Friday, September 23, 2011

එකොලොස් වෙනි දිගහැරුම

'හැපි බර්ත්ඩේ නංගා"
උපන්දිනේ දා උදේම මට සුබ පැතුවේ අක්කා. ඈ මට කේක් එකක් හදලා තිබ්බා. පුංචම්මා කිරිබත් උයලා තිබුණා.උදේම අම්මයි, නංගියි  ගෙදර හැමෝමයි මට කතා කරලා සුබ පැතුවා. කථා නොකලේ අයියා විතරයි. ඒ ගැන මගේ හිතේ තිබ්බේ පුංචි දුකක්.
මම එදා පංතියට ගිහින් අමාටයි, හිරුණිටයි, ගජධීර මැඩම්ටයි කේක් දුන්නා.
"අයියෝ කලින් දන්නවා නම් තෑග්ගක් ගේනවනේ" අමා කිව්වා.
"ඉතිං හෙට ගේන එකනේ ඇත්තේ" හිරු කිව්වේ තවත් කේක් කෑල්ලකට වග කියමින්.
"ගේනවා තමයි"
"හරි හරි. තෑගි මොනාටද ඔයාලා ඉන්නකොට" මම කිව්වේ ඇත්තටමයි.
ගජධීර මැඩම් පංති ඇරිලා යද්දි මට ලස්සන පෑනක් තෑගි දුන්නා.
"හැපි බර්ත් ඩේ, බී අ ගුඩ් ගර්ල්"
එදා හවස මට අපූර්ව මුණගැහුණේ නැහැ. මම ගෙදර ගියේ හර්ෂි අක්කා එක්ක.
 පුංචම්මා එදා රෑට බුරියානි හදලා තිබ්බා. මට එයාලා ගැන දැනුනේ ලොකු ආදරයක්. ගෙදර අය නැති පාළුව මට නොදැනෙන්න එයාලා දෙන්නා කොච්චර මහන්සි වෙනවද? අයියා මට ලොකුම ලොකු කාඩ් එකක් එවලා තිබුණා.ඒක දැක්කම මගේ සතුට සම්පූර්ණ වුණා කියලා මට දැනුනා.
"ඔන්න ඔයා අතින්ම සුධර්මා ඇන්ටිට දීලා එන්නකෝ" පුංචම්මා මගේ බන්දේසියක් මගේ අතේ තිබ්බා.
මම අක්කත් එක්ක අපූර්වලගේ ගෙදරට ගියා.
"අනේ, මේ දුවලා දෙන්නා නේ. එන්න එන්න ගෙට"
දොර ඇරියේ ලිවේරා අන්කල්.
"මොනාද මේ බරටම උස්සගෙන?" සුධර්මා ඇන්ටිත් ඇතුලේ ඉඳන් සාලෙට ආවා.
"අද මෙයාගේ උපන්දිනේ" අක්කා කියද්දි මම අතේ තිබ්බ බන්දේසිය ඇන්ටි අතින් තිබ්බා.
ලිවෙරා අන්කල් මට අතට අත දීලා සුබ පැතුවා.
"ආ...අපි ඒක දැනං හිටියා.මෙනි හැපි රිටර්න්ස් ඔෆ් ද ඩේ"
ඇන්ටියි, අන්කලුයි දෙන්නම මට සුබ පැතුවා. මම පුදුම වුනා අපූර්ව ඒක දැන ගත්තේ කොහොමද කියලා. අක්කා වත් කිව්වද?
 "චුට්ටක් ඉන්න" එහෙම කියපු ඇන්ටි ගේ ඇතුලට ගිහින් එලියට ආවේ පාර්සලේකුත් අරගෙන.
"මේ අපි දෙන්නාගෙන්"
මම ඒ දෙන්නටම ගොඩක් ස්තුති කලා.
"කෝ ඇන්ටි අපූ?"
"මෙන්න මෙහේ හිටියා..." ඇන්ටි වට පිට බලලා කිව්වා.
