Monday, September 19, 2011

අට වන දිගහැරුම

"ගෙදරට කවුද ඇවිත්"
අපූර්ව කිව්වාම මගෙ ඇස් එක පාරටම යොමු වුණේ පුංචම්මලාගේ ගෙදර මිදුලේ නවත්තල තිබුණ වාහනය දිහාවට. මගේ ඇස් උඩ ගියා. ඒ අප්පච්චිලාගේ ඔෆිස් එකේ කැබ් එක.
"අප්පච්චි!" මට කියවුණා.
අපූර්වට යන්නම් වත් නොකියා මම ඉක්මණට ගෙදර දිහාවට දිව්වා. හොඳ වෙලාවට අප්පච්චි උන්නේ ඇතුලේ.
"අප්පච්චි ආවද?" මම ගේ ඇතුලට ගියේ එහෙම අහගෙන. සාලෙ අප්පච්චියි, ඩ්‍රයිවර් සුමනේ මාමයි වාඩි වෙලා හිටියා. පුංචම්ම උන්නේ කුස්සියේ දොර ලඟ හිට ගෙන. මම හෙමින් අප්පච්චි ලඟට ගියා.
"අප්පච්චි දැන් ද ආවේ?"
"දැන් ටිකක් වෙලා. මොකෝ පැංචි පරක්කු? මම ඔයාගේ ක්ලාස් එක ලඟටත් ගියා. ක්ලාස් ඉවර වෙලා එතකොට" අප්පච්චි කිව්වාම මගේ දෙකන් පෙති රත් වුණා.
"ක්ලාස් ඉවර වෙලා යාලුවෝ එක්ක අයිස් ක්‍රීම් කන්න ගියා. ඊට පස්සේ සෙනග අඩු බස් එකක් එනකල් හිටියා"
මම අප්පච්චි දිහා නොබලම උත්තර දුන්නා. මට කීයටවත් අප්පච්චිට ඇත්ත කියන්න බෑනෙ.
"හ්ම්ම්...හෙට නිවාඩු නේ  නේද?" අප්පච්චි  ඇහුවාම මම හිස වනලා ඔව් කිව්වා.
"ලෑස්ති වෙන්න ගෙදර ගිහින් එන්න. සඳුදා පෝය නිසා කොහොමත් නිවාඩු නේ. එදාට එත හැකි"
අප්පච්චි එක පාරටම එහෙම කිව්වාම මට පුංචම්මා දිහා බැලුණා.පුංචම්මත් මා දිහා බැලුවා.
"දවල්ට කාලත් නෑනෙ දුව. කාලම ගියා නං" ඇය මට කිව්වා.
"යන ගමන් කන්න බැරි‍යැ නංඟි" අප්පච්චි කිව්වා.
මම හෙමින් හෙමින් උද තට්ටුවට නැග්ගා. මෙහේ ආපු දවසේ ඉඳලා මම උන්නේ ගෙදර යන්න ඇඟිලි ගැන ගැන. ඒත් පුදුමෙකට අද මට දැනුනේ උදාසීන ගතියක්. මට අපූර්ව සිහියට ආවේ නිරායාසයෙන්මයි. අතට අහු වුණ ඇඳුම් දෙක තුනක් බෑග් එකේ ඔබා ගෙන මම පහලට බැස්සා.
"යමු අප්පච්චි" මම කිව්වා.
අප්පච්චියි, සුමනේ මාමයි නැගිටලා ඉස්සරහට ගියා. මම පුංචම්මට වැන්දා.
"හර්ෂි අක්කට කියන්න. මම සඳුදා එනවා"
මේසය උඩ සල්ලි වගයක් තියෙනවා මම නැගිටිනකොට දැක්කා. අප්පච්චි දෙන්න ඇති.
මම එලියට එද්දි අපූර්වගේ ගේ දිහා බැලුණේ ඉබේටම වගේ. ඒත් කවුරුවත් එලියේ හිටියේ නැහැ. හිටියත් කොහොම කතා කරන්නද? මම සුසුමක් හෙලලා කැබ් එකට නැග්ග.

"අම්මා...අප්පච්චි එනවෝ..."
නුවර එළියට එනකල් පැය එකහමාරක් විතර නිදා ගත්තු මට ඇහැරුණේ ගෙදර ලඟදි. නංඟි ගේ කට හඬ ඇහුනාම මට දැනුණේ සතුටක්.
කැබ් එක පෝටිකෝව යටට ගනිද්දි මම දැක්කා අම්මා එලියට එනවා. නංඟිත් පැත්තකින් එබුණා. මම කැබ් එකේ දොර ඇරගෙන බිමට පැනලා ගේ දිහාට දිව්වා.
"ආච්චි මම්මේ අක්ක ආවෝ..." නංඟි ආයෙම කෑ ගහනවා.
මම දුවලා ගිහින් අම්මට තුරුල් වුනා.
"ඇති යාන්තං එන්න හිතුණා" අම්මා කිව්වා.
"අදනේ අප්පච්චි එක්ක යන්න ආවේ'
මම අම්මගේ අතේ එල්ලිලා ගේ ඇතුලට ගියා.ආච්චි මම්මා සීයා පප්පා එක්ක හිනා වෙවී බලාගෙන හිටියා. මම නංඟි ව ලඟට ඇදලා අරන් මූණ ඉම්බා.
"ලියුමක් වත් එව්වේ නෑනෙ?" නංඟි අහුවේ කට ඇද කරලා. මම හිනා වුණා.
"කෝ අම්මේ අයියා?'
මම එහෙම ඇහුවාම හැමෝගෙම මූණු අඳුරු වුණ හැටි පෙනුනාම මගේ හිතට ආවේ අනියත බයක්.
"ඇයි?"
"අයියා අප්පච්චි එක්ක හොඳටෝම රණ්ඩු වෙලා යන්න ගියා අක්කේ" මට රහසින් කිව්වේ නංඟි.
මම පුටුවකට බර වුණා.
"ආපු ගමන් කේලම් කියනවා නේද?" අච්චි මම්මා නංඟි ගෙන් අහද්දිම වගේ අප්පච්චි ගෙට ආවා. සේරම කතා නැවතුණා. මම බොරු හිනාවක් මුවට නගා ගත්තා.
"අම්මා නාහෙන් අඬ අඬ නේ හිටියේ දුවව ගිහින් නුවර දැම්මා කියලා. ඔන්න එක්ක ආවා. දැන් හරිනේ."
අප්පච්චි කාමරෙට ගියේ එහෙම කියා ගෙන.

