Thursday, September 22, 2011

නව වැනි දිගහැරුම

"ඉන්දි මාලිගාවේ යන්න එනවා නේද?" මං ගේ ඇතුලට එද්දි පුංචම්ම ඇහුවා. හිත නිවා ගන්නත් එක්ක මාලිගාවේ යන එක හොඳයි කියලා මටත් හිතුණා.
"යමු පුංචම්මේ"
අක්කයි, මායි ලහි ලහියේ ඇඳ ගනිද්දි පුංචම්මා මල් තෙල් ලෑස්ති කරමින් හිටියා.
"හර්ෂි... අනේ පුතේ ගිහින් බලන්න සුධර්මා ඇන්ටි ලෑස්ති වෙලාද කියලා" පුංචම්මා කුස්සියේ ඉඳන් කෑ ගැහුවා.
'යං' අක්ක කුස්සියෙන් එලියට බැස්සේ මාවත් ඇදගෙන.
ලී වලින් හදාපු හුරුබුහුටි ගේට්ටුවක් ඇරගෙන අපි අපූර්වලාගේ ගෙදරට ඇතුල් වුණේ පිලිකන්න පැත්තෙන්. ගේ වටේටම හරිම ලස්සනට තණකොල වවලා, මල් හිටවලා, පැතලි ගල් අල්ලලා තිබුණා.
'සුධර්මා නැන්දේ" අක්කා එක පාරක් කෑ ගැහුවා. පිටිපස්සේ ඇරලා තිබ්බ දොරෙන් එබුනේ සුධර්මා ඇන්ටි.
"ආ මේ මෙයාලනේ. එන්න ගෙට. මොකද ළමයෝ මේ පිට්පස්ස පැත්තෙන් ආවේ? මේ අනික් දුව පළවෙනි සැරේට නේ අපේ ගෙදර එන්නේ. පිටිපසෙන්ද එක්ක එන්නේ?"
 ඇන්ටි ඇහුවා, ඇපි මුකුත් නොකියා හිනාවීගෙනම ගෙට ඇතුල් වුණා.
මුලු ගෙදරම ටයිල් කරලා, ලස්සන ගෘහ භාණ්ඩ තියලා, පිළිවෙලකට තිබ්බ හැටි දැක්කාම මට ආස හිතුණා. ඇන්ටි අපිව එක්ක ගියේ ඉස්සරහ සාලෙට.
"වාඩි වෙන්න. මම නං ලෑස්ති වෙලා ඉවරයි. අංකල් තාම ලෑස්ති වෙනවා"
අපි දෙන්නා කලු පාට ලොකු සැටියෙන් වාඩි වුණා.
"කෝ අපූ? එයා යන්නේ නැද්ද?"
මගේ හිතේ තිබ්බ දේ අක්කා ඇහුවා.
"ඔය හිටියේ. මම කතා කලා. එන්න බෑ කිව්වේ. එයා යන්නේ පල්ලි විතරයි. මහ පුදුම ළමයෙක්" ඇන්ටි කිව්වේ සුසුමක් හෙලලා.
මේ අතරේ අපට ඇහුනා කවුදෝ පඩිපෙල බහින සද්දයක්. ඒ අපූර්වද, අංකල්ද?
"මමා ආ යූ ලීවිං?"
අපූර්වගේ හඬ ඇහුණා.
"තාම නෑ. මෙහේ එන්න, මෙන්න හර්ෂිලා ඇවිත් ඉන්නවා"
ඊලඟ මොහෙතේ අපට එහා පැත්තේ තිබ්බ පඩිපෙල ලඟින් මතු වුණේ අපූර්ව, හිනාවකුත් එක්ක.
"හා... මේ ලව්ලිනා නේ. මොකද මාලිගාවේ යන්නද?"
මම ඉන්න වගක් වත් ගණන් නොගෙන ඔහු ඇහුවේ අක්කාගෙන්.
"ඇයි කාවඩි නටන්න යනවා වගේද පේන්නේ? මාලිගාවේ තමා යන්නේ. යමු අපි එක්ක" අක්කා කිව්වාම මොහොතකට විතරක් ඔහුගේ ඇස් මගේ දිහාවට යොමු වුණා.
"අනේ මට නම් බෑ" ඉක්මණට අහක බල ගත්තු ඔහු ඊලඟට කිව්වා.
"අනේ මේ බොරු නැතුව එනවා යන්න. කැතලික් වුනත් මාලිගාවට ගියාම එලවන්නේ නෑ. ඔය අංකලුත් යන්නේ"
අක්කා ආයෙම කිව්වා. එතකොටම වගේ ලිවෙරා අංකලුත් සාලෙට ආවා.
"මං ලාස්තියි. යමුද එහෙනම්? ආ... මේ උපාසක අම්මලා දෙන්නේකුත් ඉන්නේ. කෝ දීපා?"
"මං අම්මට කතා කරගෙන එන්නම්"
අක්කා එලියට ගියා.
"එන්න දුව" ඇන්ටියි, අංකලුයි ඉස්සර වුණා.
මම යන්න හැරිලා නිකමට අපූර්ව දිහා බැලුවා. ඒ මූණේ තිබ්බේ නපුරු පෙනුමක්.මම ඉක්මණට අහක බලාගෙන එලියට ආවා.
මාලිගාවෙදි මල් පුදලා මම ප්‍රාර්ථනා කලේ අපේ ගෙදර ප්‍රශ්ණ ඉක්මණට විසඳෙන්න කියලා.