'කමක් නෑ, අපි ගිහිං එන්නම් කෝ. රෑත් වෙනවනේ ඇන්ටි"
අක්ක ආයෙමත් කිව්වා.
"හොඳයි එහෙනම්. ගුඩ් නයිට්"
මායි අක්කයි එලියට බැහැලා එද්දි ගේට්ටුව ලඟ හිටගෙන උන්නේ අපූර්ව. ගේට්ටු කණුවේ එලියෙන් ඔහුව අපට යාන්තම් පෙනුණා.
"මොකද මේ මෙතන හිට ගෙන පාරෙ යන අයට හොල්මන් කරනවද?" අක්කා පුරුදු විදියට ඔහුව අවුස්සන්නයි යන්නේ.
"අනේ මේ ලව්ලිනෝ...කණ්ණාඩියෙන් මූණ බැලුවොත් පෙනෙයි කවුද හොල්මන කියලා. මම මේ ආවේ මේ අක්කි මුණගැහෙන්න"
ඔහු මගේ දිහාවට හැරුණා.
"මට කිව්වනේ හොයා ගන්න කියලා. ඔන්න මං හොයා ගත්තා.එනිවේ, විෂ් යූ අ වෙරි හැපි බර්ත්ඩේ"
අපූර්ව මගේ අතේ පොඩි පෙට්ටියක් තියන ගමන් කිව්වා.මම ඇත්තටම හුඟක් පුදුම වෙලයි හිටියේ.ඒත් අක්කා බලාගෙන හිටපු හන්දා ප්‍රශ්ණ අහන්න වෙලාවක් තිබ්බේ නැහැ. මම අපූර්වට ස්තුති කරලා අක්කා එක්ක ගෙදර ආවා.
"බලමු බලමු තෑගි" අක්කාට ඉවසිල්ලක් නෑ.
අංකල් දීලා තිබුනේ ඉබ්බෙක් දාන්න පුළුවන්, රෝස පාට ලස්සන, ඩයරි එකක්. සුධර්මා ඇන්ටිගේ තෑග්ග වුණේ ලා දම් පාට, බෝරිච්චි අත් දාපු  හුරුබුහුටි ගවුමක්.මට ඒකට ආස හිතුණා.
ඊලඟට අපූර්වගේ තෑග්ග. ඒක දිග අරින්න මම ටිකක් පැකිලුණා. ඒ පාර නොඉවසිලිමත් වුණ අක්කයි ඒක දිගෑරියේ.ඒ තෑග්ග දැකපු මට අදහා ගන්න බැරි වුණා.ඒ එක්කම තිබ්බේ පුංචි කාඩ් එකක්.
"දෙයියනේ මේ මොබයිල් ෆෝන් එකක් නේ!" අක්කට කියැවුණා.
මම හිටියේ කියන්න, කරන්න දෙයක් හිතා ගන්න බැරිව.
අපි දෙන්නම තක්බීර් වෙලා ඉද්දි එකපාරටම ෆෝන් එක නාද වෙන්න පටන් ගත්තා. දෙන්නම ගැස්සිලා මූණෙන් මූණ බලා ගත්තා. ෆෝන් එක දිගටම නාද වෙනවා. ඒකෙ තිරේ මත සටහන් වෙලා තිබ්බේ අපූර්වගෙ පින්තූරයක්.
"ගන්න ඕක" අක්කා කිව්වා.
මම අදි මදි කලා.
"ගන්නවා...." අක්කා ආයෙම කිව්වා.
මම හෙමීට ෆෝන් එක අතට අරන් ඕකේ කරලා කනේ තියා ගත්තේ ගැහෙන හිතින්.
"හෙලෝ"
"හෙලෝ අක්කි, කොහොමද? මගේ තෑග්ග හොඳද?"
අපූර්වගේ හඬ ඇවිත් මගේ කනේ හැපුණා. මම හිටියේ ගොලු වෙලා.
"සේ සම්තිංග්"ඔහු ආයෙම කියනවා.
"මං දන්නෑ මොනා කියන්නද කියලා" මට කියවුණා.