කොහොම වුණත් ගෙදර ආවට පස්සේ මට දැනුනේ ලොකු සැනසීමක්. ගෙදර සේරම අය හිටියේ සතුටින්. ඒත් අයියා නැති පාලුව ගොඩක් දැනුණා. ගෙදර අයට නුවර විස්තර කියන්න මට හුඟ වෙලාවක් ගියා. 
"දීපා පිට ගෑණි වුණත් කවදාවත් දරුවන්ට වෙනස්කමක් කරන්නේ නෑ" ආච්චි මම්මා පුංචම්මා ගැන කතා කලේ පැහැදීමෙන්.
"කොහොමද අපේ අනික් ටකේ?" සීයා පප්පා ඇහුවේ හර්ෂි අක්කා ගැන.
"ඔය ඉන්නේ නට නට. එයා හින්දා තමා මට ගෙදර පාලු නැත්තේ"
 අපි රෑ වෙනකල් ආගිය තොරතුරු කතා කරමින් හිටියා. අප්පච්චි නම් කලින්ම නිදා ගන්න ගිහින්.
රෑ නිදා ගන්න ගියාම නංඟිට මගේ ලඟ ඉන්නම ඕනෙ කියපු නිසා අපි දෙන්නම නිදා ගත්තේ මගේ කාමරේ. රෑ නිදන්න කලින් අම්ම මගේ කාමරේට ආවා.
"අප්පච්චි නිදිද අම්මා?"
"ඔව්. හෙට පාන්දර තුනට කොලඹ යන්න ඕනේ ලු නේ." අම්ම මගේ ඇඳ උඩින් ඉඳ ගත්තා.
"අම්මේ...මොකද අයියට වුණේ?"
මම අම්මගේ උකුල උඩින් හිස තියා ගෙන ඇහුවා.
අම්මා දිග සුසුමක් හෙලුවා.
"ඔයාව නුවර යවපු එක, රට යන්න හදන එක, අර මාගස්තොට ඉඩම විකුණපු එක ගැන හෙම අයියා හිටියේ තරහින්. හිටි ගමන් දෙන්නා අතර බහින් බස් වීමක් වුණා. අන්තිමට අප්පච්චි පුතාගේ කම්මුලට ගහලා ගෙදරින් එලෙව්වා.කොහේ ගියාද දන්නේ නෑ පුතේ, එදා ඉඳන්ම ආරංචියක් නෑ.
අම්මා නහය හීරුවා. මම හිස උස්සලා අම්මගේ මූණ දිහා බැලුවා. ඒ ඇස් දිලිසෙනවා මම මේස ලාම්පුවේ එළියෙන් දැක්කා.
"කොහේ යන්න ඇද්ද අම්මා. කෝල් කරලා බැලුවේ නැද්ද? අයියා වැඩට එනවලුද?"
මම අම්මට ආයෙ තුරුලු වුණා.
"බැලුවා, ඒත් වැඩක් නැහැ. දෙයියෝ තමයි දන්නේ කොහේ ඉන්නවා ඇත්ද කියලා.ඔෆිස් එකෙත් නිවාඩු දාල ගිහින් තියෙන්නේ. ඔයා වත් මේ කරදර වලින් ඈත් වෙලා ඉන්න එක මට හිතට සහනයක් පුතේ. අඩු ගානේ ඔයා බය වත් නැතිව ඉන්නවා නේ. අප්පච්චි මේ දවස් වල යකා වගේ. පොඩි දේටත් තරහා යනවා"
අම්මා එහෙම කිව්වාම මට හුඟක්ම දුක හිතුනා.
"අයියට පිට ඉන්න බෑ අම්මා. එයා ඉක්මණට ආපහු ගෙදර ඒවි"
මම එහෙම කිව්වත් අම්මා මුකුත් කිව්වේ නැහැ. මට නිදිමත එනකල් මගේ හිස අත ගගා හිටපු අම්ම මාව ඉඹලා යන්න ගියා.

4 comments:

  1. මම අද තමා මේ කතාව දැක්කේ ඔක්කොම කියෙව්වා කතාව හරිම ලස්සනයි.. ඉක්මනට අනිත් කොටසත් දාන්න.. ..

    ReplyDelete
  2. මටත් අද තමා මේ කතාව ඉස්සෙල්ලම ඇහැ ගැටුනේ, ලස්සනට ලියල තියනවා,

    ReplyDelete
  3. ඔය දෙන්නටම ගොඩක් ස්තුතියි. මේ වගේ අදහස් දක්වන එක ලියන්න ලොකු හයියක් ලබා දෙනවා.

    ReplyDelete
  4. මමත් කියවගෙන යන ගමන් ඔක්කොම...ගොඩක් හොඳට ලියල තියෙනවා අක්කි... 10/10

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....