"ඔයාගේ ආච්චි අම්මා නම් සුපර් කුක් කෙනෙක් මෙත්මා"
පහුවදා මම ගෙනියපු කේක් කන ගමන් එහෙම කිව්වේ අමා. මම හිස වැනුවා.
"ඔව්. ඔව්."
"නුවර එලියේ ගියාම මිනිස්සු මේවද ගේන්නේ? මල් එළවලු එහෙමනේ" හිරුණි කියනවා.
"අපෝ අපරාදෙ මෙයාට ගෙනත් දුන්නේ" මම හිරුණිව පැත්තකට තල්ලු කලා. ඈ හිනා වෙවී අහකට පැන්නා.
"ඒක නෙවෙයි මෙත්මා, මටත් ආසයි නුවර එලියේ යන්න. මම එක පාරයි ගිහින් තියෙන්නේ" අමා කිව්වේ තව කේක් කෑල්ලක් ගන්න ගමන්.
"ඉතිං යමුකො අනේ. අපේ ගෙදර නැවතිලා ජොලියේ ඉඳලා එතහැකි"
"මමත් එනවා හොඳේ" හිරුණිත් කිව්ව.
"හැබැයි හිරු පොඩි ප්‍රෂ්නෙකට තියෙන්නේ, අපේ ගෙදර පිස්සෝ තියා ගන්නේ නැහැ"
මම කිව්වාම අමා හොඳටම හිනාවුණා. හිරු බොරුවට රවලා අහක බලා ගත්තා.