"ඒ ඇති. සී යූ ටුමෝරෝ දෙන්. ගුඩ් නයිට්. ලව්ලිනාටත් කියන්න"
"අපූර්ව මේ-" මම ආයේ මුකුත් කියන්නත් කලින් ඔහු ඒ පැත්තෙන් තියලා ඉවරයි.
මට ඉබේටම හර්ෂි අක්කා දිහා බැලුණා. එයා මා දිහා බලාගෙන හිටියේ ප්‍රශ්නාර්ථයක් දල්වගෙන. මම ෆෝන් එක ඇඳ උඩින් තිබ්බා.
"මොකද නංඟි මේ වෙන්නේ?" අක්කා ඇහුවා.
"අනේ මම දන්නෑ අක්කේ"
"මේ නං ඉස්සර අපූර්ව නෙවෙයි"
අක්කා එහෙම කියද්දි මගේ හිත සැලෙන්න ගත්තා.
"අක්කා මොනාද කියන්න හදන්නේ?"
ඒ පාර අක්කා මගේ පැත්තට ලං වුණා.
"මම මෙහෙම කියනවට මුකුත් හිතන්න එපා. ඒත් මට හිතෙනවා ඔයා අපූව මුණගැහෙන එක සීමා කරනවා නම් හොඳයි කියලා. මට අමුතු බයක් දැනෙනවා ඔය දෙන්නා ගැන. දැනට මට කියන්න තියෙන්නේ එච්චරයි"
අක්කා එහෙම කියලා කාමරෙන් යන්න ගියේ මට හිතන්න හුඟක් දෙවල් ඉතිරි කරලා. අක්කා දීපු රිදී පෙන්ඩන්ට් එක ඇඳ උඩ දිලිසි දිලිසි තිබුණා.
අක්කා මට අවවාදයක් දුන්නද, නැත්නම් අනතුරු ඇඟවීමක් කලාද කියලා මම හුඟක් වෙලා හිතුවා. ඒත් අපූර්ව ගැන අක්කා සැක හිතන්නේ ඇයි? මම දැනං හිටියත් මට අක්කා කියපු දේ කරන්න බැරි බව්, මම අක්කා කියපු දේ කරන්න උත්සාහ කලා. මම ඊලඟ දවස් දෙකේ අපූර්ව මුණ නොගැහී ඉන්න හැදුවත්, දෙවනි දවසේ අපූර්ව මගේ ක්ලාස් එක ලඟටම ඇවිත් හිටපු නිසා මට කොහොමටවත් ඔහුව මගාරින්න බැරි වුණා.
"ඔයාට මොකද වෙලා තියෙන්නේ?" අපූර්ව ඇහුවේ තරහින්ද මන්දා.
මම ඔහු දිහා බැලුවා. කොණ්ඩෙත් අවුල් කරගෙන, ෂර්ට් එකත් පොඩි වෙලා හිටපු අපූර්ව දැකල මට හොඳටම දුක හිතුණා.
"කෝල් කරාට ගන්නේත් නෑ. SMS වලටත් රිප්ලයි නෑ. මම ඔයාට මොනාහරි වරදක් කලාද?"
මම හිස වැනුවා.
"එහෙනම්?"
මම දීපු විදියටම ඔතලා තිබ්බ අපූර්වගේ තෑග්ග අතට අරන් ඔහුට දික් කලා.
"මට මේක ගන්න බෑ අපූර්ව"
අපූර්ව තෑග්ග දිහයි, මගේ දිහායි මාරුවෙන් මාරුවට බැලුවා.
"ඇයි?" ඔහු ඇහුවේ තරහින් රතු වෙන ගමන්. ඒ මූණ නපුරු වෙලා.
"ගන්න බෑ"
"හේතුව?"
මම වට පිට බැලුවේ අපහසුතාවයෙන්.
"මම ගෙදරට මොනාද කියන්නේ?"
