් ෆෝ එනිතිං"
ඒ අපූර්වගේ හඬ. මට ඔහුට කතා කරන්න ඕන වුණත් එහෙම කරන්න බැහැ අප්පච්චිත් ඉද්දි.
"ඕකේ දෙන්.සීයූ ටුමොරො.බායි"
ඒ හඬ ඇහිලා ටික වෙලාවකින් මට ඇහුණා ඒ පැත්තෙන් මෝටර් බයිසිකලයක් පිට වෙලා යන සද්දේ. අපූර්ව දකින්න ඕන කියලා මට තදින්ම හිතුණත් මට ඒක කරන්න විදියක් තිබ්බේ නැහැ.

"එහෙනම් මම ගිහින් එන්නම් පැංචි. ලබන මාසෙ ආයෙ ගෙදර යන්න පුලුවන් නේ. දඟ නොකර ඉන්න"
අප්පච්චි යන්න ලෑස්ති වෙද්දි ඔහුට වැන්දාම මගේ හිස අතගාලා අප්පච්චි එහෙම කිව්වා. අප්පච්චි කැබ් එකට නැග්ගාම මම එතනට ගියා.
"අප්පච්චි.."
"ඇයි?"
"මං වෙනුවෙන් අයියට සමාව දෙන්න අප්පච්චි"
මම එහෙම කිව්වාම අප්පච්චි විනාඩියක් දෙකක් මං දිහා බලාගෙන හිටියා.
"මං ගිහින් එන්නම්"අප්පච්චි අන්තිමට කිව්වේ එච්චරයි.
සුමනේ මාමා කැබ් එක ස්ටාත් කලා. මං එතනින් මාත් වෙලා ගෙයි පඩිය උඩට නැග්ගා. ගුරු පාරේ දූවිලි අවුස්සගෙන කැබ් එක පිට වෙලා යන හැටි මම බලා උන්නේ උපේක්ෂාවෙන්.

1 comment:

  1. ඔන්න අද වෙනකන් තියෙන ටික කියවලා ඉවර කලා මම...මුල කොටසින් පටන්ගත්තම අන්ති‍ම වෙනකන් එක හුස්මට කියවලා ඉවර කලා...ලස්සනට කතාව ලියලා තියෙනවා...තව තව ලියන්න...(ගොඩක් ආසයි ඉතුරු ටිකත් ඉක්මනට කියවන්න අක්කි)...මම දැකපු ගොඩක් හොඳ මෙගා එකක් :D

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....