එදා ක්ලාස් ඉවර වෙද්දි මට හොඳටම තෙහෙට්ටු ගතියක් දැනුනා. සමහරවිට රස්නේ නිසා වෙන්න ඇති.
"අද නම් මගින් නගින්නේ නෑ. ටොරිංටන් එක ලඟට යනවා. හිටගෙන යන්න බැහැ අනේ" මම අමාට කිව්වා.
අමා, හිරු එක්ක මාව බස් නැවතුමට ඇරලුවා. තිබුණ බස් එකේ සෙනග පිරිලා උන්නු නිසා මම ඊලඟ බස් එක එනකල් හිටියා. බස් එක ආවට පස්සේ මම නැගලා ජනේලයක් අයිනේ ඉඳ ගත්තා. ටික වෙලාවකින් එතනට ආවේ සුදු අඳුම් ඇඳගත්තු කොලු රංචුවක්. මම හිතුවා වගේම අපූර්වත් එතන හිටියා. ඒත් ඔහු මාව දැක්කේ ගොඩ වෙලාවකට පස්සේ. මම ඔහුට හිනා වුණත්, මගේ ඇස් මගෑරලා ඔහු  අහක බලා ගත්තා. මට දැනුනේ පුදුමයක්.'මම මොනා කලාටද මේ?'
මම ආයෙමත් ඔහු දිහා බලන්න ගියේ නැහැ. බස් එක අද්දන්න යද්දි අපූර්වයි, යාලුවෝ ටිකයි බස් එකේ එල්ලුණා. හිටපු ගමන් මගේ උකුල උඩට වැටුනේ පොත් කීපයක්. මම එක පාරටම උඩ බැලුවා. මගේ ලඟ හිටගෙන මගේ දිහා බලාගෙන උන්නේ අපූර්ව.
"තියාගන්න" ඔහු තොල් හෙලෙව්වා.
බස් එකෙන් බහිනකල්ම අපූර්ව ආයෙම පොත් දෙක ගත්තේ නැහැ. මම පොත් දෙකත් අරගෙනම බැස්සා. අපූර්ව බැහැලා බලාගෙන හිටියා.
"ෆිට් තමායි මචාං ගිහින් එන්නම්" බස් එක ආයෙම අද්දද්දි ඔහුගේ යාලුවෝ රොත්ත කෑ ගැහුවා. මං අතේ තිබ්බ පොත් දෙක ඔහුට දික් කලා. අපූර්ව එයාට නෙවෙයි වගේ අහකට හැරුණා.
"ගන්න" මං කිව්වා.
'අනේ අරන් එන්නකෝ අක්කි"
"ඇයි, ගෙදර ගියාම බුම්මං ඉන්නවටද?"
අපූර්ව හිනාවුණා.
"හිණාවෙන හැටි විතරක්"
මම එහෙම කිව්වාම අපූර්ව හිනාව නවත්තලා මගේ දිහා බැලුවා.
"මට නොකියම ගෙදර ගියා නේද?"
මම බෑග් එක කරේ එල්ල ගත්තා.
"කියන්න වෙලාවක් වුණේ නැහැ. අප්පච්චි ආපු ගමන් යන්න වුණා"
"යන තැනක නම්බර් එකක්වත් දීලා යන්න බැරිද?"
"අපේ දිහා ටෙලිෆෝන් නෑ"
"අනේ දෙන්න බැරි නම් බෑ කියන්න, බොරු නොකියා"
"ඇත්තමයි" මම කිව්වා.
ඔහු මා දිහා බැලුවේ කුතුහලෙන්. "ඒ මොකෝ?"
"ගෙදර හැමෝටම මොබයිල් ෆෝන්ස් තියෙන හන්දා ගෙදරට ඕන නෑ කියලා අප්පච්චි ගත්තේ නැහැ" මම ඇත්තම කිව්වා.
"අම්මෝ...මාර නීති නේ, ඉතින් කෝ ඔයාගේ ෆෝන් එක?"
ඔහු ඇහුවා,
"මට මොකටද ෆෝන්?"
"කතා කරන්න නේ. මේ මට නම් එකක් තියෙනවා" ඔහු සාක්කුවෙන් එලියට ඇදලා ගත්තේ හුරුබුහුටි ජංගම දුරකතනයක්.
"ඕක ඉස්කෝලෙත් ගෙනියන්වද?"
"ඔව්. ගාණක් නෑ"
මම උරහිස් හකුලලා, පාර දිහා බැලුවා. පාර පුරා තිබුණේ වේලිච්ච කොල විතරයි. මම ආයෙම අපූර්ව දිහා බලද්දි මම දිහා බලාගෙන උන්නු ඔහු ගැස්සිලා වගේ අහක බලා ගත්තා.
"ඔය යට තියෙන පොතේ අන්තිම පිටුව බලන්න. මම කවියක් ලිව්වා"
අපූර්ව මට කිව්වේ මා දිහා නොබලම.
"ඔයා කවිත් ලියනවද?" මම ඇහුවේ පොත පෙරලන ගමන්.
"ඔව්. ඇයි එහෙම අහන්නේ"
"නිකං. මම හිතුවේ නැහැ ඔයා ඒ වගේ කෙනෙක් කියලා"
"කොයි වගේද ඔය කියන්නේ?"
මම ඔහුට උත්තරයක් නොදී පොතට එබුණා. අපූර්වගේ අකුරු දිගටියි, පැහැදිලියි.
"අකුරු ලස්සනයි" මම කිව්වා.
"බටර්"
"නෑ, සීරියස්ලි"
"තෑන්ක්ස්"
මම පොතේ අන්තිම පිටුවේ ඇස් රැඳෙව්වා.

කෝඩු හිනා වලට මගේ හිත    සැලෙනව සුන්දරී
ඔය ඇස් ලඟ දඟ කරන්න මට හිතෙනව සුන්දරි
කම්මුල් දෙක පැහැ ගැහෙද්දි රතු පාටට ලේ පිරී
නුඹට ආදරෙයි කියන්න මට හිතෙනවා පෙම්බරී

මම එක කවියක් කියවලා ඇස් ඉස්සුවා. අපූර්ව ඈත බලාගෙන ඉන්නවා. මම ඊලඟ කවියේ ඇස් රැඳෙව්වා.