"මම දුන්නා කියන්න. ඒකනේ ඇත්ත"
"ඔයා නම් කියයි. ඒ අය අහන ප්‍රශ්ණ වලට මට උත්තර හොයන්න බෑ. ඒ අය වැරදියට හිතයි" මම කිව්වේ ඔහු දිහා නොබලා.
"ඔයත් එහෙම හිතනවද?" ඔහු ඊලඟට ඇහුවා.
"නෑ"
"එහෙනම් ඕක තියා ගන්න. හම්බුණ විදිය කියන්න බැරි නම් එක්කෝ බොරුවක් කියන්න, නැත්තම් හංගලා තියා ගන්න"
"ඒත් අපූර්ව..."
අපූර්වගේ සීමාව පැනපු බව මට ඉවෙන් වගේ තේරුණා.
"එහෙනම් ඕක අර වැවට විසි කරලා දාන්න. දීපු තෑග්ගක් ආපහු දෙන්න තරම් ඔයාට නපුරු වෙන්න පුලුවන් වුණාට, ඒක ආපහු ගන්න මට බෑ"
ඔහු කිව්වේ තරහින්, තදින්.
මම ඔහු දිහා බලාගෙන උන්නේ දුකින් වගේම බයෙන්.
"මම කොච්චර ආසවෙන්ද ඕක ඔයාත ගත්තේ..." ඔහු මට වඩා තමන්ටම කියා ගත්තා වගෙයි මට තේරුණේ.
"අපූර්ව..."
"මම යනවා. ඔයා මගේ හිත රිද්දුවා" ඔහු ඒ ටික කිව්වේ හෙමින්.
මම කලබල වුණා.
"අනේ යන්න එපා අපූර්ව. ඔයාව රිද්දන්න කිව්වා නෙවෙයි"
අපූර්ව මගේ ඇස් දෙකට එබුණේ මට හිතන්න වත් වෙලාවක් නොදී.
"ඕක ඔයා නොගත්තොත් මම ඔයා එක්ක ආයෙ කවදාවත් කතා කරන්නේ නෑ. මම කිව්වොත් කිව්වා"
මම සුසුමක් හෙලුවා. මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ, තෑග්ග ආපහු බෑග් එකට දා ගන්නවා ඇරෙන්න.
බොහෝ වෙලාවල වගේ අදත් අපූර්වගේ දයාබරත්වය, ලෙන්ගතුකම ඉස්සරහා මම පැරදුනා. මම හැමදාමත් අපේ ඇසුර දැක්කේ පිවිතුරු දෙයක් විදියට මිසක්,ඔහු මං ගැන වැරදියට හිතාවි කියලා හිතන්න මට හේතු තිබුණේ නැහැ. මගේ හිත මට ඉඩ දුන්නේත් නෑ. අපූර්ව මං වෙනුවෙන් මේ දේවල් කලේ ඔහුට වෙන සහෝදරයෙක් හරි සහෝදරියක් හරි නොහිටපු නිසා කියලා මම හැම වෙලේකම හිතුවා.සමහරවිට ඒ හේතුව මම මගේ හිත හදා ගන්න ආරක්ෂා පලිහක් කර ගෙන හිටියද කියලත් මට පස්සේ නොහිතුණා නෙවෙයි.

3 comments:

  1. මම අදත් කියෙව්වා .. ඊලග කොටසත් ඉක්මනට දාන්න .. :)

    ReplyDelete
  2. මමත් ආව අද ඔන්න...අපු එන පොට නම් එච්චර හොඳ නෑ වගේ...බලමු

    ReplyDelete
  3. හරිම ලස්සනයි........ :)

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....