හිතට පියාපත් ඇවිදින් දුටු දා සිට             කුමාරී
මගේ ලොවේ ඉර හඳ දැන් ඔය නෙතු යුග සුන්දරී
ඇත් වෙලා නොඉඳ ඔහොම ඈත අහසේ තරු පිරී
කඩා වැටෙන තරුවක් වී හිතට වඩින්       සමනලී

ඒ කවි දෙක හුඟක් ලස්සනයි කියලා මට හිතුණා.මම පොත එහෙමම තියාගෙන ඔහු දිහා බැලුවා.
"හරිම ලස්සනයි. මට හිතා ගන්නත් බෑ ඔයාමද මේ ලිව්වේ කියලා. හරිම ලස්සනයි මල්ලි"
අපූර්ව මා දිහාට හැරුණා. ඒ ඇස් දිලිසෙනවා.
"දැන් මොකද හිතෙන්නේ?" ඔහු ඇහුවා.
"ඔයා හරිම දක්ෂයි මල්ලි. ඉතිං මොකෝ මේ ප්‍රේම කවියක්ම ලිව්වේ? කාටද ඔයාගේ ගර්ල්ටද?"
අපූර්ව අහක බලා ගත්තා.
"ඒව වැඩක් නෑනෙ. කවිය හොඳයි නේ"
"ඇත්තටම මල්ලි, ආදරේ කරන එක දැන් ෆැෂන් එකක් වෙලා නේ. ඔයාට හිතුනේ නැද්ද කාට හරි ආදරේ කරන්න?" මම ඇහුවා. අපූර්ව හොරෙක් වගේ අහක බලාගෙනම ඉන්නව.
"හිතුණට බෑනෙ. කවුරුහරි ඉන්නත් එපැයි"
මම හිණාවුනා.
"ඇයි දෙයියනේ මේ නුවර කොච්චර  ගෑනු ලමයි ඉන්නවද?ලස්සන, ආදරේ හිතෙන"
"මට ඕන කෙනා ඒ අය අතරේ නෑ"
"ඇත්තට? ඔයාට ඕන කෙන මොන වගේ කෙනෙක්ද?"
කතාවෙන් කතාවෙන් අපි අපූර්වගේ ගේ ලඟටම ඇවිත් උන්නා. අපූර්ව මගේ ලඟට ඇවිත් මං ඉස්සරහින් හිට ගත්තා.
"මේ බලන්න, මගේ ඇස් දෙක ඇතුලේ අක්කිට මොනාද පේන්නේ?"
මම හොඳට ඒ ඇස් වලට එබිලා බැලුවා.
"මොනාද? කලු ඉංගිරියාව තමයි"
"නෑ, නෑ. වෙන මොනාද පේන්නේ"
"වෙන...ම්ම්...වෙන මාවත් පේනවා"
"ආ...ඒක දැක්කද? මට ඕන අන්න ඒ වගේ කෙනෙක්"
අපූර්ව කියපු දේ මට එක පාරටම තේරුනේ නැහැ.
"මං බලපු නිසා නේ මාව පෙනුනේ. වෙන කෙනෙක් බැලුවා නම් එයාව තමයි පේන්නේ"
"ඒ මම බලන්න දුන්නොත් නේ" ඔහු කිව්වා.
ඒ වචන කනට ඇහුනාටත් වඩා හිතට හොඳටම දැනුනා කියලා මට හිතුණා. මම ඔහුගෙන් සමු ගත්තේ සැලෙන හිතින්.
"අක්කි..." මම යන්න හැරුණාම ඔහු මට ආයෙම කතා කලා.
"අයි බෑඩ්ලි මිස්ඩ් යූ ලාස්ට් වීක්" ඔහු කිව්වා.
"දැන් මම ආවනේ"

2 comments:

  1. නෙතු ඔයාගේ කතාව හරි ලස්සනයි , මම තාම කියවන්නේ මුල හරිය. මේ කොටස කියවන්නේ නැතුව මේ comment එක දාන්නේ... දිගටම ලියන්න.. මම ලගදි ආදරයෙන් පැරදුන කෙනෙක් , ඔයාගේ කතාව කියවද්දී ආයත් ජීවිතේ මැවිලා පේනවා

    ReplyDelete
  2. ඔන්න මම අදත් මේක කියවන්න ආවා...ලස්සනයි අක්කේ..කතාව..

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....